මගේ තාත්තා සහ අපේ තාත්තා

මගේ තාත්තා සහ අපේ තාත්තා

මගේ තාත්තා මා දුටු අපූරු චරිතයක් විය. හැටේ දශකයේදී මා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන (මගේ මිතුරෙකු පසු කලකදී හැදින්වූ පරිදි) නැට්ටට කිරි එරෙන වයසේ පසුවු දඩබ්බර චරිතයක් විය. එය එසේ වූවත්, ඉගෙනීමට තිබූ දක්ශතාවය මා සහජයෙන් ලබා තිබුනේ කෙසේදැයි අදද මට ප්‍රස්නයකි.

තාත්තා මට හෝ මගේ අයියාට හෝ නංගිලා දෙදෙනාට පාඩම් කරන්නේ නැද්ද කියා කිසි දිනක අසා නැත. අයියා පවුලේ නැනවතා විය. මා පවුලේ වාත කාරයා විය. ලොකු නංගී ගෙදර බර යන්තමට හෝ කරට ගෙන තිබුනත් අප කාගෙත් සුරතලිය වූයේ පොඩි නංගීය. ඇය කුඩාකල සිටම රූමත් විය.

මසකට වරක් වත් කුමක් හෝ දඩබ්බර වැඩකට පුකට පයින් ගසා පාසැලෙන් එලවා දමන ප්‍රින්සිපල් තුමා නොහොත් ගෝරිල්ලා, (මුළු පාසැලම ඔහු හැදින්වූ පරිදි ) නැවත මා පාසැලට ගන්නේ තාත්තා පැමින පිංසෙන්ඩුවූ විට පමනි. නෝක්කාඩු ස්වරූපයකින් තාත්තා ඒ හැම අවස්ථාවකම පාසැලට ආවත් කෙසේ හෝ සිල්වෙස්තර පාසැල් දිවිය සාමාන්‍ය පෙල දක්වා ගෙනයාමට හා විභාගය ඉහලින්ම සමත්වී මාගේ කුඩාකල සිට තිබූ දොස්තර කෙනෙකුවීමේ ආශාවට මුල්ගල් තැබීමට සමත් වූයෙමි. කුඩාකල සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉහෙනීම කල මම පසු කලෙක, සිංහල භාෂාවට මුල්තැන දුන් එවකට තිබූ සිංහල බෞද්ධ රජයට පිංසිදුවන්නට කටුබැද්දට ඇතුලුවී ඉංජිනේරු විද්‍යාව හැදෑරීම දෛවෝපගත සිදුවීමක්දැයි සිතේ.

“ඔබ සිටින්නේ යම් තැනකද, එතැන ඔබට හිමි තැන වේ” යැයි එක් අවස්තාවක ජෝන් ලෙනන් නම් සුප්‍රකට බීට්ල්ස් ගායකයා කියා ඇත. දොස්තර සිහිනය හදිසියේම පැනවූ සිංහල මාධ්‍ය අනිවාර්ය කිරීමේ සිරිමා නීතිය විසින් ගිලගත්තේය.

කොපමණ දඩබ්බර වැඩ කලත්, තාත්තා මට තදින්ම අවවාද කර ඇත්තේ එකම එක අවස්ථාවක පමනකි. ඒ මා බොක්සිං ප්‍රැක්ටිස් ගිය පලමු දිනයේදීය. සිල්වෙස්තරයන් 60 දශකයේ ප්‍රසිද්ධ බොක්සිං ශූරයෝ විය. මගේ ප්‍රියතම ක්‍රීඩාව අදටත් ක්‍රිකට් නොව බොක්සිංය. කිසිම පියවරක් ගෙදරට දන්වා ගන්නේ නැති මම බොක්සිං ප්‍රැක්ටිස් ගියේද කිසිකෙනෙකුට නොදන්වාය. මම ගෙදර  එනකොට අයියා වැඩේ පත්තුකර තිබුනි.

“තමුසෙගෙ මොලේ හොද නැද්ද?”

ඒ තාත්තා
අප දෙදෙනා අමතන සාමාන්‍ය ක්‍රමයයි. තාත්තා අප කාටවත් පුතා දුව කියා අමතන්නේ නැත. පුත්තුන්ට තමුසෙ නැත්නම් නම කියා අමතයි.

“ඇයි?”

“බොක්සිං ගියේ?”

අද නම් තාත්තාට කේන්ති ගොස්ය.

“ඉතිං”

ඇගට නොදැනී මම ඇසුවෙමි

“ඇයි මනුස්සයො ඔලුවට ඔය වදින පාරවල් වලට මොලේ නරක් වෙනව. තමුසෙට හොද මොලයක් තියෙනව නේ. ඉගෙනගන්නත් පුලුවං නේ. ඕන එකක් කරනවා බොක්සිං ඇර”

“හරි එහෙනං නිකං ඉන්නංකො”

පලවෙනි දවසේම අම්බානක ගුටි කෑමෙන් හෙම්බත්වී සිටි මම කීවෙමි.

ජීවිතේටම මට මතක ඇති කාලයක තාත්තාගේ අවවාදයක් පිලිගත් එකම දිනය එදා වුවද එම තීරණය ගත්තේද මගේම වාසියට බව දන්නේ මා පමනකි. පසුදින පාසැලේදී ලජ්ජාව වසා ගත්තේ කොහෙද මචං තාත්ත ෆුල් කේස් කියා ජාම බේරාගෙනය.

සෑම ත්‍යාග ප්‍රධානෝත්සවයකදීම අඩුම තරමේ එකම ත්‍යාගයක්වත් මට හිමිවී තිබුනද එදිනටවත් තාත්තා පාසැලට එන්නේ නැත. එය ලජ්ජාවට කරුනක් බව තාත්තා මට ඍජුවම ප්‍රකාශ කර තිබූ වාර අනන්තය.

60 දශකයේ ගැටවරයන්වූ අප 70 දශකයේ ජීවත්වීමට උත්සාහ දැරූ අතර තාත්තා ජීවත්වුයේ 80 දශකයේය. ඒ තරමටම ඔහු අපගේ සිතුම් පැතුම් හදුනාගෙන සිටි අයකු විය. ඔහු ජීවත් වූයේ අපට වඩා අවුරුදු 20 කට පමන ඉදිරියෙනි.

“තමුසෙ අද කොහෙද ගියේ?”

“පික්චර් එකක් බලන්න”

සැමවිටම ඍජුව පිලිතුරු දීම මගේ ස්වාභාවය විය.

“කවුරු එක්කද?”

“සරෝජිනී එක්ක”

“මට මල කරදරේ ඕයි ඒ කෙල්ලගෙ තාත්ත කඩේට ඇවිල්ල කියවනව”

මා කටුගස්තොට බස් පෝලිමේ සරෝජිනී සමග Sound of Music චිත්‍රපටය බැලීමට යාමට සිටිනාවිට ඇයගේ පියා අප දෙස රවා බලා ගිය හැටි මට මතක් විය.

“ඒක මාර වැඩක් නේ. සරෝජිනීගෙන් මම ඇහුව ෆිල්ම් එකක් බලමුද කියල. හා කිව්ව. අපි ගියා. “

“තමුසෙ ඕන එකක් කරගන්නව හොරෙන්. කාට අහූඋනත් අම්මට අහුවෙන්නෙ නැතුව. අම්ම මගේ ඔලුව කනව. දැං එතකොට අර කෙල්ලට boot එකද?”

මගේ කුඩාකල සිටම පෙම්වතිය වී සිටි අම්මාගේ ගාල්ලේ හොදම මිතුරියගේ දියණිය සම්බන්ධව තාත්තාගේ ආකල්පය ඉදිරිපත් කලේ ඒ අයුරිනි.

“ පිස්සුද තාත්තෙ film එකක් බැලුවම මොකද වෙන්නෙ”

ඉතා ප්‍රසන්න පෙනුමකින් සිටි අපේ අම්මා තාත්තාට වඩා අවුරුදු 16 කින් බාල බවත් තාත්තාගෙ ප්‍රථම ප්‍රේමය අම්මා නොව ලොකුඅම්මා බවත් අප හට ඒත්තු යනවිට අයියාත් මමත් හිටියේ පෙර කී පරිදි නැට්ටට කිරි එරෙන වයසේය. තාත්තා එදවස බොහෝවිට ව්‍යාපාරික වැඩවලට ඉන්දියාවට යෑම සුලභ කරුනක් වී ඇත. එක් අවස්ථාවක තෑගි බෝගත් රැගෙන සිය නිහඩ පෙම්වතියවූ ලොකු අම්මා බැලීමට පැමිනෙන විට ඇය දීග ගොස් තිබුනි. වෙලාවේ හැටියට නිරුත්තරවූ ආච්චි, අම්මාව ඉදිරියට ඇර ජාම බේර ගත්තේලු.

නංගි පෙන්නා අක්කා දුන් වකවානුවක අක්කා පෙන්නා නංගී දුන් කල තාත්තා සිය ව්‍යාපාරික ඥානය යොදා එය වඩා හොද ආයෝජනයක් යැයි සිතන්නට ඇත. කෙසේ නමුත් තාත්තා අම්මාට අවසන් මොහොත දක්වා අසීමිතව ආදරය කල බව රහසක් නොවීය. එවැනිමවූ ආදරයක් හා සෙනෙහසක් අපටත් තාත්තාගෙන් ලැබුනි.

තාත්තා සැමවිටම සිරිත් විරිත් අවඥාවෙන් බැහැර කලේය. පංසල හා භික්ෂුන් අරහංය. සිල් ගැනීම තබා පන්සිල්වත් දැනගෙන සිටි බවක් මම නොදනිමි. එහෙත් ඔහු දැන හෝ නොදැන පන්සිල් රැකි පුද්ගලයෙක් බව අප හොදාකාරව දැන සිටියෙමු. කිසිදිනක මත්පැන් හෝ දුම්වැටි පානය කලේ නැත. බොරුකීවේ විහිලුවට පමණි. සවසට ගෙදර එන්නේම කුමක් හෝ බොරුවක් පටලවාගෙනය.

“අම්මි අද මාර වැඩේනේ උනේ”

ඔයනම් කියන්න යන්නේ අතිශයෝක්තියක් බව අම්මා ඇතුලු අප සියලු දෙනාම දැන සිටියත් අප සියලු දෙනාම ඉතා ආසාවෙන් අසා සිටිමු.

“කඩේට ආව භාණ්ඩයක් …..ශූ….මෙන්න පස්ස ඇඹරුව ඇඹරිල්ලක්” කියමින් තාත්තා කැට්වෝක් එකක් සාලය මැද දමා අපව හිනස්සවන්නේ අම්මා තරහ ගස්සමින්‍ ය.

පොඩිඋන් ඉන්නවද බලන්නෙත් නෑ කියමින් අම්මා ගස්සගෙන කාමරයට යනවිට තාත්තා අම්මාව බදාගන්නේ අප ඉදිරියේදීමය.

හාස්‍යය මුසුවූ එවැනි ක්‍රියා කෙසේ හෝ මටද මගේ දරුවන්ටද පසු කලෙකදී උරුම වූවත් අදටද මා හට ගැටලුවක් වී ඇත්තේ එය මාගෙ එකම බෑනාටද උරුම වූයේ කෙසේද යන්නය. කවදා හෝ මෙය කියවන ඔහු “When in Rome do as Romans do” වැනි පණ්ඩිත වාක්‍යයක් හෝ “පිස්සොත් එක්ක ඉන්නකොට පිස්සෙක් වගේ ඉන්න එක ශරීර සෞඛ්‍යය ට ගුනයි” කියා හෝ කියනු ඇත.

සතුන් මැරීම හෝ හිංසා කිරීම මදුරුවෙකුටවත් සීමා නොකල ඔහුට ගෙදර සිටි බලලා අප නිවසේ සිටි පස්වන දරුවා විය.

“අද අක්කල කන්න දුන්නෙ නෑ?”

අසමින් බලලා සුරතල් කරන්නේ නංගිලා අවුස්සමින්‍ ය. පොඩි නංගී ලග පාතක හිටියොත්,

“වරෙං නංගියේ මෙහාට කේලම් කියන්නෙ නැතුව”

වැනි කට කැඩිච්ච කතාවක් කියන්නේ අම්මා හැර අප පවුලේ සැමට උරුමයෙන් හිමිව තිබූ එකිනෙකාට මඩ ගැසීමේ සහජ හැකියාව ප්‍රදර්ශනය කරමිනි.

ලොකු අම්මාටද අසීමිතව ආදරය කල තාත්තා තුන්වන ශීක්ශාපදය කැඩුවාදැයි සමහර අවස්ථාවලදී මට සිතුනත් අම්මාට තරමටම මම ලොකුඅම්මාටද ආදරය කල හෙයින් එම සිතිවිල්ල පසුපස කිසිදිනක හඹා නොගියෙමි. ගාල්ලේ සිටි ලොකු අම්මාගෙ දූදරුවන්ද නිවාඩුවට බොහෝදුරට මහනුවර අපේ නිවසට පැමිනෙන අතර පුතුන් දෙදෙනානම් බොහෝදුරට ජීවත්වුනේ අප නිවසේය.

අප සියලු දෙනාටම නිවස ඉඩ මදිවන සෑම අවස්ථාවකම තාත්තාට අමුතුම තාලයේ ලෙඩක් වැලදේ. එක්කෝ ඇදේ නිදාගන්න බැරි ලෙඩකි. කෑම මේසයට වාඩිවූවිට ඔහුට අඩුවෙන්ම ඇති කෑමක් අප්‍රිය වෙයි. පසුකලෙකදී මෙම අසනීපයම මා හටද වැලදී ඇති බැව් මගෙ දරුවන් බොහෝවිට පවසා ඇත.

දේශපාලනිකව උග්‍ර දක්ශිණාංශකයෙක්ව සිටියත් කිසි දිනක අන් අය මෙන් වාද විවාද වලට පැටලුනේ නැත.


අපේ තාත්තා

අපේ තාත්තා අපගේ ජීවිත වලට ඇතුලත් වූයේ එසේත් නැත්නම් අප ඔහුගේ ජීවිතයට ඇතුලත් වූයේ දෛවෝපගත සිදුවීමක් තුලිනි.

වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකුවූ ඔහු සාමාන්‍ය පවුලක වූවද, පෙම් සබඳතාවයක් ඇතිකරගත්තේ ගමේ සිටි ප්‍රසිද්ධම පවුලක රූමත් තරුනියක් සමගය. පෙම් සබඳතාවය කෙතරම් තියුනුවීදයත්, ඔහුගේ වචන වලින් කියැවුනු පරිදි “ඉතාම කචඩ” මිනිසෙකුවූ සිය මාමණ්ඩිය වෙන විකල්පයක් නොමැතිමවූ හෙයින් සිය දියණිය විවාහ කරදී ඇතත් තරුන වියේදීම ඇය සිය හයවන දරු ප්‍රසූතියේදී මිය ගියාය. දරුවන් පස් දෙනෙකු සමග ඔහු අතරමං වූයේ කුඩාම දියණියට අවුරුදු දෙකක්වත් සම්පූර්ණ වී නොතිබුනු අවධියකය.

ඉතාමත් කඩිසර පුද්ගලයෙක් වූ ඔහු විශ්‍රාම දිවිය ආරම්භ කලේ කොප්පරා ව්‍යාපාරිකයකු හැටියටය. නිවසක් සෑදීමට වත්තේ තිබූ කොස් ගසක් බිම හෙලූ ඔහු මිනිසුන් යොදා නිවසට අවශ්‍ය ලී ඉරා ගත්තේ සියලුම වියදම් සතේට ගනන් හදමින්‍ ය. කවදත් මුදල් පරිපාලනයෙහි දක්ශයෙකු වූ ඔහු හට ලී ඉරා වෙළෙඳාම වඩා ලාභදායී බව තේරුම් යාමට වැඩි වේලාවක් ගත නොවූ බැව් මාහට පසුකලෙකදී පැවසීය. එ අනුව ඔහු ලී වෙලදාමෙන් ලක්ශපතියෙකු විය.

ඔහු තදින්ම විශ්වාස කල කරුනක් වූයේ මේ සියල්ල හිච්චි දුවගේ වාසනාව යැයි කියාය. ඔහුගේ හුරතලිය වී සිටියේද හිච්චි දුවය. හිච්චි දුව මගේ පෙම්වතිය වී සිටියේ අප දෙදෙනා කුඩාකල සිට වුවද, ඒ සම්බන්ධව හාංකවිසියක් ඔහු දැනගෙන සිටියේ නැත. ලොකු දුව දීගදීමෙන් අනතුරුව හිච්චි දුව දීග දීම ගැන සිතමින් සිටි මොහොතක ලංකාවේ ප්‍රසිද්ධ පාවහන් වෙළෙඳ ව්‍යාපාරිකයෙකුවී සිටි ඔහුගේම ඉතා හිතවත් මිතුරක ගෙන් මංගල යෝජනාවක් ආවේ ඉතාම අනපේක්ෂිත අවස්ථාවකය. වැඩි යමක් නොසිතා එයට කැමැත්ත පලකල ඔහු හදහන ඉල්ලා සිටියේ එවන් සිරිත් සතේකට මායිම් නොකලත්, චාරිත්‍ර පිලිබඳව නෑදෑයින් ගේ නෝක්කාඩු ඇසීමට තිබූ බලවත් අකමැත්ත මතය.

මේ වනවිට මම මාගේ ප්‍රථම රැකියාව ආරම්භ කල මුල්ම අවධිය හේතුවෙන් තරමක අස්ථාවර භාවයකින් සිටියෙමි. ඉහ මොල රත්වූයේ ඇය මට එවන ලද ඊලග ලිපියේම ඉක්මනටම කුමක් හෝ කරන්නැයි ආයාචනය කර තිබූ බැවිනි. පසුදිනම ගාල්ලට පැමිණි මම ඇයගේ අක්කා මුණගැසී කරුනු ඉදිරිපත් කර සිටියේ වැඩේ වැරදුනොත් බලෙන් හෝ ඇයව ගෙනයන බවට මුරණ්ඩු පදයක්ද එකතු කරමිනි.

ඉතාම සාධාරණ මිනිසෙකුවූ ඔහු වැඩි කලක් නොගොස්ම මගේ තාත්තාගේ හා අම්මාගේද ආශිර්වාද මධ්‍යයේ අපේ තාත්තා වූයේ අප දෙදෙනා අතර වැලිකෙලියේ සිට තිබූ ප්‍රේමය මල් පල ගන්වමිනි.

තරුණ වියේදීම තම ආදරණීය බිරිඳ අහිමිවූ ශෝකය දරාගත් ඔහුහට යන්තම් හෝ අස්වැසිල්ලකට ගෙදර සිටි එකම දියණිය පිටස්තර යෙකුට පෙම් බැදීම දරාගත්තේ කෙසේදැයි මාහට නොයෙක් වර සිතුනද, “පිලිමෙ ගිලපු යකාට අග්ගලෙත් කජ්ජක්දැයි” සිතුනි.

අපේ තාත්තා දක්ශ ව්‍යාපාරිකයෙකු පමනක් නොව අසීමිතව කිරි එලදෙනුන් හට ආදරය කල මනා සෞඛ්‍යය කින් හෙබි අනර්ඝ ගොවියෙක්ද විය. ඔහුගේ නිර්භීත ගති මනාව පිලිඹිබු කල අවස්ථාවන් එමටය.

මා බින්න බැස සිටි මුල් අවධ්යේ එක් දිනක වැස්සියක් කුලප්පුවී වත්ත කෙලවර සිටින බව ඔහුට සේවකයෙක් පැමින කියන විට මමද එතනය.

“ ඉන්න තාත්තෙ මම ගිහිල්ල බලන්නම්”

කියන විටත් මගේ බිරිද හිකිස්ගා සිනාසුනේ චන්ඩිය වෙන්නෙ නැතුව ඉන්නවා කියන්නාක් මෙනි.

අපේ තාත්තාද දුවගේ සිනහවට රුකුල් දෙමින් සිනාසෙනු ඇස් කොනකින් දුටු මම හරි බලමුකෝ කියන්නාක් මෙන් ඉස්සර වුනේ තාත්තා රැහැන් පටක් සොයන අතරතුරදීය. කුලප්පුවී සිටි එලදෙන කවුද යකෝ මේ එන ගොබිලා කියන්නාක් මෙන් නාස යෙන්  හා කටින් පිඹිමින් මා ඉදිරියට එනු දුටු මට අම්මාගෙන් බිව් කිරි මදිවී ලොකු අම්මගෙන් බිව් කිරිද මතක්වී කකුල් දෙක පණ නැතිවී ගියා මතකය.

“ඔහෙ හිටු වැස්සි” කියමින් ඉදිරියට ආ තාත්තා දුටු එලදෙන ගල්ගැසුනාක් මෙන් එකතැන හිටගත් සැටි දුටු මම තුශ්නිම්භූත වුනෙමි. තව මොහොතක් තාත්තා ප්‍රමාද වූවානම් කුඩාකල ජංගියේ චූ කරගත්තාට පසු ඇදුම් සේදූ අම්මාගේ රාජකාරිය මගේ බිරිඳට කරන්නට සිදුවනු නොඅනුමානය.

අපේ තාත්තාද සිරිත් විරිත් විකාර ලෙස හැදින්වූ නිරාගමිකයෙක් වූවත් තරුන වියේදීම වියෝවූ සිය ආදරණීය බිරිඳ සිහිකර සෑම වසරකම සාංඝික දානයක් පිරිනැමීම නොකඩවා කලේය. උග්‍ර වාමාංශික අදහස් දැරූ ඔහු මා සමග නිරන්තරයෙන් පැටලුනද කිසිදිනක මා හා නෝක්කාඩුවක් ඇතිකර නොගත්තේය.

කිසිදිනක පන්සිල් නොගත් ඔහු ස්ථීර වම පන්සිල් අකුරටම පිලිපැදි කෙනෙකු විය.

මගේ තාත්තා සහ අපේ තාත්තා සම වයසේ සිටි අය විය. අවුරුදු 95ක ආයු කාලයකින් පසු මගේ තාත්තා දිවියෙන් සමුගත් අතර අපේ තාත්තා දිවියෙන් සමු ගත්තේ අවුරුදු 107ක ආයු කාලයකින් පසුවය.

මගේ තාත්තාට මෙන්ම අපේ තාත්තාටද මා විටෙක කරදරකාරී පුතෙකු වුවද ඔවුන් දෙදෙනාම මටත් මගේ බිරිදටත් අසීමිතව ආදරය කල බව නොරහසකි.

“තාරුන්‍යය ස්වාභාවිකය. වයස කලාත්මක නිපැයුමකි” කවුරුන් හෝ මෙය කියන්නට ඇත්තේ මගේ තාත්තාත් අපේ තාත්තාත් හොදින් දන්නා කෙනෙකු විය යුතුය.

ලෙඩ දුක් ගැන මාගෙ මිතුරන් අසාසිටින හැම මොහොතකම මා ඔවුනට පවසන්නේ,

“ යකෝ මගේ තාත්ත almost century අපේ තාත්ත century දැනගනිං” කියාය.








Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget