තවම දළු දමනවා 2

තවම දලු දමනවා… මගෙ නොවන ආදරය...

අපේ සිත් සොරා ගත්
තරු තුනේ තට්ටුගෙයි
බැල්කනියෙ පෝච්ච්යෙ
ආදරය කැටිකරං
පැලකරපු රෝස ඉති
තාම දලු දානවා

මහ පොලොව දැක නොමැති
පිනි බිඳක පහස නැති
පිරි පහදු කල දියෙන්
ගතට සිසිලක් අරං
සලාකෙට හිරු ඇවිත්
තවම දලු දමනවා

සුමුදු පහසක් නොමැති
නිහඬ ආදරය ගෙන
සෙනෙහෙ ගඟ සිසාරා
වත දැවටු සේලයෙන්
පෙති විදා නෙක පාට
තවම දලු දමනවා

ස්නේහයෙන් සමුගන්න
ආදරෙන් වෙන් වෙන්න
ඉඩ නොදෙන දෛවයට
මල් පොකුරු බිහිවෙන්න
කඳුලු කැට පොහොර කර
තවම දලු දමනවා


කඳුලු කැට…..

මාස කීපයක්ද… සති කීපයක්ද…. දවස් කීපයක්ද… කියන්න තරම් වත් සිතන්න බැරි ගානටම මගේ හිත ව්‍යාකූල වෙලා… අපේ පුංචි කැඳැල්ලට අන්තිමටම ආපු දවස මතකයට එන්නෙම නැතත් එදා ඒ සිද්ධිය වචනයක් නෑර මගේ මතකයේ සනිටුහන් වෙලා තියෙනව… ඒක සදා නොමැකෙන අඳුරු පැල්ලමක් විදිහට සදාකල් මගේ මතකයේ තියේවි; අපේ ජීවිත සෙනෙහසින් ආදරෙන් පිරුනු හැටි සුන්දර මතකයක් හැටියට සදාකල් මගේ මතකයේ තියේවි; ආදරයේත් විරහයේත් සංකේතයක් ලෙස නිමක් නැති සයුරු තෙර සදාකල් තියේවි …. මින් ඉදිරියට මගේ ජීවිතේ මට උරුම, පරණ, සුපුරුදු විදියටම ගලාගෙන යාවි…. 

ගාලු මුහුදු තීරයට මුහුන දාල අළුතින්ම හදාපු තට්ටු නිවාසයක් ගන්න මම පෙලඹුනේ ඒක අපේ මුළු ජීවිත කාලෙටම රහසිගතව තියාගන්න පුළුවන් කියලා හිතාගෙන විතරක්මත් නෙමෙයි; එයත් එක්ක කරපු දීර්ඝ සාකච්ඡාවකටත් පස්සෙ. ඒක හැමපැත්තෙන්ම සුදුසුයි කියල තීරණය කරපු නිසයි... සියලුම නීති කටයුතු එයාම කරල දුන්නෙ මට විශ්ව විද්‍යාල මහාචාර්යවරියක් හැටියට ඒ ගැන හසල දැනුමක් නොතිබුන නිසාමයි… ඔප්පු ලියන්න ගිය වෙලාවෙ මම දැක්ක එයාගෙ ජාතික හැඳුනුම් පතේ සඳහන් වෙලා තිබුන උපන් දිනේ… මට වඩා හරියටම අවුරුදු දහඅටක් එයා වැඩිමහල්…. ඒක අපේ බැඳීම් තව තවත් තීව්‍ර කලා මිස දුර්වල කලේ නෑ.

මගේ එකාකාරී ජීවිතයට විශාල වෙනසක්  ඇති කල අපේම තෝතැන්නක් හැටියට අපි එතන පාවිච්චි කරන්න තීරණය කලේ එයාගෙත් පූර්ණ අනුමැතිය ඇතිවමයි… මොකද්දෝ නොපෙනෙන බලවේගයක් අපේ බැඳීම් කිසිදා වෙනස් නොවෙන්නම ශක්තිමත් කලා… මම ජීවිතේට නොහිතපු විදියට මගෙත් එයාගෙත් ඒ සිහින මාලිගාව මහ මූදෙන් සුනාමියක් වගේ ආපු තුන්වන පාර්ශ්වයක් සුනු විසුනු කරලා දැම්ම. 

"ඩොක්ට… ඔයා මේක ඔයාගෙම නමටද ගන්න හදන්නෙ…. නරකද පුතාගෙ නමට ගත්තොත්"
.
කොච්චර කිව්වත් එයා මට කථා කලේම ඩොක්ට කියල මගේ ආචාර්ය උපාධිය නිසා; එයා ගාල්ලෙ උසාවියෙ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥයෙක් නිසා දුර දිග බලලා මට දෙන අවවාදයක් හැටියට… මට ඕන කරල තිබුනෙ මේක ඉතාම රහසිගතව තියෙන්න; ඒක නිසා මම මගේ නමටම ගත්තා… මගේ මහත්තයාවත් පුතාවත් මේකට ගාවගන්න මම කැමති උනේ නෑ…. කවද හරි එලි කරන්න වෙන රහසක් උනත් මම තීරණය කලා රහසක් හැටියට තියාගන්න.

කවදත් එයා මට කිව්වෙ යකඩ ගෑනි කියල… ඒත් මගේ හිත ඉක්මණටම උනුවෙනව කියලත් එයා හොඳින්ම දැනගෙන හිටිය…. එහෙම උණුවෙලා බොලඳ වැඩ කරනකොට එයා ඒකෙන් ප්‍රයෝජන අරගෙන මටම විහිලු කරන වෙලාවල් අනන්තයි… ඒ වෙලාවට මම බොරුවට තරහක් මූණට ආලේප කරගත්තම ඒකටත් එයා ප්‍රතිචාර දක්වන්නෙ එයාගෙ කළු කෝට් එක අමතක කරලා වගේ ඇත්තටම මගෙන් සමාව අරගෙන… එහෙම කරල මමම දිනුම ගන්නව… අපි දෙන්න හැමදාම වගේ මේ පුංචි කැදැල්ලෙ කාටත් හොරා මුණගැහුනේ හරිම සතුටෙන්… ඉඩ තියෙන හැම වෙලේම අපි මෙතනදි හමුවෙලා ගතකල හැම තත්පරේකදිම මම අලුත් ජීවයක් ලැබුව…. එයා ඉන්න තැන මගේ පාලුව කොහේ යනවද කියල හිතාගන්නත් බෑ.

අපේ පුංච් කැදැල්ලෙ අපි එකතුවෙලා අහපු සිංදු වලින් ආසම සිංදුවක් තමයි සුනිල් එදිරිසිංහගෙ "අහස පොලොව වටපිටාව හරිම හිස් තැනක්… ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්" එයා ඉන්න තැන මට දැනුන සතුට… අපි බෙදාගත් සෙනෙහස, මගේ එකාකාරී ජීවිතයේ, පාලුව කාන්සිය මකන්න සමත් උනා… අපි වැඩිහිටියන් හැටියට ඉතාම සංවරව ආදරේ කලා කිව්වොත් වඩාත්ම නිවැරදියි… ඒ ආදරය තුල රාගයට ඉඩක් ලැබුනෙම නෑ… ඒ තරමටම අපි අහිංසක ආදරයක් බෙදා හදාගත්ත.

අද මම තීරණයක් ගත්තෙ හිත හදාගෙන තනියම අපේ පුංචි කැඳැල්ලට යන්න හැම සිද්ධියක්ම අතීතයට එකතු කරල… අපි අනිත් පෙම්වතුන් වගේ සිහින මාලිගා මැව්වෙ නෑ… අත් අල්ලගෙන මල්වතු වල ඇවිදින්න ගියෙත් නෑ… ඔයා නැති උනොත් වහ බොන්න කථා උනෙත් නෑ… මම මගේ මහත්තයගෙ වැරදි එයා එක්ක කිව්වෙ වත් එයා එයාගෙ නෝනගෙ වැරදි මගෙත් එක්ක කියෙව්වෙත් නෑ…. ඒත් අපි දෙන්නටම දෙන්නව නැතුවම බැරි උනා.

වාහනේට නැගලා පන ගන්නන කොටම මගේ හිත අතීතෙට ගියේ ආයාසයකින් තොරවම.

=========================

එදා සඳුදා දවසක් නිසා උදේ පාන්දරින්ම මම ගාල්ලෙ station එකට ආවෙ පහේ කෝච්චියෙ කොළඹ රාජකාරි වැඩකට යන්න… මහත්තය මාව බස්සල යන්න ගියේ එයා පුතාත් ඉස්කෝලෙට දාල වැඩට යන්න ඕන නිසා… පෙනි පෙනිම කෝච්චිය ඇද්ද… 

"ශා… මිස් උනා නේ…"

එහෙම කියාගෙනම එයා මගෙත් එක්ක හිනා උනා… සාමාන්‍යයෙන් මහපාරෙදි පිරිමින්ට ප්‍රතිචාර නොදක්වන මට එදා ඒ ප්‍රතිපත්තිය අමතක වෙලා ගියේ දෛවය අපි දෙන්නගෙ කථාවෙ පලවෙනි පිටුව එවේලෙ පෙරලන්න නියම කරල තිබුන නිසා වෙන්න ඇති.

" මටත් නූලෙං මිස් උනේ…" 

එහෙම කියන ගමන් මම එයා වෙත මගේ තීක්ෂන බැල්ම දැම්මෙ මෙයා මොන වගේ කෙනෙක්ද කියල හිතාගන්නත් එක්ක රෝග විනිශ්චයක් කරන්න උත්සාහ කරන වෛද්‍යවරියක් වගේ… එයත් මගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියෙ මම ග්‍රහ ලෝකෙකින් ආපු එකියක් කියල හිතාගෙන වෙන්නැති… ඒත් ඒ විනිවිද යන බැල්ම මාව ඇත්තටම වෙනත් ග්‍රහ ලෝකෙකට ගෙනියනව වගේ දැනුන…. ආත්ම ගානක් පුරාවටම ඒ බැල්ම මගේ හිතේ කොහේදෝ පැලපදියන් වෙලා වගේ දැනුනත් මම ඒ හැඟීම මනස්ගාතයක් කියල ආයාසයෙන් බැහැර කලා.

ඊලඟ දුම්රියට තව පැයක පමණ කාලයක් ඉතිරිව තිබුන නිසා අපි කොළඹට  දෙවෙනි පන්තියේ ටිකට් අරගෙන වේදිකාවෙ අසුන්ගත්තෙ වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා නොතිබුන නිසා… නන්නාඳුනන කෙනෙක් එක්ක මේ විදියට වාඩිවෙලා කතාකරන එක මට ගොඩක් ආධුනික උනත්, එදා මට ඒකෙ වෙනසක් තේරුනේ නැත්තෙ එයාගෙ මුල ඉඳන්ම මා වෙත දක්වපු ආචාරශීලී ප්‍රතිචාරය නිසා වෙන්න ඇති කියල මට හිතුන.

" ඔයා … කොළඹ වැඩට යනවද?"

ඒ වචන පේලියෙ මොකද්දෝ අඩුවක් මට තේරුනා. මට හිතුන එයා ඇත්‍තටම මගෙන් ඇහුවෙ "කියන්න අකමැති නම් මට සමාවෙන්න " කියලයි එයාගෙ ඇස් දෙක දිහා බලපු මට තේරුනේ… එයාට ලස්සන ආදරේ කඩා හැලෙන ඇස් දෙකක් තියෙනව කියල මට ඒ වෙලේ තේරුනේ එක එල්ලෙ එයාගෙ ඇස් දිහා බලාගෙන හිටපු නිසා වෙන්න ඇති… පසු කාලෙක ඒ ඇස් වලට මම හිතෙන් ආදරේ කලේ හරිම පරිස්සමින් එයාට නොපෙනෙන්න ඒ ඇස් දිහා බලාගෙන ඉඳල…. ඒ ඇස් දිහා බලන්න මොකද්දෝ කෑදර කමක් මගේ හිතට ඇතුල් වෙලා තිබුන.

"ඔව්.. මම රුහුණු කැම්පස් වැඩ කරන්නෙ… අද වැඩකට කොළඹ යනව"

මම පැකිලෙන්නෙ නැතුවම උත්තර දුන්න.

එතනින් පටන්ගත්ත කථා බහ ඉවර උනේ දෙවෙනි පන්තියේ එක ලඟ සුව පහසු පුටු දෙකක වාඩිවෙලා කොටුවටම ගිහිල්ල එලියටත් ආවට පස්සෙ.

එයා විවාහක එක් දරු ජනාධිපති නීතිඥයෙක් හැටියට ගාල්ලෙ උසාවියෙ  වැඩ කරන කෙනෙක්…. හොඳ දැනුමක් තියෙන සාර්ථක විවාහ දිවියක් ගෙවන, විවාහක එකම පුතාත් සමග විනෝදයෙන් ජීවත් වන සීය කෙනෙක්…. එයා ගැන එයාම කියාපු දේවල් එක්ක මගේ ජීවිතේ සංසන්දනය නොකරන්න මම හිතා ගත්තත් දිගටම ඒක ඉබේටම වගේ මගේ හිත ඇතුලෙ නලියන්න පටන්ගත්ත.

මගේ ලමා විය ගෙවුනෙ පාසැලෙත් පොත් අතරෙත් විතරමයි… මට අනිත් යෙහෙලියන්ට වගේ පිරිමි ලමයි ගැන විශ්ව විද්‍යාලයට යනකම්ම කිසිම හැඟීමක් තිබුනෙ නැත්තෙ මගේ උපාධි උණ තදින්ම ඔලුවට ගහල තිබුන නිසා වෙන්න ඇති… මෙයාගෙ පාසැල් ජීවිතය ගෙවිල තියෙන්නෙ අන්ත දඩබ්බරයෙක් හැටියට වැඩි හරියක් මහපාරෙ නැත්නම් පිට්ටනියෙ…. හුඳෙක්ම සහජ හැකියාව සහ වාසනාව මතම යැපිල ජීවිතේ ජය ගත්ත කෙනෙක්…. මට මගේ සුන්දර ලමා විය මග හැරුනාද කියල හිතෙන තරමටම එයාගෙ පාසැල් ජීවිතේ ලස්සනයි කියල මට හිතුන…. මට ඉරිසියා හිතුනත් මමත් ඒ වෙලාවෙ එයාගෙ දඩබ්බර විනෝදකාමී ජීවිතේ හිතෙන් අත්වින්දා.

ජීවිතේ සැඳෑ සමයෙ ඉන්න එයා හරිම සැහැල්ලුවෙන් ඉන්න විදිය එයාගෙ කථාවෙන්, කථා විලාශයෙන්, ගමන් විලාශයෙන්, ඇඳුම් පැලඳුම් වලින් හා ක්‍රියාවෙන් මට තේරුනා…. වයෝවෘද්ධයෙක් උනත් කෝච්චිය නවත්තන්නත් කලින් පැනලා සීට් එකක් අල්ලගෙන වේදිකාවට ඔලුව දාල මට කතාකරල ඉඳගන්න කියනකොට මගේ හිතට ආවෙ මූ නම් යකෙක් කියන්න වගේ හැඟීමක්…. ඒ වෙලාවෙ මම එයාව මගේ මහත්තයගෙ චරිතෙත් එක්ක සංසන්දනය කලත් එහෙම කරන එක වැරදියි කියල ආයාසයෙන්ම හිතන්න ගත්ත. 

එයාගෙ අතේ තිබුන නවකතාව මොකද්ද කියල මම ඇහුවෙ පොතේ නම ඇහැ කොනින් කියවල බොහෝ වෙලාවකට පස්සෙ. " If tomorrow comes" by Sydney Sheldon. මම අහල තිබුනත් Sheldon ගෙ පොත් එකක්වත් කියවල තිබුනෙ නෑ… මම මුළු ජීවිතය පුරාවටම අධ්‍යාපනික පොත්වලට අමතරව කියවලා  තිබුනෙ දිනපතා පුවත්පත් සහ සඟරා පමණයි… ඕනම මාතෘකාවක් මත සුහද සාකච්ඡාවකට ඇතුල්වීමට සූදානම් මනසක සිටිය මට තරමක චකිතයක් මෙයා ඉදිරියේ ඇති උනා.

එයාගෙ තක්සේරුව මට ඉංග්‍රීසියෙන්ම කිව්වෙ "He is one of the best novelists … and…. I have read all his books. This is not the first time I am reading this book… His ability to weave a fictitious plot is unparalleled" කියල….. මම ඒ ගැන කථිකාව දිග්ගැස්සෙන්න නොදී එයාගෙ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න උසාවිය ගැන කථාකරන්න ගත්ත.

මගේ හිත මගේ ජීවිතේ ගැන ගොඩක් පණිවිඩ දෙන්න ගත්ත… මට ජීවිතේ අතපහු වෙලාද කියල හිතුන… උපාධියෙන් පස්සෙ පශ්චාත් උපාධිය වෙනුවෙන් වෙහෙසුනා… ඊලඟට කසාද බැන්දෙත් අපි හරියකට ආදරේ කරලත් නෙමෙයි… මගේ මහත්තය පුද්ගලික අංශයෙ ලොකු තනතුරක හිටපු නිසාත් ගාල්ලෙ ප්‍රසිද්ධ පවුලක එකම දරුව නිසාත් හරිම අහිංසක පාඩුවෙ ඉන්න කෙනෙක් නිසාත් මම කැමති වෙලා බැන්ද…. මට ජීවිතේ එක් පැතිකඩක් මගහැරිල කියලා තේරුම් යන්න ගත්ත…. මගේ මුළු ජීවිතේම අධ්‍යාපනයටත් රැකියාවටත් කොටුවෙලා නේද කියල හිතුන.

මගේ ජීවිතයටත් මේ වගේ කෙනෙක් ඇතුලු උනානම් කියන ආත්මාර්ථකාමී සිතිවිල්ල මගේ හිතේ මතුවෙලා එන්න හදනකොටම මම ආයාසයෙන් ඒක මැඩගත්තත් ආයෙත් මුණගැහෙන අදහසින් අපි ජංගම දුරකථන නොම්මර හුවමාරු කරගත්තා…. පලමුවන දවසේම මුණගැසුනු පිරිමියෙකුට මගේ ජීවිතේ පලමුවන වතාවට කිසිම පැකිලීමකින් තොරවම මගේ ජංගම දුරකථන නොම්මරය දුන්නෙ ඉඩ තියෙන වෙලාවක කථා කන්න කියලා.

=====================================

එතනින් පස්සෙ නිතර දෙවේලෙ මුණ නොගැහුනත් අතරින් පතර අපි හමු උනා. එයත් එයාගෙ පවුලේ උදවියත් අපේ පවුලත් හිත මිතුරන් බවට පත් උනා…. ගෞරවය මුල් කරගත් හිතවත්කමත්, අපේ නිවාස වැඩි ඈතක නොවීමත්, මම එයාගෙත්, එයා මගෙත් අදහස් වලට දක්වපු සතුටුදායක ප්‍රතිචාර නිසාත් අපේ ඇසුර දිනෙන් දින වැඩි උනා… මගේ මහත්තයගෙත් එයාගෙ නෝනගෙත් ප්‍රතිචාර ගොඩාක් සුහදහීලී වෙනකොට අපේ ඇසුර තව තවත් තීව්‍ර උනා.

මම නිතරම මගෙන්ම ප්‍රශ්නයක් අහලා මමම ඒකට උත්තරේ දීලා මගේ සංවේදී හැඟීම් ආයාසයෙන් යටපත් කරගත්ත…. මම මේ වයසක මනුස්සයට ආදරේද කියල මගෙන්ම අහගත්ත වාර අපමනයි.... ඒ හැම වෙලේම නෑ මම කිසිකෙනෙකුට ආදරේ නෑ කියල මටම කියාගත්ත….  අපි දෙන්න අතරෙ අවුරුදු විස්සක විතර තිබුන පරතරය ඒකට ගොඩාක් දුරට ඉවහල් උනා කියලා මම හිත හදාගත්ත.

එයා මට හැමවෙලේම කථා කලේ ඩොක්ටර් ප්‍රියන්ති කියල…  මමත් එයාට කථා කලේ මිස්ට නලින් කියල…. ඒත් අපි දෙන්නම හිතෙන් එකිනෙකාව ආමන්ත්‍රණය කලේ කෙලින්ම නම් වලින්…. හැඟීම් බර වෙන අවස්ථාවලදි උනත් මම එයාගෙ නම කියන එක මග ඇරියා…. එයානම් මට අතරින් පතර නමින් කථාකලා…. එහෙම වෙලාවට ඒ වචන වල මොකද්දෝ අමුත්තක්, හැඟීම් බර බවක් ගැබ් වෙලා තිබුන…. එයා මට නමින්ම කථා කරන එකට මගේ විශාල ආසාවක්, කෑදරකමක් තිබුනත් මම ඒකට අනුබල දුන්නෙ නෑ…. අවිවාදයෙන්ම ඉබේම වගේ අපි දෙන්න ලංවුනත් ඒක යටපත් කරන්න මම උත්සාහ කලා… මට බොහෝ වෙලාවල තේරුනා එයා නම් එහෙම ආයාසයක් නොදරන විත්තිය.

"මම ප්‍රශ්නයක් අහන්න ඔයා මට ඇත්තම කියනවද?"

දවසක් මම ඔය විදිහට කථාව පටන්ගත්තෙ මගේ හිත මටම වද දුන්න නිසා වෙන්න ඇති.

"මොකද්ද … කියන්න"

එයා උත්තර දුන්නෙ සමහරවිට මගේ ප්‍රශ්නෙ මොකද්ද කියල දැනගෙනම වෙන්නත් ඇති.

මට කෙලින්ම උවමනා වෙලා තිබුනෙ "ඔයා මට ආදරේද" කියල අහන්න. ඒත් ඒක අහන්න තරම් හිත එඩිතර කරගන්න මට බැරි උනා. එහෙම ඇහුවනම් මම දන්නව එයා ඔව් කියනව…. ඒකට මම භය උනා.

"තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට… ඔයාට නෝනගෙන් පිට වෙන සම්බන්ධයක් තියෙනවද?"

මම අහන්න ගිය එක නෙමෙයි මගේ කටින් පිට උනේ…. ඒ වචන ටික පිට උන ගමන්ම මගේ හිතට මහා ලොකු ලජ්ජාවක් ඇති උනා ; අවුරුදු 16 කෙල්ලෙක් අහන ප්‍රශ්නයක් නේද මම මේ ඇහුවෙ කියල.

"ප්‍රියන්ති… මම ජීවිතේට බොරු කියන්නෙ නෑ" 

මම ඒකනම් විශ්වාස කරන්නෙම නෑ කියන්න කට ඇරිය විතරයි.

"උසාවියෙදි හැර … මගේ සම්බන්ධයක් තිබුන ගොඩ කලකට ඉහතදි… දැං නෑ"

එයා ඒ මොහොතෙ එයාගෙ ජීවිතේ ගොඩක් පස්සට ගිහිල්ල නේද මට ඒ උත්තරේ දුන්නෙ කියල මට හිතුනෙ එයාගෙන් නොදැනීම පිට උන දිග හුස්මත් එක්ක.

"ඔයාට මම ගැන මොකවත්ම හිතිල නැද්ද"

මම මගේ හිතට ලොකු ධෛර්යයක් අරගෙන ඇහුවෙ මේ වෙනකොට මෙයා මම ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනව කියල ලොකු විශ්වාසයක් තිබුන නිසයි.

"ඒ කිව්වෙ"

නීතිඥයෙක් වෙලත් එයා බබා වෙන්න හදනව කියල මට හිතුන.

"මම කිව්වෙ වෙන පිරිමින්ට වගේ යාලුවෙන්න අදහසක්"

"මමත් පිරිමියෙක්… මට එහෙම හිතිලම නෑ කියනවනම් මම ලොකූ බොරු කාරයෙක් වෙනව…. ඇත්තටම ඔව්… එහෙම හිතුන වාර අනන්තයි… ඒත් ඔයා සතුටිං ඉන්න කෙනෙක්… මම ඒ අතරට එන්න හොඳ නෑ… ඔයා ලස්සනයි… තරුනයි… ඕන කෙනෙකුට ආස හිතෙනව… ඒක මනුස්ස සොභාවය ප්‍රියන්ති"

එයා එහෙම කිව්වෙ ගොඩාක් හැඟීම් බරව… මමත් ගැහැණියක්… මේ මනුස්සයව බදාගෙන අඬන්න තරම් හැඟීමක් මගේ හිතට ආවත් ඒ සැනින් ඒ ආදර හැඟුම් පිටවෙලා ගියේ හරිම කුරිරු විදියට…. සමාජ පිලිගැනීම්, පවුල් සංස්ථාවේ පිලිගත් යැයි සම්මත සාර ධර්ම මාව පෙට්ටියකට දමලා අගුල් දාල වගේ දැනුන.

ඒත් මගේ හිතට ලොකු සතුටක් ආඩම්බරයක් ආවත් මම ඒක පෙන්නුවෙ නෑ… මගේ හදවතට වටිනාකමක් තියෙනව කියල මම හරියටම දැනගත්තෙ එදා කියල මට හිතුනා… මෙච්චරකල් මගේ වටිනාකම තිබුනෙ මගේ සිරුරෙත් සමාජ ස්ථරයෙත් විතරයි කියලයි මම හිතාගෙන හිටියෙ… මට ආදරේ කරන්න ඕන තරම් අය ඉන්නවා… ඒ අය මම ප්‍රතික්ෂේප කලත් ඒ කිසිම දෙයක් මගේ හදවතට දැනිලත් නෑ, මම ඒ ගැන දෙපාරක් හිතලත් නෑ…. ඒත් මෙතන වෙනස්ම ආදරයක් කියල හිතුනත් මම ඒ හැඟීම් ආයාසයෙන් යටපත් කරගත්ත.

" මම ඔයාට ගරු කරනව ඔයා මට ගරු කරනව වගේම… එහෙම දෙයක් අපි අතර ඇති වෙන්න ඉඩ තියන්න එපා "

මම එහෙම කියනකොට එයාගෙ හිත පලුදු වෙන්නත් ඇති… ඒ ගැන මට කණගාටුවක් නැත්තෙත් නෑ… ඇත්තම කියනවනම් මමත් මගේ හිත ඒ වෙලාවෙ රවට්ට ගත්ත… මගේ රැකියාවත් ජීවන රටාවත් කාර්‍යබහුල අතීතයත් එක්ක ආදරේ මට හිමි නෑ… එහෙම හිතල මම හිත හදාගත්ත….  ඒත් සත්‍යය ඒකම නෙමෙයි කියලත් මට හිතුන.

මගේ හිත මට වධ දෙන්න පටන් ගත්තත් ඒ වධය මට සුන්දර අත්දැකීමක් වෙන්න පටන් ගත්තෙ, "ඔයා මාත් එක්ක තරහ නෑ නේද" කියල මම එදාම එයාට යවාපු කෙටි පණිවිඩයට ආපු උත්තරය කියෙව්වට පස්සෙ.

හඳුනා ගන්නට ඔබ මා ......

මතකයේ සදා නොමැකෙන
සිහිනයකි ඒ හිමිදිරිය
මා ඔබ මුනගැසුනු
හදවතක් නැති යකඩ ගොඩ

එකම අසුනක එකට එක්වී
ගැස්සෙමින් පැද්දෙමින් ගෙවීගිය
දෙපැයම නිමේෂයක්ද
පිලිතුරක් නැති පැනයක්ද

අතරමං වෙලත් නැති
මංමුලා වෙන්න බැරි
අපට අපේම නොවන
අපේම ආදරයක්ද මේ

කවදා හෝ යම් මතු දිනක
නිසැකවම රිදුම හෝ මරණය
රුදුරුව අපට එරෙහිව
අපේ හදවත් බිඳ දමනු ඇති

ගෙතූ සිත්තම් මැවූ මන්දිර
බිඳිය හැකිවෙද අපේ සිත් තුල
දශකයක් දුරකට විහිද ගිය
අපේ මනසේ සොදුරු මතකය

කටුක පරිසරයක්  තුලදි හමුවූ
සොඳුරු පරිසරයක් තුලදි නිමවෙද
දයාවෙන් හා සෙනෙහසින් පිරි
මවෙත ඔබ පිදු සොඳුරු තිලිණය

නිතර දකින කෙනෙක්
නෙතට සොඳුරු ලඳක්
අපට අපේ නොවන
අපේම ලෝකයක්

එදා .. මම ඇඬුවද … මට ඇඬුනද…. ඒ දුකටද…. සතුටටද…. ? කියන ප්‍රශ්නෙට අදටත් මම පිලිතුරු සොයනව.

මම දෙලොවක් අතර අතරමංවෙලා වගේ තේරුනා…. මට එයාව ඕන….. මම කැමති නෑ මේ සෙනෙහස නැතිකරගන්න…. ඒත් මම දිය පාරකට ගහගෙන යනව වගේ එයාගෙන් ඈත් වෙනව නේද කියල හිතුන…. එයා මට ඉවුරෙ ඉඳගෙන කොච්චර අත දුන්නත් ඇයි මම අල්ලගන්නෙ නැත්තෙ… මගේ අතපහු උන ජීවිතේ සුන්දරම පැතිකඩට නේද මම මේ පිටුපාන්නෙ…

==========================

"I will not be able to see you today… Going out with someone"

ඔය වගේ කෙටි පණිවිඩයක් එන්නෙ හරිම කලාතුරකින්… මම වගේම එයත් අපේ ආශ්‍රයට ගොඩාක් ඇලුම් කලා… මට එයාව කොච්චර විශ්වාස උනත් චූටි ගෑනු අවිස්වාසයකුත් ඒ වෙලාවට ඇති වෙන්නෙ නැත්තෙමත් නෑ… එයාගෙ නිදහස එයාට භුක්ති විඳින්න ඉඩ තියෙන්න ඕන.. 

පහුවදා මුණ ගැහුනම ඊයෙ කොහෙද ගියේ කියල නෝක්කාඩු කියන එකත් මට මග අරින්නම බැරි උනා… ඒ වෙලාවට එයා හරිම අවංක විදිහට යාලුවෙක් එක්ක චුට්ටක් සෙට් උනා කියන්නෙ හරිම බයාදුවෙන් නිසා මම ඒ අවස්ථාව සතුටෙන් හා යම්කිසි ආඩම්බරේකින් විඳගන්නෙ චුට්ටක් එයාට දොස් කියල… ඒක අසාධාරණ උනත් මගෙන් එහෙම නෝක්කඩුවක් අහන්න එයත් ආසකලා… එතකොට එයාගෙ වටිනාකම වැඩි වෙනව කියලා එයාට හිතෙන්නත් ඇති.

එයා මගේ සාරිවලට පුදුම කෑදරකමක් තිබුනෙ… මමත් එක දිගටම වගේ එයාගෙ ෆෝන් එකට මගේ පින්තූර ඇරිය බලල මකා දමන්න කියල… ඒ හැම එකටම එයා හරිම ලස්සනයි කිව්වෙ මුලු හදවතින්ම කියල මට හොඳටම දැනුන විතරක් නෙමෙයි ඒ එකක්වත් මකා දමන්නෙත් නෑ කියලත් මට තේරුම් ගියා… ඒත් බොරු නොකියන එයා එතෙන්දි නම් බොරුවට හා කිව්ව… ඒක අහිංසක බොරුවක්.

එයා මගේ ලඟ නැති වෙලාවට මම ජංගම දුරකථනයෙන් මගේ පින්තූර එයාට යවනව… එයත් එයාගෙ පින්තූර මට එවනව… මම ඒ වෙලාවට එයාගෙ ලඟින්ම ඉන්නව කියල හිතාගන්නව… කටින් නොකීවත් මම දන්නව එයාටත් මගේ පින්තූර දිහා බලල මගේ ලඟ ඉන්නව වගේ දැනෙනව ඇති…. නවීන තාක්ෂණය අපේ හඳවත් එකතු හැම මොහොතකම එකතුකලේ ආත්ම ගානකට වෙන් නොකරන විදියට.

"ප්‍රියන්ති…. දෙයක් කියන්නද"

ඒ විදියට එයා මුල පුරනකොටම මගේ හිත ගැස්සෙන්නෙ එයා අපි ආශ්‍රය කරන පිලිවෙල වෙනස් වෙන විදිහෙ දෙයක් කියාවිද කියන අපේක්ෂාව මගේ හිතේ හැමවෙලේම දෝංකාර දෙන නිසා වෙන්න ඇති.

"කියන්න .. මිස්ට නලින්"

මට තේරෙන්නෙ නෑ එයා මට ඒ තරම්ම හැඟීම් බරව මගේ නමින්ම ආමන්ත්‍රණය කරද්දිත් ඇයි මට බැරි එයාට නම කියලා කථා කරන්න.

"අපේ ජීවිත වල අහඹු මුණගැසීම් කියල එකක් තියෙනව කියන එක මම විශ්වාස කරන්නෙ නෑ… අපේ මේ හමුවීම එදා පලවෙනි සැරේ වෙන්න බෑ… සංසාර ගමනෙ අපි මේ ඉන්නෙ එක අම්බලමක… මීට කලින් නැවතුන අම්බලමකදිත් අපි මුණගැහෙන්න ඇති… ඊලඟ අම්බලමෙදිත් අපි මුණ ගැහේවි… "

එයාගෙ හැඟීම් ඒ විදියට එලියට දානකොට මම අලගු නොතියාම බලාගෙන හිටියෙ ඔය අතරට 'ආදරයෙන්' කියන වචනයත් කොහේ හරි තැනක ඇතුල් වේවි කියලා…. ඒත් ඒක එහෙම උනේ නෑ.. 'අපි හැම අම්බලකම හමුවෙන්නෙ මේ විදියටමද නලින්' කියල අහන්න මගේ හිත පොරකෑවත් ඒකට දිව පැටලුනේ නෑ.

මම එයා ගැන උනන්දු වගේම එයත් මම ගැන උනන්දුය කියල මම ඉන්තේරුවෙන්ම දැනගෙන හිටිය… ඒත් මගේ ගෑනු ගතිය එලියට ආපු එක දවසක් තමයි අපේ staff party එක තිබුන දවස.... මම එදා ගෙදර ආවෙ නෑ නේවාසිකාගාරෙ නැවතුනා… මගේ party එකේ තව පිරිමි අයත් එක්ක ගත්ත පින්තූර එයාට එවේලේම ඇරිය.. යටි හිතෙන් මට උවමනා උනා එයාගෙන් පලිගන්න යාන්තමට රිදවලා… ආදරවන්තියන්ගෙ හැටි එහෙම වෙන්න ඇති කියලා මට හිතුනේ මම කිසිදිනෙක ඒ අභිෂේකය අත් විඳල නැති නිසා වෙන්න ඇති.

අනිත් පැත්තට මම බලාපොරොත්තු උනා එයා අඩු ගානෙ මට පරිස්සම් වෙන්න කියාවි කියල… එයා ක්‍රියාවෙන් මට පෙන්වන ආදරය, සෙනෙහස ඇත්තටම එයාගෙ හිතෙත් තියෙනවද බලන්න මට උවමනා වෙන්නත් ඇති... ඒ වෙනුවට මට ආවෙ "සතුටින් ඉන්න, ඔයා හරිම ලස්සනයි" කියන පණිවිඩේ විතරයි… මට චූටි කේන්තියක් ආවත් ඒ එයාගෙ මහත්මා ගතිය කියල මම සතුටු උනා.

පහුවදා මුණගැහුනෙම මගේ සුන්දර නෝක්කඩුවත් එක්ක.

"ඔයාට ගානක් වත් නෑ නේද මට මොනව උනත්"

"ඇයි එහෙම කියන්නෙ"

"නෑ මම අර ෆොටෝ එවපු වෙලේ, රෑ ගෙදර ආවෙත් නෑ කියල අඩු ගානෙ පරිස්සම් වෙන්න කියන්න තිබුන ඔයාට"

"මම දන්නව ඔයා පරිස්සම් කියල"

එයා එහෙම කියනකොට මගේ කටට ආපු "ඔයා මට ආදරේ නෑ" කියන වචන ටික ගිලගත්තෙ හරිම අමැරුවෙන්

"මම වෙන කෙනෙක් එක්ක යාලු උනානම් ...ඔයාට කමක් නෑනේ"

මගේ නලියන කටෙන් එලියට පැන්නා.

"මම ඔයාගෙ සතුට වෙනුවෙන් කැප වෙනව… ඒත් මම දන්නව ඔයා එහෙම කරන්නෙ නෑ කියල…. මට"

අන්තිමට "ඔයා එහෙම කරන්නෙ නෑ... මට" කියාපු එකට මගේ හිත සතුටින් පිරුනා… මට එයා ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා… එයාට මාව විශ්වාසයි… මටත් එයාව විශ්වාසයි… ඒත් මේ වගේ චූටි දෙබස් අපි දෙන්නව හිතෙන් ගොඩාක් ලං කලා.

=======================

එයා අපි දෙන්නව හඳුන්වන මම ආසම ක්‍රමයක් තියෙනව…. "අපි එකම තටුවෙ එකම අත්තෙ වහන කුරුල්ලො" එහෙම කියන ගමන් එයා මට කියන්නෙ යකඩ ගෑනි කියල…. එයා මගේ වැඩ නිර්ලෝභව, නිර්භයව අනුමත කරන ගමන් ඒ හැම එකකටම අනුබලත් සහයෝගයත් නිතරම දුන්න.

මම එයාව මගේ මහත්තයත් එක්ක සංසන්දනය කරන එක ආයාසයෙන් මැඩගත්තත් ඒක වතුර යට හංගන්න හදන බෝලයක් වගේ උඩට එනවා... මගේ සැමිය පවුලෙ එකම දරුව වෙලා අම්මගෙ අසීමිත ආදරයට කොටුවෙලා හැදුන කෙනෙක්….. එයාට අම්මගෙන් තොර ලෝකයක් නොතිබුනා වගේම අම්මටත් එයාගෙන් තොර ලෝකයක් තිබිලම නෑ… හැමදෙයක්ම කුඩා කාලයේ ඉඳන්ම අතට පයට ලැබුනා වගේම කකුලෙ මේස් දෙක පවා අම්ම එයාට දාල දීල... . සැහෙන ලොකු ලමයෙක් වෙලාත් අම්මා එයාට බත් කැව්ව මිසක් අතින් කාල තිබුනෙ නැ… නිදාගෙන තියෙන්නෙත් හැමදාම අම්ම ලඟ… ඒ තත්වෙ උඩ අපි කසාද බැන්දට පස්සෙත් අපේ පවුල් ජීවිතයට අම්ම ගොඩාක් බලපෑව… අම්ම මාව ලේලි හැටියට පිලිගත්තත් එයාගෙ බිරිඳ හැටියට අම්මට මාව පිලිගන්න බැරි උනා කියල මට හිතුන.

"ප්‍රියන්ති… ඔයා අති සාර්ථක ගැහැණියක්… ඔයා ආශ්‍රය කරන ඔයා ගැන දන්න ඕනම කෙනෙක් ඒක අවිවාදයෙන් පිලිහනීවි…. ඕන තරම් සල්ලි තියෙනව…. හොඳ පවුල් සංස්ථාවක් තියෙනව… ඒක මටත් පොදු සාධකයක්… ඒත් අපි දෙන්නටම කොහේදෝ තැනක් මොනව හරි අත්‍යාවශ්‍යම දෙයක් අතපසුවෙලා… මට එහෙම හිතෙනව...දැනෙනව"

මට නම් එහෙම දෙයක් එයාගෙ නොපෙනුනත් ඒ කථාව මට නම් අදාලයි.. එත් ඒක එයාටත් පොදුයි කියල එයාම කියන නිසා මට ඒක පිලිගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..  කොහොම උනත් ඒ කථාව දිග්ගස්සන්න මට උවමනාව තිබුනත් මොන හේතුවක් නිසා හරි ඒක මග ඇරෙනව.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු හැටියට මට ලිංගිකත්වය හා ප්‍රජනනය පිලිබඳ හසල දැනුමක් තිබුනත්, ජීවිතය, ආදරය හා රාගය ගැන තිබුනු දැනුම ඉතා පහල මට්ටමකයි තිබුනෙ…. මගේ අනිකුත් මිතුරන් හා සංසන්දනය කරන කොට ඒ අතින් මම එදා කිරි දරුවෙක්.... මගේ ආදර අන්දරයේ මුල්ගල ප්‍රේමයද අනුකම්පාවදැයි මට දෙගිඩියාවක් මතුවෙන්න ගත්තෙ මේ අපූරු මිනිසා හමුවීමෙන් පස්සෙයි… මගේ කසාදය, ප්‍රේමයට වඩා අනුකම්පාව පෙරදැරිව හටගත් ඉතා කෙටි සම්බන්ධතාවයක් බන්ධනයකින් කෙලවර වූවායැයි මට දැන් හිතෙනව… 

"අයියෝ මොකද්ද අනේ… ඔයා හරිම tube light එකක් නේ" 

අපේ එදිනෙදා කතා බහ අතරතුර බොහෝ වෙලාවල්වල එයා මට කියනව.

 ඒක ඇත්තනේ කියල හිතෙනකොට මම එයාට,

 "කියන මල දානයක් කියනවකො තේරෙන්න" 

කියලා නෝක්කඩු කියලත් ඉවරයි… පහු වෙනකොට මට එයා ව්‍යංගාර්ථයෙන් කියන දෙයක් නොතේරුන වෙලාවට,

"ඔයා දන්නවනේ… මම ඉතිං tube light නේ" 

එහෙම කියල ජාම බේරගන්නව… එහෙම කිව්වම එයා මට කාරණාව පැහැදිලි කරල දෙන්නෙ ජයග්‍රාහී මානසිකත්වයකින්.

එයා කිසිදිනක මගේ හිත රිදෙව්වෙ නෑ… එදිනෙදා මතුවන ගැටලුවලට එයා මට අවංකව උපදෙස් දුන්න වෙලාවල් අනන්තයි… මගේ සුළු අඩුපාඩුවලට හිනා උනේ නෑ… ඒවත් ජීවිතේ පන්නරේට එකතු කරගන්න කියල උපදෙස් දුන්න… එයා හැමවෙලේම කිව්වෙ, වරදින සියල්ල ඥාන වර්ධනයට හේතුවක් කරගන්න කියල.

මගේ සැමියා කුඩා කල සිට දෙමව්පියන්ගේත් නෑදෑ හිතවතුන්ගේත්, මුළු පරම්පරාවේත් එකම පිරිමියා වීම තුලින් සමාජයේ තෙම්පරාදුව හා එතුලින් ලබාගතහැකි පරිනත බව ගිලිහී ගිය, එහෙත් ඉතාමත් කරුණාවන්ත පුද්ගලයෙකු වීම එදා මගේ සිත් ගත්තා…. පසු කලෙක එය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරාවි යැයි එදා මට තේරුම් ගොස් තිබුනේ නෑ… මම ලද දෙයින් සතුටුවූ අතර, සැමියාගේ එම අඩුපාඩුව සපුරාලීමට දරන ලද ප්‍රයත්නයේදී මගේ නවක මිතුරා කියනා පරිදි යකඩ ගැහැණියක් උනා… ඒකට එයා කිව්ව වැකියක් මගේ හිතේ පලපැදියම් වෙලා තියෙනව.

"When the going gets tough, the tough gets going"

"ඒ කිව්වෙ"

මට ඉබේටම කට ඉස්සර උනේ මොලේට ඉස්සෙල්ල… ඇත්තටම මම සාමාන්‍යයෙන් හිතල කථා කරන කෙනෙක්… ඒත් මෙයා ඉස්සරහ බොහෝ වෙලාවට මම හරිම සැහැල්ලුවෙන් ඉන්න නිසා වෙන්න ඇති මට එහෙම කියවෙන්නෙ.

"ඔන්න ඔන්න ටියුබ් ලයිට්… ඕකෙ තේරුම ඔයාම තමයි… ඔයා යකඩ ගෑනියෙක් උනේ ඔයාට මූණ දෙන්න සිදූඋන ප්‍රශ්න හමුවේ.. ඒ ප්‍රශ්න ආවෙ නැත්නම් ඔයත් ඉතිං සුකුමාර සාමාන්‍ය බොලඳ තරුණියක්ම විතරයි"

එහෙම කියල මට තේරුම් කරල දෙන්නෙ මහා පණ්ඩිතයෙක් වගේ.. මම ඒ වෙලාවට අහගෙන ඉන්නෙ විශ්ව විද්‍යාලෙ ආසම ලෙක්චර් එක අහගෙන හිටිය ගානට.

එදිනෙදා මා මුහුණ දුන් ප්‍රශ්න හමුවේ මගේ මහත්තයගෙ නිහඬතාවය හා සහභාගිත්වයෙන් බැහැර වීම මා තුල නිරන්තරයෙන් දරදඬු ගති ජනිත කරලීමට හේතු සාධක වූනා...  කුඩා කල සිටම ප්‍රශ්න හා ජීවිතයේ ගැහැට අත්නොවිඳි ඔහු විවාහයෙන් පසුවද එයම බලාපොරොත්තු වූ බව මා හොඳින් දැනගෙන හිටියා…. ඔහුගේ සදා ගැලවුම්කරුවාගේ චරිතය රඟපෑ ඔහුගේ මව මෙන් වීමට මම කිසිම උත්සාහයක් නොගත්තත් එයාට බිරිඳකගෙන් විය යුතු සියලු යුතුකම් නොපිරිහෙලා ඉටුකලා….ඉතාමත්ම සාමකාමී පුද්ගලයෙකුවූ ඔහු එයට එරෙහිව ඇඟිල්ලක් වත් එසවූයේ නැතත් සියලුම අභියෝග මගේ කරපිට පටවා නිහඬ වීම ඇතැම් අවස්ථාවලදී මා හැඬවීමට පවා හේතු සාධක උනා.

එවන් එක් උද්වේගකර අවස්ථාවක මට හොඳටම ඇඬුනෙ නලින් ඉදිරිපිටදිම… එදා නම් මට මගේ විවාහ ජීවිතේ ගැන හොඳටම කලකිරුන… වෙන පිරිමියෙකුට නම් ඒක හොඳ අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්න… ඒත් එයා මගේ හිත හරිගැස්සුවෙම "මහත්තයට දොස් කියන්න එපා, ඒ එයාගෙ හැටි නේ" කියල…. මේ වගේ සිද්ධි නිසා මගේ හිත තව තවත් එයාගෙ පැත්තට ඇදිල ගියා…. "මම ඔයාට ආදරෙයි නලින්" කියලා එයාගෙ පපුවට හේත්තුවෙලා අඬන්න තිබුනු උවමනාව කොහොම නවත්තගත්තද කියල මටම හිතාගන්න බැරුව ගියා.

විටෙක මෙවන් සිදුවීම් මම උපේක්ෂාවෙන් යුතුව විඳ ගත්තත්, විටෙක එයම මගේ සිත තලා පෙලන්නට සමත් වුනා…. විටෙක එය මා හැඬවූවා…. තවත් විටෙක එයම මා හට හාස්‍යයක් වූවා… විවාහ දිවිය පටන්ගත්දා සිටම සියලු දේ මගේ කරපිට පටවාගත් මම නොදැනුවත්වම ආදරය හා රාගය පසෙකට තල්ලුකර දමා ජීවත් වීමට වෙර දැරුවා…. ජීවිතය මහා කාන්තාරයක් වෙලා තිබුන මට එයාගෙ ආදරයෙ සිසිලසට භය උනා.

මතුපිටින් සුන්දරව ගලාගිය දියදහර යටින් මතුවී ආ දියසුලි වුවත් මගේ ධෛර්යය මත යටපත් වී ගිය වාර අනන්තයි… නිදියහන අතිශය සාමාන්‍ය මට්ටමක පැවති අතර එහි ස්වාභාවික ප්‍රථිපලයක් හැටියට අපි දුවකගේ දෙමව්පියන් වූනා.… අප දෙදෙනාටම සංසර්ගය යුතුකමක් මිස ආස්වාදජනක අත්දැකීමක් වූනේ නෑ… මගේ අනිකුත් යෙහෙලියන්ගේ ආස්වාදජනක අත්දැකීම් හමුවේ මම නිරුත්තර වුනා… උගත් මහාචාර්‍යවරියක් ලෙස සංසර්ගයේ උපරිම ආස්වාදය පිලිබඳව අවබෝධයක් තිබුනත් හුඳෙක් එය මායාවක් යන හැඟීම මා සිත තුල පැල පදියම් වී තිබුනා…. එහි නිමක් නැති පරාසය ගැන කිසියම් හෝ අවබෝධයක් මා හට තිබුනානම් අපගේ විවා දිවිය මේ තරම් දුරක් නොපැමිනෙන්නට ඉඩ තිබුනා...  නොදැනුවත්කම හා ඒ හා අප දෙදෙනා අතරම තිබූ නොසැලකිල්ල අපගේ විවා දිවියේ මතුපිටට ශක්තිමත් ආවරණයක් සපයා දී තිබුනා…. එහෙත්, ඔහු හමුවූ දා පටන් ඒ ආවරණය දෙදරනවාදැයි මට සිතුනු වාර අනන්තයි… මම ඒකට භය උනා.

ඔහු උග්‍ර ප්‍රබුද්ධ ඝනයේ චිත්‍රපට ලෝලියෙක් වූ නිසාත්, ඒ සම්බන්ධව මගේද යම්තාක් දුරට ඇල්මක් තිබූ නිසාත් අපි බොහෝ අවස්ථා වලදී අප නැරඹූ ච්ත්‍රපට, අපේ හමුවීම් තුල කටගැස්මක් කරගෙන තිබුනා.

"ඔයා අසෝක හඳගමගෙ Let her cry බැලුවද?" 

මම දවසක් එයාගෙන් ඇහුවෙ එයා නිතර චිත්‍රපට ගැන කථා කරන නිසාත් ඒ හැම චිත්‍රපටයකටම එයා වෙනම කෝණයක් එලි දක්වන නිසාත්.

" ඩොක්ට… අපි හැමෝම ඉන්නෙ ෆැන්ටසියක් ඇතුලෙ… අපිට කොච්චර සල්ලි තිබුනත්… පවුල් ජීවිතේ කොච්චර සාර්ථකව ගත කලත්…. දුවා දරුවො කොච්චර සාර්ථක ජීවිත ගතකලත්… අපි හැමෝටම ෆැන්ටසියක් තියෙනව"

මට මේ සාකච්ඡා වට සහභාගිවෙන එක ගැන චූටි භයක් දැනුනෙ ඒ කථාවට එකඟ නැති නිසාමත් නෙමෙයි…

"මම ඉතිං ටියුබ් ලයිට් නේ"

මොනව හරි කියන්න ඕන නිසා මම බබා වෙලා ඇඟ බේරගත්තත් එයා නැවැත්තුවේ නෑ

"අපි හැමෝම ඒ ෆැන්ටසිය ඇතුලෙ ජීවත්වෙනව… එක්කො අපේ ඒ ෆැන්ටසිය අපිත් එක්කම මියෑදෙනව ෆැන්ටසියක් විදිහටම…. සමහරු ෆැන්ටසිය යථාර්ථයක් කරගන්න උත්සාහ කරනව… ඒත් සමාජය බොහෝදුරට ඒකට ඉඩ දෙන්නෙ නෑ… "

එයා මගේ හිත කියවන ගමන් එයාගෙ හිත විවෘත කරනවද කියල මට එවේලෙ හිතුන.. අපි දෙන්නම ඉන්නෙත් ෆැන්ටසියක් ඇතුලෙ නේද කියල හිතුන… ඒත් ඒක හරිම සුන්දර ෆැන්ටසියක්… මට බෑ ඒක යථාර්ථයක් කරගන්න උත්සාහයක් කරන්න… එහෙම කරල අපේ ෆැන්ටසිය කුඩු වෙනව බලන්න මට බෑ.

=================

මේ අතරතුරේ තමයි මූද අයිනෙ තට්ටු නිවාස සංකීර්ණයක නිවාස විකුනන්න දමල තිබුනෙ… මම ඒ බව එයාට කිව්වම එයා එකක් ගන්න කියාපු නිසාම මම උඩම තට්ටුවෙන් මූද පැත්තෙන් ගෙයක් ගත්තෙ එයත් එක්කම ගිහිල්ල….. ඒක අපි දෙන්න රහසක් හැටියට තියාගත්ත.

යතුර භාරගත්ත දවසෙ එයා රෝස පැලයක් අරගෙන ආවෙ ඒ රෝස පැලේ අපේ සෙනෙහසේ නවාතැනේ සංකේතයක් හැටියට… මූද පැත්තෙ බැල්කනියෙ ඒක තියල දරුවෙක් වගේ ආදරෙන් බලාගත්ත….. අපි වරු ගනං ඒ ගෙදර රහසේම මුනහැහුනත් කිසිදිනක ආදරයක් ගැන කතා කලේ නෑ… අපි ගින්දර පුලුන් අස්සෙ තියාගෙන අවුරුදු දෙකක් වගේ කාලයක් සතුටින් හිටිය. අපි අපේ ප්‍රශ්න කථා කලා….. ඒවට විසඳුම් කථාකලා….. දේශපාලනය, කවි, සිංදු, නාට්‍ය, ච්ත්‍රපට ඔය වගේ හැම දෙයක් ගැනම කථා කලා.. අපි දෙන්නම අපේ සමාගමය සතුටින් විඳ ගත්ත.

"හොඳ ෆිල්ම් එකක් ඇවිල්ල …. මම හෙට බලන්න යන්න හිතාගෙන ඉන්නෙ"

මම එයාව හොඳටම තේරුම් අරගෙන හිටියෙ… එයා මේ නොකිය කියන්නෙ 'යමුද' කියලා කියන්නෙ නැතුව…. එයාගෙ ඒ ගරු කිරීමට මගේ ලොකු කැමැත්තක් තිබුන…. සමහරවිට එයා මගෙන් කෙලින්ම "යමුද ෆිල්ම් එකක් බලන්න" කිව්වනම් මම "ඔයාට පිස්සුද" වගේ උත්තරේකින් කථාව ඉවර කරන්න තිබුන… 

"ප්‍රින්සස් එකට නේද … මාත් දැක්ක…. මටත් ආසයි බලන්න"

ඇත්තටම මම එහෙම කිව්වෙ මම එයාගෙ සමාගමය ප්‍රිය කරන නිසයි.

"ප්‍රින්සස් එකට කොහොමද අපි දෙන්න යන්නෙ…. බුදු අම්මෝ…. අපේ ගෙවල් දෙකටම ගිනි තියල තමයි යන්න වෙන්නෙ"

"මාතරත් තියෙනව… අපි මාතර ගිහිල්ල බලමු"

ඔය කථිකාව ඉවර උනේ අන්තිමට අපි මාතර ගිහිල්ල ච්ත්‍රපටිය බලමූ කියල අවසාන තීන්දුවකට ඇවිත්…. මම ගොඩක් නොඉවසිල්ලෙන් එදා දවස ගතකලේ කිසිම හේතුවක් නැතිව… ඒත් මොකද්දෝ චකිතයක් මගේ හිතේ දිගටම තිබුන… මට මම ගැන තිබුන විශ්වාසෙ ගිලිහිල යනවද කියලත් හිතුන…. ඝන අන්දකාරෙ අපි දෙන්න චිත්‍රපටියක් බලනව කියන්නෙ ආදරේට අත වනනව වගේ වැඩක්…. එයත් ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඒවි…. මට කොහෙත්ම බෑ අපේ ආශ්‍රය ආදරය වෙනුවෙන්වත් නැති කරගන්න…

එදා රෑ මම බැරිම තැන එයාට කෙටි පණිවිඩයක් ඇරිය..

"හෙට අපේ මිතුදම වෙනස් වෙන්න දෙන්න එපා"

"නෑ එහෙම වෙන්නෙ නෑ… මම කවදත් ඔයාගෙ කැමැත්තට ගරු කරනව"

හැරෙන තැපෑලෙන් ආපු පිලිතුරෙන් මම සතුටු උනාද දුක් උනාද කියල මට අදටත් හිතාගන්න බෑ … මම පහුවදා එයත් එක්ක ච්ත්‍රපටිය නරඹන්න මාතර ගියා… මලින්ත හෑගොඩගෙ දැකල පුරුදු කෙනෙක්… ඝන අන්දකාරෙ අපි එක ලඟ වාඩිවෙලා චිත්‍රපටිය නැරඹුවත් අපේ අත් පැටලුනෙ නෑ… ඒ වෙනුවට අපේ හිත් නම් පැටලුනා…. සමාජ බැමි අපිව බැඳලා දාල තිබුනෙ හරිම නපුරු විදිහට.. ඒ බැමි ලෙහලා කඩා බිඳ දමන්න අපිට ඕන තරම් ඉඩ කඩ තිබුන විතරක් නෙමෙයි, ල්අවස්ථාවත් තිබුනත්, අපි ආපහු ගාලු ආවෙ ගියා වගේම සෙනෙහස පිරි ගෞරවාන්විත යහලුවෝ විදිහට…. ගෙදර ආපු ගමන්ම මම එයාට කෙටි පණිවිඩයක් ඇරිය.

"මගේ හොඳම මිතුරා හැටියට ඉන්න එකට ඔයාට ගොඩාක් මම ගරු කරනව"

වැඩි වෙලා ගියේ නෑ මට පිලිතුරක් ආව.

WE.....

I have not forgotten
Neither do I recall best
It was never a dream
Neither will it ever be
Till death do us part

The lady in a saree
Was it telepathy
Could it be destiny
We sat together
The birds of a feather

Time flew by
Hairs grew grey
What keeps us together
Professional friendship
As you always say

Your trust in me
Was the best gift ever
The risks you took
Within the stone walls

The proof of innocence
Be it love, be it caring
Between our aching hearts
You may or may not agree

නිතර දකින කෙනෙක්
නෙතට සොඳුරු ලඳක්
අපට අපේ නොවන
අපේම ලෝකයක්

එයාගෙ ප්‍රතිචාරයත් එයා සිත තුල තෙරපෙන සිතිවිලිත් මුදාහැරියෙ කවි පේලියකින්… මගේ හිත පිරී ඉතිරිලා ගියේ සතුටටද…. දුකටද.. එහෙමත් නැත්නම් ඒ වචන පේලියටද… මට හිතාගන්න බැරි උනා... ඒ එක්කම මොකද්දෝ නුහුරු හැඟීමකින් ඒ පිරී ඉතිරිලා ගිය ආදරය එකපාරටම ආපු කලු වලාවකින් වැසිලා ගියා… 

එයා මාව මගේ හදවත ඇතුලෙම අතරමං කරනව කියල මට හිතුන…. මම මගේ හිතෙන් ප්‍රශ්න කරන්න ගියේ නෑ ඇයි මේ අසම්මත අසීමිත ආදරේට මම ඉඩ නොදෙන්නෙ කියලා… මට අර කලු වලාව එක මොහොතින් අයින් කරන්න ශක්තිය තිබුනා…. මම ඒකට භයද කියල හිතෙනකොටම අපොයි නෑ කියලා ඇත්තටම නිර්භයවම කියන්න තරම් මගේ හිතේ එඩිතර කමකුත් තිබුනා.

අන්තිමට මට කෙටි පණිවිඩයකින් excellent කියලා ලියලා අරින්න පුලුවන් උනේ එයා පිලිතුරක් එනකල් බලා ඉඳලා did you read my message කියලා ඇහුවටත් පස්සෙ.

===========================

ඊට පස්සෙත් අපි නිතරම වගේ අපේ රහසිගත නවාතැනේ මුණ ගැහුන… සිංදු ඇහුව… අපේ හිත් ආදරෙන් වෙලුනා… ඒත් ඇඟිල්ලක්වත් පැටලුනේ නෑ… 

සමහර අවස්ථා තිබුන එයා රතු කට්ට පනින්න එනවද කියල මට හිතුන…. මම ඒ වෙලාවට මොකක් හරි උප්පරවැට්ටියක් දාල මග ඇරිය…. මම එහෙම කරපු එක හරි නෑ කියලත් මට හිතුන වාර අනන්තයි… එහෙම වෙලාවට මට එයා ගැන අනුකම්පාවකුත් ඇති උනා… ඒත් මම හොඳටම දන්නව ඒ චරිතෙ කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු නොවෙන චරිතයක් කියල.

"මට ඔයාට කාරණාවක් කියන්න තියෙනව… අද එනවද"

මට කෙටි පණිවිඩයක් ආවෙ දේශනයක ඉන්න අතරතුර… මට එයා කෙටි පණිවිඩ එවන්නෙම සිංහලෙන්… මට සිංහල අකුරු බැරි නිසා කවදත් ලියන්නෙ ඉංග්‍රීසියෙන්.

" ok… after 5"

මම ඉක්මණටම උත්තර බැන්දෙ එදා එක දිගටම ලෙක්චර්ස් තිබුන නිසා.

මම අපේ නවාතැනට ලංවෙනකොටම දැක්ක එයාගෙ කාර් එක හැමදාම නවත්තන තැන තියෙනව….. විදුලි සෝපානෙ යන ගමනුත් මම කල්පනා කලා මොකද්ද ප්‍රශ්නෙ කියල… 

වෙනද වගේම එදත් මම මගේ යතුරෙන් දොර ඇරගෙන ගියා… වෙනද එයා මගේ සාරිය ගැනත් මගේ ලස්සන ගැනත් මොනවහරි කියන්නෙ නැගිටල මාව පිලිගන්න ගමන්… එදා ලොකු වෙනසක් තිබුන.

"ඇයි …. ප්‍රශ්නයක්ද ?"

එයාට ලස්සන ඇස් දෙකක් තිබුන, ආදරේ කඩා හැලෙන… එදා ඒකෙ ලොකු ප්‍රශ්නාර්ථයක් තිබුන…

"ඉඳගන්න ප්‍රියන්ති ඉස්සෙල්ල"

එයා මගේ නම කියන්නෙ ගොඩාක්ම හැඟීම් බර උන වෙලාවට විතරමයි… මම සෝපාවෙ තනි පුටුවෙ ඉඳගත්තෙ වෙනද පුරුද්දට.

"අපිට මේ ආස්සරේ නවත්තන්න වෙනව ප්‍රියන්ති"

මම හීනෙකින් වත් හිතපු නැති දෙයක් මේක… මෙච්චර දුර ඇවිල්ල… මට එහෙම හිතුනත් සමහරවිට එයාගෙ පැත්තෙන් අපි තාම පටන්ගත්තෙත් නැතුව ඇති… ඒත් මේ සම්බන්ධය මට නැතුවම බැරි එකක් වෙලා.

"ඇයි ඒ….?"

මගේ නොසතුට එයාට හොඳටම දැනෙන්න ඇති මගේ කෙටි ප්‍රස්නෙන්ම.

"කවද හරි ඔයාගෙ මහත්තය, ලමය, යාලුවො මේක දැන ගත්ත දවසට මොකද වෙන්නෙ"

එයාගෙ ඒ සාධාරණ ප්‍රශ්නෙට මගේ ලඟ දිග පිලිතුරක් තිබුනත් මම ආයෙත් කෙටි දඩබ්බර උත්තරේකට ගියා.

"ඉතිං… දැනගත්තාවෙ"

"එදාට ඔයාගෙ ඇස් දෙකේ කඳුළු මට පේන්නෙ නැති වේවි… මට බෑ ඔයාගෙ පවුල් ජීවිතේ විනාස වෙනව බලන්න" 

"ඒක මම බලාගන්නම්.. මටත් නිදහසක් ඕන"

මගේ වචන වල දරදඬු තර්ජනාත්මක ස්වරයක් ගැබ් වෙලා තිබුනා.

"ඔයා හිතනවද…. අපේ මේ සම්බන්ධෙ ඔයාගෙ මහත්තය…. දරුව…. දැනගත්තොත්…. ඔයාගෙ නෑදෑයො, යාලුවො පැත්තක තියන්නකෝ…."

එයා ආයෙත් සැරයක් ඒකම කියවන්න ගත්තා.

"හරි…. ඒක මම බලාගන්නම්… ඔයාට පුලුවන්ද මගෙන් අයින්වෙන්න"

"බෑ…. ප්‍රියන්ති මටත් බෑ…"

මගේ තවමත් හිතේ හංගගෙන හිටිය එයා නොදන්න කාරණාවක් එලියට දාන්න වේදිකාව හදාගන්න මම උත්සාහයක් ගත්ත

" ඔයා මොන නිදහසක් ගැනද මේ කථා කරන්නෙ"

එයා තරමක කේන්තියෙන් මට එහෙම කිව්වෙ ඇත්තටම මට තියෙන ආදරේට කියල මම දන්නව… එයා මගේ ක්‍රියා පටිපාටිය අතිශය නිදහස් මාවතකට යොමුවීම ගැන බොහෝ වෙලාවල අවවාද කරනවා මහත්තයගෙ හිත රිදේවි කියල.

කවදාවත් නැති විදියට මම සෝපාවෙ එයාගෙ ලඟින්ම ඉඳගත්තෙ දිග කථාවකට මුල පුරන ගමන්මයි.

"මේ ටික හොඳට අහගන්න නලින්...මගේ දුව ලැබුනට පස්සෙ මහත්තයට අසනීපයක් හැදුන… ඒකට කියන්නෙ Peyronie's Disease නැත්නම් (PD) කියල… ඒකෙං එයා ගොඩක් මානසිකව වැටුන… කොහොමත් එයා සංසර්ගය ගැන ඒතරම් උනන්දුවක් නොතිබුන කෙනෙක් නිසා මම හිතුව මේක බොහෝදුරට මානසික ප්‍රශ්නයක් කියල… මම ඒ ප්‍රශ්නෙ එයාගෙ හිතෙන් අයින් කරන්න ගොඩක් මහන්සි උනා…. ඒ වෙනුවෙන් මම ගොඩක් කැපකිරීම් කලා… එයා ඒ ගැන ගොඩාක් දුක් උනා.. නිතරම මගේ තරුන කම, ලස්සන ගැන කියවන්න ගත්ත… එයා නොකිය කිව්ව මම වෙන කෙනෙක් එක්ක ගියාට එයා මට වෛර කරන්නෙ නෑ කියල…. මම බැරිම තැන මගේ පාසැලේ සමකාලීන වෛද්‍ය වරු එක්ක මේ ගැන සාකච්ඡා කලා… ඒකෙන් උනේ අසනීපෙට බෙහෙත් ගන්න එක පැත්තකට තියල එයාලගේ යෝජනා ප්‍රතික්ෂේප කරල හිත් අමනාප කම් ඇතිකරගත්ත එක විතරයි…  මම ඔයාගෙන් ඒ අවස්ථාවාදී ප්‍රතිචාර දැක්කෙ නෑ… මමත් මස් ඇට ලේ වලින් හැදුනු ගෑනියක්…. මගෙත් කායික අවශ්‍යතාවයන් අනිත් ගෑනුන්ගෙ වගේම අඩු වැඩි වශයෙන් තියෙනව… මම ඒව අපේ පවුල් ජීවිතේ වෙනුවෙන් ඉවසා දරාගෙන හිටියෙ පුලුවන් තරම් රාජකාරියට හිත යොමු කරලා…. මම ඒ සතුට මගේ රාජකාරියෙන් ලබාගත්ත… මුදල් ගොඩක් අතට එනකොට මම ඒ හා සමානම සතුටක් ලැබුව…. එහෙම ඉන්න අතරෙදි තමයි මට දැනට අවුරුදු ගානකට කලින් ඔයාව මුනගැහෙන්නෙ… ආදරේ කියන්නෙ මොකද්ද කියල හරියටම තේරුම් ගත්තෙ ඔයාගෙන්… මම පහුගිය අවුරුදු කීපය ගත කලේ හරිම සතුටින්… ඒ ඔයා මාත් එක්ක මම ගොඩාක්ම ආදරේ කරන යාලුව හැටියට හිටපු නිසා… මම දන්නව ඔයත් මට සැලකුවෙ ඒ විදියට.. මම එක දෙයයි ඔයාගෙන් ඉල්ලන්නෙ… මට ඔය හිතවත්කම, අවවාද, ලෙන්ගතුකම හැමදාම ඕන… ඔයාට මගෙන් අයින් වෙන්නම ඕනනම් කමක් නෑ…. ඔයා හැමවෙලේම මගේ කැමැත්තට ඉඩ දුන්න… මම හිත හදාගන්නම්"

මට කියන්න කප්පරක් දේවල් තිබුනත් මම ටිකකට නැවැත්තුවෙ ඒ දඩබ්බර ඇස් දෙකත් තෙත්වෙලා තියෙනව දැක්ක නිසා…. මගේ ඇස් වලත් එලියට පනින්න දඟලන කඳුලු එයා දකින්න ඇති…. අපි දෙන්නටම හොඳටම උවමනාව තිබුන මේ ඇස් නැති බිත්ති හතර ඇතුලෙ බදාගෙන ඇතිවෙනකල් අඬන්න…. ඒත් මොකද්දෝ අදුර්ශමාන බලවේගයක් ඒකට මට ඉඩ දෙන්නෙ නෑ.

"මේ අහන්න ප්‍රියන්ති මම ඔයා ගැන හිතලයි මේ දේවල් ඔයාට කිව්වෙ…. ඇත්තම කියනවනම් මේ ගෙන්දගං පොලොවෙ තෙම්පරාදු වෙලා ඉන්න මට ඔය දෙන්න අතරෙ ඔය වගේ ප්‍රශ්නයක් ඇති කියල අනුමාන කරලා තිබුනෙ නැත්තෙමත් නෑ… අපි ඒක පැත්තකින් තියමු…. මටත් ඔයාගෙ ආශ්‍රය මැරෙනකල්ම ඕන…. ඊට පස්සෙත් ඕන… මේ සංසාර ගමනෙ අපි ඉන්නෙ අම්බලමක… කවදහරි අපි මේ අම්බලමෙං යන්න ඕන…. අපි කලින් වෙනත් අම්බලමකදි මුනගැහෙන්නත් ඇති… ආයෙත් මුන ගැහෙමු කියල ප්‍රාර්ථනා කරන්නත් ඇති…. අපි ආයෙත් ඊලඟ අම්බලමෙදිත් මේ විදියටම හමු වේවි…. ඔයා දන්නව මම වචනයක් කියන්නෙ නෑ කරන්න බැරිනම්… අර කීමක් තියෙනව නේ… You are you...I am I… You are not born to satisfy my needs… I am not born to satisfy your needs… but, if we find each other, respect each other, that is great… අපි දෙන්නම ඔය තැනට ඇවිත් ඉන්නෙ… ඔයා මාව දාල යන්න එපා… ඒත් ඔයාගෙ පවුල් ජීවිතේට බාධාවක් වෙනවනම් ඕන වෙලාවක මට කියල යන්න… මම ජීවිතේට ඔයාව දාල යන්නෙ නෑ… අපි මේ විදියටම ඉමු"

ඒ වෙලාවෙ නම් මට තද කරගෙන හිටපු කඳුළු කැට තවදුරටත් රඳවගෙන ඉන්න බැරි උනා… ඒත් ඒ දෝරෙ ගැලුවෙ සතුටටද දුකටද කියල අදටත් මට හිතාගන්න බෑ.

ආයෙත් අපි පුරුදු විදිහටම අපේ බිත්ති හතර ඇතුලෙ මුනගැහුනෙ හිතවත් කම් අලුත් කරගෙන… ඒක අපේ ජීවිතේට සුන්දර අත්දැකීමක් උනා.

===================

එදා සෙනසුරාදා දවසක් නිසා කලබලයක් නැතුවම මම බැංකුවට ගොඩ උනේ මගේ චෙක් පොත ඉවර වෙලා නිසා අලුත් එකකට කොලේ භාරදෙන්න හිතාගෙන.

කවුන්ටරේ නලින් ඉන්නව දැක්කම මට ගොඩක් සතුටක් දැනුනේ ඊයෙත් මගේ වැඩ රාජකාරි නිසා අපිට මුණගැහෙන්න බැරි උනා නේද කියල හිතලා.

"සල්ලි ටිකක් අපිටත් එක්කම ගන්න" 

මම ලඟටම ගිහිල්ල කියනකොට එයා ටිකක් ගැස්සුනා… එතකොටයි මම දැක්කෙ එයාට වඩා ගොඩාක් බාල යුරෝපීය ක්‍රමයට ඇඳගත්ත ගෑණියක් එයත් එක්ක ඉන්න විත්තිය… 

"අනේ sorry, මම හිතුවෙ ඔයා තනියම කියල"

"නෑ ප්‍රශ්නයක් නෑ… මේ නිලන්ති… මේ දවස්වල ලංකාවට ඇවිල්ල… මගේ පරණ යාලුවෙක්" 

එහෙම කියල එයා මාවත් අඳුන්නල දුන්න. 

එදා ඒ සිද්ධිය සාමාන්‍ය දෙයක් විදිහට මම සැලකුවත් ටික දවසක් අපි දෙන්නටම දෙන්නවම මග ඇරෙනකොට මගේ හිතට පොඩි සැකයක් ඇතුල් උනා…. හැමදාම උදේට ගුඩ් මෝනිං කියල එවන කෙටි පණිවිඩේත් ආවෙ නෑ…. මගේ හිත මටම වද දෙන්න ගත්තත් මම පාඩුවෙ ඉන්නව කියල හිතුවා… ඉරිදත් නෑ… සඳුදාත් නෑ… 

"How are you today" 

සඳුදා හවස එයාගෙන් කෙටි පණිවිඩයක් ආවෙ කවදාවත් නැති විදියට ඉංග්‍රීසියෙන්ම… ඒකම මගේ හිතට පොඩි සැකයක් ඇති කලා.

"I am ok"

Fine කියන තැනට ok කියල ලියවුනේ මගේ හිතේ තිබුන නෝක්කඩුවට වෙන්නත් ඇති

"Sorry I was busy… Can we meet today"

ඒක තේරිලද කොහෙද එයා මට sorry කියන්න ඇත්තෙ කියල මම මගේ වාසියට හිතාගත්ත.

"Anything special?"

"No … nothing … but I would like to see you"

"Ok… after work"

එදා වගේම මම යනකොට එයා රෝස ගහට සාත්තු කරනවා…

"දැක්කද පොහොට්ටුවක් ඇවිත්"

මට හිතෙන්නෙම එයා ඇනුම් පදයක් කිව්ව වගේ… මගේ හිතේ සෙනසුරාදා සිද්ධිය අකුණු ගහන්න ගත්ත.

"පිපෙයිද මේ රස්නෙත් එක්ක"

මම නම් ඒක කිව්වෙම ඇනුම් පදයක් හැටියට

"බලමුකෝ… ඇයි පිපෙන එකක් නැද්ද?"

"මල් පිපුනත් නැතත් ඉතිං රෝස නේ"

මම කථාව නතර කරන්න හිතාගෙන එහෙම කිව්වෙ ඉක්මනට කාරණාවට බහින්න ඕන නිසයි.

"අපි ඉඳගෙන චුට්ටක් කථා කරමුද?"

මගේ නොසන්සුන්තාවය තේරිලා වගේ එයා එහෙම කියනකොට මට චූටි ලජ්ජාවක් ඇති උන නිසා මම කිසිදෙයක් නොකියම ඉඳගත්ත.

"මට පොඩි ප්‍රශ්නයක් ..ප්‍රියන්ති"

එයා එහෙම කියනකොට මෙච්චර වෙලා මගේ හිතේ තිබුන නෝක්කඩුව කොහේ ගියාද දන්නෙ නෑ…. පොඩි කිව්වට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඕන… එහෙම නැත්නම් මගෙන් උදව් ගන්න තරම් ලාමක චරිතයක් නෙමෙයි මෙයා.

"ඔයාට මොන ප්‍රශ්නද අනේ...කාල බීල ජොලියෙ ඉන්න කෙනා නේ… හරි කියන්නකො ඉතිං "

"අර ලමය…."

"කවුද…?"

"එදා බැංකුවෙදි මුනගැහුනෙ"

"ඉතිං…"

"අපි දෙන්න කලක් ආදරෙන් හිටිය.."

ඔන්න ඔය විදිහට පටන්ගත්ත එයාගෙ පාපොච්චාරණය ඉවරවෙනකොට හතරවටින් කලුවරත් වැටිල… ගොඩ කාලයක් මෙයා ඒ ලමයව ඇසුරු කරල පස්සෙ එයා බැඳල රට ගිහිල්ල… දැං එයාගෙ මහත්තයගෙන් වෙන් වෙන්න හදනව දරුවත් එක්කම… මෙයත් එක්ක තිබුන ආදර සම්බන්ධතාවය උඩ මේ සැරේ ලංකාවට ආවම මෙයාව හමුවෙන්න ඇවිත් එයාගෙ දුක් ගැනවිල්ල කියන්න… එයා බලාපොරොත්තුවෙන්නෙ ලංකාවට ඇවිත් ආයෙත් මෙයත් එක්ක ජීවත්වෙන්න.

"විකාර ඔයාට පුලුවන්ද ඒක කරන්න… ඔයා ගොඩක් සතුටින් ගෙදර අයත් එක්ක ඉන්න කෙනෙක්… ඔයා මොනවද කිව්වෙ?"

මගේ හැඟීම් කොයි වෙලේ එලියට පනීද කියන භය මගේ හිතට වද දෙන්න ගත්තත් මම ඒ බව වසන් කරන්න උත්සාහ ගත්ත.

"අපේ අතීතෙත් එක්ක මට එක පාරටම බෑ කියන්න බෑ ...  ප්‍රියන්ති…"

"හරි දැං කෝ එයා…"

"කොලඹ… එයාගෙ අම්මල එක්ක… වැඩි කලක් ඉන්නෙ නෑ… යාවි"

"හම්බවෙන්න ඕන කිව්වම ඔයත් මෝඩය වගේ පැනල ගියා… මෝඩ වෙන්න එපා ආයෙත් පැටලිලා… ඕන කුන්ඩවාලියකට කරගහනව… ඔයා කෙලින්ම කියන්න husband එක්ක හොඳින් ඉන්න කියල අඩු ගානෙ දරුව ගැනවත් හිතල"

"මම කිව්වෙත් ඒකම තමයි"

"ඉතිං එච්චරනේ…"

"එයා මගෙන් ඉල්ලන්නෙ ආදරේ විතරයි… කීයටවත් මට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නැතිලු… එයාට මගේ රැකවරණය දෙන්නලු"

"අනේ මේ… ඔයා විකාර කියවන්නෙ නැතුව ඉන්න… මම හොඳට දන්නව ගෑනුන්ගෙ හැටි… මහ ලොකු පණ්ඩිතය… දැං හැටත් පැනල නේද … ඔයා ඕන එකක් කරගන්න… මට පරක්කුයි… මම යනව"

එදා එහෙම කියල මම එලියට බැස්සෙ හරිම කේන්තියෙන්.

================

මගේ වාහනේ නතර කරන කොට ඈත මූදෙ තනි නැවක්; වෙනදා එක දිගට යන නැව් දිහාව අපි අපේ බැල්කනියෙ ඉඳගෙන බලාගෙන හිටියා… අද එකම එක නැවයි… ඒකත් යනවද එකතැනද කියල හිතාගන්න බෑ… මට ඉබේටම මගේ දුරකථනයට අත ගියා… පහුගිය උපන්දිනේට මගේ මහත්තය තෑගි දුන්න ලක්ෂ එකහමාරක් විතර වටින smart phone එක… මගේ ජීවිතෙත් මේ වටින ෆෝන් එක වගේ කියල හිතුන… මේකෙන් කරන්න පුලුවන් දේවල් මොනවද කියල මම දන්නෙත් නෑ… දැනගන්න මට උනන්දුවකුත් නෑ… මේකෙන් මම කරන්නෙ calls ගන්න එක ඇරුනම අරයට කෙටි පණිවිඩ අරින එකයි පින්තූර ගන්න එකයි… අනිත් ඔක්කොම පහසුකම් අපතේ…

"My dearest , I am now almost at the doorstep to our nest of love and caring, within which you showed me what eternal love really is. I wanted our strange but soothing affair to last till death do us part. Our journey that spanned 12 lovely years of friendship as I wanted it to be, will never be erased from my heart. My past had created an iron lady in me while Inevitably making me phobic of real eternal love I never felt until I met you. You on the other hand, being a perfect gentleman never took me to that extent solely because, you sensed that I was not ready for love. But still I enjoyed your love within my heart. I could not make myself ready to savour the fragrance of unrestricted love. Instead I preferred to feel an eternal love restricted by the society and family values. I am very grateful to you for being with me for the last 12 years which are the best during my lifespan. Goodbye my love. Take care and be happy with her. Written in haste. 

මම දීර්ඝ කෙටි පණිවිඩයක් මගේ දුරකතනයෙ ලියල මූද දිහා බැලුනෙ ආයාසයකින් තොරවම… අර කලින් තිබුන එකම නැව පේන්න නෑ.ල්

වාහනෙන් බැහැල විදුලි සෝපානයෙන් උඩට ගියේ හිතට ආපු සිතිවිලි ඔක්කොම යටපත් කරගෙන ආයෙත් එයා කියන යකඩ ගෑනි හිතෙන් ආරූඪ කරගෙන…. එයා ඉදිරියෙ හිත උණු උන චරිතෙ මග දමලා… 

සමහර වෙලාවට එයා මගෙන් බලාපොරොත්තු උන දේවල් ගෑනියෙක් හැටියට මට දෙන්න බැරිවෙන්න ඇති… ඇත්තටම එයා ආදරේ හෙව්ව… මමත් ආදරේ හෙව්ව…. අපි ඒ ෆැන්ටසිය තුල ජීවත් උනා… අපේ ෆැන්ටසිය අපිට රියැලිටියක් කරගන්න ඕන තරම් ඉඩ ප්‍රස්ථාව තිබුන…. අපි කවුරුත් ජීවත් වෙන්නෙ ෆැන්ටසියක් හිතේ දරාගෙන… සමහරු ඒ ෆැන්ටසිය රියැලිටියක් කරගන්නව…. සමහරු ෆැන්ටසිය රියැලිටියක් කරගන්න උත්සාහ කරල ජීවිතේම කාලකන්නි කරගන්නව… සමහරු ඒ සුන්දර ෆැන්ටසියෙ මැරෙනකල් ජීවත්වෙනව…. මම ඔය මොන ගොඩේද කියල හිතන කොටම ලඟ ගෙදරකින් වික්ටර් රත්නායකයන්ගෙ ගීතයක් ඇහෙන්න ගත්ත… 

"මේ ලොව යම් දිනයක අපි වෙන් වෙමු…. රහස් අහස් තලයට පවරා"

දොරට අත තියාපු ගමන් දොර ඇරුනෙ එදා එයා ගිහිල්ල තියෙන්නෙ වහන්නෙ නැතුවද කියල මට හිතුන…. ඒ එක්කම මට පෙනුනෙ මූද දිහා බලාගෙන බැල්කනියෙ මට පිටුපාල ඉන්න එයාව…. මම ලඟටම යනකල් එයා මාව දැක්කෙ නැත්තෙ රෝස පැලේට සාත්තු කරන ගමන් නිසා වෙන්න ඇති.

" මම මෙහේ එන එක නැවැත්තුවෙ නෑ ප්‍රියන්ති එදා වගෙම අදටත් මේ රෝස මල් සුවඳයි… මම අරයගෙ හිත වෙනස් කලා… එයා ගියේ ගොඩක් හිත සතුටිං… මට පොරොන්දු උනා මහත්තයගෙන් වෙන් වෙන්නෙ නෑ කියල...එයා සතුටින් දැං ඉන්නෙ"

කොහෙන්දෝ කඩා වැටුනු කඳුලු කැට හතරක් අපේ රෝස පැලේ තෙත් කලා… ඒ දුකටද සතුටටද කියල මම හිතෙන් තර්ක කරනකොටම පැත්තක තිබුන එයාගෙ දුරකථනය නාද උනා… කෙටි පණිවිඩයක්.. යන්තමට මගේ කඳුලු අතරින් මගේ නම දැක්ක.. එයාට කලින් මම ඒක අතට ගත්තෙ වෙන කරන්න දෙයක් මට හිතාගන්නම බැරි උන නිසා… ෆෝන් එක ඈත මූදට වීසිකරන්න ඇත්නම් කියල හිතෙනකොටම එයා මගේ අත් දෙකට මැදි වෙලා තිබුන ෆෝන් එක එයාගෙ විසාල අත් දෙකෙන් අල්ලගත්ත.

"එපා රත්තරනේ ඒක කියවන්න" 

මට කියන්න පුලුවන් උනේ එච්චරමයි… එයාගෙ ඒ ආදරේ කඩා හැලෙන ඇස් දෙක ඉදිරියේ මම අසරණ උනා...

අවසානයද ඇරඹුමද අතර අපි හැමෝම අතරමං වෙලා...

=============

කාලයාත්‍රා

මගේ අත් දෙකට හිරවුන එයාගෙ දෑතෙ හරිම උණුසුමක් මට දැනුනා… මම ඔලුව උස්සල ඒ ඇස් දෙක දිහා බැලුවා…. මගේ දෑස් එයාගෙ ලා නිල්පාට දෑස් එක්ක පැටලිලා… මාව එයාගෙ ඇස් කුහරය ඇතුලටම ඇදිලා යනව වගේ දැනුනෙ හරියටම විශාල අගාදයක් තුලට යනව වගේ… දෑත තවත් රත් වෙන්න ගත්ත…

කළු සුදු සිතුවමක් එයාගෙ දෑසෙ ඇඳිලා...

තත්පර… විනාඩි… පැය… දවස්…. සති… මාස… අවුරුදු … දශක… වලට පෙරලුනා… මේ දෑස්…. මේ දෑත හුරුපුරුදු ගතියක් මට දැනෙන්න ගත්තා… ඈත දෝංකාරයක්…

"අයියෙ… අදත් මාව අතින් අල්ලගෙන ඉස්කෝලෙ එක්ක යන්න කෝ… අනේ අයියෙ"

ඒ ස්පර්ශය… ඒ දෑස්… 

කොපමණ වේලාවක් අපි එහෙමම හිටියද කියල හිතාගන්න බෑ… ඈත මූද රත් පැහැගැන්විලා තිබුනෙ ඉර බැහැගෙන යන නිසා.

"ඔයාම message එක මකන්න"

මගේ ජංගම දුරකථනය එයාටම දුන්න.

========

එදා සඳුදා දවසක් නිසා උදෙන්ම ලෑස්ති උනේ රාජකාරි වැඩකට කොළඹ යන්න… 

"ඔයා මෙච්චර කලින් යන්නෙ කාර් එකෙන් නෙමෙයිද අද යන්නෙ"

මගේ බිරිඳ හිමාලි, කැමතිම නෑ මම කෝච්චියෙ යනවට…. එක අතකට එයා කියන එකත් ඇත්ත… කෝච්චියෙ යන්නෙ දෙවෙනි පන්තියෙ සීට් එකකට බරවෙලා පොතක් කියවගෙන ගියාම හරිම පහසු නිසයි… ඒත් වෙලාවකට ගාල්ලෙ උසාවියෙ ප්‍රසිද්ධ නීතිඥයෙක් හැටියට බොහෝ විට කෝච්චියෙදිත් අඳුනන අයගෙ නඩු වලට නොමිලේම පෙනී හිටින්න වෙනවා… අනික් අතට අද මම නීතිපති දෙපාර්තමේන්තුවට ගියා ආව.. වාහනේ ගියොත් තදබදය ඒ මදිවට තනියම එච්චර දුරක් එලවන එක මතක් වෙනකොටත් අප්‍රසන්නයි… කෝච්චියෙ ගියාම කොටුවෙ බැහැල ත්‍රීවීල් එකක් ගන්න එක තමයි ලේසිම ක්‍රමය.

"මට කම්මැලියි තනියම එලවගෙන යන්න"

එහෙම කියන ගමන්ම මම පොත් රාක්කෙන් පොතක් අතට ගත්තෙ යන ගමන් කියවන්න හිතාගෙන… 'If tomorrow comes' by Sydney Sheldon… මම මේක කලකට ඉහත කියවල තිබුනත් ආයෙත් කියවනව කියලා හිතාගෙන අතට ගත්තා… 

හිමාලි කවදත් මම එලියට බහිනකොට ඉස්සරහට එන්නෙ හාදුවක් බලාපොරොත්තුව…. ඔලුවෙ දහසක් දේවල් වැඩකරත් කොච්චර පරක්කු වෙලා තිබුනත් එයාගෙ කම්මුල් දෙකටම හාදු නොදී යන එකනම් බොරුවක්…. එයාගෙ එක කම්මුලක ලස්සන තරමක් අසාමාන්‍ය උපන් ලපයක් තිබුනා… හරියටම ඒ උපන් ලපේටම දෙන්නත් ඕන…. මමත් ඒ උපන් ලපේට ගොඩාක් ආස උනේ ඇයි කියන එක නම් ප්‍රශ්නාර්ථයක්.

සාමාන්‍යයෙන් කලට වෙලාවට වැඩ කරන මම, එදා කෝච්චියට පරක්කු උනේ ඇයි කියන ප්‍රශ්නෙට පිලිතුරු සෙව්වත්, කොහොම හිතාගන්නද මේ දවස මගේ ජීවිතේ අලුත් මංසන්ධියක් වේවි කියල… මම දුම්රිය ස්ථානයට එනකොටම කෝච්චිය ඇද්දුවේ පෙනි පෙනීම.

"ශා… මිස් උනා නේ…"

ඒ වචන ටික මම මටම කියාගත්තෙ වටපිටාව ගැන අවධානයකින් තොරවම.

" මටත් නූලෙං මිස් උනේ…" 

මට ලස්සන ගෑණු කටහඬක් ඇහුන නිසාම ඒ දිහා බැලුව…. මැදිවියේ වැදගත් පෙනුමක් තියෙන ලස්සන සාරියක් ඇඳගත් තලෙලු ගෑනු කෙනෙක් මගේ ලඟම අත් බෑගයකුත් අරගෙන හිටියා…

මගේ නීතිඥ වෘත්තීය නිසාද දන්නෙ නෑ මම නිතරම කෙනෙකුට කථා කරන්නෙ කෙලින්ම ඇස් දෙක එක එල්ලෙ මගේ ග්‍රහණයට අරගෙන… වයසින් මට වඩා ගොඩාක් බාල වෙන්න ඕන… මීට කලින් දැකලා තියෙනවද කියන ප්‍රශ්නෙට මගේ හිත ඇතුලෙන් මොකද්දෝ කිට්ටු සමීපතාවයක් වගේ දෙයක් දැනෙන්න ගත්තා… එයත් මගේ දිහා බලලා හිනා උනේ අපි අඳුනනව වගේ… ඒ මොහොතේ එයාගෙ ලා නිල් පාට ලස්සන දෑස මගේ දෑසත් එක්ක පැටලුනා… මොහොතකට මම තෙරක් නොදැනෙන ඈත අතීතයකට ගියා වගේ දැනුනා.

ඊලඟ කෝච්චියට වෙලා තියෙන නිසා අපි දෙවෙනි පන්තියේ ටිකට් අරගෙන වේදිකාවට ගියා; වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නැති නිසාත්; එයාගෙ හැසිරීමෙන් ඒ හැර වෙන විකල්පයක් නැති වග මට තේරුම් ගිය නිසාත්…. වේදිකාවෙ මේ වෙනකොට තිබුන පුටු සියල්ලම පාහේ හිස්ව තිබුන නිසා අපි මැදක් හරියට වෙන්න ඉඳගත්තෙ හතර දෙනෙකුට ඉඳගන්න පුලුවන් විදියට දෙකට බෙදලා වෙන් කරලා තිබුන අලුතින්ම සවි කරපු  දිග පුටුවක… මම එයාට ඉස්සෙල්ල වාඩි වෙන්න ඉඩ දීල අනිත් භාගෙ මම ඉඳගත්තා.

" ඔයා … කොළඹ වැඩට යනවද?"

දැන අඳුන ගන්න එයාගෙත් අකමැත්තක් නැති විත්තිය පෙනුන නිසා මම ඇහුවෙ චූදිතයෙක්ගෙන් හරස් ප්‍රස්න අහන ආකාරය හිතෙන් අයින්ම කරලා.

"ඔව්.. මම රුහුණු කැම්පස් වැඩ කරන්නෙ… අද වැඩකට කොළඹ යනව"

අපේ කථාව පටන් ගත්තෙ ඔන්න ඔය විදියට.. කලක් යනකොට අපි දෙන්න අතරෙ කිසිම රහසක් ඉතිරි නොවෙන තරමටම අපි ලංවුනත්; මේ කථාවට අපේ ආදර කතාව කියලා කියන්න මම පෙරුම් පිරුවත්; ඒක එහෙම උනේ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙට නම් උත්තරයක් ඇත්තෙම නෑ කියල මට ඒ දවස්වල හිතුනා… අපි අතරේ ආදරේ කියන වචනෙ හැම වෙලේම හිතෙත් දිව අගත් තිබුනා… අවුරුදු දොලහක්ම අපි අපේ කථාව ආදර කථාවක් කර නොගත්තෙ වැඩිහිටියන් හැටියට අපේ කථාව ආදර කථාවක් උනානම් ඒ ඈදර කථාවට රාගය නොදැනීම රිංගනවා… ඒක එහෙම උනේ නෑ… ඒත් ඒක ආදර කථාවක් උනා.

අපේ හිත්, අපේ ඇස් මුල් දවසෙම පැටලුනත් අත් පැටලෙන්න අවුරුදු දොලහක්ම ගියා… 

=============

.මම ඒ වෙනකොට අවුරුදු 19 ක තරුණයෙක් විත්තිය මතකයි… නැන්දලාගෙ ලොකු නංගි සමහර දවස්වලට මම ඉස්කෝලෙට ඇරලනව.. එයා ගාල්ලෙ රිපන් එකට මම අතින් අල්ලගෙන යන්නෙ… ඒකට කෙල්ල හරිම ආසයි… මමත් නැන්දලගෙ ගෙදර ඉඩ තියෙන හැමවෙලේම ගියේ ලොකු නංගිව බලන්න… 

ලොකු නංගි තවමත් චූටි කෙල්ලෙක් උනත් මගේ හිතේ මොකද්දෝ ඇල්මක් ඒ පුංචි කෙල්ල වෙත තිබුනා… කොහොමටත් ඒ කාලෙ ඇවැස්ස කම ලොකුවටම භාර ගත් කාලයක්… නැන්දත් මාමත් මට ගොඩක් ආදරෙන් හිටියෙ මම විභාගෙත් පාස් වෙලා හොඳින් ඉංග්‍රීසි කථා කල නිසාත් වෙන්න ඇති… අපේ ගෙදරත් නැන්දලාගෙ ගෙදරත් සාලෙ එංගලන්තෙ මහ රැජිනගෙ පිංතූර එල්ලල තිබුනෙ ලංකාව යටත් විජිතයක්ව තිබුන නිසයි.

ලොකු නංගිගෙ අතින් අල්ලගන්නත් කලින් තාම ඉස්කෝලෙ යන්නෙත් නැති චූටි නංගිත් ඇවිත් මගේ අතේ එල්ලුනේ එයාවත් එක්ක ගෙන යන්න කියන ගමන්…

"අනේ පුතේ ඔය පුංචි එකිත් අරගෙන පලයං කොල්ලො… මම මේ ආප්ප තම්බනව… උඹ තාම කාලත් නැතුව ඇති නොවැ… ගිහිං වරෙං මයෙ පුතේ"

නැන්ද කුස්සියෙ ඉඳගෙන බෙරිහන් දෙන්න තියාගත්ත… ඒ දෝංකාරය මගේ සිහියට නැගෙන්නෙ අද ඊයෙ වගේ..

මම චූටි නංගියත් වඩාගෙන ලොකු එකීගෙ අත අල්ලගත්තෙ ඉස්කෝලෙට ඇරලල එන්න හිතාගෙන.

"අනේ අම්මෙ අයියට අමාරුයි නේ… අයිය පව්"

ලොකු කෙලී කියවන්න ගත්තත් මම දෙන්නම අරගෙන පාරට බැස්සෙ ලොකු එකීගෙ නෝක්කඩු මූණ දිහා හොරෙන් බලාගෙන… ඒ වෙලාවට කෙල්ලගෙ පව්ඩර් දාපු මූන සුදට දිලිසුනා මතකයි… කොහොමත් ඒකි ගමේම හිටපු හැඩකාර කෙල්ල… මගේ හිතේ කොහොමත් පැලපදියම් වෙලා තිබුනෙ ලොකු එකී මගේ වගේ හැඟීමක්… ආදර හැඟීමක් පොඩි කාලෙ ඉඳන්ම… මම නැන්දලගෙ ගෙදරට ගොඩ වෙන හැම වෙලාවකම ලොකු එකී කොහේ හිටියත් පොඩි එකීට කලින් ඉස්සරහට දුවගෙන එන්නෙ ඒකිගෙ හිතෙත් අහිංසක ආදරයක් තිබුන නිසාමයි.

රිපන් බාලිකාවට ඇරලුවාම ලොකු එකී මගේ බෙල්ල බදාගෙන හාදුවක් දෙනකොට හැමදාම මගේ අතේ ඉන්න පොඩි කෙල්ලත් ඒ විදියටම මට හාදුවක් දෙන්නෙ අක්කව අනුගමනය කරමින්… පොඩි එකීගෙ කම්මුලේ තිබුන උපන් ලපය නිසා කවුරුත් ඒකිට කිව්වෙ ලපී කියල.

සයා බාප්ප, මගේ තාත්තගෙ අයිය මාව කොළඹ එක්ක ගියේ එයාගෙ කෙලින් වීදියෙ තිබුන ඔරලෝසු සාප්පුව භාර දෙන්න… ඒකට වැඩි හරියක්ම හේතු උනේ මම ගමේ නිකන් ඉන්න නිසාත්; මගේ ඉංග්‍රීසි දැනුම නිසාත්; එයාට විශ්වාස වන්ත කෙනෙක් හැටියට මම හොඳටම ගැලපුන නිසාත්‍ කියල මට මතකයි.

ඒ වෙනකොටත් සයා බාප්ප ලංකාවෙ අංක එකේ ඔරලෝසු වෙලෙන්දා හැටියට නම් දරා සිටියා… ඔරලෝසු වෙලඳාම මගේ යටතේ තව තවත් දියුණු වෙන්න ගත්තෙ දවසෙන් දෙකෙන් වගේ… මගේ අත මිටත් සරුවෙන්න ගත්තෙ බාප්ප මදිය නොකියන්න කලට වෙලාවට පඩි දුන්න නිසාමයි… සියලුම කටයුතු මගේ භාරයට පත්වෙලා තිබුන නිසා ගමේ යන එක මග ඇරුනත් ලොකු නංගි මගේ හිතෙන් අයින් වෙලා තිබුනෙ නෑ. මාස කීපයකට සැරයක් ගාල්ලට යන මම ලොකු නංගිට තෑග්ගක් අරගෙන යන එක පුරුද්දක් කරගෙන තිබුනා… චූටි නංගිටත් මොනවම හරි තෑග්ගක් ගෙනියන්න අමතක කලෙ නැතත් ලොකු නංගිගෙ තෑග්ග විශේෂත්වයකින් තෝරන්නත් මිලෙන් සාපේක්ෂව ඉහල මට්ටමක වීමත් කාගේත් කුතුහලයට කරුනක් වෙලා නොතිබුනාමත් නෙමෙයි.

"අක්කට ලස්සන එකක්" 

ඒ වගේ නෝකඩුවක් කියන්නත් ඇඟ පතින් හැදී වැඩී එන පොඩි නංගි පසුබට උනේ නැති අවස්ථා ටිකෙන් ටික සුලභ උන නිසා දෙන්නටම එකම තෑග්ග ගෙනියන්න මම පසු කාලෙක වග බලා ගත්ත.

ලොකු නංගිත් මගෙත් අතර ප්‍රකාශිත ආදරයක් නොතිබුනත් ආදරයක් තිබුන විත්තිය නැන්දත් මාමත් හොඳින්ම දනගෙන හිටියා… අප අතර තිබුන අවුරුදු 12 ක පමණ වයස පරතරය අපේ ආදරයට කිසිසේත්ම බාධාවක් වෙලා තිබුනෙත් නෑ… අපේ දෙමව්පියන්ගෙත් එයාලගෙ දෙමව්පියන්ගෙත් නොනිල ආශිර්වාදය අපි දෙන්නටම ලැබිල තිබුන.

ලොකු නංගි වෙනුවෙන් එංගලන්තයේ සාදන ලද හන්ට්ලීස් විස්කෝතු හා ඕලන්දයෙන් ආනයනය කරන ලද චීස් රැඟෙන නැන්දලාගේ ගෙදරට ගොඩවෙන මම, වැඩිවියට පත්ව සිටි ලොකු නංගී දෙස එක එල්ලේ බැලීම හා සිප ගැනීම් නැවතී තිබුනද එවන් අවස්ථාවන්හිදී කෙසේ හෝ ඇය හා කතාබහ කිරීමට අවස්ථාව සලසා ගත්තේ නැන්දාගේද නොනිල සහයද නොමදව ලැබූ නිසාය… එවන් අවස්ථාන්හිදී චූටි නංගීද යම්කිසි වැඩකට හවුල්කරගන්නා ඇය ඉවත්වන්නේ කෑම ටිකක් කාල යන්න ඉන්න කියමින් ආරාධනයක්ද කරමිනි.

මෙදින මම විශේෂ කාරණයක්ද ඇය හට පැවසීමට සිතාසිටි දිනයක් වූවා මතකය… සයා බාප්පා අප ආයතනයේ ශාඛාවක් මහනුවර නගරයේ පිහිටුවීමට තීරණය කර එහි භාරකාරත්වය මා හට භාරගැනීමට උපදෙස් දී තිබූ හෙයින් එහි යාමට මට නියම වී තිබුනි…. එම ආරංචිය ඇය වෙත පැවසීම මගේ අරමුණ වී තිබුනෙන් අප ආයතනයෙන් ලංකාවට ස්විට්සර්ලන්තයේ සිට ආනයනය  කල ඔරිස් වර්ගයේ අත් ඔරලෝසුවක්ද අතැතිවය.... ඇයට එය අගනා ත්‍යාගයක් වූවා පමණක් නොව නැවත වරක් ඔවුන් බැලීමට පැමිනෙන විට චූටි නංගීටද ඔරලෝසුවක් රැඟෙන එන බවට ඇය හට පොරොන්දු වීමටද මට සිදුවිය.

මහනුවර ශාඛාව අති සාර්ථක වූයෙන් වෙනත් වෙළඳ කටයුතු සඳහා මාස කිහිපයකට පසු ඉන්දියාවට යාමටද මා හට සිදුවීම දෛවෝපගත සිදුවීමක් වූ බව සිහිවේ…. එහිදී මා හට ගමේ සිටි පැරණි මිතුරෙකු වන ඩික්සන් මල්ලි මුණ ගැසුනා මතකය… ඔහු අතරමංවී සිටි සේයාවක් පෙනීගියෙන් මම ඔහුට රුපියල් සියයක් දී ලංකාවට ගොස් සපත්තු කර්මාන්තයේ නිරත වන ලෙස කාරුණිකව කියා සිටියෙමි…. පසු කලෙක ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමූඛ පෙලේ පාවහන් නිශ්පාදනාගාරයක හිමි කරුවා වීය.

ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි මම ලොක්කීව කරකාර බැඳගැනීමේ තීරණය පෙරදැරිව නැන්දලාගේ ගෙට ගොඩ වූයේ සියල්ලන්ටම ගෙනා තෑගි පාර්සල්ද අතැතිවය… 

"පුතා කවදද ගමේ ආවෙ… "

නැන්දා ඉදිරියට ආවේ මා දුරතියා දුටුනිසා විය හැකිය… නංගිලා කොහේදැයි ඇසීමට එවේලේ මගේ දිව පැටලුනේ නැත්තේ ඔවුන් ගෙතුල ඉන්නා බවට මාහට කිසිම සැකයක් නොතිබු නිසාය..

"අද උදේ නැන්දෙ…."

මට කීමට හැකිවූයේ එපමනකි, නැන්දා ගෙතුලට ගියේ තේ එකක් හදාගෙන එන්නම්, ඉඳගන්නැයි කියා කඩිමුඩියේ පවසමිණි… වෙනදා එන්න පුතේ ඇතුලට කියනා ඇය මෙදින එසේ නොපැවසීම මට මහත් කුතුහලයක් වූවා මතකය.

නංගිලා කිසිවෙක් ගෙතුල සිටිනා සේයාවක් නොමැති වීම මත ඇතිවූ මහත් කුතුහලයක් මා වෙලාගෙන සිටි අතර බොහෝ වේලාවකට පසු කැවිලි සමග තේ බන්දේසියක් රැඟෙන ඉදිරියට ආවේ පොඩි නංගීය… කැවිලි බන්දේසිය අලුත් අවුරුද්දකට සරිලනසේ සකසා තිබුනද එය එසේ නොවූයෙන් ලඟකදී උත්සවයක් තිබුනා විය හැකිය යන හැඟීමත් ලොකු නංගී ගේ නොපැමිණීමත් මගේ කුතුහලය දෙගුණ තෙගුණ කරලීමට සමත් විය… එහෙත් ඒ බව නොහැඟෙනසේ මම තේ බීමට සැරසුනා මතකය.

"කෝ නංගි මේබල් අක්ක…"

භද්‍ර යෞවනයේ සිටි මේරි නංගීගෙන් මම ඇසුවේ මද වේලාවකට පසුවය…. නැන්දා එසැනින් ඉදිරියට ආවේ පොඩි නංගී කිසිවක් නොකියා බිම බලාගෙනම සිටි නිසාවිය හැක.

"ලොක්කි කප්පරතොටට දීග ගියා මයෙ පුතේ… පුතාට කියන්නවත් හිටිය එකක්‍ යැ… ඒක හදිස්සියෙන් වගේ කෙරුනෙ… මේ මාමගෙ දුර නෑයො වෙනවනේ… පෙරේද චාමෙට උත්සවයක් ගත්ත… බෑන ඕං අද තමයි කොළඹ ගියේ.. ඒකි නං කැමැත්තෙං නෙමෙයි ගියේ… කොළඹ මැනිං මරකට් එකේ එලෝලු කඩයක් අයිති කෙනෙක්... "

නැන්දා දිගටම කියාගෙන ගියත් මගේ කණට වැටුනේ එපමණක් බව නම් මතකය…. රැඟෙන ඈ තෑගි බෝග පොඩි නංගීටත් නැන්දාටත් පිලිගැන්වූ මම අක්කගේ තෑග්ග නැන්දා අතට ගත්තේ කුමක් කරම්දෝයැයි දෙගිඩියාවෙනි…. එවේලෙ දොර රෙද්ද මෑත් කල ලොකු නංගී ලස්සන සාරියකින් සැරසිලා බිම බලාගෙනම ඉදිරියට එනවා මා දුටුවේ මගේ දෑසම තෙත් කරමින් තිබූ කඳුළු කැට අතරින්.

අප දෙදෙනාගෙ දෑස් පැටලෙනවා මට අද මෙන්  මතකය…. මා දැන් සිටින්නේද ඒ දෑස ඉදිරියේය යන හැඟීමෙන් මට මිදිය නොහැක.

"අනේ අයියෙ කෑම ටිකක් කාල යන්න ඉන්න"

ඉතා අසරණ ස්වභාවයකින් පොඩි නංගී මා වෙත කල ආයාචනයත් සමගම මගේත් අවුරුදු දහසයකට බාල ඇයගේත් අනාගත ඉරණම ආරම්භ වූවා මගේ මතකයට නැගේ.

============

මසකට වරක් මහනුවර සිට ගාල්ලට පැමිනෙන මම මෙවර එම ගමන වෙනදාටත් වඩා උනන්දුවෙන් පැමිණියේ මගේ බිරිඳට කුළුඳුලේ උපන් දරුවාට අවශ්‍ය සියලුම ඉස්තරම්ම පන්නයේ එංගලන්තයේ නිෂ්පාදිත ආම්පන්නද අතැතිවය… එයට අමතරව මාස හයකට පමණ ඉහත ලොකු අක්කාද කුළුඳුලේ පිරිමි දරුවකගේ මවක වී සිටියාය…. මේ වනවිට ලොකු අක්කාද පදිංචිවී සිටියේ මහගෙදරමය. ඒ දරුවාටද අවශ්‍ය කලමනාද නිතැතින්ම ඒ අතර වූයේය.

"කෝ පැටියා?"

කිරි දීමේ පහසුව පිණිස චීත්තයක් හා සැහැල්ලු හැට්ටයකින් සැරසී සිටි පොඩි නංගීගෙන් මම ඇසුවේ ඇයගේ අතේ පුතා නොසිටි බැවිනි.

"අන්න අක්ක අරං ගියා… එයාගෙ කාමරේ ඇති"

මම යුහුසුලුව ලොකු අක්කා වෙනුවෙන් වෙන්කර තිබූ කාමරය වෙත පිය නැගුවෙමි.

"නංගි තාම පොඩි එකීනේ අයියෙ…. එයාට කිරි මදි…"

ඇයගේ දීප්තිමහ් නිල් දෑස මා වෙත යොමු කරමින් සුපුරුදු සෙනෙහසින් කීවා මතකය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget