ඉක්මන් උනා වැඩියි

Some of us think holding on makes us strong; but sometimes it is letting go....
German Novelist Hermann Hesse who wrote "Siddhartha", the philosophical fiction in 1922

අත් නොහැරීම අප ශක්තිමත් කරනු ඇතැයි සමහරු සිතතත් සමහර විට අත් හැරීම අප වඩාත් ශක්තිමත් කරනු ඇත... වසර 1922 දී සිද්ධාර්ථ නමින් පළවූ දාර්ශනික නව කතාව ලියූ හර්මාන් හෙසේ

ඉක්මන් උනා වැඩියි නේද?

මගේ ම අතට හිරවුන පිහිය මගේ ම පපුවට කිඳා බැස්සෙ කිසි ම වේදනාවකින් තොරව නිසා මට හිතුන මම මැරෙන එකක් නෑ කියල… ඒ එක්ක ම කකුල් පණ නැති වෙලා තාර පාර බදා ගත්තෙ දෙනෝ දාහක් මිනිස්සුන්ගෙ මර ලතෝනියත් එක්ක... මගේ ඇඟිලි තවමත් පිහිය බදාගෙන.... මට ජීවත් වෙන්න බෑ,... මැරෙන්න ම ඕන…. මම තාර පාරට පුළුවන් වෙර යොදල බර දුන්නෙ පිහිය තවත් ඇතුළට කිඳා බහීවි කියල හිතාගෙන.

තාර පාර ත් පපුව ත් අතර මගේ ම අතේ ගුලි වෙච්ච පිහි තුඩ තව තවත් පපුව තුළට කිඳා බැස්සත් මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ… මම මැරෙන එකක් නෑ කියන හැඟීම කොහොම මගේ ඔළුවට ආව ද හිතා ගන්න බෑ... පුලුවන් වැර යොදල පිහිය තාර පාරට හිර කර ගත්ත… පිහි තුඩ තව තවත් මගේ ම පපුවට කිඳා බහිනව දැනෙන කොටම මුළු ලෝකෙ ම අන්ධකාරය ගිල ගත්ත.

~~~~~~~~~~

“සිල්වා මහත්තය අපිට කිව්ව ඉඩම බලාගන්න කවුරු හරි එවනව කියල” 

වැටෙන් එහා පැත්තෙ ඉඳගෙන ගෑනු කෙනෙක් කියනව ඇහිල මම හැරිල බැලුව ත් මගේ හිත තිබුනෙ ගහෙන් බිමට වැටෙන පොල් ගෙඩි ගාන ගැන විතරමයි…. දඩස් ගාන හැම පාරකට ම මම ගාන අල්ලන්නෙ හරියට ම පොල් ගෙඩි කීයක් කැඩුව ද කියල ගණන් තියා ගන්න ඕන නිසයි…. එකක් හරි වැරදුනොත් අපරාදෙ.

“ ආ...ඔව්. අද මේ පොල් ටික කඩල ගෙනි යන්න කියල ආවා... සිල්ව මහත්තයල මේ දවස් වල රට”

මේ මොන කරදරයක් ද මගේ ගාන වරදිනව කියල හිතුන ත්, තරමක හැඩකාර ලස්සන ගෑනියක් නිසා ඒ හැඟීම යටපත් කරගත්ත… ඇඟට ම හිරවෙන ජීන්ස් කලිසමක් ඇදල හිටපු නිසා මට එයාගෙ රූපෙ හිතින් මවාගන්න අපහසු වුනේ නෑ. 

මම ගෑනුන්ගෙ ලස්සන දකින්නෙ මට තේරෙන විදියට... සමහර ගෑනු සුන්දරයි... ඒ අයගෙ පෙනුම, හැසිරීම, ඇඳුම් පැළඳුම් සියල්ලක් ම සුන්දර පෙනුමක් ගන්නව.... එයාලගෙ රූපෙ, මූණ, පියයුරු උකුළ සියළුම අඟ පසඟ අඳින්න කවකට්ටෙන් පුළුවන්…. එයාල හොඳයි කොටු තාප්පෙ උඩ ඉඳගෙන ඈත මුහුද දිහා බලාගෙන ආදර බස් කියන්න. 

සමහර ගෑණුන්ගෙ තියෙන්නෙ වෙන ම ලස්සනක්. ඒක කාමුක ලස්සනක්…. දැක්ක ම ආස හිතෙනව…. එයාලගෙ අඟ පසඟ අඳින්න පුළුවන් හොඳ චිත්‍ර ශිල්පියෙකුට විතරමයි…. මෙයාට තියෙන්නෙත් එහෙම ලස්සනක්. 

“ඔයා….සිල්ව මහත්තයලගෙ ගෙවල් පැත්තෙ ද?”

කථාව දිග්ගස්සන්නමයි හදන්නෙ.

“ඔව්…. ඒ ළඟමයි”

"අපේ මහත්තය තමයි ඔය ඉඩම සිල්ව මහත්තයලට ගන්න උදව් කළේ… කලින් අයිතිකාරයො අපේ මහත්තයගෙ ළඟ නෑයො"

"ඔයාගෙ මහත්තය කොහෙද වැඩ කරන්නෙ"

"ආමි එකේ එයා කැප්ටන් රංගනාත් ගෙ ඩ්‍රයිවර්"

ඔන්න ඔය විදියට පටන් ගත්ත කථිකාව නැවතුනේ යන්න කලින් එන්න තේ එකක් බීල යන්න කියන ආරාධනාවකුත් අරගෙන. 

පොල් ගස් විසි දෙකක පොල් එකතු කරල මුදලාලිගෙ වාහනේටත් පටවලා, මම අල්ලපු ඉඩමෙ ගෙදරට ගියේ ආරාධනාව අහක දාන්න බැරි කමටත් වැඩිය, මේ වෙලාවට තේ එකක අගේ හොඳින් තේරුම් අරගෙනත් හිටිය නිසාමයි…. මට එයාව දකින්න ආසාවක් නොතිබුනාමත් නෙමෙයි.

ගෙදර ගෙනියන්න කියල අයින් කරපු පොල්ගෙඩි දහය ත් මගේ ත්‍රී වීල් එකට පටව ගෙන, අල්ලපු ගෙදරට ගියේ මොනව උනත් හිතවත්කමක් පාඩුවක් වෙන්නෙත් නැහැ නේ ද, කියන සිතිවිල්ල ත් එක්කමයි.

පළමු කථා බහෙන් ම මම දැන ගත්ත ගෙදර ඉන්නෙ පුතයි දුවයි විතරයි කියල... මහත්තය ආමි එකේ රියැදුරෙක් නිසා බොහෝ දුරට ගෙදරින් පිට ඉන්න විත්තියත් මම දැනගෙන හිටිය නිසා, කිසි ම චකිතයකින් තොරව ම මම ගෙට ගොඩ වුනා… කොහොම වුනත් මට ආරාධනාවකුත් කළානේ කියන සිතිවිල්ලත් එක්ක.

ඒ වෙනකොට එයා නාල කොට ගවුමක් ඇදලා හිටිය ත් මට එයාගෙ බාගෙට පෙනෙන කලවා අතරින් එයාගෙ කාමුක සිරුර සිතින් මවාගන්න අමාරු වුනේ නෑ.

“ඉඳගන්න මම තේ එකක් හදාගෙන ම එන්නම්”

මම ගේ ඇතුළ පේන විදියට පුටුවක් තෝරගෙන ඉඳ ගත්තෙ ඇත්තට ම ඒ ලස්සන සිරුර ලතාවකට ගැස්සෙන හැටි බලන්නමයි... අපේ ගෑනු ඇත්තට ම එයාලගෙ සිරුර ගැන හිතන්නෙ ම නෑ…. මගේ ගෑනිට තවම එක ළමයයි... ඒත් මේ වගේ දැක්ක ම ආස හිතෙන්නෙ නැත්තෙ එයාගේ ලස්සන නැතුවමත් නෙමෙයි…. ඒ ගැන සැලකිල්ලක් නැති නිසා නේද කියල හිතුන…. මෙයාට ළමයි දෙන්නෙක් වෙලත් තව ම එයාගෙ සිරුර හැඩයි… බලන ඕන කෙනෙකුට ආස හිතෙනව.

එයා තේ එක මට පිළිගන්නන කොට වාඩි වෙලා හිටපු මම එයාගෙ බාගෙට නිරාවරණය වුණු පියයුරු දිහාව බැලුව විත්තිය එයා දැක්ක නිසා යන්තමට අතින් වහගත්තත්, මගේ ඉස්සරහ ම පුටුවෙ ඉඳගන්න කොට නම් එයාගෙ කලව සුදට සුදේ දිලිසුණා මම දැක්ක…. මගේ ත්‍රී වීල් එකේ නිතර යන එන සුද්දියන්ගෙ පැහැය මතක් වෙන කොට එයාගෙ පාට සුදු ම ත් නෙමෙයි තරමක රන් පැහැයක් කියල හිතුන.

අපි එදා ඉතා සුහද ව දැන හැඳුනුම් කමක් ඇති කර ගත්තෙ කවදා හෝ ඒ දැන හැඳුනුම් කම අපි දෙන්නගෙ ම මාරයා වෙන විත්තිය අංශු මාත්‍රයකින්වත් දැනුම් තේරුම් ඇතුව නම් නෙමෙයි.

එදා මම ඒ ගෙදරින් පිට වුනේ ගෙදර ගෙනියන්න ගත්තු පොල් ගෙඩි පහකුත් ලෙලි ගහල ම දීලයි... ඒ පොල් ගෙඩි එයාට දෙන කොට සාමාන්‍ය විදියට අපේ අත් ගැටුන ත්, ඒ ගැටුම තරමක් දුරට අසාමාන්‍යයි කියල ත් මට හිතුනෙ ඒ එක්ක ම එයාගෙ දෑස් මගේ දෑස් එක්ක පැටලුන නිසා වෙන්න ත් ඇති… එයාට තිබුනෙ හීනි දිගැටි කාමුක දෑසක්… සුද්දො සුද්දියො එකිනෙකාට සමු දෙන්නෙ හැම වෙලේම වැළඳගෙන… මටත් ඇයව වැළඳගෙන සමු දෙන්න ඇත්නම් කියල හිතුණා.

මම ගෙදර ආවෙ අමුතු ම උද්‍යෝගයකින්... එදා දවසේ මට ත්‍රීවීල් ආදායමක් නැතත් පොල් වලින් ලැබුණු මුදල් ඕනවටත් වඩා ප්‍රමාණවත් බව දන්න නිසා, ගෙදරට ගොඩ උනේ අරක්කු බාගයකුත් අරගෙනමයි…. මම ගෙදරට අරක්කු ගෙනාවොත් බීමට ඇබ්බැහි වෙලා හිටපු නැති නිසා මගේ බිරිඳ  කලින් ම වැඩ ඉවර කරල ඇඳට එන්නෙ මාව සතුටු කරන්න බලාගෙනමයි. එදා මම ලොකූ උද්‍යෝගයකින් විවාහක බිරිඳ එක්ක එකතු වෙලා උපරිම සතුටක් ලැබුව ත්, අවසානෙ දි මම හිතින් එකතු වෙලා හිටියෙ හිමාලි එක්ක. ඒක එදා මට නැවුම් අත්දැකීමක් වුණා.

“මචං අපේ රටේ බ්ලූ ෆිල්ම් තහනම් උනාට ජර්මනියෙ හන්දියක් ගානෙ සුරුට්ටු කඩ වගේ සෙක්ස් ශොප්” 

නාකි සුද්දියෙක් යාළු කරගෙන ජර්මනියට ගිහිල්ල ජීවිතේ සරු කර ගත්තු මගේ යාලුවෙක් උගේ ලංකාවෙ ඉන්න කෙල්ල බලන්න මගේ ත්‍රීවීල් එකේ යන ගමන් කියාපු දේශනාව මතක් වුනා.

“උන්ගෙ උද්‍යෝගෙ අඩු වුනා ම සෙක්ස් ශොප් එකෙන් වීඩියෝ එකක් ගෙනැල්ල බලන ගමන් උන් සෙක්ස් කරනව… ඒක එහේ සාමාන්‍ය දෙයක්”

"මෙහේ ගෑනිට කිව්වොත් ඒ වගේ එකක් බලමු කියලා ගුටි කන්න තමයි වෙන්නෙ"

මම ත් ව්‍යංගාර්ථයෙන් කළේ ඒක ම නේද කියල හිතුන ම, මගේ හිතේ යාන්තමට තිබුන වරදකාරී හැඟීම නැති වෙලා ම ගියා... ජීවිතේ අට පාස් නැති, පොතක් පතක් පරිහරණය කරන්නෙ නැති, ඉහළ සමාජයෙන් කොන්වෙලා ඉන්න ත්‍රීවීල් කාරයෙකුට, මේක අපූරු ආදර්ශයක් වුණා… මට බොහෝම සුළුවෙන් වැටහිලා තිබුන රටේ පඬිවරු, ආගමික දේශකයො වදාරන සංස්කෘතිය සභ්‍යත්වය මම මගෙ ත් බිරිඳ ගෙත් සතුට වෙනුවෙන් බල්ලට දාන්න හිතා ගත්ත.

මම එද ත් ඊට පස්සෙ ත් කායිකව කසාද බිරිඳ ත් එක්ක එකතු වුනත් මනසින් සතුටු වුනේ හිමාලි එක්ක. ඒක නිල් චිත්‍රපටියක් බලනව වගේ…. ඉඩමට යන හැමදාට ම වගේ මට හිමාලි මුනගැහෙන එක සාමාන්‍ය සිදුවීමක් වුන අතරෙ, එයාට ගෙදරට ඕන කරන දේවල් ගන්න යන්නත් මගේ ත්‍රීවීල් එක ම එයා පාවිච්චි කරන්න පටන් ගත්ත…. මම ත් ඒ හැමදෙයක් ම කළේ ගොඩාක් ආසාවෙන්. 

වැඩි කලක් ගියේ නෑ, අපේ හිත් ඇතුළෙ තිබුන ආසාවන් එළියට පනින්න…. එදා සෙනසුරාදා දවසක්. පොඩි දෙන්නත් එක්ක ගමනක් යමු ද කියල ඇහුවෙ, එයා හොඳට ම දන්නව මම මේ වෙන කොට එයත් එක්ක යකාගෙ කටට උනත් යන්න ලෑස්ති විත්තිය.

වතුරට දාන කොට ඉබ්බ ඇන්නෑවෙ කිව්ව ලු.

එදා අපි කොග්ගල මූදෙ නාන්න ගියා… අපි උවමනාවෙන් ම ටිකක් පාලු තැනක් තෝරගත්තෙ නිදහසේ ඉන්න ඕන නිසා ම යි... ගල් පරයට රැල්ල බිඳෙන නිසා ආරක්ෂාව පිළිබඳ කිසි ම සැකයක් තිබුනෙ නෑ... අපි පොඩි දෙන්න ත් එක්ක නාන්න බැස්සෙ එයා කොට කලිසමක් ඇඳගෙන. තුනී කමීසය ලුණු වතුරට පෙඟුනම මට එයාගෙ වටකුරු පියයුරු පෙනුනෙ ඒව එයාගෙ නෙමෙයි මගේ කියන්න වගේ… ලස්සන කිරි පාටට දිලිසෙන කලව මාව පිස්සෙක් කළා. 

වෙන දෙයක් වුනාවෙ කියල මම වතුර යට තිබුන එයාගෙ අතින් අල්ල ගත්ත... පොඩි දෙන්න වැල්ලෙ සෙල්ලම් කරනව… ළඟ පාත පිට කවුරුවත් ඇත්තෙත් නෑ…  එයත් මගේ අත තද කරල අල්ල ගත්ත… මම එයාට ළං වෙන කොට එයා ඇස් පියාගත්ත….මම පළවෙනි වතාවට එයාගෙ ලස්සන තොල්පෙති සිප ගත්ත…. ඉණෙන් පහළ අපි දෙන්න ම නිරුවත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ... වතුර යට නිසා කාටවත් පේන්නෙත් නෑ... අපි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ පිස්සුවෙන් වගේ.... මම ආසාවෙන් බලාගෙන, හිතෙන් එයාගෙ සිරුර වැළඳ ගත් කාලය නිමා කරමින් අපේ ලිංගික ආසාවන් සපුරා ගත්ත පළවෙනි දවස විදියට එදා ජීවිතේ සනිටුහන් වුනා.

එදා අපි දරුවො දෙන්න ත් එක්ක ගෙදර ගියේ හරි ම සතුටකින් අලුත් ම ජීවිතයකට ඇතුල් වුනා කියන සුන්දර හැඟීමත් එක්ක.. අපි දෙන්න ම පොරොන්දු වුනා ජීවිතේට වෙන් වෙන්නෙ නෑ කියල... සිල්වා මහත්තයගෙ ඉඩමෙ පාලුවට තිබුන අංග සම්පූර්ණ නිවස අපේ එක් වීමට අවුරුදු දෙකක් ම තෝතැන්නක් වුනා… අපි ඒ ගෙදර කාමරයක් අපිට ම වෙන්කර ගත්ත… අපි අසීමිත නිදහසක් භුක්ති වින්දා.

මගේ ආර්ථිකය සීමා සහිත නිසා, ඒ අතින් මට හිමාලිට වැඩි යමක් කරන්න බැරි උනත් මම දැනගෙන හිටිය, එයත් මගෙන් එහෙම කිසි ම දෙයක් බලාපොරොත්තු වුනේ නැති විත්තිය ත්…. මගේ බිරිඳ හා දරුවා වෙනුවෙනුත් වෙනදාටත් වඩා මම සැලකිලිමත් උනේ මේ සතුට සදාකල් විඳින්න තිබුන ආසාව නිසාමයි.

ඒ අවුරුදු දෙකක පමණ කාලය ගත කලේ මේ ලෝකෙ අපි තරම් මානසිකව ත්, කායිකව ත් සතුටු වෙන ජෝඩුවක් නෑ කියන හැඟීමෙන්…. අපි එකතු වුන හැම අවස්ථාවක ම විවිධත්වයක් අපි ම නිර්මාණය කර ගත්ත නිසා අපේ උනන්දුව අබ මල් රේණුවකින්වත් අඩු වුනේ නෑ... මේ සුන්දරත්වය සදාකාලිකයි කියන හැඟීමෙන් මම ජීවත් වුණා.

ඔය අතරතුරේ අපේ ජීවිතවලට අමුත්තෙක් ඇතුල් වුණා... ඉන්දියන් සම්භවයක් එක්ක ආපු ඒ අමුත්ත එදා එයාගෙ දොරකඩ හිටගෙන හිටියේ මහා උජාරුවට.... හිමාලි ඒ ලඟින් ම ලස්සන හිනාවකුත් එක්ක හිටගෙන ඉන්නව මම දැක්කත් ඉරිසියාවක් ඇති වුනේ නැත්තෙ ඒක හිමාලිට ම ගැලපෙන ස්කූටියක් නිසයි. 

“යමු ද රවුමක්”

හිමාලි උතුරා යන සතුටකින් අහනකොට මම ත් ඒ සතුට ට හවුල් වුනා.

“කාගෙ ද?”

“වෙන කාගෙ ද... මගේ. මහත්තයට ආමි එකෙන් අඩු පොළියට ලෝන් එකක් ලැබිල…. ඊයෙ ගෙනැල්ල දීල ගියා”

හිමාලි ආඩම්බර මූණක් ආරූඪ කරගෙන කියන කොට එයාගෙ උකුළ ගැස්සුන ලස්සන මම ආසාවෙන් විඳ ගත්ත.

“මරුනේ… දැන් ඉතින් අපේ  ත්‍රී වීල් මොකට ද නේ ද?”

එහෙම කිව්වෙ අපි දෙන්න ම ගේ ඇතුළට යන ගමන්... ගෙදර කවුරුවත් ම නැති විත්තිය අපිට වඩා හොදින් දන්න අපේ තොල් පෙති එකට පැටලෙන්න ගත්තෙ ස්කූටිය ලැබුන සන්තෝසෙටත් එක්ක. 

“මචං ඔය ස්කූටිය තියෙනව නේද…. ගෑනිට අරගෙන දුන්නොත් ගෑනි පිට යනව….., නුදුන්නොත් තරහ වෙලා පිට යනව…” 

මට දවසක් යාළුවෙක් විහිළුවට වගේ කියාපු දෙයක් මතක් වුනත් මම ගාණකට ගත්තෙ නැත්තෙ කොහොමත් හිමාලි පිට ගිහිල්ල මගේ ලඟ නැවතිලා ඉන්න නිසා වෙන්න ඇති…. එයාට තවත් යන්න තැනක් නැති විත්තිය මම හොඳාකාරව ම දැනගෙන හිටියෙ ඒ වෙන කොට එයාගෙ අසීමිත ආදරේ මට දැනිල තිබුණ නිසයි.

මම යමු කාමරේට කිව්ව ම එයා ටිකක් අදි මදි කළ ත් අපි එද ත් වෙන දා වගේ ම සතුටු වුනා…. මට එදා පොඩි වෙනසක් නොදැනුනාමත් නෙමෙයි…. ගෙදරින් එළියට බහින කොට මිදුලෙ දැකපු ටයර් පාරවල් රෝද හතරක වාහනේක කියල හොඳට ම තේරුනත් මම හිතුව ඊයෙ රෑ හිමාලිගෙ මහත්තය ආපු ආමි වාහනේ සලකුණු වෙන්න ඇති කියල.

ස්කූටිය ලැබුනට පස්සේ එයාගෙ වැඩ බොහෝමයක් එයා ම කරගන්න කොට මගේ හිතට හීන් සැකයකුත් ආවෙ නැත්තෙමත් නෑ…  එයාගෙ මිදුලෙ ටයර් පාරවල් දවසින් දවස අලුත් වෙනවත් මම දැක්ක… මම ඒ ගැන කිසි දෙයක් අහන්න ගියෙත් නැත්තෙ දවල් කාලෙ කිසිම වාහනයක් ඒ ගෙදරට එන්නෙ නැති විත්තිය සහ සුද්දියෙන් ම දන්න නිසයි. 

මගේ හිත මට වද දෙන්න පටන් ගත්තෙ හිමාලිගෙ සුළු වෙනස් වීම් එක්කමයි… අපේ කායික එකතු වීම් තුළ මගේ උද්‍යෝගයෙ වෙනසක් නොතිබුනත් එයා වෙන දා තරම් ම මගෙන් සතුටු වෙන්නෙ නැති විත්තිය මට තේරුම් ගියා. 

එක දවසක් මම යොදා ගත්ත මේ ගැන හොයල බලන්න…. එදා මම රෑ වෙලා හයර් එකක් යන විදියට මගේ බිරිඳට කියල එයාගෙ ගෙදර හොරෙන් ම ගියා… ඈත තියාම එයාගෙ ගෙදර මිදුලෙ ලස්සන කාර් එකක් නවත්තල තිබුණා.... රෑ එකොළහට විතර ඇති... හිමාලිගෙ කාමරේ ලයිට් එකත් පත්තු වෙනව. 

මට ඉවසුම් නැති වුනා. අද දෙකෙන් එකක් කියල හිතාගෙන මම ටිකක් ඈතින් මගේ ත්‍රීවීල් එක නවත්තලා හිමීට හිමාලිගෙ ගෙදරට ළං වුනේ වාහනේ නොම්මරේ බලා ගන්නත් එක්කමයි... මම හිටපු තැන ම ගල් ගැහුන... යුද හමුදාවෙ වාහනයක්. එයාගෙ මහත්තය ඇවිල්ල…. මම ආපහු හැරිල ගෙදර ආවෙ මම කරපු මෝඩ වැඩේ ගැන පසුතැවිලි වෙන ගමන්.

ටික දවසක් මම කිසිම දෙයක් උනේ නැතිගානට හිටියත් අපි දෙන්නට ම බැරි වුනා අපේ පරණ සුපුරුදු සුන්දරත්වය ළඟා කර ගන්න…. අපි එකතූ උනේ යුතුකමක් බැහැර අරින්න බැරි නිසාවට ම වගේ…. අපි ටිකෙන් ටික ඈත් වෙනව වගේ දැනුණා.

මට ඉවසන්න බැරි දුකක් වේදනාවක් එක්ක ම ජීවිතේ විශාල පරාජයක් දැනුණා... අපි මොන තරම් දුරට සිතින් හා ගතින් බැඳිල හිටිය ද කියන්න දන්නෙ අපි දෙන්න ම විතරයි. 

එදා මම හිමාලිගෙ ගෙදර උදෙන් ම ගියේ වෙනද වගේම කලින් දැනුම් දීමකින් තොර ව... ගෙදර දොරවල් වහල තිබුන... මම එවේලෙ ම එයාගෙ ජංගම දුරකථනයට කථා කළා... මම ම එයාගෙ උපන් දිනේට තෑගි දුන්න ජංගම දුරකථනය තුළින් මම ම දාල දුන්න එයාගෙ ත් මගෙ ත් ප්‍රියතම සිංදුව ඇහෙන්න ගත්ත.

සඳකැන් වැසිලා….අදුරේ එතිලා……

මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු ...රහස් අහස් තලයට පවරා……

ටිකක් ප්‍රමාද වෙලා එයා දුරකථනය ඉස්සුවා.

“ඔයා කොහෙද ඉන්නෙ”

මම හලෝ කියන්නෙවත් නැතුව ඇහුවෙ මගේ කේන්තිය පෙන්නන්නත් එක්ක.

“මම ගෙදර නෙමෙයි….. පිට ගෙදරක ඉන්නෙ. පොඩි ප්‍රශ්නයක්…... මම පස්සෙ කියන්නම්”

“හරි…..කොහේද ඉන්නෙ කියන්න”

“කච්චුවත්තෙ ගෙදරක”

එයා දුරකථනය විසන්ධි කළා.

මොකක් නමුත් ලොකු ප්‍රශ්නයත් වෙන්න ඕන…. කරදරයක් ද?... ඇයි එක පාරට ම විසන්ධි කළේ?... මේ වගේ ප්‍රශ්න වැලක මම අතරමං වෙලා…. ආයෙත් කෝල් එකක් ගත්තෙ ඕන දෙයක් කියල හිත හදාගෙන.

ඒ ගමනත් පිළිතුරු දෙන්න ටිකක් ප්‍රමාද උනත් එහා පැත්තෙන් ආවෙ පිරිම් කටහඬක්.

“හලෝ...මම කැප්ටන් රංගනාත් කථා කරන්නෙ…. මම කොහොමටත් ඔයාට කථා කරන්න තමයි හිටියෙ…. ඔයා මේ කරන වැඩේ නවත්තන්න….. ආයෙත් හිමාලිට කරදර කරන්න එපා”

මගේ ඉහ මොළ රත් වෙලා මුළු ලෝකෙම අන්ධකාරයට ඇදිලා ගියා.

“ඔයා කවුද මට එහෙම තරවටු කරන්න”

"මහත්තයෝ… මම කවුද කියල හරියට ම දැන ගන්න ඕන නම් කොටුවෙ කෑම්ප් එකට එන්න. ඔයා මේ කරන වැඩෙන් ඔයාගෙ පවුල ත් හිමාලිගෙ පවුල ත් කඩාකප්පල් වෙනව….. ඔයා වහා ම  මේ සම්බන්ධෙ නවත්තන්න”

ඒ ගොරහැඬි කට හඬ දිගට ම කියාගෙන යනව, මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ…. මම ගල් ගැහිල අහගෙන හිටිය ත් කිසි ම දෙයක් ඔළුවට ගියේ නෑ... මෙච්චර ආදරෙන් ඉඳල ත් අඩු ගානෙ මට කියන්න තිබුණා එයාට වෙන සම්බන්ධයක් තියෙනව කියල... මේක තමයි පහුගිය ට්කේ, ටික ටික වෙනස් වුනේ. 

මම හරියට ම හිමාලි ඉන්න තැන දන්නෙ නැතත් කච්චුවත්තට ගියා... කච්චුවත්ත පුරා ම රවුම් ගැහුව... පැය ගාණක් රස්තියාදු උනා හිමාලි ව මුණ ගැහෙන්න... වෙනද කියන පරක්කුවට හමුවෙන හිමාලි අද මට හමුවෙන්න හැම තැන ම ඇවිදින්න වෙලා… එයා වෙන මිනිහෙක් එක්ක ඉන්නව මට මැවිල පේනව.... තවත් ආමි එකේ එකෙක්… මම අර දකින්න ඇත්තෙත් ඒ ආමිකාරයගෙ වාහනේ... ස්කූටියත් එයා වෙන්න ඇති අරගෙන දෙන්න ඇත්තෙ. 

හවස පහ පහු වෙනකොට ම වගේ හිමාලි කච්චුවත්ත හරස් පාරකින් මහ පාරට එයාගෙ ස්කූටිය දානව දැක්ක... වැඩි දුරක් යන්න කලින් මම ත්‍රී වීල් එකෙන් එයාට ලං කළා… එතනින් එහාට සිද්ධ වුණු හැම දෙයක් ම වෙනත් අභූත බලවේගයක් විසින් මෙහෙ ය වූ බවක් මට දැනුණා.

හදිසියකට සීට් එක යට හංගලා තිබුන උල් පිහිය මේ වෙන කොට මගේ අතේ…  යන ගමන් ම මම හිමාලිට ඇනපු පිහි පාර කොතනට වැදුන ද දන්නෙ නෑ…. එයා මහපාර මැද වැටුණ ත් ආයෙත් නැගිටලා දුවන්න ගත්තෙ, දෙනෝ දාහක් බලාගෙන ඉදිද්දි මර ලතෝනියකුත් තියාගෙන… මම මගේ හිමාලිට කී සැරයක් ඇන්න ද කියල නිනව්වක් නෑ... පාර අයිනෙ වැටෙන කල් ම ඇන්න... දැන් ඉතින් මම ජීවත් වෙලා වැඩක් නෑ. මගේ පිහිය මගේ පපුව පැත්තට ම හැරවුණා.

~~~~~~~~~~

විශාල දෝංකාරයක් ඇවිත් මගේ කන් අගුල් වැටුණා... හිතට විශාල හෑල්ලුවක් දැනෙනව... අහසෙ පාවෙනව… මම ත් හිමාලි ත්. නිරුවතින්... අපේ අත් පැටලිලා… මිනිස්සු වට වෙලා අපිව උස්සනව… ඒත් අපි අහසෙ පාවෙනව... අපිව ඔසවලා වාහනේකට දානව අපි බලාගෙන හිටියෙ හරිම සැහැල්ලුවෙන්… එකම දිසාවකට අපි පාවෙලා යනව…. හිතට දැනුන සැහැල්ලුව අපට අලුත් අත්දැකීමක්…  හිමාලි ටිකෙන් ටික මට ඉස්සර වෙනව… එයා ව අල්ල ගන්න මම උත්සාහ කළත් මට බැරි වෙන කොට මගේ හිත පිරිල තිබුන හෑල්ලුව ටික ටික වේදනාවකට හැරෙනව දැනුණා… හිමාලි මගෙන් වෙන්වෙලා ඈතට යන්න යන්න මගේ වේදනාව වැඩිවෙනව දැනුන…. උහුල ගන්න බැරි තරමේ වේදනාවක් එක්ක එයා මගෙන් වෙන්වෙලා ගියා.

~~~~~~~~~~

ගොඩාක් ඈතින් ඇහෙන්න ගත්ත ගෑනු කට හඬක් ටිකෙන් ටික මගේ කණට ළං වෙනව දැනුණා... මම ඇස් ඇරල බලන්න මහන්සි ගත්තත් පෙනුනෙ නෑ…. ඒ ගමන ගෑනු කෙනෙක් අඬනව ඇහෙනව... දරුවෙක්ගෙ කෙඳිරිලි හඬකුත් එක්ක කලවමේ ඇහෙනව... ඈතින් ඇහුණු ඒ මැසිවිල්ල ළඟින් ම ඇහෙන්න ගත්තේ මාව වෙළාගෙන තිබුණු අන්ධකාරය අතරින් යාන්තමට ඡායාවකුත් එක්ක.

“රත්තරනේ….අපිව දාල යන්න එපා…තාත්තේ…” 

ඒ මගේ බිරිඳ ත් දරුව ත් කියල වටහගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ... මට හෙල්ලෙන්නවත් බෑ. 

මම ඉස්පිරිතාලෙ ඇදක් උඩ නේද මේ... මට ටිකෙන් ටික සිහිය එන කොට මගේ බිරිඳ ත් දරුව ත් මගේ ළඟ හිටියෙ මට සමාව දෙන්න වගේ... එයාල ගොඩාක් මහන්සි වුණා මාව බේර ගන්න…. මම ඉස්පිරිතාලෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට ත් එතනින් ඇප අරගෙන ගෙදරට ත් ආවෙ ආයෙත් ජීවත් වෙනව කියන අධ්ෂ්ඨානය ත් සමග.

~~~~~~~~~~

සෑම ඉරිදාවක ම පොලිස් පොතේ අත්සන් කරන්න මට උසාවියෙන් නියම වුන නිසා ගෙදර ආපු පළවෙනි ඉරිද මම පොලීසියට ගියේ පොත අත්සන් කරන්න හිතාගෙන…. පොත අත්සන් කරල එන්න හැරෙන කොට සාජන් මහත්තය මට පොලිස් භාරයේ තිබි මුද්දරයක් ඇලවූ කවරයක් සමග ලියුමක් දීල කිව්ව, ඔය බංකුව උඩ ඉදගෙන කියවලා ආපහු දීල යන්න කියල. 

ආදර රත්නෙ,

මට ඔයාගෙ මූණට මේ ටික කියන්න බැරි නිසා මේ විදියට ලියුමක් තැපැල් කරන්න හිතුන. 

පහුගිය ටිකේ මම ජීවත් වුනේ විශාල පීඩනයක් එක්ක…. මහත්තයට අපේ සම්බන්ධෙ ගැන දැන ගන්න ලැබිල... එයා ඒ ගැන සොයන්න දවසක් ගෙදරට ම ඇවිල්ල... ඔයා එදා අපේ ගෙදර.

එයා කෑම්ප් එකට ගිහිල්ල එයාගෙ මහත්තයට කියල කීප දවසක් අපේ ගෙදර ආව මහත්තයත් එක්ක මට අවවාද කරන්න... ඔයාගෙ ත්‍රීවීල් එකෙන් මම නොයෙකුත් වැඩ වලට යන නිසා ඒ මහත්තයගෙ උදව්වෙන් තමයි ස්කූටිය අරගෙන දුන්නෙත්.

එයා කිව්ව මේක නවත්තන්න බැරි නම් එයාලට මගේ මහත්තය වෙනුවෙන් තීරණයක් ගන්න වෙනව කියලා… ඒ කිව්වෙ මගේ මහත්තය වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ නැති කරන එක එයාලට ලොකු දෙයක් නෙමෙයි කියන එක වෙන්න ඇති කියල මම ගොඩක් පසුතැවිලි වුනා.

මට ඒ තීරණය ගන්න කොහෙත් ම බෑ... මට සිද්ධ වෙනව ඔයාව අත අරින්න… තීරණයක් ගන්න එයා දුන්න සතිය අද ඉවර වෙනව... මම අද එයාගෙ ගෙදරට ගිහිල්ල පොරොන්දු වෙනව ඔයාව මීට පස්සෙ මුණ ගැහෙන්නෙ නෑ කියල. 

මම ඒ තීරණය ගත්තෙ ඔයාට තියෙන ආදරේ නිසාමයි… මේ ලියුම ඔයාට තැපෑලට දැම්මෙ එයාට ඒ පොරොන්දුව දීල එන ගමන්

ඔයාට තෙරුවන් සරණයි. මොනවා උනත් මගේ ඈදරේ සදාකාලිකයි. මට වෛර කරන්න එපා.

හිමාලි

මම ලියුම සාජන් මහත්තයට දෙනකොට මගේ ඇස් කඳුළින් තෙත් වෙලා.

“ඉක්මන් උනා වැඩියි නේද?” 

සාජන් මහත්තයගෙ කට හඬ මගේ පපුව පසාරු කරගෙන ගියේ උහුලන්න බැරි වේදනාවක් එක්ක.

පසුව ලියමි:  සත්‍ය සිදුවීමක් ඇසුරින් මා විසින් කෙටියෙන් රචිත මෙම සිද්ධි දාමයට අදාල අප අතර අදට ත් ජීවත්වන මෙම චරිතය උසාවියේ තීන්දුව එන තුරු බලා සිටී…  එය කෙදිනක කෙසේ සිදු වනු ඇත්දැ යි අනුමානයෙන් හෝ දැන ගැනීමට, මෙම සිදුවීමට අදාල ප්‍රදේශය වන කච්චුවත්තේ විශාල මන්දිරයක විරාජමානව සිටි රාජකීය දෛවඥයා ද අද වන විට ආගිය අතක් නැත.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget