මැනිකේ සහ දසුන්

Life rushes onward in such torrential rhythm that... only angels and devils can catch the tempo of it..
French writer... Anais Nin

ජීවිතය චණ්ඩ මාරුතයක රිද්මයෙන් ගලා යයි... එම රිද්මයට අනුගත විය හැක්කේ සුරදූතිකාවන්ට හා යක්ෂයන්හට පමණකි....

ප්‍රංශ ලේඛිකා.... අනේස් නින්

මැණිකේ හා දසුන්...

කුරුනෑගල දඹුල්ල පාර යග්ගපිටිය ග්‍රාමය බොහෝ සෙයින් පොල් ගස් හා කුඹුරු බහුල පරිසරයකින් සමන්විත ව තිබුනෙන් එම කුඩා ග්‍රාමයෙහි නිවාස පිහිටා තිබුනේ එකිනෙකට මදක් ඈතිනි. බෝධිරුක්ඛාරාම පාර වාහනයකට යා හැකි තරමේ අඩි දහයක පමණ බොරළු පාරක් වූ අතර එම පාර අවසන් වන්නේ ගමේ පන්සලෙනි. මදක් අඳුරු පැහැයක් ගත් එක් සන්ධ්‍යාවක එම පාරට හැර වූ සුදු පැහැති නවීන පන්නයේ මෝටර් රථයක් පොල් වත්තක් අසල නවත්වනවා ගම් වැසියන් කිසිවෙකුගේ ඇස නොගැටුනේ එම ප්‍රදේශය මදක් ජන ශුන්‍ය නිසා විය හැකි ය.

ඉන් බැසගත් එක් පුද්ගලයෙක් ඉඩමට දඩාවතේ යන මී හරක් ඇතුල්වීම වැලැක්වීමට සවිකර තිබූ ලී කඩුල්ල මෑත් කර වාහනයට ඇතුල්වීමට ඉඩ සැලැස් වීය. එම ඉඩමේ මද දුරක් ගිය මෝටර් රථය එහි තිබූ එක ම නිවස ඉදිරියේ නතර කරනවා ජනේලය තුළින් ගෙහිමියා බලා සිටියේ මද චකිතයකිනි. ඉඩම අයිතිකරුවා හැර වෙන කිසිවෙකු මෝටර් රථයකින් මෙහි ආ කාලයක් ඔහුට මතක නැත. මේ රථය ද ඉඩම අයත් අරඹේපොල මහතාට අයත් නොවන්නක් බව ඔහු අනුමාන කළේය.

මොටර් රථයෙන් බැසගත් අයෙක් ඉදිරිපස දොර වෙත කඩිනමින් එහෙත් හිස් අතින් යනවා ත් 
සමග ම අනෙකා පිටුපස දොර වෙත අඩියට දෙකට ගියේ පොල්ලක්ද අතැතිව ය. තුන්වැන්නා රියැදුරු අසුනේ ම සිටියේ හදිසියේ අවශ්‍ය වූවහොත් පිම්මේ ඉගිල යාමට හැකිවන පරිදි සූදානම් සහගතව ය. තිදෙනාගේ ම ඉනේ රඳවා තිබූ පිටරටින් ආනයනය කල මිලි මීටර 9 පිස්තෝල ඕනෑම අවස්ථාවකට උපයෝගී කර ගැනීමට හැකි වන පරිදි පතරොම් පුරවා තිබුණි.

"දයාන් … දොර ඇරපං මම දසුන්"

දොර වෙත පිවිසි පාංශු දේහධාරී කඩවසම් තරුණයා උස් හඬින් කීවේ ළඟ පාතක පේන තෙක් මානයක නිවසක් නොමැති බවට මේ වනවිට ප්‍රත්‍යක්ෂ වී තිබූ හෙයින්ය. 

"උඹ දොර අරිනව ද?…. මම කඩාගෙන එන්න ද?… ප්‍රශ්නෙ ගොඩින් බේරගමු දොර ඇරපං"

ගෙතුළ සිටි තරුණියක් කට හඬින් එළියේ සිටින්නේ කවුදැයි නිසැකයෙන් ම දැන සිය අත දරුවා ද වඩාගෙන "දොර අරින්න දයා" කියනවා යාන්තමට පිටතට ඇසුණි. මද වේලාවකින් දොර විවර වීමත් සමග ම අගුල් නොදා තිබූ පිටුපස දොර විවර වී තරුණයෙක් ගෙට ඇතුල් වී ගෙහිමියා පිටුපසින් සිට ගත්තේ ය.

ඔහු ඉදිරියේ දුහුල් නයිටියකින් පමණක් සැරසී සිටි තරුණිය හා දරුවා දෙස බැලූ දසුන් අසල තිබූ පුටුවක් තමා වෙත ළං කරගෙන එහි සන්සුන්ව වාඩි වූයේ කලබලයක් අවශ්‍ය නෑ මේක ගොඩින් බේරගමු කියන්නාක් මෙනි.

"දන්නවනේ අපි ආපු කාරනේ… දයා.. උඹත් රත්ගම … අපිත් රත්ගම… අපි හැම ප්‍රශ්නයක් ම බේරගන්න අපි කාටත් සුපුරුදු රත්ගම ක්‍රමයක් තියෙනව නේ…. අද අපි ආවෙ මේ ප්‍රශ්නෙ ඒ විදියට බේරගන්න නෙමෙයි… යමු පොලීසියට මේකෙ දෙකෙන් එකක් බේරගන්න… මල්ලි… මේකිත් එක්ක කාමරේට පලයං… මොකක් හරි ඇඳුමක් උඩින් දාගෙන එක්ක වරෙං"

දසුන් හා දයාන් කුඩා කල සිට රත්ගම ග්‍රාමයෙහි එකට හැදී වැඩුනු අසල්වැසියෝ වූ හ. රත්ගම වාසීන් බොහෝවිට කළ වරදට අනුව ඔවුන් ම තීන්දුව දී එය ක්‍රියාත්මක කරන්නේ පොලීසියේ කිසි ම මැදිහත් වීමකින් තොරව ය. එය මහ මග දෙනෝදාහක් ඇස් ඉදිරිපිට සිදු කරන්නා වූ ශාරීරික වධ හිංසාවේ සිට ඔවුන් විසින්ම ක්‍රියාවට නගන්නා වූ මරණීය දණ්ඩනයක් දක්වා දීර්ඝ විය හැක.

හක්මණ කුඩා ග්‍රාමයක ඉපි ද, ගාල්ලේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක උගෙන, රත්ගම කඩවසම් තරුණයෙකු හා දීග ගොස් කලක් රත්ගම වැසියන් හා ජීවත්වූ  තුෂාරි, මේ වන විට ඕනෑ ම කලබලකාරී අවස්ථාවකට මුහුණ දීමේ මනා සංයමයක් ප්‍රගුණ කර සිටියා යැයි සිතිය හැක. එවන් අවස්ථාවන්හිදී නිවට නියාලූ ගති නොපෙන්වා සෘජු ස්ථාවරයක සිට ප්‍රශ්නයට මුහුණදීම බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵලයක ආරම්භය විය හැකි බව ඇය හොඳින් වටහා ගෙන සිටියා ය. ඇය සට කපට ගැහැනියක් නො වූව ද සිය නීත්‍යානුකූල සැමියාගේ දුර්වල නිලයන් හොඳින් හඳුනා ගෙන සිටියා ය.

"දසුන් පොලීසි යන්න වැඩක් නෑ… මම කීයටවත් ආපහු රත්ගම එන්නෙ නෑ… ඔයා කියන්න ඒ ඇර වෙන මොනවද කෙරෙන්න ඕන"

තවමත් නයිටිය පිටින් සිටි රූමත් කාන්තාව තිර ස්වරයෙන් කීවේ කිසිදු බය පක්ෂපාතීත්වයක් නොපෙන්වමින් ය.

"හරි… එක… මට දික්කසාදෙ ඕන කිසි ම වන්දියකින් තොරව…  දෙක….මම එවාපු සල්ලි ඔක්කොම මට ආපහු ඕන…. තුන…. මගේ දරුව මට ඕන… එච්චරයි මම ඉල්ලන්නෙ"

මදක් නිහඬ ව ඇය දෙස බලා සිටි දසුන් පෙර සිට ම සිය මලනුවන් දෙදෙනා හා අම්මා ද සමග කථිකා කරගෙන සිටි සිය ඉල්ලීම් සියල්ලන් ඉදිරියේ කියා පෑවේ කිසි ම චකිතයකින් තොරවම ය.

" දික්කසාදෙ ඒ විදියට ම දෙන්නම්… ඔයා එවාපු සත පහක් වත් මම වියදමට අරගෙන නෑ… ඒව ඒ විදියට ම මගේ බැංකු පොතේ තියෙනව… මගේ මතකෙ හැටියට මිලියන දෙකක් විතර… හෙට උදේට බැංකුව ඇරපු ගමන් ම ඒ සල්ලි ඔක්කොම මම ඔයාට දෙන්නම්… ඒත් පොඩි එකා මේ වෙලාවෙ දෙන්න බෑ… තාම මගෙන් කිරි බොනව… දික්කසාදෙ දවසට මම ඔයාට දරුවත් භාර දෙන්නම්… එක කොන්දේසියක් උඩ… පොඩි එකාව ඔයාගෙ ගෙදර හදන්න එපා…. ඔයාට ත් මට ත් දෙන්නට ම පසු තැවිලි වෙන්න වේවි"

තුෂාරි එසේ පැවසූයේ එක එල්ලේ ම දසුන්ගේ දෑස් සිය ග්‍රහණයට ගනිමින් ඔහු හා ගත කළ ජීවිතයේ මිහිරිම කාලය ආවර්ජනය කරගනිමින් ය.

තුෂාරි මාතර කැකණදුර ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයාව ඉපිද, නොයෙකුත් අවහිරතා මධ්‍යයේ ගමේ පාසැලෙන් පහේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වී ගාල්ලේ සංඝමිත්ත බාලිකා විද්‍යාලයට ඇතුළත් වූයේ එවකට ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ ගුරු වෘත්තීයයෙහි නියැලි මාමාගෙත් උපදෙස් හා මග පෙන්වීම යටතේ ය. ඇය ඉගෙනීමට දැක්වූ උනන්දුව හා දක්ෂතාවය මත මහින්ද විද්‍යාලය අසල ම සිය බිරිඳ සමග පදිංචිව සිටි මාමා හා නැන්දා ඇය ව තම නිවසේ නතර කර ගත්තෝය. මාමා ඇයගේ සියලු ඕනෑ එපාකම් සොයා බලා තමාගේ ම දියණියක සේ සැලකූව ද මේ වන විටත් දරු ඵල නොලත් නැන්දාගෙන් නම් ලැබුනේ කුඩම්මාගේ සැළකිළිය. තුශාරිගේ මන බඳනා රූ සපුව ද එයට හේතු සාධක වූවා විය හැක.

මනා රූ සපුවකින් හෙබි තුශාරි කල්‍ යත් ම පාසැලේ කාගේත් නෙත් සිත් ඇද ගත්තේ පාසැල් ක්‍රීඩා වැනි බාහිර කටයුතු වලට ද සහභාගී වෙමිනි. පාසැලේ නාට්‍ය කණ්ඩායමට ඇය නැතිව ම බැරි චරිතයක් වූ අතර ඒ කිසිවකින් ඇයගේ එදිනෙදා අධ්‍යාපන කටයුතු වලට වූව ද බාධාවක් වූයේ නැත. ඇය සෑම විභාගයකදී ම ඉහළ ලකුණු අතර සිටීම ගුරු වෘත්තියෙහි නියැලී සිටී මාමාට ද විශාල අස්වැසිල්ලක් විය. ඥාතිත්වයෙන් මාමා වූව ද බොහෝ අය දුටුවේ ඇයගේ ම පියා ලෙසිනි.

අලපලාව මහින්ද විද්‍යාලය ත් සංඝමිත්තාව ත් යා කරනා දම්වැලක් සේ දිස්වන්නේ මෙම පාසැල් පිහිටි කඳු ගැට දෙක යා කරනා වංගු සහිත තාර පාර නිසාවෙනි. ඈත සිට බසයේ පැමිනෙන බොහෝ මහින්ද සිසුන් අලපලාව දිනපතා තරණය කරන්නේ ඉදිරියට මහින්දය දෙසින් බැස එන සංඝමිත්තාවියන් හා මුහුණට මුහුණ මුණගැසෙමින් ය. එය ඔවුන්ගේ දෛනික දින චරියාවේ එක් අංගයක් වී තිබුනේ තරුණ සිත් තුළට යම් තාක් දුරට ප්‍රේමාන්විත හැඟීම් ද ඇතුළත් කරමින් යැයි සිතිය හැක.

තුෂාරි දිනපතා පාසැල වෙත පියනගන්නේ ද එක ම පන්තියේ ඉගෙනු ම ලබන දංගෙදර සිට පැමිණෙන සිය එක ම මිතුරිය වන සාගරිකා සමග ය. සාගරිකා නිරන්තරයෙන්ම දිනපතා තුෂාරිගේ නිවසට විත් ඇයව ද කැටිව සංඝමිත්තාවට පිය නැගීම මහින්දීයන්ට සුලබ දසුනක් වූවද කිසිවෙකු ත් කිසිවිටෙක ත් විහිළුවක් හෝ මේ දෙදෙනාහට නොකරන්නේ සාගරිකාගේ පවුල් පසුබිම වෙත තිබූ භීතිය නිසා ත්, සාගරිකාගෙන් ගුටි නොකෑවත්, පැටලුනොත් අඩුම වශයෙන් ඇයගෙන් අසන්නට ලැබෙනා දෝශාරෝපණයන්  නිසා ය. එවන් අවස්ථාවන්හිදී ඇය චණ්ඩි පිරිමියෙකු සේ හැසිරුණු අවස්ථා දුලබ නොවේ.

සාගරිකා ඉපදී ඇත්තේ පිරිමි නැකතකට යැයි ඕනෑ ම අයකුට සිතෙනා තරමට ඇයගේ සියලුම ඉරියව් පුරුෂ ගති ඉස්මතු කලාය. එක් අවස්ථාවක ඇයට අනිසි යෝජනාවක් කළ සිසුවෙකුට එතැනදී ම ඇය පහර දී තිබුනි. රූ සපුව ගමන බිමන ගති පැවතුම් සියල්ල තුශාරි හා කිසිසේත් ම නොගැලපුන ද ඇය පාසැලේ ක්‍රීඩාවන්හිදී මුල් තැන ගනිමින් තුශාරි මෙන් ම ඉදිරියෙන් ම සිටියා ය. ඇය තුෂාරිගේ ආරක්ෂකයා වූයේ දෙදෙනා ම එකිනෙකාට බොහෝ සේ ඇලුම් කළ නිසා වෙනි.

"දසුන්…  කොහොමටත් අපි මේක අද ම විසඳගමු.. ඒක අපි දෙන්නගෙ ම ජීවිතවලට ගොඩාක් හොඳ වේවි"

තුෂාරි එසේ කීවේ තදබල සංවේගයකින් වූව ද එය පිටතට නොපෙන්වීමට ඇය හට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

"එහෙම හොඳයි තුෂාරි…. අපි අද මේ ප්‍රශ්නෙ ඉවරයක් කරගමු"

එසේ පැවසූ දසුන් කෙසඟ සිරුරකින් හා මෙවන් රූප සුන්දරියකගේ අසලකින් වත් තැබිය නොහැකි අප්‍රසන්න පෙනුමක් දැරූ කුඩා කල සිට ම එක ම ග්‍රාමයෙහි එකට හැදී වැඩුණු දයාන්ගෙන් නිහතමානී ව ඉල්ලා සිටියේ මෙම ප්‍රශ්නයට මැදිහත් නොවී ඔවුන් දෙදෙනාට බාධාවකින් තොරව කථිකා කරගැනීමට ඉඩ සලසා දෙන ලෙසට ය.

"දසුන්… ඔයා දන්නවනේ මම ඔයාව ඉස්සෙල්ල ම අඳුන ගත්තෙ අලපලාවෙදි හතේ පන්තියෙදි සාගරිකාගෙ ඥාති සහෝදරයෙක් හැටියට. සාගරිකා මාව ගොඩාක් ආදරෙන් බලා ගත්ත. එයා මට ඔයාව අඳුන්නලා දුන්නෙත් ඔයා හරි ම හොඳ කෙනෙක් විදියට. ඔයා ඇත්තට ම හොඳ කෙනෙක්. ඒක මම හිස මුදුනින් පිළිගන්නව."

තුෂාරි දැඬි ආත්ම ශක්තියකින් දසුන් ඉදිරියේ කියා ගෙන ගිය ද ඇයගේ සිත තුළ තෙරපෙන දුක් කන්දරාව මදකින් හෝ දෘශ්‍යමාන වූයේ දෑසින් කඩා හැලුණු කඳුළු බිඳු කිහිපයෙනි.

"අම්මගෙ වත් තාත්තගෙවත් ආදරයක් ජීවිතේට නොදැකපු මට මාමාගෙ ගෙදරදි ත් විඳින්න ලැබුනෙ නැන්දගෙ වෙනස් කම්. ඒ අතරෙ මට ඔයාගෙන් ලැබුනු ආදරේ මහ මෙරක් උණා. මම ඒ ආදරේට ගොඩාක් කෑදර උණා. ඔයාට රක්ෂණ සමාගමේ රැකියාව ලැබිලා නීත්‍යානුකූලව බඳින්න ත් කලින් මම මගේ කන්‍යාභාවය ඔයාට පූජා කළේ පැලවත්තෙ දි ජීවිතේට ඔයාව දාල යන්නෙ නෑ කියලා හිතාගෙන. එදා අපි දෙන්න ආදරයෙන් මුසපත් වුනේ ජීවිතේ පළවෙනි වතාවට. එදා මම ගෑනියක් උනා කියල යන්තමින්වත් කණගාටු නූනත් ඔයා මගේ පපුවට තුරුල් වෙලා හොඳට ම ඇඬුවෙ මගේ කන්‍යාභාවය ඔයාගෙ ඇස් පනාපිට ඔයාගෙ අතින් ම ගිලිහිණු නිසා වෙන්න ඇති.  ඔයාගෙ කඳුළු මගේ පපුව දිගේ ගලාගෙන යනකොට මට හොඳටම ඒත්තු ගියා ජීවිතේට ඔයා මාව අසරණ කරන එකක් නෑ කියලා. "

"එපා මැණිකෙ මට ඒව මතක් කරන්න. මගේ පපුව පැලිලා මැරේවි"

දසුන්ගේ මුවින් එම වචන පිට වූයේ එදා පැලවත්තේ සීනි කම්හලේ සේවය කළ මිතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කළ දිනය සිහි වීම ත් සමග ය.

"එදා තමයි ඔයා මට මගේ නම වෙනුවට මැණිකෙ කියලා කතා කරන්න ගත්ත පළවෙනි ම දවස. ඔයාට මතක ද එදා එළිවෙලා අපි දෙන්න ආයෙත් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගත්තා. ඒ අපූරු ආස්වාදය දෝරෙ ගලන්න ගත් මොහොතෙ තමයි ඔයාට මැණිකේ කියලා කියවුනේ. ඒ වෙලාවෙ ඔයා ගතිනුත් සිතෙනුත් මගේ ඇඟ ඇතුලෙ හිටියෙ. ඔයාගෙ කටහඬ මට ඇහුනෙ මගේ කන් දෙකට නෙමෙයි. මගේ පපු කුහරෙ ඇතුලෙන් ඒ හඬ ආවෙ."

ඔයා පහුවදා ම මාව නීත්‍යානුකූල බිරිඳ කරගෙන රත්ගම ඔයාගෙ ගෙදරට එක්ක ගියා. අම්මල ත් ඔයාගෙ නංගි ත් මල්ලිල ත් මාව එක එල්ලෙ ම පිළිගත්තෙ නැතත් ටිකෙන් ටික අපි පෑහෙන්න ගත්තෙ සමහර විට අපි දෙගොල්ලන්ට ම වෙන විකල්පයක් තිබුනෙ ම නැති නිසා වෙන්නත් ඇති. ඔයාගෙ තාත්ත හැමදා ම බීගෙන ඇවිත් ගෙදර රණ්ඩු සරුවල් කරන්න ගත්තත් ඒ අතරෙ ත් අපි ගොඩාක් ආදරෙන් හිටිය. ඔයා මාව ඉක්මනට ම කසාද බැන්දෙ එදා මගේ පපුව උඩ මූණ තියාගෙන මට වෙච්ච පොරොන්දුව ඒ විදියටම ඉෂ්ඨ කරන්න ඕන නිසා ත් අපි දෙන්නගෙ අනාගතේ සැලසුම් කරන්න හිතාගෙන ත් බව මට නොතේරුනා නෙමෙයි"

"අපමණ අගහිග කම් මැද්දෙ ත් ඔයාගෙන් ගෙදරට සිද්ධ වෙන්න තිබුණු යුතුකම් ටිකත් හැකි පමණින් ඔයාගෙ අතින් ඉටුවුණා. ඒ අතරෙ කුමක් හෝ කාරණයකට ඔයා වැඩකර කර හිටිය රක්ෂණ සමාගම සේවකයන් අවම කරන්න ගත්ත තීරණයක් උඩ ඔයාට රැකියාව අහිමි උනත් ඔයා ජීවිත සටන අත ඇරියෙ නැත්තෙ මට ත් ඒ වෙනකොට මගේ බඩේ හිටිය දරුවට ත් තිබුණ ආදරය නිසා බව මම අදට ත් මතක් කරන්නෙ ගොඩාක් ආදරෙන්."

"ඔයාට වෙන කරන්න දෙයක් ඇත්තෙ ම නැති කොට ඔයා රට යන්න තීරණය කළේ අපි පුතෙක්ගෙ දෙමව්පියන් වෙලා දින පහක් වැනි කෙටි කාලයකින්. මම සියලු දේ ඉවස ගෙන හිටියෙ ඔයා හම්බ කරගෙන ආව දවසක අපිට හොඳ කලක් යාවි කියන අදහස ඇතුව. ඇත්තට ම ඔයා මට හැම මාසෙ ම සෑහෙන මුදලක් එව්ව. මම ඒ සල්ලි වලින් පුළුවන් තරම් ඉතුරු කළා. වියදම් කළේ පුතාට විතරමයි. මම එහෙම කලේ කවදහරි ඔයා ලංකාවට ආපු දවසක මොනව කරන්නත් ඔයාට ලොකු මුදලක් ඕන වෙන නිසයි. ඒ නිසා ම ඔයාගෙ පවුලෙ උදවිය මට කරදර කරන්න ගත්තා. ඔයාගෙ තාත්ත බීල මගෙන් සල්ලි ඉල්ලුවා ම මම දුන්නෙ නෑ. ඒකට එයා මගෙන් පලි ගත්තා. මම ඔයා එවන හැම සතයක් ම එවේලේ ම බැංකුවෙ තැන්පත් කළා. ඔයාගෙ ගෙදර අය මාව එළියට දාන්න පුදුම මහන්සියක් ගත්ත. ඒ එක්ක ම සුනාමිය ඇවිත් අපිව ගෙදරින් එළියට දැම්ම. පන්සලේ නතර වෙන්න සිද්ධ වුණා. මට යන්න තැනක් නෑ. මාමලත් අපේ විවාහයට විරුද්ධ උන නිසා මම දරුවත් අරගෙන පන්සලෙන් එළියට බැස්සා. මගදි මට දයා මුන ගැහුණා. එයා ඒ දවස්වල මේ ඉඩම බලාගෙන හිටියෙ. අපි කුරුනෑගල යමු කිව්ව ම ආවා. මට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා ම තිබුනෙ නෑ. මම මේ ගෙදරට ඇවිත් තව ම මාසයක් වත් නෑ. දයා මට ත් පුතාට ත් හොඳින් ම සැලකුවා. සතියක් ම මම වෙන ම කාමරේක නිදාගත්තෙ. ඒත් පහු වෙනකොට මට ඒ මනුස්සයගෙ මනුස්සකම් ඉදිරියේ කිසි ම බල කිරීමකින් තොරව ම එකට නිදාගන්න සිද්ධ වුණා. මම ඔයාට පොරොන්දු උන විදියට ම අර මුදල් ඔක්කොම හෙට දෙන්නම්. දික්කසාදය ත් දෙන්නම්. ඔයා ඒ ඔක්කොම ලෑස්ති කරන්න. මම උසාවියට ඇවිත් දරුවත් ඔයාට ඕන නම් භාර දෙන්නම්. මම පාරට වැටුනෙ නැත්නම් කීයටවත් එදා මගේ පපුව උඩ හඬා වැටුන, මම මගේ මුළු ජීවිතයම පූජා කරපු ඔයාව කීයටවත් දාල එන්නෙ නෑ."

"අපි දයාට චුට්ටකට එන්න කියමු ද මැණිකෙ"

ඇයගේ  ඇරයුමින් දයා ඔවුන් සිටි කාමරයට පැමිණියේ අයිය මට කථා කළාද අසමිනි.

"මල්ලියෙ මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. මගේ මැණිකෙවත් දරුවත් පාරට වැටුන වෙලේ කරපු උදව් වලට මම ඔයාට සදා ණය ගැතියි. මම ඔය ත් ඉදිරියේ ම මේ යෝජනාව කරන්න හිතාගෙනයි ඔයාට ත් එන්න කිව්වෙ. මට යෝජනාවක් කරන්න දෙන්නගෙ ම අවසරේ ඕන."

"අයියෙ ඊට කලින් මටත් යමක් කියන්න අවසර දෙනව ද?"

"කියන්න මල්ලි"

"මම එදා උදව් කළේ අයියගෙ බිරිඳ කියල හිතාගෙන නෙමෙයි. මහ පාරෙ දරුවෙකුත් කර පින්නා ගත් තවත් ගැහැනියකට විතරයි. මම ඒ ගෑනිට ත් දරුවට ත් මට හැකි පමණින් සැලකුවා. මගේ හිතේ මේ ගෑනි ගැන ආදරයක් අනුකම්පාවක් ඇති නූනාමත් නෙමෙයි. මේ ගෑනිට මගේ හිතේ ඇති උන ආදරය සෙනෙහස කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ අයියෙ. ඒත් මේ ඉන්නෙ ඔයාගෙ නීත්‍යානුකූල බිරිඳ. ඔයාල දෙන්න ගන්න ඕනම තීරණයකට මම එකඟයි."

"මල්ලියෙ මම ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලන්නෙ මට මගේ ගෑනිත් දරුවත් දෙන්න."

"ඔයාට දැන් සල්ලි තියෙනව. ඔයා අනිවාර්යයෙන් ඔයාගෙ රට රස්සවටත් යනව. එතකොට මම ආයෙත් ඔයාගෙ අම්මලගෙ ගෙදර තනි වෙනව. අනික ගමේ හැමෝම දන්නෙ මම ඔයාව දාල වෙන මිනිහෙක් එක්ක ගිය ගෑනියක් හැටියට. ඒක ඔයාගෙ ආත්ම ගෞරවයටත් හොඳ නෑ. මට බෑ දයාව දාල එන්න."

ඇය තිර අදිටනින් කී දෙයින් දසුන් වික්ෂිප්ත නො වූව ද අලුත් වූ බලාපොරොත්තු බිඳ වැටෙනා විට ඇති වූ සංවේගය ඔහුගේ හද පෑරුවේ ය.

තුෂාරි ඒ වන විට ඉතිරි කර තිබූ මුදලින් හරි අඩක් ඇයට ත් පුතාට ත් වියදමට ඉතිරි කළ සඳුන්, පසු දින හැඬූ කඳුලින් ඇයගෙන් හා දයා ගෙන් සමු ගෙන රත්ගම බලා පිටත් ව ගියේ සියල්ල අමතක කර දමා හැකි ඉක්මනින් රට යෑමේ අදහසින් වූව ත්, එයද නිෂ්ඵල වූයේ අම්මා ත් නංගී ත් දික්කසාදය ඉවර කරගන්නා ලෙස කළ බලවත් ඉල්ලීම නිසා ය.

තුෂාරිව රහසිගත ව ගාල්ලට ගෙන්වා ගත් දසුන් සිය මිතුරියකගේ නිවසෙහි නවත්වා එම ලිපිනයට සිතාසිය ගෙන්වා ගත්තේ අනවශ්‍ය ප්‍රසිද්ධිය ඔහු පණ මෙන් ආදරය කල සිය බිරිඳගේ ආත්ම ගෞරවයට කැළලක් වේ යැයි සිතූ නිසා ය. 

නඩු දිනයේදී දසුන් ඉදිරිපත් කර තිබූ කරුණු අතර දික්කසාද වීමට හේතුව ලෙස සඳහන් කර තිබුනේ වෙනත් තරුණියක් කසාද බැඳ ගැනීමට තමා හට ඇති අවශ්‍යතාවය මත බව ත් ඇයගේ කිසි ම වරදක් ඔහු නොදුටු බවත් ය. ඇය පවසා සිටියේ ඔහුගේ ඉල්ලීම මත සිය කැමැත්තෙන් ම කිසිදු වන්දියකින් තොරව ම දික්කසාදයට එකඟව දරුවාගේ භාරකාරත්වය ද ඔහුට ම පවරා දෙන බව ය. මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට අනපේක්ෂිත ලෙස  වරද තමා පිට ම පවරා ගන්නා බවක් දැන නොසිටි තුශාරි සියල්ල ඉදිරියේ හඬා වැටුනේ බලා සිටි සියල්ලන්ගේ ද නෙත් අගට කඳුළක් එක් කරමිනි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget