තුන් දෙනෙක් කියන එකම කථාව......

තුන්දෙනෙක් කියන එකම කතාව……

දිනය: 2019 අප්‍රේල් 02

ඇය: පියුමි

මම: කමල්

ඔහු: මගේ සිත

ඇය.
කොටු තාප්පෙ උඩට ගියාම මුහුද හරිම ලස්සනයි. මම අරමුනකින් තොරව ඇවිද්ද. නෝනල මහත්තුරු උදේට ඇවිදගෙන යන පාර තැනින් තැන කැඩිල හේදිලා ගිහිල්ල. හදලත් වැඩි කලක් නෑ වගේ බැලූ බැල්මට පේන්නෙ. ඉක්මණටම කැඩිලා. මගේ ජීවිතේ වගේ කියල මට හිතෙනව. අවුරුදු පහලොවයි. දැනටමත් ජීවිතේ කැඩිල. පාර නම් ආණ්ඩුවෙන් හදාවි. ඒත් මගේ ජීවිතේ කවුද හදන්නෙ.

කොණ්ඩෙ වවාගත්ත අයිය කෙනෙක් සුද්දො ටිකක් වටකරගෙන කියවනව. මම නැවතිලා බලාගෙන හිටිය. වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ අයිය කොටු තාප්පෙ අයිනට ගියා. එයාගෙ දිග කොන්ඩෙ හරි ගස්සල බැඳ ගත්ත. අධ්‍යාපන චාරිකාවක ආපු ඉස්කෝලෙ ලමයි ගොඩකුත් වටවෙලා. සුදු ඇඳුම් පිටින්ම. මගේ වයසෙම වගේ ගෑණු ලමයි. එයාලට අරමුණක් තියෙනව. මට නෑ. එයාල සතුටින්. මම නෑ.

වැඩි වෙලාවක් ගියේ නෑ අර අයිය මූදට පැන්න. මීටර් විස්සක විතර පිම්මක් ගල් පර අතරින් වතුරට. මගේ පපුව හිරවෙනව වගේ දැනුන. එයා මැරෙයිද? මම පැන්නොත් නම් මැරෙයි. මට පීනන්නත් බෑ. අහසෙ පාවෙලා ගිහිල්ල වතුරට වැටෙනව. මොහොතයි යන්නෙ. ඔක්කොම ප්‍රස්න ඉවරයි. කිසිම දෙයක් හිතන්න ඕන නෑ.

අර අයිය පීනගෙන ගල උඩට ආව. සුද්දො අත්පුඩි ගහනව. අයිය ඒ අයට ගල උඩ ඉඳගෙනම ආචාර කරනව. එයා මූදට පැනල  සමහරවිට සුද්දො දෙන සල්ලි වලින් එයාගෙ බිරිඳ නඩත්තු කරනව ඇති. දුවෙකුත් ඇති. ඒ දුව මට වැඩිය වාසනාවන්තයි. මෙතන ඉන්න හැමෝම මට වඩා වාසනාවන්තයි. මුළු ලෝකෙම මට වඩා වාසනාවන්තයි.

මට හොඳටම නින්ද ගිහින් හිටිය වෙන්න ඇති. මට ගැලවෙන්න බැරි හීනයක් පේන්න ගත්ත. මම ගොඩාක් ආදරේ කරපු මගේම තාත්තගෙ දාඩිය සුවඳ දැනෙන්න ගත්ත. දවසම මේසන් වැඩ කරන තාත්තගෙ දාඩිය එක්ක මිශ්‍ර වුන අරක්කු සුවඳ. මම ගිලෙනව. හුස්ම හිරවෙනව. තාත්ත මාව බදාගෙන මාව බේරගන්න පොරකනව. මම මැරෙන්න යන්නෙ. තාත්ත මාව බේරගනීවි. මට විශාල වේදනාවක් දැනෙන්න ගත්ත. මම දැඟලුවා. මේක හීනයක් නෙමෙයි කියල තේරෙනකොට මගේම තාත්ත මගේ ඇඟ උඩ.

අහස කලුකරගෙන එන්න ගත්තෙ වහින්නද කියල හිතෙනව. වැස්ස මාව හෝදල පිරිසිඳු කරාවි. මගේ මුලු ඇඟම හේදේවි. ඒත් මගේ හිත සේදෙන එකක් නෑ. මූදු වතුර හොඳ විෂ බීජ නාශකයක් කියල මිස් දවසක් කියල දුන්න මතකයි.

ලයිට් හවුස් එක. නැව් වලට පාර කියල දෙන්නෙ ලයිට් හවුස් එකලු. ගාල්ල වරායෙ විසාල නැව් මම දැකල තියෙනව. ඒවට හරි පාර කියල දෙන්නෙත් මෙතනින්. නැවක් එක්ක මම චූටි කූඹියෙක් වගේ. මගේ ජීවිතේ ලයිට් හවුස් එක මාව අතරමං කලා. ඒ මගේම තාත්ත. මට හරි පාර කියල දෙන්න හිටපු මගේම තාත්ත. ඒත් මම ආදරෙයි තාත්තෙ. මට ගෙදර  එන්න බෑ. මම තාත්තට අක්ක වගේ වෛර කරන්නෙ නෑ.

අක්කත් මම වගේම මෙතනට එන්න ඇති. මේ විදියටම හිතන්න ඇති. මගේම අක්ක නූනත් ඒ මගේම අම්මගෙ ලොකු දුව. අම්මගෙ පලමු කසාදෙ මගේ තාත්ත නෙමෙයි. මගේ අක්කත් මම වගේම අනාථ උනා. එයාගෙ තාත්තගෙන් නෙමෙයි. මගේ තාත්තගෙන්. අම්මට කිව්වට වැඩක් නැති නිසා එයා පුංචි අම්මට කියල පොලීසියට ගියා. මේ වෙනකොට අම්මගෙ බඩේ මල්ලියෙක්. පවුලට තාත්ත නැතිඋනොත් විශාල පාඩුවක් වෙනව. අම්ම බැගෑපත් උනා. අක්ක පොලීසියට බොරු කියල තාත්තව බේරුවා. පුංචි අම්මල අදටත් අපිත් එක්ක අමනාපයි. ඒ සිද්ධිය වෙනකොට අක්කට වයස දහ නමයයි. අක්කගෙ වාසනාවකට හමුදාවෙ අයිය කෙනෙක් අක්කව බැඳගත්ත. අක්කත් අපෙන් වෙන්වෙලා යන්න ගියා.

“අම්මෙ… ඊයෙ රෑ…. තාත්ත…”

“උඹ කාටවත් කියනව එහෙම නෙමෙයි….. ඉවසගෙන හිටපං….. අපිට තාත්තත් නැති කරන්න එපා….”

මට කියන්න කෙනෙක් නෑ. අම්මට කියල වැඩක් නෑ. මම පන්තියෙ හොඳම යාලුවට කිව්ව. එයාගෙ දෙමවුපියො මාව ගාල්ල පොලීසියට එක්ක ගියා. ගාල්ල පොලීසියෙන් අදාල අක්මීමණ පොලීසියට යොමු කරලා මාව කරාපිටිය රෝහලට ඇතුලත් කලා. දොස්තර නෝන කෙනෙක් මාව පරීක්ෂා කලා. හානියක් වෙලා නෑ ඔයාගෙ අම්ම ආවම යන්න පුලුවන් කිව්ව. ආයෙත් අම්මගෙ භාරයට යන්න මට බෑ. මම රෝහලේ කාටවත් කියන්නෙ නැතුව එලියට බැස්ස.

ලයිට් හවුස් එක ලඟ තියෙන ගල් පඩි පෙල බැහැල මුහුදට ගියා. ලස්සන සුද්දියක් තනියම නානව. එයාගෙ හිත හරිම සැහැල්ලු ඇති. මම එයාගෙ හිත ඇතුලට රිංගන්න හැදුවත් ඒක කරන්න බෑ. ඉස්සරහට මොනවද වෙන්නෙ. මටත් බැරිද මේ සුද්දි වගේ තනියම ජීවත් වෙන්න. රස්සාවක් හොයාගෙන කාමරයක් කුලියට අරගෙන තනියම ජීවත්වෙන්න. ඒකටත් මගේ වයස හරස් වෙනව. අඩුගානෙ ජාතික හැඳුනුම්පතක් වත් නෑ.

මම මුහුදට බැස්ස. ඉනක් වතුර. මම පිරිසිඳු වේවි. ලුණු වතුර මාව පිරිසිදු කරාවි. අක්කත් එහෙම කරන්න ඇති. ඒත් මට විසඳුමක් නෑ. විසඳුම මහා සාගරයද. සාගර පතුල ලස්සනයි. මම පින්තූර දැකල තියෙනව. එතන නේද දිව්‍යලෝකෙ තියෙන්නෙ. එතනද එකම විසඳුම.

“නංගි … තනියමද ආවෙ”

අයියල දෙන්නෙක් ගොඩ ඉඳගෙන අහනව මම දැක්කෙම නෑ. දෙන්න උත්තරයක් ඇත්තෙත් නෑ. මම ඇහුනෙ නෑ වගේ හිටිය.

“අපිත් එක්ක කථා කරන්න බයද?”

“නෑ….  මම තාත්තත් එක්ක ආවෙ”

“කෝ ….තාත්ත?”

උන්ට මාව විහිලුවක් වෙලා. මට භය හිතුන.

“අර ඉන්නෙ….. මගේ තාත්ත”

මම වයසක මහත්තයෙක් පෙන්නුවා. එයා ව්‍යායාම කරනව වැල්ලේ.

==========

මම සහ මගේ හිත

ජංගම දුරකතනෙ හැටියට තාම අඩි 3522 ඇවිදල තියෙන්නෙ. හැමදාම කරන ව්‍යායාම ටික කරල ආයෙත් ඇවිදින්න ඕන. 5000 පන්නන්නම ඕන. ජීවිතේ හරිම සුන්දරයි. උදේට කොටුව වටේම ඇවිදිනව. ව්‍යායාම කරනව රූමස්සල කන්ද දිහා බලාගෙන. අර තරම් ලස්සනට තිබුන රූමස්සල කන්ද වෙනස් වෙලා. උසට උසේ කොන්ක්‍රීට් හෝටලයක්. ලස්සන කෙල්ලෙකුට දත් බොල්ලෑවක් ඇවිල්ල වගේ. කෝටි ගනන් ආණ්ඩුව පරිසරය සුරකින්න වැය කරනව. රට රකින්න ඉන්න උන්ම රට විනාස කරනව.

“උඹ උඹේ පාඩුවෙ ගෙදර  ගිහිල්ල නිදාගනිං
මගේ හිත කියනව

රට බල්ලට ගිහිල්ල. නෑ බල්ලො රජවෙලා. අපේ කාලෙ  කොච්චර සුන්දරද. අද යන යන තැන ප්‍රශ්න.හතර වටේම ප්‍රශ්න. ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක් කියල හිතෙනව. උදේට ඇවිදිනව, ව්‍යායාම කරල ගෙදර යනව. නෝන හදල තියෙන රසම කෑම කනව. ලියනව. හිතට එන හැමදේම ලියනව.

“අන්න එහෙම හිතපං”

පන්සල් මට අරහං. ඝනයො මට පේන්නෙ මල පෙරේතයො වගේ. ඒත් බුද්ධං සරණං, ධම්මං සරණං ගච්චාමි කියනව. සංඝං සරණං කියවෙන්නෙම නෑ. එංගලන්තෙ අමරාවතියට ගියාම නම් තුන් සරණෙම කියනව. එහේ මහණවෙලා ඉන්න සුද්දො ලංකාවට ආනයනය කරන්න ඕන.

“උඹේ ඔය අපභ්‍රංස අපේ උන්ට තේරෙන්නෙ නෑ”

බුදු හාමුදුරුවො අපිට ධර්මයේ පිහිටන්න කියල දේශනා කරල ධම්මං සරණං දෙවෙනි තැනට දැම්ම. නෑ ඒක වෙන්න බැ. පස්සෙ අපේ හාමුදුරුවරු ඕක වෙනස් කරන්න ඇති. තව ටික කලක් යනකොට සංඝං සරණං පලවෙනි තැනට ඒවි.

“ඒ වෙනකොට උඹ මැරිල”

මම හිඟන්නන්ට සල්ලි දෙන්නෙ නෑ. ලොතරැයි ගන්නෙත් නෑ. ඒත් ඉගෙන ගන්න ලමයින්ට ඕන තරම් උදව් කරනව. මට පිං ඕන නෑ. සතුටයි ඕන. ඒක මට ඉහටත් උඩින් තියෙනව.

ව්‍යායාම් කරන්නෙ මම තනියමම නෙමෙයි. කතා කර කර මගේ හිතත් එක්ක. මගේ හිත කොයි මොහොතෙත් මාත් එක්ක රණ්ඩු කරනව. විශ්‍රාම යන්න කලින් එහෙම එකෙක් මගේ ඇඟ ඇතුලෙ ඉන්නව කියල දැනගෙන හිටියත් මම මිනිහව ගනන් ගත්තෙ නෑ. විශ්‍රාම ගියාට පස්සෙ අපි දෙන්න යාලුවො වෙලා. ඒත් රණ්ඩු වල සීමාවක් නෑ.

පොඩි කෙල්ලෙක් තනියම ඉනවටක් මූදෙ ගිලිල. කොල්ලො දෙන්නෙක් වැල්ලෙ ඉඳගෙන ඒ ලමයට මොනවද කියනව. මලක් වටේ කැරකෙන බඹරු වගේ. අපේ රටේ සාමාන්‍ය දර්ශනයක්.

“අද කාලෙ කොල්ලො කෙල්ලො ඔහොම තමයි”

“මුං කෙල්ලෙකුට ඉන්න දෙන්නෙත් නෑ නේ” මම හිතත් එක්ක කියන්න ගත්ත

“නාකි උඹට ඉරිසියා හිතිල”

“නෑ පවු නේ. පොඩි කෙල්ලෙක් නේ” මගේ මිණිබිරියො තුන්දෙනා මතක් වෙලා මම කිව්ව

මගේ මිණිබිරියකට අතවරයක් කරන්න ආවොත් මම අංගුලිමාල වෙනව.

“යකෝ ඒකිගෙ කවුරු හරි වෙන්න ඇති”

“වෙන්න බෑ. අන්න ඒකි මගේ පැත්තට අත දික්කරනව”

“උඹ අහක බලාගනිං”

කොල්ලො දෙන්න යන්න ගියා. ආයෙත් අර කෙල්ල තනි උනා. ඒකි හිමීට මගෙ පැත්තට එනව.

“අංකල් … පොඩි උදව්වක් කරනවද?” බොහොම බයාදුවෙන් එයා ඇහුවෙ. අඩු වයස් කාරියක් කියල මම අනුමාන කලා

“කියන්න” මගේ ඕන කුන්ඩවාලියකට කර ගහන ගතිය එලියට පැන්න.

“ කීයක් හරි දීල, යන්න ඇරපං. ඔය දඩේකට එන්නෙ” මගේ හිත ඉස්සරවෙනවා.

“අර කොල්ලො දෙන්නගෙන් කරදරයි…. මම කිව්ව අංකල් එක්ක ආවෙ,.... අංකල් මගේ තාත්ත කියල …. අනේ අංකල් …. ඒ විදියටම ටිකක් ඉන්න”

“ඇක්ටිං යකෝ ඇක්ටිං. තොට තේරෙන්නෙ නැද්ද. ඉක්මනට මග ඇරපං” මගේ හිත මොරදෙනව

“ඒකට ප්‍රස්නයක් නෑ…. ඒත්…. ඔයා ප්‍රස්නෙකද ඉන්නෙ”

“තෝ නං ඉල්ලගෙන කන්න යන්නෙ” හිත කියනව

“නෑ …. අංකල්”

“තනියමද….  ආවෙ”

“ඔව්…. අංකල්”

“මොකද ….තනියම කරන්නෙ”

“නිකං මූද අයිනට ආව….. මූද දිහා බලාගෙන හිටිය”

“ඇයි…. ඔයාට ප්‍රස්නයක්ද?”

“ඔව්….. අංකල්”

=========

“යකෝ ඕකි අමූලික බොරු කියන්නෙ. ඕකි උඹට හොඳ ටොපියක් කවනව” මගේ හිත පොර බදනව ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල.

මම තර්කානුකූලව අවස්ථාව විශ්ලේෂණය කරන්න ගත්ත.

මෙයා කරාපිටියට ඇරියෙ පොලීසියෙන් කියල කියන්නෙ. අතවරයක් වෙලාද බලන්න. පොලීසියට ගියා කියන්නෙ යාලුවගෙ දෙමව්පියො එක්ක. කරාපිටියෙදි අම්මට භාර දෙනව කිව්ව නිසාලු පැනල ආවෙ. අම්ම එයාව ගෙදර අරගෙන ගියොත් ආයෙත් තාත්තගෙන් කරදර වේවිලු. එයාගෙම තාත්තලු. තාත්තට ආදරෙයිලු. අම්මට මොනව කිව්වත් ගනන් ගන්නෙ නැතිලු.

කථාව ප්‍රබන්ධයක් නම් මෙයා හොඳ ලේඛිකාවක් වෙනව. මගෙන් හරියටම උදව්වක් ඉල්ලන්නෙත් නෑ. දිගටම ඇස් දෙකෙන් කඳුලු එනව.

“හරි …. ඔයාට මගෙන් මොනවද කෙරෙන්න ඕන” මම ඇහුව.

“මුකුත් නෑ අංකල්….. අංකල් යන්න….. මම මෙහෙම ඉන්නම්”

“මාරුවෙයං ගොන් තකතීරුවො තෝ මෙතන ඉන්නකොට පොලීසිය ආවොත් තෝත් කුදලගෙන යනව බල්ලෙක් වගේ”

කෑගහන්නෙ නැතුව හිටපං මම වොයිස් රෙකෝඩර් එක ඕන් කරගන්නම්

එයාට නොතේරෙන්න මම එයා කියන හැම එකක්ම රෙකෝඩ් කරන්න ගත්ත.

“ඔයා දැං ඉතිං මොකද කරන්නෙ”

“මට තේරෙන්නෙ නෑ …. අංකල්”

“දැං ඔයා පොලීසියෙන් හොයනව ඇති නේ”

“අහූඋනොත් ….මොකද වෙන්නෙ අංකල්”

“ඔයාව අත් අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරල …. අම්මලට භාර දේවි”

“මට ගෙදර යන්න බෑ අංකල්….. තාත්ත මාව විනාස කරාවි”

“කොහොමත් ඔයාගෙ තාත්තව මෙලහටත් රිමාන්ඩ් කරල ඇති….. ඔයා ගෙදර යන්න බෑ කිව්වොත්…. ඔයාව ලමා නිවාසයකට දමාවි”

“මට ඉස්කෝලෙ යන්න ඕන…. අංකල්”

“මොනව කරන්නත් …. ඔයා පොලීසියට ඉදිරිපත් වෙන්න ඕන”

“මට රස්සාවක් හොයල දෙන්න බැරිද අංකල්”

“ඔයාගෙ හරියටම වයස කීයද?”

“පහලොවයි”

මට හීන්දාඩිය දාන්න ගත්ත. මගේ මිනිබිරියක් වගේ.

“අවුරුදු දහ අටට අඩු නම් කවුරුවත් ඔයාට රස්සාවක් දෙන්නෙ නෑ”

“අංකල් ….යන්න ...අංකල්”

“එතකොට…. ඔයා”

“මම … මෙහෙම ඉන්නම්”

“මම තිරිසනෙක් වෙන්න ඕන…. ඔයාව මෙතන දාල යන්න ...මගේ මිනිබිරියොත් ඔයාට වඩා වැඩිමල්”

මගේ ඇස් දෙක මොබයිල් එකට ගියේ රෙකෝඩ් වෙනවද කියල සැක ඇරල දැන ගන්න.

“මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ….  අංකල්”

“මම කියන දේ හොඳට අහගන්න….. මම ඔයාව පොලීසියට ගෙනියන්නම්”

“අනේ බෑ අංකල්…. මට ගහවි….. අම්මට භාර දේවි”

“නෑ මම පොරොන්දු වෙනව... එහෙම වෙන්න දෙන්නෙ නෑ කියල”

“අංකල් …. මාව බලාගන්නවද?”

“ඔව්….. ඒ විතරක් නෙමෙයි මම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර් කෙනෙකුත් අල්ලන්නම්…. ඔයාට වෙන විකල්පයක් නෑ”

“හා ….යමු අංකල්. අනේ... මාව බලාගන්න අංකල්”

“මම පොරොන්දු උනානේ ඔයාට”

=======

ගාල්ල පොලීසිය. ලමා හා කාන්තා කාර්‍යාංශය. එතන හිටපු පොලිස් කාන්තාවකට මම විස්තරේ කියනකොටම එයාල දන්නව හැම දෙයක්ම. දැනටමත් මේ සිද්ධිය ගාල්ලෙ පොලීසිය කලඹලා.

“මහත්තය ලොකු පිනක් මේ කරගත්තෙ. හැබැයි මේ කේස් එක අක්මීමන පොලීසියෙ. අපි අක්මීමනට කියල ගෙන්නගෙන මෙයාව භාර දෙමු”

“නෑ මම එක්ක යන්නම්. මිස් කෝල් කරල කියන්න”

මට බෑ මේ චූටි කෙල්ල පොලිස් ජීප් එකට නගිනව බලාගෙන ඉන්න.

“තොට පිස්සු ගොං මෝල. මේ සැරේ නම් තෝ මට්ටු වෙනව. මහ ලොකු පිං කමක් කියල නේ තෝ හිතාගෙන ඉන්නෙ”

වැඩි වෙලාවක් ගියේ නෑ මට මේ දරුවව අරගෙන අක්මීමනට ගිහිල්ල භාර දෙන්න අවසර ලැබුන.

මට ආයෙත් හීන්දාඩිය දාන්න ගත්තෙ අක්මීමන කියනකොට. ගිය සතියෙ දේවාලෙ කපුවෙක් බාල වයස්කාර දැරියක් දූශණය කරපු කතන්දරේ මතක් උනා. ඒක මුළු රටම හෙල්ලුවේ අක්මීමන පොලීසියෙ ඕ අයි සී හරියට රාජකාරි කලේ නෑ කියල. දැන් මට යන්න වෙලා තියෙන්නෙත් ඒ ඕ අයි සී ගාවට.

======

අක්මීමන පොලීසිය.
මාව පිලිගත්තේ වීරයෙක්ගෙ ගානට. මල් වරුසා කෝටියයි. කාන්තා පොලිස් නිලදාරිනිය හරිම කරුනාවන්තයි.

ඕ අයි සී මාරුවෙලා. අලුත් එක්කෙනා මහින්දෙ ආදී ශිෂ්‍යයෙක්. මුළු පොලීසියම මට පිං දෙනව. ඒක මාර ආතල් එකක්. පන්සල් සීයකට දානෙ දුන්නත් ඒ ආතල් එක ගන්න බෑ. මගේ ඇස් දෙකට කඳුලු එන එක නවත්තගන්නම බෑ. මම හරිම බොළඳ එකෙක් කියල පොලීසියම දැනගන්න ඇති.

උඩු රැවුල මාව පාවා දෙනව. ඕක මම වැවුවෙ ටිකක් මදාවිය වෙන්න. මම වගේ හරකෙක්.

මට තේරුනා කෙල්ල සුරක්ෂිතයි කියල. පොලීසිය වයසක ගෑණියකට කෙල්ලව භාරදුන්න. උදේට උසාවියට දාල ළමා නිවාසෙකට දානව කිව්ව.

මම අක්මීමන හන්දියට ගිහිල්ල තුවායක්, දත් බුරුසුවක්, ඒ වගේ එදා රෑට කෙල්ලට ඕන කරන දේවල් ටිකක් එක්ක රෑට කෑම එකකුත් ගෙනැල්ල දුන්න.

මට මගේ පුංච් කාලෙ මතක් උනා. ඒ කාලෙ මම චොකලට් පෙරේතය. ඒ අතරට චොකලට් එකකුත් දැම්ම.

පසුව ලියමි: රට බල්ලට ගියත්, පෙරකදෝරුවො ගිනි කනව කිව්වත්, පොලීසියට අඩියක් තියන්න එපා කිව්වත් ඒ අය අතරත් මනුස්සකම් අඳුනන අය ඉන්නව. මම අල්ලපු ලෝයර් සල්ලි ගන්න කියල කොච්චර පෙරැත්ත කලත්, ඔයා කරපු සමාජ සත්කාරෙ වෙනුවෙන් නොමිලයේම පෙනී ඉන්නව කියල මුදල් ප්‍රතික්ෂේප කලා.

ඕ අයි සී අක්මීමමන : ඝනපති අමරසේන මයා

ලෝයර්:  දසුන් මයා. ගාල්ල උසාවියෙ බණ්ඩාර මහතා එක්ක වැඩ කරනව

කාන්තා පොලිස් නිලධාරිනිය: දිසානායක මිස් ඉතාම කරුනාවන්ත බදුල්ලෙ තරුනියක්

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget