කන්දයියා සර්......

 කන්දයියා සර්.

සිල්වෙස්තරය හැටේ මුල් භාගයේ:

සිල්වෙස්තරය කියන්නෙ අමුතුම architecture එකකට හැදුනු විශාල මැදමිදුලක් තිබුන පාසැලක්. කවදාවත් assembly නෑ ඒත්, කොයි වෙලේ Attention please,..... please pay attention….. යකඩ කට මොරදෙයිද කියන්න බෑ.

Principal, DJN නොහොත් ගෝරිල්ල, නිවාඩු දවසට ඒ යකඩ කටෙන් එන Vice Principal ගෙ (Mr. Amerasinghe - ශේක්ස්පියර්ගෙ මල්ලි) කටහඬ තේරුම් ගන්න රබර් කන දාන්නම වෙනව. ඒකට DJN, යකඩ කටෙන් ඇහෙන්නෙම යකඩ කටක්. ඒත් මම පුද්ගලිකව Mr. Amerasinghe ගෙ කථාවට ආදරේ කලා. බස හැසිරවීම, උච්චාරණය, නිවැරදි ව්‍යාකරණ පසු කාලෙක Eric Fernando වගේ ප්‍රවීණ ඉංග්‍රීසි නිවේදකයන් අපේ රටට බිහි කරන්න සමත් උනා. ඉංග්‍රීසිය එපා කියන පොල් බූරු ඝනයො ඉන්න අද සමාජය ගැන කවර කථාද. කොහොම උනත් DJN ගෙ යකඩ කට මුළු පාසැලටම විශාල උත්තේජනයක් උනා.

DJN කිසිම දවසක හම් යටිපතුල සහිත, ඒ කාලයේ ගාම්භීරත්වයේ සලකුණක් වෙලා තිබුන, හඬනැගෙන සපත්තු පාවිච්චි කලේ නෑ. මට අද වගේ මතකයි එතුමා පාවිච්චි කලේම රබර් යටිපතුලක් තියෙන pumps වර්ගයේ බාටා සපත්තු. මැද මිදුලෙ කොරිඩෝරය දිගේ ඇවිදින කොට ලඟට එනකල්ම ගුරුවරු දන්නෙ නෑ.

අපි හිතුවත් එතුමා එහෙම එන්නෙ අපේ හොර අල්ලන්න කියල ඒක සම්පූර්ණ වැරදි ආකල්පයක්. එයා හැම පන්ති කාමරයකම ගුරුවරයගෙ මේසය හා පුටුව සකස් කරල තිබුනෙ කොරිඩෝවට පිටුපාල. එතුමා ඒකෙන් ගුරුවරුන්ට හොඳ පණිවිඩයක් දුන්න. සමහර වෙලාවට ගුරුවරු දන්නෙම නෑ එතුමා ගුරුවරුන්ව නිරීක්ෂණය කරනව.

කන්දයියා පරම්පරාවම සිල්වෙස්තරයන්. ලොකු කන්දයිය මගේ මතකයේ නෑ. එයා සිල්වෙස්තරයෙ ඉගැන්නුවා යාන්තමට මතකයි. පුතා විශ්ව විද්‍යාල උපාධියෙන් පස්සෙ අපේ උසස් පෙල chemistry ගුරුවරය උනා. බාලම මල්ලි අපේ පන්තියෙ ඉගෙන ගත්ත. සාමාන්‍යයෙන් දරදඬු විනය පාලකයෙක් හැටියට ප්‍රසිද්ධියට පත්වෙලා හිටපු කන්දය්යා ආවෙ ගියේ scooter නාමයෙ ප්‍රමූඛයා වන Vespa වර්ගයේ ඉතාලියේ නිෂ්පාදිත scooter එකකින්.

ඒ දවස් වල scooter නවතම විලාසිතාවක් වෙලා තිබුන. පුෂ්ටිමත් හා කඩවසම් තරුණයකු වූ කන්දයියා පාසැලේ අනංගයාගේ භූමිකාවටත් අවතීර්ණ වෙලා සිටියා. පාසැලේ අදි ශිෂ්‍යයකු වීමත් සිල්වෙස්තරයේ බොක්සිං ක්‍රීඩකයෙකු වී සිටි නිසාත් ඔහු නිතැතින්ම පාසැලේ චන්ඩියා වී සිටියා. එය එසේ වූවත් පාසැලේ සියලුම බාහිර කටයුතු වලදී මුල්තැන ගෙන කටයුතු කිරීම නිසා අපගේ සිත් දිනාගෙන සිටියා.

පාසැලේ විනෝද චාරිකා සියල්ලටම නැතුවම බැරි චරිතයක්ව සිටි කන්දයියා ඒ සෑම අවස්ථාවකම අප හා එක්ව ගී ගැයීමට අමතක කලේ නෑ. ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ ගුරුවරයෙක්ව සිටියත් අප කිසිදිනක හොඳ ශිෂ්‍යයන්වී සිටියේ නෑ. ඒ සෑම අවස්ථාවකම එතුමා ඉතාමත් සංවරයෙන් හා බුද්ධිමත්ව කටයුතු කලා.

දින දෙකක පාසැල් විනෝද චාරිකාවක් යෙදී තිබුනා. එම් එස් ගේ බයිලා ප්‍රචලිතව තිබූ එම වකවානුවේ මම උග්‍ර එම් එස් රසිකයෙක් පමණක් නොව සියලුම ගීත කටපාඩමින් දැන ගෙන සිටියා. එම් එස් සාමාන්‍යයෙන් කිසිම වේදිකාවක හෝ එදිනෙදා කථා බහේදී ඔහු ගයන්නේ බයිලාය යන්න කියන්නෙ නෑ. මගේ මීලඟ ගීතය යනුවෙනුයි හැඳින්වූයේ. කන්දයියාද එම් එස් ගේ ගීත ප්‍රිය කල කෙනෙක්. ඔහු අපි සමග “මම බොහොම භය උනා, මරීනා මරීනා, මම ටැක්සි කාරයා, ඔබට තිබෙන ආදරෙ මම” වැනි ගීත ගායනා කලා.

එදා අපි රාත්‍රිය ගතකලේ පාසැලක වේදිකාවක් සහිත ශාලාවක. කන්දයියා ඇතුලු සියලුම ගුරු මණ්ඩලය වේදිකාවෙ, අපි ශාලාවෙ. අපි හරිම විනෝදයෙන් ඒ දවස් දෙක ගත කලා. එක දෙයක් මගේ අවධානයට ලක් උනේ මගේ අහිංසක කමට උනත් මගේ පාදඩ කම ඊටත් උඩින් යන්න ගත්ත. ශාලාවෙ ගෙම්බො පිරිල. අපේ සමහර කොල්ලො මාර විදියට භය වෙලා. මම ගෙම්බන්ට තියා නයින්ටවත් භයක් නැති කෙනෙක් නිසා අතින්ම ගෙම්බො අල්ලල ටින් එකකට දැම්ම. මරන්න බැරි නිසා හෙට උදේට අත අරින්න හිතාගෙන සද්භාවයෙන් ටින් එකේ හිල් ටිකකුත් හදල පැත්තකින් තියල නිදාගත්ත.

පහුවදා උදේ කන්දයිය සර් එයාගෙ බෑග් එක ඇරල එක පාරටම පස්සට පැන්නෙ ගෙම්බො දහයක් විතර සර්ගෙ බෑග් එකෙන් එලියට පැන්න නිසා.

“You rascal” කියල මගේ දිහාවට ඇඟිල්ල දික්කල එකත් සාධාරණයි. මොකද චන්ඩිය වගේ ඉදිරිපත් වෙලා ගෙම්බො ඇල්ලුවෙ මමනේ.

“Sir, somebody had released them” කියල මම තව දුරටත් අහිංසක විදියට හිස් ටින් එක පෙන්නුවත් වැඩක් උනේ නෑ.

ඒ ගෙම්බොත් ගිහිල්ල රිංගල තියෙන්නෙ කන්දයිය සර්ගෙ බෑග් එකටම නේ. ඇසින් දුටු සාක්ශි නැතත් පෙර වැරදි හා circumstantial evidence මත මම වැරදි කාරය උනත් “කමල් එම් එස්ගෙ සිංදුවක් කියන්න” කියල බස් එක පණ ගන්නන කොටම කියන්න තරම් ඒ උත්තමය නිහතමනී උනා.

ඒ දවස් වල අපේ පන්ති සගයන් වෙලා හිටියෙ;

වෙත්තසිංහ: දැනටත් සක්‍රීය සිල්වෙස්තරයෙක් හා බාලදක්ශ ව්‍යාපාරයෙ ප්‍රභලයෙක්

සරත් රණතුංග: හන්දෙස්සෙ සිට පැමිනි අදටත් මා සමග සම්බන්ධ කම් පවත්වන යාලුවෙක්

අබ්දුල් අසීස්: අවුරුද්දෙ අවසන් වාරය පටන්ගන්නත් කලින් තනියම syllabus එක cover කල පන්තියේ කවදත් පලවෙනිය. ත්‍රීකුනාමල වීදියේ නිවැසියෙක්

ග්ලැඩ්වින්: උපන්දා සිට ඉංග්‍රීසියෙන් කථාකල ලංකාවේ රූප රැජින කිරුල හිමිකරගත් සහෝදරියකට උරුම කම් කී, යටිනුවර වීදිය පහුකරගෙන යන ගමන් නිරන්තරයෙන් ගේ ඇතුල බැලීමට අපි අමතක නොකල සගයෙක්.

අර්නස්ට්: පොහොසත් දෙමව්පියන් සහිත කවදත් ඉතාම ලස්සනට අඳින සගයෙක්

අමල්‍ රාජ්: යාපනයේ සිට පැමින ත්‍රීකුනාමල වීදියේ අසෝක හොස්ටල් එකේ නැවතී සිටි අයෙක්. මොහු ගැන කිසිම තොරතුරක් නැත

කාලිඩ්: කොලඹ වීදියේ මව්ලානා සමාගම අයිතිකරුගෙ තරබාරු පුත්, මගේ කවපෙත්ත විසිකිරීමේ තරඟයේ එකම ප්‍රතිවාදියා

නීල්: ලස්සන අක්ක කෙනෙක් සිටි දංගොල්ලෙ සිට පැමිනි අද දිවියෙන් සමුගෙන සිටින සගයෙක්.

ලෙස්ලි: කවදත් ලස්සනට කිරි සුදට ඇඳුම් අඳින, මගේ ජීවිතේ පලමු බියර් බිඳුව තොලගෑ, කොලඹ වීදියේ යූ. කේ. ද සිල්වා බියර් සාප්පුව අයිති කරුගේ පුත්. දිවියෙන් සමුගෙන ඇත

ධර්මපාල: අදටත් අරුප්පොල වාසය කරන මොහු එදවස නැව් පිස්සෙක් වී සිට පසුව නැවියෙකු විය.

සිංහාරච්චි: සිංහාරච්චි සර් ගේ පුත් අද දවස පේරාදෙණිය පාරේ වෙම්බ්ලි සිනමා ශාලාව අසල හෝටලයක් කරන බවට ආරංච්යක් ඇත.

කාරියවසම් දෙසොහොයුරන්: ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට පැමිණ එකම පන්තියේ ඉගෙනගත් ඉගෙනීමෙහි දක්ශයන්‍ ය. අයියා අනුරාධපුරයේ ගුරුවරයෙකි. මල්ලී ගංගා සම්පත් බැංකුවේය.

අදාල ගුරුවරය නිවාඩු නිසා එදා පන්තියට ඇක්ටිං එන්න හිටියෙ කන්දයිය සර්. ඒක කට්ටිය කල්තියාම දැනගෙන හිටිය. කන්දයිය සර්ට පාඩමක් උගන්නන්න කට්ටිය කථාවෙලාමයි හිටියෙ. අද තමයි හොඳම දවස. පන්ති කාමරේ තිබුනෙ chemistry lab එකට අල්ලලා උඩට යන තරප්පු පෙල ආසන්නයේ.

ඒත් අන්තිම මොහොතෙ ඇක්ටිං ආවෙ තම්බිමුත්තු මිස්. කොල්ලො ටික උඩට ගත්ත හුස්ම ටික good morning teacher කිව්වත් පහලට දාන්න බැරුව බලාගෙන ඉන්නව. මිස් පුටුවෙ ඉඳගත්තත් සමහර කොල්ලන්ට ඉඳගන්නත් අමතකවෙලා. මුලු ලෝකෙම නතර වෙලා. මොහොතයි ගියේ මිස්ට අමුත්තක් දැනිල නැගිට්ට. අඬාගෙන එලියට ගියා. කොල්ලො ටික මීක් නෑ. ගල්ගිලල වගේ. ජීවිතේට ගුරුවරයෙක් නැති වෙලාවට පොත් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැති ගොබිලො මෙන්න පොත් ඇරගෙන වැඩ.

වැඩි වෙලාවක් ගියේ නෑ අලි මදිවට හරක් කියන්නැහෙ, ගෝරිල්ල කොයි මොහොතෙ කඩා පනීද කියල කකුල් මැඩලින් ගගහ හිටපු උන්ගෙ ඇස් ගෙඩි ලොකු උනේ මානවඩු මිස් ඇතුල් වෙනකොට. වෙනද පැනල ලස්සන මානවඩු මිස්ට ගොට්ට අල්ලන උන්ගෙ අද කකුල් පන නැති වෙලා.

අර පුටුවෙම වාඩි උන මානවඩු මිස්ටත් වැඩි වෙලාවක් ඉන්න උනේ නෑ. මෙන්න එයත් අඬාගෙන දුවනව.

යකෝ අපිට මිස් එනකොටම කියන්න තිබුන. කොහෙ කියන්නද එහෙම කියපු එකා කර මුලින්ම අහුවෙනවනේ. ඉතිං තොට කියන්න තිබුන නේ. මේ වගේ තර්ක කොල්ලන්ගෙ හිත් ඇතුලෙ දෝංකාර දුන්නත් එකෙක්ගෙ වත් කටින් නම් පිට උනේම නෑ.

වැඩි වෙලාවක් ගියේ නෑ කන්දයිය සර් පන්ති කාමරේ ලොකු පන්තියක කොල්ලෙක් එක්ක ආව. පුටුව උස්සගත්ත ගියා.

කොල්ලො ටික මීක් නෑ. නැගිටින්නත් භයයි.  පැය භාගෙ යනකොට ගෝරිල්ලත් එක්කම ආව. කිසිම කතාවක් නෑ. කට්ටියට පෝලිමෙ ලැබ් එකට එන්න කිව්ව. බේසමක වතුර දාල තිබුන. එක එක්කෙනා ඒ බේසමට අත දාල එලියට ගන්න කිව්ව.

මගේ මතකෙ හැටියට හතර දෙනෙක්ගෙ ඇඟිලි නිල් පාට උනා. අනිත් අයට එලියට වෙලා ඉන්න අවසර ලැබුන. යකඩ කටෙන් මුලු පාසැලටම එලියට එන්න අණ ලැබුන. මැද මිදුල වටේට වට තුනයි public caning කොච්චර වැදුනද මතක නෑ.  අහු උන අයනම් කවුද කියල අහන්න එපා. අවුරුදු පනස්ගානකට පස්සෙ කාටද ඕව මතක.

දැං ඉතිං වයසක මට fb එකේ comments දමල අපහාස කරනව එහෙම නෙමෙයි ඕං. නහින දෙහින කාලෙ මගේ පාඩුවේ ඉන්න මට ඉඩ දියල්ල සිල්වෙස්තරයෙ හුජ්ජ කොල්ලො හරිද.

ජීවතුන් අතර හිටියොත් සිල්වෙස්තර මාතාවගෙන් සමුගත් ත්‍රාසජනක සිද්ධියත් ලියන්නම්.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget