සෙනෙහස, ආදරය හා රාගය.

සෙනෙහස, ආදරය හා රාගය.

රන් අයිය යාලුවෙක් එක්ක ගෙනාපු වාහනේ පිටිපස්ස සිට් එකේ ගුලිවෙලා වගේ හිටපු මට, කතරගම ජනාධිපති විද්‍යාලෙ පහුවෙනව ඡායාවක් වගේ දැක්කම පපුව හිරවෙනව වගේ දැනුන.

ඉස්සෙල්ලම පලවෙනි වසරට පන්තියට ඇතුල් කරන දවසෙ අම්ම මගේ අතින් අල්ලගෙන ඇතුල්වෙච්ච තැන ගේට්ටුව විතරක් අලුත් වෙලා තිබුනත් පාසැල ඒ විදියටම තියෙනව. එදා මට වයස පහයි. අද යන්තමට දහ අට පහු උනා විතරයි.

අවුරුදු දෙකක්ම අම්මගෙ අතේ එල්ලිලා පාසැල් ගිය මම, තුනේ වසර පටන්ගන්න දවසෙ ඉස්සරහ ගෙදර නැන්ද මම අහගෙන අපේ අම්මත් එක්ක කියනව මට වඩා අවුරුදු තුනකින් වැඩිමල් රන් අයියත් එක්ක යවන්න පුලුවන් නේද කියල.

රන් අයියගෙ පවුලෙත් දරුවෙකුට හිටියෙ එයා විතරයි. අපේ පවුලෙත් මම විතරයි. අපේ පවුල් දෙක අතරෙ ලොකු සම්බන්ධයක් ගොඩනැගිල තිබුනෙ අසල්වැසියො නිසා උනත් බොහෝ අය හිතාගෙන හිටියෙ අපි ලඟ ඥාතීන් කියලයි. නෑකමක් නැතත් කතරගම මිනිස්සු එකිනෙකාගෙ වයස පරතරේ අනුව කුමක් හෝ ඥාතිත්වයක් පටලවාගෙන එකිනෙකාට ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙලා හිටිය.

එයා මගේ රන් අයිය වෙනකොට මම එයාගෙ චූටි මැනිකෙ උනේ මගේ දෙමවුපියො මට ඒ නමින් කථාකරන්න පුරුදුවෙලා හිටපු නිසා වෙන්න ඇති. මම එයාගෙ දෙමවුපියන්ට නැන්ද මාම කියනකොට එයත් මගේ දෙමවුපියන්ට නැන්ද මාම කිව්ව.

මම වැලිබත් ඉවුවේ රන් අයියත් එක්ක. එයා කොල්ලෙක් වෙලත් සෙල්ලම් කරන්න ආවෙම මගෙත් එක්ක. මමත් ඉස්කෝලෙ යන්නෙ නැති දවස්වල උදේට මූණ හෝදල අම්ම ගවුම අන්දන්නත් කලින් රන් අයියගෙ කටහඬ ඇහුනොත් ජංගිය පිටින්ම එලියට දුවන්නෙ මම ඉක්මනට නොගියොත් රන් අයිය යාවි කියන භයට. එහෙම දවස් වලට රන් අයිය මට හිනාවෙලා බනිනව ගිහිල්ල ගවුමක් දාගෙන එන්න කියල.

“රන් අයියෙ….. මේ බලන්නකො ලස්සණ නයෙක්”

“නයෙක් නෙමෙයි ලමයො …. සර්පයෙක් ඕකට කියන්නෙ මල්සරා කියල. හරිම අහිංසක සතෙක්. දශ්ඨ කරන්නෙ නෑ. …...විස නැති සර්පයෙක්”

අයිය සත්තුන්ට හරි ආදරෙයි.

“මල්සරා විද්දොත් ගැලවිල්ලක් නෑ කියල පන්තියෙ කෙල්ලො කථා උනා”

“පොඩි කෙල්ලන්ටත් ඕන නැති දෙයක්නෑ”

මම ඉපදුන වෙලේ වේලපත්කඩේ බලාපු ගුරුන්නාන්සෙ කිව්වලු මගෙන් දෙමව්පියන්ට අගුණයි කියල. ඒක ඒ විදියටම මම ලොකු ලමයෙක් වෙච්චි නැකතටත් කිව්ව කියල මට කනින් කොනින් ඇහිලා තිබුනත් මමවත් අම්මලාවත් ගනන් ගත්තේ නැති විත්තිය මට තේරුනේ, දවසක් අම්ම ගෙදරට ආපු නෑදෑයො කට්ටියකට මාවත් තියාගෙන කියාපු මගෙ හිතේ පලපැදියම් වෙලා තියෙන වචන පේලියක් නිසයි.

“අනේ බං නංගියේ ඔය කේන්දර කාරයො කියන දේවල් මම පයිසෙකට මායිම් කරන්නෙ නෑ. දැං බලාපං මේ කෙල්ලගෙං අපිට අපලයි කියල කේන්දර කාරයො කිව්ව. මේ කෙල්ල ඉපදුනාට පස්සෙ අපි මේ ගේ හදාගත්ත. ටවුමෙ කඩේ ගත්ත. මේකි හැමදාමත් පන්තියෙ පලවෙනි පස් දෙනා අතර ඉන්නව. ඊට වැඩිය මොකද්ද “

============

“චූටි මැනිකෙ දැං ඉතිං කෙලින් වෙන්න, සෙල්ලෙ පහු උනා”

මම ඔලුව උස්සල බලනකොට දෙපැත්තෙම කැලේ, බුත්තල සෙල්ල පාරෙ. මම මේ යන්නෙ මගේ ජීවිතේ ලස්සනම දවසට. පොඩි කාලෙ ඉඳන්ම මාව එයාගෙම කියල හිතාගෙන මාව මගේම දෙමව්පියන්ටත් වඩා ආරක්ශා කරපු රන් අයියට මගේ ජීවිතේම භාරදෙන්න.

රන් අයිය අමතක කරන්නෙ කොහොමද මගෙ අම්මෙ. අම්ම මාව පණ වගේ බලාගත්ත. මගේ අම්මට මමත් ආදරෙයි. රන් අයියව අමතක කරන්න නම් ඇයි අම්මෙ අම්මල මම පොඩිකාලෙ ඉඳන්ම රන් අයියට ලංවෙනකොට මොන විදියකටවත් විරුද්ධ උනේ නැත්තෙ. මගේ පුංචි හිත මට තේරෙන වයසෙ ඉඳන්ම තිබුනෙ රන් අයිය ලඟ. ඒ මගේම අයිය අම්මෙ.

පුංචි සන්දියේ රන් අයියගෙ අතේ එල්ලිල ඉස්කෝලෙ යනකොට අම්ම  “නංගිව පරිස්සමින් එක්ක යන්න” කියනව මම ආසාවෙන් අහගෙන හිටිය. අයිය මගේ පොත් බෑග් එකත් අරගෙන යනකොට මම අයියගෙ අතේ එල්ලෙනව අම්ම බලාගෙන හිටියෙ සන්තෝසෙන් නේද අම්මෙ.

ඇයි අම්මෙ අම්මල මම ලොකු ලමයෙක් උනාම රන් අයියට අපේ ගෙදර දොර වැහුවෙ. මම ලොකු ලමයෙක් උන සතුට එදාම පිටිපස්ස දොරෙන් පැනලා ගියා. එදා වෙනකල්ම මගේම අහිංසක අයිය වෙලා හිටපු රන් අයිය අම්මල මරල දාල ඒ වෙනුවට මට ආදරවන්තයෙක් මගේ හිතට දුන්න. ඒ වෙනකල් අයිය මාව සිප ගන්නකොට මගේ හිතේ හිටිය මගේම රන් අයියව මට කාටත් හොරෙන් සිප ගන්න සිද්ද උනේ ප්‍රේමවන්තයෙක් හැටියට.

මම ලොකු ලමයෙක් උන දවස වෙනකල්ම මම ආදරෙන් සිප ගත්ත ඒ කම්මුල් වෙනුවට එදාට පස්සෙ මට එයාගෙ තොල් සිපගන්න සිද්ද උනා. මගේ හිත පුරා පිරිල තිබුන අහිංසක සෙනෙහස වෙනුවට මොකද්දෝ ආසාවක් මගේ මුළු සිරුරම වෙලාගත්ත.

අම්මල මගේ අහිංසක අයියව ප්‍රේමවන්තයෙක් කලා. අම්මල ගෙදර නැතුව මම තනිවුනු හැම දවසකම මට සිද්ද උනා රන් අයියව කොහොම හරි ගෙදරට ගෙන්නගන්න. වෙනද වගේ රන් අයිය මගේ කම්මුල් සිපගන්නව වෙනුවට අපි දෙන්නම තොල් පටලවගත්තෙ පුදුම ආසාවකින්.

මම අම්මලට දොස් කියනව නෙමෙයි. ඒත් අපිට අපමණ නිදහසක් දීල පුංචි අපේ හිත් කඩන්න අම්මලට දුක නැද්ද අම්මෙ.

================

අසාර්ථක විවාහ දිවියකින් වෙන්වී සිටි තිවංක අයියගේ වාහනේ බුත්තල පාරෙ කැලේ දෙබෑ කරගෙන යනව වගේ දැනෙනව.

රන් අයියා පහේ ශිෂ්‍යත්ව විභාගෙ ඉහලින්ම සමත් උනා. ඒ වෙනකොට මම දෙක වසරෙ. ප්‍රතිඵල දැනගත්ත ගමන්ම ඉස්කෝලෙදිම අයිය මාව හොයාගෙන ආව.

“චූටි මැනිකෙ, මට ලකුනු 186 ක් තියෙනව”

ඉස්කෝලෙ නේද ඉන්නෙ කියල නිනව්වක් නැති උනා. මම අයියව බදාගත්ත. අයිය මගේ ඔලුව සිප ගත්ත අද වගේ මතකයි. එදා දැනුන අයියගෙ සුවඳ මට අදටත් දැනෙනව.

මම රන් අයියගෙ ජයග්‍රහණය ගැන සතුටු උනත් පුංචි මගේ හිත ඒ වෙනකොට දැනගෙන හිටියෙ නෑ අයිය ලොකු ඉස්කෝලෙකට යාවි කියල. අයිය ගාල්ලෙ මහින්දෙට ඇතුල් උනා කිව්වම මට මහා ලොකු පාලුවක් දැනුන. මම කොට්ටෙ බදාගෙන ඇඬුව දැකල අම්ම හොඳටම හිනාඋනා. මට අම්ම තේරුම් කරල දුන්න අයිය ලොකු ඉස්කෝලෙකට ගිහිල්ල ඉගෙන ගෙන ලොකු ඉංජිනේරුවෙක් වෙලා ඒවි කියල.  ආයෙත් මගේ හිතට හීන් සතුටක් දැනෙන්න පටන්ගත්ත.

ඉංජිනේරුවෙක් කියන්නෙ කවුද කියල මම ඉස්සෙල්ලම දැනගත්තෙ ලස්සන කාර් එකක කතරගම ටවුමෙ අපේ කඩේට ආපු මාම කෙනෙක් දැක්ක වෙලේ, තාත්ත “කවදද ඉංජිනේරු මහත්තය ආවෙ” කියල ඇහුවමයි.

එදා ඉඳන් මම රන් අයිය ලස්සන කාර් එකක මාව බලන්න ඒවි කියල හිත හදාගත්ත. ඒ සුන්දර සිහිනයත් එක්ක මම හැම මොහොතකම ජීවත් උනා. නිවාඩුවට ගෙදර එන මගේ රන් අයිය ලස්සන කාර් එකකින් එනකල් බලාගෙන හිටිය.

අයියට ඉංජිනේරු පීඨයට යන්න ලකුනු මදිය කියල දැනගත්තම මම තරම් අයියවත් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ඇති. ඒ වෙනකොට මගේ ආත්මෙම මම අයියට භාර කරල තිබුනෙ. අපි උපරිමයෙන් හැකි හැම වෙලාවකම කායිකව එකතු උනා.

මම අලුත් සිහිනයක රන් අයියගෙ කැඳල්ලක ජීවත් උනත් රන් අයිය එයාගෙ ඉංජිනේරු සිහිනය අත ඇරියෙ නෑ. එයා දෙමව්පියන්ගෙත් උදව් ඇතුව එංගලන්තෙ විශ්වවිද්‍යාලයකට ඇතුල් වුනේ අපේ සම්බන්ධය දෙපාර්ශවයම අනුමත නොකරන වාතාවරණයක් තුල. මේ වෙනකොට අපි දෙන්නම තේරුම් අරගෙන තිබුන අපේ සම්බන්ධයට කිසිම දිනක දෙපැත්තෙන්ම කැමැත්ත නොලැබෙන විත්තිය. අයිය රට යන දිනයත් ලංවේගෙන එන නිසා අපි තීරණය කලා හොර රහසේම නීත්‍යානුකූලව කසාද බඳින්න.

අපි දෙන්නටම මේ තීරණය ගන්න ලේසි උනේ නම් නෑ. අපිට වෙන කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුනෙම නෑ. මගේ දෙමව්පියන්ගෙ ඒකායන බලාපොරොත්තුව මාව වෙනකෙනෙකුට බන්දලා දෙන්න. මම කොහොමද මගේ අයියව තනිකරන්නෙ. එහෙම උනොත් එයාගෙ හීන ඔක්කොම කඩාකප්පල් වෙනව. මට හිතාගන්නත් බෑ. කොහොම උනත් මේ වෙනකොට අපි කායිකවත් මානසිකවත් වෙන් කරන්න බැරි තරමට එක්වෙලා හිටිය.

බුත්තල නගරාසන්නයේ පටු පාරකට හරවපු වාහනය නවතිනකොටම මම දැක්කා විවාහ ලේකම් කියන නාම පුවරුව. මම හිතෙන් අම්මගෙන් සමාව අයදින ගමන් කන්කානම්ගේ  තිලක් බණ්ඩාර නැමැති අය මාගේ ස්වාමිපුරුෂයා හැටියට මෙතැන් පටන් පිලිගන්නා බවට සපථ කලා.

සාක්ෂියට අපි ආපු වාහනේ අයිති තිවංක අයියත් එයාගෙ යාලුවෙකුත් අත්සන් කලත් තිවංක අයිය පමණක් අපිත් එක්ක රැඳුනෙ ඉදිරි දින කීපය බණ්ඩාරවෙල ගතකරන්න තීරණය කරල තිබුන නිසයි.

උස් කඳුවැටියක පිහිටි ඒ නවාතැන තිවංක අයියගෙ යාලුවෙක්ගෙ නිසාත් ඉදිරි දින කීපයම තිවංක අයියත් අපිත් එක්කම හිටපු නිසාත් අපිට එතැනට හුරුවෙන්න වැඩි වේලාවක් ගියේ නෑ. අපේ මධු සමය අපි සතුටින් ගත කලා. හැම මොහොතකම මට මගේ අම්මව මතක් උනත් හිතෙන් අම්මගෙන් සමාව ඉල්ලනව ඇරෙන්න වෙන කල හැකි දෙයක් මට ඉතිරිවෙලා තිබුනේ නෑ.

පලමු දිනයේදීම රන් අයියා අපි දෙදෙනා විවාහ ගිවිසගත් බවත් හොදින් ඉන්නා බවත් ලඟදීම දිනයක පැමිණෙන බවත් අප දෙදෙනාගේම දෙමව්පියන්ට දන්වා තිබුනා.

සතියක කාලයක් අපි නොයෙක් පලාත්වල සැරි සැරුවෙ තිවංක අයියගෙ වාහනෙන් එයත් එක්කමයි. එයා ඇත්තටම අපිට ගොඩාක් උදවු කලා. ඒජන්සියක් හරහා එංගලන්තයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්නත් වීසා වැඩ කටයුතු වලටත් එයාගේ නොමද සහාය ලැබුනු බව මේ දින කීපයතුල මට දැනගන්නට ලැබුනා. එයා අපෙන් වෙන්වුනේ අප දෙදෙනාම අපගේ නිවෙස්වලට ඇරලුවාට පසුවයි.

රන් අයියාගේ නිවස මට තහනම් කලාපයක් වුනත් අපේ නිවසේ දොර රන් අයියාටත් මටත් විවර උනා. රන් අයියාගේ දෙමව්පියන්ගේ අවලාද හා මගේ දෙමව්පියන්ගේ දුක් සුසුම් මැද දීර්ඝ සාකච්ඡාවකට පසු අප දෙදෙනා නිවාස දෙකේ ගතකිරීමට ගත් තීරණය රන් අයියාගේ පිටරට ගමනටත් රුකුලක් වුනා.

රන් අයියා එංගලන්තය බලා වැඩිදුර අධ්‍යාපනයට පිටත්ව යෑම මගේ සතුටට කරුනක් වුනේ වැඩිකල් නොගොස්ම මටද එහි යාමට හැකියාව ඇතැයි යන බලාපොරොත්තුව තදින්ම රෝපනය වී තිබූ නිසාය.

එතැන් සිට අම්මාගෙ සෝ සුසුම් මැද්දේ වුවද මා බලාපොරොත්තු සහගත කාල පරිච්චේදයක් ගත කලත් රන් අයියාගෙන් කිසිම තොරතුරක් නොමැතිව වීම නිතැතින්ම මට කුතුහලය දනවන්නක් වුනා. ඔහුගේ දෙමව්පියන්ද අප හා මේ වනවිට සියලු සම්බන්ධතා අතහැර දමා තිබුනා. අවුරුද්දක පමණ කාලයක් මෙසේ ගතවුනත් මම තවදුරටත් මගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාගේ පැමිනීම අපේක්ෂාවෙන් ඉවසීමෙන් කටයුතු කලේ තාත්තාගේ කතරගම නගරයේ පවත්වාගෙන ගිය කඩයේ වෙලදාම් වලටද සහය වෙමින්.

===============

ගම් උදාව මාවතේ පිහිටි අපගේ නිවසේ සිට නගරයට යාමට දිනක් බසයක් එනතුරු බලාසිටි මා ලඟින්ම වාහනයක් නවත්තනවා දුටුවත් නොදැක්කාසේ අහක බලාගත්තේ තනි පංගලමේ සිටින ගැහැනුන් ඉදිරියේ නවතින වාහන සුලභ නිසාමයි.

“දෙය්යනේ ….. තිවංක අයියා”

මට කෑගැහුනා.

“නගින්න නංගි…... මම ගිහින් බස්සන්නම්”

එදා අපි ගිය වාහනය වෙනුවට අලුත්ම වාහනයක්. මට හිතාගන්නත් බෑ, අවුරුද්දකට විතර පස්සෙ. වාහනේ පිටිපස්සෙ ආසනේට නගින්න සූදානම් වෙනකොටම ඉස්සරහ දොර ඇරුනේ අපේ ජීවිත වෙනත් මගකට යොමු කරන්නද කියල එදා හිතුනේ නැතත් මට අදනම් එහෙම හිතෙනවා.

“මට හැමදෙයක්ම ආරංචියි නංගි”

තිවංක අයිය අපේ කතාවට මුලපුරන්න ගත්තෙ එයා වාහනේ පණගන්නන ගමන්මයි. මගේ දෑස කදුලින් බර වෙනව එයා දකින්නත් ඇති.

“රන් අයියගෙන් ….ආරංචියක් ඇත්තෙම නැද්ද”

“නෑ….. අයියෙ”

“එයාගෙ අම්මලත් ….දැන් ඔයාලගෙ මූණවත් බලන්නෙ නෑ නේද”

“ඔව් අයියෙ….. ඔයාට රන් අයිය කථා කලේ නැද්ද”

අදත් කතා කලා කියන පිලිතුර මම බලපොරොත්තු උනත් මට ලැබුනෙ හාත්පසින්ම වෙනස් පිලිතුරක්.

“ඒකනේ නංගි …..ගියා ගියාමයි…... කිසිම ආරංචියක් නෑ”

පපුවෙ හිරකරගෙන තිබුන දුක් කන්දරාව දෝරෙ ගලන්න ගත්තෙ තිවංක අයියත් අපිට එදා ගොඩාක් සම්බන්ධ උන නිසා වෙන්න ඇති.

“මට තේරෙනව නංගිගෙ දුක් කන්දරාව…… මගෙන් කෙරෙන්න ඕනම දෙයක් …. කියන්න”

කප්පරක් තියෙනව අයියෙ කියන්න. ඒත් වෙලාව මදි නේද කියල මම කොහොමද කටක් ඇරල කියන්නෙ කියල හිතනකොටම තිවංක අයිය යෝජනාවක් කලේ ඒ වෙනකොටත් අපි නගරය ආසන්නයටම ඇවිත් තිබුන නිසා වෙන්න ඇති.

“නංගි…. අකමැති නැත්නම්…... අපි චුට්ටක් කොහාට හරි ගිහිල්ල කතාකරමු”

“කොහේ යන්නද ….. අයියෙ”

“අපි ...වාහනේ යන ගමන් කතා කරමු”

එහෙම කියන ගමන්ම එයා වාහනේ ආපහු හරවගත්තෙ මම හා කියන්නත් කලින්. එයා ගම් උදාව, ලුනුගම්වෙහෙර පාරට වාහනේ හැරෙව්වෙ ඒ පාර හරිම නිදහස් පාලු පාරක් නිසා වෙන්න ඇති.

“මම හරි අසරණ වෙලා අයියෙ….. මට මගේ රන් අයිය සොයල දෙන්න ….ඔයාට පින් සිද්ද වේවි”

“තිලක් …. මගේ හොද යාලුවෙක් හැටියට ආශ්‍රය කරපු නිසයි ..මම උදවු කලේ…. මමත් හිතුවෙ නෑ එයා මේ විදියට ...ඔයාව මග අරීවි කියල.”

ගෙදරට රන් අයියා උන මගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට අන් අය ආමන්ත්‍රණය කලේ එයාගෙ උප්පැන්නයේ සඳහන් තිලක් නමින්

ලුනුගම්වෙහෙර පාලු පාරක් නිසා අපි වාහනේ නවත්තලා ඔය විදියට පටන්ගත්තු කථාව පැය ගානක් ඉදිරියට ඇදගෙන ගියත් මේ ප්‍රස්නෙට විසඳුමක් පේන තෙක් මානයකවත් තිබුනේ නෑ.

“අපිට බැරිවෙයිද ….තිලක් රට ගිය ඒජන්සියෙන් එයා ගැන තොරතුරක් දැනගන්න”

තිවංක අයිය නිකමට වගේ එහෙම ඇහුවත් අපි දෙන්නම දැනගෙන හිටියෙ නෑ  හරියටම මොකද්ද ඒ ඒජන්සිය කියල. කොහොම උනත් එයා පොරොන්දු උනා ඒ ගැන සොයල බලන්න.

හතර වටින් අඳුර ගලාගෙන එනකොට මම එයාගෙන් වෙන් උනේ අප දෙදෙනාගේම ජංගම දුරකථන අංක හුවමාරුකරගෙන ආයෙත් මුනගැහෙන පොරොන්දුවත් කෙසේ හෝ රන් අයියාගේ තොරතුරක් සොයා ගැනීමට මා හට උපකාර කරන බවටත් සපථ කරගනිමින්.

එදා රෑ මම දස අතේ කල්පනා කලේ ඒ හමුවීම ගැන. මම තිවංක අයිය ඉදිරියේ කදුලු සලමින් වැලපුනා. මගේ කඳුලු අතරින් මට පෙනුන තිවංක අයියගෙත් ඇස් කඳුලින් පිරිල තිබුන.

“අඬන්න එපා හංසි”

තිවංක මගේ නමින්ම ආමන්ත්‍රණය කරනකොට, මට දහස්වාරයක් හිතුනත් එයාගෙ කදුලු වලට මගේ උරහිස දෙන්න මම ඒ හැඟීම ආයාසයෙන් මැඩගත්ත. ඒ විදියටම එයාටත් හිතෙන්න ඇති.

“මේ ප්‍රස්නෙට … මමත් දායකවුනා …...මමත් අසරණයි හංසි”

තිවංක එහෙම කියනකොට මට තේරුනා එයත් අවංකවම දුක්වෙන විත්තිය. ජීවිතේ පලවෙනි වරට පිරිමියෙක් අඬනව දැක්ක මම මටම නොතේරෙන අයුරකින් තිවංක අයියව මගේ හදවතට ඇතුල් කරගත්තෙ ලොකු සෙනෙහසකින්.

ඇයි අම්මෙ මට මගේම කියල අම්මගෙ කුසින්ම  අයිය කෙනෙක් දුන්නෙ නැත්තෙ. ඇයි අම්මෙ මාව මේ ලෝකෙ තනිකලේ. මගේම සොහොයුරෙක් හිටියනම් මගේ මේ දුක එයත් එක්ක බෙදාගන්න තිබුන නේද අම්මෙ.

වැඩි දිනක් යන්න කලින් තිවංක මගේ ජංගම දුරකථනයට කථා කර එයා ඒජන්සියේ ලිපිනය හොයාගත් බවත් එය කොල්ලුපිටියේ පිහිටා ඇති බවත් දැන්වූවත්, තොරතුරක් ලබාගැනීමට නම් තිලක්ගේ බිරිඳ හැටියට එහි ගොස් ඥාතිත්වය පෙන්වීමට කසාද සහතිකයත් සමග පුද්ගලිකව පෙනී සිටිය යුතු බවටත් දුරකථනයෙන් එම ආයතනය දන්වා සිටි බව පැවසූවා.

ඉන්පසූ කීපවිටකදී රන් අයියා ගැන තොරතුරක් ලබාගැනීමට කොලඹ යායුතු බව පැවසූවත්, අම්මා එය බැහැර කලේ ගිය එකා ගියා, උන්ගෙ හැතිකරේ මූණට කෙලගහනව, උඹ තවත් ඌ ගැන හොයනව කියමින්.

“අයියට පුලුවන්ද … මාව කොලඹ එක්කගෙන යන්න”

බැරිම තැන මම තිවංකගෙන් දුරකථනයෙන් විමසුවේ වෙන විකල්පයක් නැති නිසාත් මගේ ඉල්ලීම අහක දාන එකක් නෑ කියන තදබල විශ්වාසයත් ඇතුවයි.

“පුලුවන් ඒත්... එක දවසින් ඔය වැඩේ කරගන්න බැරිවේවි නේ”

තිවංක එහෙම කිව්වෙ මාත් එක්ක තනිපංගලමෙ යන්න වෙන නිසා වෙන්න ඇති.

“කමක් නෑ….. අපි ඉඳල කොහොම හරි විස්තරයක් හොයාගෙනම එමු….. මම නවතින්න ලෑස්තිපිටම එන්නම්”

එයා එකඟ උන නිසා අපි පහසු  දිනයක් නියම කරගත්තත් මට මතක් උනා එදා කිසිකෙනෙකුට නොදන්වා මම තිලක් මගේම කරගන්න ගිය ගමන. කොහොම උනත් මම කාටත් හොරා තිවංක අයියත් එක්ක කොලඹ එන්න එයාගෙ වාහනෙන් පිටත් උනා.

නවතින තැනක් ගැන මුනිවත රකිමින් ගමන් ගත් අපි, මහරගමට ලංවෙනකොට හවස්වෙලා තිබුන නිසා දෙන්නගෙම කැමැත්ත පිට හෝටලයක් ඉදිරිපිට වාහනේ නතර කලා. කිසිම වෙනසක් නොපෙන්වා විවාහක යුවලක් පරිද්දෙන් කාමරයක් වෙන්කර ගත්තත් අපි දෙදෙනාම හිටියේ විස්තර කල නොහැකි යම්කිසි චකිතයකින්.

කාමරයේ දොර අගුලු වැටෙන හඬ මගේ පපුවේ හිරවෙලා තිබුන දොම්නස එක වරම පුපුරා හරින්නට සමත් උනා. හිතේ හැටියට කොපමන වේලාවක් හැඬුවාදැයි හිතාගන්න බැරි තරමට මට හැඬුනා.

මගේ රිදුම් දෙන පපු කුහරයට මටම නොතේරෙන පහසුවක් දැනෙන්න ගත්තා. මම ඒ පහසුවට තව තවත් ලංඋනා. මගේ කදුලු අතරින් රන් අයියා පෙනුනා. එයාගෙ තොල් පෙති අතර මගේ තොල් පෙති සිරවෙනකොට මම සුපුරුදු සුවය සොයන්නට දෑස් පියාගත්තා.

පියවි සිහිය මගේ හිතට ලංවෙනකොට මමත් තිවංකත් නිරුවතින් වෙලිලා හිටියත් මට තිවංකගෙන් ඈත්වෙන්න ශක්තියක් තිබුනේ නෑ.

“හංසි….මාත් එක්ක තරහද?”

තිවංක එහෙම අහනකොට එයාගෙ කටහඬේ නිමක් නැති අවංක කමක් හා ආදරයක් ගැබ්වෙලා තිබුනා.

“මේක අපේ ඉරණම වෙන්න ඇති තිවංක….. ජීවිතේට මම ඔයත් එක්ක තරහ වෙන්නෙ නෑ”

මම එහෙම කිව්වෙ ඇත්තටම අවංකව. ලෝකයා අපි ගැන මොනවා හිතුවත් මොනවා කිව්වත් මම වැරදි නෑ කියල මම හිතාගත්ත. රන් අයියට තියෙන ආදරේ ඒ විදියටම මගේ හිතේ පලපැදියම් වෙලා. ඒත් මම අවංකවම හිතට එකඟවම තිවංකට ආදරෙයි.

“මගේ ජීවිතේ … මේ තරම් සතුටක් අත්විඳලා නෑ හංසි ...අපි වැරදි නෑ නේද හංසි”

තිවංක එහෙම කියනකොට මටත් එහෙමමයි කියන්න දිව පැටලුනේ නැතත් හිතෙන් මම ඒක පිලිගත්තා. මම තිවංකගේ පපුවට මගේ මූණ හිරකරගත්තා.

එදා මුළු රැයම අපි අපේ සිරුරු රාගයෙන් උමතු කරගත්තේ ජීවිතේටම අමතක නොවන තරමට. තිවංක කාමරයටම ගෙන්වාගත් රාත්‍රී ආහාරයට අමුත්තන් හැටියට එක්වුනු බියර් බෝතලයත් අපි සතුටින් වැලඳගත්තා. ආදරයත් රාගයත් මේ තරම් සුන්දරද. ප්‍රබුද්ධ මහා කවියන් ලේඛකයන් ආදරය ගැන කවි, ගී කොපමණ ලියුවත් ගැයුවත් ආදරයේ සුරාන්තය තුල ගැබ්වෙලා ඇති මිහිර අමුවෙන්ම ප්‍රකාශ නොකරන්නෙ ඇයිදැයි මට හිතුනා.

පහුවදාත් අපි හෝටලයේම ගතකලේ අප දෙදෙනා ඒකමතිකවම ගත් තීරණයකට අනුවයි. අප දෙදෙනා අප දෙදෙනාගේම සිරුරු තුල ඇති අසිරිය ගවේශණය කරමින් පහුවදාත් ආදරයෙන් වෙලී සිටියා. සුරතාන්තය අපේ සිරුරු වෙලාගත්තේ බූවල්ලෙක් ගොදුරක් වෙලාගන්නවා වගෙයි.

මගේ නිවස ලඟ මිතුරියකට මේ ගමන ගැන කල්තියා දැනුවත් කර තිබුනේ අම්මලා ගැන විශේෂ තොරතුරක් ඇත්නම් දැනගැනීමේ අදිටනින් වූවත් තිවංක ගැන කිසිවක් නොකියා සිටීමට මම වග බලාගත්තා. ඇය සිතා සිටියේ මේ ගමන තනියම යනවා කියාය.

මෙතෙක් වේලා ක්‍රියාවිරහිත කර තිබූ මගේ ජංගම දුරකථනය ලද සුලු අස්වැසිල්ලකින් පණගැන්වූයේ ගෙදර ගැන කුමක් හෝ කෙටි පණිවිඩයක්වත් ඇතැයි යන හැඟීම මගෙ හිතට වද දෙමින් තිබුන නිසයි.

“ගෙදර ලොකු කලබලයක් වහාම එන්න”

===============

දුවේ,

මගෙත් තාත්තාගේත් විවාහ දිවිය අවුරුදු 23ක් පුරා ඇදීගියේ ඉතාමත් ඈදරයෙන්. නුඹගේ පැමිනීම ඒ සුන්දර අතීතය තව තවත් වර්ණවත් කලා.

තවත් දරුවකගේ අවශ්‍යතාවය නුඹ ගැන තිබූ අනුපමේය සෙනෙහසත් තවත් දරුවකගේ අවශ්‍යතාවයන් උපරිමයෙන් සපුරාලීම පිලිබඳව අප දෙදෙනා තුල ඇතිව තිබූ සැකයත් විසින් මග හැරුනා. ඒ ගැන අවංකවම මම කණගාටු වෙන්නේ තවත් දරුවෙක් සිටියානම් මෙවන් ඉරණමක් අප තිදෙනාට අත් නොවෙනු ඇතැයි මට මේ මොහොතේ සිතෙන නිසාය.

තිලක් සමග ඔබ ඇතිකරගත් සම්බන්ධය හදිසි විවාහයක් කරා දිවගිය මොහොතේ අපේ සිහින බොඳවී ගියත් අපි හිත හදාගත්තේ ඔබට තිබූ අපමණ ස්නේහය සිහිපත් කරගනිමිනි. තිලක්ගේ දෙමව්පියන් දෙස් දෙවොල් තබමින් අපට අවමන් කරමින් සිටි නිසා තහංච් පැනවීමට සිදුවූයේ අප ඒ වනවිටත් අවමානයට ලක්වී සිටි නිසා බැව් ඔබ හොඳා කාරවම දන්නා කරුණකි.

තිලක් ඔබ හැරදා එංගලන්තයේ ගිය දින සිට අද දක්වාම ඔහු ගැන කිසිම තොරතුරක් නොමැතිවීමෙන් ඔබ අද වැන්දඹුවක් තරමටම අසරණවී සිටීම මා දරාගත්තේ කෙසේදැයි අදටද මට ප්‍රහෙලිකාවකි.

කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී තිලක්ගේ දෙමව්පියන් ඔබ වෙනත් පුරුෂයෙකු සමග පැනගොස් ඇතැයි මුළු ගමටම කෑ ගසා කීම, අම්මා කෙනෙකු හැටියට උහුලාගත නොහැකිවූවත් මටද එසේ ඉවසා සිටිය හැකි වූයේ සුළු කාලයක් පමණකි.

මෙතරම් කාලයක් දුරකථනයෙන් වත් සම්බන්ධ නොවූ තිලක් අද දින ඔබ ගැන විමසූ විට මට දියහැකි පිලිතුරක් නොවූයේ ඒ වනවිටත් ඔහුගේ දෙමව්පියන් විසින් ඔබ වෙනත් පුරුෂයකු හා අළුත්ම පන්නයේ මෝටර් රථයකින් පැනගොස් ඇති බවට සාක්ෂි ඇතැයි ඒත්තු ගන්වා තිබූ නිසාය.

දුවේ, මම මේ විෂම ලෝකයෙන් සමුගැනීමට තීරණය කලේ නුඹගේ ක්‍රියාකලාපය අනුමත නොකලත් මගේ රත්තරන් දුව ගැන අබමල් රේනුවකවත් කලකිරීමකින් නම් නොවේ. මට තව දුරටත් නුඹ චපල ගැහැණියක් ලෙස සමාජය දකිනවා බලා සිටිය නොහැක.

තාත්තා බලාගන්න. ඔබ දෙපලට තුණුරුවන් සරණයි. කතරගම දිව්‍ය රාජයාගේ පිහිට ආරක්ශාවයි. වෙනත් භවයකදී අපි හමුවෙමු.

අම්මා

================

අම්මා ගෙදර බාල්කයේ එල්ලී මියගොස් තිබුනේ මා නිවසින් පිටවී ගිය දිනයට පසු දින උදයේ බවත්, මා අලුත්ම පන්නයේ මෝටර් රථයකට කඩිමුඩියේ ගොඩවී ගිය බවක් ගම් උදාව පාරේ කඩයක් පවත්වාගෙන ගිය සැමී මාමා තිලක්ගේ දෙමව්පියන්ට සැලකර සිටි බවත් මාගේ මිතුරිය මා හට පැවසුවේ මරණයේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරදීය.

=============

සුදෝ සුදු හිම මත අපහසුවෙන් එහෙත් ප්‍රීතියෙන් ලිස්ස ලිස්සා ගමන් කරනා මැදිවියේ ජෝඩුවක් හා කුඩා දියණියක් දෙස මම විදුරු ජනේලයෙන් බලා සිටියෙමි. මේ දරුවා ගැන කොපමණ බලාපොරොත්තු දෙමව්පියන් තබා ඇත්ද. හිම මත ලිස්ස වැටෙන තම දියණිය දෙස සිනාමුසු මුහුනින් බලාසිටිනා ඔවුන් වරෙක එකිනෙකා වැලඳ ගන්නේ වැටුනානම් තනියම නැගිටපන් කියන්නාක් මෙනි.

මෙම ලදැරිය පෙම්වතෙකු සිප වැලඳ ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. එය ඔවුන් එලිපිටම කරනු ඇත. බොහෝවිට එම සිප ගැනීම හා වයස සම්පූර්ණවූ විට ඇතිකරගන්නා කායික සම්බන්ධතාවයන් විවාහය දක්වා දිව නොයනු ඇත. ඔවුන්ගේ අධ්‍යාපනය හා සමාජ සංකල්ප එවන් අවස්ථා දෙස අවඥාවෙන් නොබලනු ඇත.

මා කුඩා කල ඇතිකරගත් ප්‍රේමය හා සබැඳි කායික සම්බන්ධතාවයන් ඉතාමත් රහසිගතව සිදුවූ අතර එවන් සබඳතා එංගලන්තයේ දරුවන් එලිපිටම කරතත් ඔවුනට ඒ සම්බන්ධව මනා දැනුමක් අධ්‍යාපනයෙන්ම ලබාදී ඇත. මාගේ ප්‍රේමයේත් රාගයේත් ගුරුවරයාවූයේ අද මාගේ ස්වාමිපුරුෂයා වී සිටින රන් අයියාය. ඒ සම්බන්ධව කිසිම දැනුමක් නොතිබූ අවදියක අපි සමාජයෙන් තහනම්ව තිබූ රාගයෙන් මුසපත්වී සිටියෙමු.

ඒ සමගම මාගේ ජීවිතයේ ඇතිවූ හිඩැස, රන් අයියා අම්මාගෙ වියෝවෙන් පසු මා ලන්ඩනයට ගෙන්වා ගන්නා තුරුම පුරවන ලද්දේ තිවංක අයියා විසිනි. ගැහැණියකට තම නීත්‍යානුකූල පුරුෂයා හැර වෙන අයකු හා කායික ඇසුරක් පැවැත්වීම අනුමත කල නොහැකි වූවත්, එදා පැවති වාතාවරණය හා තහංචි අතරේ සිරවූ අපගේ කායික හා මානසික සම්බන්ධතාවය අදටත් මම තුටු සිතින් ආවර්ජනය කරමි.

පසු කලෙක මාගේ පියා තනිකම හා පාලුව මකා ගැනීමට බුදු දහමේ සරණ පතමින් බණ භාවනාවන්හි යෙදෙමින් කාලය ගතකිරීමට වෙහෙසුනද එයින්ද පලක් නොවූ බව මා දැනගත්තේ අම්මා ගිය මගම තාත්තාද ගොස් තිබූ බැවිනි. අම්මා එල්ලී සිටි බාල්කයම තත්තාද තොරාගෙන තිබීම දෛවයේ සරදමක් වී තිබුනි. ආර්ථික දුශ්කරතා මධ්‍යයේ තාත්තාගෙ මලගමට සහභාගීවීම මාහට කලනොහැක්කක් වීය.

එංගලන්තයේ සමාජ හා දේශපාලන ක්‍රමය තුල මාගෙ අම්මා හා තාත්තා වැන්නන්ට ජීවිතයෙන් සමුගැනීමට කිසිසේත්ම අවශ්‍යවන්නේ නැත. ලංකාවේ ඇත්තේ එවැන්නන් ගොදුරු කරගන්නා සමාජ හා දේශපාලන ක්‍රමයකි.

ලඟම පිහිටා තිබූ නිතර ආගිය පුන්‍ය භූමියක්වූ ලන්ඩනයේ අමරාවතියේ වැඩවසන බෞද්ධ භික්ෂුන් වහන්සේලාහට දානයක් දී මාගෙ දෙමව්පියන්හට පින් අනුමෝදන් කිරීමට මම රන් අයියාගේද ආශිර්වාදය ලබා ගතිමි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget