ලබ්බෙ සමාජවාදෙ
“අන්න... අරුං නහුතෙට ගහල….. අපේ පතුරු අරිනව”
බෝ පැලයක් වගේ ඉන්න ජයේ, හිතේ අමාරුවෙන් නෝක්කාඩු කියනකොට අපි හිටියෙ මාතලේ අලුවිහාරෙ වාහන පාක් එකේ
“කවුද බං…”
කවුද, මොකටද, කොතැනද ඒ කිසිම දෙයක් දැනගන්න කිසිම උවමනාවක් මට තිබුනෙ නැතත් ජයේ බර දාල කියාපු තාලෙ මට ගානකට ගන්නෙ නැතුව ඉන්න් බැරි උනා.
ඇයි යකෝ ට්‍රිප් එක පටන්ගත්ත විතරයි මුන් කොම්පැනියෙන් නොමිලේ දෙන අරක්කු ගහල අපිටම කෙලින්න එනව.
“සයිය…..කුනුහරුප පලනව…..මහත්තුරුන්ට ඒසී බස් අපිට නිකං බස් කියල ඔක්කොම උසි ගන්නනව…”
ජයේත් ඕක මටම කියන්නෙ, කොම්පැනිය සේවකයන්ට කිසිම වෙනසක් කරන්න එපා කියල තියෙද්දිත්, මමනේ ඒසී රෝසා බස් එක අපේ නිලධාරි සෙට් එකට සාමාන්‍ය බස් එකේ ගානටම කථා කරල ගත්තෙ.
කොම්පැනියෙ ලොක්කො පත ටෝක්ස්. මේ ගමනෙ අරමුන නිලදාරීන් සහ සේවකයන් අතර පරතරය අවම කිරීම. රෙද්දෙ සමාජවාදෙ, ඔන්න ඔහේ කට පියාන හිටියෙ ඕකට දැඬි විරෝධතාවය පලකරන්න ගියොත් මගේ කට මටම අවිශ්වාස නිසයි.
“ඉතිං... උඹ දුන්නෙ නැද්ද ඌට …. ඇට්ටි හැලෙන්න”
“මං කිව්ව... ඌ අහන්නෙ නෑ.. උඹ කියන්නෙ මට ඉල්ලං කන්න කියලද?”
කවදත් තැන්පත් ගතිගුණ තියෙන අහිංසක පාඩුවේ තමන්ගෙ රාජකාරිය කරන දක්ශ නිලධාරියෙක් හැටියට කාගෙත් හිත දිනාගෙන ඉන්න රංජිත් ජයතිලක ඊට වැඩිය මොනව කියන්නද?
“යමං බලන්න..”
ඔක්කොම අසූචි බේරුවල් බොක්කට කියල හිතාගෙන රංජියත් ඇදගෙනම ගියේ ඌ බෑ කියද්දි.
සයනේරිස් නොහොත් සයිය, ලංකා දුම්කොල සමාගමේ ඉංජිනේරු අංශයේ නිත්‍ය වඩු බාස්. පානදුරේ ඉඳල හැමදාම කොටහේනට වැඩට ආපු, හවසට දෙකක් දාල ගෙදර යන, බඩ මහත, වැඩක් කිව්වම එකපාරටම කෙරුවෙ නැතත් කුණුහරුපයක් එක්ක වැඩේ තිතට කරල දෙන හොඳට වැඩ දන්න හිත හොඳ එකා.
අවුරුද්දකට සැරයක් සේවකයන් වෙනුවෙන් නොමිලයේ දෙන දින දෙකේ විනෝද චාරිකාව, සියලු සැප පහසුකම් සහිතව අසීමිත මත්පැන් හා දුම්වැටි සමග, මේ යක්කු පලවෙනි දවසෙම වැඩේ වර්චස් කරගන්න හදන්නෙ.
මේ ඉන්නෙ සයිය පොරවෙලා කට්ටියටම දේශනාව.
“අපිට හුලං … මුන්ට ඒසී….ඇයි අපි කලුද….එහෙම කරන්න දෙන්න බෑනේ…..මුන්ගෙ කාමරත් ඒසී…. වාහනත් ඒසී…”
වෙරි මරගාතෙ ඌ දන්නෙම නෑ මම ලඟටම එනකල්. එකෙක් දෙන්නෙක් මම ඇවිත් කියලා අඟවන්න උත්සාහ කලත් වැඩක් උනේ නෑ. සයිය පොර වෙලා. මම ටිකක් අහගෙන හිටියෙ සයියා කියන කිසිම දෙයක් හිතට ගන්නෙ නැතුව.
කොටහේනෙ සිගරට් කර්මාන්ත ශාලාවෙ ඉංජිනේරු අංශය භාරවෙලා ආපු මුල්ම දවසකට මගේ හිත ඇදිල ගියා.
“සර්, යකඩ තහඩුවක් තියෙනව සයියට කියල ගානට කපාගන්නද?”
විදුලි අංශෙ සෝමෙ බොහොම යටහත් පහත්ව ඇහුවෙ හරියට ඌත් ගාල්ලෙ මමත් ගාල්ලෙ නිසා වැඩේ ගැස්සුනත් අවුලක් නෑ කියල හිතාගෙන වෙන්න ඇති.
“ඔහොම තියල පලයං මම කරල දෙන්නම්”
මම ගානක් නැතුව කිව්වත් සෝමෙ හෙල්ලුනේවත් නැතත්, අලුත ආපු බොසා ලණුව ගිල්ලදෝ කියන සැකය උගේ මූනත්තහඩුව හරහා ඇදිල ගිය කෝචොක් හිනාවත් එක්ක එලියට පැන්න.
“සර්, මේක ඩෙක්ස්ටර් මහත්තය ඉක්මනට කරගෙන එන්න කිව්ව සර්ට කියල”
“පකෝ තෝ හිතුවද මම තුම්පනේ කියල…..”
මම උපන්දා සිට අමාරුවෙන් ප්‍රගුන කල මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ වගේ ප්‍රවීන හෙල විශාරදයන්ටත් ප්‍රගුන කරන්න බැරි උන සිවිල් ඉංජිනේරු භාෂාවෙන් දෙසාබාන්න කට අරිනකොටම සෝමෙ පස්ස නොබල දුවන්න ගත්ත.
“හරියටම හරි සර්, ඕකුන්ට තේරෙන භාෂාවෙන් කියන්න ඕන. කොහෙද මීට කලින් හිටියෙ පීචං පොරවල් නේ”
එතන හිටපු සයිය මට බටර් ගාන්න ගත්තෙ පාන් පෙත්ත පේන තෙක් මානෙක නැති වෙලාවක.
සයිය තවම වෘත්තීය සමිති නායකය වගේ දෙසාබානව ඒසී බස් එකේ ආපු නිලධාරීන්ට ලවක් දෙවක් නැතුව. අහගෙන ඉන්න එවුන්ගෙ ඉරියව්වල වෙනසක් දැක්ක නිසාදෝ සයිය හැරිල බැලුවෙ හරියට මොකා උනත් අවුලක් නෑ දෙනව බැටේ කියන්න වගේ.
“ආ..සර්.. අපි පොඩි ආතල් එකක් ගන්නව…. ප්‍රස්නයක් නෑ නේ….”
ගැස්සුන ගැස්සිල්ලට වටේ හිටපු උන් හිනාව තදකරගත්තෙ ලොකූ ආයාසයකින්.
“ප්‍රස්නයක් නෑ… මොකද්ද තෝ රංජිත් මහත්තයට කිව්වෙ”
මම උගේ දේශනාව අහගෙන හිටියෙ නෑ වගේ උගේ ආත්ම ගෞරවයත් රැකෙන විදියට මගේ භාෂාවෙන් ඇහුව. කොල්ලන්ටත් මාර ආතල් මේ කට වාචාලය ඉල්ලගෙන කන්න ඉතා ආසන්න නිසා. ඒ නැතත් අසභ්‍ය දෙසුමක දොරට වැඩුම රහතුන් වැඩ සිටි අලුවිහාරේ පන්සලේ ගල්පොත්තක උඩ සිට සජීවීව.
“නෑ සර්…. මම කියන්නෙ...අපිටත් කොම්පැනියෙන් ඒසී බස් එකක් දෙන්න තිබුන නේ…. මොකෝ සල්ලි නැති කොම්පැනියක්ද… නෑනේ”
“පකෝ…. කොම්පැනියෙන් තොපිට මේ දෙන දේවල් මදිද… අපේ ඒසී බස් එක ….මම ලෑස්ති කරපු එකක්…. ඒක දැනගනින් දැන්වත්. කටවහගෙන කෑවනම් බිව්වනම් ඒ විදියට හැසිරෙන්න ඉගෙන ගනින්”
මම මගේ දේශනාව සභ්‍ය භාෂාවෙන් පටන්ගත්තෙ තිත්ත භාෂාවෙන් ඉවරකරන්න හිතාගෙන මුගේ අම්ම මුත්තත් ගෙන්නලා.
“ඒකනේ සර් … කියන්නෙ... කොහේද රංජිත් මහත්තය අපිට තේරෙන බාසාවෙන් කිව්වෙ නෑ නේ…. කවුද දන්නෙ….. නැද්ද මචං. සර්ගෙ භාෂාව අපිට තේරෙනව… රංජිත් මහත්තය …. සමාවෙන්න ඕන අපිට. අපේ රත්තරං මහත්තුරු මේ….”
කොහේද සයිය ශේප් න්‍යය අපූරු නිර්මානයක් හැටියට ඉදිරිපත් කරනකොට අපි දෙන්න බුදු සිරා මූනු දාගෙන හැරිල ආවෙ හිනාව තදකරගෙන. කොහොම උනත් එතනදි අපි දිනුවත්, ඇත්තටම අපි අට පාස් නැති වඩ්ඩෙකුට පැරදුනා නේද කියල හවස් ජාමෙ අපේ එකෙක් ඇරපු විස්කි බෝතලේ භාගෙට ඉවරවෙනකොට කවදත් කට කැඩිච්ච කථා කියන සරත් කියනව මට ඇහුන.
ජවිපෙ අනු දැනුම ඇතිව වෘත්තීය ක්‍රියාකාරකම් උපරිම මට්ටමෙන් කෙරීගෙන ගිය අනූව දශකයේ අග භාගෙදි, ලංකා දුම්කොල සමාගමේ ඉහල පරිපාලනයෙන් ආපු උපදෙස් මත පලවෙනි වරට මේ විනෝද චාරිකාව යොදාගත්තෙ ඒකෙ සහභාගිත්වය මධ්‍ය පරිපාලකයන් වුනු අපට අනිවාර්‍ය කරමින්. කොල්ලන්ට උපන් දවසෙම අප්ප දාපු නම් වෙනුවට කොටා, ඇටය, ලබ්බ වගේ නම් වලින් ආමන්ත්‍රණය කරන මම, සමාජවාදෙ ඉගෙන ගත්තෙ මම ලඟ ඇසුරක් පවත්වපු මුළු ශරීරයෙම මොලේ කරගෙන ජීවත් වුනු, මා දුටු දක්ශම පරිපාලකයෙක් වූ අනිල් මුණසිංහ මහත්තයගෙන්.
කවදත් පමණ ඉක්මවා යන පරිපාලනය ඉදිරියේ හිස නමන්න මම අකමැති උනේ සහභාගිත්වය අනිවාර්ය කලාටත් වැඩිය නිලධාරින් සේවකයන් සමග එක බස් එකේ යායුතුයි කියාපු එකට. කොහොම උනත් අවසානෙදි අපි වෙනම බස් එකක යන්න තීරණය උන නිසා මමත් සහභාගී උනේ නිලධාරීන් වෙනුවෙන් බස් එක සූදානම් කිරීම මගේ කරපිට පටවාගන්න ගමන්.
පහුවදාම ආයතනයේ දෛනික උප කොන්ත්‍රාත් කරුවන්ට කථා කරල කියන පරක්කුවට සාමාන්‍ය රෝසා බස් එකක ගාස්තුවට ඒසී බස් එකක් ලබාගත්තෙ කිසිම කෙනෙකුට නොදන්වා කිසිම අපහසුවකින් තොරවමයි.
“සර්.. එන්නකෝ අපිත් එක්ක නාන්න…”
නහුතෙනුත් එහාට ගහපු අපේ කොල්ලො ටික කලා වැවේ නානව. මම වැව් තාවුල්ලෙ වෙනම පැත්තක නාන නිලධාරීන් දිහාව බලාගෙන හිටියෙ කම්මැලිකම එක්ක හෙට්ටු වෙන ගමන්.
“කලා වැවේ දිය ගැඹරේ සැලෙන සලා - රැඟුම් බලයි අවුකන බුදු පිලිම වහන්සේ”
“නිසල නෙතින් බැලුම් හෙලා - නිහඬ මුවින් බණක් කියයි අවුකන බුදු පිලිම වහන්සේ”
වික්ටර් රත්නායකගෙ කටහඬ කොහේද ඈතක රේඩියෝ එකකින් යාන්තමට ඇහෙනව.
ධාතුසේන රජතුමා...ක්‍රිස්තු පූර්ව 307…. සැතපුමකට අඟල් හයක බැස්ම…. අනුරාධපුරයේ තිසා වැවට ජල සැපයුම…. එහෙව් තැනක අපේ උන් නහුතෙට ගහලා…..
පල පකෝ යන්න මගේ ආතල් එක මට ගන්න දීල කියල ඔක්කෝටම ඇහෙන්න කෑගහල කියන්න හිතුන.
“කම්මැලියි බං”
“අයියෝ සර්…. එන්ඩකෝ”
ධාතුසේන රජ්ජුරුවොත් දිය කෙලියට බිසෝවරුත් එක්ක….ඔන්න ඔහෙ මමත් බැස්ස වතුරට.
එකෙක් ඇවිත් මගේ කලිසම ගලවන්න හදනව. මොන හු….ක්ද යකෝ මේක…. ඉදා බලාගනින් ගාල්ලෙ බඩු…. කලිසම බිම. දුම්කොල සමාගම බලාපොරොත්තු උන සමාජවාදෙ මගේ ලබ්බෙන් ගලා හැලෙනව.
කොහොම උනත් කමල් නිලධාරියෙක් හැටියට සේවකයො ඉස්සරහ කලිසම ගලවපු එක හරි නෑ කියල ඉහල පරිපාලකයො කථා උනාලු පස්සෙ දවසක මීටින් එකකදි.
නිලධාරින්ගෙ කලිසම් ගැලවුනේ සේවකයො එක්ක එක තලේට වැටිල විනෝද චාරිකා ගිය දවසෙ නිසා මම පයිසෙකට මායිම් කලේ නෑ.
“සර්, චුට්ටක් ඉන්න”
ඇතුල්වෙනකොටම සිකියුරිටි කාරය කවදාවත් නැතුව මගේ ඇඟපත අත ගාල චෙක් කරන්න ගත්තෙ මට හිතාගන්නවත් වෙලාවක් නොදී.
“මොකද්ද බං ඒ කතන්දරේ”
පිටවෙනකොට තව කමක් නෑ, ඇයි මේ ඇතුලට යනකොට.
“සර් අපිට නියෝගයක් ඇවිල්ල තියෙනව චෙක් කරල ඇතුලට ගන්න කියල. මේ දවස්වල ජවිපෙන් ඇතුලට බෝම්බ එවාවි කියන භයට”
“යකෝ එතකොට තොපි මේක ඇතුලට එන ගෑනුන්ගෙත් අතගානවද”
“නෑ සර් ඒක කරන්න අපිට තවම ගෑනු සිකියුරිටි නෑ නේ”
පහුවදා මම ලෑස්ති පිටම කල්මරල ආවෙ හරියටම සෙකට්‍රි කෙනෙක්ගෙ ඉස්සරහින්ම ඇතුල් වෙන්න බලාගෙන. ගේම දෙන්න ඕන ගෑනියෙක් ඉස්සරහම.
සික්කා ලෑස්තිය මාව චෙක් කරන්න.
“හෝව් හෝව්.. මගේ ඇඟ අල්ලන්න දෙන්නෙ ගෑනුන්ට විතරයි. ඔන්න බලාගනිං”
කලිසම පහත් කෙරුවෙ ඌට හිතාගන්නවත් බැරි විදියට. එදාට පස්සෙ මාව චෙක් කරන එක නැවැත්තුවත් මටම සිද්ධ උනා වෙනම චූටි කාමරයක් හදල දෙන්න එදාම සේවකයො චෙක් කරන්න. ඔක්කොම වැඩ පැත්තකට දාල එදාම ඒ වැඩේ කරල දුන්නෙ සයියව තව ගෝලයෙකුත් එක්ක වැඩේට යොදවලා.
“සර්… ගාල්ලෙ නිසයි මම අහන්නෙ. අනේ සර් මගෙ කොල්ලව බැරි වෙයිද ඉස්කෝලෙ දාගන්න උදව් කරන්න”
සෝමෙ එන පොට එච්චර හොඳ නෑ කියල සැක හිතුනත් පොඩි එකෙක්ගෙ ප්‍රස්නයක් නේද කියල මම කටට බ්‍රේක් ගහගත්තත් මගේ කටේ පුරුද්ද එලියට පැන්න.
“උප්පැන්නෙට අත්සන් කරන්න ඕන නැත්නම් මොනව හරි කරන්න බලමු”
“සර් ගිය ඉස්කෝලෙටම දාගන්න පුලුවන්නම්”
“බලමු ප්‍රින්කිපල් හොඳට අඳුරනව. මම අහල බලන්නම්”
“වැඩක් නෑ සර් වෙන ඉස්කෝල වලට දාල. මට ඕන සර් ගිය පන්තියටම දාගන්න”
දාහක් වැඩ අස්සෙ මේ පරය මොනව කියවනවද. ඔය වෙලාවට තමයි ප්‍රබුද්ධ භාෂාව එලියට පනින්නෙ.
“සර්ගෙ භාෂාව කොල්ලට උගන්න ගන්න ඇත්නම් මසුරන් වටිනව….”
“තොගෙ අම්මට…….”
ඉතුරු ටික අහගත්තෙ වටේට හිටපු කොන්ත්‍රාත් කාරයො ටික.
අවුරුද්දකට සැරයක්වත් එංගලන්තෙ සුද්දෙක් දෙන්නෙක් එනව අපේ රීරි මාංසෙ උරාගෙන යන්න. මාසෙකට විතර කලින් වැඩපල අන්දන්න පටන්ගන්නෙ මුළු ලංකාවෙම සිගරට් බොන මීහරක්ගෙ පෙනහලු දායකත්වයෙන්. මිලියන ගානක් වියදම් කරන්නෙ මනමාලියෙකුට අන්දනව වගේ හැඩකරන්න. මුදල් කොම්පැනියෙ උනාට පස්ස පැත්තෙ ගහගෙන දුවන නැට්ට මගේ.
වෙනදට කවුරුත් තුනේ කොලේට දාල තියෙන මගේ අංශය සුද්ද එනකොට මාර ඩිමාන්ඩ්. වැඩ කෝටියයි. මොකා ආවත් තීන්ත බාල්දියයි බුරුසුවයි අතට දෙනව ගාපිය කියල. වැඩේ කෙරෙන්නෙ කුනුහරුපවල රස්නෙට. කවුරු හිටියත් අම්ම ගෙන්නලම තමයි වැඩේ භාරදෙන්නෙ.
ඒ මාසෙම ගෙවෙන්නෙ සිංහල භාෂාවට අලුත්ම වචන කෝටියක් විතර එකතු කරලමයි. කොහොම උනත් සුද්ද එනකොට මුළු වැඩපලම බැබලෙන්නෙ කොලඹ හතේ පට්ට කෑල්ලක් වගේ.
“කමල් ගෝලයන්ට කියන කුනුහරුප අහගෙන ඉන්න බෑ. ඒත් එහෙම නැතුවත් බෑ”
ලොක්කෙක්ගෙ ප්‍රශංසාත්මක වචන මගේ කනට ආවෙ වෙනත් කීපදෙනෙක්ගෙ කන් අස්සට රිංගුවාට පස්සෙයි.
ඒ වකවානුවෙ අපේ යාලුවො වෙලා හිටිය අය අතරින් තට්ටය, බැටරි පූස, කොන්ඩය, පින්ට, පිට්ට වගේ අය අමතක නොවන චරිත.
උපාලි, ධර්මෙ, රණසිංහ, අනුර, වගේ අයත් තේ වෙලාවෙ ගජේට සෙට් උනේ ප්‍රබුද්ධ හරුප තරඟෙට දෙසාබාන්න බලාගෙන.
සරත් සහ රංජිත් එක්ක සරත්ගෙ ගෙදර උගේම බෝතලේට සෙට් වෙන දවස් වල බෝතලේට අමතරව අපිට අපූරු නිර්මානාත්මක මඩ ප්‍රහාර වලින් සංග්‍රහ කරන්නත් සරත් අමතක කලේ නෑ. ඒක උගේ අපූරු හැකියාව.
“මචං රුපියල් දාහක් දීපන් තියෙනවනම් ශුවර් එකට හවසට දෙන්නම්”
හදිස්සියක් වෙන්න ඇති, නැත්නම් සරත් සාමාන්‍යයෙන් නය ඉල්ලන එකෙක් නෙමෙයි. පින්ටත් බොග් බොග් ගාන්න ගත්තෙ ඌට හදිස්සියට දිව පැටලෙන නිසා. ඔය වකවානුවෙදි මම නාවල ඇනෙක්ස් එකක් අරගෙන හිටියෙ.
හවස මුන් දෙන්න එනව බෝතලේකුයි බයිට් ටිකකුයි අරගෙන මගේ නවාතැනට. බෝතලේම ගහල බයිට් ටිකත් කාල මේසෙ උඩින් පොඩි සල්ලි ටිකකුත් තියල යන්න ගියා.
“මචං අර දාහෙ ඉතුරු සල්ලි මේසෙ උඩ හරිද”
මගේ මතකෙ නිවැරදිනම් එදා මගේ උපන් දිනේ. මුන්ට මගේ භාෂාවෙන් සංග්‍රක කරල වැඩක් නැති නිසා පාඩුව දරාගෙන හෙට උදේට වදින කාඩ් සංග්‍රහය සංවරව ඉවසා වදාරන අදිශ්ඨානයෙන් අපේම නයි අපිවම කයි කියල නිදාගත්ත.
පරිපාලනයේ අලුත්ම තීරණය ප්‍රකාශයට පත් කලේ මාවත් ගෙන්නලා.
“කමල්….අපිට අදාල නෑ කොහොමද කරන්නෙ කියල ….. මුළු ෆැක්ටරියම ටයිල් කරන්න ඕන. දැන් තියෙන පොලොව ක්ලීන් මදි. හැබැයි එක සැරේකට එක මැෂින් එකයි වැඩ නවත්තන්න පුලුවන්”
නීති කෝටියයි. දේසනාව දිගටම යනව. එක මැෂිමක් නවත්තන හැම විනාඩියකටම අච්චර පාඩුයි මෙච්චර පාඩුයි. අපි නොදන්න ඉංගිරිසි. ලොක්ක හැම අතටම කඩුව වනනව. අපි අහගෙන ඉන්නව. මේක කෙරෙන්නෙ නැත්තෙ කරන්න බැරි නිසා නෙමෙයි. කරන්න බැරි විශේෂ හේතුවක් තියෙන නිසා.
“Kamal, why are you silent? We need your input”
“What tiles are you suggesting?”
“Normal ceramic. Bring us some samples and I will approve”
ඔය වෙලාවට මගේ කටට එන භාෂාව අමාරුවෙන් යටපත් කරගන්න ලොක්කගෙ කන්තෝරු කාමරේ ඉන්න ලස්සන සෙකට්‍රිගෙ ලතාවකට පැද්දෙන උකුලත්, බොහෝදුරට ලොක්කම තෑගි දුන්න නහය විදගෙන ගිහිල්ල පපු කැනැත්ත රාගයෙන් පුරවන සුවඳ විලවුන් බෝතලෙත් මට උපකාර උනා.
“Have you all considered the fact that there are legal restrictions on the permissible hardness of an industrial floor”
අප්පට සිරි ගූ බාල්දියක් ෆෑන් එකේ වැදිලා මුලු කාමරේම විසිරිලා ගියා වගේ. ගන්දස්සාරෙ බෑ. ඕකනේ කියන්නෙ මේ යකා එක්ක බෑ කියල හිතන ලොක්කගෙ ඔලුව පසාරු කරගෙන මගේ ශේප් න්‍යාය එලියට පැන්න.
“Apart from that, I have no problem in achieving this target, needless to mention that it is a Herculean task”
ලොක්ක දන්නව ගේමට බැස්සොත් ෆැක්ටරියෙ ඇට්ට කුනා වෙච්ච ගොබිලොන්ට තේරෙන භාෂාව හසුරුවන්න දන්න මේ යකා, ගේම ගහලම තමයි පස්ස බලන්නෙ කියල. කොහොම උනත් වැඩේ තිතට ඉවර උනේ මුළු ෆැක්ටරියම ටයිල් කරල උනත්, ඒ ප්‍රීති ප්‍රමෝදයට වැඩි ආයුෂක් වලඳන්න බැරි උනා. එංගලන්තෙ සුද්දො මේක ආරක්ෂාවට තර්ජනයක් කියල කවුද මේ තීරනේ ගත්තෙ කියල අහපු ප්‍රශ්නෙ නැවතුනේ මගේ මේසෙ උඩ.
අවුරුදු හතරක් මගේ සමාජවාදෙ මට සිතැඟි අනුව හසුරුවපු මට, ඒ ඉඩ ප්‍රස්ථාව ටිකෙන් ටික අඩුවේගෙන යනකොට, මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය සරත් හා ජයේගේ බලවත් විරෝධය මැද භාර දුන්නෙ මගේ මතකයේ හැටියට මේ ව්දියට අවසන් කරමින්.
“Last but not the least, the tiling of the factory floor completed with immense difficulties at an enormous expense, had ultimately become a child born out of wedlock. I wish to claim the responsibility of this unwanted but beautiful child myself”
පසුව ලියමි: ජීවිතේට කොම්පියුටරයක් අල්ලන්නෙ නෑ කියල හිතාගෙන හිටපු මට බලෙන්ම වගේ කොම්පියුටරේ දෙවෙනි බිරිඳ කරලා දීල පසුකාලෙක පිටරට සුද්දන්ටත් වැඩ පෙන්නන්න මග පාදල දුන්න රංජියා කෘත ගුණ පූර්වකව මතක් කරමි.
“මොකද්ද අනේ කියන කිසිම දෙයක් ඔයාට ඇහෙන්නෙ නෑ නේ”
ඒ දෛනික නෝක්කාඩුව අපේ නෝනගෙන්.
Post a Comment