අවසන් වේදනාත්මක රාත්‍රියයි...

 

අවසන් වේදනාත්මක රාත්‍රියයි මේ...

මා මේ ගතකරන්නේ ගාල්ලේ පුද්ගලික රෝහලක අවසන් වේදනාත්මක හෝරා කීපය බැව් සිතේ... සියළු වේදනා පහව ගොස් ඇතත් මගේ ශරීරයට ඇතුලත් කර ඇති කැතීටරය තවමත් මගේ මූත්‍රා ප්‍රවාහනය කරමින් අපමණ සුවයක් ලබාදෙමින් සිටී. හෝරා කිහිපයකින් මා එයටද සමු දිය යුතුවේ.

"මොකද්ද අනේ උදේ පාන්දර සරම උස්සගෙන වත්ත වටේ ඇවිදින්නෙ ... ලැජ්ජ නැද්ද?"

බිරිඳගේ සුපුරුදු නෝක්කාඩුව එල්ලවන්නේ කතරගම අප පවුලේ පුද්ගලික නිවාඩු නිකේතනයේ මගේ පළමු දින චරියාව වන කස්ටඩ් ඇපල්, කැසපට ගසාගත් සරමට එකතු කරගන්නා අතරතුරය.

දැඬි විනය පාලනයක් තුල සිය බිරිඳගේ අකල් වියෝවෙන් පසු සිය දරුවන් හදා වඩා ගත් ගුරු පියෙකුවූ මගේ මාමණ්ඩියගේ නිවසෙහි හාස්‍යය ආගන්තුකයෙකු වී තිබුනද, හාස්‍යය පිරී ඉතිරී තිබූ අපේ නිවසට හා එහි තිබූ පරිසරයට අනුගත වීමට මගේ බිරිඳට වැඩි කාලයක් ගහ නොවීය. (අපූරු චරිතයක් තුල වසර 107 ක් ආයු වළඳා අප හැර ගිය මාගේ මාමණ්ඩිය ගැන මාගේ withkase blog පිටුවේ ලියා ඇතත් ලිවීමටද බොහෝ දේ ඇතැයි මට සිතේ)

වසර පණහකට අධික කාලයක් පිස්සෙකු සමග දීග කෑ මාගේ බිරිඳට අවුරුදු හැත්තෑ දෙකක ඉතිහාසයක් ඇති පුරාවස්තුවක් බඳු යමක් පැණි බේරෙන කස්ටර්ඩ් ඇපල් ගෙඩි අතරින් දර්ශනය වීම මෙම නෝක්කාඩුවට හේතු වූවා විය හැක.

මෙම සිද්ධිය බඳු හාස්‍ය ජනක සිදුවීම් අප නිවසේ සුලභ වූවත්, සති දෙකකට පමණ ඉහත දිනයක සිදුවූ මෙම සිද්ධිය ඩොමිනෝ ආචරණයක්වී මා රෝහල් ගතකර සුපුරුදු ප්‍රස්ථා පිරුලක් වන "විහිලු ඇස් රතු කරයි" යන්න "විහිලු පුරා වස්තූන් රත් කරයි" යනුවෙන් වෙනස් කිරීමට සමත්වේයැයි අපි දෙදෙනාම කිසිවිටකත් නොසිතූවෙමු.

මද වේලාවකින් පෙර කී පුරා වස්තුව කූඹියෙකු කනවා මෙන් මට දැනුනෙන් ඒ ගැන වැඩි අවධානමක් නොකලේ "මේ කැළේ කූඹි නැතෑ ඕසෙට" යන්න සිතට ගනිමිනි. එදින සවස් භාගය වන විට ඉතා කුඩා බිබුලක් හටගෙන ඇති බවට මා හට හැඟී ගියද පියවි ඇසින් නිරීක්ෂණය කිරීම අසීරු කරුණක් වූයේ, පිරිමින් වන අප අපේම වාසියට නම් කර ඇති සෙක්ස් ඇපීල් නොහොත් මාගේ ප්‍රෞඩ ලිංගික ආකර්ෂණය මගේම දෘෂ්ඨිය අවහිර කර තිබූ නිසාවෙනි.

දින දෙකකට පමණ පසු මාගේ අදාල පුරා වස්තුවෙන් තරු වීසි වූයේ සත්‍ය වශයෙන්ම එම බිබුල කිනිතුල්ලෙක් බවටත්, දින දෙකක් පුරාවට මාගේ පුරා වස්තු සාරය උරා බොමින් සිට ඇති බවටත් ප්‍රත්‍යක්ෂ වූ විටය. එයින් සමේ හටගත් රුපියලක තරම්වූ ගෙඩිය සමනය කර ගත හැකිවූයේ එංගලන්තයේ දොස්තර බෑණාගේත් දොස්තර දුවගේත් මඩ ප්‍රහාර මැද නිර්දේෂ කර තිබූ ප්‍රතිජීවක දින පහක් පුරා අකමැත්තෙන් වූවද කලට වේලාවට පරිභෝජනය කර ගැනීමෙන් අනතුරුවය.

මගේ කථාව මෙතනින් අවසන් කිරීමට තරම් වාසනාවක් නොමැතිවීම මගේ ම අභාග්‍යයක් බැවි පසක් වූයේ, දින දෙකකට පමණ පසු කතරගම යක්කු කෙසේ වෙතත් මොණරු ගස් නගින යාමයේ පුරා වස්තුවෙන් ඇතුල්වූ යක්ෂයා මුළු සිරුරම වෙලාගෙන දියෙන් ගොඩගත් ඉස්සෙකු මෙන් මා ගැහෙන්නට වූ විටය.

බිරිඳගේ ඉල්ලීම මත හිරු උදාවත් සමගම කතරගමට ලඟාවූ මාගේ පුත්‍රයා එසැනින් විදුලි වේගයෙන් කරාපිටියට මෝටර් රථය පදවා රජයේ රෝහළට මා ඇතුලත් කලත්, ඒ වනවිටත් මාගේ මූත්‍රාශයට අරක් ගෙන සිටි මූත්‍රා ආසාදන යක්ෂයා රුධිර පද්ධතියටද අරක් ගෙන සිටියේය. ETU අංශයේ කාරුණික මූලික ප්‍රතිකාර වලින් පසු අපගේ ඉල්ලීම මත රුහුණු පුද්ගලික රෝහලට මා ඇතුලත් වූයේ තව දුරටත් ප්‍රතිකාර සඳහාය.

සෞඛ්‍ය නීති රීතී න්ට අනුකූළව නම සඳහන් කළ නොහැකි ඉතාමත් කාරුණික විශේෂඥ දොස්තර මහතෙකුගේ නිසි ප්‍රතිකාර මත, අගෝස්තු 26 වන අද දිනට වේදනාත්මක දින පහක් පසු කරමින් සිටිනා මා, තවමත් සිටින්නේ කැතීටරයෙන් මූත්‍රා පහ කරමිනි.

මින් ඉදිරියට මාගේ පුරා වස්තුවට නිසි ආරක්ෂාව හා සැලකීම ලබාදීමේ පරම අදිටනින් අද දින මම නික්ම යමි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget