RATIONALE ....


“ උඹේ ලග්නෙ මොකද්ද ?”

“ කටක “

“ ඔව් ඉතිං .... උඹේ කට බෝක්කුවක්ම නේ. කටක ලග්නෙ එවුන් ඉතිං  වාචාල හු….පුතාලමනේ” 

“ මට පේන්නෙ දෙන්නම කටක වගේ..... යකෝ අරූට වාචාලය කියන්නෙ උඹත් වාචාලයමනේ”

“ හරි හරි උඹේ ලග්නෙ කියහං”

“ මම සිංහ “

“ ඒක නං හරියටම හරි...... උඹ ඉතින් ජාතික කොඩියේ සිංහනේ..... ජීවිතේට වනන්නෙ නැති කඩුවක්නේ උඹ”

“ එතකොට උඹේ ලග්නෙ”

“ කන්‍යා”

“ ඇත්තම කියාපං උඹේ ගෑනි වෘශභ නේ....  ඒකනේ උඹ ගෑනිට භය..... කවදාවත් උඹ අපිත් එක්ක සෙට්වෙලා නැහැනේ”

“ උඹ අනුංගෙ ලග්න බලන්නෙ උඹේ ලග්නෙ කියල හිටිං ඉස්සෙල්ල “ වැඩි කතාබහක් නැති තරමක නිවිච්ච ගති තියෙන අවංක යාලුවෙක්..., රංජිත් පැත්තකින් ඉදලා හොට දැම්ම.

“ මූ ලග්නෙකිං උපදිච්ච එකෙක්ද බං.... මුගේ ලග්නෙ කුප්ප” මම කට අරින්නත් කලිං කවදත් කොතනදිත් හොම්බ කුඩුවෙන්න වාක්‍ය දාන අපේ රැහේ මොලකාරය, සරත් කියාපි.

සභාවේ කෝචොක් සිනා මැද එදත් මම සහ අපි සිනාමුසු මුහුනින් ලංකා දුම්කොල සමාගමේ විවේකාගාරයෙන් පිටවුනේ දවසේ ඉතිරි වැඩ කටයුතු නිමකිරීමේ අදහසින්.
මඩ ගැසීම් කලාවේ පබ්ලො පිකාසෝ සරත්..., ලියනාඩො ඩා වින්චි රංජිත්.. , මම ඉතිං නිකංම නිකං මයිකල් ආන්ජිලෝ.

කොහොම උනත් අපි තුන්දෙනා මඩ ප්‍රවීණයො.

“තමුසෙල අද මොකද කරන්නෙ.... හවසට සෙට් වෙමුද අපේ ගෙදර “ මහරගම ඉන්න සරත් ඇහුවෙ, ඒ වැඩේට සුදුසුම තැන එයාගෙ ගෙදර නිසාමත් නෙමෙයි...... කොහොමටත්, අපි මාසෙකට සැරයක් වගේ, මාස දෙක තුනකින් විස්කි බෝතලයක් තුන්දෙනා එක්කම කාබාසීනියා කරන්නෙ සරත්ගෙ ගෙදර නිසා..... ඒ තරමටම බේබද්දො අපි... පහුවදාට අපි හැසිරෙන්නෙ තුන්දෙනා එක්ක බෝතල් තුනක්ම හිස් කලා වගේ.

සරත් මහරගම නිවන්තිඩියෙ, රංජිත් මහරගම, මම සතියේ දිනවල තනිකඩ ජීවිතයක් ගතකලේ.... නාවල නිසා සාමාන්‍යයෙන් මම මහරගමින් රන්ජිත් අරගෙන සරත්ගෙ ගෙදරට යන එක තමයි පුරුද්ද වෙලා තිබුනෙ.

මම සාර්ථක කසාදයක් සහිත තනිකඩයා නිසා, රංජිත්ගෙ එකගත්වය විතරයි සුන්දර සන්ධ්‍යා වකට අවශ්‍ය.... එදා රංජිත් ටිකක් අදිමදි කලේ ඇයි කියල, රෑ තරමක මත් ගතියකින් ගෙදර යනගමන් තමයි මට තේරුනේ.

“ හරි එහෙනම් ඔයා එනවද මාව ගන්න නැත්නම් මම සරත්ගෙ ගෙදර කෙලින්ම යන්නද?” රංජිත් මගෙන් ඇහුවෙ පුරුද්දට වගේ... උඹ මාවත් අරගනිං කියල කියන්න බැරි නිසා.

“තේරුමක් නෑ නේ බං වාහන දෙකක පැට්ට්‍රෝල් පුච්චන්න. මම එන්නං හරියටම හයහමාරට”

හරියටම හවස හයහමාරට මගේ ඩබල් කැබ් එක රංජිත්ගෙ ගෙදර ඉස්සරහ නැවත්තුව..... වෙනද ඉස්සරහට එන, ඉතාම මිත්‍රශීලී කුමාරි, අද පේන්නවත් නෑ.... රංජිය එලියට ගත්තෙත් ගැරඩ්ය හුඹහෙං එලියට ගන්න ගානට.... ඒකව වාහනේට නග්ග ගත්තෙත් අපේ සීය බුලත් පයියට දුම්කොලේ ඔබනව වගේ.

කාතාවක් බහක්නෑ... මංඩලේ කචල් එකක් වගේ.... රංජිය ගොලුවෙලා ලොකු ප්‍රස්නෙක.... මම දන්නව අහන පරක්කුවට මේ යකා කියවන්න ගන්නෙ මුගේ අහිංසක කමටමත් වඩා අපි අතර තියෙන හිතවත් කමට සහ විශ්වාසවත්ත කමට කියල.... ඒත් මමත් කෝකටත් සද්ද නැතුව සරත්ගෙ ගෙදරටම යනකල් ගියේ, මම දන්නව ප්‍රස්නෙ මොනව උනත් විස්කි ශොට් එක වැඩේ බාගෙට ගොඩ දාල දෙන විත්තිය. 

වල් පල්, මඩ තාච්චි, අහිංසක ඕපාදූප මැද සරත්ගෙ බෝතලේ බක බක ගාල හිනාවෙනව, මේ වගේ සිංහලයොත් ඉන්නවද කියනව වගේ.... මම මහා විස්කි රාජයාට “ යකෝ එංගලන්තෙ ඉපදිලා ඊයෙ පෙරෙයිද ලංකාවට ආපු තෝ කොහෙද දන්නෙ ගිලී මලෙත් දත සුද්දො ඉන්නව කියල “ හිතෙන් බැනවැදුනෙ නියම සිංහලයෙක් වගේ.

දැං ඉතිං හෙට උදේට වැඩට ගියාම කියවන්නෙ බෝතල් තුනක්ම හිස් කෙරුව වගේ.... ඒ තරමටම වෙරි නිසා නම් නෙමෙයි... තුන්දෙනාගෙම වාචාල කටවල් වලින් පිටවෙච්ච දේවල් පහුවදාට සුන්දර මඩපාරවල් වෙලා එලියට එන නිසා.

තරමක බමන මතින් ගොඩක් රෑ වෙන්නත් කලිං අපි දෙන්න වාහනේට නැගල වැඩිදුරක් යන්න කලියෙන් මම වැඩේට බැස්සේ කලීල් ජිබ්‍රාන් වගේ දාර්ශනිකයෙක්ගෙ ගට නොහොත් ආත්ම විශ්වාසය අරගෙන.

“ මොකෝ මචං ... යනකොට උඹ මූඩ් ගහල හිටියෙ”

“ ගෙදර පොඩි ප්‍රස්නයක් බං “ කියල කාරනාව වමාරන්න වැඩි වෙලාවක් ගත්තෙ නෑ.... බොහොම සුලු කාරනාවකට තාපසයෙක් වගේ ගෙදර ඉන්න මේකා කුමාරිට හොදටම බැනල.... කුමාරි අඩලා.... දැං නෝ කතා නෝ සිනා... මේකා පුදුම හිතේ අමාරුවකින් ඉන්නෙ... ඌටම තේරිලා වැඩේ හරි නෑ කියල... දැං ඉතිං වැල ගිලපු රිලව වගේ.

කලීල් ජිබ්‍රාන් උනත් දේසනාව පටන්ගත්තෙ යකෝ කියාගෙන ලෝකෙ තියෙන සුන්දරම හිංගල බාසාවෙන්... මෙතනට සිංහල හරියන්නෙ නෑ.

“ යකෝ පූස් පැටියෙක්  උනත් ආදරෙන් හදලා එක පාරක් පයින් ගහල බලපං.... ඌ ඊට පස්සෙ උඹ කොච්චර පූස් පූස් ගෑවත් එකපාරටම ලගට එන්නෙ නෑ.... හැමදාම ගුටිකන පූසා කොච්චර ගැහුවත් දැවටෙනව.... උඹ කවදද අන්තිමට ගෙදරින් එලියට බහිනකොට කුමාරිගෙ මූන ඉම්බෙ.”

“ පිස්සු කියවන්න එපා බං “

“ උඹ කවදද අන්තිමට කුමාරි මම ඔයාට ආදරෙයි කියල කිව්වෙ “

“ ඒව ලව් කරනකොට කිව්වට දැං මේ කරදඩු මහත් වෙච්ච ලමයි ඉන්න අපි…..”

“ ඕකනේ බං කියන්නෙ අද ගෙදර ගිය ගමන් කවුරු හිටියත් නැතත් කුමාරිට බදල කිස් එකක් දීපං.... මීට පස්සෙ ගෙදරින් එලියට බහින හෙමවෙලේම....  ගෙදරට ගොඩවෙන හැමවෙලේම.... කිස් එකක් දීපං...  දවසට සැරයක්වත් ආදරෙයි කියපං..... උඹ සදා ගොඩ.... නැත්නම් පුතෝ ... උඹ සදා සොත්ති"

මේ ටික කියනකොට රංජියගෙ මූනෙ ඉරියව් වෙනස් උනේ .... මම කියාපු දේවල් පිලිඅරගෙනද නැද්ද කියන එක ගැන...  ඒ වෙලාවෙනම් මට කිසිම තේරුමක් තිබුනෙ නෑ.

පහුවදා උදේ අපි දෙන්නම එකම වෙලාවට වගේ වැඩට ආවෙ.... දුරතියාම අමුතුම ඇක්ශන් එකක් දාගෙන රංජිත් මගෙ ලගට ආවෙ දකුනු අත මිටමොලවගෙන අහසට වීසිකරගෙන ලසිත් මාලිංග විකට් එකක් ගත්තම වගේ.

මොකෝ  මචං කියල මම අහන්නත් ඉස්සෙල්ල....

“ ඔන්න මචං .. ගෙදර ගියගමං කුමාරිට බදලා කිස් එකක් දීල කාමරේට ඇදගෙන ගියා…..

( මෙම සත්‍ය සිදුවීමේ අවසානය තෙක්බ, ටහිර සුප්‍රසිද්ධ ලේඛක, හැරල්ඩ් රොබින්ස් අනුගමනය කරමින්, ලියන ලද වචන 500 කට අධික, පාඨකයාගේ සිත් ශෘංගාරාත්මක අවසානයකට ගෙන යෑමට නියමිතව තිබූ කොටස් බලධරයා විසින් කපා හරින ලදි.)

"අද උදෙත් ගෙදරින් එලියට බැස්සෙ කුමාරිට කිස් එකක් දීල ආදරෙයි ගොඩාක් කියල"

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget