සංඝයා

සංඝයා

සංඝයා මට අරහංය. සන්නස්ගලගේ භික්ෂු  පරිච්ඡේදය කියවූ දා සිට මම තුන් සරණයේ අවසාන පදය “සන්නං සරණං ගච්චාමි” කීමට පුරුදු වූයෙමි. එයට කලින් මට එම පදය කියවුනේම නැත.

මගේ ජීවිතයට බලපෑ අපූරු සංඝයෙක් මගේ මතකයේ මියයනතුරු රැදෙන්නේ ඔහුගේ බොහෝ අය බැහැර කල මා දුටු අපූර්ව චරිතය තුලින් ය. එහෙයින් මා නැවතත් සිවුරක් නොදැරූ එම සංඝයා සරණං ගච්චාමි කීමට නම් මැලි නොවෙමි. ඔහුගේම මෑණියන්ගේ මුවින් කියැවුනු පරිදි ඔහුට සංඝදාස නම දැම්මේ උපදින විට ඔහුගේ හතර කේන්දරය පාලුවී තිබුන බැවිනි. බුද්ධ ශාසනයේ කේන්දරය එවකට යහපත්ව තිබූ බැවින්දෝ ඔහු මහණවී නැත. එහෙත් ඔහුගෙන් ගිලිහුනු එම මහණදම හා විනාශය පසුකාලීනව දහසක් චීවරය දරාගත් මිනිසුන්ගෙන් නොඅඩුව ලබන්නට තරම් සිංහ-ලේ ඇත්තෝ අවාසනාවන්තවිය.

ඔහු සිවුරක් දැරූ සංඝයෙකු නොවූනත් නමින් සංඝයා හැටියට එවකට බටහන්විල ග්‍රාමයෙහි ප්‍රචලිතවී සිටි මගේම මව් පාර්ශවයේ මාමාය. මගේ පියා සමග නිරන්තර නිහඩ ගැටුම්කාරී තත්වයක පැටලී සිටියද අම්මාගේ රහසිගත සහෝදර ප්‍රේමය ඔහු සැමවිට භුක්ති වින්දේය. තුරුණුවියේ සිටම ඔහු දඩබ්බර ගති පෙන්නුම් කලද අන් දඩබ්බරයන් සතුව නොතිබූ කෛරාටික බුද්ධ්යක් ඔහු සතුව තිබීම විශේෂයක් විය.

නිපුන ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා මහින්දීයකු වී පාසැල මගහැර සිටි ඔහු රැකියාවකට යොමුකර ඇත්තේ මගේ පියා විසිනි. එවකට සුප්‍රකට වෙළෙඳ  ආයතනයක්ව තිබූ මහනුවර විජේතුංග සමාගමේ කලමනාකාර ධූරය දරමින් සිටි මගේ පියා සංඝයා සේවයට බදවාගෙන ඇත්තේ අම්මාගේ තොරතෝංචියක් නැති කන්කෙඳිරිය ඉවසාගත නොහැකි නිසා බැව් පසුකලෙක මාගේ පියා අප සැම ඉදිරියේ පැවසුවා මට මතකය.

එවකට කඩවසම් අහිංසක පෙනුමකින් යුතු තරුණයෙකුව සිටි සංඝයා ඉතා පියකරු තරුනියකව සිටි ගමේම පදිංචි, පසුකලෙක මගේ නැන්දාවූ ලදකට පෙම්බැන්දේය. ඇය එවකට හෙද විදුහලේ පුහුණුව ලබමින් සිටි කාලය තුල මගේ අතින් අල්ලාගෙන හෙද විදුහලට ඇය බැලීමට යනවා අද මෙන් මා හට මතකය. සංඝයා නිතර මා කැටුව පෙම්වතිය බැලීමට ගියේද කුමක් හෝ සොදුරු උප්පරවැට්ටියක් නිසාදෝයි මට පසු කලෙක කුකුසක්ද ඇතිවී තිබුනි. කෙසේ නමුත් එවකට වයස පහක් පමණව සිටි මා හට එය ප්‍රියමනාප ගමනක් වූයේ නොවරදවාම ලැබෙන චොක්ලට් නිසාවෙන් විය හැක. එසේ යන සැමවිටම ඇයගේ මිතුරියන් හුරතල් කරමින් මා රැගෙන එලියට යන්නේ ඔවුනට පෙම් බස් දෙඩවීමේ අවස්ථාව ලබාදීමට විය හැකි වුවද සංඝයාගේ තරම පසුකලෙක දැනගත් පසු එය ඊට එහා ගිය පෙර සැලසුමක්දැයි මට හැගී ගිය වාර අනන්තය. ඔයා පොඩිඑකාට මොනවාහරි අරගෙන දුන්නොත් හොද නේදැයි යෝජනාකර, මේ වෙලාවෙ ඔයාට එලියට යන්නත් බැරි නිසා මමම අරගෙන දෙන්නම් කියා මුදල් ඉල්ලගත්තා විය හැක.

සංඝයාගේ ජීවිතය මෙසේ දිගහැරෙමින් තිබියදී දෛවෝපගත සිදුවීමක් නිසාදෝ ඔහුගේ දිවියට අලුත් ඉරක් පායන්නට ගත්තේ එවකට තිබූ එකම ජිම්කානා ලොතරැයියේ දෙවන ත්‍යගය ඔහුට හිමිවීමත් සමගය. නිවසක් හා මෝටර් රථයක් මිලදී ගත් ඔහු ඒ වනවිට පෙම්වතිය වී සිටි හෙදිය විවාහ කරගත්තේය.

සංඝ වික්‍රම 1

දිනක් සංඝයා අම්මා සොයා අපේ ගෙදරට පැමිණියේ මනාව ඔතා ගැට ගසා තිබූ කුඩා ලී කොට දෙකක් බඳුවූ පාර්සල් දෙකක්ද අතැතිවය. තාත්තා  නැති වේලාවක් බලා ඔහු එන්නේ කුමක් හෝ උප්පරවැට්ටියකට බව අම්මාද දැන සිටියත් තම බාල සොහොයුරා පිලිබඳ අනුපමේය ඇල්මක් තිබූ ඇය ඕනෑම කුනුගොඩක් බාර ගන්නීය. එම පාර්සල් තුල ඇත්තේ වතුර ෆිල්‍ටර් දෙකක් බවත් නැවත ගෙනයනතුරු ඇඳ යටට දමා තබන්නැයි කී ඔහු, අපේ ගෙදර එවැන්නක් නොමැති බැව් දැන දැනත්. පෙරන්නෙ නැතිව වතුර බීමේ ආදීනව කියන්නට පටන්ගත්තේය. ගැනුම්කරුවකගේ ඉල්ලුමකට රැගෙන ආ බවත් ආයතනයකින් සොරකම් කරන ලද භාණ්ඩ බැවින් ඉතාම අඩුවට ලැබුනු නිසා දෙකක්ම ගෙනා බවත් අක්කාට ඕනෑ නම් එකක් ගන්නා ලෙසත් පැවසූයේ ඕක මොකද්ද අක්කටනේ කීයක් හරි දෙන්නැයි කියමිනි. අවසානයේ සිදුවූයේ නොවටිනා මුදලක්ද සමග මග වියදම් පවා දීමටය.

අම්මා එම මුදල දුන් සැනින් මාසයක් විතර ඕක එලියට ගන්න එපා, කොහොම උනත් හොර බඩුවක්නේ කියා මුදල්ද රැගෙන යන්නට ගියේය. අම්මා මේ ගැන තාත්තාට කිසිම සඳහනක් නොකලේ හොර බඩු ගත්තාය කියා එක අතකට දොස්‍ ය. අනෙක් අතට සිය පාර්ෂවයේ සොහොයුරෙක් කුමක් හෝ උප්පරවැට්ටියක් කර ඇතැයි කියා අම්මාව පාච්චල් කරන නිසාය. එවන් අවස්ථාවලදී තාත්තා අප හා එක්ව අම්මාගේ පාර්ශ්වය සමච්චලයට භාජනය කිරීම අපටද මහත්වූ විනෝදයක් වී  තිබුනා මතකය.

දින කීපයකට පසු සංඝයා පැමිණ එක පාර්සලයක් රැගෙන ගියේ අනෙක තව ටික දවසක් තියන්න, අක්කලට එපානම් මම ගෙනියන්නම්ද කියාය. දුන්නොත් බඩුත් නෑ සල්ලිත් නැති නිසා ඔන්න ඔහොම තියෙන්න අරින්න කියා අම්මා මග ඇරියද, කෙසේ හෝ අම්මාගෙන් මුදලක් ඉල්ලාගෙන යාම ඔහුගේ සාමාන්‍ය සිරිත වී තිබුනි.

දින කීපයකට පසු තත්තා කුමක් හෝ කරුණකට ඇඳයට බලා මේ මොකද්දැයි අම්මාගෙන් අසමින් එලියට ඇදගත්තේ පාර්සලයේ ආවරණයද ලිහමිනි. එහි තිබුනේ භාජන දෙකකින් සමන්විත එකල එංගලන්තයේ නිශ්පාදිත වතුර ෆිල්ටරයක ඇතුලත භාජනය පමනි. පිටත භාජනය ඔහු විසින් තවෙකෙකුට විකුනා දමන්නට ඇත.

තාත්තාගෙ සරදම් මැද අම්මා මුහුන ඇඹුල් කරගන්නවා මම දුටුවෙමි.

සංඝ වික්‍රම 2

ජීවිතේටම රැකියාවක් නොකල සංඝයා එක්තරා කාල වකවානුවක කොළඹින් කජු ගෙනැවිත් බැද පැකට් කර නගරයේ බාර්වල තබා අලෙවි කරමින් සිටියේය. මොහු එයින් සැහෙන මුදලක් උපයාගත් අතර එම ව්‍යාපාරය ඔහු ඉතා උනන්දුවෙන් කලේ ප්‍රතිලාභ කීපයක් නිසා බැව් මා හට පවසා තිබුනි. ලාභය සැලකිය යුතු ප්‍රතිශතයක්වූ අතර එයින් ඔහුට ඉබේම බාර් ගානේ යාමට නැන්දාගෙන් අවසර ලැබී තිබුනි. මෙයට අමතරව විශේෂිතවූ ප්‍රතිලාභයක්දවූ බැව් මා දැනගත්තේ සමහර අවස්ථාවන්හි කජු පැකට් කිරීමේ කර්තව්‍යයට මාද සහභාගීවූ විටය.

ඔහු කුඩා තරාදියකට පරෙස්සමින් තෝරාගත් ආරක්ශාකාරී ස්ථානයක තබා තිබූ ගල් කැටයක් දමා අනෙක් පසට බදින ලද කජු කුඩා පොලිතීන් පැකට්වලට දමා කිරා මැන පසෙක තබන්නේ, පසුව ඉටිපන්දමකට අල්ලා හුලං නොවදිනසේ සීල් කිරීමටය. එදිනට බදින ලද සියලුම කජු ප්‍රමානය කිරා අවසන්වූ පසු සීල් කිරීමට ප්‍රථම සෑම පැකට්ටුවකින්ම එක කජු ඇටය බැගින් ගෙන පසෙක තබා එම ප්‍රමානය නැවතත් පැකට් කර වෙනමම පැත්තකට තබන්නේය.

විමතියෙන් බලා සිටින මාගෙ ප්‍රශ්නාර්ථය දකින ඔහු මා හට පැවසූ දෙය අදටද මා පාඩමක් කරගත්තද එය ක්‍රියාවේ යොදවන්නට අවස්ථාවක් නොලැබුණේ ය.

“ඒ මගේ දවසේ මහන්සිය වෙනුවෙන් හවසට බාර් එකෙන් ගහන ඩ්‍රින්ක් එකට”

එම වකවානුවේදී සංඝයා කජු සංඝේ නමින් ගාලු නගරයේ ප්‍රචලිත විය.

සංඝ වික්‍රම 3.

එවකට සංඝයාගේ වැඩිමහල් දියණිය ගමේ ඥාති පවුලක හැඩකාර පුත්‍රයෙකු හා පෙමින් වෙලී සිටියේය. මෙම සම්බන්ධතාවය සංඝයා ගානකට නොගත්තේ දියණියන් තිදෙනාගෙන් එකෙකු හෝ කාගේ හෝ නැතත් ගමේ පිලිගත් පෙලපතකට දීග දෙන එක වාසිදායක බැව් හොදාකාරවම දන්නා නිසාය.

මෙම සම්බන්ධතාවයට කොල්ලාගේ පැත්තෙන් විරෝධතාවයක් පැන නගින්නේ සංඝයාගේ නොමනා වැඩ නිසාවෙනි. කොල්ලාගේ අයියා දිගින් දිගටම අකුල් හෙලන්නට පටන්ගත්තේ එක් දිනක් ගමේ චන්ඩියෙකුව කැදවා බීමත් කලේ සංඝයාහට පාඩමක් ඉගැන්වීමේ අදහසිනි. හොදටම බීමත්ව සිටි චන්ඩියා අතට ගෙදර තිබූ මෝල් ගස දුන්නේ සංඝයා හට පාඩමක් ඉගැන්වීමේ අදහසිනි.

බීමතින් මෝල්ගසත් ගෙන සංඝයාගේ ගෙදරට ගිය චන්ඩියා කෑ ගසමින් සංඝයාට බැනවදින්නට විය. වේලාවේ හැටියට ඝනදෙවි නුවන සංඝයාට නිතැතින් පහලවේ. ඒ ඔහුගේ දක්ශතාවයයි. පුදුමයෙන් මෙන් ඉදිරිටම එන සංඝයා දුටු චන්ඩියා තරමක් පසුබැස්සේය. ඔහුට යාප්පුවෙන් කථා කල සංඝයා කවදත් ප්‍රස්න ගොඩින් බේරාගැනීමේ ආනිශංස කියාදී මෝල්ගස ඔහුගේ අතටගත්තේය. මේ වනවිට චන්ඩියාද සංඝයාගේ ඉඩම තුලටම ගොස් සිටියේය. හිටිවනම හෙනගෙඩියක් පාත් වූවාක් මෙන් තම ඔලුවට පහත්වූ මෝල්ගස චන්ඩියාගේ ඔලුකට්ටද පසාරු කරගෙන මොලයටම කිදාබැස්සේ කෙසෙල් කඳක් කපා බිම හෙලූ ලෙසින් ශරීර කූඩුවද සංඝයාගේ ඉඩම තුලම ගාල් කරමිනි.

ගෙදරටම පැමින ගැසූ පහර වලක්වා ආත්මාරක්ෂාව උදෙසා ගත් ආරක්ෂාකාරී ක්‍රියාවක් ලෙසින් සංඝයා පොලීසියට මෝල්ගසද ඉදිරිපත් කලේය. කාගේ මෝල්ගසද යන්න සොයාගැනීමට නීතියට මහලොකු වේලවක් නොගියෙන් සියල්ලෝ සාමදාන කර පොලීසියද නිහඩ වූයේය.

චන්ඩියා සෑහෙන කාලයක් ඔලුකට්ටෙන් විශාල කොටසක් නොමැතිව තොප්පියක් පැලඳ ජීවත්ව සිට අසරණයෙකු ලෙස මියගියේය.

සංඝ වික්‍රම 4

සංඝයා සූදු පිටියේ දක්ෂයකුව සිටියේය. නොවරදවාම දිනන ක්‍රමයක් මා හට කියාදී තිබුනි. එය ඉවසීම මත පදනම් වූ ඉතා සාර්ථක ක්‍රමයක් බැවි අත්හදා බැලීමෙන් මාහට ප්‍රත්‍යක්ෂ වී තිබුනි. එය පාඨක ඔබගේ ප්‍රයෝජනයට මෙසේ සනිටුහන් කරමි.

පලමුව ඔබ අඩුම මුදල ඕනෑම පැත්තකට ඔට්ටු අල්ලන්න. එම මුදල රුපියල් 10 යැයි උපකල්පනය කරමු. ඔබ දිනුවොත් ලැබෙන රුපියල් 10 ලඟ තබාගෙන නැවතත් 10 ක් ඔට්ටු අල්ලන්න. පරදින විට ඊලගට 20 ඔට්ටු අල්ලන්න. පරදින හැම වාරයකම ඔට්ටුව දෙගුන කරන්න. දිනන හැම වාරයකම නැවතත් 10 න් පටන් ගන්න. තණ්හාවක් නොමැතිව මේ ක්‍රමය දිගටම කරගෙන ගියොත් ඔබ නියත ජය ලබනු නිසැකය. මේ ක්‍රමය බූරුවා කූට්ටමට පමනක් සීමා කරන්න.

ඔබ කැසිනෝ පිටියට මෙම ක්‍රමය උපයෝගී කරන්නේ නම් ඔට්ටුවට එකට එකක් පමණක් ගෙවන රතු හෝ කලු කොටු වලට පමණක් සීමා කරන්න. සංඝයා කලක් කිසිම රැකියාවක් නොකලේ සූදුවම පමණක් ප්‍රමාණවත් වූ බැවිනි. රාත්‍රියෙහි සමාජ ශාලවට යන්නේ එලිවනතුරු නොමිලයේ දෙන විස්කි තොලගාමින් සාක්කුව පුරවාගන්නේය.

වැඩි කල් යන්නට මත්තෙන් සමාජශාලාවේ කලමනාකරණය විසින් ඔහුගේ සාමාජිකත්වය අහෝසි කර තිබුනි.

සංඝ වික්‍රම 5

බීමත්ව සිටියත් නැතත් ඔහු වැනෙන්නේත් කතාවිලාශය වෙනස් වන්නේත් අවට පරිසරය මත මිස සිය නහර තුල දුවනා මධ්‍යසාරයේ ප්‍රමාණය මත නොවේ. ඔහු මගේ අම්මාගෙන් සල්ලි ගන්නා ක්‍රම කීපයකි. එකක් කිසිදිනක ආපසු නොදෙනා ඉල්ලංකාසිය. අනික සහෝදර ප්‍රේමය උගසට තබා ගන්නා මුදල්‍ ය. දරුවන් හෝ බිරිඳ උගසට තබා ඉල්ලාගන්නා මුදල් තවත් ක්‍රමයකි. ඔහුගේ ක්‍රම රාශියක් වූවද ඉන් හාස්‍යජනකම ක්‍රමය අක්කා භය ගන්වා මුදල් ගන්නා ක්‍රමයයි. එයටද ක්‍රම කීපයකි. එක්කෝ සිය දිවි හානිකරගන්නවා නැතහොත් ඔලුව හැරුනු අත යනවා කියා අම්මාව රවටා ගනී.

තවත් එක් අපූරු අවස්ථාවක් මගේ මතකයට එයි. බීමත්ව අක්කා බැලීමට පැමිණි ඔහු වල්පල් ඕපාදූප දොඩමින් ඉන්නේ අම්මාට ඔහු එපා වනතුරුය. තාත්තා ගෙදර පැමිණෙන වේලාවද ලංවෙමින් ඇති බව දන්නා ඔහු, ඊට කලින් අම්මා කෙසේ හෝ මුදලක්දී පිටත්කරනා බැව් හොදින් දන්නා නිසා එය බලාපොරොත්තුව තව තවත් මත් ගතිය මවා පෙන්වමින් සිට ඇත. මොනයම් කරුනක් නිසා හෝ අම්මාද මුදලක් දෙන පාටක්වත් නැත. ඔහු සිය මස්සිනාට මුහුණදීමටද අකමැතිය. කියන්නට ඕපාදූපද නැත. ඔහුට ඝනදෙවි නුවන පහලවිය. කොහෙන් හෝ අහුලාගත් තාත්තාගේ පරම්පරාව පිලිබඳ කතාවක් සිහිගන්වමින් සේමගේ කියන්නෙ අක්කෙ සියමගෙ කියන එකනේ. ඉස්සර සියමෙන් ලංකාවට ආ කුමාරයෙක් ලංකාවෙන් ගැහැණියක් සහේට ගත් බවත් ඔවුන්ගෙන් බෝවුනු පරම්පරාව “සියමගේ” ලමයි යනුවෙන් හැඳින්වී පසුකලෙක “සේමගේ” නමින් ප්‍රචලිතවූ බවත් කියන්නට ගත්තේය.

දැන් තාත්තා මේ අතරේ ආවොත් විසුමක් නැතුව අම්මාට සමච්චල් කරන බැව් ඇයට සිහිවී එකවරම ලොකු මුදලක් දී සංඝයා පිටත්කර හැරියාය. එදා පටන් අපි ඉබේම රාජකීයයන් වීමු.

සංඝ වික්‍රම 6

සිංහල අලුත් අවුරුද්ද බටගන්විල හා දංගෙදර වාසීන්ට විනෝදජනක අවස්ථාවක් වන්නේ එම ග්‍රාමයන් අතර පේදිකුඹුර නොහොත් පේද්දේ වසරක් පාසා පවත්වනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා තරඟය නිසාවෙනි. බටගන්විල කණ්ඩායමේ නායකයා සංඝයාය. එදිනට රා සමග මයියොක්කා වරදින්නේද නැත.

දංගෙදර කණ්ඩායම කොතරම් උප්පරවැට්ටි දැම්මත් අවසානයේ ශූරතා පළිහ උස්සන්නේ සංඝයාය. ඒ බොහෝවිට සංඝයාගේ කණ්ඩායම දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විතව තිබූ නිසාය. මෙම වසරෙහි කෙසේ හෝ දංගෙදර කණ්ඩායම ප්‍රබලව ඇති බව කාගේත් අදහස විය. “මෙදා පොටේ දෙනව බැටේ” මානසිකත්වයකින් මුලු දංගෙදර ග්‍රාමයම ක්‍රීඩා පිටියේය. අවුරුදු ගානක් හිමිව තිබූ ශූරතා පළිහ ගිලිහී යාමටද ඉඩදිය නොහැක. කුඩා කොලුගැටයන්ව සිටි අපටද පරාජිතයන් හැටියට කාලයක් ගතවනතුරු දංගෙදර පැත්ත පලාතකවත් යාමට නොහැකි වනු ඇත. අපගේ සියලුම ඥාතීන් හා විශේෂයෙන් නෑනලා ජීවත් වන්නේද දංගෙදර වීම ඉවසා සිටිය නොහැකිය.

දැන් අපගේත් සියලුම බටගන්විල වාසීන්ගේත් එකම බලාපොරොත්තුව සංඝයාය. රා අඩියකුත් ගසා සිටි සංඝයා ඇතුලු බොහෝ ක්‍රීඩකයන් නියත පරාජය අභියසය. පළමුව ක්‍රීඩාපිටියට පන්දුවට පහරදීමට සිදුවූයේද සංඝයාගේ කණ්ඩායමටය. කෙසේ හෝ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් රැස්කර ගත්තද එම ප්‍රමාණය ප්‍රතිවාදීන් හට අභියෝගයක් නොවන බව කාගේත් අදහස වූයේ අති දක්ෂ පිතිකරුවන් කිහිපදෙනකුගේම සහය ඔවුනට හිමිවී තිබූ නිසාවෙනි.

සංඝයා බලාසිටි හිතවතුන් දෙදෙනෙකු ට රහසින් යමක් කියනවාත් එසැනින් ඔවුන් දුවනවාත් මම දුටුවෙමි. මොහොතකින් ඔවුන් බෑගයක් රැගෙන හති දමමින් දුවවිත් ඉතා රහසිගතව දෙනවා ප්‍රතිවාදීන් නොදුටුවද අපි නම් දුටුවෙමු. මද වේලාවකට පසු බටගන්විල ක්‍රීඩකයන් ක්‍රීඩාපිටියට අවතීර්ණ වූයේ පලපුරුදු ක්‍රීඩකයන් හැර අන් සියලුදෙනාම කලිසමට උඩින් සරමක් ඇඳගෙනය.

සියලු වැර යොදා පන්දුවට පහර දුන්නද ලකුණු රැස්කිරීම අපහසු වූයේද, සියලු උඩපන්දු රැකගත්තේද, සරමේ ආධාරයෙන් සියල්ලන්ගේ හූ හඩ හා ප්‍රීති ඝෝෂා හඩ මධ්‍යයේය. අවසානයේ සංඝයා පලිහ ලබාගත්තද අදමෙන් කිසිවෙකු මිනී මරානොගත්තද දෙපිලම එකතුවී රා බොමින් ප්‍රීති වනවා අපි බලා සිටියෙමු.

පසුව ලියමි: සංඝයා අධි රුධිර පීඩනයෙන් පීඩා විඳ පසු කලෙක මිය ගියත් මගේ මතකයෙන් එම චරිතය ගිලිහී නොයන්නේ එක් අතකට මා ඔහුගේ චරිතය හාස්‍යයෙන් යුතුව ආවර්ජනය කරන නිසාත් බොහෝ අවස්ථාවලදී මාගේ බිරිඳ “ඔයානම් සංඝයාම තමයි” යනුවෙන් නෝක්කාඩු කරන නිසාත් විය හැක.


Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget