අසරණිය, මීවදය, දෙවියන් හා කුකුලා.

අසරණිය, මීවදය, දෙවියන් හා කුකුලා.

“සර්, ලිඳේ වතුරනෑ….ලිඳ හිඳිල”

ප්‍රියන්ති දුරකථනයෙන් මටම කථාකරන්නෙ නෝක්කඩුවක් කියන්න විතරමයි. නෝනට හැමදාම උදේට කථා කරනව පැය ගනන්. නෝනගෙත් වැඩේ ප්‍රියන්තිට කේලම් කියන එක.

“තවම... වැස්සෙ නැද්ද බං”

කතරගමට කාලෙකින් වැස්සෙ නැතත් මගේ ඉඩමෙ නල ලිඳේ වතුර හිගවෙන්නෙ එහෙමත් කාලෙකට.

“ටවුමට නං... ඊයෙ ටිකක් වැස්සලු….. මැණික් ගඟෙත් යාන්තමට වතුර තියෙන්නෙ”

“මල් ගස් වලට දාන්නත් නැද්ද? “

“සර්ගෙ …. මල් ගස් වලට දාන්න ගියොත් ….අපිට නාගන්නවත් වතුර නැති වෙනව”

“බාලෙ අයියට කියල වතුර බවුසරයක් ගෙන්න ගනිං….. මල් ගස් ටිකට මැරෙන්න දෙන්න එපා”

එහෙම කියල දුරකථනය නෝනට දුන්නෙ, වැඩිය කථාකරන්න ගියොත් තවත් නෝක්කාඩුවක් අහන්න වෙන නිසයි.

මම ලියමින් සිටි ලිපියට අවධානය යොමු කරන්න උත්සාහ කලත්, මගේ සිතිවිලි අවුරුදු පහකින් විතර පස්සට ගියා.

“සර්… ඔන්න ඔය දෙන්න රස්සාවක් හොයාගෙන ඇවිත් ඉන්නෙ… කථාකරල බලන්න”

බැංකුවට යන්න හිතාගෙන ගාල්ල පොලීසිය අසල වාහනේ නවත්තන කොටම ඒ අසල කෑම කරත්තයක් පවත්වාගෙන යන මාගරට් කියනකොට, මම උනන්දුවෙන් බැලුවෙ ඒ වෙනකොට අපිත් ගෙදර වැඩට ගෑණු කෙනෙක් සොයමින් සිටි නිසයි.

මාගරට් අපි වෙනුවෙන් කැපවී ගෘහ සේවිකාවන් සොයා දෙන්නේ, කලක් ඇය අප නිවසේ සේවය කර අපහට තිබූ නිරන්තර ගෞරවය හේතුකොට ගෙන බව අප හොඳාකාරවම දන්නා කරුණක්.

“කව්ද මේ දෙන්න?”

“අකුරැස්සෙ ඉඳල ...රස්සාවක් සොයාගෙන ඇවිල්ල තියෙන්නෙ…. අම්මයි දුවයි”

ඔන්න ඔය විදිහට තමයි ඉස්සෙල්ලම ප්‍රියන්තිත්, එයත් එක්ක ඇවිල්ල හිටිය එයාගෙම අවුරුදු 18 සම්පූර්ණ වුනු දුවවත් මට මුණගැහුනෙ. කිලිටි වෙලා තිබුන ගවුම්, සෙරෙප්පු දෙකක්වත් නැති පා දැක්කම, මේ මොන මරාලයක්ද කියල හිතුනත්, යකාගෙ කටෙත් දත් ගලවන්න පස්ස ගහන්නෙ නැති මම, විස්තර අහන්න ගත්ත.

අකුරැස්සෙනුත් එහා ගම්මානයක ඉඳල, තමන්ගෙ කසාද මිනිහගෙ අඩන්තේට්ටම් ඉවසාගන්න බැරි තැන, තම එකම දුවත් සමග ගෙදරින් පැන දිවි ගලවා ගෙන යන ගමනක් බවක් පැවසූ නිසා, කවදත් පුරුෂාධිපත්තියට එරෙහිව නැගී සිටින මට අහක බලන්න හිතුනේ නෑ.

“මම ඔයාල දෙන්නටම රස්සාවත් දෙන්නම්…. ඉන්න හිටින්නත් දෙන්නම්….. හැබැයි එක දෙයක් කරන්න වෙනව... ඉස්සෙල්ලම ගාල්ලෙ පොලීසියට ගිහිල්ල පොතේ ලියල තමයි….. ඒකට කමක් නැද්ද”

මේ ගෑනි ඒකටත් කැමති උන නිසා මම දැනගත්ත කථාව ඇත්ත කියල. ගාල්ල පොලීසියට ගිහිල්ල එතනින් අකුරැස්ස පොලීසියට දැනුම් දීමක් කලාම ඒ ගොල්ලත් මෙයාගෙ කථාව සනාථ කල නිසා, මට අයත් කතරගම නිවාඩු නිකේතනයේ වැඩට යොදාගත්ත.

“සර්… කොච්චර වතුර දැම්මත්….. මේ පෑවිල්ලට මල් පැල නම් බේර ගන්නව බොරු”

කොහොමත් කතරගමට පායනකොට පොලොව කරවෙන්නම පායනව. කටු පඳුරු විතරයි ඉතුරුවෙන්නෙ.

“එහෙනම් …. ඉඩම වටේට සීනි පැනි කරල ...පීරිසිවලට දාල තියාපං…. ඔය මී මැස්සො නැත්නම් යාවි”

මී මැස්සො රෑනක් මගේ ඉඩමෙ වදේ බඳින්න ගත්තෙ මෙතන උන්ට සුදුසුම තැන හින්ද වෙන්න ඇති. රැජිනිලුනේ තැන තීරනේ කරන්නෙ. ඒකිට උනත් ඉවෙන් තේරෙනව ඇති මෙතන ආරක්ෂාවයි කියල. ඇති පදම් මල් තියෙන එකත් ඒකට හේතුවක් වෙන්නත් ඇති. අසරණව සංක්‍රමණය වෙලා ආපු මී මැසි රැජිනියත් එලවන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නැති නිසා ප්‍රියන්තිට වගේම රැකවරණය සලසන්න තීරණය කලා.

“අයියෝ සර්…. මේ මී මැස්සන්ගෙන් හරිම කරදරේ…. ලයිට් එකක් දාන්නත් නෑ”

ආපේපෙට මතක නෑ තාච්චියෙ හිටපු තාලෙ කියන්නත් හදල මම කටවහගත්තෙ කොහොම උනත් විහිලුවට වත් රිද්දන්න බැහැනේ අසරණ වෙලා මගේ ලඟට ආපු උන්ව.

“කලුවරේ හිටපල්ල”

විහිලුවට වගේ එහෙම්ම කියල දුරකථනය විසන්ධි කලත් මම දන්නව කොහොම හරි මී මැස්සො ටික එයා බේරගන්න විත්තිය.

“අනේ සර් අපිට ඉන්න තැනක් දෙන්න. මේ වෙලාවෙ සර්ට පින්සිද්ධ වේවි”

එදා මට ප්‍රියන්ති දුවත් එක්ක පින්සෙණ්ඩු උන හැටි මතක් උනා. හැමදාම බීල එන මිනිහ මොකක් හරි වැරැද්දක් හොයාගෙන මේ ගෑණිටයි ලමයින්ටයි තඩිබාන එක ඉවසන්න බැරුව, ගෙදරින් පැනලා රැයක්ම බැද්දෙ හැංගිලා ඉඳල ගාල්ලට ඇවිත් තියෙන්නෙ එන දේකට මූණ දෙනව කියල හිතාගෙන.

මේ මී මැසි රැජිනත් කලින් හිටපු තැන ඉන්න බැරි නිසා වෙන්න ඇති මගේ ඉඩමෙ නවතින්න ආවෙ. මම මේ මී මැස්සන්වත් පරිස්සම් කරගන්න ඕන.

අපේ ජීවිතවලට කිසිකෙනෙක් ඇතුල්වෙන්නෙ නෑ අහම්බෙන්. හැම හමුවීමකටම යම්කිසි ගුප්ත හේතුවක් තියෙනව. ඒ හේතුව හොයන එක කාලය කා දැමීමක් කියලයි මට හිතෙන්නෙ. හමුවීම සුහදව වැලඳගැනීමයි එකම පිලිතුර. එහෙම හිතල තමයි මම මේ අසරණ වෙලා මගේ ලඟට ආපු මනුස්ස පරානෙත් සත්ව පරානෙත් සුහදව බාරගත්තෙ.

“ප්‍රියන්ති, කවුද බලන්න ගේට්ටුවට තට්ටු කරන්නෙ”

නෝනත් එක්ක කතරගම ගිය දවසක මොනරු කෑගහන සද්දෙ අස්සෙන් නෝන කියනව ඇහුන.

ඉඩම මගේ උනාට මොණරු රෑන් පිටින් ඇවිල්ල සැරිසරන්නෙ උන්ගෙ වගේ. උන් දන්නව මගෙන් කිසිම හානියක් නෑ කියල. සමහර වෙලාවට මොනරු මගේ ඉඩමෙ පිල් විදහල නටනකොට මගේ නෝන කියන්නෙ අපිට පේන්න උන් නටනව කියලයි. මම මුනිවත රකින්නෙ ඔන්න ඔහේ ඕන දෙයක් හිතාගත්තාවෙ කියල. ඒ කරන්නෙත් අහවල් කාරිය කියල තේරුම් බේරුම් කරන්න ගියොත් ඕන එකක් කුපාඩිකමකට හරව ගන්නව කියල බැනුම් අහන්න වෙනව.

“කිරි වෙහෙරෙ ලක්ෂයක් මල් පහන් පූජාවක් කියල කට්ටියක් ඇවිල්ල මල් කඩාගෙන යන්න අහනව”

යන්තම් ඇත්නම් තදකරගන්න මගේ නට් එක නහුතෙටම තදවෙන්න ගත්ත.

“යකෝ … එතකොට ...මගේ මී මැස්සන්ට පැනි බොන්න….. කිරි වෙහෙරෙ මහ එකාගෙ වත්තට යන්නද කියන්නෙ….. ඌ හොර ගෑනියෙක් තියාගෙන කන්න බොන්න දෙන්නෙ... ඌට අපේ ගොන් හැත්ත ගිහිල්ල... ගෙදර ලමයි බඩගින්නෙ තියල හරි …..සල්ලි පූජ කරන නිසා…. මේව මී මැස්සන්ට තියෙන්න ඕනය කියාපන්…. ඇයි…. යකෝ...මැටි කන්දකට මල් ලක්ෂයක්…. අම්මගෙ රෙද්ද…. පූජ කරන එකෙක් මලක් දෙකක් පූජ කරපිය….. පගාව ගහල ඉක්මනට දිවියලෝකෙ යන්න හදන්නෙ නැතුව”

මටත් පොඩ්ඩක් ඇත්නම් ඇති ගමකට කියවන්න.

“අනේ මේ…. කතරගම දෙයියන්ගෙ අඩවියේ ඉඳගෙන … කට පරිස්සං කරගන්නවකො”

අපේ ගෙදර කොයිකාටත් දෙයියො අරහං. නෝන එහෙම කියන්නෙ මගේ වාචාල කට වහන්න ඕන නිසා බව මම හොඳාකාරවම දන්න නිසා කටවහගත්ත.

“ඔයා දන්නවද මේ ගෑනිගෙ වයස කීයද කියල?”

මට ඉරමුසු වීදුරුවක් ගේන්න ප්‍රියන්ති ගිය වෙලාවෙ මගේ නෝන ඇහුවෙ හා පුලුවන් නම් කියන්නකෝ බලන්න කියන්න වගේ. ඇත්තටම මට ඒ ගැන හැඟීමක් වත් තිබුනෙ නෑ. ඒ වෙනකොට යාන්තමට වගේ මම දැනගෙන හිටිය එයාගෙ කටේ උඩු ඇන්දෙ දත් නැති විත්තිය. එයාගෙ දුවගෙ වයසත් එක්ක හිතෙන් පොඩි ගණනයක් කරපු මම හතලිහ පැනලා ඇති මගේ හිතේ කියල කිව්වත් මට ඇත්තටම හිතිල තිබුනෙ හතලිස් පහක් විතර ඇති කියලයි.

“පිස්සු….., අපේ දුවගෙ වයස. දෙන්නම එක අවුරුද්දේ …. කටේ දත් නැත්තෙ මිනිහ ගෙන් ගුටි කාල….. කීප දවසෙ ගහන පාරවල් වලට ඉස්පිරිතාලෙත් ඉන්නව කියල මගෙත් එක්ක කිව්වෙ….”

නෝනගෙ ඉල්ලීම පිට ගාල්ලට ආපු දවසක මගේ හිතමිත්‍ර දන්ත වෛද්‍යවරයකු ලවා දත් බන්දවන්නත් කටයුතු යෙදුවෙ, කොහොම උනත් තරුණ ජීවිතයක් නේද කියල මගේම නෝන කියපු නිසාත්,, මේ වෙනකොට එයා මගේ නෝනගෙ හිත දිනාගෙන හිටපු නිසාත්ය. විස්තරේ අහපු වෛද්‍යවරය මගෙන් මුදල් අයකලෙත් ඉතාම අඩුවෙන්.

ගෙදරට චන්ඩි එලියට නොන්ඩි. ඒක අපේ සංස්කෘතියේ ලක්ශණයක්. අපේ රටේ තරම් ස්ත්‍රී හිංසණය රජකරන රටක් සවුදි රටවල් හැර වෙන කොහේවත් නැතුව ඇති. ඒත් අපි සිංහල බෞද්ධ. අරක්කු වැහිවැහැල. බෝතලේකට එක්කාසු වෙන්නෙම අඩිය බලන එක ඉලක්කය කරගෙනම. අපි උපන්නත් බොනව, මලත් බොනව, උපන් දිනේටත් බොනව, මගුල් ගෙදරත් බොනව, කෙල්ලෙක් යාලු උනත් බොනව, තරහ උනත් බොනව. ඒ අතරෙ පන්සිල් පහත් ගන්නව. ඒ අරගෙනත් බොනව. බීල ගෑණිට නැත්නම් දරුවන්ට තඩිබානව.

උදේ පාන්දර පහ වෙනකොට සත්තු කෑගහන්න ගන්නව. මොනරු, කුරුල්ලො, මුවෝ. අපි ඉන්නෙ කැලේ. යාල අභය භූමිය අල්ලපු වැටේ. අපි ඒ සද්දෙට ඇහැරෙනව. ඒ සද්ද කණට හරිම මිහිරියි. ගාල්ලෙ ඉන්නකොට මහපාරෙ යන වාහනවල ගොරහැඬි සද්දෙට ඇහැරෙන අපි, මෙහේ තියෙන සුන්දර පරිසරෙත් එක්ක බද්ධ වෙලා ටික දවසක් ඉඳල ආපහු යන්නේ ආපහු එන්න දින දාගෙන.

“මෙම භූමිය හා පරිසරයේ අයිතිය අවට කැලයේ වෙසෙන සත්වයන් හා ගස් වැල් සතුවන්නේය. අප මෙහි තාවකාලික නිවැසියන් වෙයි.
මෙම භූමිය ඔබගේ ආස්වාදය උදෙසා මා විසින් පරිසර හිතකාමීව සකසා ඇතත්, මෙහි වෙසෙන සියලුම ජීවීන් හා ගස් වැල් හට ප්‍රමූඛත්වය දීමට කාරුණික වන්න”

අමුත්තන්හට පොල්ගෙඩි අකුරින් මුද්‍රණය කර එල්ලා ඇත්තේ එහි පරිසරය පිලිබඳව පූර්ව දැනුම්දීමක් ලෙසය.

ලඟකදි ඉඳන් අලුත් අමුත්තෙකුත් ඉඩමට ඇවිත්. දේවාලෙට පූජා කරපු තේජවන්ත කුකුළෙක්. ඌත් කෑගහන්නෙ හරියට මේ බජාර් එක උගේ කියන්න වගේ.

උගේ සම්ප්‍රාප්තියට කලින් කිකිලියො තුන් දෙනෙකුයි තාරාවො දෙන්නෙකුයි හිටිය. මේකා ආවට පස්සෙ අර නිදහසේ කකා හිටපු කිකිලියො පස්සෙන් විතරක් නෙමෙයි තාරාවො දෙන්නටත්  එලවනව. කවුරු උනත් කතරගම දෙයි හාමුදුරුවන්ට පූජා කරල තියෙන්නෙ නියමම කුකුලෙක් නේද කියල කුකුල් සාත්තරේ ඒ වෙනකොට දැනගෙන නොහිටි මම හිතාගත්ත. පස්සෙ තමයි ඉන්ටනෙට් එකෙන් දැනගත්තෙ එක කුකුලෙකුට කිකිලියො දහයක් ඕන කියල. බලාගෙන යනකොට කතරගම දෙයි හාමුදුරුවොත් කුකුලට පරාදයි නේ. එයත් පරිහරණය කලේ දෙන්නයි කියලයි කවුරුත් කියන්නෙ.

අපේ බැතිමත් ජනතාව ඉස්තරම්ම පලතුරු දෙවියන්ට පූජා කරන්නාසේ කුකුලෙක් උනත් ඉස්තරම්ම වර්ගයේ ජවසම්පන්න කුකුලෙකු නේ පූජා කරල තියෙන්නෙ.

.කිකිළියන් පස්සේ උදයෙන්ම එලවා යන කුකුලා දවාලට තාරාවන් පසුපස හඹා ගොස් බෙල්ලෙන් අල්ලා පිට උඩ නැග ගන්නේය. හවසට සෙබඩියන් පස්සෙ පියාඹා ගියද උගේ ජවය නවතින්නේ  නැවත වරක් කිකිලියක් පසුපස ගොස් බෙල්ලෙන් අල්ලා පිට උඩ නැග ගත්තාට පසුවය.

දෙවි වරුන්ටත් අභියෝග කරන කුකුලා එදා පටන් මගේ ඉඩමේ නිල ලත් ගනන්කාරයා වුයේ මගේ ජීවිතයේ යම් අසීරු අවස්ථා මටම සිහිපත් කරමිනි.

එක් අවස්ථාවක යහලුවක සමග සමන් දෙවි අඩවිය වන සිරීපාදය, බැති සිතින් නොවූවත් විනෝදය හා මුහුකුරා වැඩෙන වයසත් සමග ක්ශය වී යන කාය ශක්තිය උරගා බැලීමේ උත්සාහයක් ලෙස, තරණය කලෙමි. එය සිරීපාදය වන්දනා සමය නොවූයෙන් පොදු ප්‍රවාහන පහසුකම් අවම වී තිබුනත් අප දෙදෙන රාත්‍රියේ තනිවම උඩ මලුවටම ගොස් ඉර සේවය නොබලාම පහලට බැස්සේ හැකි ඉක්මනින් හැටන් වෙත ලඟාවීමේ අදහසිනි.

උදෑසන හතරට පමණ නල්ලතන්නියට ලඟාවූ අප හැටන් බලා යන බසයක් සෙවූමුත් පලමු බසය පිටත්වන්නේ උදෑසන හතටය යන්න දනගත් විගස සමන් දෙවියන් අපෙන් ගිලිහී යක්ශයා ආරූඪ විය.

“අඩෝ සමන් තොගේ කකුල් දෙක ලඟට ආපු අපිට මෙහෙමද පකෝ සලකන්නෙ. පර බල්ලා……”

මගේ මිත්‍රයාගේ උග්‍ර විරුද්ධත්වය අතරේ මගේ වාචාල කට පාලනය කර ගැනීම අසීරු විය. ඊලඟ මොහොතේ මෝටර් රථයක් අප අසල නතරවූයේ “මහත්තුරු හැටන් යනවානම් නගින්න” කියමිනි.

අප හා වචනයකුදු කථා නොකල ඔවුන්, හැටන් නගර මධ්‍යයේ නිරුපද්‍රිතව වාහනය නවත්වා මුදල්ද ප්‍රතික්ෂේප කලේ, ඒකාන්තයෙන්ම එම රථය සමන් දෙවියන් විසින්ම පදවාගෙන එන්නට ඇතැයි අප හට පසක් කරමිනි. දෙවියන් වහන්සේ ස්ත්‍රෝත ගී නොඅසන බවත් ඔවුනටම ආවේනිකවූ සත්‍යය මුසු හබ්බ පමණක් පහන් සිතින් අසනා බවටත් එදින මට ප්‍රත්‍යක්ෂ විය.

එදා සිට අද දක්වාම සියලු දෙවි දේවතාවුන් මම හඬ නගා කියනා සත්‍යවූ හබ්බ අසා සිට මාහට පිහිටවූ වාර බොහෝය. (අතිශයෝක්තියකින් තොරවූ පරම සත්‍යයකි) බොහෝ අවස්ථාවන්හි මාගේ මිතුරන් හා ගෝල බාලයන්ද උත්තේජනය වන්නේ සභ්‍ය බසින් කියනා විට බීරි අලින් සේ සිටියද “තොපෙ අම්මට…….” කියා කී විටය.

“සර්, පුදුම පෑවිල්ලක් මේ සැරේ නම් තියෙන්නෙ….. මී මැස්සොත් ගිහිල්ල. ඒ මදිවට රස්නෙ…. උහුලන්න බෑ. හැමතැනම ගස් මැරිල….. අපේ ඉඩමෙත් අඹ ගස් පහක්ම මැරිල. සර්ල එන්නෙත් නෑ…”

ප්‍රියන්තිගෙ අඬෝ වැඩියාව අහගෙන ඉන්නම බැරි තැන පහුවදාම නෝනත් එක්ක කතරගම ගියේ සතුටකින් නම් නෙමෙයි.

“දැන් මොකද්ද උඹ මට කරන්න කියන්නෙ”

“ඉන්නම බෑ සර්….. මේ පෑවිල්ලත් එක්ක”

“එහෙනම් පල යන්න….. ගිහිල්ල මිනිහගෙන් ගුටි කකා හිටපං…. මම මේක කොහොමහරි බලාගන්නම්”

“හරි වැඩක් නේ …. මගේ නෝන දාල මම කොහේ යන්නද?.....සර් ඕන අහක යන්න… මම මගේ නෝන දාල යන්නෙ නෑ….”

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget