"ඉස්තරම්" කපු මහතා

“ඉස්තරම්” කපු මහතාගේ දේව හාස්කම්...

සාර්ථක කට්ටඩියකු වීමේ රහස අධ්‍යයනය කිරීමට නම්, එවැන්නකු ඇසුරුකල යුතුයැයි මා හට සිතක් පහලවූයේ අද ඊයෙක නොවේ. එය සාක්ෂාත් කරගැනීමට මට කලක් ගතවිය. ගොදුරක් එනතුරු නිසොල්මනේ සිටින කිඹුලකු මෙන් මමද අවස්ථාව එනතුරු බලාසිටියෙමි.

එම වකවානුව, ව්‍යාපාර පිලිබඳ අල්ප මාත්‍රයක දැනුමක් වත් නොතිබූ මම, පුද්ගලික ව්‍යාපාරයක නියැලී සිටි අවධියක් විය. හුඳෙක් ව්‍යාපාරික මිතුරකු වශයෙන් දැන හැඳින සිටි බන්ධුල අනපේක්ෂිත අවස්ථාවක මා හමුවීමට පැමිණ සිටීම මා පුදුමයට පත් කරවූයේ, ඔහු කිසිම අවස්ථාවක සිය ව්‍යාපාරික ස්ථානය හැරදමා පිටතට නොයන අයකු ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්වී සිටි නිසාවෙනි.

ඉතාම අඩු වයසින් සිය පියා විසින් ආරම්භ කරන ලද සිල්ලර බඩු ව්‍යාපාරය ඔහුගේ ඇවෑමෙන් තොග හා සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් දක්වා දියුණුකල ඔහු, ප්‍රසිද්ධ පවුලකින් සුරූපී තරුණියක් කරකාර බැඳගත්තේ සාර්ථක විවාහ දිවියකට මුලපුරමිනි.

සතුට හා සාර්ථකත්වය මුදල් මත ගොඩනැගෙන්නක්ය යන ව්‍යාපාරික මනස ඔහු තුලද අරටු බැස තිබු බව ඔහු ඇසුරුකල අල්ප මිතුරන් හොඳින් වටහාගෙන තිබුනි. කෙමෙන් තරබාරු සිරුරකට නිතැතින් පිවිසුනු ඔහු, ඒ හා බැඳී ගිය අහිතකර සෞඛ්‍ය තත්වයන්ටද මුහුන පෑමට සිදුවෙමින් තිබුනි.

“මචං මට උඹව පුද්ගලිකව මුණගැහෙන්න පුලුවන්ද ?”

“අපි යමු එලියට” කියමින් මම ඔහුගේ පිටට අතතැබූයේ, කුමක් හෝ මූල්‍යමය නොවන බැරෑරුම් ප්‍රශ්නයකට සවන්දීමේ අදහසිනි. සාර්ථක ව්‍යාපාරිකයෙකු හැටියට මූල්‍යමය ප්‍රශ්න ඔහු ජයගෙන තිබුනි.

“මචං මට මගේ වයිෆ් අවිස්වාසයි” කියමින් කථාව පටන්ගත් ඔහු සියලු විස්තර මාහට පවසමින්, උදව්වක් වශයෙන් එය තහවුරු කර දෙන මෙන් ඉල්ලා සිටියේ කඳුලු පිරි දෙනෙතිනි. ඔහුගේ උපදෙස් මත සැනින් මම මගේ වාහනයට ගොඩවී ඔහුගේ නිවසට ගියේ කුමක් හෝ හෝඩුවාවක් දැන ගැනීමේ අදහසිනි.

කලින් දැනසිටි මග ඔස්සේ, කිසි දිනක ඔහුගේ නිවසට ගොඩවී නොසිටි මාහට, නිදන කාමරය සොයාගැනීම අසීරු නොවීය. ඔහුගේ බිරිඳ නිදන කාමරයේ කිසියම් පුරුෂයකු සමග ඇඳ මත වාඩිවී සිටිනු දැකගත හැකිවිය. බන්දුලගේ අවිශ්වාසය හොඳින් තහවුරු කරගත් මම ආපසු හැරුනේ ඔවුන් දෙදෙනාහට වචනයකුදු කථා කිරීමට ඉඩ ප්‍රස්තාව අහුරමිනි.

මුදලාලි පැලැන්තියේ බහුල ප්‍රශ්නයකට මොවුන් මුහුණදී සිටින බැව් මා ඔහුට තේරුම් කර දීමට මහත් ප්‍රයත්නයක් දැරුවත් එය ව්‍යර්ථ වූයේ, ඔහුගේ මුදල් ඉපයීමේ ආශාව ජීවිතයේ එකම අරමුණ කරගෙන තිබූ නිසාවෙනි.

විශාල මානසික ආතතියක ගිලී සිටි බන්ධුල ගාලු පුරවරයේ ප්‍රසිද්ධ තරුණ කපු මහතෙකුගේ පිහිට පැතීමට ගත් තීරණය මම අවඥාවෙන් බැහැර නොකලේ, එය නිශ්ඵල ප්‍රයත්නයක් බව දැනසිටි නිසාමත් නොවේ. ගොදුර මගේ කට ලඟටම පැමිණ සිටි නිසාත් කට්ටඩියකගේ ඇසුර මා ආයාසයෙන් බලාසිටි නිසාත් විය හැක.

“සුළු වැඩක් නේ මහත්තයො කරන්න තියෙන්නෙ. අපි ගුරුකමක් කරමු අරූට පැත්ත පලාතෙ එන්න බැරිවෙන්න”

හමුදා භටයෙකු ලෙස සේවය කරමින් සිටියදී වෙඩි වැදී වැටී සිටින අතර දේව වරමක් ලැබී ඇති බව ඔහු පැවසූයේ රටේ සුප්‍රකට දේශපාලනඥයන් කිහිපදෙනකුගේ නම්ද සඳහන් කරමිනි. “ඉස්තරම්” යන අනවර්ත නාමයෙන් ප්‍රචලිතව සිටි ඔහු ඒ වනවිට දේවාලයක්ද පවත්වාගෙන ගිය අතර වාර්ෂිකව පෙරහැරක්ද ඔහුගේ වියදමින් පවත්වාගෙන ගිය ප්‍රකට පුද්ගලයෙකු විය.

දිනපතා සිය ගනනක් සෙනග ඔහුගේ දේවාලයට එක් රොක් වන්නේ ඔවුනගේ විවිධාකාර ප්‍රශ්න හා ගැටළු නොපෙනෙන දෙවියන්ගේ පිහිටාධාරයෙන් නිරාකරණය කරගැනීමටය.

දින කීපයක් ප්‍රකට ව්‍යාපාරිකයකු සමග එම ස්ථානයට ගිය මම, යම් තාක් දුරට විශේෂිත පුද්ගලයෙකු බවට පත්වූයේ අවසානයේදී මාගේ මිත්‍රයාගේ ලක්ෂ ගනනක මුදලක් වියදම් වීමෙන් හා “ඉස්තරම්” සමග තරමක සමීප ඇසුරක් ඇති කර ගැනීමෙනි.

සාර්ථක දේවාලයක් පවත්වාගෙන යෑම සාමාන්‍ය පුද්ගලයෙකු හට කල නොහැකි කාර්‍යයක් බව නම් සහතිකය. එයට ප්‍රධාන වශයෙන් සිත් ඇදගන්නා කාය රූපයක් හා චතුර කතා විලාශයක් සමග ප්‍රබල කටහඬක් තිබිය යුතුය. ඔහුගේ රංගන හා ගායන කෞශල්‍යය ඉහල අගයක් ගත යුතුවේ.

එයට අමතරව ඔහු යටතේ ක්‍රියාත්මක වන ඔත්තු සේවය නිතැතින්ම ප්‍රබල සාධකයක් වේ. එම ඔත්තු සේවයට බාල තරුණ මහලු සෑම අයකුම ඇතුලත්විය යුතු වේ.

මෙම සේවය බලාපොරොත්තුව පැමිනෙන්නන් වැඩි වශයෙන් නූගත් ගැහැනුන් ඝනයට වැටුනද, රටේ ප්‍රසිද්ධියට පත් ධන කුවේරයන්ද, උගත් යැයි සම්මත ප්‍රභූන්ද, ප්‍රසිද්ධ දේශපාලනඥයන්ද නොපෙනෙන දෙවියන්ගේ පිහිට පැතීම දුලභ නොවේ.

සෙනග අතර ගැවසෙන ඔත්තුකරුවන් දේවාශිර්වාද පතා පැමිනෙන්නන් සේ හැසිරෙනු ඇත. ඔවුන්ගේ උකුසු ඇස් ඔබ වෙත යොමුවන්නේ හීන් සිනාවක් සමග කථාබහකට මග පාදා ගනිමිනි. ඔවුන් ඔබගෙන් ප්‍රශ්න කරනවා වෙනුවට ඔවුනට පිහිටවූ අයුරු ඔබ වෙත විස්තරාත්මකව පවසනු ඇත.

වයසට සරිලන ලෙස ඔබව ඕනෑවට එපාවට ආමන්ත්‍රණය කරන ඔවුන් ඔබ වෙත කපු මහතාගේ ආශ්චර්යයන් පවසන්නේ ඔබව මවිතයට පත් කරමිනි.

ඔබ තනිව පැමින සිටින තරුණියක නම් ඔබගේ හැසිරීම් රටාව, ඇඳුම් පැලඳුම් ආදී බාහිර පෙනුම අධීක්ෂණය කරන ඔවුන් ඔබගේ ප්‍රශ්නය අනුමාන වශයෙන් තීරණය කරගනී. එවැනිම ව්‍යසනයකින් පෙලී සිට කපු මහතාගේ ආශිර්වාදය තුලින් සහණයක් ලබාගත් බව පවසන ඔවුන්, මෙවර පැමිනියේ පොරොන්දුවූ පරිදි භාරය ඔප්පු කිරීමට බැවි පවසන්නේ හදපිරි භක්තියකින් බවට අඟවමිනි. ඔබ වචනයකුදු නොපැවසූවත් මේ වනවිට ඔබගේ හැසිරීම ඔබගේ ප්‍රශ්ණය ඔවුනට පවසා හමාරය. එය තීව්‍ර වීමට ඔබේ මුව්න් පිටවන සෑම වචනයක්ම පිටුවහල් වනු ඇත.

ආරූඪ වන කපු මහතා කඩුවකින් තම සිරුර කපාගන්නේ බලා සිටින අය මවිතයට පත් කරමිනි. මෙය ඔහුට සුපුරුදු ක්‍රියාවක් වන්නේ මහපාරේ වීදුරු සපාකමින් මුදල් එකතු කරන්නන් සිහි පත් කරවමිනි.

ඊලඟ මොහොතේ කපු මහතා ඔබව ආමන්ත්‍රණය කරන්නේ ඔබ හැඳ සිටිනා වස්ත්‍රය හා පැමිනි කාරණයද සැකෙවින් හඬ නගා කෑගසමිනි. ඔහුගේ ඊලඟ ඉලක්කය ඔබ භීතියටත් ත්‍රාසයටත් පත් කිරීමය. කෙමෙන් ඔබගෙන් සවිස්තරාත්මකව ගැටලුව දැනගන්නා ඔහු එයට කලයුතු ප්‍රතිකර්මයද පවසන්නේ ඒ සඳහා ගාස්තුවද දිනයක්ද අවශ්‍ය කලමනාද නියම කරමිනි.

කඩවසම් පෙනුමකින් යුතු මෙවැන්නන්ගේ අවශ්‍යතාවයන් විවිධාකාර වන අතර ඔබ ධනවතෙක්නම් මුදල්ද, බලවතෙක් නම් බලයද, තරුණියක් නම් තාරුණ්‍යයද සූරා කෑම ඔවුන්ගේ අරමුණය.

කපුවා කපෝති වන අවස්ථාවන්ද දුලභ නොවේ. මෙම කපුවාද ප්‍රභල ඇමතිවරයෙකුගේ සුරූපී අනියම් බිරිඳකට සෙත් ශාන්තියක් කිරීමට ගොස් මේ වනවිට ඇය අඹුව කරගෙන සිටීම දෛවෝපගත සිදුවීමක් බව තතු දන්නෝ පවසති.

එක්තරා දිනක හබරාදූව ප්‍රදේශයේ පියෙක් සිය දියනියන් දෙදෙනා සමග සෙත් ශාන්තියක් කර ගැනීමට “ඉස්තරම්” කපු මහතා වෙත පැමිනියේය. බාල දියනිය වෙනුවෙන් කලයුතුව තිබූ සෙත් ශාන්තිය කපු මහතාගේ යෝජනාවෙන් වැඩිමහලු දියනිය සඳහාද කර ගැනීමට පියා එකඟවූයේ පැකිලීමකින් තොරවමය.

වැඩිමහල් දියනිය වෙනුවෙන් කරන ලද සෙත් ශාන්තිය කපු මහතා අඳුරු කාමරයක සිදුකරන්නට යෙදුනේ එය දෙවියන්ගේ කැමැත්ත පරිදි යැයි පවසමිනි. සෑහෙන වේලාවක් ගතකරමින් පැවැත්වූ සෙත් ශාන්තිය අවසන්වූයේ නැවත පැමිණීමට ඉදිරි දිනයක්ද නියම කරමිනි.

කපු මහතා විසින් ත්‍රාසයටත් භීතියටත් පත් කරන ලද දැරිය දෙවන දිනය තෙක් නිහඬව සිටියත්, නැවත වරක් දේවාලයට යෑම ප්‍රතික්ෂේප කල අතර සිදුවූ සියල්ල නොවලහා සිය පියා හට සැල කර සිටියේය.

පවුලේ අර්බූදකාරී අවස්ථාවන්හිදී කවදත් පෙරමුණ ගන්නා මාමා මෙහිදී කපු මහතා දුරකථනයෙන් අමතා තර්ජනය කල අතර, කාරණය දුරදිග යන බව වටහාගත් “ඉස්තරම්” ඔහුගේ සගයෙකු දැරියගේ මාමා මුණගැසී සමථයකට පැමිනීමට යෝජනා කර එවා ඇත.

මේ වනවිට විස්තරාත්මකව සිද්ධිය දැරියගෙන් අසා දැනගත් වැඩිහිටියන් අපයෝජනයක් සිදුවී ඇතත් කන්‍යාභාවයට අනතුරක් සිදුවී නොමැති හෙයින් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන්නේ නම් සමථයකට පැමිනීමට එකඟ වී ඇත. එයට ප්‍රතියෝජනාවක් ලෙස ඉස්තරම්ගේ සගයා පවසා ඇත්තේ දොස්තර වරයෙකුට දැරිය පෙන්විය යුතු බවය.

ඒ අනුව සාමාන්‍ය පුද්ගලික දොස්තර වරයෙකුගේ විමසීම් ඉදිරියේ දැරිය පවසා ඇත්තේ බයිසිකලයකින් වැටුනු බවය. ඒ අනුව “ඉස්තරම්” එම මුදල ගෙවීම ප්‍රතික්ශේප කර ඇති අතර දැරියගේ මාමා අදාල පොලිසිය වෙත පෑමිනිල්ලක් ඉදිරිපත් කල අතර පසු දිනකදී විත්තිකරු පොලීසියට භාරවී ඇත.

රටේ විශාල ආන්දෝලනයක් ඇතිකල මෙම සිදුවීම දෙස විද්‍යුත් මාධ්‍ය දිගින් දිගටම ප්‍රාදේශීය දේශපාලනඥයකු වූ මෙම කපුවා වෙත දෝෂාරෝපණ එල්ල කලත් මොන යම් හේතුවක් නිසා හෝ මොහු හට උසාවියෙන් ඇප ලැබී තිබුනි.

එයද ඔහුගේ දේවබලය විදහාපාන්නක් ලෙස දිස්වූවද, ඒ සම්බන්ධව නොයෙකුත් කට කථා පැතිරෙන්නට විය. රටේ ඉහලම තැන්වලට ඔහුගේ වත්මන් අඹුවට තිබූ පැරණි හාදකම් සත්‍ය වශයෙන්ම දේව හාස්කමකට වඩා එපිටට ගිය හාස්කමක් ලෙස මහජනයාට ඒත්තු ගොස් ඇත. එහි ප්‍රථිපල ඉදිරි මැතිවරණයකදී ගාලු ජනතාව එලි දක්වනු ඇත.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget