මා දුටු සර් ජෝන්

මා දුටු සර් ජෝන්

මගේ මතකය නිවැරදි නම් එය 1968 වර්ෂය විය යුතුය.... එම වසරේ කටුබැද්ද රාත්‍රිය පැවැත්වීමට යොදාගෙන තිබුනේ ගල්කිස්ස හෝටලයේ වූ අතර එය සංගීතවත් කලේ එකල ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි "මගෙ සුදු මාමේ" නොහොත් සී. ටී. ප්‍රනාන්දු ශූරීන්ය...

කල් වේලා ඇතුව ගල්කිස්ස හෝටලයේ ශාලාවට පැමිනි මම ලැබී තිබූ මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, හෝටලය ගවේෂණය කිරීමේ අදහසින්, එහි තිබූ ලී කැටයම් කරන ලද මහා පඩි පෙල බසිමින් සිටියෙමි.... පාමුල සිටි සේවකයන් ඉතා යටහත් පහත් ස්වරූපයක් දරාසිටිනු දුටු මා, අන්දුන් කුන්දුන් වී පිටුපස හැරී බලනවිට දුටුවේ මතකයේ කොතැනක හෝ සැඟවී සිටි පුද්ගල රුවකි.... ඒ සර් ජෝන් කොතලාවල නම් මා අදටත් මගේ වීරයා ලෙස සලකන තේජවන්ත සොඳුරු මිනිසාය... ඔහු මා හට සුන්දර සිනහවකින් සංග්‍රහ කොට නවතා තිබූ 1 ශ්‍රී 1 රථයට ගොඩ නැගුනේ ඔහුට මෝටර් රථයේ දොර හැර දුන් හෝටලේ සේවකයාට රුපියල් සියයේ නෝට්ටුවක්ද දී ගෙනමය.... මා එතුමා ජීවමානව දුටු ප්‍රථම වතාව එය විය.

ඉංග්‍රීසි අක්ෂර වෙනුවට මෝටර් රථ ලියා පදිංච්ය සඳහා ශ්‍රී අකුර එවකට තිබූ රජය යොදාගැනීමට කටයුතු කල අවස්ථාවේ එතුමා 1 ශ්‍රී 1 තමා සතුකර ගත්තා මතකය.

එම කාල වකවානුව සාමාන්‍ය සේවකයෙක් දෛනිකව ලබාගත්තේ රුපියල් පහක් වැනි පඩියකි.... ඒ අනුව බලන කල ඔහුට දවස් විස්සක පඩියකි.... එම මුදල ඒ වනවිට විශ්‍රාම සුවයෙන් සිටි හිටපු අග්‍රාමාත්‍ය වරයෙකු වන සර් ජෝන් කොතලාවල මහතාට සුළු මුදලක් වූවා විය හැක.

ඔහු ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍ය ධූරය 1953 සිට 1956 දක්වා හෙබවූයේ දෙවන අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ඩඩ්ලි සේනානායක මහතාගේ තාවකාලික සමුගැනීමෙන් පසුවය.

ලංකාවේ ප්‍රථම වරට සෘජු ප්‍රකාශයක් තැන නොතැන නොබලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, සිය දේශපාලන ගමන අගාධයට ඇද දමාගත් ප්‍රථමයා හැටියට, සර් ජෝන් මගේ දඩබ්බර ලමාකාලයේ මනස තුල වීරයා බවට පත්විය.

එජාපයේ මහ පුටුවට තමාට තිබූ අවස්ථාව ඉතා දුර බැවි වටහාගත් බණ්ඩාරනායක මහතා, අවස්ථානුකූලව ටොප් හැට් හා ටේල් කෝට් පසෙකලා බුදු දහම වැළඳ ගෙන ජාතික ඇඳුම පොරවාගත්තේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු තේමාව ඔස්සේ රැල්ලක්ද ගොඩ නගා ගනිමිනි…. ඉංග්‍රීසි සාක්ෂරතාවය නගරබඳව ඉතා ඉහල මට්ටමක තිබූ අවදියක සිංහල බෞද්ධ නිලය බලා එල්ල කල එම ප්‍රහාරය ඉතා සාර්ථක වූයේ, ඒ අතරතුර සර් ජෝන් ගේ " හොර ඝනයන්ගේ තට්ටෙ තාර ගානවා" යන සුප්‍රකට ප්‍රකාශයත් සමගය….. එජාපයේ චන්ද පදනම ආසන හතකට සීමාවිය.

පරාජයත් සමග කෝපාවිශ්ටව සිටි සර් ජෝන් මැතිතුමා ඉදිරියට පැරණි පාර්ලිමේන්තු සංකීර්ණයේ පියගැට පෙල ඉස්මත්තේදී මුණ ගැසුණු එක්තරා මන්ත්‍රීවරයෙක් " හලෝ මිස්ට ජෝන් " යනුවෙන් කල ආමන්ත්‍රණයට එතුමා එල්ල කල පාපහර එම මන්ත්‍රීවරයා පිය ගැට පෙල පහලටම ඇද දැමීමට සමත් වී ඇත.

පසු දිනෙක එම මන්ත්‍රීවරයා බණ්ඩාරනායක මහතාට සිද්ධිය වාර්තා කර ඇත්තේ යම් කිසි අස්වැසිල්ලක් බලාපොරොත්තුව වූවද, එතුමාගේ ප්‍රතිචාරයද වී ඇත්තේ " යකෝ මමවත් ඔය මිනිහට මිස්ට ජෝන් කියන්නෙ නැති එකේ ඔයින් ගියා මදැයි" කියාය.

සර් ජෝන් බ්‍රිතාන්‍ය රජයේ නයිට් ධූරයෙන් පිදුම් ලැබ තිබූ හෙයින් එතුමා සර් ජෝන් වූවා මිස, අන් අය මෙන් උත්පත්තියෙන් හෝ බලපුලුවන්කාර කමින් සර් වූවා නොවේ.

1954 අප්‍රේල් මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජින හා ඩියුක්හි ආදිපාදවරයා පිලිගැනීමට සියල්ල සූදානම් කලේය….. මෙයට විරෝධය පාමින් විශාල හර්තාලයක් සූදානම් කිරීමට වාමාංශික දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින බව ඔහුට සැලවීමෙන් අනතුරුව, උග්‍ර කොමියුනිස්ට් විරෝධීයකු වූ ඔහුගේ මුල්ම කටයුත්ත වූයේ වැලිකඩ හා බෝගම්බර සුළු වැරදි මත සිරගතව සිටි සිරකරුවන් නිදහස් කර හදිසි අවස්ථාවකට සූදානම් වීමය….. එයට අමතරව ඔහු වාමාංශික නායකයන් අත් අඩංගුවට ගෙන ඔහුට අයත් බෝගල පතලේ සිරකර දැම්මත්, ඒ සම්බන්ධව ඔවුන් මුනිවත රැක්කේ, ඒ දින කිහිපය තුල ඔවුන් ලැබූ බටහිර පන්නයේ සත්කාර හමුවේ නිරුත්තර වූ නිසායැයි පැවසේ.

එවකට අවුරුදු හයක කොලු ගැටයකු වූ මා පේරාදෙණිය පාරේ වරුවක් පමන සිට මහ රැජින හා සර් ජෝන් ඇතුළු ප්‍රභූන් රැඟත් රිය පෙරහර දැක බලාගත්තා මතකය. ඒ එලිසබත් මහ රැජින පදවි ප්‍රාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට සැපත්වූ පලමු අවස්ථාව විය.

කැරැල්ලක් පිලිබඳ ඉව වැටුනු එතුමා මහ රැජිනගේ ආරක්ෂාව සම්බන්ධව ආරක්ෂක අංශ වලට දී තිබූ උපදෙස වූයේ හදිසි අවස්ථාවකදී, "උඹලා රැජිනිව බලාගනිල්ලා… මම ඉතුරු හරිය බලාගන්නම් කියාය".

සීගිරිය නැරඹීම මහ රැජිනගේ එක් විශේෂ අවස්ථාවක් වූයේ එහි තිබූ ඉපැරැණි බිතු සිතුවම් නිසාවෙනි… එය අධික සුලං සහිත දිනයක් විය…. හතර වටේම ආරක්ෂකයන් හා කැමරාකරුවන්ය... මහ රැජිනගේ දිගු සාය තද සුළඟට ඉහලටම එසවෙනු දුටු සර් ජෝන් "ගහපිය හු… ගහපිය" කියා මොරදුන්නේය.

සති අන්තයේ ඉරිදා ඔබ්සර්වර් පත්‍රයේ මුල් පිටුවේ පලවූ මහ රැජිනගේ අඩ නිරුවත් ඡායාරූපයට වසරේ ඡායාරූපයට හිමි ත්‍යාගය ලැබුනද, එංගලන්තයේ බකිංහැම් මාලිගයෙන් ඒ වෙනුවෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එතරම් සුභදායී නොවීය.

උපන්ගෙයි චණ්ඩියෙකුව සිටි සර් ජෝන් බොහෝ විට රාත්‍රී ආහාර ගැනීමට ගල්කිස්ස හෝටලයට යාම පුරුද්දක් කරගෙන සිටියා යැයි පැවසේ…
එතුමා ගැන හොඳින් දන්නා ගල්කිස්ස හෝටලයේ
සේවකයන් ඔහුගේ අවශ්‍යතාවයන් උදෙසා කැපවීම නිරන්තරයෙන් සිදුවේ…. එදින මෙම විශේෂිතවූ ක්‍රියා දාමය දෙස ඇස් දල්වා බලා සිටි සුද්දන් පිරිසකි….  සර් ජෝන්ගේ අවශ්‍යතාවය වූ රෝස්ට් කරන ලද කුකුලා දීසියක තබා යටහත් පහත්ව එතුමා වෙත පිරිනමනු දුටු සුද්දන් පිරිස එතුමා වෙත පැමිණ තර්ජනාත්මක ස්වරයෙන් "උඹ මේ කුකුලට ඉස්සෙල්ලම කරන දේ අපි උඹට කරනවා" යැයි පවසා ඇත්තේ ඔහුගේ තරම නොදැනය.

සර් ජෝන් ඔහුගේ දබරගිල්ල කුකුලාගේ පස්චාත්භාගය තුලට දමා කටේ දමාගත්තායැයි පැවසේ.

සර් ජෝන් කඳවල වලව්වේ එලිමහනේ සිය මිතුරන් හා සාද පැවැත්වීමට ප්‍රිය කල පුද්ගලයෙකි… එම සාදයන්හි නොවරදින අංගයක්ව පැවත ඇත්තේ එවේලේම සාදා පිරිනමන එතුමාගේ ප්‍රියතම ආහාරයක් වන පදමට සාදන ලද ආප්පය….

එදින කුමන හෝ කරුනක් හේතුවෙන් ආප්ප පදම වැරදී එහි නැවුම් බව නැතිවී තිබීම සර් ජෝන්ගේ කනස්සල්ලට හේතුවී ඇත….. ඉවසා සිටිය නොහැකිවූ ඔහු වෙව්ලමින් සිටි අරක්කැමියා කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත්තේ අමුත්තන් ඉදිරිපිටදීමය…. නිසි පිළිතුරක් දී ගත නොහැකිවූ විට එතුමා " යකෝ මේ ආප්පවලට මොනවත්ම කරන්න බැරිනම් බිත්තරයක් කඩලා මැදට දාල ගෙනෙං" කියා බෙරිහන් දී ඇත…. එදා පටන් ශ්‍රී ලංකා සූප වේදයට බිත්තර ආප්ප එකතුවී ඇත.

කඳවල වලව්වේ සාද ප්‍රසිද්ධ ගායකයන්ගේ ගීතයන්ගෙන් ඔපවත්වීම සුපුරුදු දසුනකි…. ෆ්‍රෙඩී සිල්වා එවකට ප්‍රසිද්ධ ගායකයෙක් නොවූවත් එක් දිනයක සර් ජෝන් ඉදිරියේ ගායනයක් කිරීමට භාග්‍යය උදාකරගෙන ඇත…. ගායනය හා නර්ථනය දුටු සර් ජෝන් ඔහු කැඳවා, " මොකද්ද යකෝ පඟර නැට්ටෙක් වගේ දඟලන්නෙ…. ගිහිල්ල රේඩියෝ සිලෝන් එකේ සිංදු කියාපං" කියා ලිපියක් දී ඇත… ෆ්‍රෙඩී සිල්වා නම් විකට ගීත ගායකයා එසේ බිහිවී ඇත.

ප්‍රසිද්ධියේ සුරූපී ස්ත්‍රීන් ඇසුරු කල සර් ජෝන් එවකට වරක් කථානායක තනතුර හොබවා තිබූ පනාමුරේ ඇත්ගාලේ පුරෝගාමියකුවූ ෆ්‍රාන්සිස් මොලමුරේ මහතා සමග දැඬි මිත්‍රත්වයක් පවත්වා ගෙන ගොස් ඇත…. දෙදෙනාගේම විනෝදාංශය වී ඇත්තේ ස්ත්‍රී ඇසුර බව සුප්‍රකට කරුණකි….. එක්තරා සාදයකදී ඔවුන් දෙදෙනා අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතර වැඩිම ස්ත්‍රීන් ප්‍රමාණයක් ඇසුරු කර ඇති තැනැත්තා කවුදැයි කුකුසක් පැන නැගී ඇත….

අසවල් ස්ත්‍රිය සමග යහන් ගත වූවායැයි මොලමුරේ මහතා පවසන සෑම අවස්ථාවකදීම සර් ජෝන්ද පැවසුවේ අයියෝ ඔය ගෑනි මගේ ලඟට ආවේ අසවල් කාල වකවානුවේ කියාය…. බැරිම තැන මොලමුරේ මහතා යෝජනාවක් කලේ දිනන අදහසින් යටි සිතේ යමක් සඟවා ගෙනය….

" හරි අද පාටි එකට එන ගෑනුන්ගෙන් බලමු… මාත් එක්ක නිදාගත්ත ගෑනියෙක් එනකොට මම මේ විදිහට සංඥාවක් කරනවා…. ඔබ සමග නිදාගත් ගෑනියක් එනකොට ඒ සංඥාවම කරන්න…. බලමු කවුද දිනන්නෙ කියලා" යැයි පැවසූ මොලමුරේ මහතා මහපටැඟිල්ලත් මැදගිල්ලත් එක්කර සංඥාවක් කර පෙන්වූයේය.

සාදයට පැමිනෙන සෑම ගැහැනියක්ම දුටු විගස මොලමුරේ එම සංඥාව නිකුත් කල අතර එවිගසම සර් ජෝන්ද එම සංඥාවම නිකුත් කලත් මොලමුරේ තැති නොගත්තේ ජය නියත බැව් හොඳාකාරවම යටි සිත දන්නා නිසාය…

එවිට ශාලාවට ඇතුල්වෙමින් සිටි ෆ්‍රාන්සිස් මොලමුරේගේ බිරිඳ වන ඇඩලීන් මොලමුරේ හා දුව වන සීතා මොලමුරේ දෙස සිනා මුසු මුහුනින් හා ජයග්‍රාහී ලීලාවෙන් බැලූ මොලමුරේ මහතා, සුපුරුදු සංඥාව එක් වරක් නිකුත් කලේ ජයග්‍රහණය හිස මත දරාගෙන වූවත් සර් ජෝන් දෙවරක් නිකුත් කල සංඥාවන් ඉදිරියේ පරාජිතයෙක් විය.

2500 බුද්ධ වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1954ට යෙදී තිබුන අතර එදින කඳවල වලව්වේ විශාල පුද්ගලික උත්සවයක් පිලියෙල කර තිබුනේ සුපුරුදු පරිදි barbecue එකක්ද සමගය… එයට යොදාගෙන තිබුනේ සම්පූර්ණ වසු පැටියෙකුවීම කාගේත් කථාබහට ලක්වූවද සාදය දිගටම කෙරීගෙන ගියේය.

පසුදින විශේෂිතවූ කාටූනයක් දිනපතා පුවත් පතක් සරසා තිබුනේ කාටූන් කරනයේ පුරෝගාමියකවූ ඔබ්‍රේ කොලට්ගේ පෑන් තුඩිනි…. එය නිතැතින්ම සර් ජෝන්ගේ අවධානයට යොමු වූයේ කොලට් ඇඳ තිබුනේ පුලුස්සන වසු පැටියෙකු වීමය.

හැරෙන තැපෑලෙන් කොලට් හට කඳවල වලව්වට කැඳවීමක් ලැබුනි…. ගියොත් කණ හරහා පාරක් වදිනවා නියතය…. ඒ සර් ජෝන්ගේ ක්‍රමවේදය බව නොදන්නා කෙනෙක් ඇත්නම් ඔහු තවම ඉපදී නැත…. නොගියොත් කුමකින් කුමක් වේදෝයි සිතාගත හැක්කේත් උඩ ඉන්නවායැයි සිතා සිටින දෙවියන්ට පමණි… එන විදියකට මූණදීමට සිතාගත් කොලට් නියමිත වේලාවට කඳවල වලව්වට ගොස් ගැහෙන හදවතින් සාලයේ අසුන් ගත්තේ සිනාමුසු මුහුනින් ඔහුට මග පෙන්වූ පිලිගැනීමේ නිලධාරියාගේ ආරාධනයෙනි.

මොහොතකට පසු පිලිගැනීමේ නිලධාරියාගේ මග පෙන්වීම මත කොලට් වලව්ව තුලට කැඳවාගෙන යනවිට ඔහුට හීන්දාඩිය දමන්නට ඇත්තේ මේ කැඳවීම නම් ප්‍රහාරයකටමැයි සිතුන බැවිනි.

විශාල පිලියෙල කරන ලද කෑම මේසයක ඉස්මත්තේ ඒ ප්‍රතාපවත් මිනිසා "අපි කෑම ටිකක් කාලම ඉමු" කියා ආරාධනා කලවිට කොලට්ගේ මනස තව තවත් ව්‍යාකූලත්වයට පත්වූයේ, "මේ නම් කන්න දීල ගහන්නයි යන්නෙ" කියා සිතුන බැවින්ය.

ගැහෙන හදවතින් ඉතාමත් ප්‍රනීත ආහාර වේලකින් සප්පායම්වූ කොලට් වෙත පැමිණි සර් ජෝන්, පෙරදින පැවැත්වූයේ තමාගේ පුද්ගලික සාදයක් බවත් මින් පසු ඕනෑතරම් කාටූන් තමා ඉලක්ක කර ඇන්දාට අමනාපයක් නැතත් තමාගේ පුද්ගලික ජීවිතය අලලා එසේ නොකර ලෙස කාරුණික ඉල්ලීමක් කලේ එක් කොන්දේසියකුත් ඇතුලත් කරමිනි… ඒ කොලට් විසින් තමා ඉලක්ක කර අඳින සියලුම කාටූන්වල මුල් පිටපත තමා වෙත එවිය යුතු බව කියමින්ය.

කොලට් එදායින් පසු එතුමා ඉලක්ක කර පලකල සියලුම කාටූන් වල මුල් පිටපත යැවීමට කටයුතු කල අතර, ඔහු එතුමාගේ ප්‍රියතම කාටූන් ශිල්පියා බවට පත් වීය.

ලෙඩ ඇඳේ සිටි එතුමාගේ සුවදුක් බැලීමට එවකට රාජ්‍ය නායකයාව සිටි ජේ ආර් පැමිණියේ රනින් සෑදූ පලකයක්ද අතැතිවය… එය මිල අධික ඉතා වටිනා ත්‍යාගයක් හා සමරුවක් විය…. ඒ වනවිටත් සියලු දේපල ඔහුගේ ඇවෑමෙන් රජයට පවරා තිබුනේ ඔහු යටතේ සේවය කල සියලුම සේවකයන්ටද සෑහෙන දේපලක් හිමිකරදීමෙන් අනතුරුවය.

"ඔව් ඉතින් රත්තරනින් දුන්නම මොකෝ මේ ඔක්කොම අන්තිමේදි උඹටම නේ" කියමින් සර් ජෝන් එම පලකය අතට ගත් බව කියැවේ.

71 කැරැල්ල පිලිබදව ඔහු වරක් පවසා ඇත්තේ, "යකෝ මේ වගේ කොල්ලො සෙට් එකක් ඉන්න බවක් මම දැනගෙන හිටියනම් මේ වෙනකොට මම ඉන්දියාවත් අල්ලලා" යනුවෙනි.

මා අවසන් වරට සර් ජෝන් නම් මහා පුරුෂයා සියැසින් දුටුවේ අලව්වේ ඉන්ධන පිරවුම් හලකදී පිටුපස අසුනේ සුද්දියන් දෙදෙනෙකුට මැදිවී 1 ශ්‍රී 1 වාහනයෙන් ඉන්ධන ලබා ගැනීමට නවතා තිබියදීය… එය 1969 වර්ෂයේදීය.

එතුමා, එදත් අදත් හෙටත් මගේ හදවතේ වීරයාය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget