බැද්ද - 67, 68, 69.
“මේ සැරේ මාලෙ යන්න කලින් hammock එකක් ගන්න පිලියන්දල Oshani එකට යන්න ඕන”
මාලෙ දූපත් වාසීන් අතර ඉන්න මනුස්සකම අඳුනන එක්කෙනෙක් තමයි Affan. අපි අතරෙ පුදුම බැඳීමක් ඇති උනේ ගහෙන් ගෙඩි එන්නා වගේ.
“මමත් එනව ගෙදරට bed sheet ගන්න”
ගෙදරටම වෙලා ඉන්න මගේ බිරිඳ කිව්වෙ bedsheet ගන්නවටත් වඩා මම නැතුව මේ පාළු ගෙදර ඉන්න තියෙන කම්මැලිකමටත් එක්ක.
“ඇයි අනේ ගෙදර bedsheet නැද්ද?”
“ඒව පරණයි. දැන් දුවලත් එනවනේ”
දුවයි, බෑණයි, ලමයි දෙන්නයි ලංකාවට ඇවිල්ල මේ ඉන්න සුමාන දෙකට රට වටේම දුවන්නෙ භූමිතෙල් ගහපු ගැරඬි වගේ. ගෙදර ඉන්නෙ දවසයි නැත්නම් දෙකයි. ඒ මදිවට අපි දෙන්නවත් ඇදගෙන යන්නෙ. මට නම් ප්‍රශ්ණයක් නෑ.
මට වඩා අවුරුද්දක් නෝන බාල උනත් පහුගිය දශකය ඇතුලෙ එයා මාව පහුකරගෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ල. Jeans කලිසමටයි ටී ශර්ට් එකටයි ඩයි පෑකට් එකටයි පිං සිද්ද වෙන්න මම තාමත් වයසට වඩා අවුරුදු පහලොවක් විතර පස්සෙන් කියල කියන්නෙ වැඩිහරියක්ම මගේ ගෑණු යාලුවො. පිරිමි යාලුවො කොහොමටත් ඉරිසියාකාරයො.
“හරි හරි යමුකො ඉතින්”
කටුබැද්ද හන්දියෙන් වාහනේ හැරෙව්වෙ මල්ලිකා හෝටලේ පාන් කාලයි, පරිප්පු පීරිසියයි මතක් කර කර. ඒ දවස් වල මල්ලිකා හෝටලේට යන්න විතරයි ඕන. ඉදගත්ත ගමන් යන සෙට් එකේ කීදෙනාද, ඒ ගානට එක්කෙනාට එක ගානෙ පාන් කාලයි පරිප්පු පීරිසියයි මේසෙ උඩ. ඇතුල් වෙනකොටම පරිප්පු පහායි කියල වේටරය කෑගහන්නෙ හරියට ජීවිතේට වෙන මොකවත් කන්නෙ නෑ වගේ. කාලත් නෑ, ඒක වෙන කතාවක්.
කාල සල්ලි නොදී ගිය දවස් නැතුවත් නෙමෙයි. එහෙම යන දවස් වලට අපේ සෙට් එකේ ඉන්න බොලඳ එකෙක් "හරි නෑ මචං වැඩේ" කියල කියන අවස්ථාවලදී අපේ හිතත් ටිකක් හෙල්ලෙනව. හරි බං හැමදාම කරන්නෙ නෑනේ. අනික, බැද්දෙ කොල්ලො කාපු පරිප්පු වලින්ම මල්ලිකා මුදලාලි උගේ දුවට මෙලහකටත් දෑවැද්ද එකතු කරල ඇති. කොහොම උනත් අපේම ගොබිලෙක් කවද හරි මෙතනම බින්න බැහැල ඒකටත් වග කියාවි කියල හිත හදාගත්ත.
ඉස්සර නම් හවසට කටුබැද්දෙ හොස්ටල් එකේ ඉඳල හන්දියට ඇවිල්ල පාන් කාලයි පරිප්පු පීරිසියයි කාළා ආපහු පයින්ම යන එක සුලු දෙයක්. පාරෙ බස් එහෙමකට තිබුනෙත් නෑ. ආවත් අපි නගින්නෙත් නෑ. නැග්ගොත් පාන් කාලයි පරිප්පු පීරිසියයි කන්න සල්ලිත් නෑ. එහෙම හිටපු අපි නේද මේ, අද මිලියන ගානක් වටින වාහනේක නැගල එදා 67 පෙම් කරපු කෙල්ලත් එක්ක බැද්ද ඉස්සරහින් චන්ඩිය වගේ හැටට හැටේ යන්නෙ කියල හිතනකොටම මගෙ වම් අත පැත්තෙ කැම්පස් එක.
ඉබේම වාහනේ ඉබි ගමනට මාරු උනා. පපුව හිරවෙලා වගේ දැනෙනව. ඇස් දෙක බරවෙලා කඳුලින් තෙත් වෙනව දැනෙනව. ඇයි මම මෙච්චරම සංවේදී වෙන්නෙ. අමතක කරන්නම බැරි සුන්දර අතීතයක මම අතරමං වුණා.
“පිටි පස්සෙන් කවුද හෝන් ගහනව”
නෝනට ඉවසිල්ලක් නෑ.
“හරි ඌට යන්න අරිමු”
මම හොදටම මගේ වාහනේ අයිනට ගත්ත. ඌ මට බැන බැන යනවද කොහේද. ජීවිතේට කැම්පස් ගියේ නැති එකෙක්. ගියත් බැද්දෙ වෙන්න නම් බෑ. බැද්ද කියන්නෙ ලෝකෙට තාක්ෂණය බෙදන උල්පත. ඒ විතරක්ද? ඇයි අපි වගේ ……..මාර ආත්ම වර්ණනාව.
===========
“උඹ මොන ඉස්කෝලෙන්ද ආවෙ?”
සින්නො සෙට් එකක් මාව වට කරගෙන. නුවර සිල්වෙස්ටර කිව්වොත් ශුවර් එකට රැග් එක දරුණු වෙනව. මුං සිංහල කම ඔලුව උඩ තියාගෙන ඉන්න දූපත්වාසී සෙට් එකක්ද කොහේද කියලයි මට හිතුනෙ.
“මහින්ද කොලෙජ්..... ගෝල්”
මම පොඩි ගැම්මකුත් දාල කිව්වෙ.
“මොකද්ද කිව්වෙ….. ආයෙත් කියපං බලන්න”
එතන හිටපු ටිකක් බොඩිය දාපු එකා ඇහුවෙ, හරියට ඊළග උත්තරේ මොකක් උනත් තොට දෙන්නෙ හොම්බ රිවට් වෙන්න කියන්න වගේ. මොනව කරන්නද පොඩි කාලෙ ඉදන්ම අනුගමනය කරපු “යකා ආවත් භය වෙන්න එපා” ප්‍රතිපත්තිය මතක් කරගත්ත.
“මහින්ද කොලෙජ් ගෝල්”
ටිකක් බර අඩු කරල දාල කිව්වෙ ලෝකෙ මොන හත් දිග්බාගෙට ගියත් මහින්දෙම නැතත් ගාල්ලෙ එකෙක් ඉන්නව කියන හැඟීමෙන්.
“එහෙනං උඹ කොලෙජ් එකක..... යකෝ මහින්ද නයිට් ඉස්කෝලෙ.... සර්... කියාපං... ඒ මදිවට ගෝල්….ඒක කියන උජාරුව.... ගාල්ලෙ බයියෙක්”
එතන හිටපු වක් අත්ත වගේ එක අතක් ඇද එකෙක් කිව්වෙ හරියට වැඩ්ඩෙක් වගේ.
හිටපල්ලකො ගාල්ලෙ වැඩ කවදහරි පෙන්නන්න කියල හිතාගත්ත.
“ගාල්ලෙ මහින්ද නයිට් ඉස්කෝලෙ සර්”
“උඹල මහලොකුවට හිතාගෙන ඉන්නෙ කොලෙජ් කියල . .. ගලවපං කලිසම”
මම ටිකක් ඇඹරුනා වගේ පෙන්නුව.
“මක්කටෙයි තෝ ලැජ්ජ වෙන්නේ….”
ඒ ගමන පැත්තකට වෙලා හිටපු පඟර නැට්ටෙක්... කරුමෙට මම ගාල්ලෙ. රත්ගම උනානම් මූ කතාව දින ඇදිල්ලට මේ වෙනකොට පඟර නැට්ට ඉස්පිරිතාලෙ plastic surgery වාට්ටුවෙ හොම්බ රිවට් කරගෙන.
කළිසමේ ඉස්සරහ බොත්තම ගලවපු මම මාපට ඇඟිලි දෙක ජොකිය අස්සෙන් දමලා ආයෙත් ටිකක් ඇඹරුනා.
මට කොහේද ලැජ්ජාවක් වට පිටාවෙ කෙල්ලොත් නැති එකේ. මුං තාම මගේ ගැන දන්නෙ නෑ. ලඟ පාතක තියා හැටහතේ කටුබැද්දෙ කොහේද කෙල්ලො. හිටියෙත් තුන් දෙනයි උං එන්නෙත් එලියෙ ඉදගෙන. hostel පැත්තෙ එන්නෙ නෑ. එන්න අවසරයක් ඇත්තෙත් නෑ.
“ගලවන්න නේද කිව්වෙ .... කොහොමත් ඕක ඉතින් හූණු බිජ්ජක් විතරනේ ඇත්තෙ”
ඒ ගමන එතන හිටපු කොටා ෆෝම් වෙලා.
මම එක පාරටම ජොකියත් එක්කම කලිසම පහත් කෙරුව. මුන් ඔක්කොම හොල්මං වෙලා. එහෙම කරලත් මම නිකන් හිටියෙ නෑ. පුදුම සනීපයක් කියන්න වගේ හිනාවකුත් දාල ඉනෙන් පහල හුලං වදින්න වගේ හෙල්ලුවා.
“කවුද යකෝ තොට ඔක්කොම ගලවන්න කිව්වෙ…. නොදකිං ….වහගනිං තොගෙ ඔය හූණු බිජ්ජ”
“බාගෙට වැඩ නෑ සර්….ගාල්ලෙ කොල්ලො ගලවනව නම් ඔක්කොම”
“ආ….එහෙමද? ….රිංගපිය ඔය මේසෙ යටට”
කලිසම අඳින ගමන්ම මේසෙ යටට රිංගුවත් වැඩිවෙලාවක් ඉන්න දුන්නෙ නැත්තෙ මේ වෙනකොට මගේ හැටිත් සින්නො තරමක් දුරට අවබෝධ කරගත්ත නිසා වෙන්න ඇති කියල මම හිත හදාගත්ත.
“වරෙං එලියට”
එතන හිටපු හතර රියං එකා ගෝරනාඩුවක් දැම්ම.
“අයියෝ සර්…... මෙතන ඉන්නකොට අමුතුම කෝනෙකිං ලෝකෙ දිහාව බලන්න පුලුවන්. මම තව ටිකක් ඉදලම එන්නම්. මම බොරුද කියන්නෙ කියල චුට්ටක් ඇවිල්ල බලන්න සර්”
මේ වෙනකොට සින්නො ගොඩක් එකතුවෙලා. කුටු කුටු ගානව. මොනව උනත් කතා කරන්නෙ මේකව මට්ටු කරන්නෙ කොහොමද කියල වෙන්න ඇති.
“තෝ ගානට වැඩි පිස්සෙක්. මේක හොදට අහ ගනිං….මීට පස්සෙ තොට රැග් එක දෙන තැනකටවත් එන්න තහනම්….. තේරුනාද?”
මචං මූට දෙන හොඳම දඬුවම තමයි මූ රැග් සුමානෙම කොන් කරල තියන එක. මූට ඒ ආතල් එක දෙන්න එපා කියල තමයි සින්නො කතා වෙන්න ඇත්තෙ.
කාල වරෙංකො. මම ඉල්ලගෙන කෑව නේද කියල හිතුනත් එයාල කොහෙද මාව නවත්තන්නෙ කියල රැග් එක තියෙන්නෙ කොහේද මම බලෙන්ම එතනට ගියා. සින්නො මට ගහල එලෙව්වෙ නැතුව විතරයි. එයාල හිතුවෙ මම මට්ටු උනා කියල. මගේ ප්ලෑන් එක ඒක නෙමෙයි ඔක්කොම සින්නො අතරෙ මට ඕන උනේ නොම්මර එක වෙන්න. ඒකට මම සින්නොන්ගෙ අවධානය ගන්න ඕන පුලුවන් තරම් ඉක්මනට.
දවස් දෙකෙන් මේ සැරේ මාර පිස්සෙක් ඇවිල්ල කියන තරමට මම ප්‍රසිද්ධ උනා. මම දිනුම් කියල රැග් සතිය මාරම ජොලියකින් හිටියත් මම දන්නෙම නෑ සින්නො මට අන්තිම දවසෙ හොම්බෙං යන්න ප්ලෑන් ගහල. ඒ සතියම මම ආවෙ ගියේ සින්නොන්ටත් වැඩිය උජාරුවට.
=================
Oshani එකෙන් Hammock එකක් ගත්තෙ බොසාගෙ මල්ලි Affan ට තෑගි දෙන්න. නෝනත් bed sheet මිටියක්ම අරගෙන වාහනේට නැග්ග.
“අපි දැං කොහෙද යන්නෙ?”
“වෙන යන්න තැනක් නැහැ නේ….පිලියන්දලින් හයිවේ එකට දාල ගාලු යමු”
මම මගේ හිත බැද්දෙ ගාල් කරල වාහනේ සුක්කානම අතට ගත්ත.
====================
අද කොහොමද දන්නෙ නෑ. හැට හතේ hostel එකේ ගොඩනැගිලි දෙකයි තිබුනෙ. Block A සහ Block B බොල්ගොඩ ගඟ පේන මායිමේ. හරිම සුන්දර පරිසරේ. කාමර වල බැල්කනියට බොල්ගොඩ ගඟ පේනව.
මම මගේ කාමරේට ගියා. එක කාමරේට දෙන්නයි. මගේ රූම මම වගේම කෙසඟ සිරුරක් තිබුන ගුණේ. හරිම විනීත ලැජ්ජාශීලී කුලියපිටියෙ පැත්තෙ ලමයෙක්. මට හිතුනත් වැරදි මිනිහත් එක්ක වැටුනෙ කියල මම තදින්ම අධිශ්ඨාන කර ගත්ත මමත් විනීතව හැසිරෙනව කියල. මගේ පඩත්තල වැඩ මෙයාට අල්ලන එකක් නෑ.
ඒකෙත් හැටි. මට විනීතයි කියල හිතෙන හැම දෙයක්ම සරලම දේවල් උනත් ගුණේ දැක්කෙ හරිම අවලං කියල වෙන්න ඇති. හාපුරා කියල ගෙදරින් දුන්න සරම තවම බෑග් එක ඇතුලෙ. ඒක එලියට ගන්නවත් මගේ තුන් හිතකවත් තිබුනෙ නෑ. ඒ තරමටම මම සරම් අඳින්න කම්මැළියි.
ගෙදරදි අපේ කාමරේ මමයි අයියයි. නංගිලට ඇතුල්වීම තහනම්. සරම අඳින්න හරිම හොරයි. අපි ඉන්නෙම ජොකිය පිටින්. ඒ පුරුද්දට වෙන්න ඇති මම කලිසම ගැලෙව්වෙ. ගුණේ එකපාරටම අහක බලාගත්ත. මට වැඩේ තේරුනෙ මෙයා කොච්චර කතා කෙරුවත් උත්තර දෙන්නෙම නැතුව අහක බලාගෙන ඉන්න කොටයි. කොහොම උනත් ගුණේට මගේ හැසිරීමත් එක්කම භාෂාවත් අරහං වෙන්න ඇති. පහුවදාම Warden ට කියල කාමරේ මාරු කරගෙන. මගේ කාමරේ මම තනි වුනා. Warden මට කන්තෝරුවට එන්න කියල පණිවිඩයක් එවල තිබුන. එයා කන්තෝරුවෙ හිටියෙ නැති නිසා නිල නිවාසෙ පැත්තට ගියේ කන්තෝරුවෙ පියන් යන්න කියාපු නිසයි.
“අයිසෙ කාමරේ ඇතුලෙ උනත් විනීත විදියට හැසිරෙන එක තමුසෙගෙ වගකීමක්. මම මේක පලවෙනි සැරේ නිසා රිපෝට් කරන්නෙ නෑ. තමුසෙ තනියම ඉන්නව”
එහෙම අවවාදයක් දීල මාව පිටත් කරනකොට තමයි මම දැක්කෙ. ලස්සන කෙල්ලෙක් එයාගෙ නිල නිවාසෙ මල් වලට වතුර දානව. අත අරින්නෙ නෑ. හැමදාම මොකක් හරි ලෙඩක් දාගෙන මෙතනට එනව කියල හිතාගත්තත් ඒ මහඟු අවස්ථාව බැද්දෙන් පිටවෙලා එනකල් ලැබුනෙ නෑ. අපි වගේ කොල්ලෙක් එක්ක යාලුවෙන්න තිබුන අවස්ථාව ඒ කෙල්ලට අහිමි වෙලා ගියා වගේම බැද්දෙ කොල්ලෙක් බෑණ කරගන්නෙම නෑ කියල හිතාගෙන ඉඳපු වෙන්ඩ මාමණ්ඩියගෙ ප්‍රාර්ථනාවත් ඉශ්ඨ වෙන්නත් ඇති.
හැමදාම උදේ පහට සින්නො ඇවිත් අපිව ඇහැරවලා කොරිඩෝව දිගේ පෙල ගස්සනව. සමහරු එන්නෙ මල පැනලා, කබ කඩ කඩ. ඒ ගෙවල් වල බබාල වගෙ හැදිච්ච උන්. උන්ට මේකට හැඩ ගැහෙන්න හරිම අමාරුයි. බොහෝ දුරට උන් ගෙදර ඉදලා ඉස්කෝලෙට කාර් එකෙන්ම ගිය එවුන්. හොර කුරුම්බයක් දෙකක් කඩන් කන්න තියා සල්ලි වලට වත් බීල නැති, ඇපල් ජූස් බීල, සොසේජස් කාල හැදිච්ච උන්. සින්නො උන්ව හොඳට අදුනනව. සින්නො අතරත් එහෙම එවුන් ඉන්නව. උන් මේ වෙනකොට ගමෙන් ආපු කොල්ලන්ටත් හොර කුරුම්බ කඩල දෙන සයිස් එකට ඇවිල්ල. රැග් එකේ සොමිය තියෙන්නෙ එතන කියල මටත් තේරුම් ගියේ රැග් සුමානෙ ඉවර උනාමයි.
රැග් එක මට තහනම් උනත් ඉස්සෙල්ලම පෝලිමේ ඉන්නෙ මම. "දුප්ප.. පල පිස්ස කියල එලවනකල්ම ඉන්නව. කොහොමටත් උදේ පහට නැගිටලා කටුකැලේ ගෙදරින් පටන් ගත්තාම එක හුස්මට නුවර වැව රවුම වටේම දුවල ආපහු ගෙදර එන්නෙ, අතර මඟ ගෙදරක පඩිය උඩ තියෙන කිරි බෝතලේකුත් හිස් කරල. ඇත්තටම ඒ දවස්වල මහනුවර තිබුන ඒ සුන්දර අව්‍යාජ පරිසරය යාන්තමට හරි වෙනස් කෙරුවෙ ගාල්ලෙන් පදිංච්යට ගිහිල්ල හිටපු අපි වගේ මදාවි කොල්ලො.
උදේ රැග් PT එක මට තහනම්. පෝලිමට ඉන්න කොල්ලො අතරට ගිහිල්ල හැංගිලා ඉන්නෙ සින්නෙක් ඇවිල්ල එලවනකල් බලාගෙන. අහුවෙලා අල්ලගෙන එලවන කොටත් පුදුම ආස්වාදජනක හැඟිමක්. දුකක් නැතත් ඒ දවස්වල හීන් ආඩම්බරේකුත් තිබුනෙ අලුත් කොල්ලො ටික දවස දෙක යනකොට මටත් සලකන්න ගත්තෙ සින්නෙකුට වගේ. සමහරු හිතාගෙන ඉඳල තියෙන්නෙ මමත් සින්නෙක් කියල. උන්ට ඇත්ත වැටහෙන්න ගත්තෙ ලෙක්චර්ස් පටන් අරගෙන මමත් අලුත් කොල්ලොත් එක්ක එකට ඉඳ ගන්නකොට වෙන්න ඇති. සමහර දවස්වල බලෙන්ම රැග් වෙන්න යනකොට මට ඇහෙනව සින්නො කතා වෙනව මූ නම් ගානටම වැඩියි, ඉල්ලගෙන කන්නම තමයි හදන්නෙ කියල. මට ඒ කතාවල හරය තේරුම් ගියේ රැග් එකේ අන්තිම දවසෙ.
අද අන්තිම රැග් දවස. මට නම් අදත් එකයි හෙටත් එකයි. මම රැග් එක කාපු එකෙක් නෙමෙයි නේ. ඇවිල්ල දවස් දෙකෙන් සින්නෙක් ගානටම වැටිල ඉන්නකොට මෙන්න බොලේ පරන බෑග් එකකුත් අරගෙන හතර රියන් පොරක් අහිංසක මූණකුත් දාගෙන ඉස්සරහට එනව.
“මට තරහ නැතුව A block එක පෙන්නනවද?”
මූ නං ගමේ ගොබිලෙක් සුමානයක්ම පහුවෙලා එන්නෙ. නියමයි. දැං මගේ වාරෙ. දෙන්නං ජම්බු කියල හිතාගත්ත.
“තමුසෙ මොකද මේ පරක්කු. දැං සුමානයක් ගිහිල්ල”
“තමුසෙ පණ්ඩිතය වෙන්නෙ නැතුව A block එකේ නොම්මර 15 කාමරේ පෙන්නනවකෝ”
අම්මට හුඩු මුගේ ඝනකම තව කාමරෙත් පෙන්නපන්කො. හොම්බට දෙකක් අනින්නත් බෑ වැඩිය මුකුත් කියන්නත් බෑ. මූ මට දමල ඇන්නොත් මම නවතින්නෙ බොල්ගොඩ ඇලේ.
“ඔය ඉස්සරහ තියෙන්නෙ... යනවකො... අපි එන්නම් හවස් වෙලා තමුසෙව පිලිගන්න”
මේ වෙනකොට සින්නො ටික ඔක්කොම නැතත් ඕනම කට්ටිය නම් වලින්ම මම දැනගෙන හිටිය.
පඟරනැට්ට - ජයන්ත අහංගම
ජයන්ත කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ පෙනහැල්ලත් එක්ක බද්ධ වෛරයකින් පුලුවන් තරම් ඉක්මණට කාස වාට්ටුවට යන්න වෙර දරපු ලංකා දුම්කොල සමාගමේ ලොකු කොටස් කාරයෙක්. අහංගම කිව්වට මූ අහංගම කඩ පිළකටවත් ගොඩ වෙලා නැති එකෙක්.
දිගා නොහොත්... අත්තෙ... අත්තනායක
කෑගල්ලෙන් ආපු වැඩි කතා බහක් නැතුව හිටිය, අඩි හයක් විතර උස, හීන්දෑරි, no nonsense, ජාතියෙ කෙලින් වැඩ කරන කෙනෙක්. බැද්දෙන් ගියාට පස්සෙ වටින් ගොඩින් ආරංචි වුනා ජවිපෙ ප්‍රබල ක්‍රියා කාරිත්වයක් දැරුව කියල.
පෙමා නොහොත් SPBR නොහොත් සත්‍ය ප්‍රේම භෘංග රාජය - ආනන්ද සිල්වා
කුඩා කල සිටන්ම අපි එකට හැදුන වැඩුන පූජාපිටිය ග්‍රාමයෙන් ආපු හැන්ඩියෙක්. නංගිලම පෝලිමක් හිට්යත්, ඒ පවුලට මට එකතුවෙන්න තිබුනු ඉඩකඩ ඇහිරිලා ගියේ පොඩි කාලෙ ඉඳලම මට ගාල්ලෙ ආත්මීය බැඳීමකින් පෙම්වතියක් ඉඳපු නිසාමත් නෙමෙයි. ලස්සණම නංගි ලංකාවෙ අග්‍රගණ්‍යම චිත්‍ර ශිල්පියෙක් එක්ක ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් දෙමවුපියන්ගෙත් ආශිර්වාද මැද දීග ගිය නිසයි.
අබේ - අබේසිංහ.
වැඩි හැලහොල්මනක් නැති සින්නො අතර හිටපු මොල කාරය. තාත්ත ප්‍රසිද්ධ දෙපාර්තමේන්තුවක ඉහලම නිලය දරමින් සිටි නිලයට නොගැලපෙනවායැයි එම වකවානුවේ අප සිතා සිටි ජාතික ඇදුමින් සැරසුණු ඉතා නිහතමානී පුද්ගලයෙක්.
බූ මාම - විජේසිංහ
මලත් හිනා ගනයේ මාතලේ සිට පැමිණි මට දුර නෑකමක් ඇති නිතරම සිනාමුසු මුහුණක් හිමිව තිබූ තරමක ඉක්මන් කේන්ති කාරයෙක්.
ජයේ නොහොත් කොටා - ජයතිස්ස
මුලු ලෝකෙම තියෙන්නෙ එයාගෙ ඉණත් බෙල්ලත් අතර කියල හිතාගෙන තමන්ගෙම පපුවට ඉතාම ආදරෙන් සලකපු, එයටම සරිලන ගමන් විලාශයක් ආරූඪ කරගත්, කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිණ සිටි, ඕනෑම ප්‍රස්නයක් හොඳ නරක කිරා මැණ බැලූ පුද්ගලයෙකි.
අත කොටා - ගජේ
තම අත පිලිබඳව අදටත් අප නොදන්නා රහසක් සඟවාගෙන සිටින, ක්‍රිකට් ක්‍රීඩාවේ දඟර පන්දු යැවීමට මුරලිදරන්ටත් වඩා ඇලවූ අතක් හිමිව තිබූ මොහු, කිසිවකුත් නොකරන අමාරුම අංශය වන Chemical Engineering තෝරාගත්, එවකට සිටි හොඳම කපු මහතාට හිමි ගෞරවය ලබාගත් ඉතාමත්ම සංවර පුද්ගලයෙකි.
අහිංසකය - ප්‍රේමෙ
ගජේට ඉහත සඳහන් ගෞරවය සිය ජීවිතය පවා පරදුවට තබා බැද්දේදීම හිමිකරදුන් ගජේටත් වඩා සංවරයැයි කිව හැකි ඉතාමත්ම අහිංසක චරිතයකි. දිනපොත සිය බිරිඳටත් වඩා ආදරෙන් සුරැකි මොහු සන්තකව, මෙම සටහන් මටත් වඩා නිවැරදිව ලිවීමට හැකියාවක් ඇතැයි මට සිතෙන වාර අනන්තය.
ගාමිණී - ගාමිණී සිල්වා
ගාමිණීට නම් පටබැන්දෙ නැති හේතු කීපයක්ම තිබුන. එකක් ලංකාව නියෝජනය කරපු ප්‍රසිද්ධ උසටම සරිලන සිරුරක් හිමි basketball ක්‍රීඩකයෙක්. අනික ඕනම දේකට අපිත් එක්ක සම්බන්ධ උනත් එයා hostel එකේ හිටියෙ නෑ. ආවෙ ගියෙත් එයාම එලවගෙන ආපු මෝටර් රථයකින්.
මයිල නොහොත් හේමෙ - හේමචන්ද්‍ර
ඇඟ පත පුරාම වලහෙක් වගේ මයිල් තියෙන නිසාලු එහෙම නමක් වැටුනෙ. කිසි දිනක අඩුම වශයෙන් කමීසය නැතුවවත් එලියට එන්නෙ නැති නිසා දැකපු කෙනෙක් නම් නැති තරම්. කඩිසර ගමනකින් අත පය විසි කර කර ඇවිදපු මෙයාට අපි කවදාවත් නොදැකපු මයිල් ගස් පැත්තකට තියල කඩිය කිව්වනම් ඊට වැඩිය හොදයි කියල අපි නිතර කතා වුන වාර අනන්තයි.
PC - විජේවර්ධන
කට්ටම කලු, තාත්ත ලංගමේ වැඩ කරපු හොම්බට දමල ඇන්නත් හරි මචං කියන ජාතියෙ කොට මොඩල් එකක්.
මම කෙලින්ම ගියේ සෙට් එකම ඉන්න දිගාගෙ කාමරේට. මුන් ලොකු සාකච්චාවක. මාව පඩේකට ගනං ගත්තෙ නෑ.
“මචං මාර……”
මම අමාරුවෙන් .කතාව පටන්ගන්න හදන කොටම ....
“ටිකක් හිටපන්කො….මල කරදරේ බං උඹෙං”
ආයෙත් මුන් ටික බැංකුවක් කඩන්න වගේ ලොකු ටෝක්. ටික වෙලාවක් ඉන්නකොට ඔන්න කොටා කතාව පටන්ගත්ත.
“මළ කරදරයක් බං උඹ…..මොකද්ද ප්‍රස්නෙ”
“නෑ…. මහ අලුගුත්තේරු එකෙක් A බ්ලොක් එකේ 15 කාමරේට ආව…. ඌ මටත් පාට් එක දාල ගියේ”
“හරි ඉතිං උඹ මොකද්ද දැං කියන්නෙ”
“යමු... ඕකට රැගක් දෙන්න”
“ඉතිං ඕකට අපි මොකටද... උඹලත් දැං සින්නො නේ... කොල්ලො ටිකක් අරගෙන ගිහිල්ල දීපං හොද රැගක්…..උඹලත් මේව පුරුදු වෙන්න ඕන...දන්නවනේ…..ලිමිට් එක පන්නන්න බෑ හරිද…”
කුරුල්ල වගෙ මම ඉගිල්ලුනේ. හතරවටේම ගිහිල්ල හොද කොල්ලො ටිකක් අල්ල ගත්ත. කොහොම නමුත් ආපු උන් ඔක්කොම මම වගේම ඕන කුණු කුජීතෙකට කර ගහන එවුන්. කෙලින්ම ගියේ 15 කාමරේට දෙන්නම් අද ඕකට චූ යන්න කියල හිතාගෙන.
කාමරේ දොර ඇරල. මොකද්දෝ අමුත්තකුත් දැනුනත් ඒක එච්චර ඔලුවට ගියේ නැත්තෙ චන්ඩිකම ඉහටත් උඩින් ගිහිල්ල තිබුන නිසා. මූ ඉන්නව අසරණ වෙලා වගේ. කාමරේ ඇඳන් එකකවත් මෙට්ට ඇත්තෙත් නෑ. මම ඉස්සර උනා.
“උඹ නේද මේ චන්ඩිය.... මේ අහගනින් හොඳට….උඹ මොන තූත්තුකුඩියකින් ආවත් මේක බැද්ද කියල මතක තියාගනින්.... මෙහේ ඉන්න ඕන අපි කියන විදියට”
මූ බිම බලාගෙන ඉන්නව. චන්ඩි පාට් නෑ. මමත් අර නකුට පස්ස පැත්තෙ ගහගත්ත බල්ලෙකුට තඩි බානව වගේ දේසනාව.
ඉස්සෙල්ල මූට කියල දෙන්න ඕන මෙහේ තියෙන සම්ප්‍රදායයන් ටික. නැත්නම් මූ ඔලුව උඩට නගිනව. ඔහොම ටික වෙලාවක් යනකොට මූ අත් දෙකෙන්ම මුගේ ලිංගෙ අල්ලගත්තෙ චූ යන්න වගේ.
මම මේකව භය කලා වැඩිද. මේකා මහ බොලඳ එකෙක්.
“පලයන්... පලයන්... ගිහින් චූ කරල වරෙන් නැත්නම් අපිට මේ කාමරෙත් හෝදන්න වෙනව”
මූ කියන පරක්කුවට එලියට පැන්නෙ දොරත් වහගෙන අගුලත් දාගෙන. අපිට තේරුනේ නෑ. යතුර අපි එනකොටත් එලියෙන් එල්ලි එල්ලි තිබුනෙ.
තප්පර ගානයි ගියේ දෙපැත්තෙ කාමර දෙකෙන් බිත්තියට උඩින් වරුසාවක් වගේ බොර පාටට කුණුම කුණු ගඳ ගහන වතුර පාරවල් ආවෙ ආයෙත් ඉතින් සතියක්ම නෑවත් හරියන්නෙ නැති ගානට. අපි ටික දෙනා විනාඩි පහක් විතර සති ගානක් පල් කරපු කුණු වතුර නෑව. පස්සෙ බලනකොට අර ඇවිල්ල තියෙන්නෙ සින්නන්ගෙත් සින්නෙක්.
මොනව කරන්නද ඕක තමයි ගානට වැඩි උන්ට දෙන අන්තිම රැග් එක කියල සින්නො ටික අපිටම කියල කාමරේ සුද්ද කෙරෙව්ව.
ඒ කොහොම උනත් රැග් එක අවසාන දවසෙ සින්නො දානව හොඳ පාටි එකක් මොරටුවෙ බාර් එකක. ඒකට යන්නෙ බොන සින්නො විතරයි.
“උඹ බොනවද?”
ඒ වෙනකොට බියර් බීල තිබුනත් සෙකන්ඩ් වෙන්න බැරිනිසා ඔව් කිව්ව
“හරි වරෙන් යමං අපිත් එක්ක... අපේ ගානෙ ඩ්‍ර්න්ක් එකකට.. මේක හොදට මතක තියා ගනිං...උඹ තමයි මේ බැද්දෙ ඉතිහාසෙටම ඉස්සෙල්ලම සින්නොත් එක්ක රැග් එක ඉවරවෙන්නත් කලිං එකට ඩ්‍රින්ක් එකක් ගන්න පලවෙනිය.... උඹ ගාණට වැඩි උනාට හොඳ එකා….ඒක නිසා අපි උඹව එක්ක යනව….”
එදා අපි මොරටුවෙ බාර් එකෙන් ජින් බිව්වෙ. එදා තමයි ජීවිතේටම ඉස්සෙල්ලම ජින් කටේ තිබ්බෙ. හතරට නැමිල බාර් එක ඇතුලට ගිය මම එලියට ආවෙ මොරටුවටම චන්ඩිය වගේ. ටික දුරක් යනකොට එන්න එන්නම මටත් නොදැනිම මගේ කට සැර වැඩි වෙනව වගේ. පාර අයිනෙ තිබුන පරණ බාල්දියක් මට පෙනුනෙ පාර හරස් කරගෙන ඉන්න සතෙක් වගේ.
අඩෝ හු….කියාගෙන ඌට මම පයින් ගහපු පාර ඌ වීසිවෙලා ගිහිල්ල පාර මැද වැටුන.
ඒ එක්කම හෙණ ගෙඩියක් පහත් වෙන ගානට මගේ ඔලුවට ගාම්ණීගෙ අර බාස්කට් බෝලයක් තනි අතට අල්ලන යෝධ අත්ල පාත් උනේ මගේ අර තරම් අමාරුවෙන් බඩට දාගත්තු ජින් එලියටම වීසිකරගෙන. ඩෝප් එක කොහේ ගියාද දන්නෙ නෑ.
“අඩෝ... කෑවනම් බිව්වනම්... බැද්දෙ නම්බුවත් ආරක්ෂා කරගෙන සද්ද නැතුව Hostel පලයන්”
එදා ඒ කාපු කණේ පාර අර්ධ දශකයකටත් පස්සෙ මට අද වගේ මතක් වෙනව. මම ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්ත. ඊට පස්සෙ අද වෙනකල්ම බීල කෑගහන්න ගියෙත් නෑ ගුටි කෑවෙත් නෑ.
" Nescafe එකක් බීලම යමුද "
දන්නෙම නැතුව service එක ලගට ඇවිල්ල
" Nescafe එකක් බීලම යමුද "
දන්නෙම නැතුව service එක ලගට ඇවිල්ල
පසුව ලියමි: මෙහි එන සියලුම සිදුවීම් 67, 68, 69 වර්ෂයන්හි සත්‍ය සිදුවීම් ඇසුරින් මවිසින් ලියන ලද්දේ වූවද අර්ධ ශතකයක් තුල මතකයෙන් ගිලිහී ගිය නම් ගම් බොහෝ ඇති බැවි මා හොදාකාරවම දනිමි. වසර තුනක සුන්දර ඉතිරිය ඉඩ ලත් සැනින් ලිවීමට අදහස් කරමි.
Post a Comment