තනුජා

"We all die...The goal is not to live forever, but to create something that will" ... American Novelist Charles Micheal Palahnuik...

"අප සියල්ලන් නැසෙත්.. අරමුණ විය යුත්තේ අමරණීයත්වය නොව, අමරණීය යම් දෙයක් ඇති කිරීමය..." අමෙරිකානු ගත්කරු චාල්ස් මයිකල් පලානුයික්...

අවසන් සමුගැන්ම…. 1948 - 2048

වසර: 2048. 
දිනය: පෙබරවාරි 29

හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑ ගනනකට පසුව තරුණයන්ගෙන් එකමුතු ව සැදි රජයක් විසින් සාමකාමී ව ඇරඹි දේශපාලනික, ආර්ථික සමාජීය විප්ලවය ඵල දරමින් තිබූ අවදියකි වසර 2048. 

රජයේ සියලු ම අංශ ඉතාමත් කාර්‍යක්ෂමව සියලු කාර්‍යයන් ඉටු කරමින් සිටි අතර ක්‍රමයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් ම රාජ්‍යයන් අතරින් සත්වන ස්ථානයට පත්ව සිටියේ ය.... කලක් ඉතාමත් ම දූෂිත දේශපාලනඥයන් ගෙන් පිරී තිබී මේ වන විට සම්පූර්ණයෙන් ම දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් සතු රටක් හැටියට ලොව පුරා ප්‍රචලිත ව ඇති ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්තියෙන් ම පාරාදීසයක් වී වසර ගණනාවක් ඉක්ම ගොස් තිබුණි…. එවකට පාර්ලිමේන්තුව අරක් ගෙන සිටි දූෂිතයන් සියල්ලෝ ම පාහේ ලංකාව හෝ ජීවිතයෙන් සමුගෙන තිබූ අතර සෙස්සෝ ඉතාමත් ම විනිවිද භාවයකින් පවත් වන ලද නඩු විභාගයන් ගෙන් අනතුරු ව අධි ආරක්ෂිත සිර ගෙවල් තුළය.

සියලු යස ඉසුරින් පිරි මෙරටෙහි වැසියෝ දියුණු කරන ලද සූර්‍ය හා ජල විදුලි බල ශක්තීන්ගෙන් පමණක් නොව ආහාර පාන සෞඛ්‍ය සේවා අතිනුත් ස්වයංපෝෂිත වී සිටියෝ ය…. විදේශ සංචාරක පුරවර මුළු රට ම සිසාරා ගොඩ නැගී තිබූ අතර සියලු ම ගමනා ගමන පද්ධතීන් සඳහා ද යොදවා ගන්නේ මෙරටෙහි ම නිපදවාගත් විදුලි බලය නිසාවෙන් ලොව අංක එකේ සූර්‍ය බල ශක්ති නිපදවන්නා ලෙස නම් දරා සිටිනා කාල වකවානුවකි.

මෙ දින රාජ්‍ය අනුග්‍රහයෙන් රටේ සුපතල ලේඛකයකු වන රංබණ්ඩා බාසුර ගේ සිය වන උපන් දින උත්සවයේ වැඩ කටයුතු කොළඹ වරාය නව නගරයේ තරු හතේ ශ්‍රී ලංකාව මුලින් ම දූපතක් ලෙස හඳුනා ගත් ටොලෙමී ට උපහාරයක් ලෙස නම් කළ "සලිකේ" හෝටලයේ යුහු සුලුව පිළියෙල වෙමින් තිබුනේ අතිගරු අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික අධීක්ෂණය යටතේ ය.... 

බාසුර ඉපදී තිබුනේ මහනුවර දිස්ත්‍රික්කයේ එවකට ඉතා පිටිසර ගම්මානයක් ව තිබූ අලකොලංග ග්‍රාමයේ දරුවන් සත් දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා හැටියට ය…. පලමු විවාහ බන්ධනය දෙදරා ගොස් නැවත විවාහයකට නො පිවිසි ඔහු මැදි වියේදී බිඳී ගිය පෙම් සබඳතාවයක් හේතුවෙන් තනිකඩ ජීවිතයක් ගත කළ බව ප්‍රසිද්ධ රහසක් ව පවතී…. වයසින් අවුරුදු සියයක් වුව ද මනා සෞඛ්‍ය සම්පන්න සිරුරකින් හෙබි ඔහු, අද දින මෙහි පැමිණීමට නියමිත ව තිබෙන්නේ ද තනිව ම ඔහුගේ අධි සුඛෝපභෝගී ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදිත මෝටර් රථය සියතින් ම පදවාගෙන ය.

ජාතික වස්තුවක් බඳු මෙම ලේඛකයාගේ සියවන උපන් දිනය සමරන අද දින මෙයට සමගාමී ව ජාතික පුස්තකාල දිනය හා වසරේ හොඳම නව කථාවට හිමි ත්‍යාගය පිරිනැමීම ද මෙදින ට යොදා ගැනීම අතිගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් මත සිදුවන්නක් හෙයින් අති මහත් සාහිත්‍යධරයන් පිරිසක් සහභාගී වීමට නියමිත අද දින ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සකස් වෙමින් තිබුණි.

දෙස් විදෙස් ප්‍රවීන ලේඛකයන් රැසකගේ නිර්මාන යෝජිත වී තිබූ අතර ඔවුන් සියලු දෙනාට ම ආරාධනා කර තිබූ හෙයින් කෙමෙන් රතු පලස මතින් ඔවුන් හෝටලය වෙත ඇදෙමින් තිබූණි. ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා සියල්ලක් ම පාහේ තම තමන්ට පැවරී තිබූ කාර්‍යයන්හි යුහුසුළු වනු ද පෙනෙන්නට තිබුණි.

විවිධ අංශයන් වෙනුවෙන් හොද ම නව කතාව තේරීමේ කමිටුවේ සභාපති ධූරත්වය ද රංබණ්ඩා බාසුර වෙත පැවරී තිබුන ද, පුද්ගලික හේතූන් මත යැයි පවසා ඔහු එය වෙනත් ප්‍රවීණ ලේඛකයකු හට ගෞරවාන්විත ව පුද කර සිටියේ අදාල යෝජිත නව කතා පිටපත් ද ඔහු වෙත ලබා දී දින කිහිපයකට පසුව ය…. එය එසේ වූව ද අතිගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීම මත ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තාගේ ගෞරවය ඔහු වෙත පුද කර තිබූ අතර ඒ සඳහා ඔහුගේ පැමිණීම ස්ථිර වී තිබුණි.

එම පුවත ලේඛක ප්‍රජාව කුතුහලයට පත් කිරීමට සමත් වූව ද බාසුරගේ වයස හා ඔහු වෙත තිබූ ගෞරවය ඒ සියල්ල යටපත් කිරීමට සමත් වී තිබුණි… තව ද දශක ගණනකට ඉහත දී පැවති ජඩ මාධ්‍යකරණය අභාවයට ගොස් තිබු යුගයක එවන් වැදගැම්මකින් තොර කටකථා සඳහා ශ්‍රී ලංකාව තුළ ඉඩක් නොමැතිවන සේ අකුරට ම නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණි…. 

සියළුම උත්සව සඳහා එම ක්ශේත්‍රයේ ම ප්‍රවීණයන්ගේ ප්‍රධානත්වය පමණක් ම අපේක්ෂා කළ මහජනතාව මෙ දින ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටි බාසුරගේ පැමිණීම මහත් අපේක්ෂා සහගතව බලා සිටි අවස්ථාවක් වී ය.

ත්‍යාග ප්‍රධානෝත්සවය නියමිත ව තිබුනේ එම හෝටලයේ ම විශේෂිත ශාලාවක පැවැත් වූ, බාසුරගේ ඉල්ලීම මත සීමිත පිරිසකට පමණක් ආරාධනා කර තිබූ, අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකින් අනතුරුව ය… 

~~~~~~~~~~

වසර 1948 (වසර සියයකට පෙර)
දිනය පෙබරවාරි 29

1948 වසරේ විසි නම වන ඉරු දිනයේ සූර්යයා මහනුවර අලකොලංග ග්‍රාමයට සිය හිරු රැස් විහිදනවාත් සමග ම නිසල පරිසරයක පිහිටි එක්තරා නිවසකට යුහුසුළු ගමනින් පිය නගනා එම ග්‍රාමයෙහි ම වින්නඹු මාතාව දුටු බොහෝ වැසියෝ රංබණ්ඩා ගොවි මහතාගේ නිවස දෙසට ඇදී ගියේ සිය ග්‍රාමයට අලුතින් එක් වීමට නියමිත දරු පැටියකගේ උපත තුටු සිතින් භුක්ති විඳීමේ අදහස පෙරදැරිව ය…. උදෑසන 9.48 ට රංබණ්ඩා මාතාව සිය සත්වන දරුවා මෙලොවට බිහි කලේ ඉදිරියේ තව තවත් බත බුලතින් මෙම නිවස පෝෂණය වනවා දැකීමේ අදිටනින්‍ ය… රංබණ්ඩා ගොවි මහතාගේ නිවසෙහි සියල්ලෝ ගොවියන් වීම ඔවුන්ගේ ගොවි ප්‍රෞඩත්වය ඔප දමන්නක් වී ය… 

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් වේලාපත් කඩයක් සාදවා ගත් රංබණ්ඩා ගොවි මහතා, සිය අලුත උපන් බිළිදාට බාසුර යන නම උප්පැන්නයේ සඳහන් කළේ සිය බිරිඳගේ පූර්ණ කැමැත්තට ඉඩ දෙමිනි…. ඉගෙනීමෙහි අති දක්ෂයෙකු වී මුළු ලොවට ම ප්‍රසිද්ධ චරිතයක් වන බවට වේලා පත්කඩයේ සඳහන් ව තිබෙනවා යැයි ලොකු හාමුදුරුවන් කීව ද, කල් යත් ම එතරම් උනන්දුවක් පාසැලේ පෙන්නුම් නොකළ බාසුර සිය දහසය වන උපන් දිනය පසු කරනා විට සිය පියා මෙලොවින් සමුගත්තේ ය….  දුගී බවේ අන්තයට වැටී නොසිටියත් සිය පවුලට රුකුලක් වීම පිණිස බාසුර මහනුවර නගරයේ වෙළද සැලක සුළු සේවකයෙක් හැටියට රැකියාවකට යන්නේ සිය බාප්පා කෙනෙකුගේ මාර්ගයෙනි.

එහි දී දිනපතා පුවත්පත් කියැවීමේ පුරුද්ද ඇති කර ගන්නා ඔහු වසර 1968 දී පුවත් පතකට ලියන ලද ලිපියක් සති අන්ත පුවත් පතේ ආධුනිකයන් සඳහා වෙන් වූ පිටුවක පළ වන්නේ, ඔහුගේ ප්‍රථම පුවත් පත් ලිපිය හැටියට ය…. දිගටම පළ වන නැවුම් ආරක කෙටිකතා හේතු කොට ගෙන, ඔහුට 1971 භිෂණ සමය අලලා ලියන ලද ගවේශණාත්මක ලිපි පෙලක් හේතුවෙන් එවකට අලුතින් ම පටන් ගත් පුවත් පතක රැකියාවක් ලැබ අගනුවරට පැමිණෙන්නේ ය.

කාලය ගෙවීයත් ම ඔහුගේ නව ආරක් ගත් ලේඛන කලාව ලක් දෙරන සිසාරා පැතිර යන්නට වූයේ ඔහුගේ ඒකාකාරී නොවූ කතා වස්තු බීජයන් නිසාත්, ඒවා සියලුම ජනකොටස් ආවරණය වූ නිසාත් ය…. 1988 වසරේ ලේඛන කලාවේ ඉහලට ම පැමිණ සිටි ඔහු මේ වන විට අසාර්ථක විවාහ දිවියකින් සමුගෙන තිබුන ත් ඔහුට ම අයත් ප්‍රකාශන සමාගමක හිමිකරුවෙකු ව සිටියේ ය... එම වසරේ ඔහුගේ පෑන් තුඩට හසු නො වූ පරිමාණයක් ඔස්සේ සිය මනස යොමු කිරීමට ඉටා ගත්තේ එ දින පෙබරවාරි මස 29 වනදා ය.

සෑම දීර්ඝ වර්ෂයකදී ම ඔහු උපන් පෙබරවාරි මස 29 වන දින ඔහු අලුත් වැඩකට මුල පිරීම සිරිතක් කරගෙන තිබුන ද, බාසුර කිසි දිනක නැකැත් මායිම් කළ අයකු නොවී ය… සිය රචනයන් තුළින් ආගම්වාදය හා අන්ධ විශ්වාසයන් නිර්දය ලෙස විවේචනය කළ ඔහු, ඒබ්‍රහම් ටී කොවූර්, කාලෝ ෆොන්සේකා වැනි උගතුන් ඉතාමත් කිට්ටුවෙන් ආශ්‍රය කළ අදේවවාදී, නිරාගාමිකයෙකු වූව ද බෞද්ධ දර්ශනය මත දිවි ගෙවූ අයකු වී ය.

ඔහුගේ ලේඛක දිවියෙන් මග හැරී ගොස් තිබූ කුඩා ළමුන් උදෙසා ම වෙන්වූ ලේඛන කලාවක් පටන් ගැනීමට ඉටා ගත් ඔහු, එදින උදෑසන සිය මනස මෙහෙයවන්නට පටන් ගත්තේ අලුත් මගකට දොර ගුලු විවර කරමිනි…. වැඩි වේලාවක් නොගොස් ම ළමා ලෝකයට වීරයෙක් හඳුන්වා දෙමින් සිය පළමු ලමා කතාව ලියා අවසන් කළේ ය… සිය මතකය පසු ගිය 83 වසරේ සැප්තැම්බර් 27 වන දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ, ජය ශ්‍රී කෝරලගේ  විසින් ලයනල් වෙන්ඩ්ට් හි පැවැත්වූ ච්ත්‍ර ප්‍රදර්ශනය වෙත යොමුකරමින් සිය දුරකථනයට අත දිගු කළේ ඔහුගේ මිත්‍ර සුපතළ චිත්‍ර ශිල්පියා ඇමතීමට ය… ඒ සමග ම ඔහුගේ නෙත් සිය ලියන මේසය ඉදිරියේ බිත්තියේ එල්ලා තිබූ කැන්වස් චිත්‍රයක් වෙත යොමු විය.

මෙය ලේඛන කලාවේ හා සිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි මොහොතකට හෝ ඔහුගේ මනසට ඇතුළු නොවන්නට ඇත.

~~~~~~~~~~

වසර 1983 සැප්තැම්බර් 27.

බාසුර සිය මිතුරා අතින් නිමැවූ සියලුම චිත්‍ර මහත් උවමනාවෙන් නැරඹීමෙන් අනතුරුව සිය සිත් ගත් චිත්‍රයක් ඉදිරියේ නැවතී මොහොතක් එම චිත්‍රය අධ්‍යයනය කළේ ඉමහත් උනන්දුවකිනි…. 

"මචං ජයේ… මේ චිත්‍රයට මිලක් ගහල නෑ නේ.."

"මිල ගහල නැති චිත්‍ර මගේ ගෝලයන්ගෙ…. ඕක මගේ හොඳම ගෝලයගෙ"

"මට මේක ගන්න පුළුවන්ද"

"ඉන්න මම එයාට කථා කරන්නම් … ඔයාම අහන්න… අද එයාගෙ 18 වෙනි උපන් දිනේ… මම මේ ප්‍රදර්ශනය ලෑස්ති කළෙත් එයාගෙ උපන් දිනේට සමගාමීව…"

එම මොහොතේ ම ඔවුන් දෙසට නෙත් යොමා සිටි අලු පැහැති සාරියකින් සැරසී සිටි යුවතියකට අතින් සංඥා කළ ජය ශ්‍රී ඇයව ගෙන්වා ගෙන බාසුරට හඳුන්වා දුන්නේ ය.

"බාසු මේ තනූජා … මගේ හොඳ ම ගෝලය … ඔය චිත්‍රය මෙයාගෙ…. තනූජා ඔයා බාසුව දන්නවනේ"

ජයශ්‍රී එසේ කියා යන්නට ගියේ ඔවුන් දෙදෙනාට නිදහසේ චිත්‍රය ගැන කථිකා කර ගැනීමට ඉඩ සලසමිනි.

"ජය ශ්‍රී කිව්ව මේ ච්ත්‍රය දුවගෙ කියල… මම කැමතියි ඒක ගන්න…. ඒකෙ මිල කීයද?"

බාසුරට මෙම වලාකුළු අතරින් මතුවී එන ලෙස චිත්‍රයට නගා තිබූ අඩ නිරුවත් ස්ත්‍රී රුව පිලිබඳ ව එහි නිර්මාතෘ වරයා සමග පිලිසඳරකට තිබූ කැමැත්ත ආයාසයෙන් යට කරගත්තේ ඇය තවමත් කුඩා දරුවක සේ පෙනුණු නිසාවෙනි.

"අනේ සර්… මම කවදාවත් චිත්‍රයක් විකුණලා නෑ….ගානක් කියන්න දන්නෙත් නෑ… සර් ඕක ගන්න… මට සල්ලි එපා… ඒක මට ගෞරවයක්"

තනූජා ගොත ගසමින් කියන්නට වූයේ ජීවිතේ කිසි දිනක තමා හට ලැබිය නොහැකි අවස්ථාවක උපරිම සතුට සිත දරාගෙන ය… ඇය ඉදිරියේ සිටින්නේ ලක් දෙරණේ අතිමහත් ප්‍රසිද්ධියට පත් "හදවතක විලාපය" වැනි .නවකථා රාශියක මහා ගත්කරු රංබණ්ඩා බාසුර ය…. ඇයට ඇයගේම ඇස් අදහාගත නොහැකි ය…. මේ වන විට ඇය ඔහුගේ කෘති බොහෝමයක් කියවා තිබූ අතර බාසුර ඇයගේ ත් බොහෝ යෙහෙලියන්ගේ ත් අහිංසක සිහින පෙම්වතා වී සිටියේ ය… බාසුරගේ ප්‍රසිද්ධියට පත් ව තිබූ දික්කසාදය ගැන පුවත් පත් වල පළව තිබූ පුවත් ඇයට සිහි විය.

"ඔයාට ගොඩාක් ස්තූතියි… මම මේක දුවගෙන් මට ලැබුනු තෑග්ගක් හැටියට ආදරෙන් පිළිගන්නව… එක කොන්දේසියක් උඩ… අද ඔයාගෙ දහ අට වෙනි උපන් දිනේ නේද… අද ඉඳන් ඔයා ලොකු ගැහැනියක්… මගෙන් ඔයාට දෙන උපන් දින තෑග්ගක් හැටියට මෙන්න මේක පිළිගන්න."

එසේ කියූ ඔහු අසල තිබූ මේසයක් ලඟ නැවතී චෙක් පතක් ලියා ඇයට පිරිනමා ඇයගේ හිස අත ගෑවේ ඇය සිය දෑසේ කඳුළු පිස දමන අතරේ ය…. එම චෙක් පතෙහි සඳහන් ව තිබූ මුදල රුපියල් විසි දහසක් බව ඇය දුටුවේ එවිට ය… එය මෙම චිත්‍රයට ජයශ්‍රී මිල කළ මුදල මෙන් දෙගුණයකි.

~~~~~~~~~~

වසර 1984

"මචං ජයේ… මම බාසු.. ගුඩ් මෝනිං"

"ගුඩ් මෝනිං බාසු … අද මොකද උදෙන් ම ?"

"විශේෂ ඉල්ලීමක් කරන්න කියල"

"කියපං කො බලන්න"

"ජයේ…  මගේ අතින් මෙච්චර කල් ගිලිහිලා ගිය යුතුකමක් ඉෂ්ඨ කරන්න අද මම පටන් ගත්ත"

තරමක උනන්දුවක් සිය කථනයට ආරූඪ කර ගනිමින් බාසුර පැවසූවත් ඔහුගේ හොඳ ම මිතුරා ලෙස  ජය ශ්‍රී ඕනෑ ම උදව්වකට සැදී පැහැදී සිටිනා බව බාසුර හොඳින් දැන සිටියේ ය.

"අප්පේ මට අමතක උනා… සුභ උපන් දිනයක්… කොහේද ඉතිං අවුරුදු හතරකට එක උපන් දිනයයි නේ… කියන්න මොකද්ද ඒ"

"අපේ ළමා පරපුර වෙනුවෙන් කථා පෙළක් ලියන්න ගත්තා… මට ඒකට ච්ත්‍ර ඇඳ ගන්න පුළුවන් ද අර ළමයට කියලා"

"මොන ළමයද"

"තනූජා"

"ආ… එයා අද එනව ස්ටුඩියෝ එකට… උඹ ම ඇවිත් කියල බලපං… දහයට පස්සෙ එයා දවසෙ ම ඉන්නව… දවල්ට කෑම ටිකක් කාල යන්නත් එක්ක වරෙං… මම ශාන්තිට කියන්නම්"

දුරකථනය පසෙක තැබූ බාසුර මොහොතක් තනූජා විසින් අඳින ලද චිත්‍රය දෙස බලා සිට මෙම කාර්‍යයට සුදුසු ම පුද්ගලයා ඇය බව තරයේ සිතට ගනිමින් නිවසේ එක ම සේවකයා වන සිරිපාල විසින් අද දින පිළියෙල කරනා ලද ඔහුගේ ප්‍රියත ම රතු ඉඳි ආප්ප ආහාරය සඳහා කෑම කාමරයට පිවිසියේ ය.

'සර්… අද හවසට කාන්ති මැඩම් එනව කියලා සර්ට කියන්න කිව්ව" 

සිරිපාල එසේ කීවේ බාසුරගේ දුරකථන සංවාදය කණ වැකුණු නිසා විය හැකි යැයි බාසුර සිතට ගත්තේ ය.

"කීයට ද එනව කිව්වෙ… අද ඉතිං මෙතන නටා ගනීවි… "

නොරුස්නා ස්වරයෙන් බාසුර කීව ද ඔහුගේ ඕනෑ ම අවස්ථාවක දැන ගත් සැනින් කුමන රාජකාරියක් තිබුණත් පැමිණෙන එක ම හිතවතිය ඇය බව ඔහු හොඳින් පසක් කරගෙන සිටියේ ය.

"හතර වෙනකොට එනව කිව්ව සර්… අද ඉතිං සර්ගෙ අවුරුදු හතරකට සැරයක් එන උපන් දිනේ නේ"

සිරිපාල බාසුරගේ නිවසේ සේවයට පැමින දැනට අවුරුදු දහයක් පමණ ගතවී ඇත….බාසුරගේ නිවසේ සියලුම කටයුතු ඔහු නිම කරන්නේ ඉතා ම සතුටිනි.

~~~~~~~~~~

1984 අප්‍රේල් මස මෝඩයන්ගේ දිනය යන විරුදාවලිය ලත් පළමු වන දා බාසුරගේ ඇතැම් මිතුරන්ගේ මෘදු විරෝධතාවයන් මැද්දේ වුවත් තනූජාගේ පූර්ණ සහයෝගය තුළින් බාසුර විසින් රචිත ප්‍රථම ඉංග්‍රීසි ළමා පොත් පෙළේ පළමුවැන්න වන "The Adventures of Gemunu the Child Hero" නමින් එළි දැක්විණි.

බාසුරගේ අනිකුත් සියලුම කෘතීන් ඔහුගේ ම නමින් මුද්‍රණය කර තිබුන ද මෙය කුඩා ළමුන් අතර ප්‍රසිද්ධියට පත්කරලීමේ පහසුව උදෙසා තනූජාගේ අදහසකට අනුව "රබා" යන අනුවර්ත නාමයෙන් රච්ත එහි ප්‍රථම මුද්‍රණය බාසුරට ම අයත් බාසුර ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කර බෙදා හැර සති දෙකක් වැනි ඉතා සුළු කාලයක දී දෙවන මුද්‍රණයට ද පිවිසියේ ය… එහි පිටුවක් පාසා ඇතුළත් කර තිබූ සියලුම ච්ත්‍ර තනූජාගේ තෙලිතුඩින් පණ ගැන් වී තිබුණි.

පාඨක ඉල්ලීම් හා ලද ප්‍රසිද්ධිය මත බිහි වූ එම ළමා කථා පෙළ හේතුවෙන් තනූජා හට බාසුරගේ නිල චිත්‍ර ශිල්පියා වීමේ භාග්‍යය උදා වීය.

~~~~~~~~~~

වැඩි කලක් නොගොස්ම බාසුරගේ සියලු ලේඛන හා ප්‍රකාශන කටයුතු සියල්ලක් තනූජා වෙත පැවරුන අතර ඔහුගේ සුවිසල් මැදුරෙහිද වෙනමම කොටසක් ඇයගේ සුව පහසුව උදෙසා වෙන් කළේ ඇය ඔහු වෙත ඉදිරිපත් කළ නොකැළැල් හා උසස් සේවය නිසාවෙනි… බාසුරගේ සියලු ම කටයුතු  නිසියාකාරවත් කලට වේලාවටත් ඉටුකළ ඇය ඔහුගේ ලේඛන දිවියේ සහකරු බවට පත්වූවාය.

"තනුජා, මම හෙට දඹුල්ලෙ ඉඩමට යනවා… ටික දවසකට එන්නෙ නෑ…. අර අලුතෙන් හදාපු කොටේජ් එකේ මම කීප දවසක් ඉන්නයි කල්පනාව…. කීප දවසක් කිව්වට සති කීපයක ම ඉන්නයි කල්පනාව… ඒ අවට පරිසරය මගේ අලුත් ම කථාවකට පාදක කර කරගන්නයි මගේ අදහස..  මම අරගෙන යන්නෙ මගේ අනිත් ෆෝන් එක විතරයි… ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මට ඒකට ගන්න… වෙන කා ගාවවත් ඒ නොම්මරේ නෑ නේ.."

ඇයට ම වෙන් වූ කන්තෝරු කාමරය තුළට එබුනු බාසුර කීවේ සාමාන්‍යයෙන් කථාවක් ලියන්නට පෙර ඔහු පුරුද්දක් වශයෙන් යම්කිසි පරිසරයක් තෝරගෙන එහි දින කීපයක් ම ගත කිරීම පුරුද්දක් කරගෙන තිබූ නිසාවෙනි…. එයට අමතර ව ඔහු මේ කියන්නේ ඔහුට අවශ්‍ය සියලු ම කළමනා ඇතුළු ඇඳුම් පැළඳුම්ද නිසියාකාර ව පිළියෙල කරන්නේ මේ වන විට සිරිපාල වූව ද තනූජාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ නිසා ය.

"හා සර්… සර්ගෙ ෆෝන් එක මගේ ලඟ ම තියා ගන්නම්… කවුරු හරි ඇහුවොත් රට ගියා කියන්නම්… එතකොට හරි නේ"

එවන් ගමන් අතරතුර බාහිර බලපෑම් සියල්ල බාසුර බැහැර කරන්නේ ඔහු යම්තාක් දුරකට අපේක්ෂිත නව කථාවේ ප්‍රධාන චරිතය තුළ ජීවත්වීමට ඇති කැමැත්ත නිසා බව දන්නා නිසා ය.

නිර්මාණකරණය ඇයගේ ද ජීවිතයේ එක් අංගයක් වූව ද නිර්මාණකරුවා මනසින් එම නිර්මාණය තුළ ජීවත්වීමෙන් වඩා සාර්ථක නිර්මාණයක් බිහි වෙනවා යන්න ඇය හට තේරුම් කර දීමට ඔහු දිනක් අපූරු ක්‍රමයක් උපයෝගී කර ගත්තා ඇයට මතකය.

" තනූජ… මේ අත්පිටපත කියවලා බලන්න හොඳයි ද කියලා… චුට්ටක් අවධානයෙන් කියවලා වැරදි තැන් පැන්සලෙන් හරි ගස්සන්නකො"

එතරම් සිත් බැඳගත් ප්‍රබන්ධයක් කියවා ඇති බවක් ඇයට සිතා ගත නොහැකි වූ ඇය එක හුස්මට කියවා අවසන් කලා ය.

"සර්… මට හිතාගන්නත් බෑ… සර් කොහොමද මේ තරම් සියුම් තැන් හරියට ම එතන හිටිය වගේ විස්තර කරන්නෙ කියලා"

චිත්‍රයක් අඳිමින් සිටි ඇය එ තුළට පැමිණි බාසුරට පැවසූයේ මදකට එම කාර්‍ය්ය නවතමිනි.

"ඔයා ඔය අඳින චිත්‍රයේ මොහොතකට ජීවත්වෙන්න බලන්න… බාහිර කිසිම දෙයක් හිතට ගන්න එපා… එහෙම කරලා බලන්න… එතකොට ඔයාගෙ නිර්මාණය වඩා සාර්ථක එකක් වෙනවා"

එදා සිට ඇය අතින් නිමැවූ සියලුම චිත්‍ර වඩාත් විචිත්‍රවත් වූ අතර ඒ සියල්ලක් ම පාහේ වෙනත් ආරක් ගත් බව ඇය හට ප්‍රත්‍යක්ෂ වූයේ බාසුරගේ ප්‍රතිචාර හමුවේ ය.

~~~~~~~~~~

දවස් දෙකක් යන්නත් කලින් බාසුරගෙන් තනූජා හට ඇමතුමක් ලැබුණි.

"තනූජා… ඔයාට පුළුවන්ද ටික දවසකට මෙහේට එන්න…. ඔයාගෙ ඔක්කො ම චිත්‍ර අඳින අඩුම කුඩුම අරගෙන නවතින්න බලාගෙන එන්න…. ඔයා කැලේ ඉන්න බය නෑ නේ"

"බය නෑ… මම කැලේට ආසයි නේ … මම කොහොමද එන්නෙ….මගේ කාර් එකෙන් එන්න ද?"

මේ වන විට බාසුරගේ සියලුම වැඩ කටයුතු ඇය අතින් සිදුවන නිසා ඇයට ම වෙන් වූ කුඩා මෝටර් රථයක් තිබූ අතර ඇය සතුව රිය පැදවීමේ බලපත්‍රයක් ද යුහුසුළුව පිළියෙල කර දීමට බාසුර ඉදිරිපත් වී තිබුණි.

"නෑ… ජීප් එකෙන් එන්න...ඒකෙ ෆෝ වීල් නේ… ඒක එලවන්නත් අමාරු නෑ… සුව පහසුවත් හොදයි … හෙටම එන්න… මම ඕන කරන කෑම බඩු ලිස්ට් එකක් දෙන්නම්.. ඒවත් අරගෙන එන්න…"

~~~~~~~~~~

බාසුරගේ සේවයට පැමිණ ඔහුගේ ම එක ම වහල යට වූව ත් වෙනම ම කොටසක තනිව ම ජීවත් වූ තනූජා හට මේ වනතුරුත් කිසියම් හෝ අනිසි බලපෑමක් ඔහුගෙන් සිදුනොවූවත් තනිවම රිය පදවා ගෙන යන ඇයගේ සිතට යම්කිසි කුකුසක් ඇති නොවූවාමත් නොවේ… ඔහු වෙත එදා බැඳි භක්තිය අදට ද ඇය සිත තුළ නොඅඩුව තිබුන ද කෙමෙන් එය සෙනෙහසක් ලෙස වර්ධනය වී දැයි ඇය සිතන්නට විය.

කුඩා කල සිට ඇය ආදරය කල චිත්‍ර ශිල්පය කෙරෙහි තාත්තාගේ විරුද්ධත්වයක් නොතිබුන ද අම්මා තදින් ම විරුද්ධ වූයේ කාලය ත් මුදල ත් අපතේ යෑමක් ලෙස ය… ගුරුවරියක වූ අම්මාට උවමනාවී තිබුනේ සිය එකම දරුවා වුන ඇයගේ අනාගතය දොස්තර ලෝගුවකට සිරකර තැබීමට ය… සමාජය සාර්ථක යැයි එකල පිළිගත්තේ ද දොස්තරවරුන් හා ඉංජිනේරුවන් වීම ද මෙයට බලපෑ ප්‍රධාන හේතු සාධකයක් වීය….. අකමැති අප්‍රසන්න ගමනකට ඇය පෙළඹවීමට ඔවුන් දැරූ උත්සාහය අපොස උසස් පෙල ප්‍රතිපල නිකුත් වූ දින ම මහවැලි ගඟේ පා කර යැවීමට ඔවුනට සිදු වූයෙන් අකමැත්තෙන් වුව ද ඇයට චිත්‍ර කර්මය හැදෑරීමට ජය ශ්‍රී මහතාගේ නිකේතනයට යැවීමට සිදු විය.

සුක්කානම පිටුපස තනිව ම යන මේ ගමනේ දී ඇය ගේ සිත එදා පටන් මේ දක්වා පැමිණි මග ඔස්සේ රැක ගත් බාසුර කෙරෙහි ඇති ව තිබූ භක්තිය කෙමෙන් සෙනෙහසකට පෙරළී ඇත්දැයි යන සැකය මතු වෙමින් තිබුණි… එදිනෙදා ඇය අතින් සිදුවූ කාර්‍යයන් වෙත බාසුරගේ තිබූ දායකත්වය මත වෙනදා ඇය ඔහු ඇමතූ ක්‍රමයේ ද වෙනසක් සිදු වී ඇති සෙයක් ඇයට හැඟෙන්නට විය… එය අනායාසයෙන් සිදුවූවක් ද යන්න ඇයට ප්‍රශ්නයක් විය… ඔහුගේ ආමන්ත්‍රණ විලාශය ද කෙමෙන් ලයාන්විත වී ඇති සෙයක් ඇයට වැටහුනේ එවිට ය… ස්ථිර පදනමක් මත ඇය ලැබූ වැටුප ද කෙමෙන් ගිලිහී ගොස් තිබූ අතර, සියලු විය පැහැදම් ද ඔහුගේ අධීක්ෂණයෙන් ගිලිහී ගොස්; "ඔයාට හොඳයි නම් කරන්න" හෝ "ඔයාගෙ කැමැත්තක්" යන පදනමට වැටී ඇති බවක් ඇයට පැහැදිලි වන්නට වි ය… ඇයට ඔවුන් දෙදෙනා අතර තිබූ වයස් පරතරය ගැන තිබූ වැටහීම ද සුළඟේ ගසා ගෙන ගොස්‍ ය.

"තනූජා… මේ සති අන්තෙ මොනව හරි වැඩක් තියෙනව ද බලන්න."

"නෑ යොදාගත් කිසි ම වැඩක් දැනට නෑ… "

ඇයට බාසුරගේ දින පොත කට පාඩමින් මතකය.

"මේ සතියෙ අමාවක නේද... අපි යමු ද කතරගම...මගේ යාළුවෙක්ගෙ පොඩි නිවාඩු නිකේතනයක් තියෙනව.."

"මට තේරෙන්නෙ නෑ ඇයි මේ සතියෙ ම…."

අපි කැලේට යන්නෙ හඳ තියෙන කාලෙට අලි බලන්න… හඳ නැති කාලෙට ...තරු බලන්න"

කතරගම සිතුල්පව්ව පාරේ තරමක කැලෑ ප්‍රදේශයකින් වට ව තිබූ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක ඉඳිකර තිබූ එම පුද්ගලික නිවාඩු නිකේතනය, කුඩා නිවාස කිහිපයකින් සමන්විත ව තිබූණි. එය බාසුරගේ සම වයසෙහි මිතුරෙකුට අයත් තිබූ අතර එහි නිත්‍ය සේවයට මැදිවියේ ගැහැනියක හා ඇයගේ තරුණ පුත්‍රයා වීය…. බාසුරගේ මිතුරා විදේශගත ව සිටිනා බවත් මෙම ස්ථානයේ ස්ථීර අමුත්තෙක් ලෙස බාසුර හා තනූජාව පිළිගත් ඔවුන්, දෙදෙනාගේ නැවතීමේ පහසුව උදෙසා ගෙවල් දෙකක් ම පිළියෙල කර තිබුනු අතර සියලුම කෑම බීම ද ඔවුන් විසින් සැණින් පිළියෙල කර දෙන ලදි.

රාත්‍රී ආහාරයෙන් පසු සියලුම විදුලි එලි නිවා දැමූ ඔවුන් එළිමහනේ එක ළඟ විශේෂයෙන් සකසා තිබූ හාන්සි පුටු දෙකක දිගා වූයේ තරු බැලීමට ය…

"උල්කාපාතයක් දැක්කොත් අනාගතයට අපේක්ෂාවක් සිතට ගන්න"

තනූජාට බාසුර දුන් උපදේශය ද, ඇය දුටු උල්කාපාතය ද, එසැනින් ඇය අපේක්ෂා කළ බලාපොරොත්තුව ද ඇයට මතක් වී ය.

ඝණ අන්ධකාරයට දෑස් හුරුවනවා ත් සමග ම තනූජාත් බාසුරත් අභ්‍යාවකාශයේ සැරිසරන්නට වී ය….. අවට කිසිවක් නොපෙනෙන තරමට ම ඝණ අන්ධකාරය ඔවුන් ගිල ගෙන තිබුණි…. රැහැයියන්ගේ හඬ ත් අතරින් පතර ඇසෙන මොණරුන්ගේ නාදය ත් හැර වෙන කිසියම් හෝ ශබ්දයක් ඔවුනට නෑසේ…

තනූජාට දැනුනේ විශ්වය අවට පරිසරය ඇයගේ ආත්මය ගිල ගන්නා බව පමණි… ඇය දිලිසෙන තරු අතරය… ඇය පාවෙන්නේ තරු අතරට ය… පුන් සඳක් විශ්වයේ නොමැත.. පුන්සඳ ඇය ය…. ඇය තරු කැට අතර සැරිසරන්නේ ඇයට නොපෙනෙන සීතල හිරු දෙසටය … ගත වෙලා ගත් සීතල ඇය හිරු දෙසට ගෙන යන සේයාවක් ඇයට දැනුණි… හිරු සිය සීතල හස්තයකින් ඇය වෙලා ගනිමින් සිටී… ඔවුන් කොපමණ වේලාවක් එසේ සිටියාදැයි ඔවුන් දැන සිටියේ නැත… එකවර ඈතින් ඇසුණු මොනරුන්ගේ විලාපය ඔවුන් පියවි සිහියට රැගෙන එන විට බාසුරගේ සීතල දකුණත ඇයගේ වමතේ පැටලී තිබුනා මතකය.

"ඇයි දන්නවද ඔය මොණරු මේ රෑ කලබල වෙලා ඉන්නෙ"

"නෑ…"

"මේ ළඟ විසාල ගහක් තියෙනව … ඒකෙ තමයි රෑට මොණරු ලගින්නෙ…. දිවි‍යා උන් අල්ලගන්න ගහට නගින කොට උන් කලබල වෙලා කෑ ගහනව… බොහෝ දුරට රෑට මොණර දඩයමේ යන්නෙ ගතින් දුබල මහලු දිවියො… දැං රෑ උනා යමු"

ඇයගේ අතින් අල්ලා ගොස් ඇයට වෙන් වූ කුටියේ දොර ගුළු හැර හිස සිඹ බාහුර සමුගත්තා ඇයට හොඳින් මතකය

මෙවන් සිතිවිලි දහසක් අතර සුක්කානම පිටුපස සිටි ඇය කණ්ණාඩිය හරවා ඇයගේ මුහූණ බැලුවේ යටි තොල සපා ගනිමින් සිනහවකින් ද මුව සරසා ගනිමිනි…. වාහනය මදකට නතර කළ ඇය කොණ්ඩය සකසා ගත්ත ත් කිසි දිනක තොල් සායම් නොකළ ඈ බාසුර බාහිර ආටෝපයට ඇති අකමැත්ත සිහියට ගත්තා ය.

දෙමව්පියන් ගෙන එන යෝජනා ද ඇය කුමක් හෝ කියා මග ඇරියේ ඉන් එකකට හෝ කැමති වූවා නම් ඇයට චිත්‍ර කර්මය හා බැඳි ඇයගේ ආත්මීය බන්ධනය කැඩී යනු නිසැක නිසා ය..

"දුව මේ වතුර වීදුරුවත් අරගෙන එන්න"

අම්මා එසේ කීවේ ඇය බැලීමට පැමිණ සිටි කෑගල්ලේ වෛද්‍යවරයෙකු හා ඔහුගේ පවුලේ උදවිය දැන හඳුනා ගැනීම පිණිස පසුගිය සතියේ මහනුවර නිවසට දෙමව්පියන්ගේ පෙරැත්තය මත ගිය අවස්ථාවේදී ය.

කඩවසම් පෙනුමකින් හා මනා රූ සපුවකින් හෙබි වෛද්‍යවරයා සමග ඇති වූ සුහද පිළිසඳර අතර ඔහු පැවසූ එක් කරුණකින් එම යෝජනාව ද ලත් තැන ම ලොප් වී ය.

"ඉතිං වැඩක් තියෙනවද ඔය අනුන්ට චිත්‍ර ඇඳ ඇඳ ඉදලා… මම නම් හිතාගෙන ඉන්නෙ MD එකට පස්සෙ මගේ ම පුද්ගලික රෝහලක් දාගන්න"

එම සිද්ධිය මතක් වූ ඇය ආයාසයෙන් සිනහව මැඩ ගත්තේ කොළඹ බලා ආපහු යන ගමනේදීවත් දෙමව්පියන් බලන්නට යනවා ය යන අදිටනින් ය. කීප වරක් බාසුරගේ නිවසට පැමිණ තිබූ තනූජාගේ දෙමව්පියෝ ආපසු යන සෑම විට ම බාසුරගෙන් එක ම ඉල්ලීමක් කිරීමට අමතක නොකළෝය… 

" මෙයා හරිම මුරණ්ඩුයි… අනේ මහත්තයො අපේ දුව ව බලා ගන්න"

බාසුර එය අකුරටම ඉටු කලේ සෙනෙහසින් හා ගෞරවයෙන් යුතු ව බව ඇයට මතක් වී ය…. වරක් ඇය අසනීප වූ විටෙක තනූජාගේ අකැමැත්ත ද නොතකා ඇයව විශේෂඥ වෛද්‍යවරයෙක් ගෙන්වා ප්‍රතිකාර කලේ ඇයගේ බලවත් විරෝධතාවය ද මධ්‍යයේ ය…. සුළු ප්‍රතිකාරයකින් සුව කරගත හැකි වූව ද ඔහු එය පිළිගත්තේ නැත…. ඇය වෙනුවෙන් ඔහු දැක් වූ ආකල්පය එසේ වූව ද ඔහුගේ ප්‍රියතම ජීවකයාව සිටියේ ඉඟුරු, වෙනිවැල්ගැට හා කොත්තමල්ලිය.

විශේෂ අවස්ථාවන්හිදී කොළඹ පිහිටි සුපිරි හෝටල් වලින් ආහාර පාන සපයා ගන්නා ඔහු ඒවායින් හිත මිතුරන් හට සංග්‍රහ කළ ද සිරිපාලගෙ සුපුරුදු කොළ මැල්ලුම, කොස් දෙල් වැනි කෑම පමණක් අනුභවයට වගබලා ගත්තේය… ඔහු දුම්පානය හා මත්පැන් පානයෙන් තොර පුද්ගලයෙක් වීය.

කිලෝ මීටර දෙකක පමණ වල් අලි ගහන කැලය තුළට බොරලු පාරක් දිගේ බාසුර දුන් උපදෙස් මත වාහනය පැද වු ඇය නතර වූයේ වැවක් අසල දැව පමණක් භාවිතා කර නිමවා තිබූ ඉතාම කලාත්මක නිවසක් අසල ය… වාහනය නවත්වනවාත් සමගම ඇය ව පිලිගත් මැදිවියේ යුවලක් ඇයට වෙන්කර තිබූ අලංකාර කාමරයක් තුළට ඇයව කැන්දාගෙන ගිය ත් බාසුර පෙනෙන්නට සිටියේත් නැත…

"මහත්තයා ඉතිං වැඩිහරියක් ඉන්නෙ වැවේ … ඔරු පැදලා ඒවි"

එතරම් විශාල නොවූ වැව දෙසට නෙත් යොමු කළ ඇයට ඔරුවක නිවස දෙසට එන බාසුර දැක ආලින්දයේ තිබූ පුටුවක වාඩි වූයේ සොබා දහමට කොතරම් ඇලුම් කරනා සුන්දර මිනිසෙක්දැයි සිතමිනි… ඇයට ඔහු ගැන ආඩම්බරයක් ඇති වූයේ නිතැතින්ම ය.

" කොහොමද ගමන… ප්‍රශ්නයක් උනේ නෑ නේ"

"අපොයි නෑ… ඇත්තට ම මම මේ තරම් දුරක් තනිය ම ආපු පලවෙනි දවස … ඔයා කියාපු බඩු ඔක්කෝමත් ගෙනාව"

"හරි තේ බීල ටිකක් විවේක ගන්න… හෙට පෝය නිසා අද හොඳ දවස රෑට හඳපානෙ අලි බලන්න යන්න"

" යමූ… ඊට කලින් කියන්න මේ ගේ කාගෙද කියල"

"මේක ලංකාවෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාන ශිල්පියකගෙ … අනිද්ද ඉඳන් මේක මගේ"

ඇයගේ ප්‍රීතිය ඉහ වහා ගියෙන් ඔහු වෙත ඇදී ආවේ ආයාසයකින් තොරවම ය.…. ජීවිතේ පළමු වතාවට ඇය ඔහු ව වැළඳ ගත් විට  ඔහු ඇයගේ හිස සිඹ ප්‍රතිචාර දැක්වූයේ පිස්සු කෙල්ල යැයි සෙමින් කියමිනි.

 ~~~~~~~~~~

"මැඩම් … සර් කතා කරනව… අලි බලන්න යන්න"

සතුට හා තෙහෙට්ටුව ඇය ව තද නින්දකට ගෙන ගොස් තිබුන ද ඇය ඇහැරුනේ විමලාගේ කටහඬට හා ඇයගේ මෘදු ස්පර්ශයටය… ඇයට සිය මව මතක් වූයේ පාසැල්වියේදී ඇයව කූද්දන්නේද අම්මා ඔය විදියටම නිසා ය…. වෙනසකට ඇත්තේ අම්මා ඇය නැගිටිනතුරු ම හිස අතගාන්නේය… එවන් අවස්ථාවන්හිදී ඇය තවත් ටිකක් නිදාගන්නේ අම්මගේ ආදරය ලබන්නට බව මතක් වී මෙදා සැරේ නම් ගෙදර යනවාමයි අදිටන් කර ගත්තා ය…

මද වේලාවකින් බාසුර විසින් පදවන ජීප් රථයට ඇය ගොඩ වූයේ දඟකාර යුවතියක සේ අවස්ථාවට උච්ත යැයි හැඟී ගිය කොට කලිසමක් හා එයටම සරිලන හැට්ටයක් ද හැඳගෙනය…. බාසුර ඉදිරියේ එසේ තරමක හෝ නිරුවත ප්‍රදර්ශනය වූ පළමු අවස්ථාව එය විය…. ඔහුගේ නොරුස්නා බවක් යන්තමට හෝ ඇයට දැක ගත නොහැකි වූයෙන් පැකිළීමකින් තොර ව ඇයට ඉදිරි අසුනේ ඉඳගත හැකි වී ය.

බාසුර වැව ඉස්මත්තේ වාහනය නතර කළේ අලි රංචුවක් ම සිටි ඉසව්වකට ඉතාමත් කිට්ටුවෙනි… හඳ එළියට අලි සෙල්ලම් හොඳින් නැරඹිය හැකි වීම දෙදෙනා ම අමන්දානන්දයට පත්කර තිබුනි….

" මෙහෙම ඉන්න බය නැද්ද බාසු"

"අලි හිරිහැර කරන්නෙ අපි උන්ට හිරිහැර කළොත් විතරයි… බය වෙන්න දෙයක් නෑ"

ඔහුගේ රැකවරණය ඇයට මහත් අස්වැසිල්ලක් වු අතර ඔහු හා තනිව මෙවන් ගමනක් පැමිනීමෙන් ඇය උද්දාමයට පත් වී සිටියේ ජීවිතේ කිසිම දිනක මෙවන් අත්දැකීමක් ලැබිය නොහැකි බව ඇය සිහියට ගනිමිනි.

සොබා සෞන්දර්‍යයෙන් කුල්මත් වී සිටි ඔවුන් දෙදෙනාටම ලොවේ වන සතුන් හැර වෙනත් මිනිස් ජීවිත මතකයෙන් හැර ගොස් තිබුණි… ඔවුන් දෙදෙනා අතර තිබූ දුරස්ථභාවය ඒ වනවිට අතුරුදහන් වී තිබුනේ අපූරු හැඟුමන් දෙදෙනාගේ ම සිත් තුළට එක් කරමිනි. ඔවුන් දෙදෙනා අතරට සමාජය විසින් පනවා තිබු සමාජ හා වයස් පරතරය මද අන්ධකාරය විසින් ගිල දමමින් තිබුණි.

"තනූජා…. මගේ ජීවිතේ මම ආස ම දේවල් තමයි මෙන්න මේ පරිසරයෙ තියෙන්නෙ…. අපි කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයක අතරමං වෙලා ඉන්නෙ… අඩු ගානෙ අපිට නිදහසේ හුස්මක් ගන්නවත් පුළුවන්ද කොළඹදි…. එක හුස්මක් මේ පරිසරයෙ කොච්චරක් වටිනව ද… මම දන්නව ඔයත් මේ පරිසරයට ආසයි… මම දන්නව දැනටත් අපි අතරෙ යම්කිසි බැඳීමක් ඇතිවෙලා තියෙනව…. ඔයා තාමත් පොඩි කෙල්ලෙක් …. මම මගේ කලාවෙ කඩ ඉම් පහු කරලා ඉවරයි… මම කිසිම දවසක ලිව්වෙ නෑ අලෙවියට… ලියන්නෙත් නෑ…. ඔයාට යන්න ගොඩක් දුර තියෙනව…. ඔයා දක්ෂයි… අලෙවියට කියල හිතාගෙන අඳින්න එපා…. හිතට එන දේ අඳින්න…. ඒ වෙනුවෙන් ඔයාට ඕන කරන හැම පහසුකමක් ම තියෙනව…. මගේ ජීවිතේ අවසාන බලාපොරොත්තුව ඔයා දක්ෂ ච්ත්‍ර ශිල්පිනියක් වෙනව දකින එක…. මම ඇත්ත ම කියන්නම්… සමාජෙ මොනව කිව්වත්… මම ඔයාට ආදරෙයි…. මට අයිතියක් නෑ ඔයාගෙන් ආදරේ ඉල්ලන්න… ඔයාට අයිතියකුත් නෑ ඔයාට ආදරේ කරන්න එපා කියන්නත්… මට ජීවිතේට ඔයාව බඳින්නත් බෑ…. ඒක නිසා මගේ ආදරේ මගේ ළඟම ඔහේ තිබුනාවෙ"

ඇයගේ මුහුණට වැටී තිබුණු කෙස් කළඹක් අතින් සැකසීමට තරම් ඔහු නිර්භීත වූයේ කෙසේදැයි ඔහුට ම ප්‍රශ්නයක් වී ය… එයට ප්‍රතිචාරයක් සේ ඇය ඔහුගේ හැඟුම් බර දෑස් සිය දෑසින් ග්‍රහණයට ගත්තේය…. බාසුරගෙ දෙතොල් ඇයගේ දෙතොල් හා පැටලෙන මොහොතේ  ඇය දෑස් පියාගත්තාය… ඒ මොහොතේ මුළු ලෝකය ම ඔවුන් වටා කැරකෙන්න ගත් සෙයක් ඔවුනට දැනුණි…

" මම තාම කන්‍යාවියක් බාසු"

ඇයට තම ආත්මය වෙනුවෙන් කියාගත හැකි වූයේ එපමණකි..

" නෑ වස්තුවෙ මම ඔයාගෙන් ඒක ගන්නෙ නෑ"

ඔහුටද කියාගත හැකිවූයේ එපමණකි… මොහොතකින් දෙදෙනාම මහා ඝන කැලයේ නිරුවතින් අතරමංවී ය… ඔවුන් කොපමණ වේලාවක් එසේ ගත කලා ද කියා දෙදෙනා ම දැනගෙන හිටියේ නැත ත් එය කල්පයක් සේ ඔවුනට දැනෙන්නට වී ය.

~~~~~~~~~~

දින පහක් සිත්සේ ආදරයෙන් වෙළී ගතකල ඔවුන්, අක්කර පහක් පමණවූ එම නිවස හා ඉඩම මිල දී ගන්නා කටයුතු සියල්ල ද සාර්ථකව නිම කර කොළඹ බලා පිටත්වීමට සැරසුනේ තනූජා පැමිණි ජීප් රථය හා නිවස ද බලාගැනීමේ කාර්‍යය පෙර කී යුවලට පවරමිනි…. 

"ජීප් එක මෙහෙ තිබුනාවෙ… අපිට ආවම කැලේ යන්නත් එක්ක" 

එසේ කියමින් බාසුර ඔහුගේ රථයේ සුක්කනම අතට ගත්තේ කොළඹ බලා ආපසු යාමට වුව ද වැඩි දුරක් නොගොස් ඔහුට සිය ගමනාන්තය වෙනස් කිරීමට  සිදු විය.

" බාසු… අම්ම කිව්ව යන ගමන් නොවරදවා ම ඔයත් එක්ක ම ගෙදර ඇවිත් යන්න කියල"

"හා එහෙනං කියන්න අපිට කෑම ලෑස්ති කරල තියන්න කියල…. මගදි නවත්තල මොනව හරි ගෙදරට අරගෙන යමු"

ඔවුන් තනූජාගේ නිවසට ලඟා වන විට මදක් ප්‍රමාද වී තිබුන ද දෙදෙනාට ම බඩගින්නක් හෝ මහන්සියක් නොදැනුනේ අතරමගදී පාර අද්දර තිබූ කුඩා අතු පැළකට ගොඩ වී දුප්පත් පවුලක් විසින් එවේලේ සාදා විකුණන රොටි කීපයක් කෑමට නතර කළ නිසාය.

එම කුඩා කඩය පවත්වා ගෙන යන්නේ මැදිවියේ යුවලක් හා වයස දහයක පමණ කුඩා දැරියක විසින්‍ ය.

"ඔයාගෙ නම මොකද්ද "

බාසුර ඇයගෙන් විමසන්නට වූයේ බංකුවේ ඉඳගෙන රොටි කන අතරතුරේ ය..

"තනූජ"

"කවුද ඔයාට මගේ නම ම දැම්මෙ"

තරමක වික්ෂිප්ත බවක් මුහුණට ආරූඪ කරගත් තනූජා විමසී ය.

"ඇන්ටි ත් තනූජ ද"

"ඔව් නේ…. ඔයා ඉස්කෝලෙ යනව ද?"

"ඔව් අද නිවාඩු… වාර විභාගෙ ඉවරයි නේ"

"පන්තියෙ කීවෙනිය ද?"

"පළවෙනිය"

දෙදෙනාගේ කථාව අතරතුර බාසුර කුමක් හෝ කරුණකට වාහනයට යනවා ඇය දුටුවත් කිසිවක් නොකීවා ය…. ඔහු නැවත පැමිණියේ පොතක් අතැතිව ය…

මෙවන් කුඩා කඩ නිතර පරිහරනය කිරීමට කැමැත්තක් දක්වන බාසුර කිසි දිනක "අපේ ගණන කීයද?" කියා අසන්නේ ම නැත… ඒ වෙනුවට සෑහෙන මුදලක් ඔවුන් අතට දෙන්නේ මේක ගන්නැයි කියමිනි… එයට අමතර ව ඔහු ගෙනා පොත අත්සන් තබා තනූජා ලවා ද අත්සන් කර වා දැරියට පිළිගැන්වී ය…

 "අංකල් මෙන්න පොත ඇතුළෙ සල්ලි වගයක්"

මෝටර් රථය පණ ගන්වනවාත් සමග ම දුව ආ දැරිය බාසුරට කීවා ය.

"ඒක දුවගෙ ඉස්කෝලෙ වැඩට මේ ඇන්ටිගෙන්"

"පොත් ලියන අය හරි සුන්දර මිනිස්සු"

තනූජා එසේ කීවේ ගෞරවය මුසු ආඩම්බර කමකිනි.

"චිත්‍ර අඳින්නෙ ත් සුන්දර ගෑනු නේ" 

බාසුර නිහතමානී ව ඇයට ද උත්තර දුන්නේ ඇයට නිසි ගෞරවය පුද දෙමින්‍ ය.

~~~~~~~~~~

අතරමග දී නවතා සිය දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන සේ මිල දී ගත් අවශ්‍ය කලමනා ද අතැතිව ගෙට ගොඩ වූ තනූජා දෙමව්පියන් ළඟ දනගසා වැන්දත් එය බාසුරට කළ හැකි දෙයක් නොවූයේ ඔවුන් බොහෝ දුරට සම වයසේ සිටි නිසා ය…. 

බාසුර මොහොතකට තනූජාගෙ පියා පසෙකට ගෙන අතින් සඟවාගෙන සිටි පාර්සලයක් ඔහු වෙත පිළිගැන්වූයේ තරමක රහස්‍ය භාවයක් ද පෙන්වමිනි

"මේක ඉතිං අපේ වයසට ඖෂධයක් නේ තරුණ අයට මත් බෙහෙත් වුනාට… තනූජ කිව්ව මිස්ටර් ගුණසිංහ මද පමනිං ගන්නව කියල.. ඒකයි මම  ගෙනාවෙ"

"එහෙනං ඉතිං කෑමට පෙර මහත්තයත් ටිකක් ගමු"

තනූජාගේ පියා ආරාධනයක් ද සමග සිනා මුසු මුහුනින් එය පිලිගත්ත ද බාසුර එම අවස්ථාව කාරුණිකව මග ඇරියේ ඔහු මත්පැන් භාවිතයෙන් තොර බව අඟවමිනි.

"මිස්ටර් ගුනසිංහ ඕක තියාගෙන ටික ටික බොන්න"

"මහත්තයට දැන් මහන්සිත් ඇති නේ ද… මූන කට හෝදගන්නවා ද….කෑම නං ලෑස්තියි"

"නෑ අපි කාලම ඉමු "

ලද ආරාධනයෙන් කෑම මේසයට බාසුර ගිය ද තනූජා හෝ දෙමව්පියන් කෑම ගැනීම පමා කළේ සිංහල සිරිතට ගරු කරමින් හා ඔහුට හිමි ගරුත්වය පුද දෙමිනි.

"මහත්තය ඉඩමක් ගත්තලු නේද දඹුල්ලෙන්"

"ආ …. ඔව් හරිම ලස්සන තැනක්… තනූජ.... වෙලාවක අම්මලව එක්කං යන්න… ටිකක් නිදහසේ ඉඳලා එන්න."

"අපිට මොන නිදහසක් ද මහත්තයො … මෙයාගෙං නිදහස් වෙන කල්… අන්න ලබන සතියෙ බිබිලෙ නැන්දල එනව කිව්ව මෙහේ ඔයාවත් බලලා යන්න.. අයිය ත් මේ දවස්වල ලංකාවට ඇවිත්…. අනේ මහත්තයො මෙයාට අපි වෙනුවෙන් නිවාඩුවක් දෙන්න."

"අප්පා… මම නිවාඩු ගන්නෙත් මෙයාගෙන්… දැං ඔක්කොම වැඩ කරන්නෙ මෙයා නේ…. මම විශ්‍රාම ගියා නේ… ඒක නේ ඔය ඉඩම ගත්තෙත්…. මගෙන් අහල වැඩක් නෑ"

"ඔන්න දුවේ එන්න ඕන.. වැඩ කියල බෑ… නැන්ද මගෙන් දුවගෙ නොම්මරෙත් ඉල්ල ගත්ත… දුවටත් කථා කරාවි"

~~~~~~~~~~

යාන්තම් වරකාපොල පහුවෙනවා ත් සමග ම ඇයගේ ජංගම දුර කථනය නාද වන්නට වි ය… 

"හලෝ…. ඔව් නැන්දෙ මම මේ සර් එක්ක කොළඹ යන ගමන්… සර් ලියන පොතකට ලොකේශන් බලන්න ගියා… හරි නැන්දෙ මම කොළඹ ගිහිල්ල ගන්නම් මේ නොම්මරේට… ආ… අයියගෙ ෆෝන් එක ද… හරි මම ගන්නම් කියන්න… බුදු සරණයි නැන්දෙ"

"ඔව් ඉතිං ලොකේශන් බැලුව නේන්නං "

බාසුර කියන විට ඇයට සිනාව නවතා ගන්නට බැරි විය.

එදායින් පසු ඇය බාසුරගේ නිදන කාමරය ඇයගේ ද නිදන කාමරය කර ගත්තේ දෙදෙනාගේ ම කැමැත්ත පරිදි ය.

ජීවිතයේ කිසි දිනක නො ලද මිහිරක් හා ආදරයක් ලද ඇය, බාසුරගේ පාංශු දේහය තුරුලේ පෙම් සුව විඳිමින් සිය රාජකාරිය ද වෙනදාටත් වඩා යුහුසුලුවත් කාර්‍යක්ෂම වත් ඉටු කලේ ආදරයෙහි බලගතුකම කියාපාන්නක්  මෙනි.

~~~~~~~~~~

අම්මලාගේ පෙරැත්තයට ත් බාසුරගේ මෙහෙයවීමට ත් යට වූ තනූජා ගෙදර ආවේ සියලු කටයුතු බාසුර භාර ගන්නා බවට ඔහු ගෙන් ප්‍රතිඥාවක් ද ඇතිව ය.

"මම ගෙදර යන්නම්… හැබැයි ඔන්න වැඩ අවුල් කරල තියනව එහෙම නෙමෙයි"

එයට ප්‍රතිචාර හැටියට බාසුර කළේ ඇයව ළඟට ගෙන හිස සිඹ අවසර දීම පමණි.. ඔහු නිකමටවත් ඇයගෙන් මුදල් ගත්තා දැයි නොඇසුවේ මේ වන විට සියලුම පරිපාලනයන් ඇය නිසියාකාරව ඉටු කරනා බව හොඳින් දැන සිටි නිසා ය.

"නැන්දලා අපේ ගෙදර නවතින්න එන්නෙ නෑ… උදේ ඇවිත් හවස යාවි… මම එයාල ගිය ගමන් එනව"

"බුදු සරණයි පරිස්සමින් ගිහිල්ල එන්න… ගිහිල්ල මට කෝල් කරන්න."

ඇය සිය වාහනය පණගන්වා ඉදිරියට ගියේ හැකි ඉක්මනින් ආපහු එන බවට අධිෂ්ඨාන කර ගෙන ය.

ඇය ගේට්ටුවෙන් පිටවන තුරු බලා සිටි බාසුර අසල තිබූ හාන්සි පුටුවට බර වූයේ ජීවිතේ කිසි දිනක නොදැනුනු පාළුවක් තුළ සිරවෙමිනි. ඔහුට ද මේ ගමන යන්න තිබුනා නම් යන සිතිවිල්ල ඔහු ආයාසයෙන් යටපත් කර ගත්තේ එය නුසුදුසු ක්‍රියාවක් යැයි තමාට ම කියා ගනිමින් ය.

තනූජාගේ මෙම ගමන ඔවුනගේ ජීවිත උඩුයටිකුරු කරාවි යන හැඟීම මොහොතකට හෝ බාසුර නොසිතූවත් ඇය පිළිබඳව ඔහු තුල තිබූ  සෙනෙහස හා ආදරය විසින් ඔහුගේ මනස තුළ යම්කිසි කැළඹීමක් මේ වන විටත් ඇති කර තිබුණි.

ඇයගේ ජීවිතය පිළිබඳ සුළුවෙන් හෝ බලපෑමක් කිරීම එක් අතකට අනාගතයේ විශාල පසු තැවීමකට මුල් විය හැකි බව ඔහු හොඳින් දැන සිටියේය…. සියල්ලන්ගේ කැමැත්ත ලැබ ඇය හා සරණ බන්ධනයකට ඇතුළත් වූව ද දෙදෙනා අතර ඇති වයස පරතරය පසු කලෙක ප්‍රශ්න රාශියක මූලාරම්භය විය හැකි බවට ඔහු හොඳට ම තේරුම් ගෙන තිබුණි. ඔහු හට වෙනත් සාධාරණ විකල්පයක් නො වූ හෙයින් ඔහු නිහඬවීමට තීරණය කළද ඇය කෙරෙහි තිබූ ආදරය කිසි විටෙකත් නොවෙනස්ව පවතින බවට ඔහුට ම සපථ කර ගත්තේ ය.

~~~~~~~~~~

"අයියා සුදු වෙලා හැඩවෙලා නළුවෙක් වගේ නේ"

තනූජා පැකිළීමකින් තොරව ම කීවේ කුඩා කල එකට හැදී වැඩුණු හැටි සිහිපත් කරගනිමිනි.

"නංගි ත් අර ඉස්සර හොටු පෙරා ගෙන හතර අතේ දිව්ව පොඩි කෙල්ල නෙමෙයි නේ දැං"

කවදත් හාස්‍යයෙහි දක්ෂයෙකු වූ නිස්සංක කීවේ කුඩා කල ඇය ව විහිලුවෙන් හැඬ වු අයුරු සිහිපත් කරගනිමිනි

"ඔව් ඉතිං අයියත් ඒ කාලෙ ජංගි කොටේ හැලි හැලි දිව්ව අහිංසකය නේ…."

කුඩා කල විහිළු වලට ඇස් රතු කරගත්ත ද අද ඔහු ඉදිරියේ ඉන්නේ වෙනස් ම ගැහැනියක් බව අඟවමිනි. 

නැන්දලාගේ පැමිණීම ඉමහත් අපේක්ෂා සහගත කරුණක්ව තිබූ සෙයක් තනූජාගේ දෙමව්පියන්ගේ හැසිරීම තුළි න් පැහැදිලි කරුණක් ව තිබුණි.

"තාත්තෙ…. අපිට කරදර කරන්නෙ නැතුව ඕන කරන වීදුරුයි… හපන්න මොනව හරි පීරිසියකුයි අරගෙන ම යන්න... "

දහවල් කෑමට සුළු මොහොතකට පෙර තනූජාගේ පියා සිය මස්සිනා සමග අමුත්තන් සඳහා වෙන් කර තිබූ කාමරය තුළට යනවා දුටු  තනූජා හඬ නගා කීවේ, ගිය සතියේ බාසුර විසින් තෑගි කරන ලද රට බීම බෝතලය සිහියට නගා ගනිමින් සියල්ලන්ගේ ම අවධානය ද ඒ දෙසට යොමු කරමින් ය. 

කෑම මේසය ද මගුල් මේසයක් මෙන් පිළියෙල කර තිබූ අතර විශේෂයෙන් පිළියෙල කරන ලද වල් ඌරු මස් කරියක්ද අමුත්තන්ගේ අවධානයට යොමු වී තිබුණි…. සියල්ල ගමේ පිළිවෙළට ම පිළියෙල කරන ලද්දේ විශේෂයෙන් ම නිස්සංකගේ සිත් ගන්නා සුළු අන්දමට ය.

නිස්සංක ත් තාත්තා ත් එක ළඟ අසුන් දෙකක හිඳගත් අතර තනූජා ත් ඇයගේ පියා ත් අසුන් ගත්තේ එක ළඟමය…. නිවසේ ගෘහණිය ලෙස ඇයගේ මව අසුන් නොගත්ත ද නිස්සංකගේ මව අසුන් නොගැනීම තනූජා මදක් කුතුහලයට පත් කරවන්නක් විය.

"නැන්දත් ඉඳගන්නකො …"

"ඔයාල කන්නකෝ මම නංගි ත් එක්ක පස්සෙ කන්නම්"

ඇය එසේ පැවසූයේ සිය සැමියාට කෑම බෙදනා අතුරතුරදී ය… ඇයගේ සැමියා ද තමාට කෑම බෙදීමේ සියලුම වගකීම් සිය බිරිඳ වෙත පටවා බලා සිටීම තනූජා මදකට වික්ෂිප්ත කළා ය.

"අයියා බෙදාගන්න…" 

ඇය එසේ කීව ද ඔහු ඒ ගැන උනන්දුවක් නොදැක් වූයේ මන්දැයි සිතනවා ත් සමග ම නිස්සංකගේ මව සිය එකම පුතාට කෑම බෙදීම යුහුසුලු ව ආරම්භ කළෙන් ඇයගේ කුකුස සැනෙකින් පහව යනු පෙනුණි.

ඔවුන් දෙදෙනාගේ සියලු ම අඩු පාඩු ඉතාමත් ම උනන්දුවෙන් බලා සිට සැනින් පියවීම නැන්දා අතින් ඉටු වූයේ, තාත්තාගේ ත් පුතාගේ ත් කිසියම් ම විදිහක හෝ ඉල්ලිමකින් තොරවමය… එය බලා සිටි නිවැසියන්ගේ සිත් තුළ යම්තාක් දුරකට කුතුහලයක් අවදි වූවද ඔවුන් කිසිවෙක් එය නුදුටුවාක් මෙන් හැසිරෙන ආකාරයක් පෙන්නුම් කර ලී ය.

ආහාර ගැනීමෙන් පසුව ද දෙදෙනාට ම අත සේදීම සඳහා වතුර භාජන හා අත් පිසිනා වෙන වෙන ම පිළියෙළ කර ඇල්ලීම පවා සිදු කෙරුනේ නිස්සංකගේ මවගේ අතින් වූව ද, තනූජා ත් ඇයගේ පියා ත් නැගිට ගොස් ඒ අසල ම සවිකර තිබූ නවීන පන්නයේ කරාමය සහිත බේසමට අත සේදීම තරමක විශේෂත්වයක් පිළි බිඹු වන්නක් වි ය.

සිය පියා මෙන් විවෘතව දරුවන් ඉදිරියේ කථා නොකරන චරිතයක් ලෙස නෑ පරපුර අතර ප්‍රසිද්ධියක් ඉසි ලූ නිස්සංකගේ පියා ඔවුන්ගේ ගමේ පුහු මාන්නයකින් හිස උදුම්මවාගත් චරිතයක් ලෙස අසල්වාසීන් සලකන බැව් මේ වන විට තනූජා දැන සිටියේ නැත… මේ සම්බන්ධව ඇයගේ සිත තුළ අප්‍රසන්න හැඟීමක් ඇති කළ ප්‍රථම දිනය මෙය වූ අතර ඇය සිතින් ඇයගේ ම පියාගේ ත්, මේ වනවිට ඉතා ප්‍රසිද්ධියක් ඉසිලූ බාසුරගේ ත් නිරහංකාර හා නිහතමානී අදහස් මෙනෙහි කරන්නට විය…. 

"දැන් ඉතිං කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නෙ…. දුවගෙනු ත් ඇහුවොත් හොඳයි නේ ද?"

නැන්දා එසේ කියන විට තනූජා දෙමව්පියන්ගේ පෙර කථිකා කරගත් වැඩ පිලිවෙලක් ගැන හාංකවිසියක් දැන නොසිටියෙන් තාත්තා වෙත ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේ යමක් දැන ගැනීම පිණිසය.

"දුවගෙ අදහසු ත් දැනගන්න එපායැ… මේ නැන්ද දුවට යෝජනාවක් කරනව… මොකද දුව කියන්නේ"

තාත්තා කෙලින් ම මාතෘකාවට බැස්සේ සියල්ලන් ම ඉදිරිපිටදී වීම තමා අපහසුතාවයකට පත් කිරීමකැයි මොහොතකට ඇය සිතූව ත් එසැනින් එය සිතෙන් බැහැර කළේ කුඩා කල සිට ම ඇය තුල තිබූ අපරිමිත පීතෘ සෙනෙහස නිසා වෙනි…. ඇයගේ සිත විදුලි වේගයෙන් බාසුරගේ ත් ඇයගේ ත් ඇසුර හා සම්බන්ධව ඔහු දරනා යම් යම් අදහස් වෙත යොමු වී ය.

"තනූජා… මට ඔයා වෙනුවෙන් මගේ මුළු ජීවිතය ම උනත් කැප කරන්න පුළුවන්… ඒත් අපේ වයස පරතරයත් මගේ ප්‍රසිද්ධියත් නිසා මට ඔයාව බඳින්න බෑ… ඒකට ප්‍රධාන ම හේතුව මම ඔයාව බැන්දොත් මාධ්‍ය ඔයා අවස්ථාවාදී ගැහැනියක් කියල හංවඩු ගහනව… මේක හොඳට හිතට ගන්න…. මම ජීවිතේට ඔයාව පත්කරන්නෙ නෑ කසාදයක් කරගන්න බැරි තත්වයට… මම මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි… මගෙන් ඔයාට උපරිම රැකවරණය ලැබෙනව…. මම දන්නව කවදා හරි දෙමව්පියන්ගේ එකම දරුවා හැටියට ඔයාට විවාහයක් කරගන්න ම වෙනවා… එදාට ඔයාට සිද්ධ වෙනව මාව සම්පූර්ණයෙන්ම හිතෙන් අයින් කරල වෙන් වෙන්න… ඒකයි යථාර්ථය"

කුඩා කල එකට හැදී වැඩුණු නිස්සංක අයියාගේ පියාට අයත් ව තිබූ ඉඩ කඩම් හේතුවෙන් ඔවුන් මහනුවර පදිංචිය අත හැර බිබිලට පදිංචියට යාමට සැරසුනේ තනූජා මහාමායාවේ තුන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ය…. 

ඔවුන් නික්ම යන දිනයේ ඇය හොඳට ම ඇඬුවා මතකය… 

"අයියේ… මම වැලිබත් ඉවුවා.. එන්න කෝ"

කුඩා අවධියේ එවන් අවස්ථාවල දී නිස්සංක අයියා ඇයගේ සිත රිදෙව්වේ වැලි බත් පොල් කට්ට වීසි කරමින් බව ඇය සිහිපත් කලා ය… කුඩා අවධියේ සිට ම මාමාත් නැන්දා ත් සියලුම වැඩ කළේ කුඩා දරුවකු ව සිටි නිස්සංකට උවමනා විදිහට ය… කිසි ම විටක මොන යම් ක්‍රියාවකට හෝ දොස් පැවරුවේ වත් තරවටු කළේ වත් නැත…. සෑම විට ම ඔහු නිදොස් කළේය… වරද පිට අය මත පැටවීම ඔවුන් කළ විශාල වරදක් බවට තනූජාගෙ දෙමව්පියන් නිතර කථා වෙනවා ඇයට මතක ය.
එය එසේ වුව ද නිස්සංක සිය පියාට අයත් කුමන හෝ භාණ්ඩයකට අත තබා එය වෙනස් කර තිබූ අවස්ථාවන් හිදී නිර්දය ලෙස පහර දෙන අවස්ථා ඇයට මතක ය.

නිශ්ශංකගේ පියා සෑමවිට ම අන් අය විශේෂයෙන් සිය බිරිඳ ඇතුළු සියලුම ස්ත්‍රීන් ඉතා පහත් ලෙස සලකන පුද්ගලයෙකු බව ප්‍රකට කරුණකි… ඔහු සුළු වැරදි වලට පවා සිය බිරිඳට අඩන්තේටම් කළ අවස්ථා තනූජා සිහිපත් කළාය.

නිස්සංක අයියා අද ඇය ඉදිරියේ පෙනී සිටින්නේ නිහතමානී කඩවසම් යුරෝපයේ පදිංචි වැදගත් රැකියාවක නියැලි පුරුෂයෙකු ලෙස ය… ඔහුගේ සිත් ඇද ගන්නා සුළු කඩවසම් සිරුර ද ඕනෑ ම ස්ත්‍රියක් වශී කරවන සුළු ය… යුරෝපයේ ඕනෑ තරම් සුදු කෙල්ලන් ඔහුගේ පහස විඳ ඇතිවාට සැකයක් ද නැත… එහෙත් ඔහු ඇය සොයාගෙන පැමිණියා නේදැයි ඇයට සිහිපත් වී ය..

"හරි ඉතිං අම්මලා හඳහන් බැලුවෙ නෑ නේ තාම"

ඇය සිය කැමැත්ත ව්‍යාංගාර්ථයෙන් ප්‍රකාශ කළේ නිස්සංක වෙත සිය දෑස් යොමු කරමින් සිනහවකින් ද මුව සරසා ගනිමින් ය.

"අනේ මේ ඔය මෝඩ වැඩ නං කරන්න තියාගන්න එපා"

නිස්සංක නෝක්කාඩු ස්වරයෙන් කී විට සියල්ලෝ ම එය ඒකමතිකව අනුමත කළෝය.

~~~~~~~~~~

"කොහොමද අම්මලා සනීපෙන් ද?"

බාසුර විමසූයේ තනූජා සිය මෝටර් රථය නවතා සිය නිවසින් ම කඩා ගත් අලි පේර මල්ලක් ද අතැතිව ගෙට ගොඩ වනවාත් සමග ය.

"තාත්ත ඔයාට ම කියලා අලිපේර දුන්න…. එයාල හොඳින් ඉන්නව… අම්ම නං ඉතිං හැමදාම ලෙඩින් නේ… මේ සැරෙත් මම ඩොක්ටර් කෙනෙකුට පෙන්නල ආවෙ"

"මොකද්ද ප්‍රශ්නෙ?"

"ප්‍රශ්නයක් නැති එක අනේ… ඩොක්ටර් බෙහෙත් වගයක් දීල කිව්ව පේන්න නම් ලෙඩක් නෑ කියලා"

"දෝනියැන්ද ගැන හිතනව වැඩියි වගේ"

"ඩොක්ටර් ඔයාගෙ උග්‍ර ෆෑන් කෙනෙක්…. ඔයාගෙ ඔක්කොම පොත් එයා ළඟ තියෙනව කිව්ව"

"ඔයා මොකටද මගේ ගැන කියන්න ගියේ"

"ඉතිං මගෙන් ඇහුව ම මොනවද කරන්නෙ කියල …. මම කිව්ව ඔයාගෙ ආට් වර්ක් කරනව කියල.. වෙන මොනව කියන්න ද?"

ඇය නිස්සංකගේ යෝජනාව පිළිබඳ කථිකාව පටන් ගත්තේ රාත්‍රී ඇය විසින් ම පිළියෙළ කරන ලද ආහාර වේලට ද පසුව ය.

"ඉතිං කියන්නකෝ ගමනේ විස්තරේ"

බාසුර සාලයේ ඔහුගේ ප්‍රියතම හාන්සි පුටුවේ දිගා වෙමින් ඇසුවේ ඇය ගියේ ඇයගේ ඇවැස්ස මස්සිනාගේ පැමිණීම අපේක්ෂාවෙන් බව නොදැන ම නොවේ…. 

"එයාල ආව… කාල බීල ගියා"

දීර්ඝ විස්තරයක් නොවලහා කීමට ඇයට අවශ්‍යතාවය තිබුන ද එයට අවතීර්ණ වීම තරමක අපහසු කාරණයක් සේ ඇයට හැඟී ගියා ය…. ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව බාසුරගේ ස්ථාවරය ගැන ඇය හොඳින් දැන සිටිය ද මෙම කරුණ සිතනවාට ත් වඩා බරපතල බව ඇය මෙනෙහි කළේ කොළඹ එන අතරතුරදී ය. 

කුඩා කල ඇයගේ සිහිනයක් ව තිබූ චිත්‍ර කර්මය සාක්ෂාත් කර ගැනීමට අත හිත දුන් ඇයගේ ප්‍රේමවන්තයා හැර යාම ඇයට සුළු පටු කාර්‍යයක් සේ සිතිය නොහැකි ය… ඇය ඔහුට තරයේ පෙම් බැන්දාය… කිසි දිනෙක ඔවුනතර නොහොඳ නෝක්කාඩුවක් ඇති නොවී ය… ඇය නිසා ඔහුගේ ත් ඔහු නිසා ඇයගේ ත් ජීවිත ආලෝකමත් වූ බව සක් සුදක් සේ පැහැදිලි ය. 

"එදා තාත්ත මට පැත්තකට අඬගහලා කිව්ව එයාල එන්නෙ ඔයාට යෝජනාවක් කරන්නය කියලා… ඒක නිසා කොහොම හරි ඔයාව එවන්න කිව්වෙ"

සතියක් පුරාවට නොදන්නා බව අඟවමින් බාසුර එය රැකගත්තේ ඇයගේ සිත ඔහු නිසා වෙනස් වේ යැයි සිතූ නිසා ය… ඔහුට ද එසේ සිතීමට හේතුවක් වූයේ බොහෝ අවස්ථාවන්හිදී කසාදයක් කර නොගෙන තනිව ම ඔහුගේ ඇසුරේ සිටින්නට ඇති කැමැත්ත ඇය විසින් ම ප්‍රකාශ කර තිබූ නිසා ය.

"ඇයි මට කිව්වෙ නැත්තෙ… මමවත් දැනගෙන හිටියෙ නෑ නේ"

"හරි ඉතිං මොකද උනේ… මස්සිනා හොඳ ද?"

"ම්ම්ම්… නරකක් කියන්න බෑ"

"මේ ටික හොඳින් අහගන්න තනූජ…. අපේ සම්බන්ධෙ ඕකට බාධාවක් කරගන්න එපා… මම ඔයාගෙත් මගෙත් තත්වෙ හොඳට අවබෝධ කරගෙනයි ඉන්නෙ… ඔයාට දෙමව්පියන් වෙනුවෙනුත් වගකීමක් තියෙනව… ඔයා එක ම දරුව… මම කාත් කවුරුවත් නැති කෙනෙක්… මම කලින් ඔයාට පැහැදිලි කරලා දීල තියෙනව මගේ ස්ථාවරේ…. මම ඔයාට පණ වගේ ආදරෙයි… මට ඔයාව මුළු ජීවිත කාලෙටම ඕන… ඒත් එහෙම කියලා ඔයා මගේ ළඟ හිරකරන්න මට බෑ… ඔයා ඔයාගෙ ලෝකෙ හොයාගෙන යන්න ම ඕන… මට ආත්මාර්ථකාමී වෙන්න බෑ වස්තුවෙ… මට ඔයාගෙ දෙමව්පියන්ට ද්‍රෝහී වෙන්න ත් බෑ"

බාසුර එසේ කියන්නේ හිතේ තද කරගත් වේදනාවකින් බව ඔහුගේ මුහුණේ ඉරියව් වලින් ඇයට පැහැදිලි වූ හෙයින් තව දුරටත් මේ අපූරු මිනිසාගේ හිත රිදවීමට උත්සාහයක් නොගත්තා ය.

"තව කල් තියෙනවනේ බාසුර ඕක ගැන තීරණයක් ගන්න…. දැං රෑ වෙලා… යමු නිදා ගන්න"

"තනූජා…  මම ඔයාට මේ යෝජනාවට කැමති වෙන්න කියන්නෙත් නෑ… එපා කියන්නෙත් නෑ… ඒකට හේතුව මම එයා ගැන කිසි දෙයක් දන්නෙ නෑ….. මට කියන්න පුළුවන් මගේ ස්ථාවරේ විතරමයි… ඔයා පොඩි කාලෙ ඉඳන් ම දන්න ඔයාගෙ ම මස්සිනා… මට වඩා හොඳට ඒ ගැන තීරණයක් ගන්න ඔයාට පුළුවන්"

"ඔයා මට පොරොන්දු වෙන්න ඔයා කාන්ති ඇන්ටි ව බඳිනව කියල… එතකොට මට පුළුවන් හිත හදාගෙන ඔයා ව බලාගන්න කෙනෙක් ඉන්නවා කියල තීරණයක් ගන්න"

කාන්ති නිතර දෙවේලේ ඔහු ගැන සොයා බලන බාසුරගේ රසිකාවියක් වන සුප්‍රසිද්ධ ගායිකාවකි… ඔහුට දුරස්ථ ඥාතිත්වයක් ද මේ වන විට සොයාගෙන සිටි ඇය දරු ඵල නොමැති වීම හේතුවෙන් ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික ජගත් ඉලේපෙරුම නැමැත්තෙකුගෙන් දික්කසාද වී සිටි රූමත් ගැහැනියක් වූව ද බාසුර හා ඇය අතර තිබූ සම්බන්ධය හුඳෙක් බාසුර ලවා පද මාලා ලියවා ගැනීම පමණකි… එහෙත් ඇය ඔහු වෙත දක්වන විශේෂිත සැලකිල්ල කවුරුත් දන්නා රහසක් ම වී ය.

"මට අනවශ්‍ය යෝජනා කරන්න එපා තනූජ…. ඔයා දන්නව මම එයා වෙනුවෙන් සිංදු ලියනව ඇරෙන්න වෙන කිසි ම ආකර්ෂණයක් මගේ හිතේ නෑ කියල… බොරු ආටෝප වලට මම කැමති නැති විත්තිය ඔයා දන්නව නේ…. මගේ පළවෙනි විවාහයත් අසාර්ථක උනේ පුහු ආටෝප නිසා කියල ඔයා දන්නව නේ…. මට ආදරේ ලැබුනෙ ඔයා නිසා… ඔයාගෙන්… ආදරේ ගැන මගේ හිතේ ඇඳිල තිබුන කළු සුදු සිත්තම් ඔයා පාට ගැන්නුවා.. මට මගේ ඉතුරු කාලෙ ඒ සිත්තම් එක්ක ජීවත් වෙන්න පුළුවන්… මේ සැරේ ඔයා නොගියත් කවදාහරි ඔයාට යන්න වෙනව…. ඔයා නිසා මගේ ජීවිතේ වර්ණවත් උනා… ඒ වෙනුවෙන් මම ඔයාට ණයයි… ඔයා ගන්න ඕන ම තීරණයකට මම එකඟයි… එකකට ඇරෙන්න…. ඔයා නොබැඳ ඉන්න ගන්න තීරණයකට ඇර…. ඒකට මට එකඟ වෙන්න බෑ…. ඒත් මොනයම් හෝ හේතුවකින් ඔයා නොබැඳ හිටියොත් මම ජීවතුන් අතර ඉන්න තාක් කල් ඔයාට දුකක් නොදී බලා ගන්නව… ඔයා කවුරු එක්ක කොහේ හිටියත් මම ඔයා ළඟම ඉන්නව"

මේ වන විටත් දෙපාර්ශවයේ ම දෙමව්පියන් හා නිස්සංක ඔවුන්ගේ විවාහය සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටිනා බැවි තනූජා හට වැටහී තිබුන ද එය බාසුරට සැලකර සිටීම ඇය ප්‍රමාද කළේ එය ඔහුට යම්හෙයකින් දරාගත නොහැකි වූවොත් යන සැකය පෙරදැරිව ය.

මාස දෙකක් වැනි සුළු කාලයක් තුළ කොළඹ තරු පහේ හෝටලයක දී නිස්සංකගේ ත් තනූජාගෙත් විවාහ මංගල්‍යය සිදුවූ යේ බාසුරගේ පූර්ණ සහභාගීත්වය හා ධන පරිත්‍යාගයෙන් වුව ද එය රහසක් සේ තබාගැනීමට දෙදෙනා ම එකඟ වීය. බාසුර මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කළ අතර මනමාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයකු පැමිණ සිටිය ත් වැඩි අවධානයක් බාසුර වෙත යොමුවී තිබීම මෙහි විශේෂ කරුණක් වී තිබුණි.

~~~~~~~~~~

වසර 2048…
පෙබරවාරි මස 29 දින
ස්ථානය: කොළඹ වරාය නව නගරය, "සලිකේ" හෝටලය

"පසුගිය වසරේ හොඳ ම නව කථාව…. අනුත්තර රණසිංහ විසින් රච්ත අපේ අම්මා… එම නව කථාවට හිමි ත්‍යාගය රංබණ්ඩා බාසුර අතින් රචකයා වෙත පිරිනමන මොහොතයි මේ…. මෙහි ඇති විශේෂත්වය අනුත්තර ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු එංගලන්තයේ සිංහලයෙකු වීමත් එරට ඉපිද හැදී වැඩී චතුර ලෙස සිංහල බස හැසිරවීමත් ය… ඉතාමත් අනුවේදනීය සත්‍ය කථාවක් ඇසුරින් කරනා ලද මෙම කෘතිය සදහා නියමිත ත්‍යාගය ලබා ගැනීමට වේදිකාවට ගොඩවන ලෙස අනුත්තර රණසිංහ මහතාට සංවිධායක මඩුල්ලේ ගෞරවනීය ආරධනයයි මේ"

රැස්ව සිටි සියල්ලන්ගේ ත් අග්‍රාමාත්‍ය තුමාගේ ත් අත් පොළසන් නාදය මධ්‍යයේ වේදිකාවට ගොඩවූයේ ලාංකීය ක්‍රමයට හැඳ පැළඳ ගත් මැදිවියේ පුද්ගලයෙකි…. ඔහු වේදිකාව මැද නතර වූයේ ප්‍රේක්ශකාගාරය දෙසට අත් ඔසවා ආචාර කිරීම පිණිස ය…. ඉන් පසු මහත් ඔල්වරසන් මධ්‍යයේ මහා ගත්කරු රන්බණ්ඩා බාසුර අතින් පළමු ත්‍යාගය පිරිණමනු වේදිකාවේ අළු පැහැති සාරියකින් සැරසී සිටි අනුත්තරගේ මව බලාසිටියේ කඳුළු පිරි දෑසිනි.

අනුත්තරට ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරු ව බාසුර ඔහු ව වැළඳගත් ආකාරය ප්‍රේක්ෂකාගාරයේ සිටියවුන් තරමක් කුතුහලයට පත් කල ද ඉන් පසු සිදු වූ සිද්ධි දාමය දෙස ඔවුහු විස්මයෙන් යුතු ව බලා සිටියෝ ය.

බාසුර ත් අනුත්තර ත් කල සුළු කතා බහෙන් අනතුරු ව නිවේදකයා ළඟට කැඳවා ගත් බාසුර ඔහුට යමක් පවසනවා සියල්ලොම දුටුවෝ ය.

" මහා ගත්කරු රන්බණ්ඩා බාසුර මහතාගේ කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට මට අවසර… එතුමාගේ සියවන උපන්දිනය යෙදී තිබෙන අද දිනයේ ඔහුගේ කාරුණික ඉල්ලීමක් ඉටු කරනා මෙන් අනුත්තර මහතාගේ මවගෙන් ඔහු වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා… ප්‍රේක්ෂකාගාරයේ ඉදිරි පෙළ අසුනේ සිටින අනුත්තරගේ මවටයි මේ විශේෂ ආරාධනය… කරුණාකර වේදිකාවට පැමිණ මෙවන් විශිෂ්ට ගනයේ ලේඛකයෙකු බිහි කිරීම වෙනුවෙන් ඇය වෙත බාසුර මහතා විසින් පිරිනැමෙන විශේෂ තිළිනය භාරගන්න.... මෙම විශේෂ තිළිනය උදෙසා සංවිධායක මඬුල්ලේ කිසි ම බලපෑමක් හෝ සහභාගීත්වයක් නොමැති බවත් එය හුදෙක් බාසුර මහතාගේ පුද්ගලික තීරණයක් මත සිදු කෙරෙන්නක් බවත් මෙහි සිටිනා සියලු දෙනාගේ දැන ගැනීම පිණිස නිවේදනය කරන ලෙසට මා වෙත උපදෙස් ලැබුනා…"

මේ වන විට අනුත්තරගේ මව ඉතා සෙමෙන් සිය කදුළු පිස දමමින් වේදිකාවට ගොඩ වෙමින් සිටි අතර බාසුර යම්කිසි ලිපියක් අතැතිව ඇය ඉදිරියට ගොස් ඇයව වැළඳගත්තේ සෙනෙහසින් වීම කුතුහලය අවුස්සන්නක් විය…. ඔහු ඇයට ලිපියක් වැනි යමක් ප්‍රදානය කරමින් යමක් කීවේ උතුරා ගිය සතුටින් යුතුව ය.

ඉනික්බිති ව සිය අසුනට තරමක අපහසුවෙන්‍ යන බාසුර දුටු මෙතෙක් නිහඬව සිටි අග්‍රාමාත්‍ය වරයාගේ කිසියම් සංඥාවකින් ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් බාසුරව වට කර ගන්නවා ත් සමග ම වේදිකාව පිටුපස සිටි අග්‍රාමාත්‍ය වෛද්‍ය සේවය ද ක්‍රියාත්මක වී බාසුර වටකර ගත්තේ ය. 

අග්‍රාමාත්‍ය තුමාගේ අණින් උත්සවයේ වැඩ කටයුතු අවසන් කළ නිවේදකයා ඔසවා ගෙනයන බාසුරගේ සිරුර දෙස බලමින් බාසුර මහතා හදිසි අසනිප තත්වයක් බව ප්‍රේක්ෂකයන්ට දැනුම් දුන්නේ ය…. අනුත්තර සිය මහලු මව වත්තන් කරගෙන ශාලාවෙන් පිට වූයේ කිසිවෙකුටත් නොදන්වා ය. 

එදි න රාත්‍රියේ ඔවුන් නැවතී සිටි හෝටලය පුරා පැතිර ගිය දුක්ඛදායක ආරංචිය වූයේ බාසුර සිය දිවියෙන් සමුගත් බව ය….. ඇය මේ වන විටත් ඇයට ලැබුන තිළිනය විවෘත කර නො තිබුන අතර එ දින සිදු වීම් ඇය වික්ෂිප්ත කර තිබුණි… 

හිතාදර තනූජා,

මා වෙත සාහිත්‍ය අමාත්‍යාංශය විසින් ජයග්‍රාහී පුස්තකය තෙරීම සඳහා ඉදිරි පත් කර තිබූ පොත් සියල්ල කියවා බැලූයෙමි…. ඔබගේ අනුත්තර පුතා විසින් රච්ත "මගේ අම්මා" කියවූ මම එය ඔබේ ත් මගේ ත් කතාවෙහි ඉතිරි කොටස බවට ප්‍රත්‍යක්ෂ වීමත් සමග ම පුද්ගලික හේතූන් මත යැයි පවසා, තේරීම් කමිටුවේ සභාපති හැටියට මා දැරූ ගරු තනතුරින් ඉල්ල අස්වීමට හේතුව, ඔබට වැටහෙනවා යැයි මට ස්ථීර ය.

මාගේ කීර්තිමත් ලේඛන දිවියේ ඔබ වෙත ලියන ප්‍රථම හා අවසාන ලිපිය මෙය විය හැක…. මා ඔබ වෙත පොරොන්දු වූ පරිදි ඔබගේ ආදරය තුළ වසර සියය අද දින පසු කරන්නේ ඔබගේ අනුත්තර පුතු තුළින් මා යළි ඉපිද ඇති බවට ඒත්තු යාමත් සමග ය… එය මට විශාල අස්වැසිල්ලකි.

මාගේ අම්මා කෘතියෙහි එන සියල්ල සැබෑ ලෝකයේ ආදර අන්දරයක් බැවි දන්නේ ඔබ ත් මම ත් බොහෝවිට අනුත්තර පුතා ත් පමණක් විය හැක… 

ඔබ එංගලන්තය බලා යාමට කලින් මෙම ලිපියෙහි සඳහන් නීතිඥයා හමු වී මගේ සියලු ම දේපල භාරකාරත්වය ගන්න…. ඔබ හැර වෙන කිසිවෙක් මගේ දිවියෙහි කොටස්කරුවකු නොවූයෙන් ඒ සියල්ල අයිති විය යුත්තේ ද ඔබට මය…. ඔබගේ ස්වාමිපුරුෂයා ද මිය ගිය බැව් පොතෙහි සඳහන් වී තිබූ බව හා ඔබ විඳි දුක් ගැහැට මා සසල කරවීමට සමත් විය. 

ඉඩක් ලදොත් මගේ නිවසට පැමිණ මා දැක බලා යන්නැයි ඉල්ලීම මා කරන්නේ ඔබ වෙත බැඳි පෙම පෙරදැරිව ය.

ඔබට ත් අනුත්තර පුතාට ත් බුදු සරණ පතමි. තවත් වසර ගණනාවක් අනුත්තර තුළින් මා ඔබ ලඟින් ම නොසැලී සිටිනවා ඇත.

මෙයට,

බාසුර.

පසු දින බාසුර අග්‍රාමාත්‍ය තුමා වෙත කර තිබූ අවසාන ඉල්ලීම පරිදි රංබණ්ඩා බාසුරගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කළේ පැය විසිහතරක් යාමට ද කලින්ය… එහි පසෙකට වී අවසන් ගෞරවය පුද කිරීමට බලා සිටි තනූජා කඳුළු පිරි දෑසින් මහජනයා අතරින් නොපෙනී යනු කිසිවෙකුගේ ත් අවධානයට යොමු නොවී ය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget