තොර තෝංචියක් නැති කතාවක් - An incessant tale
2010 එක් දවසක්. තවත් එක් දවසක් නම් නෙමෙයි. විශේෂිත දවසක් මගේ ජීවිතේ. සති ගානක් පුරාවට මම ලෑස්ති උන මගේ ජීවිතේ ලස්සන වෙන්න පටන්ගන්න දවස කියල මම ගොඩාක් සතුටු උනා.
“ලස්සනට ඉන්න ඕන” කියල මගේ නෑන මට වදේ.
ඒ මොකටද කියල මම ඇහුවත් මම යටි හිතෙන් එදාට ලස්සනට ඉන්න දවල් හීන මැව්ව. කාටත් නොකිය facial එකක් දාගෙන ගෙදර ආවෙ අහුවෙන එකක් නෑ කියල හිතලමත් නෙමෙයි. අයියල ගනං ගත්තෙ නැතත්, නෑනට වැඩේ පත්තු වෙන්න වැඩි වෙලා ගියේ නෑ.
“අප්පද බොල මෙන්න මේකි….” කියල ලතෝනි දෙනකොටම මම පැනල කට වැහුව. කෙල්ලෙක් උනත් ඒකි බදාගන්නකොට කවදාවත් නැතුව මගේ ඇගට අමුත්තක් දැනුනෙ ඇයි කියල මට අදටත් තේරුම් ගන්න බෑ. එහෙම හැගීමක්. ඒක අලුත් හැගීමක් කියල හිතුන.
“උඹට ඕකනේ මම කිව්වෙ ලස්සනට ඉන්න බලපං කියල” නෑන රහසින් වගේ කියනකොටත් මම ඒකි බදාගෙන.
“ අත ඇරපං මාව” කියනකල් අතාරින්න හිත් දුන්නෙ නෑ.
මංගල යෝජනා වලට ආපු ලියුම් එකක්වත් බලන්න මම උනන්දු උනේ නැත්තෙ ඕන නැති කමටමත් නෙමෙයි කියල මට හිතුන. අනිත් අයට හොරෙන් මම හැම ලියුමක්ම කියෙව්ව. හිතෙන් ඒ පිරිමි රූප මවාගත්ත. උස මහත විතරක්මත් නෙමෙයි. අවසාන තීරණය ගත්තෙ නෑන. මම කිසිදෙයක් කිව්වෙ නෑ. නෑන අයිය බදින්න කලින් මගේ හොදම යාලුව. මම ගොඩාක් සතුටින් ඒකිව බාරගත්තෙ මගේ නෑන හැටියට. ඒකි මට ආදරෙයි.
අපේ අයිය හරිම නිවිච්ච චරිතයක්. ක්‍රියාන්විතයේ ඉදලා සුලු තුවාල නිසා ගමේම පොලීසියෙ වැඩ. නෑනට නම් ටිකක් දාංගලේ කියල බදින්නත් කලින් මම දන්නව. මම මුලදි ටිකක් භයෙන් හිටියෙ මේකිගේ දාංගලේ හැටියට ප්‍රශ්න ඇතිවේව්ද කියලත්. බැන්දට පස්සෙත් ලස්සන කොල්ලෙක් දැක්කම ඒකි නලියනව. ඒකි ලස්සනට වැඩිය පිරිමින්ගේ පිරිමිකමට තමයි කැමති. ඒ අතින් මම ගොඩාක් වෙනස්. මම කැමති ලස්සන හදවතකට.
“ යකෝ හිත තිබුනට මදි. පිරිමිකම නැතුව. උඹට ඕක තෙරුම් ගන්න බදින්නම ඕන”
මගේ අයිය ගොඩාක් තැන්පත් කෙනෙක්. එයාගෙ එහෙම ලොකුවට පිරිමිකමක් පෙනෙන්න තිබුනෙත් නෑ. පොලිසියට ගැලපෙන චරිතයක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා.
අපි බොහෝවිට කසාද ජීවිතේ රහස් ගැන කතා උනා. එහෙම වෙලාවට එයා අයිය ගැනත් කියවනව. අඩුපාඩු නොකියනවමත් නෙමෙයි. උදේට සමහර දවස් වලට මූණ අමුතුයි. අයිය වැඩට යනකල් ඉදලා හැමදෙයක්ම මට කියන්නෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන. ඒත් සමහර දවස්වල, කලාතුරකින් වගේ, කාමරෙන් එලියට එන්නෙ සංගීතෙකුත් දාගෙන. ඔය හැම සිද්දියක්ම මගේ හිතටත් ගතටත් බලපානව වගේ මට දැනුන.
කොහොම උනත් කොල්ලො ගැන වැඩි උනන්දුවක් නොතිබුණු මගේ හිතත් ගතත් ටිකෙන් ටික ඒ පැත්තට බර උනේ නෑනගෙ ආශ්‍රය නිසා කියල මට හිතෙනව. මගේ කාමරේ අයියලගෙ එකට අල්ලපු එක. සමහර දවස්වල නෑන කෙදිරිගාන සද්දෙට මම ඇහැරිලා ආසාවෙන් අහගෙන ඉන්නව. පහුවදා ට ඒකිගෙ දාංගලේ වැඩ් යි. මගේ අතින් අල්ලගෙන කියවනව. ඒ මදිවට මාව බදාගන්නව. ඒ කටකැඩිච්ච කතා මම ඉවසගෙන හිටියෙ ආසාවෙන්.
“ අපි ගාල්ලෙ ධනවත් පවුලක නිවසක් හිමි…..” නෑන කියවගෙන යනව. මම හිතෙන් මවා ගත්ත ඒ රූපෙ.
“අපි මේකට ලියමු, මේක හොදයි වගේ” කියල කියනව යාන්තමට ඇහෙනකොටත් මම ගාල්ලෙ කොටුබැම්ම උඩ.
“ කොහෙද මේ මල හෝන්තුවට කිසිම උවමනාවක් නෑ” කිව්වම මම ගස්සගෙන ගියෙ තරහටද නැත්නම් බොරුවටද කියල දන්නෙ මම විතරයි කියල හිතුවත්, මේ පරට්ට් කියනව මම අහගෙන “නිකං බොරු නැතුව හිටපං” කියල
නෑනගෙ අතින්ම ලියාපු පිලිතුරු ලියුමට උත්තරයක් ආවෙ හැරෙන තැපෑලෙන්.
“අම්මද බොල පොටෝ කෑල්ලකුත් එවල”
අරකිගෙ කෑගැහිල්ලට මගේ ඔඩොක්කුවෙ හිටපු පූසිත් පැනල දුවපි. මෙන්න බොලේ මේකි ලියුම කියවන එක පැත්තකට තියල
“ හැඩයි බං” කියනව.
බැරිම තැන අම්ම කියනව
“ පොටෝ එක පැත්තකට දමල ලියුම කියවල හිටිං”
ඒ ගොල්ල කැමති වෙලා මාව බලන්න ඕන කියල දිනයක් ඉල්ලලා. ඔක්කොම බැලුවට පස්සෙ අරකි මට පොටෝ එක දික්කරනව. කුනුහබ්බයක් කටට ආවත් ඕනවට එපාවට වගෙ අතට ගත්ත. දිගටම බලාගෙන ඉන්න හිතුනත් අමරුවෙන් පැත්තකින් තිබ්බෙ හිමීට ආපහු ගන්න හිතාගෙන. කොහෙද මේ පරට්ටි පොටො එකත් එක්ක නිදි වදින්න හදනව.
මම අවංකවම ලස්සන රූපෙකට වඩා ලස්සන ආදරයක් බලාපොරොත්තු උනත් ඒ වෙලාවෙ මට හිතුන මම හරිම වාසනාවන්තද කියලත්. ඒත් පස්සෙ එයාල එවාපු ලියුම් කියවනකොට මට හිතුන මෙයාල මෙච්චර හොද පවුලක අහිංසක කෙනෙක් නම් සල්ලි භාගෙත් තියෙනවනම් ඇයි මට කැමති වෙන්නෙ කියලත්. මගේ හිතට රිනාත්මක සිතිවිලි ආවත් මම හිතාගත්ත අපේ ගෙවල් දොරවල් දැකල මාවත් දැක්කම අකමැති වේවි කියල. එහාට මෙහාට යන හැමවෙලේම සාලෙ මේසෙ උඩ තිබුන අර පින්තූරෙ හොරෙන් බලන එක මට පුරුද්දක් උනා.
“ ඕක කොට්ටෙ යට තියාගනිං”. අරකි කෑගහනකල් මම හිතාගෙන හිටියෙනෑ මම මාට්ටු කියල.
“ ඔව් ඉතිං උඹේ අවසරේ ඕන නේ ඒකටත්” කියල සෙකන්ඩ් වෙන්නෙ නැතුවම අරගෙන ඇත්තටම කොට්ටෙ අස්සෙ ගැහුව.
අපේ ගෙදර හොද මදි නිසා අපි තීරණය කලා රට ඉන්න මල්ලිගෙ ගෙදර අස්පරස් කරලා ගන්න. ඒක වහල දාල තිබුනෙ. නෑන හරි උනන්දුයි මේ වැඩේට. වෙලාවකට මට කේන්තිත් යනව මේකි මාව ගෙදරින් එලවගන්නද හදන්නෙ කියලත්. ඒ හැගීම් යටපත් කරගත්තේ මම යන්න ඉන්නෙ ඊට වැඩිය ලොකු ලස්සන ගෙදරකට කියල හිතාගෙන. තවම කොල්ල දැකලාත් නෑ. මම හීන මවනව.
“ ඔය පූසට ඉන්න ඇරපං “
නෑන කෑ ගහනකොට මම ගාල්ලෙ කොටු තාප්පෙ උඩ. මේකි නං හැතිරියක්, මම මටම කියාගත්තෙ පූසි පෑත්තකට දාන්න උන නිසා නම් නෙමෙයි. එතකොට තමයි මට තේරුනේ මෑතක ඉදලා මම පූසි හුරතල් කරනවා වැඩියි කියල.
එයාල එන දවසෙ මම දන්න කැටයම් ඔක්කොම දාලා සාරියක් ඇදල හැඩ උනා. අපිට හැකි උපරිමයෙන් කෑම වේලකුත් හදලා තිබ්බ. අලුත්ම වාහන ගොඩකින් කට්ටිය බැහැල එනව මම ජනේලෙන් බලගෙන ඉන්නව දැකල අර කට කැඩිච්චි එකී චුට්ටක් ඉවසපන්ලු. මට වැඩිය ඒකිට ඉවසිල්ලක් නෑ. ඈතදිම මම එයාව අදුනගත්ත. කෙට්ටුයි. හැඩයි. ගානට උසත් හරි වගේ. පෙනුමත් නරක නෑ. ඇත්තටම අහිංසක මූනක්. අමුතු කුලෑටි කමකුත් පෙනුන. මොකද්දෝ ලෙඩ පෙනුමකුත් තිබුන. අකමැති වෙන්න හේතුවකුත් නෑ වගේ කියල හිතුනත් ලෙඩ පෙනුම මට කුතුහලයක් උනා. ඔක්කොටම හොරෙන් මම කොල්ලව මගේ මීටරේට දාගත්ත.
“කවුද බං අර බැරැස්සි” කියල නෑන අහනකොට තමයි මම එයාව දැක්කෙ. පස්ස පැත්තට ජැක් එකක් ගහල වගේ කොටට කොටේ පස්සෙන් ඉස්සිච්ච දිලිසෙන කොට ගවුමක් ඇදල එයාගෙ නංගි.
“පස්ස නං ආර්පිකො” කියල නෑන කියනකොට මට හිතුනත් ඉස්සරහත් ආර්පිකෝ කියල මොකවත් කිව්වෙ නෑ. මට ජීවත් වෙන්න වෙන්නෙ මෙයා එක්කද කියලත් හිතුන.
බුලත් අල්ලන්න යනකොට එයා බිම බලාගත්තත් ටිකක් වෙලා ඉන්නකොට මට දැනුන එයා මගේ හැම දෙයක්ම නිරීක්ෂණය කරනව කියල. කතා බහෙන් මට තේරුනා කට්ටියම ඉහලින්ම කැමති කියල. මට ඒවෙලාවෙ කිසිම දෙයක් හරි හැටි හිතාගන්න බැරි උනා. මම වෙනලෝකෙක හිටියෙ. අපේ කට්ටියත් එක පයින් කැමතියි. මට කියන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ. තීන්දුයි තීරණයි.
ඔය අතරෙ අපි කාගේත් ඇහැ ගැටුන චරිතයක් තිබුන.
“ කවුද බං අර” අපේ නෑන ගෙ හැකර කට ඇරිල.
ලස්සන ජීප් එකක ආපු එයාගෙ මාම කෙනෙක්. අපේ අයියලා එක්ක සෙට් වෙලා බෝතලයක් ගහනව.
“ පොරක් වගේ පේන්නෙ” නෑන එහෙම කියනකොටම මට හිතුන ගොනා හැරෙන්නෙ පොල් පැලේටද කියල.
“ උඹ පාඩුවෙ හිටපං අපේ කොල ඉරන්නෙ නැතුව” මම කිව්වෙ විහිලුවටමත් නෙමෙයි.
කොහොම උනත් ඒ මාම ගැන අපේ කට්ටිය කතා කලේ හරිම ප්‍රසන්නතාවයකින්. එයා එක්ක අපේ එකී කොච්චර සුහද උනාද කිව්වොත් මම බලාගෙන යන්න හදනකොට මේකි එයාගෙ අතින් අල්ලගෙන “ දැං ඉතිං අපි නෑදෑයෝ නේ” කියනව. මගේ නෑනගෙ හැටි ගැන මම දන්න නිසා කට වහගෙන හිටිය.
“ අරය මගේ අතිං අල්ලල ගිහිල්ල එන්නම් කිව්ව බං “ නෑන කිව්වෙ නෝක්කඩුවක් තාලෙට උනත් මම දන්නව සංගීතෙ ශෘංගාරාත්මක විත්තිය. උසාවිය නිහඬ වෙලා තීන්දුව පැමිනිල්ලෙ වාසියටම දුන්න. කොහොම උනත් අපි දෙන්නම ඊලග හමුවීම ආසාවෙන් බලාගෙන හිටිය.
වැඩි කලක් ගියේ නෑ අපි චාම් උත්සවයකට පස්සෙ කසාදෙ ලියාපදිංචි කලා. පීරිසියෙත් කිඹුල්ලු දකින මගේ හිත සසලවෙන්න ගත්තෙ මට වෙලාවකට මේක අදහගන්න බැරි නිසාද කියල මට හිතුන වාර අනන්තයි.
“ මට තේරුම් ගන්න බෑ අක්කෙ ඇයි මේගොල්ලො මට මෙච්චර කැමති කියල “
“මේක උඹේ වාසනාවට ලැබිච්ච දෙයක් මෝඩියෙ”
මම හිතාගත්ත බදින්න කලින් ආශ්‍රය කරල බලන්න. අඹ ගෙඩියක් උනත් ඔබලා බලනව නේ කියල අපි මුනගැහුන. අවුලක් පෙනෙන්න තිබුනෙ නැතත් මොකද්දෝ ප්‍රස්නයක් මට ඉවෙන් වගේ දැනුන. අපේ ගෙදර අයට කොච්චර කිව්වත් කියන්නෙම මට පිස්සු කියල. බැරිම තැන මම එයාගෙ අම්මට කෝල් එකක් ගත්ත. ආගිය තොරතුරු වලට පස්සෙ මම කෙලින්ම කාරණාවට බැස්ස.
“ අයිය ටිකක් අමුතුයි නේ අම්මෙ”
“ එයා හරි අහිංසකයි ඒකයි ඔයාට එහෙම පෙනෙන්නේ “
“ මට ඒක තේරෙනවා ඒත් එයා අසනීප ගතියක් පෙන්නනව”
“ එයාට පොඩි අසනීපයක් තිබුන දැං හොදයි “
“ අසනීප ඉතිං කාටත් හැදෙනවනේ අම්මෙ”
කොහොම හරි මගුලත් ලංඋනා. කසාදෙත් ජයටම ගත්ත. මධුසමය. ඒක වෙනම දිග කතාවක්. අපේ අවසාන දිනය ගාල්ලේ උනවටුනෙ හෝටලේක. එතනට මුදල් ගෙවල තිබුනෙ අර කලිං කියපු මාම. උසට හරියන සිරුර. ජීවිතේ ඉතාම සතුටින් ඉන්න විත්තිය මට තේරුනා. එදා එයා අපිව බලන්න හෝටලේට ආව.
“ කොහොමද අලුත් ජීවිතේ”
අපි කටපුරා නෑකම් කිව්වට එයා කාට උනත් කතා කරන්නෙ නම කියල. පස්සෙ කාලෙක ඒක මට තේරුනා. ඒ ප්‍රස්නෙ අහනකොට මගෙ මුලු ඇගම ගැහෙනව වගේ දැනුනත් හිතට හයියක් ආරූඪ කරගෙන හොදයි මාමෙ කිව්ව. ඒ මොහොත මට ජීවිතේ අමතක කරන්න බැරිම අවස්ථාවක් උනේ මටම නොදැනීම. එක මොහොතක් එයා මගේ ඇස් දිහා බලාගෙන හිටියෙ ගොඩාක් දේවල් හිත ඇතුලෙ තියාගෙන කියල මට තේරුනා.
“ මාම නිතරම ජොලියෙන් නේද ඉන්නෙ “ කියල මට ඉබේටම කියවුනේ ඇයි කියල මට අදටත් තේරුම් ගන්න අමාරුයි.
“ අපොයි ඔව් ඒ මගේ හැටි. මට ප්‍රස්න නෑ. තිබුනත් ගනං ගන්නෙත් නෑ”
ඒක මගේ අනාගතේ දැනගෙන කියාපු අවවාදයක්ද කියල එවෙලෙම මට හිතුන. මගේ හිත මට නොදැනීම මේ වයෝවෘද්ධ පුද්ගලය ආකර්ශනය කරගත්ත.
වැල නොකැඩි ප්‍රස්න එන්න ගත්තෙ සුනාමියක් වගේ. නිදි යහන ඉවසන්න පුරුදු උනත් එදිනෙදා ජීවිතේ ගැටලු එයාගෙ චරිතයත් එක්ක උග්‍ර උනා. ඔය අතරෙ මම දැනගත්ත මෙයා මානසික රෝගියෙක් කියල. එයාගෙ බෙහෙත් තුන්ඩුව මම දන්න වෛද්‍ය වරයෙකුට පෙන්නුවම මට තේරුනා මම රැවටුනා කියල. ඉවසන්න බැරිම තැන මම අර මාමට කෝල් එකක් ගත්ත. මම එයාව පුද්ගලිකව මුනගැහුන.
“ ඇයි මාමෙ ඔයාල මට මෙහෙම කෙරුවෙ”
එයා අසරණ වෙලා මට එයාගෙ පැත්ත ගැන කියවන්න ගත්ත.
ඔයාගෙ මාමන්ඩි ගෙ තාත්ත අපේ ගමේ හිටිය ලොකුම පොහොසතා. එයා ගමටත් පවුලටත් විශාල වෘක්ෂයක් දැනුමෙනුත්, මුදලෙනුත්. කොච්චර ශක්තිමත් ගහක උනත් ඇට්ටකුනා වෙච්ච ගෙඩි හටගන්නව. ඔයාගෙ මාමන්ඩිත් අන්න එහෙම ගෙඩියක්.
ඒ ගෙඩියෙ අතුරු පලයක් තමයි ඔයා බැන්දෙ. එයා අනිත් ලමයි අතරෙ හරියට කොන් උනා. කොන් උනේ එයාගෙම වරදින්මත් නෙමෙයි. එයාගෙ තාත්තගෙ ගතිගුණ ඒකට විශාල වශයෙන් බලපෑව. තමන්ගෙම පුතා හැම වෙලේම බිංදුවටම දැම්ම හැමෝම ඉදිරිපිට. තාත්තට මානසික අසනීපයක් තිබුන. ඒක ඒ විදියටම මෙයාටත් තිබුන. සමහර දවස්වල ඒ තාත්ත පුතාව හරක් මඩුවෙ බැදල ගැහුවා තෝ හරකෙක් කියල. එහෙම වෙනකොට ඒ කොල්ල තවත් මානසික ව වැටුන.
උස්මහත් වෙලා නංගිත් කසාද බැදලා මගේ දරුවොත් කසාද බැදල යනකොට දෙමවුපියො හිතුව කසාදයක් බන්දලා දුන්නොත් හරියාවි කියල. ඔය කතා කනිංකොනිං ඇහෙනකොට මම තදින්ම කිව්ව ඇත්ත කියල කරන දෙයක් කරන්න කියල. ඔයාව බලන්න යන්න තීන්දු උනාම මම ඇහුව ඒ මිනිස්සු දන්නවද ඇත්ත තත්ත්වය කියල. ඔව් කියපු නිසා තමයි මම ඒ ගමනට සහභාගිවුනේ.
ඒ ගමනට සහභාගි වෙලා එන්න හදනකොට ඔයාගෙ නෑන මගේ අතින් අල්ලගෙන කිව්ව දේවල් මට අව්‍යාජ ගැමි සුන්දරත්වයක අපූරුව එකතුකලා. ඒක ඇත්තටම අපූරු සුහදත්වයක් එකතු කලා. පස්සෙ මට ආරංචිය ආව බදින්නෙ ලබන අවුරුද්දේ කියල. ඒකට මම ගොඩාක් සතුටූඋනේ ඒඅතරතුර ඔයාල ආශ්‍රය කරාවි නේද කියල. ආශ්‍රය කරන ඕනම කෙනෙකුට එක දවසෙන් තේරෙනව මෙයා මොන වගේ චරිතයක්ද කියල. එහෙම කිසිම නොගැලපීමක් ඔයාට තේරිල තිබුනෙ නැති නිසා මටත් අර හැමෝම කියන ඒකත් ජයසිරි මංගලම් කියන්න සිද්දඋනත් එදා ඔයා මගෙන් හිත කීරිගැහෙන ප්‍රස්නයක් ඇහුව මතකද?
එහෙම අහපු එයා මගේ කදුලු පිරුණු ඇස් දෙක දිහා ගොඩාක් අනුකම්පාවෙන් බැලුව. ටික වෙලාවක් අපි දෙන්නම ගල්ගැහිල බලාගෙන හිටිය. මම එදා දැක්ක ඒ ඇස් වලින් කදුලු පනිනවා. ඒ කදුලු මාව ආපහු අපි මධුසමය ගත කරපු හෝටලෙට ගෙනිච්ච.
මම කවදද කියල අතුරු ප්‍රස්නයක් අහන්නෙම නැතුව ඔව් මාමෙ මට මතකයි කිව්ව.
Post a Comment