වසන්තය ඇවිත්

"It is during our darkest moments that we must focus to see the light.. Aristotle.. Greek Philosopher.

අප ආලෝකය දකින්නේ අන්ධකාරයේ ගිලී සිටිනා විට ය... ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්

වසන්තය ඇවිත්......


ගේට්ටුව ඇරෙන සද්දෙට මට ඉබේට ම ඔළුව ඉස්සුනේ හරියට ම මේ වෙලාවට නන්දන දුව ත් අරගෙන ගෙදර එන වග නිච්චියක් තිබිලමත් නෙමෙයි. නන්දන මේ රටේ මිල අධික ම වාහනයක් ගත්තෙ අපිට ඒ මිල දරාගන්න පුලුවන් නිසා ම ත් නෙමෙයි; එයාගෙ අනිත් යාළුවන් පාවිච්චි කළේ මිල අධික වාහන නිසයි. එයා කිසි ම විටෙක කිසි ම කෙනෙකුට දෙවෙනි වෙන්න කැමති නෑ. වාහනේ ගේට්ටුවෙන් ඇතුල් වෙනව මම බලාගෙන හිටිය ත් මගේ හිත තිබුනෙ මල් පාත්තියටත් එහා වෙන ම ලෝකෙක.

වසන්තය ඇවිත්. හැම ගෙදරක ම මල් පිපිලා. මල් පැළ වලට පවුම් 50 විතර වියදම් කළේ මම මල් වලට තියෙන ආසාවටමත් නෙමෙයි; කොහොමත් වවන්න ආසයි. එංගලන්තෙ උනත් විශේෂඥ වෛද්‍ය වරියක් හැටියට මගේ කාර්‍ය බහුල රාජකාරි ජීවිතෙන් මිදිලා හෙදර එන්නෙ ම ගෙවත්තෙ තිබුන චූටි ඉඩ ප්‍රමාණයෙ අමාරුවෙන් වවාපු එළවළු පාත්තිය බලාගෙන. එළවළු පාත්තිය, මිදිවැල, අතරින් පතර තිබුන සකුරා මල්, රෝස මල්, පිඟානක් විතර ලොකු සූර්‍ය කාන්ත මගේ හිතට ලොකූ සැනසිල්ලක් ගෙන දුන්නා. කුලියට උනත් හිටපු පරණ ගෙයි ඒකට ඉඩ පහසුව සැලසිලා තිබුනා. 

උහුලන්න බැරි තරමේ බැංකු ණයක් දාල ගත්ත මේ විශාල ගෙයි එළවළු වවන්න නම් ඉඩක් ඇත්තෙම නෑ. ගේ ලොකු උනාට වත්ත පොඩියි. නන්දනට ඕන උනා කොහොම හරි මේ ගෙදර ගන්න. ගෙදර තියෙන නොසන්සුන් වාතාවරණයෙන් මිදෙන්නයි මම ඉබේට ම වගේ ගෙවතු වගාවට පුරුදු උනේ. කොහොම උනත් මගේ හිතට සැනසිල්ලක් දෙන වගාව එළවළු වලින් මල් වලට මාරු උනත් මම ආසාවෙන් ඒ දේ කරන්න ගත්තා. මගේ වාසනාවකට වගේ මොන දේ කරන්න ගියත් විරුද්ධ වෙන නන්දන වත්ත ලස්සනට තියාගන්න එකට නම් කිසිම දෙයක් කිව්වෙ නෑ.

"Ammi can I come and help you"

දුව වාහනේ නවත්තපු ගමන් ම කෑ ගහගෙන එන්න හැදුවෙ පාසැල් ගිය මහන්සියත් අමතක කරලා වගේ. එංගලන්තෙ ම හැදිලා වැඩුන නිසා එයාට සිංහල කතා කරන්න බෑ. ඒත් හොඳට තේරෙන නිසා අපි එයාට කතා කරන්නෙ ම සිංහල අමතක වේවි කියන බයට.

"නෑ නෑ… ඇතුළට යනව… දැං ගිහිල්ල ලැස්ති වෙනව සංගීත පන්ති යන්න"

නන්දන කෑ ගහන්න ගත්ත නිසා කෙල්ල ගේ ඇතුළට ගියේ මූණ ඇඹුල් කරගෙන. සංගීතය නන්දන කැමතිම ක්ෂේත්‍රය නිසා කොහොම හරි ඒ පැත්තටම කෙල්ලව නැඹුරු කරන්න එයා ගොඩාක් මහන්සි ගත්තා. ඒ වෙනුවෙන් දර දඬු නීති ගෙදර පනවලයි තිබුනෙ. 

"Ammi I don't like music.. why is he forcing me"

දුව මට කීප වරක් කියල තිබුනෙ නන්දන නැති තැන; ඒ ගැන මගෙන් සාර්ථක ප්‍රතිචාරයක් බලාපොරොත්තුව උනත්, මමත් මේ ප්‍රශ්නෙදි අසරණයි කියල දුව හොඳටම දැනගෙන හිටියා.

දුවට රූපවාහිනිය තහනම් වුනත්, අපේ ගෙදර කඩේ ගන්න තියෙන ලොකු ම රූපවාහිනිය බිත්තියේ සවි කරලයි තිබුනෙ. මම නම් කොහොමටත් රූපවාහිනිය බලන එක මේ වෙනකොට සම්පූර්ණයෙන් ම නතර කරලයි තිබුනෙ. විශාල මුදලක් රූපවාහිනියට ත් අනිත් අඩුම කුඩුම වලට ත් වියදම් කළේ සාලෙ පේන්න තියෙන්න ඕන නිසා කියල නන්දන කිව්වත් දුවට රූපවාහිනිය බලන්න තහනම්.

"When my friends talk about movies… I am always in the blues"

දුව නිතර නන්දනට හොරෙන් රූපවාහිනියෙ ච්ත්‍රපට ගැන යහළුවෝ කථා කරනකොට එයා නිරුත්තර වෙන විත්තිය මට පැමිණිලි කල වාර අනන්තයි. හොඳ නරක තේරෙන වයසෙ ඉන්න වැඩිවියට පැමිණ සිටින යුවතියක් හැටියට යම්තාක් දුරට පාලනයක් සහිතව රූපවාහිනිය නැරඹීමට ඉඩ දිය යුතුය යන මතයේ මම ත් සිටිය ත් ඊට වැඩිය නිවසේ සාමය අගය කළ යුතු නිසා මම ඒ බව දුවට පැහැදිලි කර දුන්නා.

"දුව තව අවුරුදු දෙකයි නේ… ඊට පස්සෙ ඔයා විශ්ව විද්‍යාලෙ… ඔයා එතකොට නිදහස්… එතකල් ඉවසන්න"

"Yes.. but you are not free from this hell hole"

ඒත් අම්මා මේ අපායෙන් නිදහස් වෙන්නෙ නැහැ නේ කියලා දුව කියනකොට මගේ පපුව හිරවෙලා ඒ දුක් කන්දරාව ඇස් දෙකෙන් කදුළු වෙළා එලියට එන එක මට සිද්ධ උනා ආයාසයෙන් මැඩ ගන්න.

වසන්ත කාලයෙදිවත් ළමයින් කොටට අඳින එකට වාරණ පනවලා තිබුන ත් මේක එංගලන්තෙ නිසා ත්, දුවගෙ යාළුවන් එක්ක සැසඳෙන්නෙ බැරි නිසා ත් ඒ නියෝගය නම් අකුරටම පිළිපැද්දෙ නෑ. මම නම් කොටට අඳින එක නැවැත්තුවෙ ලංකාවෙ දි අපි බැඳපු අලුතමයි. මුල් දවස්වල ම මට සිද්ධ උනා එයාගෙ සිතුම් පැතුම් වලට අවනත වෙන්න.

"ශම්මි මේ බෝංච් ඔයාගෙ ම පාත්තියෙන්ද… හරිම රසයි"

සිකුරාද හවසට රෑ කෑමට අපේ ගෙදරට එන ලංකාවෙ ගෑනු නිරන්තරයෙන් ම අහන ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නෙකට වැඩිය එක්තරා විදියක මාව පැසසුමට ලක් කිරීමක් කියලා මට හිතුන නිසා මම ඒකට කැමැත්තෙන්ම පිළිතුරු බැන්දා.

"වගාව මගේ… උයන්නෙ ඉතිං නන්දනනේ"

මම එහෙම කියන්නෙ ප්‍රශංසාවෙන් අඩක් නන්දන සතු නිසාමයි. ඇත්තට ම එයාට හොඳට උයන්න පුලුවන්. එයා කිසි දිනක රැකියාවක් නො කළ නිසා ගෙදර වැඩ ටික ඔක්කො ම කළේ ඒකට තිබුන කැමැත්තට ත් වඩා රැකියාවක් කරන්න තිබුන අකමැත්ත නිසයි. ඒත් එයා රැකියාවක් නොකරන විත්තිය කිසිකෙනෙකුට අඟවන්නත් ඉඩක් තිබ්බෙ නෑ. අමුත්තන් තොර නැති සෑම සිකුරාදාවක ම ඒ බව තහවුරු වෙන විදියේ වැඩ එයා කරන කොට මම දැක්කෙ, ඇහුනෙ නෑ වගේ ඉන්න පුරුදු උනා. ඒකට ත් එයා මට බොහෝ විට දොස් කිව්වෙ නිකමටව ත් තහවුරු වෙන විදියෙ වචනයක්වත් කියන්නෙ නෑ කියලයි.

මම වත්තෙ වැඩ කරලා ලබන අහිංසක සතුට මගේ මනසට ගෙන දෙන සහනය අසීමිතයි. ඒක ඇත්තට ම මගේ පාළුවෙලා ගිය මනනසටත්, පුරන් වෙලා ගිය ගතටත් මහත් අස්වැසිල්ලක් වෙලා. සෑම සිකුරාදාවකම අපේ ගෙදරට එන හිතවතුන් මගේ එංගලන්ත ජීවිතයත් නන්දනගේ බාහිර ආකල්ප හා හැසිරීම් පිළිබඳවත් පැමිනිය හැකි යැයි සිතන නිගමන යම් තාක් දුරට මග හැරවීමේ උපක්‍රමයක් හැටියට මම ගෙවත්තේ එළවළු වගාවක් දැම්ම ත්; ඇත්ත වශයෙන් ම වෘත්තීය බටහිර වෛද්‍යවරියක් වූවත්; මගේ දෙමව්පියන්ගෙන් ලද දායාදයක් ලෙස  මට වගාව අත් ගුණයක් හැටියට පිහිටලා තිබුණා.

පොඩි කාලෙ ඉඳන් ම මගේ තිබුන වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න මට ඒ තරම් වෙහෙසක් දරන්න සිද්ධ උනේ නැත්තෙ පවුලෙ එකම දියණිය හැටියට මගේ දෙමව්පියො මාව කොළඹ උසස් ම පාසැලක හොඳ ම අධ්‍යාපනයක් ලබලා දෙන අතරෙ මට ඕන කරන හැම දෙයක්මත් නො පමාව ලබලා දුන්න නිසයි. මට වැඩ්මල් පිරිමි සහෝදරයෙක් හිටියත් අම්මල කිව්වෙ අයිය කෙල්ලෙක් වෙලා මම කොල්ලෙක් වුනා නම් තමයි හරි කියලයි. අයියා බොහෝ ම තැන්පත් ගති පැවතුම් තිබුන කාගේත් සිත් දිනාගෙන සිටි ආදර්ශමත් පුතෙක්. පසු කාලෙක අයියා දක්ෂ පරිපාලන නිලධාරියෙක් හැටියට එංගලන්තයේ ම තානාපති කාර්‍යාලයේ සේවය කළා. අයියගේ බිරිඳ ත් මම ත් ලංකාවෙ දි ඉතා කුළුපග මිතුරියන් ලෙස ජීවත් උනත් එංගලන්තෙදි නම් කිසිම ඇසුරකට පෙළඹුනේ නැත්තෙ නන්දන එය තරයේ ම ප්‍රතික්ෂේප කළ නිසයි.

කොළඹ වෛද්‍ය විද්‍යාලයෙදි ත් ඔක්කොම මගේ යාලුවො වෙලා හිටිය වැඩි දෙනෙක් කොල්ලො. මගේම කොණ්ඩෙත් මම සැලකුවේ හරිම කරදරයක් විදියට නිසා මම පුරුදු වෙලා හිටියෙ කොණ්ඩෙත් කොටටම කපන්න. මගේ තාත්ත මට තිබුන අසීමිත ආදරේ නිසා ම මගේ හැම වැඩක් ම ඉවසගෙන හිටිය ත් අම්මගෙන් නම් මට ගැලවීමක් තිබුනෙ ම නෑ. විශ්ව විද්‍යාලයට යන්න කලින් ඇඳපු ගවුම් ගෙදර අල්මාරියෙ දිරන්න ගත්තෙ මම පහසුවටත් එක්ක කලිසම් විතරක් ම අඳින්න පටන් ගත්ත නිසයි. 

"උඹට ඔය විදියට නම් කොල්ලෙක් යාළු කරගන්න වෙන්නෙ නම් නෑ"

අම්මා ඇතුළු සියලුම පවුලේ උදවිය නිතර මගේ මූණටම කියෙව්වෙ විහිළුවටම නෙමෙයි කියලා මම ත් හොඳින් ම දැනගෙන හිටියා.

සමහරු මට 'ටොම් බෝයි', 'කොලු නංගි'- වගේ නම් කියන්න ගත්ත ත් මම ඒව ගාණකට ගත්තෙ නැත්තෙ ඇත්තට ම ඇතුලාන්තයෙන් හා මනසින් මම සර්ව සම්පූර්ණ ගැහැනියක් කියලා හොඳාකාරව ම දැනගෙන හිටිය නිසයි. මගේ හිතට හරියන පිරිමියා මුණ ගැහෙන කල් මගේ ආදර හැඟුම් මම යටපත් කරගෙන හිටියා. මට මුණ ගැහුනු කිසිම පිරිමියෙක් මම සොයාපු පිරිමියගෙ අහලකින් වත් හිට්යෙ නෑ. ඇත්තට ම මම සෙව්වෙ මගේ අයියගෙ ත් තාත්තගෙ ත් සංකලනයක්.

තාත්ත ලංකාවෙ ප්‍රසිද්ධ රජයේ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටපු නිසා ත් අම්මා තරමක ප්‍රසිද්ධියක් ඉසි ලූ ගායිකාවක් වෙලා තිබුන නිසා ත් සංගීතය අපේ පවුලෙ හතර දෙනාට ම පිහිටලා තිබුනා. හතරදෙනා ම එකතු වුන වෙලාවට අපි පැදුරු පාටි දාන එක පුරුද්දක් කරගෙන තිබුනා. තාත්ත මගේ වීරයා වෙලා තිබුන නිසා මට කිසි ම පිරිමියෙක් තාත්තගෙ මට්ටමට තියලා හිතන්න බැරි වුනා. වෛද්‍ය විද්‍යාලයේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුන පෙම් කතා එකකටවත් මට සම්බන්ධ වෙන්න බැරි වුනේ ඒ එක් අයකටවත් මගේ තාත්තගෙ අහලකටවත් එන්න බැරි උන නිසා වෙන්න ඇති.

වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන් නොයෙකුත් අමතර ක්‍රියාකාරකම් වලට සහභාගී වෙනකොට මම සහභාගී උනේ සංගීතය හා නාට්‍ය පිළිබඳ සැකසුනු අවස්ථා වලට පමණක්මයි. ඒ හැම අවස්ථාවකට ම මම ගායනයෙන් හා වාදනයෙන් දායකත්වය සැපයුවා. එවන් අවස්ථා බොහොමයකදී අනිකුත් වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බැල්ම හා විශේෂ අවධානය මා වෙත ලැබුනු හැම වෙලාවකදී ම මම මග ඇරියෙ එයාලගෙ කිසිම අඩුපාඩුවක් නිසා නම් නොවෙයි. මම ම හදාගත්ත බිත්තර කටුවක් ඇතුලෙ මම ම හිරවෙලා හිටියෙ මගේ සිහින කුමාරයා එන කල්.

"ඔයාට පාර වැරදිලා වෛද්‍ය විද්‍යාලය තෝරගෙන තියෙන්නෙ… ඔයා ඉන්න ඕන අපේ කැලණියෙ කලා පීඨයෙ"

වෛද්‍ය ශිෂ්‍යයන් පිළියෙල කරලා තිබුන පැදුරු සාජ්ජෙකට සහභාගි වෙලා හිටපු මට, අමුත්තෙක් හැටියට සහභාගි වුන අයිය කෙනෙක් කිව්වෙ, සුළු වේලාවකට සංගීතය නතර වුන අවස්ථාවක. එයත් එතන සිංදුවක් කියපු නිසා මම ටිකක් දොඩමළු උනේ එයත් මම වගේම සංගීතයට නැඹුරක් තිබුන නිසයි.

"මම කැලණිය කැම්පස් එකේ.. නන්දන ආදිහෙට්ටි"

ඉතා ම මහත්මා ලීලාවෙන් එයාම මට එයාව අඳුන්නල දුන්නා.

"මම ශම්මි දිසානායක සංතෝසයි අඳුන ගන්න ලැබීම"

"ඔයා ලස්සනට හරි ම රිදම් එකට ඕගන් එක ගැහුව"

එදා අනිත් හැමෝ ම වේග රිද්ම ගීත ගායනා කරන කොට එයා නාරද දිසාසේකරගෙ මම ආස ම සිංදුව "ආදර නිල් දෑසේ" ලස්සනට ගායනා කළා. "විමානයේ කවුළු දොරින් නෙත් හී සැර විදලා" කියනකොට මගේ දිහා බැලුවෙ මගේ දෑස් එයාගෙ ග්‍රහනයට අරගෙන. මට හිතුනෙ ඒ සිංදුව කිව්වෙ මටමයි කියලා. එයා සිංදුව ඉවරවෙලා මයික් එක භාරදුන්නෙ නෑ.

"මම ආරාධනා කරනව වෛද්‍ය පීඨයේ ගායිකා ශම්මි දිසානායක මෙනවියට මාත් එක්ක ගලන ගඟකි ජීවිතේ ගීතය ගායනා කිරීමට එන ලෙසට"

කොල්ලො කෙල්ලො මර ලතෝනි දෙන්න ගත්තෙ මට ප්‍රතික්ෂේප කරන්න කිසිම ඉඩක් නො තියාමයි. කොහොමට ත් මට පස්සට යන්න කිසි ම සාධාරණ හේතුවක් තිබුනෙ ත් නෑ. එදා අපි දෙන්න කියාපු ඒ සිංදුව තුළින් අපේ දෛවය ලිය වුනා කියලයි මම හිතන්නෙ.

ඔන්න ඔය විදියට පටන් ගත්ත අපේ කතාබහ ඉවර උනේ කැලණිය කැම්පස් එකේ ලඟ දි පවත්වන්නට නියමිත සංගීත සැඳෑවකට මට ආරාධනයක්  එක්ක. පස්සෙ දවසක නන්දන මට දුරකථන ඇමතුමක් දීල එයාගෙ ආරාධනාව ස්ථීර කළේ මට ඒ අවස්ථාවට සහභාගී වීමට වාහනයකුත් එවන බවට පොරොන්දුවක් එක්ක.

යහළුවෙක් එක්ක වාහනයක ඇවිත් එදා එයා මට පිටිපස්සෙ දොර ඇරලා නගින්න ඉඩ දීලා දොර වහලා ඉදිරි ආසනේට ගියේ ගැහැනියකට දිය යුතු ගෞරවය ඒ අයුරින් ම පිරිනමමින්. එදා මුළු සැඳෑව පුරා ම ප්‍රධාන සංවිධායක හැටියට කොච්චර වැඩ රාජකාරි තිබුන ත් එතනට ආගන්තුකයෙක් වුණු මා ගැන ත් විශේෂ සැලකිල්ලකින් සිටිය නිසා මට එයා ගැන ආඩම්බරයක් ඇති වුනා.

"මොකද්ද උඹට මේ වෙලා තියෙන්නෙ… ඇයි බං මේ කලා පීඨයෙ එකෙක් ගැන ඔච්චරම හිතන්නෙ. ලංකාවෙ ඉහළම පෙළේ වෛද්‍ය වරයන් වෙන්න ඉන්න ඕන තරම් කඩවසම් කොල්ලො ඉන්න උඹගෙම වෘත්තීයෙ කොල්ලො ඉන්දැද්දි "

මගේ හිත මගෙත් එක්ක තර්ක කරන්න ගත්තා. 

"විකාර මම එහෙම දෙයක් හිතුවෙවත් නෑ"

මම මට ම කියාගත්තා

"උඹ මට නේ ඉතිං ඔය කියවන්නෙ…. මේ වගේ කට්ටිය කොච්චර උඹට ෆැකල්ටියෙ හමු වුනාද… කී දෙනෙක් උඹේ ආදරේ ඉල්ල ගෙන ආවද… උඹ නිකමට වත් උං එකෙකුටවත් උඹේ හිත විවෘත කළාද… ඒ වෙනුවට උඹ කොල්ලෙක් වගේ අමුතු වෙස් මූණක් දාගෙන උන්ව මග ඇරියා…. මෙයාගෙ තියෙන එක ම ආකර්ශනය කලාව විතරනේ… උඹ උගේ කතාවට රැවටිලා… උඹ හෙව්වෙ අයිය වගේ කෙනෙක් නේ… අයියගෙ අහලකින්වත් තියන්න පුලුවන්ද"

ඒකත් ඇත්ත. මම මගේ හිතට දිනුම දීලා ඒ සිද්ධිය යට ගහන්න තැත්කළත් දෛවය මට ඒකට ඉඩක් සැලසුවේ ම නෑ. පහුවදා උදේ දහය වෙනකොට මගේ ජංගම දුරකථනය නාද වෙනවාත් එක්ක ම එයාගෙ නම සඳහන් වුනා. 

එදා එයාගෙන් මොනයම් ම හෝ අතපසුවීමක් සිදූ වුනා නම් ඒකට සමාවෙන ලෙසටත් මගේ සහභාගී වීම එයාට ලොකු ගෞරවයක් බවට ත් සඳහන් කරලා කෙටි පණිවිඩයක් මගේ දුරකථනයෙ සඳහන් වෙලා තිබුන. එදා මාව නුහුරු පරිසරයක් තුල අතරමං නොකලාටත් විනෝදාත්මක සැඳෑවකට ඉඩ ප්‍රස්තව සලසා දීම පිලිබැඳවත් කලාව හා සංගීතය හඳුනන පිරිසක් හඳුන්වාදීම පිළිබඳවත් මම එයාට ස්තූති කරමින් යැවූ කෙටි පණිවිඩය අපේ ආදර කථාවට මූලාරම්භයක් උනා.

එයාගෙ කලා වැඩවලට ත් මගෙන් සහයෝගය බලාපොරොත්තු වුන අවස්ථා එදා මාව කුල්මත් කළත් ඒ කිසිවකින් ඉදිරියට යාමට එයාට නො හැකි වුනේ කලාකාරයන් අතර නිරන්තරයෙන්  ඇතිව තිබෙනා ඊර්ෂ්‍යාව බවට ඔහු දොස් නගා නිහඬ වුනා. ඔහු සහාය නළුවක සේ රඟපෑ එක් ප්‍රසිද්ධ ටෙලි වෘතාන්තයක වූව ද රසිකයාගේ ප්‍රසාදයට පාත්‍ර වීමට ඔහුට නොහැකි වුනා. ඒ සියල්ලෙහි පමණක් නොව සිය ජීවන ගමනේ අසාර්ථක තැන් ඔහු සිය පවුලේ අනෙක් අය කරපිට පැටවීමට වග බලාගත්තා.

"මගේ තාත්තට ඕන කරලා තිබුනෙ මාව දොස්තර කෙනෙක් කරන්න…. මගේ කැමැත්ත තිබුනෙ නළුවෙක් වෙන්න…. "

මුණ ගැහුණු අවස්ථාවල නන්දන නිතර මට කියවන්න ගත්තා. මම එයාව දොස්තර කෙනෙක් හැටියට හිතන්නවත් කැමති උනේ නෑ. මට හිතුනෙ ම එයා කලාකාරයෙක් වෙන එක හොඳයි කියල මයි.

"අපි නොදන්න නළුවො දැන් ඔය රඟපාපු එක ම ටෙලි නාට්‍යය බලපු ප්‍රේක්ෂකයො එකෙක් වත් මෙයා ගැන කථාකරනව ද… මේක මරාලයක්… පරිස්සං වෙයන්. උඹට ලේසියෙන් හොඳ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි හමු වෙනව එතකල් ඉවසපන්.. උඹ දෙමව්පියන්ට ඉන්න එක ම දුව…. මොන දෙමව්පියන් ද කැමති මෙච්චර හොඳ අනාගතයක් තියෙන රූමත් එකම දුව නළුවෙකුට දෙන්න… කීයටවත් කැමති වෙන්නෙ නෑ"

තොරතෝංචියක් නැතුව මගේ හිත මට කියවන්න ගත්ත ත් මම ඒ හැම එකක් ම හිතෙන් බැහැර කළේ එයා සංගීතයට තිබුනු නැඹුරුව නිසාමයි. අනික් අතට මම එදා කැමති උනේ නෑ මනුස්සයෙක් ගැන අනිසි පූර්ව නිගමනයකට බහින්නත්. එයාගෙ කතාව මට හැඟුනෙ ජීවිතේ හරිම අසාධාරණයකට ලක්වෙච්ච හේතුවෙන් ඉදිරි ගමන කඩා කප්පල් කරගත්ත කෙනෙක් විදියට. 

"මගේ තාත්ත ගුරුවරයෙක්…. එයා මට කිව්වෙම බත් කන හරකා කියලා"

බොහෝ අවස්ථාවල එයා මට කියනකොට මට හිතුනෙ ම ගෙදරින් ඒ තරම් ම අවඥාවට ලක් වෙලත් මෙයා ජීවිත ගමනෙ ඉස්සරහට යන්න දඟලනවා කියලයි.

ආදරයකට වැඩිය මට නන්දන ගැන විශාල අනුකම්පාවක් ඇතිවෙලා තිබුන නිසා ම මම මගේ තීරණය දෙමව්පියන්ට දැන්නුව. මගේ හිත මට කිව්ව වගේ ම අම්ම එක පයින් ම උග්‍ර විරෝධතාවයක් ඉදිරිපත් කළේ මට හිතෙන විදියට තාත්තගෙන්වත් අහන්නෙ ම නැතුව. තාත්ත ත් අපේ සම්බන්ධයට විරුද්ධ වුනත් එයා මට අපේ නොගැලපීම් එකින් එක තේරුම් කර දෙන්න මහත් වෙහෙසක් ගත්තා. 

"නංගිගෙ කැමැත්ත ඒක ම නම් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ… ඒත් ඔය වගේ කෙනෙක් නංගිගෙ ස්වාමිපුරුෂයා උනත් ජීවිතේට මගේ මස්සිනා වෙන්නෙ නෑ"

අයියා සිය විරුද්ධතාවය හැමෝ ම ඉදිරිපිට ඔන්න ඔය විදියට ප්‍රකාශ කළා. මම විශාල ප්‍රශ්නයකට මූණ දුන්න ත් ඒ හැම මොහොතෙ ම මට හිතුනෙ නන්දන ජීවිතේ හැම පැත්තකින් ම අසාධාරනකම් වලට මුහුණ දෙන කෙනෙක් විදිහටමයි. මට ආදරයකටත් වඩා එයා ගැන විශාල අනුකම්පාවක් දැනෙන්න ගත්තා.

අපේ සම්බන්ධයට විරුද්ධ අපේ පාර්ශවයෙන් විතරයි කියලා මම හිතාගෙන හිටියත් ටික දවසකින් දැනගන්න ලැබුනා එයාගෙ පැත්තෙනුත් මේකට ලොකු විරෝධතාවයක් ඇති වෙලා කියලා.

"උඹට තේරුම් ගන්න බැරි ද ඔය ටික වත්. එයාගෙ තාත්ත ගුරෙක්. තමන්ගෙ ම පුතාට කියන්නෙ බත් කන හරකෙක් කියලා. ඒකෙන් තේරෙන්නෙ ඇත්තට ම මේ මිනිහා මෝඩයෙක්. අනුමානයක් නෑ ඒ තාත්තට පේනව මේ කසාදෙ හරියන්නෙ නෑ කියල. ඇයි බං උඹ වගේ නුවණ තියෙන කෙල්ලෙකුට මී හරකෙක් එක්ක දීග කන්න පුළුවන්ද?"

මගේ හිත මර ලතෝනි දෙන්න ගත්ත ත් මම හිතා ගත්ත, නෑ මට පුළුවන් වේවි එයාව ඇදගෙන යන්න. ඕනවට වැඩිය මොළේ තියෙන එකෙක් එක්ක මට දීග කන්න බැරි වේවි. මට එයාට ඕන විදියට ඉන්න වේවි. මෙයත් එක්ක පුළුවන් මට ඕන විදියට ජීවිතේ හරිගස්ස ගන්න. අනික නන්දන තීරණයක් ගන්න තියෙන හැම අවස්ථාවක ම "ඔයාට හරිය කියලා හිතෙනව නම් ඕන විදියක් කරන්න" කියලා මගේ තීරණයට කැමති වෙන එක.

"මචං මම උඹට පොඩි කාරණයක් කියන්නම්…  මම ගොඩක් දුරට කල්පනා කරලයි මේක උඹට කියන්න හිතාගත්තෙ… මම උඹේ හොඳ ම යාළුව නූනත් උඹ මගේ හොඳ යාළුවෙක්… නන්දන මගේ අයියගෙ ෆැකල්ටියෙ… අයිය දන්නව එයාව… මගෙං ඔයා ගැන ඇහුව… අහල අයිය කිව්ව ඔයාට කියන්න කියල ඔය සම්බන්ධෙ ගැන තව ටිකක් හිතන්න කියලා"

ශිරන්ති මගේ හොඳ ම යාළුවෙක් නූනත් අපේ බොඩි ගෲප් එකේ හිටපු ලස්සනම ප්‍රිය මනාප ම කෙල්ල. එයාගෙ කැමැත්ත වෙලා තිබුනෙ නිළියක් වෙන්න. ඒකට එයාට ලොකු දක්ෂතාවයකුත් තිබුනා. මේ වෙනකොට නන්දන රූපවාහිනී ටෙලි නාට්‍යයක තරමක කොටසක් රඟපාල තිබුන නිසා මට හිතුනෙ ම මේ ඊර්ෂ්‍යාව මත කරන පැමිනිල්ලක් කියලමයි. මම ඒ අවවාදය මග ඇරියා.

"මෝඩය වෙන්න එපා… අර කෙල්ලට පිස්සුවක් නෑ උඹට කේලම් කියන්න… තව ටිකක් ඉවසපං… උඹ උගේ රඟපෑම් වලට රැවටිලා… "

මගේ හිත මට කොච්චර වද කෙරුවත් මම වෛද්‍ය විද්‍යාලයෙන් පිට වුණ ගමන් ම කිට්ටු ම යහළුවන් කීප දෙනෙක් ඉදිරියේ අපි කසාද බැන්ද ත් කිසි ම උත්සවයක් ගත්තෙ නෑ.

අපි මධුසමය හැටියට තෝරගත්තෙ හික්කඩුවෙ මූද අයිනෙ තරු පහේ හෝටලයක්. අනිකුත් මනාල ජෝඩු වගේ අපිට උත්සවයක් නො තිබුන නිසා අපි එතනට ගියේ සාමාන්‍ය පෙම්වතුන් වගේ. කාමරේ ඇඳන් දෙකක් තිබුනෙ වෙන වෙන ම අපිට අවශ්‍ය නම් පහසුවෙන ම එක් කරගන්න පුළුවන් විදියට. ඒත් අපි එක ම ඇඳක නිදාගත්තෙ ඒ එක ඇඳක් දෙන්නෙකුට උනත් ඕනවට ත් වඩා ප්‍රමානවත් නිසා කියල යි මම හිතුවෙ. කන්‍යාවියක් හැටියට කිසි දිනක පිරිමියෙක් සමග සංසර්ගයේ යෙදී නොසිටියත් වෛද්‍ය වරියක් හැටියට එම ක්‍රියාවලිය පිළිබඳ හසල දැනුමක් මට තිබුනා. 

"අපි චුට්ටක් වෙරළ පැත්තට යමුද නන්දන"

මම එයාට යෝජනා කළේ අද වගේ දවසක පෙම්වතුන් හැටියට උත්තේජනයක් ලබා ගැනීමේ අදහසත් ඇතිව. සාර්ථක සංසර්ගයකට උත්තේජනයේ ප්‍රබල බලපෑම මේ වෙනකොට මා කියවා, අසා තිබුනා. 

"පිස්සුද… මාව මිනිස්සු අඳුනනව නේ… "

එසේ පැවසූ ඔහු නාන කාමරය තුළට වැදී දොරගුළු ලා ගැනීම මා වික්ෂිප්ත භාවයට පත් කළා. මා බලාපොරොත්තුව සිටි සුන්දර මධුසමය කුණාටුවකට හසුව යන සෙයක් මට දැනුනා. පැයක් පමන ගත කර ඔහු එලියට පැමිණියේ සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවක දොර ඇරියාක් මෙනි.

එදා මධු සමය බලාපොරොත්තු වූ උත්තේජනය නො මැතිවීමෙන් කන්‍යාවියක්ව සිටි මා හට වේදනාකාරී නීරස සිදුවීමක් වූව ත් සංසර්ගයෙන් පසුව ද නන්දන යුහුසුළුව නාන කාමරයට වැදී පැයක් පමණ ගත කිරීම මගේ සිත ව්‍යාකූල භාවයකට පත් කලා.

වෛද්‍යවරියක් හැටියට මෙය OCD (obsessive compulsive disorder) germaphobia විෂබීජ භීතිකාව යැයි ද එය කුඩා කල සිදු වූ බාලාපචාරයක ප්‍රතිපලයක් යැයි මට සිතෙන්නට වුණා. මම ඔහුට අනුකම්පා කිරීමේ තීරණයකට එළැඹියා.

මේ වන විට මම ත් වෛද්‍යවරියක් හැටියට සේවය කළ නිසා ත් නන්දන පුද්ගලික සමාගමක සේවය කල නිසාත් අපි ළඟ ම ඥාතීන් කීප දෙනෙකුට රෑ කෑමක් පිළියෙල කළේ විශේෂයෙන් ම මගේ හිතුවක්කාර සරණ බන්ධනය හේතු කොටගෙන විසිරිලා තිබුන නෑදෑ හිතවත්කම් අලුත් කර ගැනීමේ පරම චේතනාවෙන්. ඒ වන විට අව ම පහසුකම් තිබුන අපි පදිංච් වෙලා හිටපු කුලී ගෙදර ම අඩු වියදමකින් ඒ හමුව මම පිළියෙල කළත් නන්දන ඒකට ලොකු වියදමක් දැරුවෙ අනවශ්‍ය විදියට කියලා මට එදා තේරුම් ගියා.

"එන්නෙ ඔයාගෙ නෑදෑයො උනාට මට බෑ උං ඉස්සරහ හෑල්ලු වෙන්න. ඕකුං අපේ මගුලට බාල්දි පෙරලාපු උන්… ඒක නිසා රිදෙන්නත් එක්ක දෙන්න ඕන."

මම කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් එයා ඒ කිසි දෙයක් පිළිගත්තෙ නෑ. එයා එයාගෙ මතයේ ම හිටියා විතරක් නෙමෙයි ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මගේ මාම ත්, බිරිඳ ත්, වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනු ම ලබමින් සිටි දුව ත්, එදා ඒ අවස්ථාවට සහභාගී උනේ මම කරපු විශේෂ ආරාධනාවකට. ලංකාවෙ තිබුන මිල අධික ම මත්පැන් වලින් සාදය පිරිලා තිබුන නිසා ම සියළු ම නෑ හිත මිතුරන් ඉතාමත් ප්‍රීතියෙන් දොඩමළු වුනේ කිසි ම වෙනසක් නොපෙන්වමින්.

"අංකල් ලංකාවෙ දෙමව්පියො උත්සාහ කරන්නෙ ම තමන්ගෙ ළමයව දොස්තර කෙනෙක් කරන්න… වෙන කිසි ම හේතුවකට නෙමෙයි… සල්ලි හම්බ කරගන්න… මහ ජරාම ජාතියක්… උන් හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ළමයා දොස්තර කෙනෙක් කළාම ඔක්කොම හරි කියලා. මගේ තාත්ත මට ඒ දවස්වල කිව්වෙ බත් කන හරකා කියලා... මම අද උපාධිධාරියෙක්"

ඒ කථාවෙන් ම මගේ ලෝකෙ දෙදරලා ගියා. වෙන කාට කිවත් කමක් නෑ එයා වැරදි මිනිහට කිව්වෙ. ඒ මාම එහෙම දෙයක් අහලා කරබා ගෙන ඉන්නව නම් ඉන්නෙ මට තියෙන ලෙන්ගතුකමට. ඒ මාම ම තමයි අපේ අම්මට කියල තිබුනෙ ඔය තරම් විරුද්ධ වෙන්න එපා කියල ත්. මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා.

"පුතා මම ත් ඔයාට එක දෙයක් කියන්නම්….. මේ ටික ඔයාල දෙන්න ම හොඳට අහගන්න… මගේ දුව ත් වෛද්‍ය විද්‍යාලෙ… මම නම් ඒකිට කිසිම දවසක…"

"නෑ මාමෙ.. එයා ඒ කිව්වෙ මාමට නෙමෙයි"

මම ඒ අතරට බලෙන් ම කඩා පැනලා කියන්න ගත්තෙ නන්දනගෙ කථාවේ සැර තරමක හෝ සැහැල්ලුවකට ලක් කිරීමේ අදහසින්.

"මම දන්නව දූ… මම කියන දේ ටිකක් අහගන්නකෝ.. ඔය කතාව මට අදාලම නෑ කියමුකෝ… මම කවදාවත් මගේ එක ම දුවට කිසි ම අයුරකින් බලකරලා නැති නිසා"

එහෙම එයා කතාව පටන් ගන්න කොට මගේ හැටට හැටේ ගැහෙන්න ගත්ත පපුව යාන්තම් ටිකක් සැහැල්ලු උනත් ඊළඟට කියාපු දෙයින් මට පොළොව පලාගෙන යන්න හිතුනා.

"මගේ දුව…. යම් දවසක මගේ ළඟට ඇවිත් කිව්වොත්... තාත්ති මම බඳින්නෙ කලා උපාධියක් තියෙන … එයාගෙ ම තාත්ත බත් කන හරකෙක් කියලා හඳුන්වපු…  නළුවෙක් කියල කිව්වොත්... මම නම් දුවේ ඔයාගෙ තාත්ත වගේ ඔයාලට යුද්ධ ප්‍රකාශ කරන්නෙ නෑ"

මේ වෙලාව වෙනකොට වටේ හිටපු නන්දනගෙ නෑදෑයන් ඇතුළු සෑම කෙනෙක්ගෙ ම අවධානය මාම අරගෙන ඉවරයි. හැමෝ ම කුතුහලයෙන් මාමගෙ කට දිහාව බලාගෙන ඉන්නව.

"මම මගේ පූර්ණ අනුමැතිය කිසි ම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව දෙනව… ඒක එයාලගෙ කැමැත්තනේ… හැබැයි එක දෙයක් කියන්න ම තියෙනව… එදා ඉදලා දවස් තුනක් ඇතුළත ඒ මනුස්සයගෙ මිණිය කැලනි ගඟේ පාවෙන එක මටවත් නවත්තන්න බැරි වෙනව… එදාට මම කළු ටයි පටියකු ත් බැඳගෙන මගේ දුවත් වත්තන් කරගෙන එයාගෙ මළ ගෙදරට එනව මල් වඩමකුත් අරගෙන"

එහෙම කියාපු මාමා එයාගෙ බිරිඳත් දුවත් එක්කරගෙන එළියට බැස්සා ආයෙ කිසි ම දිනක අපි දිහාව බැලුවෙවත් නෑ. පසු කාලෙක එයාගෙ දුව එයාගෙ ම වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් බැඳලා එංගලන්තයේ පදිංචියට ආවත් මම ආරාධනා කළත් අපේ ගෙදර ආවෙ නෑ… ඒ මාම ත් සෑම අවුරුද්දකට ම සැරයක් එංගලන්තයට ආවත් අපේ ගෙදර එන එක තරයේ ම ප්‍රතික්ෂේප කර තිබුනා..

මගේ ජීවිතේට කණකොකා හැඬලුවෙ එදා කියලා මට එවෙලේ ම තේරුම් ගියා.

"කොච්චර කිව්වත් උඹ ඇහුවෙ නෑ… දැං ඉතිං බැඳගත්ත බෙරේ ගහපං.. වෙන විකල්පයක් නෑ… කොහොමටත් දැං ඉතිං උඹේ බඩේ දරුවෙකුත් ඉන්න එකේ උඹට ආපහු හැරෙන්න බෑ"

මගේ හිත මට දෙස් තියන්න ගත්තා. 

ඒ සිදුවීම අපේ ජීවිතයේ තවත් එක් නොගැලපීමක් හැටියටත් පළවෙනි කළු පැල්ලම හැටියටත් සනිටුහන් වුනා. සුන්දර සංගීත ලෝකයකින් පටන්ගත් අපේ ආදර කථාව කටුක අමිහිරි  අත්දැකීම් කර පින්නාගෙන යන ගමනකට කෙමෙන් අවතීර්ණ වන බවක් මට දැනුනා.

නන්දනගේ දුර දිග නොබලා කෙරුනු කෙණෙහිලි කම් හා නොමනා හැසිරීම් හමුවේ දෙපාර්ශවයේම නෑ හිත මිතුරන් අපෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඔහුගේ හැසිරීම හා සිතුම් පැතුම් ඉතාමත් උද්දච්ච ස්වරූපයක් ගත් අතර නෑ හිතමිතුරන්ගේ මග හැරීම් ඉදිරියේ ඔහු තව තවත් දරදඬු ස්ථාවරයකට දිනෙන් දින අවතීර්ණ උනා.

ඔය අතරතුර මම පශ්චාත් උපාධි විභාගයට පෙනී සිටියේ දුව පිළිසිඳ ගත් දවස් වලදි ම උනත් පළවෙනි සැරෙන්ම ඉහළින්ම සමත් උනා. දුව ඉපදෙන කොට මම විශේෂඥ වෛද්‍යවරියක් වෙලා අවුරුදු දෙකක අනිවාර්ය විදේශ සේවයට කැඳවලා තිබුන නිසා, ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ලංකාවෙදි මූණ පාන්න සිදුවුන බොහෝ ප්‍රශ්න මග ඇරේවි කියන බලාපොරොත්තුව උඩ අපි එංගලන්තයට ආවා.

පුද්ගලික ජීවිතේ කොපමණ අවාසනාවන්ත වුනත් මම මගේ වෘත්තීය ජීවිතයෙ ඉතාමත් සාර්ථකව ඉදිරියට ගිය අතර අපේ පවුල් සම්බන්ධතාවයන් දිනෙන් දින පිරිහෙන්න පටන් ගත්තෙ මගේ ඇස් ඉදිරිපිටමයි. නන්දන මගේ වෘත්තිය පිළිගැනීම හා හැකියාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ සිට පැමිනෙන ශ්‍රී ලාංකික වෛද්‍ය වරුන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බලෙන් මෙන් නිවසට ගෙන්වා ගනිමින් ඔහුගේ සුපුරුදු හොරනෑව වයන්නට පටන් ගත්තා. ඒ හැම අවස්ථාවක ම අවසානය ඔවුන් අප හා කෙටි කලකට හෝ පවත්වාගෙන ගිය සුහදත්වය පළුදුවීමයි. 

ඔහු බොහෝ විට එංගලන්තයට අනිවාර්ය විදේශ සේවය සඳහා පැමිනෙන වෛද්‍යවරියන් හට පලමුව සුහදත්වයේ දෑත් දිගුකර පසුව කුමක් හෝ වරදක් පටවා ඔවුනට අපේ නිවස හා ඇසුර අප්‍රසන්න කළා. කෙමෙන් අප හා ඇසුරු කළ සියල්ලන් අපෙන් වෙන් වෙන්න පටන්ගත්තා.

මේ අතර අහම්බෙන් මුණගැහුනු තනිකඩව ලන්ඩනයේ ජීවත් වූ සිංහල තරුණියක් අපේ ගෙදරට සෑම නිවාඩු දිනයකදී ම යාමට ඒමට පටන් ගත්තේ නන්දනගේ ආරාධනාව පිට. දිනපතා එම තරුණිය සමග දුරකථනයෙන් සල්ලාපයේ යෙදුනේ මගේ ත් දැනුම් තේරුම් ඇති දුවගේ ත් ඇස් ඉදිරිපිටදීමයි.

එම ඇසුර මට ප්‍රශ්නයක් නුවූයේ මේ වනවිට මගේ ත් නන්දනගේ ත් විවාහ ජීවිතය හුඳෙක් සහතිකේට පමණක් සීමාවී තිබූ නිසාත් ස්ත්‍රීයක් සමග කිසිම කායික සම්බන්ධතාවයක් පැවැත්වීමේ ස්වාභාවික අවශ්‍යතාවය ඔහුගෙන් ගිලිහී ගොස් තිබූ නිසාත්ය. මේ වන විට ඔහු එළිපිට ම ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික ස්ත්‍රීන් කිහිපදෙනෙක් ම ඇසුරු කර පසුව අමනාප වී සිටි අතර නොමසුරුව ඒ සැමදෙනාටම මුදලින් පවා උපකාර කර තිබුනා. ඒ සෑම දෙයක් ම ඔහු කලේ සිය දුර්වලකම් සඟවා තබා ගැනීමට බව දැනගෙන සිටියේ මා පමණයි. ඔහුගේ මෙම හැසිරීම ප්‍රශ්න කිරීමට හෝ විරුද්ධ වීමට බිරිඳ ලෙස මා ඉදිරිපත් නොවන්නේ මන්දැයි යන කුතුහලය ඔහු ඇසුරේ සිටි මිතුරන් මුවින් පිට නොකළත් ඔවුන් එසේ සිතන බැව් මා හොඳාකාරව දැන සිටියා.

"ශම්මි තරහ ගන්න එපා මම මෙහෙම කිව්වට … ඒත් හොඳ යාළුවෙක් හැටියට මම හිතුවා ඔයාට චුට්ටක් මේ ගැන කියන්න… අර ගෑනු ළමයත් එක්ක නන්දන හැසිරෙන විදිහ ගැන ගොඩාක් අපේ අය කතා වෙනව… ඒක ඔයාට එච්චර හොඳ නෑ… කට්ටිය කතා වෙන්නෙ ඔයා ඒ ගැන කිසි ම තැකීමක් කරන්නෙත් නෑ කියල"

එංගලන්තයේ සිය ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනා සමග වාසය කරන මැදිවියේ වෛද්‍ය වරියක් මා හට පැවසූයේ හුඳෙක් මා වෙත දැක්වූ හිතෛෂී භාවය පෙරදැරිව බව මට ඇයගේ කථා විලාසයෙන් හොඳින් තේරුම් ගෙන සිටියත්, නන්දන වෙනුවෙන් කතා කිරීමට මා පෙළඹුනේ යම් හෙයකින් මම ද ඇයගේ හා අනිකුත් ශ්‍රී ලාංකිකයන්ගේ නිගමනයන් පිළිගැනීම පවුලේ සමගිය බිඳවැටීමට මුල් විය හැකි නිසාත්ය.

"ක්‍රිශාන්ති ඉතිං මෙහේ තනියම ජීවත් වෙන කෙනෙක්නේ… දැං අපේ පවුලෙ ම කෙනෙක් වෙලා.. අනික නන්දන ඔයාල දන්නවනේ ඕන කෙනෙකුට උදව් කරන්න කැමති කෙනෙක් නේ… මට විශ්වාසයි එහෙම සම්බන්ධයක් ඒ දෙන්න අතරෙ නෑ කියල"

මම ඇවිලෙන්නට යන ගින්නට දිය පොදක් දමා නිවන්නට තැත් කළත් එය නිශ්ඵල ක්‍රියාවක් බව දැනගෙන සිටියා.

"මම මෙයාව පන්තියට දාල එහෙමම යනව ක්‍රිශාන්තිව ගන්න. එයා අද එනව කිව්ව… මම රෑට කෑමත් අරගෙනම එන්නම්"

නන්දන දුවත් එක්ක වාහනයට ගොඩවෙන ගමන් කිව්වත් මම ඒ ගැන ප්‍රතිචාරයක් දක්වන්නට උනන්දු වුනේ නෑ.

"මට හරිම දුකයි බං උඹේ ජීවිතේ ගැන... එත් මම උඹට අනුකම්පා කරනවා.. උඹේ ජීවිතේ කිසිම සතුටක් අත් විඳපු ගැහැනියක් නෙමෙයි උඹ… කොච්චර ලස්සන ජීවිතයක්ද උඹට තිබුනෙ… ජීවිතේ කිසිම දිනක කිසිම මුදලක් උපයන්නෙ නැතුව උඹේම මුදල් අනිවාරතේ වියදම් කරගෙන ජීවත් උන නන්දන වෙනුවෙන් උඹ කරන ඔය කැප කිරීම කරන්න පුළුවන් පෙරුම් පුරන බෝධි සත්වයෙකුට විතරමයි. උඹේ මුළු ජීවිත කාලය පුරාවටම මම උඹත් එක්ක වාද කර කර හිටියා…. තව ටික කාලයයි අපි වෙන්වෙනව… උඹ මුලදි වරද්ද ගත්තට දැං බලනකොට එදා ගත්ත තීරණේ හරියට ම හරි… නිකමට හිතපං උඹට පණ වගේ ආදරේ කරන මිනිහෙක් උඹ බැදලා හිටිය නං උඹට මේ ගමන යන්න කොච්චර අමාරු වෙනවද කියලා.. උඹට ලියුකේමියා තියෙන බවත් ඒක හොඳ කරන්න බැරි බවත් දැනගත්ත දවසෙ ඉඳන් උඹ ගත්ත තීරණ හරියට ම හරි… ක්‍රිශාන්තිත් දුවට ආදරෙයි… එයා දුවව බලාගනීවි…. තව වැඩි කලක් නෑ… අපිත් වෙන් වෙනව"

මගේ හිත තොරතෝංචියක් නැතුව කියවන කොට මම ගේ ඇතුළට ගිහිල්ල සෝපාවෙ හාන්සි උනේ ගේට්ටුව ඇරෙන සද්දෙට කන්දීගෙන.

වසන්තය තව වරක් - මගේ දොර ලඟට විත්
මගේ දිවියට  නොමැති - කුමට මට වසන්තය

පෙම් ලොවේදී දුටුව - වසන්තය පැන ගිහින්
එදා දුටු නුඹද මේ - වසන්තය ගිල ගත්ත

නිවහනේ වසන්තය - නොතිබුණාම ත් නොවෙයි
ඒත් මම අන්ධවී - සොයා ගිය වසන්තය 

මිරිඟුවක් වී මට ම - ඔච්චමින් සිනා සෙන
වෙනස් වන සෘතු මැදින් - සිනාසීමට තනන

දෑස් පෙනුනත් මගේ - අන්ධ වූ ගැහැනියකි 
යුරෝපය වැළඳගත් -හදවතින් ඉකි ගසන

මගේ සෝ සුසුම් මැද - සීතලට ආ වඩන
වසන්තය නුදුටු මේ - දිවිය ඔහෙ ගියාවේ

නුදුරු දිනකදි මගේ - දූව අපව හැරයාවි
වසන්තය කිසිදිනක - මගෙ මැදුර වෙත නේවි

අම්මෙ මම හදවතින් - හැර ගියේ නෑ නුඹව
එන්න මම නුඹ ලඟට - ඉඩ තියේවිද දිනක

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget