කලින් දන්නවා නම්...

"කලින් දන්නවානම් තව දෙකක් දාගන්න තිබුනා…". පලවෙනි කොටස.

ප්ලාස්ටික් හාන්සි පුටුව මට අරහං උනත්, ඒක මේ වෙලාවෙ මට කෝටියක් වටිනව කියල හිතුනෙ ඈත අහසෙ පායලා තිබුන පුර හඳ දිහා එක එල්ලෙම බලන්න ඉඩ ප්‍රස්ථාව උපරිමයෙන්ම ලබා දුන්න නිසා වෙන්න ඇති. 

අද පෝය නිසා අලි බලන්නත් යන්න තිබුනා බුත්තල පාරෙ. මගේ අලි පිලිබඳ මතකය එලියට පනින්න දඟලනවා. ඒත් රෑට කතරගම අහස මාව අතරමං කරනව කියලා හිතුනා. අවුරුදු විස්සකට විතර කලින් කතරගම ඇවිත් අතරමං වුනේ නැති මම අද ඈත අහසෙ අතරමං වෙලා.

"ප්‍රියන්ති …. වටේ ලයිට් ඔක්කොම නිවන්නකෝ.. තරු බලන්න" 

මගේ නිවාඩු නිකේතනය බලා සොයා ගෙන ඉන්නෙ ප්‍රියන්ති. එයා ගැන මම මීට කලින් ලිපියක් ලිව්වා "අසරණිය සහ මී වදය" කියලා. ඒක පල කළා මගේ withkase.blogspot.com කියන මගේම blog එකේ.

නෝන එක හාන්සි පුටුවක, මම ඒ ලඟින්ම මටම වෙන් වෙලා තියෙන හාන්සි පුටුවෙ.

වැඩි වෙලාවක් ගියේ නෑ, එක පැත්තකින් කිරි සුදට අහස පේනකොට අනිත් පැත්තෙ තරු පොකුරු පිටින් පායලා ඉන්නෙ හරියට යෝධයෙක් වටේට කුරුමිට්ටො ඉන්නව වගේ. මමත් ඒ තරු අතරෙම අහසෙ ඈතට ඈතට පාවෙනව වගේ. රොමැන්ටික් මූන් ලයිට් ඩිනර් එකක් මගේ හිතට ආව. 

"අද කෑම ටික මෙතනට ගෙන්න ගමු"

"මේ දවස් වල කැකිරි ඉබ්බො නැති නිසා හොඳයි"

නෝන එහෙම කිව්වෙ එයා දන්නවා කැකිරි ඉබ්බො ගැන මටත් වඩා හොඳට.

"උං එන්නෙ වැහැලා පෑව්වම නේ"

කැකිරි ඉබ්බො කියන්නෙ කතරගම යාල අවට ප්‍රදේශයට ම ආවේණික කුරුමිණි ජාතියක්. උං ලක්ෂ ගානෙන් එන නිසා, ආපු දවසට එලියට එනවා බොරු. අතේ ගෑවුනත් ගඳ උහුලන්න බෑ. උනුත් සොභා දහමේ නිර්මානයක් කියලා හිත හදාගෙන, එදාට කෑම කාමරේ ඇතුලෙම පරිස්සමින් කන්න වෙනව. එකම බෙහෙත ටිකක් ඈතින් ලයිට් එකක් දාල අඩ අඳුරෙ කන එක. පහුවදාට ලයිට් එක යට මැරිලා ඉන්න කැකිරි ඉබ්බො අයින් කරන්නෙ වීල් බැරැක්කෙන්.

අද මොන ඉබ්බෙක්වත් නෑ. ප්‍රියන්ති එලියෙ කෑම ලෑස්ති කළා. මම ආසම රතු ඉඳි ආප්ප පොල් සම්බෝල සහ කිරි මාළු සමග. මාළු කොහෙන් ගෙනාවද මතකයක් නැතත් මම ඒක වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ මගේ වාහනේ ඇතුලෙ කෑම වේලටම සරිලන බීම බෝතලේ තියෙන නිසා.

"ප්‍රියන්ති… මගෙ කාර් එකේ පිටිපස්ස සීට් එකේ බෝතලයක් ඇති …. අරං වරෙං බං අයිස් කැට දෙකකුත් එක්ක"

ලොකු එකා හිටියනම් කියන්න කලින් අරන් එන්නෙ "තාත්තෙ… ශොට් එකක් දාමු නේ" කියලා.

අපරාදෙ කියන්න බෑ කට ගැස්මකුත් අරගෙනම තමයි එන්නෙ. නෝන බිව්වෙ නැතත් ලඟින් ඉන්නව බොරු නිර්මානාත්මක වලියකුත් දාන ගමන්.

"කොහෙන්ද බොලේ මේ තෝර මාළු"

Batter fried Seer …. කතරගම මේ කැලේ කොහේ හොයන්නද තෝර මාළු. ඒත් මම දන්නව මේකි කුකුල් මස් උනත් තෝර මාළු කරන ජාතියෙ ගෑනි කියලා. 

"පොලෙං ගෙනාවෙ සර්"

දෙවෙනි උගුර බඩට යන්නත් කලින් මතක් උනා කතන්දරේ. වැව් මාලුවෙක් ඉන්නවා කැට්ලව් කියලා. කිලෝ පහක් හයක් විතර වෙනවා සාමාන්‍ය එකෙක්. තෝරා පරාදයි. නොදන්න කෙනෙක් විශ්වාස කරන්නෙම නෑ වැව් මාලු කියලා.

මගේ ගාන හීනියට ශොට් දෙකයි. ඒකත් ඈත අහසෙ තරු අතරෙ පාවෙලා යන ගමන්. විශ්‍රාමික ජීවිතේ ගොඩක් කලින් ගන්න තිබුනෙ කියලත් හිතෙනවා.

ලඟටම ගෙනාපු රෑ කෑම වේලට සුද්ද නම් කියන්නෙ moonlight dinner කියලා. මගේ කොළඹ, නුවර යාළුවොත් අද තරු පහේ හෝටලේක නෝනලත් එක්ක බුෆේ ක්‍රමේට fried rice ගිලිනව ඇති පස්වනක් ප්‍රීතියෙන් හා සතුටින්. මේ දවස්වල සියයට පනහේ වට්ටම නිසා එක්කෙනෙක් හත් අටදාහක් ගෙවනවත් ඇති. ප්‍රශ්නයක් නැතුවත් ඇති. ඒ වගේද ඒකෙන් ලැබෙන මානසික සතුට. ඒ එයාලගෙ සතුට. මේ මගේ සතුට. 

රතු ඉඳි ආප්ප, පොල් සම්බෝල, කිරි මාලු එක්ක. අහන්න දෙයක් නෑ වැව් මාලුම කිරට. පොල් සම්බෝලෙ නම් ඉතින් සාමාන්‍ය දෙයක් උනත් ඒකත් මේ ගෑනිගෙන් ඇර වෙන කාගෙන්වත් කනවා බොරු. මාලු කෑල්ලෙ කටු නෑ කියලා තේරුනේ භාගෙට කන අතරතුරේ. මගේ ප්‍රශ්නාර්ථ මූණ දිහා බලාගෙන ගෑනි හිනාවෙලා යන්න ගියේ මම මොන කුනුහරුපයක් කියාවිද දන්නෙ නැති නිසා වෙන්න ඇති.

"ඈ යකෝ මේ මොන මාලුවද?"

නෝනත් මට ඔලොක්කුවට වගේ හිනාවෙනවා. 

"කෑ නොගහ කන්න අනේ… ඔය මාලු නෙමෙයි.. ගං කුකුල් බිත්තර ස්ටීම් කරලා ලොකුවට කෑලි කපලා ආයෙත් කිරට උයලා"

නෝන එහෙම කියනකොට මගේ ශොට් දෙකේ මත් ගතිය අන්තරස්දාන උනේ කොහොමද කියලා තාමත් හිතනව. කලින් දන්නවනම් තව දෙකක් දාගන්න තිබුනා.

පසුව ලියමි; කොරෝනා ප්‍රශ්නෙ තව දුරටත් තිබුනොත් මෙම ලිපියේ දෙවෙනි කොටස ගෙදරටම වෙලා ඉක්මනටම ලියන්න පුලුවන් වේවි.

Post a Comment

මටත් පොඩි කාලෙ බිත්තරස්ටීම් කරපුව කාපු දවස තාම මතකයි, මං හිතුවෙ චිකන් කියලා, මාර රහයි නේ ඒව 😋

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget