දියකාවත ... තෙවන පියාපත

දියකාවා ගේ තුන්වන තටුව මෙසේ දිග හැරේ....

ගාමිණී සුරංග නිරුපද්‍රිතව රැඟත් පොලිස් ජීප් රථය රූමස්සල කන්ද අදිනවා දියකාවා බොනවිස්ටාවේ පැරණි ගොඩනැගිල්ලකට මුවාවී බලා සිටියේය. නිහතමානී සර්ව සාධාරණ චරිතයක් වූ පොලීසියේ ලොක්කා ගැන හොඳින් දන්නා දියකාවා ගාමිණීගේ ආරක්ෂාව ගැන කලබල නොවූවත්, ඔහුගේ සිතේ තරමක හෝ සැකයක් මතුවී තිබුනේ නැත්තේද නොවේ. අම්මා තාත්තා වුනත් පොලිස් කාරයා නම් විශ්වාස කල නොහැකි බව දියකාවා දනී.

පෙරදින සිදුවූ අතපසුවීම හේතුවෙන් තව දුරටත් පොලීසියෙන් සැඟවී සිටිය යුතු යැයි ඔහු සිතා ගත්තේ, පුපුරා නොගිය බෝම්බයේ උණුසුම නොබෝ දිනකින් සාමාන්‍ය අතට හැරෙනා බව දන්නා නිසාය. වැඩි කල් සැඟවී සිටීමටද නොහැකි බැව් ඔහු පසක් කරගත්තේ සාදික් නානාද සිය මුදල් බලය යොදා පොලීසිය උසි ගන්වන බව සක් සුදක් සේ දන්නා නිසාය.

සාදික් නානා සිය දෛනික වෙළඳ කටයුතු ද තරමක පසුබෑමකට ලක් කරමින් ඒවායින් ඈත්වී සිටියේ කොයි මොහොතේ හෝ දියකාවා කල් යල් බලා සිය ගොදුරට කඩා පනිනා බව හොඳින් දන්නා නිසාය.

දියකාවාගේ වැඩිමහල් සොහොයුරියක් අත් වැරදීමකින් සදික් නානාගේ ආයුධ පහරකට ගොදුරු වී මිය පරලොව ගිය සැටිත්, ඒ ගැන ඔහු අවංකවම කණගාටුවට පත්වී මුදලින් වන්දි ගෙවූ සැටිත් ඔහු ඉදිරියේ චිත්‍රපටයක රූප රාමු පෙලක් සේ දිස් වන්නට විය. ඒ වනවිට කුඩා දරුවකුව සිට, අද හැඩි දැඬි කඩවසම් තරුණයකු වී ඔහු පසුපස ලෙයට ලෙය ඉල්ලා සිටින දියකාවාත් සාදික් නානාගෙ මනසේ හොල්මන් කරන්නට වීය.

====================

ගාල්ල කොටුව තුල එවකට පිහිටා තිබූ ගාලු පොලීසියේ සාජන් මහතා ඔහුගේ මේසයට එක එල්ලේ පෙනෙන රූමස්සල කන්ද දෙස බලා සිටියේ දණ්ඩෙන් පහර කෑ නාගයෙකු විලසින්ය. දියකාවා යැයි සිතා පාසැල් සිසුවෙක් කුදලාගෙන විත් ඔහු සිය උසස් නිලධාරියා ඉදිරියේ ලැජ්ජාවට පත්වීම සිය රාජකාරි දිවියේ ලද විශාල පරජයක් ලෙස ඔහුට හැඟුනි. ඔහු කුදලාගෙන ආවේ පාසැල් සිසුවකු නොව දියකාවාගේ ම ගෝලයෙක් යැයි දන්නේ නම් ඔහු වහ කනවා නියතය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්වූ සිය උසස් නිලධාරියා වෙනුවට වෙනත් අයෙක් සිටියා නම් විඳින්නට සිදුවන අපහාස නිමක් නැතැයි ඔහුට සිතුනි.

රූමස්සල කන්ද පොලීසියට දිස්වන්නේ තනිකරම කැලයක් ලෙසටය. වරායට අයත් එකම ගොඩනැගිල්ල පමණක් ඔහු දෙස බලා සිටින්නේද අවඥාවෙන් මෙනි. කන්දෙන් පිටවී යාමට ඇති එකම මාර්ගය මාටින් වික්‍රමසිංහයන් වැනි වියතුන් බිහි කල බොනවිස්ටාව අසලින් වැටී ඇති මාර්ගය පමණි. ඔහුගේ මුවඟට මද සිනහවක් ආරූඪ වූයේ යමක් සිත තුලට කාන්දු වූ නිසාය.

සාදික් නානා හරහා චුට්ටේගෙන් දියකාවා කන්දේ ඉන්නා බවට සැක හැර දැනගත හැකියැයි සාජන් මහතාට ඒත්තු ගියේය.

=============

දියකාවා ඕමි ක්‍රීඩාව කවදත් ප්‍රිය කල පුද්ගලයෙකි. ඔහු ඒ සඳහා අනිවාර්යයෙන් ම තෝරාගත්තේ චුට්ටේගෙ ගෙදරය.  ඕමි ක්‍රීඩාව අත මිට සරු දිනයන්හිදී අනිවාර්‍යයෙන් සිදුවන්නේ මත්පැන් බරපැන දියකාවාගෙ අනුග්‍රහය සහ චුට්ටේගෙ බිරිඳ නිර්මලාගේ ඉස්සන් හෝ පොකිරිස්සන් බැදුම්ද සමගිනි.

එවන් දිනයන්හිදී නිර්මලා මන බඳනා ලෙස හැඩගැන්වී දියකාවාගේ ඕනෑ එපාකම් ගැන උනන්දුවෙන් සිටීම සාමාන්‍ය දසුනක් වූවද, ඒ සම්බන්ධව අන් අය හොර රහසේ මිමිනුවේ නැත්තේද නැත.

" කෝ බං බෝතලේ ඉවරයි නේ.... චුට්ටෙ ... පාරට ගිහිං බෝතලයක් ගෙනෙං .. මටෙයි කියලා අරං වරෙං"

දියකාවා හට ඉල්ලන ඕනෑම වේලාවක අරක්කු සැපයීමට දෙවටේ තැබෑරුමේ අයිතිකරු සැදී පැහැදී සිටියේ පසුදින ම එම මුදල පියවන බැව් සක් සුදක්සේ දන්නා නිසාය. දියකාවා කිසිදින කප්පම් ගැනීම හෝ ණය අතපසු කිරීම අනුමත කලේ නැත.

චුට්ටේ පාරට බැස්සේ සාදික් නානා එවා තිබූ පණිවිඩයටද ප්‍රතිචාර දැක්වීමේ අදහසින්ය. ගල් අරක්කු බෝතලයක් දෙවටේ තැබෑරුමෙන් ඉල්ලා ගත් චුට්ටේ එසැනින් සාදික් නානා මුණ ගැසීමට ගියේය.

================

කඩිමුඩියේ චුට්ටේගේ නිවසට ගොඩවුනු සීමන්ගේ භීතිය මුසුවූ මුහුණ දියකාවා දුටුවේ අත රැඳි කාඩ් පත් අතරින්ය.

" පොලීසිය එනවා"

මොහොතක නිහැඬියාවක් පැවතුනද කිසිවෙක් කලබල නොවූයේ අවස්ථානුකූලව සිය නායකයාගේ ප්‍රතිචාරය දැනගැනීමේ අටියෙනි.

" උඹ පාර පැත්තෙ හිටපං.... මං කෝ කියලා ඇහුවොත් මූද පැත්තට ගියා කියාපං"

චුට්ටේ සිය එකම සහෝදරයා වන පොඩ්ඩේ දෙස මොහොතකට බලා සිටි බවත්, ඔවුන්ගේ දෑස් තුලින් එකිනෙකා අතර යම්කිසි පණිවිඩයක් හුවමාරු වූ බවත්, එහි සිටි කිසිවෙකුටත් දැනුනේ නැත. නිර්මලා වික්ෂිප්ත වූ බව පවා කිසිවෙකු දුටුවේ නැත. පෙර දිනයේ චුට්ටේ, පොඩ්ඩේ ඉදිරිපිටදීම තමාට ගැසූ කම්මුල් පහර ඇයට සිහිවූයෙන් ඇය සිය කම්මුල අත ගෑවේ නිරායාසයෙන්ය.

අසල සිටි සිය කුඩා සහෝදරයා හට ගෙදර යන්නැයි කී දියකාවා තනිවම එලියට බැස්සේ කිසිම චකිතයකින් නොවීම ඔහුගේ පෞරුෂය කියා පාන්නක් ම විය.

===========

තුවක්කු අතින් ගත් සිවිල් ඇඳුමින් සැරසුනු සාජන් මහතා ඇතුළු පොලිස් කොස්තාපල්වරු පිරිසක් සීමන් පිටුපසින් රූමස්සල කන්දේ බටහිර දෙසින් මුහුද දෙසට පියමැන්නේ දඩයක්කාරයන් ලෙසින්ය. මෙවන් ක්‍රියාන්විතයකට කිසිසේත්ම නුසුදුසු ශරීර සුවතාවයන්ගෙන් සැදුම් ලත් පොලිස් පිරිස දෙස අවඥාවෙන් බලා සිටිනා රූමස්සල ගම්වාසී අතලොස්සක් වූ පිරිස සිදුවන්නේ කුමක්දැයි බලාසිටියේ " අල්ලයි උගේ නැට්ට" කියන්නාක් මෙනි.

මුහුද අයිනේ පර්වතයක් උඩ මුහුද දෙස බලා සිටිනා සුදු කොට කලිසමක් හා සුදු කමීසයක් හැඳගත් පුද්ගලයෙක් දෙසට සීමන් අත දිගු කොට පෙන්වූයේ, පොලීසිය ඉදිරියේ වෙන කල හැකි කිසිවක් නොමැතිවූ නිසාය.  එම ක්‍රියාව ඔහු පාවාදීමක් සේ දිස්වූවත්, දියකාවා දුන් උපදෙස් අනුව ප්‍රතිඵලය කුමක් වූවත් එසේ කිරීමට ඔහු බැඳී සිටියේය. සිය අනුගාමිකයන් නීතියේ සැකයෙන් ඉවත් කිරීමද දියකාවාගේ එක් අරමුණක් වූවා විය හැක.

සාජන් මහතා ඇතුළු පිරිස තුවක්කු අමෝරාගෙන කෙමෙන් සුදු හැඳ සිටි පුද්ගලයා වෙත ලංවූයේ මේ ඉන්නේ ඉන්තේරුවෙන් ම දියකාවා යැයි නිශ්චිතව ම සීමන්ගෙන් දැනගෙනය. දියකාවා හට පොලිස් පිරිස හා මුහුණට මුහුණ දී සටන් කිරීමේ ඇති හැකියාවද සාජන් මහතා හොඳින් දැන සිටියේය. එහෙත්, දියකාවා යන නම ඔහුට පටබැඳුන හේතුව සාජන් මහතා හට ඒ මොහොතේ අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබුනි.

=============

"සර්... දියකාව ඉවරයි "

"මොකද උනේ කියනවකො"

" සර්.. අපි පිටිපස්සෙං යනකල්ම ඌ දන්නෙ නෑ.. අපි වෙපන් ලෝඩ් කරං හිටියෙ... අපි පොලීසියෙං යටත් වෙයං කියන කොටම ඌ මූදට පැන්න... අපි වෙඩි තිබ්බ සර්... පැයක් විතර බලාගෙන හිටිය... ඌ මතු උනේ නෑ... ශුවර් එකට මූ එක්කො වෙඩි වැදිලා මැරුනා නැත්නං දියේ ගිලිලා මැරුනා"

" දියේ ගිලිලා මැරුනා.... මනුස්සයො මේ අහගන්නව... තමුසෙ සෑහෙන පලපුරුද්දක් තියෙන සාජන් කෙනෙක් නේද... ඕයි දියකාව දියේ ගිලිලා මැරිල නං මම මගේ පොලිස් බුද්ධිය බල්ලට දාල ගෙදර යනව ... තමුසෙගෙ බුලට් එකක් වැදිලා මැරිලා නං මම මේ පුටුව තමුසෙට දීල ගෙදර යනවා... එක්කො ඕකා ලිහිණි ගල උඩ ... නැත්නං අපි මේ ඉන්න ගාලු කොටුවෙ... යකෝ ඌට දියකාව කියන්නෙ කට කහනවටෙයි"

පසුව ලියමි:

දියකාවා සතුව තිබූ තීක්ෂණ බුද්ධිය අද වැනි දිනෙක ඔහු ජීවතුන් අතර සිටියානම් පාර්ලිමේන්තුවේ පොලිස් ඇමතිකමට වූවද සුදුස්සෙක් වනු ඇත.

 

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget