දියකාවත ... සතර වන පියාපත

 

දියකාවා හතරවන තටුව දිග හරී...

එක් දහස් නමසිය පනස් හතර වසරේ ගාලු පුරවරය නියෝජනය කල, බනිස් මාමා යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ, විජයානන්ද දහනායක මහතා විසින් ස්ථාපනය කරන ලද රුහුණු සිමෙන්ති කර්මාන්ත ශාලාව උදෙසා ඉඩම් අත්පත් කර ගැනීම සිදුවෙමින් පැවතුනි.

ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කෙරුනේ භාරතයේ වාල්මිකී විසින් රචිත රාමායනයේ සඳහන් පරිදි, හනුමන්තා විසින් රැඟෙන ආ හිමාල වනයේ කොටසක් අහම්බෙන් උනා වැටුනු; පසු කලෙක උණවටුන නම්වූ ප්‍රදේශයේ ඓතිහාසික රූමස්සල කඳුවැටියේය.  

ඉඩම් අහිමි වූවන් අතර පසු කලෙක දියකාවා නමින් ප්‍රසිද්ධියට පත්වූ චන්ද්‍රා ගේ දෙමව්පියන්ද වූහ. ඔවුනට හිමිවූ රූමස්සල ඉඩම් වලට අමතරව බොහෝ අයට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රැකියාවන්ද හිමිවීය.                                                                             ====================                                             
හැත්තෑව දශකය වනවිට භද්‍ර යෞවනයේ තරුණියකව සිටි චන්ද්‍රානි සිය මළනුවන්හට බෙහෙවින් ආදරය කලේ ඔහු පවුලේ වැඩිමහල් පිරිමි දරුවා නිසාත්, හුරුබුහුටි රූසපුව නිසාත්, දෙමව්පියන් ඔහු හට චන්ද්‍රා යනුවෙන් නම් තැබූ නිසාත් විය හැක.

චන්ද්‍රා කාගේත් සුරතලා වන විට චන්ද්‍රානි ඔහුට දෙවන මව විය. චන්ද්‍රානිගේ උකුල චන්ද්‍රාගේ නිදියහන වූ අතර මවකගේ පහස ඔහු ලැබූයේ සිය සොහොයුරියගෙන් විය හැක.

චන්ද්‍රානිගේ මුවින් "ඔන්න බබෝ ඇතින්නියා, බබුට බයේ දුවන්නියා" කියනා විට කුඩා චන්ද්‍රා එඩිතර කම සිතට ගත්තා විය හැක. ( අදහස උපුටා ගැනීම මා ඉතා ප්‍රිය කරන සන්නාගේ වාග් මාලාවෙන් )

යාන්තම් කහට උගුරකින් බඩ පුරවා ගෙන නින්දට යන විට "නුඹෙ අම්මා කිරට ගියා, කිරි මුට්ටිය ගඟේ ගියා" යනුවෙන් සිය සොහොයුරිය නැලවිලි ගී ගායනා කරනා විට ඇයගේ ජීවන සුවඳ ඔහුගේ පුංචි සිත සෙනෙහසින් පුරවාලන්නට ඇත.

============

සාදික් නානා නාවින්නේ සිය පොල් තෙල් සෙක්කු ව්‍යාපාරය තුලින් උපයාගත් මුදලින් මුහුදු මත්ස්‍ය ව්‍යාපාරටද අත ගසා සිටියෙන් අවට වාසය කල සිංහල ධීවර ප්‍රජාව බොහෝ දුරට යැපුනේ ඔහු යටතේ කල රැකියාවන් ගෙනි. චන්ද්‍රා ගේ ඥාති පිරිසද ධීවර රැකියාවේ නිරතව සිටි හෙයින් දෙපිරිස අතර නොහොඳ නෝක්කාඩු හටගත් අවස්ථා සුලභ වීය.

සිය ඥාතීන් බොහෝ දෙනෙක්, සාදික් නානා සිය සේවකයන් හට නොසැලකූ අවස්ථා හා නෙරපා දැමූ අවස්ථා ගැන නෝක්කාඩු කියනවා චන්ද්‍රා අසාගෙන සිටියේ දිනපතා උග්‍ර වී නැගෙනා කේන්තියත් සමගය. ඒ ගැන ක්‍රියා මාර්ගයක් ගැනීමට ඔහු සිතා ගත්තද, ඔහුට සාදික් නානා පෙනුනේ විශාල දළ සහිත ඇතෙක් ලෙස අක්කා කුඩා කල ගායනා කල නැලවිලි ගීතයන් තුලින්ය. අක්කා ගායනයෙන් කී බබුට බයේ දුවනා ඇතා ඔහුට සිහිවන්නට ඇත. කවදා හෝ සාදික් නානාට පාඩමක් ඉගැන්වීමට ඔහු ඉටා ගත්තේය.

දෙපාර්ශවය අතර හටගත් ආරාවුල් කිසි දිනක දුර දිග ගියේ නැතත්, එක් දිනක් ඇතිවු බහින් බස් වීමකට චන්ද්‍රානි අක්කාද මැදිහත්වූයේ, එම අවස්ථාවේ සෙනග අතරේ ඇය ඉතාමත් ආදරය කල යස ඉලන්දාරියෙක්ව සිටි මලනුවන්ද සිටි නිසා විය හැක. ආරාවුල අවසන්වූයේ සාදික් නානාගේ පාර්ශ්වයේ සිටි අයෙක්ගේ පිහි පහරක් වැදී චන්ද්‍රානි අක්කා සිහිසුන්ව ඇද වැටීමෙන් පසුය. රෝහලට ඇතුලත් කල පසු මිය ගියාය. ඇයගේ ජීවන සමුගැන්මත් සමගම දියකාවාගේ උපත සිදුවූවායැයි තතු දත් යම් අයෙක් පවසනවා නම් එය සත්‍යයකි.

තමා ඉතා ආදරය කල අක්කා ගේ මිය යෑම චන්ද්‍රා නැමැති කඩවසම් තරුණයාගේ ජීවිතය උඩු යටිකුරු කලේය. ඔහු ජීවිතයට ජීවිතයක් ඉල්ලා යුධ ප්‍රකාශ කලේය.

දක්ෂ කිමිදුම්කරුවකු වූ ඔහු, රූමස්සල මුහුදේ කිමිදෙමින් පොකිරිස්සන් අල්ලා මුදල් කර අග හිග කම් ඇති සියළු දෙනාහට උදව් උපකාර කරමින් සිය බලය තහවුරු කරන්නට වීය. වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහු රූමස්සල ජනතාවගේ වීරයා බවට පත්වී සිටියේය.

=============

රූමස්සල මුහුද ඈත අතීතයේ සිට ගාලු වරායට පැමිනෙන නෞකා වලට තවත් කුඩා බර්මූඩාවක් යැයි කීවොත් නිවැරදියැයි මම සිතමි. ඉතා ගැඹුරු බර්මූඩා මුහුදේ කිමිදීම අති දුෂ්කර කාර්‍යයක් වූවත් යුරෝපයේ කිමිදුම් ලෝලීන් අතර රූමස්සල නොගැඹුරු මුහුදේ පිටරටින් ආනයනය කල ආම්පන්න පිට දරා කිමිදී පැරණි නෞකා නැරඹීම විනෝදාංශයක් වී තිබූනත් දියකාවා ඇතුළු පිරිසට ආසියාවේ බර්මුඩාවට ඇතුල්වීමට කිසිවක් අවශ්‍ය වූයේ නැත. ඔහු දියකාවෙකු මෙන් දිය යට කිමිදී සංචාරකයන්ගේ මුහුදු මග පෙන්වන්නෙකුද වූයේය.

මෙම වකවානුවේ මහමෝදර චණ්ඩියා වී සිටියේ පොඩි මල්ලීය. පොඩි මල්ලීට පිරිස් බලය පමණක් නොව මුදල් බලයද නොඅඩුව ලැබුනේ ඔහුගේ ඉතා ධනවත් සහෝදරයාගේ රේස් බුකි ව්‍යාපාරයෙනි.

විදේශීය නැවක් මෙම වකවානුවේදී රූමස්සල ගල් පරයක හැපී ගිලා බැසීමට පටන් ගත් අතර අසල ගාලු වරායේ නාවික හමුදාව හා වෙරළාරක්ෂක සේනාංකයන් මැදිහත්වී එහි සිටි නැවියන් සැනින් මුදාගන්නා ලදී.

පැතිර ගිය ආරංචිය කණ වැකුණු සැනින් පොඩි මල්ලී ඇතුළු පිරිස මහමෝදරින් බෝට්ටු කිහිපයකට ගොඩ නැගී ඒ වනවිටත් කිසිවෙකු නොසිටි නැවට මහත් පරිශ්‍රමයක් යොදා කඹයක් දිගේ ගොඩ නැග්ගේ වටිනා බඩු බාහිර සියල්ල තම සගයන් ලවා මහමෝදරට ගෙනයාමේ අදහසින්ය.

නැවට ගොඩවූ පළමු පුද්ගලයා හොල්මනක් දුටු අයකු මෙන් එසැනින් රූටා පහලට බැස්සේ පොඩි මල්ලී කුමක් කීවද නැවතත් නැවට ගොඩ නැගීමේ අදහසක් නොමැතිවය.

" දියකාවා ආං ඩෙක් එක උඩ ඉන්නවා "

" අප්පට සිරි... අපි පරක්කු වැඩියි නේ "

පොඩි මල්ලී කියනවා සාගරයේ රළ බිඳෙනා හඬ අතරින් සගයන් ගේ කණ වැකුණි.

ඔවුන් ආපසු හැරී ඒමට සැරසෙත්ම දියකාවා උඩ සිට කල සුහද සංඥාවක් අනුව ඔවුන් සියළු දෙනා නැවට ගොඩ වීය.

" මෙතන අපි ඔක්කෝටම සෑහෙන්න බඩු තියෙනවා "

ආරාධනාත්මක ස්වරයෙන් දියකාවා කී වදන් පොඩි මල්ලී සලිත කරන්නට විය.

එතැන් පටන් දෙපාර්ශවය සාමකාමීව, ඇනෙන් ඇනේ, මුරිච්චියෙන් මුරිච්චිය, ගලවා සියළු බඩු බාහිරාදිය රූමස්සලට හා මහමෝදරට ගෙනයාම ආරම්භ කලෝය.

===============

දණ්ඩෙන් පහර කෑ නයෙක් සේ දෙවන වරටත් බලාපොරොත්තු සුන් කරගත් සාජන් මහතා ද පසු නොබසින බැව් දියකාවා හොඳින් දැන සිටියේය.

මහත් පරිශ්‍රමයක් යොදා සාදික් නානාගේ නිදන කාමරය තුලටම දැමූ සිගරට් ටින් එකකින් සෑදූ අත් බෝම්බය පුපුරා නොගියෙන් දියකාවාද සිටියේ මහත් සිත් තැවුලෙන්ය. කොයි මොහොතේ හෝ සාජන් මහතා තුන් වන ප්‍රයත්නයද දියත් කරනවා නොඅනුමානය. සාදික් නානා අල්ලාහ් දෙවියන් වෙත නොයවා පොලීසියට කොටුවී ආණ්ඩුවේ බෝඩිමේ ගාල් වීම කිසිසේත් කල නොහැක. දියකාවා නිශ්චිත නිගමනයකට පැමිණියේය.

============

හිරු එළිය යාන්තමින් රූමස්සල අතු පතරින් එලි බසිනා එක් උදෑසනක, සාදික් නානා සිය ව්‍යාපාර කටයුතු සඳහා පිටත්වීමට පෙර ෆජර් යාතිකාව අවසන් කර, අල්ලහ් දෙවියන්ගෙන් කරුණාව අයැද සිටියේ " අල්ලාහ් කරීම් " කියා දෑත් අහසට ඔසවමිනි. යාතිකාවන් සඳහා මක්කමට මුහුණ ලා ස්ථානයක් ඔහු සිය නිවසේ වෙන්කර ගෙන තිබුනි.

මොහොතකින් නිවස තුලට කඩා වැදුනු තරුණයෙක් එල්ල කල කඩු පහර ඔහුගේ උර හිසට වැදෙනවාත් සමගම සාදික් නානා බිම ඇද වැටුනේ ලේ විලක් මැදටය.

නිවැසියන් මෙම ප්‍රහාරයට දියකාවා සැක කලත් ඇසින් දුටු සාක්ෂි නොමැති වීමත්, සති කිහිපයකට පසු මදක් සුවය ලත් සාදික් නානාද සිය කට උත්තරයේ දියකාවා ගැන කිසි සඳහනක් නොකිරීමත් මත සාජන් මහතාට හෝ පොලීසියේ උසස් නිලධාරීන් හට සැක පිට අත් අඩංගුවට ගත් දියකාවා නිදහස් කිරීමට සිදුවීය.

පසු සටහන:
සත්‍ය සිද්ධීන් අලලා රචිත දියකාවාගේ ජීවිත කථාව ඇතැම් විට මා විශ්මයට පත්කරයි. කොතරම් වෙහෙස වූවත් ඔහුට මිනීමරුවකු වීමට නොහැකි වූයේ දෛවය ඔහු මින්නිමරුවකු කිරීමට තරම් ප්‍රභල නොවූ නිසා යැයි මට හැඟේ.


Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget