දියකාවත . . දෙවන පියාපත

 

දියකාවාගේ දෙවන තටුව මෙසේ දිග හැරේ.....

" අනේ අයියෙ යාන්තං  වහල ගහගත්තා... උළු ටික ගන්න පවුලගෙ මාලෙ උගස් කරන්න යන ගමං"

අතරමගදී මුණ ගැහුණු දියකාවාට චුට්ටේ සිය අඳෝනාව දිග හැරියේ විමසීමකින් තොරවමය. නිතර සිය නිවසට ගොඩ වදින දියකාවා හිස් අතින් පැමිණි දිනක් චුට්ටේගේ මතකයේ නැත. තරමක මන බඳනා සිහින් සිරුරකින් හෙබි නිර්මලා කැන්දාගෙන ආ දිනයේ චුට්ටේගේ නිවසේ පැවැත්වූ සාදයේ සියළු බර පැන දියකාවා දැරූ බව කන්දේ වැසියන් අතර කථා බහ වූවද සියල්ලන් හැසිරුනේ හාංකවිසියක් නොදත් අයවළුන් මෙනි.

"කෝ ගනිං මාලෙ මෙහාට"

විධානයක ස්වරයෙන් පිටකල වචන ඉදිරියේ අවනත වීම, කනේ පාරක් කෑමෙන් අනතුරුව අවනත වෙනවාට වඩා දාහෙන් සම්පතක් බැව් කන්දේ වැසියන් හොඳාකාරව දනී.

"වරෙං යන්න මාත් එක්ක"

චුට්ටෙ කැටුව ගිය දියකාවා අතරමගදී එකතුකරගත් තරුණ පිරිසද සමග මුහුදට බැස වරුවක් පුරා එකතු කරගත් පොකිරිස්සන් මල්ල චුට්ටේ අතට දුන්නේ තවත් එක් විධානයක් නිකුත් කරමිනි.

"උඹ මේක හෝටලේට දීලා සල්ලි අරං වහලට උළු ගනිං"

එදිනම රාත්‍රියේ දියකාවා සන්තකයට ගත් රන් මාලය නිර්මලාගේ ගෙලෙහි තිබෙනවා චුට්ටේ දුටුවත් එය නොදැක්කාසේ අහක බලාගත්තේ ඒ ගැන විපරම් කිරීම නුසුදුසු යැයි හැඟුනු නිසාය.

====================

ගාල්ලේ දෙවට කෙමෙන් මුසල්මානුවන් ගේ ග්‍රහණයට හසුවෙමින් තිබූ කාලවකවානුවක, මාතර පාරේ මුහුදු වෙරලේ බෝට්ටුවකට මුවාවී සන්සුන් ලීලාවෙන් සිය හෝරාව එලඹෙන තුරු බලා සිටිනා මනා රූ සපුවකින් හෙබි තරුණයෙකි. ඔහු අසල වැල්ලේ සුරක්ෂිතව තිබූ කුඩා පාර්සලය, හිරු බැස ගිය අන්ධකාරය තුල සැඟවී ගියා සේය.

මුහුද දෙසට මුහුණලා ප්‍රධාන පාරෙන් අනික් පසින් එදවස හැඳින්වූ පරිදි "ඇමරිකන් පැටන්" නිවස තුල දෙවටේ ධනවත් මුසල්මානුවෙක් වන සාදික් නානා සුපුරුදු පරිදි දවසේ වැඩ නිමවා සිය නිදන කාමරයට පිවිසියේ විදුලි පංකාව ක්‍රියාත්මක කර කාමරය අඳුරේ ගිල්වමින් විදුලි බුබුලද නිවා දමමින්ය.

එදින මද්දහනේ කන්දේ චුට්ටෙ ඔහුගේ කනට කර කියූ වදන් කාමරය පුරා පැතිරුණු අන්ධකාරයත් සමග යලි සිහියට ආවේ ඔහු භීතියට පත් කරමිනි. චුට්ටේ මුදලට වූවද සපයන ඔත්තු සියල්ලක්ම පාහේ ඉතාමත් විශ්වාසවන්ත බවට මුසල්මානුවා පිලිගත්තේ මින් පෙර සැපයු ඔත්තු සියල්ල නිවැරදි වූ නිසාවෙනි. වේගයෙන් කැරකෙන විදුලි පංකාවට පවා ඔහුට නොදැනීම නලලට වැටුනු දහඩිය බිඳු දුරු කිරීමේ හැකියාවක් නැති සේය.

අසල තිබූ මස්බහාව නොහොත් තස්බිය ඇඟිලි තුඩු අතර රඳවාගත් ඔහු වෙනදාටත් වඩා උනන්දුවෙන් දෙවියන් යදින්නට පටන්ගත්තේ, අල්ලාහ් දෙවියන් කෙරෙහිද, කාමරයේ වීදුරු ජනේලවලට අමතරව මෑතකදී සවිකල යකඩ ග්‍රිල් කෙරෙහිද විශ්වාසය රඳවාගෙනය. කාමරයේ ජනේලයෙන් උඩ තිබූ වාතාශ්‍රය ඇතුල්වීමට සාදා තිබූ කවුළු පේලිය තුලින්ද මරුවා ලඟා විය හැකි යැයි ඔහුට හැඟුනේ නැත.

තිස් තුන් වන වරටත් සාදික් නානා අල්ලාහ් දෙවියන් සිහිපත් කර අල්ලාහු අක්බර් කියනවාත් සමගම ඔහුගේ ඇඟිලි තුඩු තිස් තුන් වතාවක් යාතිකාව අවසන් බැව් ඇඟවෙන එකට ඈඳූ පබලු දෙක ඇඟිලි තුඩු අතර දැවටුනා පමනි; කිසියම් දෙයක් හුලං කවුළුව තුලින් කාමරයට වැටෙනවා සාදික් නානා දුටුවේය.

අත් බෝම්බයක් බැව් වටහාගත් ඔහු සැනින් නැගිට කාමරයෙන් එලියට ගියත් එය පුපුරා නොගියේ එම අවස්ථාවේ ඔහු අල්ලාහ් දෙවියන් සමග සිටි නිසා යැයි පසුදින පලාතේ පොලිස් නිලාධාරියාට පැවසූයේ මේ සම්බන්ධව දියකාවා සැක සහිත බවද පොලිස් පොතේ සටහනක් තබන අතරවාරයේය.

වැඩේ වැරදුනත් සාදීක් නානා හැරෙන තැපෑලෙන් පොලීසිය කැටුව එන බව දත් දියකාවා පාසැල් දරුවකුගේ පෙනුමැති සගයෙකු ගෙන්වා අවශ්‍ය උපදෙස් ලබාදී කන්ද පාමුල නතර කර වූයේ කාගේත් හාස්‍යයට පොලීසිය ලක් කරමිනි.

කිසිදිනක මිනී නොමැරූ දියකාවා පලමුවරට මෙදින මිනීමරුවෙක් නොවුනේ ඔහුගේ දෛවය එයට හරස් වූ නිසා විය හැක.

පසුව ලියමි: කෝවිඩ් වසංගතය හමුවේ කතරගම මගේම නිවාඩු නිකේතනයේ ගසක් යට හිඳ මෑතකදී සිදුවූ මිනීමැරුමක් සම්බන්ධව ලිපියක් කොටන්නට ජංගම දුරකතනය අතට ගත්තද, බිහිසුණු පාතාලයට මා විසින් කොටන ලද දියකාවාගේ පලමු පිහාටුව කෙරෙහි සාමාජික සාමාජිකාවන් දක්වා තිබූ උනන්දුව දියකාවාගේ දෙවන පිහාටුව වෙත මා නැඹුරු කරන්නට සමත් වීය.


Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget