දියකාවත .... ප්‍රතම පියාපත


 

දියකාවා... (මෙය දියකාවාගෙ එක් පිහාටුවක් පමණි)

සූක්ෂම ලෙස ඕලන්දක්කාර ආක්‍රමණිකයන් විසින් ගොඩ නගන ලද ඓතිහාසික ගාලු කොටු පවුරෙහි උසාවියට යාබදව එවකට පිහිටා තිබූ ගාලු පොලීසියේ ඉහලම නිලධාරියාගෙන් නිකුත්වූ නියෝගයකි.

"සාජන්... රූමස්සලට ටීම් එකක් එක්ක ගිහිල්ල අර දියකාව කියන එකා අරං එනව"

සැනින් දෙපතුල් වැරෙන් එක්කර සැලියුට් එකක් ගැසූ බණ්ඩාර සාජන් මහතා තවත් කොස්තාපල්වරු දෙදෙනෙකුද කැටිව ජීප් රථයට නැග්ගේ " අද නං ඕකව අරගෙනමයි එන්නේ " කියා හඬනගා කියමින් වූවද, ඔහු කිසි දිනෙක "දියකාවා" යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයා කිසි දිනක දැක තිබුනේ නැත.

විදුලි වේගයෙන් දෙවට පසු කර රූමස්සල දෙසට ඇදී යන ජීප් රථය දෙස අපේක්ෂා සහගතව බලාසිටි එවකට මුස්ලිම් ප්‍රජාවේ ඉහලින්ම වැජඹුනු නානා මද සිනහවක් පා මාතර පාරට මුහුණලා සාදා තිබූ සාලයේ හාන්සි පුටුවේ වාඩි වූයේ නොබෝ වේලාවකින් ආපසු යන ජීප් රථයේ දියකාවා සිටී දැයි දැක බලා ගන්නා අටියෙනි.

ටික වේලාවකට පසු ආපසු ජයග්‍රාහී ලීලාවෙන් ගාලු කොටුව දෙසට ඇදීයන ජීප් රථය දෙස නානා බලා සිටියේ පෙර දින පොලිසියේ ලොක්කා නානාට පොරොන්දුවූ පරිදි යුතුකම් ඉෂ්ට කර ඇතැයි යන හැඟීමෙනි. පෙරදින රාත්‍රියේ ඔහුගේ නිදි යහන තුලට යම්කිසිවෙකු විසින් අත් බෝම්බයක් ව්සි කල අවස්ථාවෙ ඔහුගේ ජීවිතය ගැලවුනේ අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් එය පුපුරා නොගිය නිසා යැයි ඔහු සිහියට නගා ගනිමින් අල්ලාහු අක්බර් යැයි තමාටම කියාගත්තේය.

"වරෙං යමං... ලොකු මහත්තය බලාගෙන ඉන්නෙ තෝ පිළිගන්න"

සාජන් මහතා දියකාවා බෙල්ලෙන් අල්ලාගෙන උසස් නිලධාරියා ඉදිරියේ පෙනී සිටියේ ජයග්‍රාහී ලීලාවෙන් දෙපා එක්කර සැලියුට් පාරක්ද ගසමින්‍ ය.

ලිපි ගොනුවක් කියවමින් සිටි නිලධාරියා හිස ඔසවා බලා "තමුසෙගෙ නම මොකද්ද?" යැයි විමසා සිටියේ කිසියම් සැකයක් ඔහු තුල ඇතිවී ඇති බවට ඉඟි කරමිනි.

"ගාමිණී සර්... ගාමිණී සුරංග සර්..."

"මූ තමයි දියකාව සර්"

"තමුසෙටද දිය කාව කියන්නෙ?"

"ඔව් සර්... මට ඉස්කෝලෙ ලමයි කියන්නෙ දියකාව කියලා"

" ඇයි තමුසෙට දියකාව කියන්නෙ"

" අපේ කන්දෙ අයිය කෙනෙක් ඉන්නව... එයාට දියකාවෙක් වගේ කිමිදෙන්න පුළුවං... මටත් හොඳට පීනන්න පුළුවන් නිසා පන්තියෙ කොල්ලො මට දියකාව කියල කොලොප්පං කරනව සර්"

" සාජන්...මේ ලමයව ගෙනිහිං බස්සනව... මීට පස්සෙ හරියට කරුණු කාරනා සොයා බලලා අත් අඩංගුවට ගන්න පුරුදු වෙනව. පොලීසිය අප කීර්තියට පත් කරන්නෙ නැතුව"

පසුව ලියමි: ගාලු පුරවරය පාතාලයන් බිහි කලා යැයි මම පිලි නොගනිමි. සමාජයේ අනේක විද බලපෑම් හේතුකොටගෙන චණ්ඩීන් කලින් කලට බිහි වී සිටියෝය. ඔවුන් බොහෝ දෙනා, අප ශුද්ධ වන්තයන් යැයි සිතා සිටිනා අය හා සසැඳීමේදී වචනයේ පරිසමාප්තියෙන් මහත්වරුන්‍ ය. දියකාවා, සමනලයා, කල්ලෙ අයියා, පොඩි මල්ලි, බර්ටි අයියා, දංගෙදර කුමාර මගේ මතකයට නැගෙනා අපේ කාලයේ ජීවතුන් අතර සිටි චන්ඩීන්‍ වේ.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget