අතීතය, වර්තමානය හා අනාගතය

අතීතය, වර්තමානය හා අනාගතය

අතීතය
1985
“කවුද එකෙක් ඇවිත් චූටිගෙ ගෙදර ඉස්සරහ කඩුවකුත් අරගෙන ඉන්නවලු.”

මට ආරංචිය ලැබෙන කොට හවස් වෙලා ගෙදර ආව විතරයි.

“ඔයා යන්න එපා. උං දෙගොල්ල මරා ගන්න හදනව ඔයා ගිහිල්ල ඕවට පැටලෙනව”

“එහෙම පුලුවන් ද පිට එකෙකුට ඇවිල්ල කඩු හරඹ දාන්න. චූටි කියන්නෙ මගේ ලොකු අම්ම ගෙ පුතා. අනිකා මගේ නංගි බැදපු එකා. කවුද මේ පිටිං ආපු එකා. ඉන්න මම බලල එන්නම්”

මම කෝකටත් පයින් ම ගියේ මහ ලොකු දුරක් නැති නිසාම ත් නෙමෙයි. වාහනෙන් ගිහිල්ල ඔය ජර මර අස්සෙ තවත් කරදරයක් දා ගන්න ඕන නෑ කියල හිතුන නිසයි.

චූටිගෙ ගෙදර ගේට්ටුව ලග හුරු පුරුදු මූණක් එක පාරට ම අඳුන ගන්නත් බැරි උනා. මහ ලොකු ශරීරයක් නැතත් මම දන්නව සුදත්ගෙ හිත පර්වතයක් වගේ.

“අඩෝ කැරි චූටීය වර එලියට. තෝ අපේ ජෝජ් අංකල්ට පාට් දාන්න. කපනව පකයො තොගෙ ඇට දෙක.”

එහෙම කියන ගමන් මූ කඩුව ගේට්ටුවෙ උලනව මුවහත් තියනව වගේ.

“සුදත්, මොකද්ද උඹේ ප්‍රශ්ණෙ කියාපං බලන්න”

“නෑ කමල් අයියෙ අද මම චූටිය බාවනව. මූ අපේ ජෝජ් අංකල්ට පාට් එකක් දාල”

“මේ අහපං පකෝ චූටි මගේ මල්ලි. ලොකු අම්ම ගෙ පුතා. ජෝජ් මගේ මස්සිනා. නංගි බැදපු එකා. මේක උඹේ ප්‍රශ්ණයක් නෙමෙයි. මගේ ප්‍රශ්ණයක්. උඹ ඔය ලබ්බ ත් අරගෙන ගෙදර පලයං. අපේ පවුලෙ ප්‍රශ්ණ  අපි විසඳ ගන්නම්.”

“ අප්පට හුඩු මේ කමල් අයියගෙ පවුලෙ කේස් එකක් ද. දන්නව නං අපි එනව ද කීයට වත්. අර පකය නිකමට වත් කිව්වෙ නෑ නේ.

මම ගෙදර ගියේ දෙගොල්ලට ම සුද්ද සිංහලෙන් අවවාද කරල. ඊට පස්සෙ දෙගොල්ල ම පාඩුවෙ හිටිය විතරක් නෙමෙයි අදටත් දෙපැත්ත ම සද්දෙ වහලා.

සුදත් රස්සාවට කලේ ත්‍රී වීල් එකක් හයර් කරන එක. සුදත් කියන්නෙ හරිම හිත හොද කොල්ලෙක්. මාව කොහේ ඉන්නව දැක්කත් කමල් අයියේ කියල කට පුරා හිනා වෙලා ලඟට එන එකෙක්.

--------------------
1996
මොකද්දෝ වැඩකට එදා මම කොලඹ ගිහිල්ල බස් එකේ ගාල්ලට ඇවිල්ල බැස්සෙ කොන්දොස්තර ගෙන් ඉතුරු සල්ලි ඉල්ල ගෙන.

“චුට්ටක් ඉන්න අපි නොදී යන්නෙ නැහැ නේ.”

මේ වෙන කොට කීප දෙනෙක්ම කොලඹදි දුන්න සල්ලිවල ඉතුරු ගන්න බලාගෙන ඉන්නව.

“මොකද්ද පරයො කිව්වෙ. කන පලා ගන්නෙ නැතුව ඉතුරු සල්ලි දීපං. මේ මිනිස්සු ගෙවල් වලට යන්න ඕන.”

වැඩේ දුර දිග ගියේ අවට හිටපු අනිත් කොන්දොස්තර ලත් උගේ පැත්ත අරගෙන මගේ වටේට හිට ගත්ත නිසයි. එතකොට ම සුදත් ලඟටම ඇවිත් ඉවරයි.

“අඩෝ එක පරයෙක් අතක් උස්සන්නෙ නෑ. ඉතුරු සල්ලි දීපං පකය වෙන්නෙ නැතුව. නගින්න අයියෙ ත්‍රී වීල් එකට මේක අපේ බජාර් එක.”

---------==---------------
1997

ගාල්ලෙ රේල්වේ කැන්ටිම කලක් මම බදු අරගෙන කරගෙන ගියා. ඒ දවස් වල ස්ටේශන් එක පුරවගෙන හිටියෙ ගයිඩ්ල. උන් කරන්නෙ ස්ටේශන් එකට එන සුද්දො අල්ල ගෙන ගාන කපා ගන්න එක. අඩු ගානෙ 10 ක් වත් උන්ගෙ ගැන්සියෙ හිටිය. මුලු ස්ටේශන් එකම අරක් ගෙන හිට්යෙ උං. හිටපු ගමන් ස්ටේශන් එකට ආපු ඩබල් කැබ් එකකින් එන මම ගැන උන් එකෙක් වත් දැනගෙන හිටියෙ නෑ. වටිං ගොඩිං ආරංචිය ගියේ නැතුවත් නෙමෙයි අලුතෙන් කැන්ටිම කරන්නෙ ඉංජිනේරු මහත්තයෙක් කියල.

කොහොම උනත් ගයිඩ් ගැන්සියෙ නායකය රංජි දවසක් ආව හතර පස් දෙනෙක් එක්ක කැන්ටිමට.

“ඕන දෙයක් අරගෙන බීපල්ල.” ෆ්‍රිජ් එක අරින ගමන් සගයන්ට කියනකොට මම කවුන්ටරයේ.

“රංජි සල්ලි දීල බඩු ඉල්ල ගනිං. මෙතන ක්‍රමේ ඒකයි”

“ආ එහෙමද?”

“ඔව් එහෙම තමයි ඇයි ප්‍රස්නයක් ද?”

“හරි හරි අපි එලියෙ බලාගමු”

වැඩේ පත්තු වෙලා වෙඩි වෙලාවක් ගියේ නෑ එලියෙන් ගෝරනාඩුවක් ඇහෙනව ගොරෝසු කටහඩකින්

“අඩෝ කවුද අපේ ඉන්ජිනේරු මහත්තයට පාට් එක දාපු එකා.”

කල්ලෙ අයිය දෙවටෙ ඉන්න චන්ඩිය. මම කිට්ටුවෙන් නමුත් අතේ දුරින් ආශ්‍රය කෙරුව. මේ ප්‍රස්නෙ කොහොම ආරංචි උනාද කියල අදටත් මම දන්නෙ නෑ. කල්ලෙ අයියලගෙ වචන වලින්ම කියනවනම් කල්ලෙ අයිය කියන්නෙ හොද බොක්කක්. ඒ දවස්වල යන්නෙ හොන්ඩා 200 යතුරු පැදියකින්.

“හරි හරි කල්ලෙ අයිය ඒව ඔක්කොම ඉවරයි. මම වැඩේ ගොඩ දාගත්ත. එන්න ඇතුලට තේ එකක් බීල ඉමුකො” කල්ලෙ අයියගෙ කට ගැන හොදින් දන්න නිසා මම කිව්වෙ වැඩේ දුර දිග යන්න ඕන නැති නිසයි. නිකමට හරි කතන්දරේ බර දාල කිව්වොත් මම හොදටම දන්නව මෙතන විශාල ප්‍රස්නයක් වෙනව කියල.

මුලු ස්ටේශන් එකම හොල්මන් වෙලා වගේ මගේ දිහාව බලාගෙන ඉන්නව. විස්තරේ අහන ගමන් තේ එකක් බීපු කල්ලෙ අයිය යන්න ගියේ එපා කියද්දි හතරවටේටම කුනුහරුප කෝටියක් බස්සගෙන.

මම කතන්දරේ ඉවරයි කියල හිතාගෙන ඉන්නකොට ඊට පහුවදා එකපාරටම ගයිඩ් ගැන්සියෙ එකෙක් දුවගෙන කැන්ටිම ඇතුලට ඇවිත් මේසයක් යටට රිංගුවා. ඒ එක්කම මම දැක්ක වේදිකාව උඩ සුදත් ගයිඩ් ගැන්සියෙ තව එකෙකුට කඩුවකින් පාරක් ගහනව. එක පාරයි ගැහුවෙ ඒකා බිම. ඇතුලට අපු එකා ඉස්සෙක් වගේ ගැහෙනව.

“අනේ මහත්තයො මාව බේරගන්න”

“මොකද්ද  කේස් එක බං”

“සුදත් අපේ උංව මරන්න හොයනව.”

මේකව බෙල්ලෙං අල්ලල එලියට දැම්මනම් අංගුලිමාලය වගේ දුවන සුදත් මූටත් කොටනව.

“හරි හරි සුදත් මේක ඇතුලට එන්නෙත් නෑ ආවත් භය වෙන්න එපා මම බේරගන්නම්.”

එදාට පස්සෙ නිකම්ම කමල්වෙලා හිටපු මම සර් උනා. ගයිඩ්ලා විතරක් නෙමෙයි දන්න කියන කවුරුත් මට කතා කලේ අතිශය ගරු පක්ශපාතිත්වයකින්.

------------=---------------------

2001

වසර දෙකකට පමණ පිටරට සේවයට ගිය මම දිනක් ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිටදී හිතවත් ත්‍රී රෝද රියදුරෙක්ගෙන් සුදත් ගැන විපරම් කරන්න ගත්ත.

“සුදත් එහෙම කෝ දැං”

“මර්ඩර් එකකට ඇතුලට ගියානේ”

“කවුරු එක්කද ඒ ගමන පැටලුනේ”

“මහතුංගෙ කේස් එකකට අත දාල”

“මොන මහතුංද?”

“අර ජම්බුකැටියෙ”

“ඉතිං රිමාන්ඩ්ද”

“නෑ කන්ඩෙම්”

“කොහෙද ගාල්ලෙද”

“වැලිකඩ මගේ හිතේ.”

“කොහොම උනත් හිත හොද එකා”

බලන්න යන්න ඕන කියල ඒවෙලාවෙ හිතුනත් ඒකට මට ඉඩක් ලැබුනෙම නෑ.

-------------------

2012

“කමල් අයියෙ මම සුදත් කතා කරන්නෙ”

“සුදත් කිව්වෙ”

“හැරල්ඩ්ගෙ පුතා. ඔයාලට දැන් අපිව අමතක වෙලා නේ”

“අම්මට හුඩු එලියට ආවද”

“නෑ අයියෙ කොහෙ එන්නද”

“එතකොට කෝල් කරන්නෙ”

“අයියෝ මේක ඇතුලෙ ඕනදෙයක් තියෙනව අයියෙ”

“අවුලක් නැද්ද කතාකරන එක”

“කිසිම අවුලක් නෑ. අයියෙ මට ෆෝන් එකක් ගන්න සල්ලි ටිකක් දෙනවද?”

සුදත් කියපු විදියට මම අවශ්‍ය මුදල එයාට ලැබෙන්න සැලැස්සුවේ ඇත්තටම මම සුදත් ගැන පැහැදීමක් තිබුන නිසයි. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි කිසිම කෙනෙක් අපරාදයක් කරන්නෙ නෑ ඒක එයාගෙ පැත්තෙන් සාධාරණීකරණය කරන්නෙ නැතුව.

මම කවදාවත් සුදත් ව බලන්න වැලිකඩ ට නොගියත් මට සුදත්ගෙ සිතුම් පැතුම් ගැන හොද අවබෝධයක් ගන්න අවස්ථාව ලැබුනෙ මම යවාපු මුදලින් ගත්ත මොබයිල් එක හරහා.

වර්තමානය - 2018

“අනේ කමල් ඔයා පොලීසිය හොදට දන්න නිසා පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?” සුදත් ගෙ තාත්ත එහෙම අහනකොට මට හිතාගන්න බැරි උනා මොන වගේ උදව්වක් ද කියල.

“මොකද්ද ප්‍රස්නෙ?”

“නෑ මේ සුදත්ගෙ පවුලට පොලිස් රිපෝට් එකක් ගන්න රට යන්න.”

“ප්‍රස්නයක් නෑ යමු මගේ යාලුවෙක් ඉන්නෙ”

පහුවදා ම අපි පොලීසියට ගියේ මගේ හිත මිත්‍ර සාර්ජන් මහත්තය මුනගැහෙන්න. අවශ්‍ය ලියකියවිලි තිබුන නිසා එවෙලේම වැඩේ කරල දුන්න.

සුදත් මගේ හිතවතා නිසා මම එයාගෙ බිරිඳ එක්ක ටිකක් දොඩමලු උනේ මේ වෙනකොට අවුරුදු  12 විතර හිරේ හිටපු සුදත් යහපත් කල්ක්‍රියාව සලකලා මොනයම් ක්‍රමේකට හෝ මරණීය දණ්ඩ නය ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලිහිල් කරතිබූ නිසයි.

“ලගදි නිදහස් වේවි වගේ නේද?”

“තාත්ත කියනව එහෙම” තුශාරි ඇගට පතට නොදැනි කියනකොටම මට ඉගියක් ආව එයාගෙ සුදත් ගැන තියෙන ආකල්පය ගැන.

“ඔය මිනීමැරුම වෙන දවසෙ ඇත්තටම මොකද උනේ”

“අපි මුකුත් දන්නෙ නෑ” මගේ කුකුස තවත් තහවුරු උනා.

“මැරිච්ච කෙනා සුදත් ගෙ කවුද?”

“කවුරුවත් නෙමෙයි” ඕනවට එපාවට තුශාරි උත්තර දුන්නෙ කොහොම උනත් උදව්වක් කරපු කෙනෙක් නේද කියන්න වගේ.

“මොකද්ද තිබුන ප්‍රස්නෙ?”

“දන්නෙ නෑ”

“මිනීමැරුම වෙච්ච දවස මතකද?”

“ඔව්”

“කොහෙ යනව කියලද ගියේ”

“කිව්වෙ නෑ මොකවත්. මහතුංගෙ ගෙදර බිබී ඉදල තියෙන්නෙ.”

“මහතුං එයාගෙ යාලුවෙක්ද?”

“ඉස්සෙල්ල මහතුංගෙ ත්‍රී වීල් එකෙ වැඩ කරා”

“ඔය දවස වෙනකොටත් මහතුංගෙ ත්‍රී වීල් එකේද වැඩ කෙරුවෙ.”

“නෑ එතකොට තරහ වෙලා හිටියෙ දෙන්න. ඕක මහතුං තමයි කරවල තියෙන්නෙ”

“හරි දැං ඉතිං ගියදේ ගියා. යම් විදියකින් එලියට ආවොත් ඔයා සුදත්ව බාරගන්නවද?” මම අවශ්‍යම ප්‍රශ්නය ඇහුව.

“මේ සැරේ මම කියන විදියට ඉන්න ඕන. ත්‍රී වීල් එකක් අරගෙන දෙනව. හවසට මට සල්ලි දෙන්න ඕන. බොන්න බෑ. කොහෙවත් යන්න බෑ. මම කියන විදියට ඉන්න ඕන.” තුශාරි කියවගෙන කියවගෙන යනව.

යකෝ උසාවියෙන් වත් මිනිහට මෙච්චර නීති දාන්න නැතුව ඇති නේ කියල කියන්න මට හිතුනත් මම ඊලග ප්‍රස්නෙට ගියා.

“ඔයා හිතනවද සුදත් ඔය නීති වලට යටත්ව ඉදීවි කියල?”

“එහෙම බෑ. මම කියන විදියට ඉන්නව කියල එයා පොරොන්දුවෙලා ඉන්නෙ. මමයි දුවයි කියන විදියටම ඉන්න ඕන.”

බොහෝ අය හිතන්නෙම තමන්ගෙම රාමුවක් ඇතුලෙ. කවදාවත් වෙනත් රාමුවක හිතන්න පුරුදුවෙන්නෙ නැති දූපත් මානසිකත්වය නේද මේ. ඉතින් කොහොමද සාර්ථක විවාහ ජීවිතයක් තියා සාර්ථක මිත්‍රත්වයක්වත් ගොඩනගාගන්නෙ.

“මෝඩ කතා කියන්න එපා. මිනිහත් මනුස්සයෙක්. මට හිතෙනව ඔයාගෙ ස්වාමිපුරුෂයා උනාට ඔයාට වැඩිය හොදට මම සුදත් ගැන දන්නව කියල. ඔය විදියට සුදත් ට නීති දාන්න ගියොත් ආයෙත් මිනිහ මිනීමරුවෙක් නැත්නම් මංකොල්ලකාරයෙක් වෙනව.” ඉවසන්න බැරිම තැන මම කිව්ව.

“එහෙම බෑ එහෙම  බෑ. මම කියන විදියට ඉන්න ඕන.” ආයෙත් තොරතෝංචියක් නැතුව එකම දේ කියවනව.

===========

අනාගතය.

සුදත් නුදුරු අනාගතයේදී කවදාහෝ නිදහස්වී එනු ඇත. මට නිදහස්වී පැමිනෙන සුදත් ගැන සතුටක් හා අනුකම්පාවක් ඇත. ඒ ඔහු ඉදිරියේ ඇති ප්‍රස්න මාහට සිහිනයකින් මෙන් මැවී පෙනෙන නිසාය.

පලමු සති කිහිපය තබා දින කිහිපයක්වත් ඔහු  කිසිම නීතියකට බැදෙන්නේ නැති බව මම හොදාකාරවම දනිමි. ඔහු යාන්තමින් හෝ කීකරු වනු ඇත්තේ ඔහුගේ උගත් දියණිය ඉදිරියේ පමනකි. දැනට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය පියා සිරගත වනවිට මාස 6 ක ලදැරියකි. බොහෝවිට ඔහු නිදහස් වී පැමිනෙන විට ඇය විවාහවී නිවසින් පිටවී නොතිබුනත් විශ්වවිද්‍යාලයේ ප්‍රේම සම්බන්ධයක පැටලී නොසිටීයැයි සිතිය නොහැක. ඇයගේ ලෝකය සුදත්ගේ ලෝකය හා ගැටෙනු ඒකාන්තය.

තවද නූගත් බුද්ධියෙන් තොර ගැහැනියක වන ඔහුගේ බිරිද හා ඇයගේ ලෝකයද සුදත් හට ආගන්තුක හා කරදරකාරී වනු ඇත. චේතනාව පිරිසිදු වූවාට ප්‍රතිඵලය කරා යාමට තීරණය කර ඇති මාවත දශක දෙකකට ආසන්න කාලයක් බිත්ති හතරකට සිරවී ගතකල සුදත් හට පීඩාකාරී වනු ඇත. සුදත්ගේ කෝනයෙන් පිටත ලෝකය දෙස බැලීමට මම උත්සාහ දරමි. කිසිම දිනක කිසිම අවස්ථාවක හිස නොනැමූ සුදත් එක්වරම තමාගේ පවුලේ උදවිය ඉදිරියේවත් දෙවනි නොවනු ඇත. සුදත් යහමගට ගත යුත්තේ කරුනාවෙන් මිස තර්ජනයෙන් නොවන බව මැයට තේරුම් කර දීමට තරම් උවමනාවක් තිබුනද ඉවසීමක් මට නැත. එය මගේ දුර්වල කමක් විය හැක.

සුදත්ගේ සමාජයද ඔහුගේ පැමිනීම දෙස ගිජු දෑස් අයා බලා සිටිනු ඇත. එදත් ඔහු චන්ඩියෙකු වී සිටියේය. හෙට දිනයේදීද ඔහු චන්ඩියකු වීම වැලැක්වීමට හැකියාවක් ඔහුගේ සමාජයටවත් පවුලේ අයටවත් නොමැති බැව් මාහට හොදින් වැටහේ. කොතරම් දුරට නීතිගරුක වීමට තැත් කලද සමාජය මොහු සිරගෙය නැමැති විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලද අයකු සේ සලකනු ඇත. සුදත් හට එම ගෞරවය ප්‍රතික්ශේප කිරීමට ඇති  අල්ප හැකියාව වුව සමාජය විසින් මකා දමනු ඇත.

හිත හොද මිනිසෙකු යහමගට ගැනීමට අවංකවම මම සියලු වෙර දරමි. එහි සාර්ථකත්වය අනාගතයට භාරකරමි.

පසු සටහන:
මෙය මා අත්විඳි හා අත්විඳිමින් පවතින සත්‍ය සිද්ධි සමුදායක් ඇසුරින් ලියන ලද්දකි.


























Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget