ඩිජිටල් ප්‍රේමය

ඩිජිටල් ප්‍රේමය

විභාගය අත ලඟයි පොත් අතර               හිරවෙලා
කොල්ලො රැල මේ එන්නෙ සෙල්ලමට   සෙට්වෙලා
වරෙං අද මැච් එකක් අරුං ටික             රොක්වෙලා
උඹ නැතොත් අපට උන් ගහනවා              වටවෙලා

පැත්තකින් විභාගය පැත්තකින්               පිට්ටනිය
තවත් පැත්තක හිඳී බලාගෙන               පෙම්වතිය
ලියන්නට පෙම් හසුන් කාලයක් මට             නැතිය
නැතිද ඇය වෙත ගියේ මගේ අන්තිම             ලිපිය

තැපෑලට එක් දිනයි පිලිතුරට එක්                  දිනයි
තාත්තට අහු උනොත් එකතුවෙන දින           පහයි
අදට සතියක් වෙලත් පිලිතුරක් නැත්තෙ          ඇයි
දින ගනන් පහු උනත් පිලිතුරක් එනව              මයි

තැපැල් මාමා ඇවිත් බෙල් එකත්               ගහනවා
නංගි දුවගෙන ගියොත් කාගෙන්ද              අහනවා
පිට්ටනියෙ දුවන හැටි මතක් කර              ගන්නවා
ධාවනය කෙටි දුරයි කොහොම හරි            දිනනවා

එහෙම පෙම් කරපු යුගයක් අපිට           තියෙනවා
පෙම් හසුන් ගොඩ ගැසී ඇඳ යටින්           පනිනවා
අම්ම කොස්සක් අරං සාලෙ අතු                 ගානවා
දොර අගුලු තදකරන් මම වැඩක්              කියනවා

අද කාලෙ කොල්ලො ලඟ පෙම් හසුන් නැති    තරං
පහසුවෙන් ගෙවන පොශ් දුරකථන අත           දරං
පෙම් හසුන් වචන තුන හතරකට කෙටි          කරං
ඔබනවා  බොත්තමක් ගොලු වතින් බිම         බලං

ලොවම ඩිජිටල් වෙලා ආදරය              ගොලුවෙලා
පෙම් හසුන් වැලලිලා පෙම් වදන්             සිරවෙලා
හැල්මෙ යන ජීවිතේ සොදුරු බව           නැතිවෙලා
පෙම් කරමු නංගියේ ස්කයිප් තුල         කොටුවෙලා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget