ආර්ථික අරපිරිමැස්ම හා ස්ථාවරත්වය ….

ආර්ථික අරපිරිමැස්ම හා ස්ථාවරත්වය ….

මා අවුරුදු පනහක කාලයක් පුරා ප්‍රගුණ කල එක දෙයක් ඇත….. ඒ ගොඩනැගිලි ඉඳිකිරීමය…. ඒ ශ්‍රී ලංකාව ඇතුළුව බෲනායි රාජ්‍යය, සිංගප්පූරුව, කටාර් දේශය, බහරේන් හා මාල දිවයින් තුලය.

ඉහත සඳහන් රාජ්‍යයන් අතුරින් ශ්‍රී ලංකාව හැර අන් සියලුම රාජ්‍යයන්හිදී මා හට සේවා තෘප්තිය (job satisfaction) බොහෝ දුරට ලැබුනු බව පවසන්නේ ඉතාමත් කණගාටුවෙනි….. මගේම රට වන ශ්‍රී ලංකාව සේවා තෘප්තියේ පහතින්ම තිබූ රටය.

අපේ රටේ වැඩක් හරියට කෙරෙන්නේම නැත… අනෙකුත් ක්ෂේත්‍රයන් පිලිබඳව පණ්ඩිත කථා නොහොත් පොර ටෝක්ස් දීමට මම මැලි වෙමි… ඒ නොදන්නා කමටත් වඩා, ඇම්බියුලන්ස් රථයේ ක්‍රියාකරීත්වය තුට්ටුවට දමා කථා කර හොට බිම ඇනගත් පාදඩදෙනියලාගේ මට්ටමට වැටීමට හෝ ෆැලෝපියන් නාල ගැන පොර ටෝක්ස් දෙන ගැමුණුලාගේ ඝනයට වැටීමට ඇති අකමැත්ත නිසාවෙනි.

අපේ රටේ බාස්ලා සහ සුපවයිසර්ලා ඉංජිනේරුවෝය…. Draughtsman ලා architects ලාය… මූලික අවශ්‍යතාවයක් වන සැලැස්ම බොහෝ දුරට අඳින්නේ Draughtsman විසින් Architect කෙනෙකුගේ උපදෙස් නොමැතිවය… එසේ අඳින ලද සැලැස්මේ ඉංජිනේරුවා බාස්ය.

නිවසක් හෝ ගොඩනැගිල්ලක් සාදාගැනීමට අදහස් කරන්නාහට මොවුන්ගේ කාර්‍යභාරයන්ගේ ඇති වැදගත් කම ගැන අල්ප මාත්‍රයක හෝ හැඟීමක් තිබුනද, එයද සැලැස්ම අනුමත කරගැනීමේ අද රටේ පවතින ක්‍රමවේදය තුල රාජ්‍ය ආයතනයේ ගොඩනැගිලි පරීක්ෂකගේ පොර ටෝක්ස් වලට යටවීමට සිදුවේ.

"කවුද මේක ඇන්දෙ…. මේකෙ වැරදි හරිගස්සගෙන එන්න" මුල් දවසේ රාජ්‍ය ආයතන නිලදාරියා එසේ නොකියන්නේ නම් ඒ ශ්‍රී ලංකාව විය නොහැකිය.

දෙවන හෝ තෙවන වටයේදි, "ඕකට වැඩිය හොඳට අපි ඇඳල සැලැස්ම පාස් කරලත් දෙන්නම්" කියන්නේ ඔබ හෙම්බත්වී සිටිනා විටය.

අපි ඔයාට කම්බි දාන්න ඕන විදියත් කියල දෙන්නම් කියා Architect ගේ හා ඉංජිනේරුවාගේ වැඩ දෙකම භාරගන්නේ නොසෑහෙන මුදලකටය…

ඕනෑම ගොඩනැගිල්ලක අත්තිවාරම අඩි දෙකක් හෑරුවාම ඇතිය…. බේස් වලවල් අඩි තුනය… දිග පලල අඩි හතරෙන් හතරය… කම්බි නූල් පහේ හතරකි…. ස්ටිරප් අඟල් නමයෙන් නමයටය.

කට්ටඩියා ඕං ග්‍රීං කට්ටු කට්ටු කියන්නාක් මෙන් යාන්තම් ගොඩනැගිලි ඉඳිකිරීම පිලිබඳ පාඨමාලාවක් හැදෑරූ ගොඩනැගිලි පරීක්ශකවරයා ඔහුගේ මන්තරය ජපකරන්නේ පෙරුම් පුරා ගොඩනැගිල්ලක් ඉඳිකිරීමට පටන්ගන්නා තැනැත්තා නොමග යවමිනි.

එය මගේ මතකයේ හැටියට වසර 2017 විය යුතුය… ගාල්ලේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයෙක් අහංගම ආසන්නයේ සුන්දර පරිසරයක පිටරැටියකු හා එක්වී මන්දීරයක ඉඳි කිරීම් ආරම්භ කලේ, ඒ වනවිටත් ඔහු සතුව තිබූ හෝටල් සංචාරක ව්‍යාපාරය විලා සංකල්පයට අනුව වැඩි දියුණු කිරීමේ අදහසින් විය යුතුය.

තට්ටු දෙකකට සැලැස්මක් සාදාගත් ඔහු දෙවන තට්ටුවද දැම්මාට පසු අමතර තට්ටුවක් එකතු කිරීමට පියවර ගත්තේය… අමතර තට්ටුව දැමීමට කටයුතු කරන අතරේ මුළු ගොඩනැගිල්ලම කිඳා බැස්සේ වාසනාවකට මෙන් සියලුම සේවකයන් තේ පානය සඳහා අසල වාඩියට එක්තැන් වී සිටි අවස්ථාවේය….

ආරංචිය ලැව්ගින්නක් සේ පැතිර යන අතරතුර පසු දිනක මම එහි ගියේ මගේ කුතුහලය විසින් මනස දෙවනත් කල නිසාය.

කාරණාව වටහාගැනීමට වැඩි වේලාවක් මිඩංගු කිරීමට මා හට වෙහෙසක් දැරීමට සිදුවූයේ නැත. පොලොව මට්ටමේ තිබූ අඟල් නමයේ කනු පසුව අඟල් පහලොවක් කර ඇත්තේ කාගේ උපදෙස් මතදැයි මම අසල සිටි සේවකයෙක්ගෙන් විමසීමි.

"සර් සිරිසේන අයියනේ කොන්තරාත් එක කලේ" ඇඟටපතට නොදැනීම ඔහු පැවසීය.

"කවුද සිරිසේන අයිය කියන්නෙ"

"අපේ ගමේ ඔක්කොම කොන්ත්‍රාත් වැඩ කරන්නෙ එයා"

"හරි ඒ කොන්ත්‍රාත් කාරය නේ… කවුද ඉංජිනේරුව"

"ඉංජිනේරුවෙක් කියල කෙනෙක් නෑ සර්…. සිරිසේන අයියගෙ පුතා තමයි වැඩ බැලුවෙ"

"එයා ඉංජිනේරුවෙක්ද?"

"නෑ සර් එයා මේ විභාගෙ ඉවරවෙලා දැං ඔය කාර්මික විද්‍යාලෙක සති අන්තෙ මොකද්ද පාඨමාලාවක් කරනව නේ" ඔහු එසේ කීවේ නම් කෝචොක් එකට බවට මම තේරුම් ගතිමි.

අඟල් නමයේ කණු අඟල් පහලොව කර තිබුනේද ගොඩනැගිල්ලේල් බර ඉසිලිය හැකි ක්‍රමයකට නොවන බවට කැඩී ගොස් තිබූ කනු දකින ඕනෑම ඉංජිනේරුවෙකුට තේරුම් ගත හැක…

සිදුවී ඇති දෙය වටහා ගැනීම ඉතා පහසුවිය… අලුතින් එක් කිරීමට අදහස්කල තට්ටුව උදෙසා කවුරුන් හෝ කණු ලොකු කරමු කියා උපදෙසක් දුන්නා විය හැක… වැඩ නිම කර ඇති කණුවක ප්‍රමාණය විශාල කර නොහැක්කේ බර උසුලන්නේ යකඩ කම්බි වලින් නිසාවෙනි…

අවසානයේ අලාභය හා අනිසි ප්‍රසිද්ධිය ගොඩනැගිල්ලට මුදල් යොදවන්නාගේය… penny wise pound foolish කියා කියමනක් සුද්දන් අතර තිබෙන්නේ මෙවන් අවස්ථා තේරුම්කර ගැනීමටය.. ඉංජිනේරුවෙකුගේ උපදෙස් නොමැතිව විශේෂයෙන් තට්ටු ගොඩනැගිලි ඉඳිකිරීමේ ආදීනව ඉතාමත් ඛේදනීය විය හැක..

උගත් විශේෂඥ දොස්තර මහතෙක් නිවසක් සෑදීම පිලිබඳව මගෙන් උපදෙස් පැතීය… එම කාර්‍යය ඉංජිනේරුවෙකුට භාර දෙන්නැයි මම උපදෙස් දුන් විට ඔහු කියා සිටියේ හොඳ බාස් කෙනෙක් ඉන්නවා කියාය…. කෙසේ හෝ නිවස ඉඳිවිය.

එක් අවස්ථාවක අහම්බෙන් ඉඳිවෙමින් තිබූ එම නිවසට යාමට මට සිදුවිය… සාලයට යාමට තිබුනේ ප්‍රධාන කාමරයට යාබද නාන කාමරය අසල කොරිඩෝරයකිනි…. එම කොරිඩෝරය නාන කාමරයෙන් වෙන්වී තිබුනේ විශාල ඇතුලත විනිවිද පෙනෙන වීදුරු බිත්තියකිනි.. සාලයේ පුටු හා නිදන කාමරයේ ඇඳන් කොන්ක්‍රිට් ය… එය නිවසක් නොව හෝටලයකි…. හොඳද යන ප්‍රස්නයට හොඳයි කියනවා මිස මට වෙන විකල්පයක් තිබුනේ නැත.

උණවටුනේ හෝටලයක් design කර තිබුනේද ඒ අයුරින්මය…. අහවල් කාරිය කරන අතර සාලය තුලින් මුහුද පෙනේ…. තිරයකින් වසා ගත හැකි අයුරින් සාදා තිබුනත්, එසේ කිරීමෙන් මූලික අදහසවන මුහුද දෙස බලාගෙන අහවල් කාරිය කිරීමේ හැකියාව ලත් තැනම ලොප් වෙනවාය…. නාන කාමරය රැඩිකල් කල සැලසුම් කරු හෝ හෝටලය අයිතිකරුද එම නාන කාමරය පාවිච්චි කරන්නේ තිරය වසාගෙන බව නම් සහතිකය.

මේ සම්බන්ධව කිව හැකි දේ බොහෝය… සියල්ල ලිවීමට ගියොත් පාඨකයා වෙහෙසීමට පත්වන නිසා අවසානය වශයෙන් මේ ටික පවසා නිහඬ වෙමි.

තාක්ෂණය යනු ආර්ථික අරපිරිමැස්ම හා ස්ථාවරත්වයයි…. ආර්ථික අරපිරිමැස්ම නොමැති ස්ථාවරත්වයද, ස්ථාවරත්වය නොමැති ආර්ථික අරපිරිමැස්මද තාක්ෂනය නොවේ.

Engineering is Economy and Stability…. Economy without Stability and Stability without Economy is not Engineering.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget