පුළුවන් නම් ආව වැඩේ කරගෙන පෙන්නපං

පුලුවන්නම් ආව වැඩේ කරගෙන පෙන්නපන්…. 

මගේ හිත මිත්‍ර මාතර දොස්තර සරත් මහතාගෙ FB post එකක් දැකල මේක ලියන්න ගත්තෙ මගේ අත්දැකිම් ඒ ආකාරයෙන්ම විස්තර කරන්න හිතුන නිසයි.

එය 2002 වසර විය හැකි බව මගේ මතකයයි…. බහරේන් රාජ්‍යයට රැකියාවක් සඳහා පැමිණ වැඩ භාර ගත්තේ ගුවන් තොටුපල ආසන්නයේම ඉඳිකෙරෙමින් තිබූ Movenpick හෝටල් සංකීර්ණයේය…. sim card පතක් ලබා ගැනීමට මා හට උවමනා වී තිබුනේ සැම විටම ලංකාවේ සිටින බිරිඳට නිතර කථා කිරීමටත් ඒ වෙනුවෙන් ජංගම දුරකථන අතැතිව සිටි යහලුවන්ට කරදර කිරීමට තිබූ අකමැත්තත් නිසාය.

ආයතනයේ රියැදුරුව සිටි බහරේන් ජාතිකයෙකු හට ඩිනාර් 20 ලබාදී මාහට sim card පතක් රැඟෙන එන ලෙස උපදෙස් දෙන විට, වැඩපල භාරව සිටි ඉංග්‍රීසි ජාතිකයා පවසා සිටියේ ජාතික හැඳුනුම් පතක් නොමැතිව කිසිවිටෙක බහරේන් ටෙලිකොම් ආයතනය sim පතක් නිකුත් නොකරන බවත් ඔහුටද sim පතක් ලබා ගත හැකිවූයේ මාසයකට පමණ පසු අරාබි බසින් පතාකා නමින් හැඳින්වු හැඳුනුම් පත ලබා ගැනීමෙන් පසුව බවත්ය. 

"He is a Bahraini and he might be able to get it" 

යනුවෙන් පැවසූ මම රියැදුරා පිටත් කර යැවුවේ විශාල බලාපොරොත්තුවක් හිතේ තබාගෙන වූවද, ඔහු ආපසු පැමිනියේ, " හාදි වාජිඩ් මුශ්කිල්,...(ඒක ගොඩාක් අමාරුයි).... ලාසෙම් පතාක… (හැඳුනුම් පත අත්‍යාවශ්‍යයි) හාදි නෆර් මැයි ජිබ්… (ඒ මනුස්සය දුන්නෙ නෑ" කියමිනි.

යකාගෙ කටෙත් දත් ගැලවීමේ දක්ෂතාවයක් ඇති මම, තනිවම යෑමට තීරණය කලේ සුද්දාගෙත් රටවැසියාගේත් "කාලය අපතේ හෑරීමක්ය" යන මුවින් පිට නොකල හැඟීම හොඳින් වටහාගෙනය.

අදාල ස්ථානයට ගිය මම එහි පසෙක තිබූ පෝරමය පුරවා ඩිනාර් විස්සත් සමග එහි සිටි, මුහුණ පුරා රැවුල වවාගත් නිලධාරියා වෙත දිගුකලේ එන විදියට මූණ දෙනවාය යන හැඟීමෙන් හා පලමුව "අස්සලාම් වාලෙයික්කුම් ඔරහ්මතුල්ලා බර්කාතු" කියා සුභ ප්‍රාර්ථනාවක්ද සුපුරුදු ලෙස එක් කරමිනි.

"වේන් පතාක…. (කෝ හැඳුනුම් පත)" යනුවෙන්  ඇසූ ප්‍රශ්නයට කීමට මට කිව හැකි වූයේ, "මාෆි අල්හේන්… (දැනට නෑ) … ආන ජඩිට්… මම අලුත්" කියා පමණි..

නුරුස්නා ගතියකින් ආපසු මාවෙත අයදුම් පත දික්කර එසැනින් ඔහු තවත් ප්‍රශ්ණයක් නැගුවේ ඇයිදැයි මට එවේලේ තේරුම් ගියේ නැත.

"මීන් කමාල්… (කවුද කමාල් කියන්නෙ)" මගේ  අයදුම් පතේ සඳහන් නම කමල් වෙනුවට ඔහු එය උච්චාරණය කලේ ඉස්ලාම් ක්‍රමයට කමාල් කියාය.

"ආනා කමාල්… (මම කමාල්)" කියා පිලිතුරු දෙන විටත් වැඩේ භාගයක් ගොඩ බව මට වැටහී තිබුනි.

"ඉන්තා ඉස්ලාම්…. (උඹ ඉස්ලාම්ද)" ඔහුගේ ඊලඟ ප්‍රශ්නයට මම පිලිතුරු දුන්නේ උද්දාමයෙනි.

"නාම්… ඉස්ලාම් ජඩීට්…. (ඔව්… අලුත් ඉස්ලාම් භක්තිකයෙක්) යනුවෙන් පැවසූවේ අවිශ්වාසය පෙරදැරිව යන්තමින් හෝ ඉස්ලාම් දහම ගැන ප්‍රශ්නයක් නැගුවොත් එයටද පිලිතුරු දිව අග තබා ගනිමිනි.

"සේන්… (හොදයි)..." එපමණකි ඔහු පැවසූයේ…. Sim පතක් සමග ඉතිරි මුදල මා අත පතිත විය.

"ශුක්‍රාන් මුදීර්…. (ස්තූතියි ලොකු මහත්තයා)" කියමින් හිස නැමූ මම ඔහුගේ දිගු කල අත අල්ලාගෙන මගේ පපුවට අත යොමුකලේ නියම ඉස්ලම් භක්තිකයෙකු ලෙසිනි.

=================

ඒ සිද්ධිය බහරේන් රජ්‍යයේදීය. දෂකයකට පමණ පසු ලංකාවේ කැලෑබද පෙදෙසක පිහිටි මගේ ඉඩමකට විදුලිය ලබාගැනීමට මා හට අවශ්‍යවී තිබුනි… එම ප්‍රදේශයේ විදුලි දෙපාර්තමේන්තුව වෙත අයදුම් පතක් ඉදිරිපත් කර තිබුනත් වැඩේ කර ගැනීම ඉතා අසීරු වූයේ එහි සිටි විදුලි අධිකාරීවරයා ඉතා තරුණ සිය තනතුරේ ඌෂ්ණය ඉහට ගසා සිටි අයකු වී තිබූ නිසා බව, කීප වරක් එහි ගිය මා හට වැටහී ගොස් තිබුනි.

ඔහු මුණ ගැසීම පවා ප්‍රතික්ෂේප කිරීම මහජන සේවකයෙක් වූවද මේ තැනැත්තා පුරුද්දක් කර ගෙන තිබුනි…. එදින මම පෙර සැලසුමක් ඇතිව ඔහුගේ කන්තෝරුවට ගොඩ වූයේ මගේ වටිනා ජීප් රථය ප්‍රදර්ශනය වන පරිදි ඔහුගේ කාමරය අසලම නවතමිනි… මේ වනවිට මම මගේ බිරිඳට නොකඩවා මගේ දුරකථනයට ඇමතුම් ලබා දීමට උපදෙස් දී තිබුනි.

මා විදුලි දෙපාර්තමේන්තුවේ සේවිකාවියක් සමග මගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම ඇරඹූ සැනින් මගේ දුරකතනය නාද වූයේ පෙර සැලසුමකට අනුවය…. නුරුස්නා ගතියක් මුහුණට ආරූඪ කරගත් මම,

"ඇයි" කියා ඇසුවත් බිරිඳ නිශ්ෂබ්ද ව සිටියේද පෙර සැලසුමකට අනුවය…

"තමුසෙට මම කිව්වනේ මේ ප්‍රශ්නෙ මම විසඳගන්නම් කියල…. ආයෙත් මට ගන්න එපා…"

මම දුරකථනය විසන්ධි කලත් සුළු මොහොතකින් එය නැවතත් නාදවන්නට විය… 

"සමාවෙන්න මිස්" කියමින් මදක් ඔබ්බට ගිය මම මුළු කාර්‍යාලයටම ඇසෙන නෑසෙන හඬින් බැන වදින්නට පටන්ගත්තේ ඔවුන් ඉදිරිපිටදීමය.

"තොට කිව්වනේ යකෝ මට කතා කරන්න එපා කියල… යකෝ මගේ වාහන කීයක් තොගෙ ඇමතියගෙ චන්දෙට වැඩ කලාද…. දැං අපි රස්තියාදු වෙන්න ඕන ලයිට් ගන්න…. ඌට බැරි උනා තවම අදාල ඇමතියට බැරිනම් මොන මල යකෙකුට කියල හරි මගේ ඉඩමට ලයිට් අරගෙන දෙන්න… මම උගෙං අසාධාරණ ඉල්ලීමක්ද කලේ… තෝ දන්නව මම ඕකාට කියල කිසිම දෙයක් කරගෙන නෑ… මගේ නෝන එපා කියද්දි මම ඌට කිව්වෙ…. බැරි නං බෑ කියන්න ඕන… මූසලය… කියාපං වැරදිලාවත් මට කෝල් කරන්නවත් එපා කියල… වරකො ඊලඟ චන්දෙ කාලෙට වාහන ඉල්ලගෙන"

ලයිට් ඕනම නෑ කියන්නාක් මෙන් මම එලියට බැස්සත්, මොහොතකින් අදාල කාර්යාල සේවිකාව මා පසුපස විත් රිසිට් පතක් ඉදිරිපත් කරමින් ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටියේ මහජන බැංකුවට ගොස් අදාල මුදල ගෙවා රිසිට් පත ඇයට ලැබෙන්නට සලස්වන ලෙසටය.

එදිනම සවස මගේ ඉඩම විදුලි ආලෝකයෙන් බබලන්නට වූයේ අසල අභය භූමියේ අලි කොටි වලසුන් බලා සිටියදී විය හැක.

==============

බොහෝ දුරට මෙය සිදුවූයේ 2004 වසරේ විය හැක….. නිවාඩුවකට බහරේන් සිට ලංකාවට පැමිනියේ මගේ ගුවන් ගමන් බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරගැනීමත් පෙරදැරිවය…. ලඟදීම දිනක බිරිඳද ගෙන්වා ගැනීමේ අදහසත් මගේ සිතේ පලපැදියම්වී තිබුනෙන්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනද සකස්කරගත්තද යොදාගෙන තිබූ දිනයේ වෙනත් කාරණයක් හේතුකොට ගෙන බිරිඳට කොලඹ අදාල කාර්‍යාලයට කැඳවා ගෙන යාමට නොහැකි විය.

මගේ අයදුම්පත භාරදී නිකමට මෙන් මගේ  බිරිඳගේ අයදුම් පතද භාර දුන්නේ ඔවුන් අදාල අයදුම්කරු නොමැතිව ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් නොකරන බැව් නොදැනම නොවේ….. බලාපොරොත්තු වූ පරිදිම එම අයදුම් පත භාරගැනීම ප්‍රතික්ෂේප වූවත් මගේ බලාපොරොත්තු බිඳ ගැනීමට මම සූදානම් නැති වග මගේ සිත මට කියන්නට වූයෙන්, අසල වීදුරු කාමරයක සිටි අධ්‍යක්ෂක තුමිය වෙත මගේ නෙත් යොමු කලෙමි.

සිත්ගන්නාසුළු පෙනුමකින් යුතු ඇය වෙත මා පියනැගුවේ සිනාමුසු මුහුනකිනි…. ඇය මට වඩා වයසින් බාල බව මට පෙනුමින් වටහාගත හැකිවිය….

"Good Morning Madam" යනුවෙන් ඇය ආමන්ත්‍රණය කල මම මගේ විදේශ සේවයේ business card පත ඇය ඉදිරියේ තැබුවෙමි.

"මැඩම් මම මගේ passport එක extend කරගන්න ආවෙ… මම ගාල්ලෙ…. මට මගේ wife ගෙ passport එකත් ගන්න පුලුවන්නම් ලොකු උදව්වක්" 

මම ගාල්ල උවමනාවෙන්ම සඳහන් කලේ කොලඹ සියයට අනූවක්ම ගාල්ලට සම්බන්ධකම් ඇති නිසාත් කවුරු මොනවා කීවත් දකුණ, දකුණට විශේෂ සැලකිල්ලක් දක්වන නිසාත්ය.

"අයදුම් කරු නැතුව අපිට passport issue කරන්න බෑ නේ" ඇයගේ තරමක ආචාරශීලී ස්වභාවය මා දිරිමත් කලාය.

"මැඩම් …. මට නෝනට passport එකක් අවශ්‍ය එයාව එංගලන්තෙට ගෙනියන්න අසනීපෙකට psychiatrist කෙනෙකුට පෙන්නන්න…. ඔබතුමියගෙ අපහසුතාවය මට හොඳටම තේරෙනව… අනේ මැඩම් එයා මෙතනට එක්ක එන එක සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්… ඔබතුමියට මේක නිකුත්කරන්න පුලුවන්නම් ලොකු පිණක්"

වචනයක්වත් කථා නොකල ඇය මගෙන් අයදුම් පත ඉල්ලා සටහනක් තබා සිය කාර්යාල සහායකයා කැඳවා අදාල ස්ථානයට යොමු කලේ මගේ කෘතඥතාවය පිලිගනිමින් සුන්දර සිනහවක්ද පිලිගන්වමිනි.

මෙවන් අවස්ථා මගේ 71 වසරක දිවිගමනෙහි ඉතා බහුලය… විටින් විට අවස්ථාව ලද විට ඒවා ලියා තැබීමට අදහස් කරමි.

අප කවුරුත් හදවත් ඇති මිනිසුන්ය…. ඔබ සේවාවක් බලාපොරොත්තු වන අයකු වෙත ධනාත්මක පිවිසුමක් ලබාගන්න…. ඔහුගේ හෝ ඇයගේ සිත දිනගතහැකි අයුරින් කතා කරන්න…

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget