රියැදුරු බලපත්‍රය ....

රියැදුරු බල පත්‍රය නොහොත් When luck….

වයස 21 යන්තම් පිරිල (වසර 69) හිටපු මට ලංකාවෙ රියැදුරු බලපත්‍රය ගන්න දාපු අයදුම් පතට කැඳවීමක් ලැබුනෙ ගාල්ලෙ මෝටර් රථ බලපත්‍ර කාර්‍යාලයෙන්…. පරීක්ෂක තුමා ගාල්ලෙ කොටුව අසලින් මගේ වාහනේට නැග්ගෙ තඩි ලිපි ගොනුවකුත් අතේ තියාගෙන… පුලුවන් තරම් සැහැල්ලු ස්වරූපයක් පෙන්නන්න හිතාගෙන දකුනු අත වැලමිට දොර කවුලුව උඩ තියාගෙන වාහනය පන ගැන්වූවිට පරීක්ෂක තුමාට යක්ෂාරූඪ විය.

"ඔහොමද සුක්කානම අල්ලන්නෙ"

"සමාවෙන්න, මට වැරදුනා" 

ඔරලෝසු කටුවේ 10.10 ට අත් දෙක තියාගත් මට ඉදිරියට යාමට හැකිවූයේ මීටර් සියයක පමණ දුරක් පමණි…. පාර හරහා පාසැල් ශිෂ්‍යයකු අනපේක්ෂිත ලෙස දිව යනු දුටු මම හැකි වෙර යොදා තිරිංග තද කලෙමි… පොඩි එකා නූලෙන් බේරාගැනීමට මට හැකිවූවත් පරීක්ෂක තුමා ඉදිරියට ගොස් නැවතුනේ ලිපිගොනුවද සී සී කඩ විසිරුවමිනි.

"ඔන්න ඕක නවත්තනව ඉස්සරහින්" 

එසේ කියමින් එතුමා බැස පිටුපසින් ආ වෙනත් වාහනයකට නැග ගත්තේ මගේ බලාපොරොත්තු සුණු විසුණු කරමිනි.

ඉදිරි පැය කීපය නිකරුනේ කා දමමින් මම එදවස ගාලු කොටුවේ කච්චේරියේ පිහිටි එතුමාගේ කාර්‍යාලය අසල නැවත දිනයක් ලබා ගැනීමට නැවතී සිටියෙමි.

දුරසිටම මා දුටු එතුමා මා කාර්‍යාලය තුලට කැඳවා ගෙන ගියේ අසාර්ථක බව දැන්වීමටයැයි කිසිදු සැකයක් නොතිබුනත්, මා අතට පත් කල තාවකාලික බලපත්‍රය නිවැරදිව වටහා ගැනීමට එය කිහිප වරක්ම කියවා තේරුම් ගැනීමට සිදුවිය.
එතුමා මට නිහඬවම සාමාර්ථයක් පිරිනමා තිබුනේ නිසි වේලාවට පාසැල් සිසුවා බේරා ගත් නිසා විය හැක… එම සිසුවාට අදටත් මම පින් දෙමි… එය මගේ කුළුඳුල් රියැදුරු බලපත්‍රය විය.

එවකට බලපත්‍රය අද මෙන් කාඩ් පතක් නොව රතු පැහැති පිටු විස්සකින් පමණ සමන්විත පොත් පිංචකි…. උසාවියකින් වරදකරු වන සෑම විටකදීම එම වරද සඳහන් කිරීමට හා ඉදිරියේදී කලයුතු යම් කිසි වෙනස් කම් වෙතොත් ඒ සඳහා එම පිටු උපයෝගී කරගත් බවට මට මතකය.

කිරුලපන පොලීසිය….

74 - 78 වර්ෂයන් තුල සිංගප්පූරුවේ සිට මගේ සහෝදරයා විසින් එවන ලද පර්ජෝ 404 වර්ගයේ රථයක් මා පරිහරණය කලේ තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවය කරන කාලයේ දීය… අදටත් මා සමග ඉතාමත් කුළුපගව ආශ්‍රය  කරන මුණේ මුණගැසුනු එක් සති අන්තයක ඒ වනවිටත් ලංකාවේ ලියා පදිංචි නොකල එම රථය පොලීසිය විසින් නතර කලේ අංක තහඩු සිංගප්පූරුවේ ඒවා වූ නිසාවෙනි…. වාහනය නතර කරගත හැකිවූයේ මීටර් පනහක් පමණ ඈතිනි.

"මචං මම පොඩි ශේප් පාරක් දාල එන්නම්"

කවදත් පොලීසියට ශේප් න්‍යාය දමන මම පිටුපස හැරී බැලුවේ පොලිස් නිලධාරීන් ඉන්න ඉසවුව දෙසය.

"උඹ ඔන්න ඔහෙ හිටිං…. උං ආපුදෙං අපි ගාවට"

කොළඹ ආසන්නයේ උසාවියක එවකට සේවය කල මුණේ මගේ අතින් අල්ලාගනිමින් හරි බරි ගැසී ආසනයේ දිගා වූයේ මුළු කොලඹම අයිතිකාරයා විලසිනි.

මදවේලාවක් බලාසිටි පොලිස් නිලධාරියා අප වෙත පැමිණ නුරුස්නා ස්වරයෙන් තර්ජනාත්මකව ප්‍රශ්න කිරීම ඇරඹුවේය.

"පිටරට අංක තහඩු වලින් එලවන්න බැරි බව දන්නේ නැද්ද"

"ඒක තීරණය කරන්න ඔයාට අයිතියක් නෑ නේ… වැරැද්දක් නම් උසාවියට දාන්න"

මුණේ කට මැත දොඩවන්න ගත්තේ මගේ ශේප් න්‍යාය කුඩු පට්ටම් කරමිනි… දැන්නම් ඉන්තේරුවෙන්ම තලවාකැලේ සිට කොළඹට අඩුම වශයෙන් එක් වරක් වත් නඩුවට පෙනී සිටීමට පැමිණිය යුතුය.

මගේ රියදුරු බලපත්‍රය ලබාගත් පොලිස් නිලධාරියා අහවල් දින නාරාහේන්පිට උසාවියේ පෙනීසිටින්නැයි පවසමින් ඉවත්වුයේ මගේ මුවින් මුණේ වෙත පිටවූ කුණුහරුප ගෝනිය අතරතුරය.

"උඹට වෙන නඩු මොකවත් නැහැනේ… සිතාසි ආවම අරින්නෙවත් නැතුව වෙන ලියුම් කවරෙකට දාල මට තැපැල් කරපං"

ඔහු දුන් උපදෙස් පිට එලෙසම ක්‍රියාකාරීවු මට සති කීපයකින් ලියා පදිංචි තැපෑලෙන් මගේ බලපත්‍රය ලැබුනත් ඔහු එය කලේ කෙසේදැයි ඇසූ සෑම වාරයකම පැවසුවේ, එම නඩුව ඔහු විසින්ම කැඳවා නිශ්ප්‍රභා කල බවකි. 

බෲනායි රියැදුරු බලපත්‍රය ….

1983 බෲනායි රාජ්‍යයේ සේවයට ගිය මම එහිදී රියදුරු බලපත්‍රය ලබාගත්තේ ලංකාවේ රියැදුරු බලපත්‍රය පෙන්වා අවුරුදු 14ක පමණ පලපුරුද්දක් ඇති බව පැවසීමෙනි… එදවස බෲනායි රාජ්‍යය ඉතාමත් සරල කලමණාකරනයකින් යුතුව තිබුනා යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේ එහි සංචාරයකට යාමට මට වීසා අවශ්‍යතාවයක් පවා නොතිබුනි…. රියැදුරු බලපත්‍රයද අදාල කාර්‍යාලයට ගිය සැනින් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව මට ලැබුනේ කෙසේදැයි අදනම් මට ප්‍රශ්නයකි.

කළුතර පොලීසිය…...

1988 ලංකාවට පැමිණි මට කළුතර පොලීසිය විසින් අධික වේගයෙන් රියපැදවීම වෙනුවෙන් නිකුත් කල දඩ කොලය ගෙවීම පැහැර හැරීමට එරෙහිව නඩුවක් පැවරී තිබුනි…. මා වෙත එවන ලද සිතාසිය මගේ මිතුරා විසින් දෙතුන් වරක්ම දින දමා නැවත නිකුත් කිරීම කර තිබුනද අවසානයේ නඩුවට ඉදිරිපත්වී වරද පිලිගෙන දඩ මුදල ගෙවීමට මම තීරණය කලෙමි.

එම කාල වකවානුව මා කොටහේන ලංකා දුම්කොල සමාගමේ සේවය කරමින් සිටි අතර නඩුවට කෝච්ච්යේ යෑම පහසු නිසා පිටකොටුවෙන් මන්දගාමී දුම්රියකට ගොඩවී අසුන් ගත්තේ නිදහසේ ඩේලි නිව්ස් පුවත් පත කියවීමේ අරමුණ ඇතිවය…. මොරටුවේදී දුම්රියට ගොඩවූ යුවතියක් මා අසල සිටගත්තෙන් තරමක අපහසුතාවයකට පත්වූ මම මගේ ආසනය ඇයට පිරිනැමුවේ හුදෙක් මහත්මා ගතිය පෙරදැරිවය… 

"මහත්තය ගාල්ලටම යනවද?"

ඇය මගෙන් කාරුණිකව සිනහවෙමින් විමසූවේ එතරම් දුරක් යෑම අපහසු නිසා විය හැකි වූවත් ඇයගේ සිනහවේ සුපුරුදු බවක් මට හැඟුනි.

"නෑ මම කලුතරින් බහිනව"

"ඔයා ගාල්ලෙ නේ… මොකටද කලුතරින් බහින්නෙ"

ඇය සිනාසෙමින් කිවේ මා මවිතයට පත්කරමිනි. 

"මම මේ පොඩි traffic නඩුවකට කලුතර යනවා"

"ඔයාට මාව මතක නැද්ද?"

මා මවිතයට පත් කරමින් ඇය විමසුවාය.

සත්‍ය වශයෙන්ම මගේ ඇය පිලිබඳ මතකය සම්පූර්ණයෙන්ම ගිලිහී තිබුනද ඒ බව ඇඟවීම නුසුදුසු යැයි මට හැඟුනේ ඇයගේ අව්‍යාජ සිනහව නිසාය.

"ටිකක් දැකල පුරුදුයි වගේ…." 

තරමක අහිංසක මුසාවක් කියන්නට පෙලඹුනේ මගේ ලැජ්ජාව තරමක් දුරට හෝ මග හරවා ගැනීමේ අදහසිනි.

"ඒ දවස්වල ඔයා හැමදාම වගේ ගාල්ලෙ උසාවියට එන්නෙ මුණවීර මහත්තයලත් එක්ක…."

මුණේ කාලයක් ගාල්ල උසාවියේ සේවය කල අතර ඉඩක් ලද සෑම අවස්ථාවකම සවස් යාමයේ අපි උසාවියේ ගතකිරීම හා නඩුකාර උන්නාන්සේ පිටවී ගිය පසු විනාශ කිරීමට වෙන්කර තිබූ මිල අධික මත්පැන් පානය කර විනෝද වීම අඩු වැඩි වශයෙන් සතියකට වරක්වත් පුරුද්දක් කරගෙන තිබුනි.

"අනේ සමාවෙන්න …. මට මතකයි ඔයාව"

එසේ කියා එවේලේ ජාම බේරාගත්තද අද වනතුරුද ඇය පිලිබඳ මතකයක් සිතට ආවේ නැත.

කලුතරින් බැසගත් අප දෙදෙනා උසාවියට ගිය සැනින් ඇය පැමිණීමේ ලේඛනයේ අත්සන් තබා මා වෙත තවත් කාර්‍යාල සේවකයෙකුද කැටිව පැමිණ ඔහුට මා හඳුන්වා දුන්නේ මගේ නඩුවේ විස්තරය ඔහු හට පවසන්නැයි කියමිනි….  මගෙන් නඩු අංකය ලබාගත් ඔහු ආපසු ගිය විට සැනින් ඇය වෙත ගොස් කුමක් වන්නේදැයි ඇසුවෙමි.

"වැඩේ කෙරුනම ඔයා එයාට රුපියල් සීයක් දෙන්නකෝ…. කමක් නෑ නේ"

පැය භාගයකට පමණ පසු මා වෙත පැමිණි පෙර කී සේවක මහතා මගේ රියැදුරු බලපත්‍රය මා අතට පත් කර ඔයා ගෙදර යන්නැයි කීවේ මා මවිතයට පත් කරමිනි… අඩුම ගනනේ රුපියල් දාහක පමණ මුදලක් දඩ ගෙවා නීතිඥ ගාස්තුවද අමතරව ගෙවා කාලයද කා දැමීමට තිබූ අවස්ථාවක් රුපියල් සියයක් වැනි සුළු මුදලකින් එසේ ගොඩින් බේරාගත් මම උසාවියෙන් පිටවූයේ ඇයට අනේක වාරයක් ස්තූති කල පසුවය.

සිංගප්පූරු රියැදුරු බලපත්‍රය ……...

මා සිංගප්පූරුවේ සේවය කල වකවානුවේදී රියැදුරු බලපත්‍රයක අවශ්‍යතාවය මතුවී අදාල කාර්‍යාලයට ගොස් විමසූවිට ඔවුන් මට පැවසූයේ බෲනායි බලපත්‍රය සිංගප්පූරුවටද බලපවත්වන හෙයින් පරෙස්සමින් රිය පදවන ලෙසය…. ලෝකයේ ඉතාමත්ම ක්‍රියාශීලී හා සුහද සේවයක් සලසන පුද්ගලීකරණය කර ඇති සිංගප්පූරු රාජ්‍ය සේවය, කලක් එහි සේවය කරන නිසා බලපත්‍රයක් ලබාගන්නැයි මා හට පවසා සුළු මුදලක් අය කර බලපත්‍රය ලබාදුන්නේ විනාඩි දහයක පමණ සුළු කාලයක් තුලදීය.

ගම්පහ පොලීසිය….

පසු කලෙක නැවත වරක් අධික වේගයෙන් රිය පැදවීමේ වරදට මගේ බලපත්‍රය පොලීසිය භාරයට ගත්තේද මා පිටරට සේවය කරන කාලවකවානුවකදීය… දඩ මුදල් ගෙවා එය ලබා නොගත්තේ ඒ වනවිට මා සතුව පිටරට බලපත්‍ර දෙකක්ම තිබූ නිසාත් ගම්පහට ගොස් දඩ මුදල ගෙවා බලපත්‍රය ලබා ගැනීමට කාලය මදි වූ නිසාත්ය…. එම බලපත්‍රය අද වනතුරුද ලබා නොගත් අතර ලංකාවේ රිය පදවන සෑම අවස්ථාවකම පිටරට බලපත්‍ර පෙන්වා බේරී යාම පුරුද්දක් කර ගතිමි.

කටාර් බලපත්‍රය…..

වසර 1998 මම කටාර් දේශයේ සේවයට ගොස් සිටියදී රියැදුරු බලපත්‍රය පිලිබඳව ප්‍රශ්නයක් පැන නැග්ගේ ඇසුරුකල ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම අරාබි ජාතිකයන් කටාර් බලපත්‍රය ලබාගැනීමේ අසීරුතාවය ගැන කනස්සලෙන් කතිකා කල නිසාය….

"පලවෙනි සැරේ නම් ජීවිතේට පාස් වෙන්නෙ නෑ… අඩු ගානෙ දෙපාරක් වත් යන්න වෙනව…."

සිංහල මිතුරෝ පැවසීය

"හාදි වාජිඩ් මුශ්කිල්.. මුම්කින් මර්රා තෙලාත… (ඒක හරිම අසීරුයි…. තුන් පාරක්වත් යන්න වේවි).."

අරාබි මිත්‍රයෝ කියන්නට විය. 

මේ වනවිට අරාබි බසින් නියම ඉස්ලාම් ක්‍රමයටම  සුභ පැතීම පමණක් පුහුණු කරසිටි මම, සුපුරුදු ලෙස ඉතාමත් කම්මැලි ජාතියක් වන කටාර් ජාතිකයෙකු ඇමතුවේ අදාල ආයතනයට ගොඩ වදිමිනි…

"අස්සලාම් වාලෙයික්කුම් ඔරහ්මතුල්ලාහ් බෙර්කාතු…."

"වාලෙයික්කුම් සලාම්" 

කකුල මේසය මත තිබියදීම කෝපි කෝප්පයක් තොල ගාමින් පෙරලා මා හට සුභ පැතූ ඔහු අරාබි බසින්ම මගෙන් කාරණය විමසූවත් ඒ වනවිට මගේ අරාබි බස හමාර වී තිබුනි.

ඉංග්‍රීසියෙන් පැමිණි කාරණය ඉතා පැහැදිලිව විස්තර කරන අතරතුරදීම මේ වනවිට මා සතුව තිබූ සියලුම විදේශික බලපත්‍ර ඔහු ඉදිරියේ තැබුවෙමි…. එයට අමතරව මේ වනවිට මා සතුව ජාත්‍යාන්තර බලපත්‍රයක්ද තිබුනි.

"Oh…. Too many license… Ok follow me…"

ඔහු මා කවුන්ටරයේ සිටි අරාබි කාන්තාවකට හඳුන්වාදී මුදල් ගෙවා බලපත්‍රය  ලබාගන්නා ලෙස උපදෙස් දුන්නේ මගේ දහසක් තුති පුද මධ්‍යයේය.

බහරේන් බලපත්‍රය …..
කටාර් දේශයේ රියැදුරු බලපත්‍රය මුලු අරාබි දේශයේම ලබාගතහැකි අසීරුම බලපත්‍රයක් හැටියට ගනන් ගන්නේ එය ලබාගැනීමට ඇති අසීරුතාවය නිසාමය…. අංශක 35 ක පමණ කෘතිම කන්දක් මතට ධාවනය කරන්නට සලස්වා පරීක්ශකවරයා රෝදය යටින් ගිනිපෙට්ටියක් තබා ඉදිරියට යෑමට අණ කරන්නේ අත් තිරිංග භාවිත නොකරන ලෙස අණ කරමිනි…. ගිනි පෙට්ටිය උඩට ටයරය ගිය සැනින් අයදුම්කරුවා අසමත් වෙයි.

බහරේන් දේශයට වසර 1998 ගිය සැනින් මම කටාර් දේශයේ බලපත්‍රය ඉදිරිපත් කර බහරේන් බලපත්‍රය ලබාගතිමි. 

අවසාන ශ්‍රී ලංකා බලපත්‍රය …..
මේ වනවිට ශ්‍රී ලංකා බලපත්‍රයක් මා සතුව නොතිබුනත් ලංකාවේ නිවාඩුව ගතකරන සෑම අවස්ථාවකදීම වාහනය එලවූයේ මා සතුව තිබූ විදේශ බලපත්‍ර ලඟ තබාගෙනය…. පොලීසිය සෝදිසි කරන සෑම අවස්ථාවක දීම  සේවය කරන්නේ පිටරට බවත් නිවාඩුවට පැමින සිටින බවත් පවසා බේරී යාමට වග බලාගත්තෙමි… මේ වකවානුවේ මට අයත්ව තිබූ කතරගම යාල ආසන්නයේ පිහිටි භූමිභාගයක කුඩා නිවාඩු නිකේතනයක් ඉඳි කරමින් තිබුනෙන් බහරේන් සිට ලංකාවට පැමිණි වහාම එහි ගොස් ප්‍රගතිය බැලීම සිරිතක් කරගෙන තිබුනි.

එදින මම හිතවත් මිත්‍රයෙකුද කැටිව කතරගම ගොස් එදිනම ආපසු එමින් සිටියේ අලින් ගහණ හම්බන්තොට අඩි සියය පාර ඔස්සේය…. වාහනය අඳුර කපාගෙන කෙලින් පාරේ කිලෝ මීටර් සියයක පමණ වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබුනි… මා දුටුවේ විශාල හඬක් සමග යම් දෙයක් උඩ විසිවී බිමට වැටෙනවාත් වාහනය නතරවනවාත් පමණි…. පා තිරිංගයට අඩිය තැබීමටවත් අවස්ථාවක් නොලැබුනත් වාහනය නතරවී තිබුනේ තරමක මී හරක් පැටියකුද එතැනම මරා දමමිනි… 

මා සතුව ලංකාවේ රියැදුරු බලපත්‍රයක් නොවූයෙන් රියැදුරු ලෙස මගේ මිත්‍රයා ඉදිරිපත් කර පූර්ණ රක්ෂනයෙන් ආවරණය කර තිබූ වාහනය පිලිසකර කර ගත්තද එම සිදුවීම මගේ සිත ව්‍යාකූල කර තිබුනි.

ඊලඟ නිවාඩුවට ලංකාවට පැමිණි විගස වේරහැර බලා ගියේ කෙසේ හෝ බලපත්‍රයක් ලබාගන්නවාය යන ස්ථිර අදිටනින් යුතුව මගේ මිත්‍ර මුණේද කැටුවය…. පැරණි බලපත්‍රයේ අංකයවත් මා සතුව නොතිබුනෙන් මේ වනවිට අලුතින්ම විභාගයට හා වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටීම අනිවාර්ය බව දැන් ගත්තද, මම බලාපොරොත්තු කඩ කරනොගෙනම එහි සිටි ඉහල නිලධාරියෙකුට කථා කර මා සතුව තිබූ සියලුම විදේශීය බලපත්‍ර පෙන්වූයෙමි…. එතුමා ඉතාමත්ම සුහදව කරුණු සලකා බලා එවෙලේම අලුත් බලපත්‍රයක් අනුමත කර දුන්නේ මාගේ අනේක කෘතඥතා මධ්‍යයේය… 

"WHEN ...LUCK ….F===S…., NOTHING …. OBSTRUCTS” 

withkase.blogspot.com

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget