Guinness Stout හා ගාල්ලට අනෝරා වැස්ස....

Guinness Stout හා ගාල්ලට අනෝරා වැස්ස…..

එංගලන්තෙ pub එකේ….හැමදාම දකින එකම මූණු අතරෙ වයසට ගිය එක මූණක් මගේ හිතට තදින්ම කා වැදුන….. මගේ ප්‍රියතම Guinness Stout වීදුරුවක් තොල ගාන ගමන් මගේ හිත මාස කීපයකින් පිටිපස්සට ගියේ නිතැතින්මයි...

අනෝරා වැස්ස…. ගාල්ල…NDB බැංකුව ඉදිරිපිට… 

එදා ගාල්ලට අනෝරා වැස්ස….. වාහනේ නවත්තල බැංකුවට ගිය ටිකට පොලීසිය ඉස්සරහ පාර යටවෙලා… වැස්ස වැටුනෙ සුනාමියක් වගේ… අඩු තරමින් වාහනේට නැගගන්නවත් බෑ…. NDB බැංකුව ඇතුලෙ හිරවෙලා….. ඉන්න හිතෙන රටක් නැතත් මිත්‍රශීලී පරිසරයක් තුල ඉන්න හිතෙන තැනක් නිසා මහින්දීයෙක් හැටියට එතන ඉන්න රිච්මන්--- ඩයිට් කෙනෙක්ව බයිට් කරගෙන කාලය කා දැම්මෙ වැස්ස තුරල් වෙනකල්…. කොහේද අපි නැග්ගොත් ඉතින් දෙබලක්ම තමයි...

මුහුදට වැඩිම උනොත් මීටර් එකසිය පනහක් ඇති… අපේ ගාල්ලෙ කාණු පද්ධතිය ඒ තරම්ම කාර්‍යක්ෂම යි…. වතුර බහින්නෙම නෑ පැය ගාණකට… වැඩ බැරි උනත් දේශපාලුවො ගාල්ලෙනේ…. උං සල්ලි තියෙන තැන්වල හිරවෙලා… කාණුවල සල්ලි නැතුව ඇති….. ඒත් වෙලාවට බදු ගෙව්වෙ නැත්නම් බඩුම තමයි… මට පර ලන්දේසි හදාපු ගාලු කොටුව ගෙඩි පිටින් කඩා හැලෙන වැස්ස අස්සෙන් පේනව… කොටුවට කොච්චර වැස්සත් ගලන්නෙ නෑ… උන් අවුරුදු සිය ගනනකට කලින් හදාපු කාණු පද්ධතිය නියමෙටම වැඩ… ඒ මදිවට ඒක high tide එකට ඉබේම පිරිසිඳු වෙනව… අපි උන්ට පර සුද්දො කියන ගමන් ආඩම්බරෙන් අපේගාලු කොටුව ගැන පුරසාරම් දොඩනව...

NDB බැංකුවෙ හිතවත් අයත් එක්ක පොඩි කයියක් ගහගෙන ඇතුලට වෙලා කල් මැරුවත්, ඒකටත් සීමාවක් තියෙනවනේ…දොර ලඟ ඉන්න මිත්‍රශීලී ආරක්ශක නිලධාරිය "කාර් එකටවත් යාගන්න බෑ නේ… තව ටිකක් බලන්න සර්" කියද්දිත් එලියට බැහැල වැස්සට අයිනට වෙලා ඉන්න සෙනග අතරට ගියේ හිත ඇතුලෙන් වැස්සට දොස් කියන ගමන්මයි…. හිත ඇතුලෙන් හරුපෙකුත් කියාගෙන එලියට බැස්සෙ ගාල්ලෙ රජයේ බැංකුවක ඉන්න මූනෙ හිනාවක්වත් නැති සික්කව මතක් කරගෙන… ඌට ආරක්ෂක නිලධාරිය කියන්න හිතෙන්නෙත් නෑ.

වැස්සොත් වැස්සෙ පලු අරිනව…. පෑව්වොත් ඒකටත් බනිනව…. කොයි එකත් ඕනවට වැඩිය ඕනම නෑ….. ඒ අස්සෙ අල්ලපු කඩේ සෙනග පිරිලා.. වැස්සත් හේතුවක් නේ බොන්න… එතනම අමුවෙන්ම කටේ හලාගන්නව… ඕකට එයාල නම් කියන්නෙ ලඟ නවාගන්නව කියල… ඇහුවොත් කියාවි හීතලටත් එක්ක දෙකක් ඔන්න ඔහේ ලඟ නවාගත්ත කියල…. එක අතකට සැහැල්ලු ජීවිතේට ඒකත් මාර්ගයක් වෙන්න ඇති අපි නොදන්නව උනාට…. ඕන පුකක්... 

වැස්සට ගොඩ වෙලා හිටපු වයසක ජෝඩුවක් මට හිනාවකින් සංග්‍රහයක් කරනකොට මට හිතුන මේ නම් සිංහලයෙක් නෙමෙයි කියලත්… සිංහලයො බොහෝ දෙනෙක් හිනාවෙන්න දන්නෙ නෑ… නොදන්නවටත් වඩා ඒක අපේ පෞරෂයට සහ ජාතික අභිමානයට අවමානයක්… අනුමානෙට මේ ජෝඩුව වයස 80 විතර ඇති කියල හිතුන… මහත්තය නෝනගෙ ලඟින්ම අතින් අල්ලගෙන… වටපිටාවෙ ඉන්න හැමෝගෙම මුණු නාලු වෙලා හරියට විශාල වැඩ කොටසක් අද දවසෙ ඉවර කරන්න තියෙනව වගේ…. කොහොමත් ලංකාවෙ අපි හරිම කාර්‍ය බහුල ජාතියක්නේ… මට එහෙම හිතෙන කොටම වතුරෙන් යටවෙච්ච පාරෙ හැටට හැටේ වාහනයක් යනව… අමාරුවෙන් කුඩ යටින් ඇඳුම් උස්සගෙන යන ජනතාව නොමිලේම නාවගෙන… 

"අරූගෙ අම්මට…."

මගේ ලඟ හිටපු මදාවි කොල්ලෙක් කියවගෙන යනව.

"එහෙම කියන්න එපා හලෝ… මේ අල්ල පනල්ල අස්සෙ ඒ මහත්තයගෙ නෝනගෙ හොර මිනිහ ගෙදරට රිංගලද දන්නෙ නෑ නේ"

මම වාහන හිමියෙක් හැටියට එහෙම කියල අපේ එවුන්ව යාන්තම් ගොඩ දාගත්තෙ නැත්නම් මේ පඩත්තලය දිගටම වාහන අයිතිකාරයොන්ගෙ අම්මලව එතනට ගෙන්නනව…. ඌ බක බක ගාල හිනාවෙලා කඩේ වහගත්තෙ මට ජයග්‍රහණය දෙනගමන් අම්මප හැබෑව කියලත් කියාගෙන..

ඒත් මේ ජෝඩුවට කිසිම හදිස්සියක් නෑ… හිනාවෙවී කුරුලු ජෝඩුව වගේ ඉන්නවා… 

"වැස්ස නම් නවතින හැඩක් නෑ"

මම කථාව පටන්ගත්තෙ ඒ දර්ශනය මගේ කුතුහලය අවුස්සපු නිසාම වෙන්න ඇති….

"සොභා ධර්මෙටත් ඉඩ දෙන්න ඕන නේ මහත්තයො"

මෙයාගෙ ඇදුමෙනුත් කථා විලාශයෙනුත් මෙයා උගත් කෙනෙක් කියල හිතුන නිසා තව දුරටත් කතාව මමම දිග්ගස්සගත්ත.

"දෙන්න එක්ක කොහේ යන ගමන්ද?"

"අපි බෙහෙත් ගන්න ෆාමසියට යන ගමන්…. SPC එකේ ලාභයි නේ"

"දුර ඉඳන්ද ආවෙ"

"වක්වැල්ලෙ… මාසෙකට සැරයක් ගාලු එනව පෙන්ෂන් ගන්න… ඒ  අරගෙන බෙහෙතුත් අරගෙන යනව"

"මමත් යන්නෙ ඒ පැත්තට… අපි කුඩේ යටින් කාර් එකට ගොඩ වෙමු… මම දෙන්නව බස්සන්නම්"

"මහත්තයට කරදරයක් නේද"

"අපොයි නෑ ඕක මොකද්ද"

එහෙම කියන ගමන්ම මම කුඩේ දිග ඇරල දෙන්නම ලඟම තිබුන මගේ කාර් එකට නග්ගගත්තෙ SPC එකට ගිහිල්ල බෙහෙත් ටිකත් අරගෙන දීල වක්වැල්ලටම බස්සන්න හිතාගෙන.

NDB බැංකුවෙ කෙල්ලෙක් වීදුරුව අස්සෙන් අත වනල හිනාවෙන ගමන් thumbs up එකක් දැම්මෙ නියමයි කියල වෙන්නැති… 

SPC එකට යන පාර one way නිසා මට රවුමක් ගහන්න සිද්ධ උනත් මම ඒ කාලය ප්‍රයෝජනයට ගත්තෙ මේ ජෝඩුවගෙ වතගොත ටිකක් දැනගන්න…. දෙන්නම විශ්‍රාමික ගුරුවරු… ලමයි දීග දීලා සියලුම යුතුකම් ඉෂ්ඨ කරල දැන් විවේක සුවයෙන් වක්වැල්ලෙ නිස්කලංක පරිසරයක ඉන්නව… මහලොකු සල්ලි කාරයො නූනත් කිසිකෙනෙකුට අත පාන්නෙ නැතුව ඉන්නෙ...

"ඉතිං දරුවො ලඟ පාතක නැද්ද?"

"පුතා කොලඹ…. දුව මාතර"

"ඉතිං දුවගෙ ගෙදර ගිහිල්ල ඉන්න පුලුවන් නේ"

"මොකටද එයාලට කරදර කරන්නෙ මහත්තයො… අපි දෙන්න එක්ක උයාගෙන කාල සතුටින් ඉන්නව"

"නෝනට මොකද්ද තියෙන අමාරුව"

"මගේ මේ දනිස් අමාරුව… හතියත් සැරටම තියෙනව"

ඒ අම්ම කට ඉස්සර කලේ තියෙන අසනීපවල සැර බාල කරන්න වගේ…. අම්ම කිව්වෙ එයා අම්ම කෙනෙක් නිසා, එහෙම නැතුව මගේ වයසත් එක්ක සංසන්දනය කරල නෙමෙයි... මගේ නෝනටත් ඔය අසනීපෙම නේ… දනිස් අමාරුව… හතිය… 

"එතකොට මහත්තයත් බෙහෙත් ගන්නවද?"

"මට දියවැඩියාව"

ඒ මනුස්සය එහෙම කියනකොට මගේ හිත ගැස්සුනේ අපි දෙන්නටත් තියෙන්නෙ ඔය අසනීපම නිසා වෙන්න ඇති.

"මම කියන්නද වැඩක්… අපි බෙහෙත් අරගෙන ඔය දෙන්නව ගෙදරටම ඇරලවන්නම්…. මම ඉන්නෙත් වක්වැල්ල පාරෙම නේ"

මගේ හිතේ තදින්ම කා වැදිල තියෙන අදහසක් තමයි රෝගියෙකුට උදව් කලොත් මගේ ලෙඩත් සනීප වෙනව කියන එක...

"අනේ මහත්තයො ගොඩාක් ස්තූතියි… අපි මාසෙකට සැරයයිනේ ගාලු එන්නෙ… මෙයා ආසයි එදාට කඩෙන් කන්න… මම නම් ආසම නෑ… අපි අද කඩෙන් කාල තමයි යන්නෙ.. අපි බස් එකේ යන්නම්"

මට මගේ නෝනව මතක් උනා… එයත් මේ වෙලාවෙ දනිස් අමාරුව තියාගෙන මට උයනව ඇති… එයත් වෙලාවකට මට පොරේ අද කඩෙන් කමු කියල… කොහොමත් සුමානෙකට සැරයක් වගේ අපිත් කඩෙන් කනව… එයාගෙ ආසාවට… මට නම් පේන්න බෑ… 

සමහර දවස්වලට අද කොත්තුවක් කමු කිව්වම මට මල පනිනව… එදාට ගෙදර කොත්තු වලියක්… ඉවරවෙන්නෙ මල ජරා කොත්තුවක් රසකර කර දෙන්න එක්ක ගිලල… කොත්තුවෙ roast chicken තිබුනොත් කලින් දවසෙ ඉතුරු වෙච්චි ඒව කියල ඉන්තේරුවටම දන්නව… ඉස්සෙල්ල කුකුල් මස් උයනව… ඉතුරු උනොත් පහුවදාට තෙලේ බැදල ලූණු ටිකක්, අමු මිරිස් කරලක් දාල ඒක බොන උන්ට බයිට් කරල දෙනව… නැත්නම් කොත්තුවට දාල කුඩුවෙන්න බයිල තාලෙට රටටම ඇහෙන්න ගහල දෙනව.. කොත්තු ගහන එකා දැක්කම බඩ දඟලනව… ඒත් කොත්තු පෝලිම, කොත්තු කොල්ලට නිවනක් නෑ…. මම පැත්තකට යනව හිත වෙන අතකට හරවගන්න... 

එහෙම දවසට හිමින් සීරුවෙ මම පොඩි shot එකක් දාගන්නෙ මේව කාල අජීර්ණෙ හදාගන්න බෑ කියන ගමන්… එයත් ඉතින් මගේ වීදුරුව තොලගාන්නෙ මට දෙවෙනි shot එකටත් ඉඩ සලස්සන ගමන්…

මම අපි දෙන්නගෙ ජීවිතත් එක්ක මෙයාලගෙ ජීවිතේ සංසන්දනය කරන්න ගත්තෙ ඉබේටම වගේ…. දිගටම කථා කරගෙන යනකොට මේ අපූරු මිනිසාගෙ ගොඩක් තොරතුරු මට දැනගන්න ලැබුන.

අපි අපේ පාඩුවේ ජීවත්වෙන මිනිස්සු… අපි රටට සේවයක් කලා කියල සතුටුවෙනව…. අපේ කාලෙ ඉස්කෝලවල ඉගැන්නුව… ටියුශන් කියල දෙයක් තිබුනෙම නෑ… ඉස්කෝල ස්ට්‍රයික් කියල කවදාවත් වැහුවෙත් නෑ… මට මගේ බුකියෙ මිතුරියක් මතක් වෙනව… දිගට හරහට ගුරුවරුන්ගෙ වරුනෙ… අද වර්ජනයට ජයවේවා… අපි දරුවො අනාථ කරන්නෙ නෑ… අපේ දරුවො… ටියුෂන්  එක අකුරට…. ගුරුවරු දෙවිවරු… බැරිම තැන චූටි comment එකක් දැම්ම…. එහෙම ගුරුවරු අපේ කාලෙ නම් හිටිය කියල…. අවුලක් උනේ නෑ ප්‍රඥාව තියෙන නෝන කෙනෙක් නිසා...

දරුවොන්ටත් උගන්නලා එයාල එයාලගෙ ලෝක වල…. අපිවත් බලන්න එනව… ඒත් එයාල ජීවිතේ තාම පටන්ගත්ත විතරනේ…. අපි කරදර කරන්න යන්නෙ නෑ… සත පහක්වත් අපි එයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ… එයාලට දෙන්න ඉඩ තියලත් නෑ… දුන්නත් අපිට අරගෙන වැඩකුත් නෑ… එයාල විනෝද ගමන් යනකොට අපිට කථාකරනව… අපි කලාතුරකින් යනව මිසක් එයාලට කරදරයක් වෙන විදියට යන්නෙ නෑ… Railway Warrant නම් අපි හැම අවුරුද්දෙම පාවිච්චි කරල කොහේ හරි යනව...

අපි බැන්දෙ ආදරේ කරල…. අපිට කවුරුවත් විරුද්ධ උනෙත් නෑ… අපි කවදාවත් රණ්ඩු වෙලත් නෑ… අපි දෙන්නගෙන් ඉස්සෙල්ල කවුරු යාවිද දන්නෙ නෑ…. එකටම යන්න ඇත්නම් තමයි හොඳ… ඒව කියන්න බෑ නේ…. කොහොම උනත් එකට නොගියත් අපි ආයෙත් මුණ ගැහේවි….

" සැරයටියෙන් අපි… යනෙනතුරා… සංසාරේ අපි එකට ඉමූ…. සංසාරෙන් අපි සමුගන්නාදා… ඒ ගමනත් අපි එකට යමූ…"

විජය කුමාරණතුංගගෙ ගැඹුරු හඬ මතක් වෙනව...

අපි ගමනක් බිමනක් යනකොට උනත් බොහොම සීරුවෙන් යන්නෙ…. ඉඳගන්න ඉඩ නැත්නම් ගොඩ වෙන්නෙ නෑ… කොච්චර වෙලා හරි ඉවසගෙන ඉඳල හිමීට යනව… මොකට තියෙන හදිස්සියක්ද…. අද කාලෙ මිනිස්සු පොරකනවනේ.. ඒක අපේ අයට ජීර්ණ වෙලා පත්තියං වෙලා… පෝලිමේ ඉඳලා වැඩේ කරගන්න පුලුවන් කම තියෙද්දි පොරකනව… පුද්ගලික රෝහලේ චැනල් පෝලිම බලන්න… නොම්මරේ කීය උනත් දොර ලඟ පොර කනව… ඒ අයට පොරකාල වැඩේ කරගත්තෙ නැත්නම් හිතට හරි නෑ වගේ...

අපි දෙන්නගෙම අවසාන කටයුතු වලට සෑහෙන මුදලක් තැන්පත් කරල තියෙනව… දරුවො ඒ කටයුතු කරාවි…. අපි කියල තියෙන්නෙ එක දවසින් ඉවර කරන්න කියල… 

මම ඒ දෙන්නව SPC එක ලඟින් බස්සල ඉක්මනටම ගෙදර ගියේ ජීවිතේ ලොකුම පාඩම ඉගෙනගත්ත කියල නෝනට කියන්න හිතාගෙන…
withkase.blogspot

පසුව ලියමි: 
English Pub එකේ මුනගැහුනු Irish ජාතික සුන්දර මහලු තැනැත්තිය ගැන ලිවීම පසුවට තබමි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget