සුළු ගානයි මචං ඉතුරු උනේ.....

සුළු ගානයි මචං ඉතුරු උනේ….

කොටහේන ලංකා දුම්කොල සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය පිහිටි පරිසරය 88, 89 වර්ෂයන්හිදීද කාර්‍යබහුල පරිසරයක්ව තිබූ හෙයින් එහි සේවකයන්ගේ වාහන නැවැත්වීමට ප්‍රමානයෙන් ඉතා විශාලයැයි කිවහැකි වපසරියක් වෙන්කර තිබුනෙන් අප හට අනෙකුත් ආයතන වල සේවකයන්ට මෙන් කරදර වීමට සිදුවුනේ නැත.

ප්‍රමාණවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක්ද යොදවා තාප්පයකින්ද වටකොට තිබූ හෙයින් නිලධාරීන් අතර යන්තමින් හෝ ඉස්සර වීමේ තරඟයක් තිබුනේම නැත…. කොලඹ නගරයේ වාහන තදබදය වුවද එකල තිබුනේ දරාගත හැකි මට්ටමක වීම, ඉක්මනට පැනගන්න ඕනෑයයි හැඟීමක් කිසිවෙකුගේ සිත් තුල ජනිත කරන්නේ නැති තරම්ය.... ඉතාමත් සැහැල්ලුවෙන් වාහන අංගනයට පිවිසෙන අප වාහනයට ගොඩවීමට ප්‍රථම නිරන්තරයෙන් පල් හෑලි දෙඩවීම පුරුද්දක් කර ගෙන තිබුනි.

පල්හෑලි හා ඈඳී යන දිරච්ච ලණු කෑ අවස්ථා ආවර්ජනය වුවද නිසියාකාරව හා හාස්‍යෝත්පාදක අන්දමින් ඉදිරිපත් කල අය අතර සරත් ප්‍රමූඛත්වය ගත්තා යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය… අර්ජුනලා, අරව්න්දලා, සනත්ලා තාරාවන්සේ බිංදුවට දැවී යන වාර අනන්ත වූවත් සරත් කිසිදිනෙක මඩගැසීමේදී හා ලණු ඇඹරීමේදී දශකය ඉක්මවනවා නියතය… මඩ කලාවේ ඔහු පිකාසෝය.

මචං මාර වැඩේනේ කියමින් පලමු පන්දුවටම හතරේ පහරක් ඔහු ගසන්නේ අවසානයේ අපේම එකෙක් ගේ රෙදි ඔලුවෙන් ගලවන ගමන්ය…. 

එදින සරත් හිටි අඩියේ කථාව නවතා මුදල් පසුම්බිය අතට ගෙන … 

"මච්චාං මාර වැඩේනේ… කාර් එකේ පෙට්‍රල් ඉවරයි… චෙක් එකක් මාරු කරගන්න අමතක උනානේ…."

සුපුරුදු ආමන්ත්‍රණය " මචං … මච්චාං කර සුළු ප්‍රශ්නයක් ලොකූ කර පෙන්වමින් එයටම සරිලන මුහුනක් ආරූඪ කරගත්තේය.

" හරි ඉතිං දඟලන්න ඕන නෑ නේ…. " කියමින් මම මගේ මුදල් පසුම්බිය එලියට ගෙන දාහේ කොල කීපයක් එලියට ඇද්දෙමි.

" මේ ඇති"  කියමින් දාහේ කොල දෙකක් අතටගත් ඔහු පිම්මේ ඉගිල ගියේ තවත් මිතුරෙකුද සිය මෝටර් රථයට නංවා ගනිමිනි.

සාමාන්‍යයෙන් තිතට වැඩකරන සරත් එදා සිදුවූ අතපසුවීම ඔහුගේ දිරච්ච ලණු කර්මාන්තයේම පෙර සැලසුමක් බව මට නම් තේරුම් ගියේම නැත… ඒ වකවානුවේ සතියේ දිනවල මා සිටියේ නාවල කුලියට ගත් ඇනෙක්සියක වීම අනෙකුත් මිතුරන්ගේ සතුටට හේතුවක් වී තිබුනේ ඕනෑම වෙලාවක සොමියට ඇරෙන දොරක් මගේ ඇනෙක්සියේ සවිකර තිබූ නිසාය.

වැඩිවෙලාවක් යාමට මත්තෙන් සරත්ගේ වාහනය එනවා දුටු මට සිතාගත හැකිවූයේ මගෙන් ගත් මුදල ආපසු දීමට පැමිණියාදැයි සැකයකි…. සරත් කොහොමටත් ණය තබා ගැනීමට අකමැති මිතුරෙකි…

අතින් කටින් එල්ලාගෙන තවත් මිතුරෙකුත් සමග ආ සරත්,

 " මචං පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න ආවෙ…. අවුලක් නෑ නේ" කියමින් ගේට්ටුවෙන් ඇතුල්වනු දුටු මම පස්වණක් ප්‍රීතියෙන් පිනාගියේ සුන්දර සැඳෑවකට බලාපොරොත්තු සිත තුල තබාගෙනය.

"මොන අවුලක්ද බං තනියම ඉන්න මට" කියා කීවේ ඉබ්බා ඇන්නෑවේ කියන්නාක් මෙනි.

ජයටම බයිට් සහ මත්පැන් ගෙනැවිත් තිබුනෙන් බඩ කට පුරා කා බී මඩ බාල්දි ස්නානයකින්ද සංග්‍රහ කල මිතුරෝ …

"අපි ගිහිල්ල එන්නම් මචං… පොඩි ගානක් ඉතුරුයි…. " කියමින් සුළු මුදලක් මා අත තබා ගේට්ටුවෙන් පිටතට ගියේ මගේ කුණුහරුප වරුසාව මැද " හැපී බර්ත්ඩේ" කියමින් අසල්වැසියන්ද අවදි කරමිනි.

එය අසූනමය වසරේ පෙබරවාරි විස්ස බව මට සිහියට ආවේ එවිටය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget