අම්මා......

අම්මා….

අම්මා ගැන කවි, ගී පදවැල්, ගායනා, නවකතා බොහෝය… ඒ සියල්ලෙහි අම්මා අන්ත අසරණය…. අන්ත දුගීය…. ජීවිතය දරුවන් වෙනුවෙන්ම ගෙවා දැමූ චරිතයකි… ආදරයේ උල්පතය….  හිතේ මැවෙන්නේ කෙඬෑරි වී ගිය චිත්‍රයකි… ඒවා කියවනවිට මට ලේඛකයන් අමූලික බොරු ලීවාදැයි සැක සිතේ… විටෙක ලේඛකයන්ද ව්‍යාපාරිකයන් මෙන් තමාගේ නිෂ්පාදනය ඔපවත් කිරීමට අම්මාගේ කඳුල උපයෝගී කරගත්තා දැයි සැක සිතේ. ඒ සියලුම අම්මාවරුන්ටත් මගේ අම්මාටත් මගේ උපහාරය….

ඒත්….

ඒ වචනයේ පරිසමාප්තියෙන්ම මගේ අම්මා නම් නොවේ…

ගාල්ලේ බටගන්විල ග්‍රාමයෙහි කොන්ත්‍රාත් වැඩ කල අපේ සීයා සවස් යාමය ගෙවා දැම්මේ අසල නිවසක පදිංචි ගමේම පොහොසතෙකුව සිටි මගේ බිරිඳගේ සීයා සමග යැයි බොහෝ අවස්ථාවල අම්ම මාහට පවසා තිබුනි.

එම නිවාස දෙක අතර පරතරය මීටර 500 ක තරමේ කෙටි දිරක් වුනත් ඒ අතර තුන්මං හන්දියක් හා සුදු ලිඳ නමින් කා අතරත් ප්‍රචලිත ප්‍රසිද්ධ ලිඳක් තිබුනෙන්, එහි පිදේනි තට්ටු සෑම දිනකම දමා තිබුනා…. රාත්‍රියේ එය පසුකර යෑම බමණ මතින් වුවද එතරම් පහසු කරුණක් නොවූයෙන් දෙදෙනාම එලිවෙනතුරුම එකිනෙකාගෙ තනියට නිවෙස් දෙක අතර එහා මෙහා ගියේ අරක්කු බෝතලයේ පදම විසින් ආටෝප කරන ලද සුහදත්වය නිසා මිස හිතවත්කම නිසාම නොවේයැයි අම්මා කියනු මම අසා ඇත්තෙමි.

අම්මාගේ පවුලේ සහෝදරියන් දෙදෙනෙකු හා සහෝදරයන් තිදෙනෙකු සිටියත් බාලම සහෝදරයා මා උපදින්නට ටික කලකට ඉහතදී පරලොව ගොස් තිබුනේ රාත්‍රියේ ගමනක් ගොස් පැමිනෙන විට මහසෝනා ගසා යැයිද, ඔහුගේ පිටේ තිබූ ඉරි තුනකින් එය සනාථ වූ බැව්ද අම්මාගේ අම්මා නොහොත් අප ඇයව ආමන්ත්‍රණය කල පරිදි ගෙදර ආච්චී කියනවා මට මතකය…. සුදු වෑන් හෝ ජවිපෙය හෝ ප්‍රා සංවිධානය හෝ කොටි හා සහරාන්ලා එකල උන්ගේ අම්මලාගේ බඩේවත් නොසිටියෙන්, ඒ මරණය බැර උනේ මහසෝනාගේ ගිනුමටය.. …. එකල මහසෝනාද 88/89 ජවිපෙය හෝ මෙකල අයිසිස් මෙන් ඕනෑම කුණු කුජීතයක් තමන්ගේ ඔඩොක්කුවට දමාගත් මුග්ධයෙක් වූවා විය හැක… අද කාලයේ මහසෝනාද බෝට්ටුවෙන් පිටරට ගිහිල්ලා විය හැක…. එසේත් නැත්නම් මේ අඹ ගෙඩියේ ඉන්න ඉහඳ පනුවන් ගෙන් බේරීමට පරලොවගොසින්ය.

අපේ අම්මා පුෂ්ටිමත් සිරුරකින් හෙබි පියකරු ලඳක් වූවද මගේ තක්සේරුවේ හැටියට අම්මාගේ අක්කා නොහොත් අපේ ලොකු අම්මා ඉතා සිත් ඇද ගන්නා සුළු සිරුරකින් හා අම්මාට වඩා සමාජශීලී ගති ඇත්තියක් විය…. මමත් අයියාත් ලොකු අම්මාගෙ ලොකු පුතාත් තරඟයට ලොකු අම්මාගේ කිරි බොන්නට පොර කෑ වග මා අසා ඇත්තේ ලොකු අම්මගේම මුවින්මය…. අම්මා මට කිරි නොදුන්නායැයි නොකියමි…. අම්මාගෙ සුවඳ මට අදටත් දැනෙන්නේ, ඕනෑම මදාවි වැඩක් කර ගෙදරට ගොඩවෙන මම අම්මා බදාගන්නේ කමල් පුතා හොඳ පුතා කියනතුරු අත අරින්නේ නැති බව කියමිනි…. එවන් අවස්ථාවලදී ඇය අපොයි මගේ ගෝරිල්ලා කියන්නේ මගේ මූනද ඉඹිමින්ය…. ඒ සුවඳ නැතිවන්නේ නැත.

ලොකු අම්මාත් අපේ අම්මාත් රිපන් බාලිකා විද්‍යාලයට බොහෝ දිනවල කැන්දාගෙන ගියේ ඥාතිත්වයෙන් සහෝදරයෙක්ව සිටි අම්මාට වඩා අවුරුදු දහසයකින් වැඩිමල් තාත්තා විසිනි.... ලොකු අම්මා එක් අතකින් අල්ලාගෙන අම්මාව වඩාගෙන යෑම තාත්තා පුරුද්දක් කරගෙන තිබීම දෛවෝපගත සිදුවීමක්දැයි මට සිතුනු වාර අනන්තය.

කාලය ගෙවී ගොස් අම්මාත් ලොකු අම්මාත් යෞවනයට පා නැගුවේ මගේ තාත්තාත් ලොකු අම්මාත් අතර ගොඩ නැගි සම්මත ප්‍රේම සම්බන්ධතාවයක්ද සමගය… මේ අතරතුර තාත්තා කොළඹ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරයක සේවය කල අතර ව්‍යාපාර කටයුත්තක් සඳහා ඉන්දියාවට ගොස් සිට බොහෝ කලකට පසු නැවත පැමිණ ඇත්තේ තෑගි බෝගද අතැතිව ලොකු අම්මා සරණ පාවාගැනිමේ අදහසිනි. 

මේ වන විට වැලිගම තරුණයෙකු හා දීග ගොස් තිබූ ලොකු අම්මා නිවසේ නොසිටියෙන්, කරුණු කාරනා වටහා දුන් ආච්චී, ඒ වනවිට අවුරුදු පහලොව යාන්තම් සපිරූ දැකුම්කළු තරුණියකව සිටි අපේ අම්මා පැමින සිටින ඩීමන් අයියාට තේ පිලිගැන්වීමට ඉදිරියට ඇරියේ, වෙන කල හැකි කිසිවක් නොතිබුනාම නොවූවත් තරමක සටකපට කමකටද වුව හැක.

නංගී පෙන්නලා අක්කා දුන්නා කියා නෝක්කාඩු කීමට මගේ තාත්තාට ඉඩක් නොලැබුනත් ඔවුන් දෙදෙනා අතර තිබූ සෙනෙහස හා අසම්මත නොවන ප්‍රේමය කිසිදිනක අඩුවූ සෙයක් අපට නම් දැනුනේම නැත….. ලොකු අම්මාද අපේ තාත්තා වෙත තිබූ අසම්මත නොවන ප්‍රේමය මුදා හැරියේ මාත් අයියාත් පිටින්ය…. අයියාට වඩා එය භුක්ති වින්දේ මාය… මගේ බින්න විවාහය හා ගාල්ලේම පදිංචිය එයට බොහෝදුරට හේතු වූවායැයි සිතිය හැක.

පසු කලෙක නැන්දම්මාගේ ගැටයට අහූඋනා නේදැයි තාත්තාගෙන් අවඥාවෙන් ඇසීමට තරම් අපි තාත්තාට සමීප වූයේ ආදරය හා ප්‍රේමය අප පවුලේ ප්‍රසිද්ධ මාතෘකාවක් වී තිබූ හෙයිනි…. තාත්තා, අම්මාව අවසානය දක්වාම ඉතා ආදරයෙන් බලාගත් බව අප කාටත් නොරහසකි.

තාත්තාට මුදල් ප්‍රස්නයක් ඇති බැව් අම්මා දැනගන්නේ අතේ පැලඳි නවරත්න මුදුව වෙනුවට සුදු පැහැති මුදුවේ සලකුන පමණක් ඇඟිල්ලේ  ඉතිරිවී තිබෙනවා දුටු විටය…. එයද දවසින් දෙකෙන් නවරත්නයට මාරු වෙන්නේ අම්මාටද නොදැනීමය.

අම්මා දුක් වින්දේ නැත…. එයට අවස්ථාවක් ඇයට සැලසුනේම නැති තරම්ය…. ඒ නිසාදෝ අම්මා ගැන කවියක් හෝ සංවේදී ලිපියක් ලිවීමට මට නිමිත්තක් පෑදෙන්නේද නැත…. අප පවුලේ කිසිවෙකුත්, අම්මා තාත්තා ඇතුලුව, දුක් වින්දා යැයි කියනවානම් එය අමූලික් මුසාවකි…. රත්තරන් හැන්ද කටේ රුවාගෙන ඉපදුනේ නැතත් අපි දුක් වින්දේ නැත…. අම්මා දුක් වින්දේද නැත.

අම්මාගෙ දේහය ඉදිරියේදීවත් මගේ දෑසට කඳුලක් ආවේ නැත…. ඒ අම්මා දුක් වින්දේ නැති වග මා හොඳාකාරව දත් නිසා විය හැක… අම්මාගෙ මලගම වෙනුවෙන් 93 (ආසන්න වශයෙන්) මාහට වියදම් වුනේ රුපියල් 180 පමණි… එයද මගේම වාහනයේ ඉන්ධන වලට පමනි… තාත්තා සියලු වියදම් දැරුවේ ජීවිතේ කිසි දිනක දරුවන්ට සැරෙන් කථා නොකලත්, උඹලා එකෙක්වත් සතයක් මේ වැඩේට වියදම් කරනවා එහෙම නෙමෙයි කියා උස් හඬින් අප හට විධානය කරමිනි.... අපි එයට අවනත වීමු…. පෙට්ටියට ගෙවූ මූලික වියදමද ඔහු මා වෙත ආපසු දෙනවිට මගේ කේන්තිය ඉහ වහා ගියත් මම නිහඬ වීමි… එය මා තාත්තාට අවනතවූ එක් දුර්ලභ අවස්ථාවකි.

මගේ අම්මා නිවන් දකින්නේවත් මතු බුදුවන්නේ වත් නැති බව නම් මට විශ්වාසය…. එහෙත් අසීරු අවස්ථාවන්හිදී හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ ඇති සියලුම අවස්ථාවන්හිදී නොසිතූ විරූ අයුරින් මා වෙනත් මගකට යොමුකරන්නේ අම්මායැයි මට සිතුන වාර බොහෝය…. අම්මා ගැන මට සාංකාවක් නැත්තේ ඇය පිලිබඳව මා සිතනා ආකාරය වෙනස් නිසාවිය හැක.

මහලු විශ්‍රාම දිවියත් සමග පෑන අතට ගත් මට ජීවිතයේ අසීරු හා දුක්ඛිත පැතිකඩ මග හැර යාම විශාල අඩුපාඩුවක් සේ පෙනේ…. සමාවන්න, පෑනට මගේ අත නුහුරුවී ඇත…. ලියනවා වෙනුවට මම කොටනවාය…. කොටන්නත් නිමිත්තක් සොයාගැනීම අසීරු වී ඇත.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget