හරි මහත්තය ... මොකද්ද ප්‍රශ්නෙ


"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"අද නං අරකි ඉල්ලං කන්න හදන්නෙ"

මට එසේ කියවුනේ පුලුලුකුලක් අසාමාන්‍ය අයුරින් නටවමින් බීමත්ව සිටි ලාංකික තරුණයන් අතර නටනා ශ්‍රී ලාංකීය ගැහැණියක දෙස නෙත් අයා බලාසිටි මගේ මිතුරන් ඉදිරියේය.

බොහෝ බ්‍රහස්පතින්දා දිනයන් මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට විනෝදයට වෙන්වූ දිනයක් වන්නේ සිකුරාදා හා සෙනසුරාදා දිනයන් සති අන්තය හැටියට සලකන නිසාය…. මෙදින සවස මනාමා නගරයෙහි ප්‍රසිද්ධ හෝටලයක ශාලාව වෙන්කර තිබුනේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බහරේන් ශ්‍රී ලාංකික ප්‍රජාව තුල සිටි සංගීතයට ලැදි පිරිසක් විසිනි.

සාමාන්‍යයෙන් මෙවන් සාද වලට සහභාගී වීම අවම කර සිටියද කවදත් මා ලඟින් ඇසුරු කල මිතුරු කැල විසින් මෙය සංවිධානය කර තිබූ හෙයින් මග හැරීම තරමක අපහසු කාර්‍යයක් වී තිබුනි…. මත්පැන් ඉතාමත්ම අඩු මිලකට අලෙවි වන බහරේන් රාජ්‍යය සවුදි ධනකුවේරයන් ගේ පාරාදීසයක් වන්නෙ සති අන්තයේය….

මමද මිතුරන් කීප දෙනෙකු සමග සාදයට සම්බන්ධවූයේ අපටම වෙන් කරගත් මේසයක් වටා සුව පහසුව වාඩිවී ප්‍රියතම විස්කි බෝතලක්ද ගෙන්වා ගනිමිනි… බහරේන්හි මත් පැන් පානය කිරීම ලිංගික භේදයකින් තොරවම සිදුවන්නක් වන අතර සියළුම ශ්‍රී ලාංකික උත්සව සඳහා ඉන්දියන්, පකිස්තාන් හා බංගලි පිරිමින්ද බොහෝ විට සහභාගීවන්නේ ඔවුන්ගේ පෙම්වතියන් බොහෝ විට ශ්‍රී ලාංකික කාන්තාවන් වීම හේතුවෙනි.

එංගලන්තයේ මහ රැජින තවමත් ජීවතුන් අතර විරාජමානව සිටියද බහරේන් රාජ්‍යයේ සිංහලයන් විසින් දිනපතා අසූ කෙල කෝටියක් වතාවක් ඇයව ඝාතනය කිරීම හාස්‍යජනක වූවද, ඔවුන්ගේ නොපසුබට උත්සාහය හා එංගලන්තයේ සුද්දන් ඉදිරියේ වුවද පසු නොබැසීම අගය කලයුතු කාරණයකි….. ඔවුන්ගේ චතුර අරාබි කථනය සිංහල මලපොතේ අකුර වත් නොදැන අරාබිකරයට පැමිනෙන සිංහල කාන්තාවන්  මාස තුනක් වැනි සුලු කාලපරාසයක් තුල ප්‍රගුන කරගත් බව ඇසීම පවා විශ්මය දනවයි.

එක් සිංහල කාන්තාවක් මදාවි කොල්ලන් නිතර ගැවසෙන බුදෙයියා නගරයෙහි ඇවිද යමින් සිටි අවස්ථාවක ඉතාමත් ලාබාල වයසේ සිටි කොල්ලෙක් "ෆිල්ස් පනහද (ලංකාවේ මුදලින් රුපියල් 150) උඹේ ගාන" යැයි අරාබි බසින් අසා ඇත… එයට චතුර අරාබි බසින්ම පිලිතුරු දුන් ඇය "උඹේ අම්මගෙ ගානද ඒක" යැයි පෙරලා අසා ඇත.

පෙරකී පුලුලුකුලැති කාන්තාව නොනවත්වාම පිරිමින්ගේ අවධානය යොමු කරගනිමින්  එම රංගනයේ යෙදෙනවා අප දුටුවේ මදින් මද පතුල දෙස ඇදී යන මධු විත බෝතලය තුලින්ය…. අපගේ මේසයේ වාඩිවී සිටි තරුණයන්ද විටින් විට  නැගිට බයිලා තාලයට නටනා සෙනග අතරේ අතුරුදන් වනවා මම බලාසිටියෙමි…. 

වසන්ත නොහොත් අප අමතන පරිදි වස්සා කාලගෝල පෙනුමකින් හෙබි අප අතර අපූරු චරිතයක් ඇත්තකු සේම, මධුවිත බෝතලය දුටු සැනින් නැටුමට අවතීර්ණ වන, පෙනුමෙන් ඉතාමත් අහිංසක තරුණයෙක් වූවද, බොහෝ අවස්ථාවන්හිදී ඔහුගේ අනවර්ථ නාමය ඔහු විසින්ම සාධාරණීකරණය කරන්නේ කිසිවක් නොදන්නා සේ අඟවමිනි.

ගුරුගේ නොහොත් ගුරා සිහින් සිරුරකින් හෙබි කාලෝච්ත ක්‍රියාවන්හි අප අතර ප්‍රසිද්ධියක් ඉසිලූ ගණකාධිකරනයේ නියැලි, සිය අනවර්ථ නාමය නිතර සාධාරණීකරණය කල නිල නොලත් ගුරෙකි… තැනට සුදුසු අයුරින් කතා කිරීමේ
හැකියාවකින් හෙබි ඔහු අප හට අපූරු මිත්‍රයෙක් වූ අතර මද පමනින් මධු විත තොලගෑ සුන්දර චරිතයකි.

මද අඳුර අතරින් යම්කිසි නොසන්සුන්තාවයක් පැන නැගී ඇති බවක් දිස්වූ අතර එවන් අවස්ථා ශ්‍රී ලාංකීය උත්සවයන්හි සුලභ හෙයින් අපි කලබල නොවූයෙමු…. ගුරා මා ලඟම හිඳගෙන සිටි අතර වස්සා කොහේදෝ සිට හිටිවනම පැමිණ අසුන්ගත්තේද අප අසලමය.

පෙරකී යුවතියද පැමිණ සිටියේ සිය ස්වාමිපුරුෂයා හා මාමණ්ඩිය ඇතුළු පවුලේ සියලුම දෙනා සමග වූයෙන් ඇයද අප අසලම තිබූ ඔවුන්ගේ මේසය වෙත, මෙතෙක් වේලා සිටි ප්‍රීතිමත් ඉරියව්ව පසෙකලා වෛරී සහගත ඉරියව්වකින් පැමිණ පාංශු දේහදධාරී සිය මාමණ්ඩියට යම් කිසිවක් පවසා සිටියේ, ඉතා කුඩා සිරුරකින් හෙබි අහිංසක පෙනුමකින් යුතුව සිටි සිය සැමියාද පසෙකින් සිටියදීමය…. 

සැනින් අප සිටි මේසය වෙත පැමිණි මාමණ්ඩිය වස්සා ඉදිරියේ නැවතී බැණ වදින්නට පටන් ගත්තේය.

"පර බල්ලා...මොකද්ද යකෝ තෝ ඒ කරපු පාදඩ වැඩේ…?"

බහරේන් රාජ්‍යයේ ගැහැණියක් සම්බන්ධ චෝදනා නඩු ඇසීමකින් තොරවම සිරගත විය හැකි වරදකි.. මෙවන් අවස්ථාවන් හිදී ඕනෑම කෙනෙකුගේ මත් ගතිය පහව යන්නේ ඔහුටද නොදැනීමය… එහෙත් වස්සා එම පරුෂ වචන ඉදිරියේ තවත් මත්වී ඇති සේය…. අඩිය පෙනි පෙනී තිබූ මත්පැන් බෝතලය කිසිම චකිතයක් නොපෙන්වා සිය වීදුරුවට වත්කර ගත්තේ කිසිවක් නෑසුන ලෙසින්ය.

"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

ගුරා පෙරමුණ ගත්තේ සුදුකොඩිය ඔසවමින් බව අපට පෙනී ගියේය.

"මූ මගේ කෙල්ලගෙ පස්ස පැත්ත මිරිකුවා"

යකෝ ඒක නම් කවුරු හරි මිරිකුවෙ නැත්නම් නේ ප්‍රශ්නේ යැයි කීමට මගේ දිව පැටලුනේ නැත.

 "හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"නෑ මං කියන්නෙ මූ හැසිරෙන්න දැනගන්න ඕන"

"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"මූ දන්නෙ නෑ… මම ශේක් ගාව වැඩ කරන්නෙ"

"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"පැය විසිහතරෙන් මට පුළුවන් මූව ලංකාවට අරින්න"

"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"යකෝ මගේ කෙල්ලට ඔහොම කරන්න"

"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"මම තියන්නෙ නෑ මූව"

"හරි මහත්තයා… දැං මොකද්ද ප්‍රශ්නෙ?"

කෙමෙන් අවට තිබූ නොසන්සුන් පරිසරය පහව ගොස් මෙය බීමත්ව සිටි සියලුම දෙනා සිනා ගස්වන්නක් වීම මාමණ්ඩියට වලක්වා ගත නොහැකිවිය.

මේ අතර කිසිවක් නොඇසූ ලෙසින් තවමත් එම කාන්තාවගේ නීත්‍යානුකූල ස්වාමියා නිහඬව සිටින්නේත්, ඇයගේ මාමණ්ඩියට මෙතරම් කේන්ති ගියේත්, මන්දැයි යන්න කිහිප දෙනෙකුගේ කුතුහලයට භාජනය වී තිබුනද, කට වාචාල තරුණයන් "අපි නොදන්න මොණරතැන්න… මූ ආක්‍රමණය කරලා තියෙන්නෙ මාමණ්ඩිගෙ මොණරතැන්න නේ" යැයි කොඳුරනවා මාමණ්ඩියටද නොඇසුනානම් පුදුමයට කරුණකි… 

ගුරා තරඟයේ වීරයා ලෙස කාගෙත් පැසසුමට ලක්වූ අතර "මාමණ්ඩිය හිට් විකට්" කියනවාද පසෙකින් මගේ සවනට වැටුනෙන් මම වැඩිහිටියා ලෙස තවත් බෝතලයක් ඇනවුම් කලෙමි… 

අප මේසයේ සිටි සියල්ලන් චියර්ස් කියමින් සව්දිය පෙරූ අතර මම බුදු සරණයි කියමින් මගේ මදුවිත වීදුරුව එසවූයෙමි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget