මම ප්‍රියන්ති....





මම එදා ප්‍රියන්ත … අද ප්‍රියන්ති….

"මාතර රෝහලේදී පිරිමියෙක් දරුවෙක් ප්‍රසූත කරලා… බඩේ අමාරුවකට රෝහල් ගත කල ත්‍රී රෝද රියැදුරෙක් දරුවකු ප්‍රසූත කළ පුවතක් මාතර රෝහලින් වාර්ථා වී ඇත"

ලාල් කවදත් පත්තරේ විශේෂ පුවත් කියවන්නෙ අපිටත් ඇහෙන විදිහට. ඒක එයා පුරුද්දක් කරගෙන හිටියා. ඒ ප්‍රවෘත්තිය ලාල් දිගටම කියවගෙන ගියත් මට ඒ කිසිම දෙයක් ඇහෙන්නෙ නැතුව ගියා. මට ඇහුනෙ තිස් හැවිරිදි පිරිමියෙක් හැටියට පෙනී සිටි ස්ත්‍රියක් කියන ටික විතරමයි. 

මගේම වයස, ඒ ගෑනි මේ වෙනකොට සමාජයට විවර වෙලා. එයා වංචාකාරියක් වෙන්න බෑ. තමන්ගෙම ලිංගිකත්වය වසන් කරගෙන ජීවත් වෙන්න තරම් මානසික ගැටළුවක් ඇති විය හැකි බව පුද්ගලිකවම මම හොඳින් දැනගෙන හිටියත්, බොහෝ අය ඒ දිහා බලන්නෙ අවඥාවෙන් හා පිළිකුලෙන් බව අත්දැකීමෙන් මම දන්නවා. මගේ හිත ඈත අතීතයට ඇදිලා ගියා.

~~~~~~~~~~

මම ඉපදිලා තියෙන්නෙ එක් දහස් නමසිය අසූ නවයෙ පෙබරවාරි පහලොස්වෙනිදා උදේ පහයි හතලිස් අටට අපි ජීවත් වුන නෙළුව ග්‍රාමයේ අපේම ගෙදරදි. කුළුඳුලෙන් උපන් දරුවා අතට ගත්ත වින්නඹු අම්මා සරමක් කියලා කියනකොට මගේ අම්ම ඒ වෙනකොට විඳපු ප්‍රසව වේදනාව අමතක වෙලා ගියා කියල අම්මා පසු කාලෙක කියනව මගේ කණට අනන්ත වාරයක් ඇහිලා තිබුනා. ඒ අම්මගෙ පුතෙකුට තිබුන ආසාව ඵල දරපු නිසා වුනත් තාත්තගෙ නම් වැඩි කැමැත්ත තිබුනෙ දුවෙකුට කියලා කියනවත් මම දැනගෙන හිටියා. ඒත් තාත්ත මට පණ වගේ ආදරේ කළා.

වේලපත් කඩේ හදන්න තාත්තා වෙලාව කොළ කෑල්ලක ලියාගෙන අපේ ගමේ ප්‍රසිද්ධ නක්ෂත්‍රවේදීයකු වන තිලකරත්න වෙද මහත්තය ගෙ ගෙදරට ගිය වෙලාවෙ එයා වෙලාව බලලා තාත්තගෙන් ඇහුවලු 'දුවෙක් නේද?' කියලා. නෑ පුතෙක් කිව්වම වෙද මහත්තය නැවත වාරයක් පොත් පෙරළලා බලලා කිව්වලු 'වෙන්න බෑ, එහෙනම් මේ වෙලාව වැරදියි' කියලා, උපන් වෙලාව වෙනස් කරලා වේලපත් කඩේ හදලා දුන්න කියලා පසු කාලෙක අපේ අම්ම මට කිව්වා.

මට මතක තියෙන අතීතෙ මම පුරුදු වෙලා හිටියෙ වාඩිවෙලා මූත්‍රා කරන්නයි. ඒ පුරුද්ද කොහොම මට ඇති වුනාද කියල මම දන්නෙ නෑ. මගේ සම වයසෙ අවට ගෙවල් වල යාළු පිරිමි ළමයි හිටගෙන මූත්‍රා කලත් මම කොට කලිසමක් ඇඳගෙන ඉඳගෙන මූත්‍රා කළා. 

අවට ගෙවල් වල ජීවත් වුන ළමයි එක්ක සෙල්ලම් කරන කාලෙදිත් මම බෝල ගහන්න වැඩි කැමැත්තක් දැක්වූයේ නැතත් බොහෝ වේලාවල ගෑණු ලමයි එක්ක සෙල්ලම් බත් ඉවුවා. මට ගවුම් අඳින්න තිබුන ආසාව ආයාසයෙන් යටපත් කරගෙන හිටියා. 'ඔයා කෙල්ලො කරන වැඩ නේ කරන්නේ' කියලා බොහෝ වෙලාව ට යාළුවො කිව්වත්, මම බාහිරව කොල්ලෙක් වගේ හිටියත් මට ඒක එච්චර ම හිතට වදයක් වුනේ නෑ. ඒ හැම දෙයක්ම මම විහිලුවට බැර කළා.

අම්මලා මාව වයස සම්පූර්ණ වුන වෙලේ ගමේ මිශ්‍ර පාසැලට ඇතුලත් කලේ ඒ පාසැල අපේ ගෙදරට තිබුන ලඟම පාසැල නිසා වෙන්න ඇති. මුල් අවුරුදු දෙක ප්‍රශ්නයක් නැතුව ගෙවිලා ගියත් තුන වසරෙදි මගේ ගෑණු වැසිකිලියට යන පුරුද්ද අනෙක් ළමයින්ගෙ සමච්චලයට ටිකෙන් ටික ලක් වෙන්න ගත්තා. පිරිමි ළමයි හිටගෙන මූත්‍රා කරනකොට මම ඒක කලේ ඉඳගෙන. පන්තිය භාර ගුරුතුමිය මේ සම්බන්ධව දැනගෙන පාසැලේ විදුහල්පතිතුමා ට දැනුම් දීලා දෙමව්පියො පහුවදා පෑසැලට ආව මට මතකයි.

පහුවදා ම අම්ම තාත්තත් එක්ක මාව ගාල්ලෙ කරාපිටිය රෝහලේ සායනයකට එක්කගෙන ගියේ විදුහල්පතිවරයාගේ උපදෙස් පිට. විදුහල්පතිතුමා එදා ඒ ගත්ත තීරණය හා දෙමව්පියන් හට දීල තිබුන කාලෝච්ත උපදෙස් මගේ ජීවිතේ පළමු කඩ ඉම පහසුවෙන් පසුකරන්න උපකාරී වුනා කියලා මට පසු කාලෙක වැටහුනා. 

කරාපිටිය රෝහලේ මාව පරීක්ෂා කල විශේෂඥ වෛද්‍ය තුමිය එවේලේම අපූරු තීරණයක් ගත්තා. එයා ඒක කලේ එම රෝහලේම විශේෂඥ වෛද්‍ය වරයෙක් හැටියට සේවය කරමින් සිටි එයාගෙ ම ස්වාමිපුරුෂයා එක්කත් දුරකථනයෙන් කථා කිරීමෙන් අනතුරුවයි. එයාල මගේ දෙමව්පියන්ට උපදෙස් දීලා තිබුනා මේ තත්වය ඉතාම රහසිගතව තියාගන්නත් කෙසේ හෝ මාව ගමෙන් පිට නන්නාඳුනන පරිසරයක තබාගන්නත්. ඒකට හේතුව හැටියට කියලා තිබුනෙ මේ තත්වය විශේෂයෙන් මාධ්‍ය වලට දැනගන්න ලැබුනොත් එයාල මේක ප්‍රචාරය කරලා විශාල ආන්දෝලනයක් ඇති කිරීම තුලින් මට සිද්ධ විය හැකි මානසික හා සමාජයීය හානියයි. ඊට අමතරව මාව පූර්ණ ස්ත්‍රියක් කිරීමට කල යුතු අනිවාර්ය සැත්කම් කීපයක් ගැනත් උපදෙස් දීලා තිබුනා. 

එදා දවසම ඒ කාරුණික විශේෂඥ වෛද්‍ය යුවළ එයාලගෙ වටිනා කාලය මා වෙනුවෙන් මිඩංගු කළා විතරක් නෙමෙයි එයාලා දෙවිවරු වගේ එයාලගෙ මුදලත් කාලයත් වැය කරලා අද මම ඉන්න මේ තත්වෙට පත් කළා. මම අද සාහිත්‍යය උගන්වන පුහුණු ගුරුවරියක් හැටියට මගේ ස්වාමිපුරුෂයාගේ ගමේ පෑසැලක උගන්වන්නෙ ඉතාම ප්‍රීතියෙන්.

අපේ ආර්ථික තත්වයත් සමාජ පරිසරයත් සැලකිල්ලට අරගෙන එයාල මාව තවත් විශේෂඥ වෛද්‍ය වරියකට ටික කාලයකට භාර කලේ මාව එයාලගෙ ගෙදර නවත්වගන්න තිබුන තාවකාලික ගැටළු මඟ ඇරෙනකල් විතරමයි. ඒ විශේෂඥ වෛද්‍ය වරියත් ඉතාම රහසිගතව ත් කාරුණිකව ත් මට සියළුම පහසුකම් සැලසුවා.

වැඩි කාලයක් ගියේ නෑ ඒ දෙවිවරු තුන්දෙනා මගේ උත්පත්තියෙන් පිහිටලා තිබුන අසාමාන්‍ය තාවයන් ශල්‍යකර්මයන් මගින් යථා තත්වයට පත් කරලා මගේ උප්පැන්න සහතිකේ සඳහන් වෙලා තිබුන පුරුෂභාවය ත් වෙනස් කරලා මාව පරිපූර්ණ ස්ත්‍රියක් හැටියට සමාජ ගත කළා. මගේ අධ්‍යාපන කටයුතු වලටත් නොමසුරුව උදව් උපකාර කරලා මගේ විවාහය දක්වා ම එයාලගෙ ම දරුවෙක් වගේ මාව බලාගත්තා.

~~~~~~~~~~

පත්තරේ තිබුන එක වැකියකට මගේ අවධානය යොමු වුනේ තරමක කේන්තියක් ද මගේ සිතට එක් කරන ගමන්.

"මාතර රෝහළේ අධ්‍යක්ෂක වරයා තව දුරටත් සඳහන් කලේ දරුවකු ප්‍රසූත කළ පිරිමි වේශයෙන් රෝහළට ඇතුලත් වූ එම කාන්තාවගේ පුද්ගලිකත්වය ට හානිකර විය හැකි බැවින් ඇයගේ අනන්‍යතාවය අනාවරණය කල නොහැකි බවය."


මට පාලනය කල නොහැකි ඉන්ද්‍රීය වෙනස්වීමක්  හේතු කොට ගෙන මොනයම් අතපසුවීමකින් හෝ වැරදි අනන්‍යතාවයක් ලැබීම මත මට සිදුවන්නට ගිය සමාජ හා මානසික පීඩාවන් මගේ වාසනාවකට දෙවිවරු වැනි දොස්තර වරු තිදෙනෙකුගේ මැදිහත්වීමෙන් අවම වුනත් මේ ස්ත්‍රිය හා බැඳි සිද්ධිය මාධ්‍යය හරහා මේ වනවිටත් ඇයත් ඇයගේ දරුවාත් විශාල අගතියකට පත්කර ඇති බව මගේ හැඟීමයි. 

ඇයගේ දෙමව්පියන් ද මගේ දෙමව්පියන් මෙන් ඉපදුන අවස්ථාවේ පුතෙකු ලැබූ සතුට භුක්ති විඳින්නට ඇත. උප්පැන්න සහතිකයේ පුරුෂ යන්න සඳහන් වී තිබෙන්නට ඇත. ඇය සිය ලිංගිකත්වය තුල අනේක වාරයක් අතරමං වන්නට ඇත. නිසි ලිංගික අධ්‍යාපනයක් නොලබන්නට ඇත. ලිංගික ව්‍යාකූලත්වය මත සිය ශරීරය තුල ඇතිවන වෙනස්කම් තුප්පහි සමාජය හා විකෘති කරන ලද ආගමික හා සමාජ දේශනා විසින් ඇය අතරමං කරන්නට ඇත. පිටතින් පිරිමියකු ලෙස පෙනී සිටියත් තාරුණ්‍යයේ පිබිදෙන හැඟීම් තුලින් ඇය පිරිමියකු වෙත ආකර්ෂණීය වන්නට ඇත. එයද සම රිසියකු සේ මානසික ව්‍යාකූලත්වය තුල සිදුවන්න ට ඇත. ඇය දැන හෝ නොදැන ගැබ් ගන්නට ඇත.

මෑතකදී අප රට තුල මහත් ආන්දෝලනයක් ඇති කළ හතේ පොත මගේ සිහියට එන්නේ එයට විරුද්ධව මහා හඬක් නැඟි සිවුරු පොරවාගත් උගත් ප්‍රඥයෙකුගේ තුට්ටුවක් නොවටිනා ක්‍රියා පටි-පාටිය ද සමගය. 

මට චීන මහා චින්තක කොන්ෆියුසියස් ගේ දර්ශනයන්ට අනුකූලව පසු කලෙක ජපානයෙන් බිහිවූ මනඃකල්පිත වඳුරන් තුන්දෙනාගේ සංකල්පය සිහියට නැගෙයි. දෑස් වසා සිටින 'මිසාරු' නපුර නොදකී. කන් වසා සිටින 'කිකසාරු' නපුර නො අසයි. මුව වසා සිටින 'ඉවසාරු' නපුර නො පවසයි. ශ්‍රී ලාංකිකයන් මෙම සංකල්පයට පමණක් නොව බෞද්ධ දර්ශනයටද ඉඳුරාම විරුද්ධ ව කටයුතු කරන්නේ නපුර දුටු තැන සියලුම ඉන්ද්‍රීයයන් උපරිමයට ම යොදවා ගනිමින් ය. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට නපුර නෙතට ඉමිහිරි දසුනකි, ඇසට කන්කළු ගීතයකි, මුවට මධුර ගායනයකි.

පැය විසි හතර පුරාම බණ දේශනා කරන චීවරධාරීන්ද, මාධ්‍යය ගණිකා වෘත්තීයේ යොදවන නාලිකා වන් ද, නීතියේ දෙවඟන සමූහ දූෂණය කරන නීතිඥයන් ද, දේශපාලනය ජාවාරමක් කරගත් දේශපාලුවන් ද හැකි ඉක්මනින් මිසාරු, කිකසාරු හා ඉවසාරු ලෝකයාට කියා දුන් 'Code of Conduct' නොහොත් 'හැසිරීම පිලිබඳ කේතය' සමාජගත නොකරන්නේ නම් ශ්‍රී ලංකාව 'ඔල මොට්ටලයන්ගේ දේශය' ක් නොහොත් 'Land of the Morons' වනු නියතය.

මම එදා ප්‍රියන්ත අද ප්‍රියන්ති, කරාපිටිය රෝහලේ අදටත් දෙවිවරුන් වැඩ සිටිනා බව අත්දැකීමෙන් දනිමි.

පසුව ලියමි; සත්‍ය සිදුවීමක් ඇසුරින් මවිසින් රචිත කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget