විකිණීමට තිබේ.....




කුරුණෑගල සශ්‍රික අක්කර පනහක් විකිණීමට තිබේ…..

ඇය කොට්ටාවට ආසන්න ජනාකීර්ණ පෙදෙසක සුවිසල් මැදුරක් හිමි ධනවත් මැදිවියේ නීතිඥවරියකි. මේ වනවිට සිය සැමියාගේ හදිසි වියෝව හේතුකොටගෙන ඔවුන් සතුව තිබූ සියලුම දේපල වල හා එංගලන්තයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත්ව නීතිය හදාරමින් සිටි දරුවන් දෙදෙනාගේද වගකීම ඇය වෙත පැවරී තිබුනි. දිරිය මවකවූ ඇය සිය යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටුකළේ එවකට සිය සැමියා සතුව කුරුනෑගල ප්‍රදේශයේ පිහිටා තිබූ අක්කර පනහකටත් අධික සශ්‍රික ඉඩම් ප්‍රමාණයේද පරිපාලනය සියතට ගනිමින්ය.

විදේශගතව සිටි දුවගේත් පුතාගේත් විය පැහැදම් සිය වෘත්තීයයෙන් ලද ආදායමෙන් පියවා ගැනීම දුෂ්කර බැව් ප්‍රත්‍යක්ෂ ක‍රගත් ඇය, කුරුනෑගල පිහිටි ඉඩම විකුනා දැමීමට තීරණය කරන්නේ, මේ වනවිටත් එහි පරිපාලනය තරමක අසීරු කරුණක්ව තිබූ නිසාවෙනි. එහි මූලික පියවර ලෙස ඇය සිය සැමියා ජීවතුන් අතර සිටියදී ලඟින් ඇසුරු කළ විශ්වාසවන්ත තැරැව්කරුවකගේද සහාය පැතීය. 

" මැඩම්, මම විකුනලා දෙන්නම්….. කීයක් කියන්නද?" 

" මම ඔයාගේ කොමිස් මුදල ගෙවන්නම් …  කෝටි තුනක් කියන්න " 

ඇය එසේ පැවසූයේ එළඹ තිබූ මුදල් අවශ්‍යතාවය මත කෝටි දෙක හමාරකට වූවද විකුනා මුදල් ලබාගැනීමේ අදහස පෙරදැරිවය.

~~~~~~~~~~

එදින සිය හිතවතෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගී වෙමින් සිටි ඇය සිය ජංගම දුරකථනයද වාහනය තුල දමා තිබුනේ අතපසුවීමකින්ය. උත්සවය අවසානයේ ඇය සිය මෝටර් රථයට ඇතුල්වනවාත් සමගම දුරකථනය නාද වූයේ තිරයේ "පෙරේරා… බ්‍රෝකර්" යනුවෙන් දිස්වෙමිනි.

" අයියෝ මැඩම්… ඇයි ඉස්සුවෙ නැත්තෙ… අද වරුවක්ම අපි මැඩම්ට ගත්තා… බයර් කෙනෙක් ආව…. ලොකු සල්ලිකාරයෙක්…. මුළු ඉඩමෙම ගහක් ගලක් ගානෙ බැලුවා… මම ඔප්පුවෙ කොපියකුත් දුන්න… එයා කැමතියි අර ගානට ගන්න… ඔප්පු නිරවුල්ද කියලා බලවන්නම් කිව්ව… මැඩම්ට කථා කරන්න ඕන කිව්ව… මම මැඩම්ගෙ විස්තර කිව්වාම ගොඩාක් සතුටු උනා… මැඩම් දැන්ම මේ නොම්මරේට කථා කරන්න… ඒ මහත්තයා ශුවර් ගන්නවා… එයාගෙ නම ඇන්තනි ප්‍රනාන්දු "

පෙරේරා තොරතෝංචියක් නැතුව කියවන්නට ගත්තේ අලදෙනිය මහත්මියට වචනයක්වත් කථා කිරීමටද ඉඩ නොතබමිනි. 

ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස පෙනීගිය මෙම පුවත කණ වැකුණු සැනින් ඇය ඔහු දුන් අංකය නොපමාවම ඇමතීය.

" හලෝ... මම මිසිස් අලදෙනිය කථා කරන්නෙ… ඔබතුමා බලන්න ගිය ඉඩම ගැන…."

" ආ… මිසිස් අලදෙනිය…. අපි ඔබ තුමියට කීප වතාවක් ගත්තා… කමක් නෑ…. මම හෙට මගේ නීතිඥයෙක් යොදවනවා මේ වැඩේට…. ප්‍රශ්නයක් නෑ… ඔප්පු පිරිසිඳුයි නම් මේ සතියෙම වැඩේ ඉවර කරමු…"

ඔහුගේ කථා විලාශයෙහි ගැබ්ව තිබුනේ ගාම්භීරත්වයක් හා ඍජු භාවයක් වීම ඇයගේ සිත තුලට විශ්වාසවන්ත භාවයක් ඇතුල් කිරීමට සමත් වීය.

" ඔප්පු නම් නිරවුල් මිස්ටර් ප්‍රනාන්දු … කමක් නෑ ඔබතුමා ඒ හැමදෙයක්ම බලලා මට කථා කරන්නකෝ "

" මිසිස් අලදෙනිය ඉඩම හොඳට සංවර්ධනය කරලා තියෙනවානේ… එක කොන්දේසියක් තියෙනව… මම අත්පිට මුදලට වැඩ කරන කෙනෙක්… අර ඉඩම බලාගෙන ඉන්න ජෝඩුව ඒ විදියටම මට ඕන…. මම කැමති නෑ වෙන කෙනෙකුට ඉඩම භාර දෙන්න… එයා ඉඩම ගැන හැම දෙයක්ම දන්න නිසා මට ගොඩාක් ලේසි වේවි එයා හිටියොත් "

" ඒක වඩා හොඳයි…. එයාල ගොඩාක් කල් අපි ලඟ ඉන්නෙ… හරිම අහිංසක අවංක අය… ප්‍රශ්ණයක් නෑ "

" මිසිස් අලදෙනිය නීතිඥවරියක් නිසා ඔප්පු නිරවුල් කියන එක මට පිලිගන්න පුලුවන්… ඒත් දන්නවනේ මගේ නීතිඥවරුත් බලන්න ඕන කියනවනේ…"

" අපොයි ඔව් … බලවන්න … එතකොට හැමදෙයක්ම පිරිසිඳුයි නේ "

" හරි මම ටික දොහකින් කථා කරන්නම්"

ඔප්පු නිරවුල් බැව් හොඳින් දන්නා නිසාත් ඔහුගේ කථා  විලාශය තුලද යම් තාක් දුරට විශ්වාසය ගැබ්ව තිබූ නිසාත් එම කටයුත්තත් අවසානයක් වනු ඇතැයි ඇය සිතන්නට වූවාය.

අතට ලැබීමට නියමිත මුදල පිළිබඳව ඇය මදකට සිත් යොමු කලේ ඉන් වැඩි කොටසක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යැවිය යුතු බවත් ඉතිරිය ස්ථාවර ගිණුමක තැන්පත් කල යුතු බවටත් තිර අදිටනින් හා ප්‍රමෝදයෙන්ය.

~~~~~~~~~~

" හලෝ මිසිස් අලදෙනිය "

දින දෙකකට පසු ඇය ඇමතූ ගැණුම්කරු ඇය වෙත සතුටුදායක ආරංචියක් දීමට මුල පිරීම ඇය අමන්දානන්දයට පත් කළාය.

" අපි අර වැඩේ හෙටම ඉවර කරලා දාමු නේද… ඔබතුමියට කොහොමද මුදල් ඕන කියන්නකො… මට පුලුවන් කෙලින්ම එකවුන්ට් එකට සල්ලි දාන්න… සල්ලි දාලම මම එන්නම් ඔබතුමියගෙ ගෙදරට නැත්නම් ඔප්පු ලියන්න කියන ඕනම තැනකට"

" අපි කලින් දැන අඳුනගත්තොත් නේද හොඳ? "

ඇය එසේ පැවසූයේ මෙතරම් විශාල මුදලක් නන්නාඳුනනා පුද්ගලයෙකුගෙන් හේතු සහගතව වුවද ලබා ගැනීම තරමක චකිතයක් ඇයගේ සිත තුලට මෝදු වූ නිසාය.

" ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මිසිස් අලදෙනිය… මම කොට්ටාවට ම ඇවිත් ඔබතුමියගෙ ගිණුමට මුදල් බැර කරන්නම්… මට ඔබතුමියගෙ බැංකු ගිණුම කියන්නකෝ "

මෙම පුද්ගලයාට එක්වරම සිය බැකු ගිණුමේ විස්තර ලබාදීම ගැන මඳකට සිත් යොමුකළ ඇය එහි විශාල අවධානයක් නොදුටු හෙයින් එය ලබා දීමට තීරණය කළාය.

" කොට්ටාව සම්පත් බැංකුවෙ…. මම විස්තර ඔබතුමාට මෙසේජ් කරන්නම් "

" නෑ මිසිස් අලදෙනිය මම ලියාගන්නම් කියන්නකෝ "

ඇය සිය ජංගම ගිණුමේ විස්තර ඔහු වෙත ලබා දුන් සැණින් ඔහු ඇයට ස්තූති කර හෙට දිනයේ නොවරදවාම ඔප්පු ලියන්න එනවායැයි පවසා දුරකථනය විසන්ධි කළේය.

ඉලක්කම් රාශියක් අඩංගු ගිණුමක විස්තරය දෙවරක් නොවිමසීම ගැන ඇය මදක් වික්ෂිප්ත වූවද එය සිතින් බැහැර කළාය.

දෙවනුව ඇය ඔහු වෙත ඉංග්‍රීසියෙන් කෙටි පණිවිඩයක් යවමින් සඳහන් කළේ හෙට දිනයේ කොට්ටාවට පැමිණි විගස ඇය වෙත කෙටි පණිවිඩයකින් දැනුම් දුනහොත් ඇයටද බැංකුවට පැමිණිය හැකි බවය.

එම කෙටි පණිවිඩයට පෙරළා කෙටි පණිවිඩයක් එවීම වෙනුවට ඔහු එසැණින් ඇය අමතා එම යෝජනාවට එකඟ වීමද ඇය තරමක් විමතියට පත් කළද, බොහෝ අය නොදන්නාකමට කෙටි පණිවිඩ යැවීම මගහරිනා බැව් පසක් කර ගත්තාය.

~~~~~~~~~~

පසුදින උදෑසන දහය පසුවෙනවාත් සමගම ඇයගේ දුරකථනය නාද වීය.

" මිසිස් අලදෙනිය මම මේ මීගමුවෙ සම්පත් බැංකුවෙ ඉන්නෙ… පොඩි ප්‍රශ්නයක්… මම බැංකු අණකරයක් මුළු මුදලටම අරගත්තා… මගේ බැංකුවට වැරදිලා අණකරේ නිකුත් කරලා තියෙන්නෙ ලක්ෂ දෙකක් වැඩියෙන්… මම ඒක එහෙමම ඔබතුමියගෙ එකවුන්ට් එකට දමනවා… තරහ නැතුව මගේ ලංකා බැංකුවෙ එකවුන්ට් එකට ලක්ෂ දෙකක් දාන්න පුලුවන්ද… මේ වැඩේ ඉවර වුන ගමන් මම කොට්ටාවට ඇවිත් ඔප්පු ලියමු"

ඇය දුරකථනය විසන්ධි කලේ, මේ ගැට වලටත් අහුවෙන අය ඉන්නවා නේ දැයි තමාගෙන්ම විමසමිනි.

පසුව ලියමි: සියලු නම් ගම් මනඃකල්පිත වුවද මෙම සිද්ධිය මෑත කාලයේ සිදුවූ සත්‍ය සිදුවීමකි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget