මැක්කා, ලොක්කා සහ හොර තැඹ්ලි

මැක්කා, ලොක්කා සහ හොර තැඹ්ලි

මැක්කා මගේ ලොකු අම්මාගේ පුතාය  අපි කුඩා කල සිටම එකට හැදී එකට වැඩුනු දඩබ්බරයෝ වීමු. 60 දශකයේ මහින්දීයයන් හට මැක්කාගේ අපූරු චරිතය ඉතා හොදින් මතකයේ ඇතැයි මම සිතමි. ඉතාම විනෝදශීලී දිලිප් කුමාර් වැනි මනා රූ සපුවකින් හෙබි ඔහු මැනික්පුර නම්වූ හෙයින් මැක්කා නමින් ප්‍රසිද්ධ වූවත් ඔහුට වචනයේ පරිසමාප්තියෙන් නම් එම නාමය කොහෙත්ම නොගැලපුනේය. මැක්කා පරපෝශිතයෙකු වූවත් මොහු කිසිවිටෙක එවැනි ගති පෙන්නුම් කලේ නැත. හොර කුරුම්බා කෑම හෝටලයකට ගොස් මුදල් නොගෙවා පැනලා යෑම පරපෝශිතයෙකුහට අදාලම නැත.

මහනුවර සිල්වෙස්තරයෙකු වී සිටි මාහට මැක්කාගෙ දඩබ්බර ඇසුර උදාවන්නේ වාර අවසාන නිවාඩුවට පමනි. මම නිවාඩුව පැමිණෙනතෙක් නොඉවසිලිමත්ව බලාසිටින්නෙමි. මැක්කා ලගින් සිටිනාවිට මමද ලොකු චන්ඩියෙක් වෙමි. ඒ ඔහුගේ හැඩි දැඩි අග පසහ මා පෙරලාගන්නා ඕනෑම බාල්දියක් කෙලින් කිරීමට සමත්වන බැව් හොදකාරවම දන්නා නිසාවෙනි. එය එසේ වූවත් මැක්කා කිසිදිනක දබර කරගත් හෝ ගූ බාල්දි පෙරලාගත් චරිතයක් නොවීය. එවැනිවූ අසූචි බාල්දි පෙරලාගත්තේ මා වූවත් ඔහු සැම විටම ඒවා සමථයකට පත්කරන්නේ මා ඔහුගේ පොඩි මල්ලි නිසා බව හොදාකාරවම මම දැනගෙන සිටියෙමි. මා ඔහුගේ එම සහෝදරත්වයෙන් අයුතු ප්‍රයෝජන නොගත්තාද නොවේ.

මැක්කා පාසැලේ ප්‍රබල චරිතයක්වී සිටියේ ඔහුගේ ක්‍රීඩා පිටියේ දස්කම් නිසා මිස පාසැලේ පන්ති කාමරයේ දස්කම් නිසා නොවේ. ඔහු පන්ති කාමරයේදී පාඩම් අතපසුකලද සුන්දර චරිතයක්වී සිටි බැව් මා හොදාකාරවම දැන සිටියෙමි. කුමක් හෝ සුන්දර නොහොබිනා ක්‍රියාවක් කර අප විනෝදමත් කිරීම ඔහු නොකඩවා කලේය. ඒ සියල්ල ඔහු කලේ අබමල් රේනුවක හෝ පෙර සැලැස්මක් නොමැතිව අන් කිසිවෙකු නොසිතන මොහොතක ඇසිල්ලකිනි.

මැක්කාගෙ පස මිතුරා වූයේ ලොක්කාය. ලොක්කා එතරම් දඩබ්බර චරිතයක් නොවූවත් අංක එකේ සූත්තර පුංචෙකි. ඔහු ඉගෙන ගත්තේ රිච්මන්ඩ්  විද්‍යාලයේය. එදවස ආදරවන්තයන්ගේ සටන සෑම අවුරුද්දකම පාහේ පැවැත්වූවත් අද මෙන් කිසිකෙනෙක් රන්ඩු සරුවල් කරගත්තේ නැත. ඒ නිසා එයට ආදරවන්තයන්ගේ සටන යන නම යෝජනාකල පුද්ගලයා අද ජීවතුන් අතර සිටී නම් ගාලු ක්‍රීඩා පිටියේ පස්කා මැරෙනු නොඅනුමානය. එවැනිවූ ඇබැද්දියක් මෑතක දී අසා නොමැති හෙයින් ඔහු මියැදී ඇතැයි මම උප කල්පනය කරමි.

මැක්කා ගස් බඩගෑමට රුසියෙකි. බොන්නේ අප වූවත් හොර කුරුම්බා කැඩීමට ගස් නගින්නේ මැක්කාය. ලොක්කාගෙ ගෙවල් ආසන්නයේ ඉතා වැදගත්  ප්‍රභූ පවූලක් ඉතාම සාමකාමීව් වාසය කලේය. එම පවුලේ වැඩිවියපත් දියණියන් දෙදෙනෙකි. බාල දියණිය හා ප්‍රේම සම්බන්ධතාවක් ලොක්කා කලක සිට ඇතිකරගෙන සිටියේය. එම නිවසෙහි තිබූ අගනා තැඹිලි ගසක පලදාව ඕනෑම කෙනෙකුට මහපාරේ සිට වූවද නිරීක්ෂණය කිරීම අපහසු නොවීය. එහෙත් එහි පලදාව නෙලා ගැනීමට කිසිදිනෙක නිවැසියන්හට නොහැකිවීම මා පෙර කී ප්‍රේම සම්බන්ධතාවයේ අනියම් ප්‍රතිඵලයක් විය. තැඹිලි වල්ල මෝරන්නට දෙන්නේම නැත. හෙට උදේට තැඹ්ලි කපන්න තාත්තා හිතාගෙන ඉන්නවා යන පණිවිඩය සංඥාවක් මගින් ලොක්කාට ලැබෙන්නේ ආදරයේ ප්‍රතිඵලයක් හැටියටය. එසැනින් ලොක්කා හා මැක්කා ක්‍රියාත්මක වන්නේය.

එදා රාත්‍රිය මැක්කාටත් ලොක්කාටත් පාසැල් නිවාඩු සමයේනම් මටත් කාර්‍ය් බහුල රාත්‍රියක් වන්නේ තැඹිලි කැඩීමට ගතවන කාලය නිසාමත් නොව ගෙඩි 15ක් පමන බී අවසන් කිරීම සුලුපටු නොවන බැවිනි. දහවල් ගෙදරදී ලොකු අම්මා කපා දෙන තැඹිලි එක ගෙඩියක් ඉතාමත් අපහසුවෙන් බොන අපි හොරෙන් කඩාගන්නා තැඹිලි ගෙඩි පහක්වත් එක හුස්මට  බොන්නෙමු. ගහට නගින්නෙ මැක්කාය. මම ගහමුල සිට පරීක්ෂාකාරීව ශබ්ද නොනැගෙනසේ වරකට ගෙඩිය බැගින් අල්ලා සීරුවෙන් බිම තබමි. පාසැලේ 16 පහල පාපන්දු කණ්ඩායම නියෝජනය කල නිසාදෝ මාහට එය එතරම් අපහසු කාර්‍යයක් නොවීය. ලොක්කා පලාතක නැත. ඔහු ඉතා සීරුවෙන් සිය පෙම්වතියගේ කාමරය අසලට ගොස් ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදේ. ජනේලයේ පොලු අතරින් නිරන්තරයෙන් කෙරීගෙන ගිය මෙම ප්‍රේම සම්බන්ධතාවය අප මිතුරන්ගේ රබර් කන් හරහා ගමන් කිරීමේ අනිසි ප්‍රතිඵලයක් වූයේ අවසානයේ ඒ අසරණ යුවතියහට ඉරිසියාකාර පස මිතුරන් විසින් ජනෙල් පොලු කියාද එම තැඹිලි ගසට දෑවැද්ද කියාද අනවර්ත නාමයන් පට බැදීමෙනි.

මෙම ක්‍රියාව අල්ලාගැනීමට කොතරම් වෙර දැරුවත් නිවස තුලින්ම ලොක්කා වෙත තොරතුරු ගලා එන්නේ ඇමරිකන් ඔත්තු සේවයටත් වඩා සූක්ෂම ආකාරයට ය. නිවසේ සිටි අය උගත් නැණවත් අය නොවූවානම් වැඩිකල් නොගොස් එම ගස කපා ඉවත් කිරීමට බොහෝසෙයින් ඉඩකඩ තිබුනි. අපද එම තත්වය බලාපොරොත්තු නොවූවාද නොවේ. නිවෙස තුල එවැනිවූ යෝජනාද ඉදිරිපත් වූ අවස්ථාවන් එමට බැව් අපගේ රහස් ඔත්තු සේවය හරහා දැනගැනීමට ලැබී තිබුනි. එහෙත් ඒ සෑම අවස්ථාවකම ගමේ කොල්ලො නේදැයි කන්නේ කියා ඔවුන් නිහඩ වන්නේ බාල දියනියගේද තරමක මැදිහත් වීමෙනි.

දිනක් අපහට ලැබුනු පණිවිඩයකින් කියැවුනේ මේ සැරේනම් කීයටවත් එන්න එපා ගහට ඉදිකටු ගසා ඇති බවකි. මැක්කාට හුටා කියවුනත් සූත්තර පුංචා අතඅරින්නේම නැත. අපි කොහොම හරි මේ වල්ලත් බාමූ කියා යෝජනා විය. කෙක්කක් ගෙනගොස් කැඩීමද කල නොහැක. ගෙඩි බිමට වැටෙන ශබ්දයට නිවැසියන් අවදිවිය හැක. ලොක්කාගේ සූත්තර මොලේ දිගට හරහට වැඩය. අපි කරපිට නැගල කඩමු. ඒකටත් තුන්දෙනාම එක්විය යුතුය. ලොක්කාට මේ අවස්ථාවේදීවත්  අල්ලාප සල්ලාපයද මග හැරීමට සිත් දෙන්නේ නැත. අවසානයේ තවත් මිතුරෙකුගේ සහය ලබා ගැනීමට තීරණය විය. එය එසේම සිදුවූවත් එයින් විශාල අපහසුතාවයකට පත්වූයේ අර අහිංසකීය. බොහෝදුරට ජනෙල් පොලු කතාව එලියට ගියේ ඔහුගෙන්යැයි අප සාධාරණව සැක පහල කලෙමු. පසුදින එලිය වැටෙන විට තැඹිලි වල්ල ආගිය අතක් නැත. ඉදිකටු එසේම තිබී ඇත.

මෙම නිවසට යාබද නිවසෙහි ජීවත් වන්නේ මහින්දයේ කැඩේට් භට කණ්ඩායම භාර ගුරුතුමාය. මෙම නිවැසියන් හා ඔවුනතර ඉතා කිට්ටු ආශ්‍රයක් තිබූ හෙයින් මෙම තැඹිලි ගහේ ප්‍රශ්නය සාකච්චා වූවා විය හැක. මැක්කා ප්‍රබල කැඩෙට් භටයෙකි. එයට අමතරව ගුරුතුමාගෙ කීකරු කැඩෙට් භටයාද විය. ගුරුතුමා මැක්කාට මේ බව පැවසීමට ඇත්තේ හුදු විශ්වාසය මතම විය හැක. ගමේ පාසැල් නොයන කොල්ලන්ගේ කර මත දෝශාරෝපණය පැටවූ මැක්කා පසු දිනම මෙම හොර තෑඹ්ලි කැඩීම නවත්තන ලෙසට ප්‍රසිද්ධියේ ගමේ කොල්ලන්ට ප්‍රකාශ කර තිබුනේ ඔවුන්ගේද බලවත් විරෝධතාවය මධ්‍යයේය. නිකරුනේ දෝශාරෝපණයට ලක්වීමට ගමේ රස්තියාදුකාරයන්‍ යැයි හංවඩු ගැසුනු අයෙකු වුව කැමතිවන්නේද නැත. ඒ අතර මැක්කා ගුරුතුමාහට ඉතා යටහත් පහත්ව යෝජනාවක්ද කර එය ක්‍රියාත්මක කිරීමටද එදිනම සහාය දී ඇත්තේ පසමිතුරු ලොක්කාටවත් නොකියාය. හිස් බෙලෙක්ක කීපයක් ගෙන එතුලට ගල්කැට පුරවා තැනින් තැන තබන්නට සහයවී ඇත්තේ ඉතාමත් කීකරු ශිෂ්‍යයකු විලසින් බැවි මැක්කාගේ තරම දන්නා මා හට හිතා ගත හැක.

ට්ක දිනකින් මෝරා වැඩෙන තැඹ්ලි වල්ල අප වෙත නෙත් යොමා බලා සිටින්නාක් බැව් කිව්වේ ලොක්කාමය. අද රෑට කඩමු කියා යෝජනාවිය. මැක්කා කුමක් හෝ කියා මග අරින්නට තැත් කලේද නැත. අප දෙදෙනාද ගල් පිරවූ බෙලෙක්ක ගැන හාංකවිසියක් දන්නේද නැත. එහෙත් මැක්කා එක යෝජනාවක් කලේය. අද අරකිව මග ඇරපන් කීවේ කීයටවත් එම අවස්ථාව ලොක්කා මග අරින්නේ නැති බවත් දැන දැනය. කරුනු කෙසේ වූවත් ගල් පිරවූ බෙලෙක්ක සම්බන්ධව පෙම්වතියද දැනුවත්වී නොසිටියාවිය හැක.

තාප්පයෙන් පැනගත් අපි අඩි 50 ක් පමණ ඇතුලතින් තිබූ තැඹ්ලි ගස වෙත ඉතා සීරුවෙන් ඇදුනෙමු. ලොක්කාට නිවස දෙසට යෑමට ඉවසිල්ලක් නැත. මැක්කා යන්න එපා හිටපං ටිකක් කියන්නාක් මෙන් අතින් සංඥා කලත් ලොක්කා නැවතුනේ නැත. ලොක්කා ඉදිරියට යන දෙස මදක් බලා සිටි මැක්කා ගහට නගින පාටක්ද නැත. නගින්නැයි මා අතින් සංඥා කලද මැක්කා ගහට නගින්නේද නැත. ඒ වෙනුවට චුට්ටක් හිටපං කියන්නාක් මෙන් කට ඇද කරගන්නවා යාන්තමට මම දුටුවෙමි. කල්පයක් ගත වූවාක් මෙන් සුළු වේලාවක් ගත වූයේ මා හට තිබූ තැඹිලි කැඩීමේ ත්‍රාසය හමුවේ විය හැක.

දඩ බඩාස් හඩක් නැගුනු සැනින් මැක්කා මාවත් ඇදගෙන තාප්පයෙන් එලියට පැන්නේ ලොක්කා ගැනවත් සොයා බලන්නේ නැතිවය. අප දෙදෙනා මීටර හාරසියයේ පාසැලේ වාර්තාව එදින නොනිල වශයෙන් බිද දැමූ බව නම් සහතිකය. කරුමයක මහත. අප දිවගොස් ඇත්තේ අපගේ නිවස දෙසට නොව විරුද්ධව පිහිටි නගරය දෙසටය. නැවතී හති දමන අතරතුර මම සිහි එලවා ගත්තද මැක්කාට ගානක්වත් නැති ලෙසක් මට පෙනේ. තවත් සෑහෙන දුරක් දැන් අප යන්නේ නගරය දෙසටය. කිසියම් කෙනෙකු අපහට මුන ගැසුනහොත් කියන්නට බේගලයක්ද විකාරවී ඇති මගේ හිතට එන්නේද නැත. වැඩි දුර නොගොස් අප ආපසු  හැරුනත් ලොක්කාට කුමක් වුනාද යන්න මගේ සිත මට වද දෙයි. මැක්කාට වගේ වගක් නැත. දැන් අපට යාමට ඇත්තේ නැවතත් අදාල ස්ථානය පහුකරගෙනමය.

ඈත තියා ගුරුතුමා අසල්වැසියාද සමග තුවක්කුවක්ද අතැතිව නිවස ඉදිරිපිට සිටිනවා දුටු සැනින් මගේ හෘදස්පන්දනය පපු කුහරය කඩාගෙන පනිනවාක් මෙන් දැනුනත්, මැක්කා ඒ කිසිවක් නොදැක්කාක් මෙන් සිංදුවක්ද මුමුනමින් ඉදිරියට යන්නේ කිසිවක් සිදු නොවූ ගානටය. අද නම් වෙඩි කන්නට සිදුවනවාමය. මහනුවර කටුකැලේ සෙමිනරි වත්තේ මෑතකදී හොර කුරුම්බා කඩන්නට ගොස් මුරකරුගේ වෙඩි පහරින් මියගිය මාගේ දඩබ්බර මිත්‍රයාගෙ හුරුබුහුටි මුහුන මා ඉදිරියේ මැවී පෙනේ. එදින මා එම අවස්ථාවට සහභාගී නොවූයේ හුදෙක් මාගේ වාසනාවටම විය හැක. අද නම් මාගේ වාසනාව ගිලිහී ගොස් ඇත. ඒ මදිවාට මැක්කා ජෝතිපාල ආයාසයෙන් අනුකරණය කිරීම මා හට තවත් වේදනාකාරීය.

“මැනික්පුර…..කොහෙද  මේ මහ රෑ”

මැක්කා ඉතා යටහත් පහත්ව සර් මල්ලිව ෆිල්ම් එකක් බලන්න එක්කගෙන ගියා. මාව පනපිටින්ම විකිනූ මැක්කා ගිහින් එන්නම් සර් කියා යන්නට ගියේ ඇගට පතට නොදැනීමය.  

අතරමගදී මගේ පලමු ප්‍රශ්නය වූයේ අරූ වෙඩි තිව්ව නම් කියාය. එම තුවක්කුවට පතොරම් නොමැති බව ඔහු දැනගෙන සිටි බැව් මා හට පැවසූයේ සාවඥ සිනහවක් අතරින්ය.

හොරෙන් ගෙදරින් පැනගොස් හොරෙන්ම ගෙට රිංගාගත් මාහට මහ රෑ හිනාව නවතාගැනීමට හැකිවුයේ එහා කාමරයේ නිදා සිටි ලොකුඅම්මා ඇයි පුතේ හීනයක් දැක්කාදැයි අසා බොහෝ වේලාවක් ගියාටත් පසුවය.

පසුව ලියමි: මැක්කා ගැන ලිවීමට කප්පරක් දේවල් ඇත. ඉන්ද්‍ර මැනික්පුර නොහොත් මැක්කා පාසැල් දිවිය හමාර කර මහනුවරට හා ගම්පොල කෙල්ලකට පෙම් බැඳ විවාහවී කන්ද උඩරට පදිංච්ය තෝරා ගත්තද ඔහුගේ විශ්‍රාමික දිවිය ගතකරන්නේ මාලඹේය. දැනටද මනා ශරීර සුවතාවයකින් අනූන ඔහු මාගේ මතකයේ හැටියට 74 වන වියෙහි විය යුතුය. අදටද ඔහු හෝ මා පෙර සිටි චරිතයන්ම නොවන්නේ අද සමාජයේ එදා තිබූ සරල භාවය ගිලිහීගොස් ඇති නිසා මිස ඔහුවත් මමවත් වෙනස්වී ඇති නිසායැයි කිසිවකු සිතන්නේ නම් එය මුලාවකි. ලොක්කා මෑතකදී දිගු අසනීප තත්වයකින් සිට අවසන් ගමන් ගිය බැව් දැනගන්නට ලැබුනි.

















Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget