ඔස්ටින් අයියා සහ ග්‍රීස් පියා

“ඔස්ටින් අයියා සහ ග්‍රීස් පියා”

වේරහැර වැඩ ඇරෙන්නෙ හවස 4.30 ට. කිසිම සේවකයෙක් අනිත් ආයතනවල වගේ පන කඩාගෙන දුවන්නෙ නැත්තෙ තිබුන හැදියාවටම නෙමෙයි. ඒ අනිල් මුනසිංහ මහත්තයගෙ සභාපතිත්වය යටතේ ලංගම හිනිපෙත්තෙම තිබුන කාලෙ හරියටම වෙලාවට සේවකයන්ටම වෙන් කරපු බස් 70ක් විතර වේරහැරින් සැතපුම් 30ක්ම ආවරණය වෙන විදියට ධාවනය උන නිසයි.

එදත් වෙනද වගේම වැඩ ඇරිල ආරියයි සෑමයි එක්ක හයිවේ එකක් විතර පලල ප්‍රවිශ්ඨ මාර්ගයේ දවසේ සමාලෝචනයත් එක්ක ගේට්ටුව දිහාවට ඇවිදගෙන එන්නෙ අතුරු සිදුරු නැතුව යන සේවක ගංගාවත් එක්ක.

මගේ ලඟින්ම ගිය එක සේවකයෙක් හීනි දිග ලී කෝටුවක් කරකවනව ජෝතිපාලගෙ සිංදුවකුත් කියන ගමන්. එකපාරටම පිටිපස්ස හැරුනු මිනිහ “අඩෝ ග්‍රීස් පියා” කියල කෑගැහුවෙ පිටිපස්සෙන් එන පියසේනට ඇහෙන්න.

“උඹෙ අම්මට” කියාගෙන ග්‍රීස් පියා පිටිපස්සෙන් එලවන ගමන් පාරෙ වැටිල තිබුන ලීයකුත් අහුලගෙන අරූගෙ පස්සෙන් එලවන්නෙ කුලුමීමෙක් වගේ.

“කවදහරි මේ සෙල්ලම මිනියක් මරාගෙන තමයි ඉවරවෙන්නෙ”

“ඕකුන් දෙන්න ඔහොමමයි. නයයි මුගටියයි වගේ”

වැඩ ඇරිල යන සේවකයො හිනාවෙවී කියවනව. සිකියුරිටි එකේ ඉන්න ගාඩ්ලත් මේ සිද්ධියෙන් අපූරු ආශ්වාදයක් ලබනවා. පනකඩාගෙන දුවන දෙන්නට පාර ඉඩදෙන්න වගේ කට්ටියම අයින් වෙනව. අහුවුනොත් මිනීමැරුමක් කියල කවුරුත් ඒකෙනුත් ආශ්වාදයක් ලබන්නෙ මේ සිද්ධිය සතියකට වරක් වත් දකින්න ලැබෙන සුලභ දර්ශනයක් නිසයි.

යන්නං මචං කියල අපි වෙන්වුනේ හෙට උදේට නිසැකවම මුනගැහෙන බලාපොරොත්තුවෙන්. අලුත්ගම පාස් බස් එකට නැගපු මම අයිනක් අල්ලගෙන ඉදගත්තෙ තවමත් ඇදීගෙන එන සේවකයො දිහා අරමුනක් නැතුව බලාගෙන.

===============

“බලන්න පුතේ මේ වලත්ත ගෑනියෙකුට මගේ කොල්ල අහුවෙලා, පුතාවත් චුට්ටක් තේරුම් කරල දෙන්නකෝ”

දවස් කීපයකට කලින් ආරිගෙ අම්ම අදෝනාවක් කියවන්න ගත්තෙ ආරිගෙ ලොකු අයිය ඔස්ටින් ගැන.

ඔස්ටින් අයිය හරිම හිත හොඳ ලස්සන තරුණ කොල්ලෙක්. ඉගෙනගෙන තිබුනෙ නැතත් තරුණ කාලෙම බිස්නස් කරල යමක් කමක් හම්බු කරගෙන Triumph Herald වර්ගයේ කෙසෙල් දල්ලෙ පාට two tone ලස්සන කාර් එකකින් තමයි ගමන් බිමන් ගියේ. කොටහේනෙ හොඳ නමක් තියාගෙන හිටපු, කාගෙත් හොඳ හිත දිනාගෙන තමන්ගෙ පාඩුවේ රේස් බුකියක් පවත්වාගෙන ගිය, සුන්දර චරිතයක්.

“වැඩිය ගනන් ගන්න එපා ඇන්ටි. ඕව තරුණ කාලෙ කරන වැඩ නේ. මොකෝ ඔස්ටින් අයිය එයාව බඳින්නයැ”

එහෙම කියල ඇන්ටිගෙ හිත සනසන්න හැදුවත් මම දන්නව හිත හොඳ එකා ගිය තැන වැඩේ ජෝන් බාස් කරගන්නව කියල. ආරියට කරන්න දේකුත් නෑ අයිය නිසා. කතන්දරේ ආරිය කියන විදියට වෙලා තියෙන්නෙ මෙහෙමයි. මාල අක්ක රටේ ප්‍රසිද්ධ ගායකයෙක්ගෙ බිරිඳ. මිනිහ ඔස්ටින් අයියගෙ අතිජාත මිත්‍රය. කොටහේනෙ මහල් නිවාසයක පදිංචි වෙලා හිටපු ගායකයගෙ ගෙදරට නිතර දෙවේලෙ ආව ගිය ඔස්ටින් අයියගෙන් කාර් එක ඉල්ලගෙන රවුමක් යන එක ගායකයගෙ පුරුද්දක් වෙලා තිබුන.

එහෙම යන බොහෝ අවස්ථාවල “ මුල් ප්‍රේමෙ දිනුව” සිය ආදරණීය බිරිඳ ගෙදර ඔස්ටින් අයියත් එක්ක තනිකරල, “මුළු ජීවිතේට මාගේ නැත පරාජීත වූයේ” කියල හිතාගෙන හිටියත් අන්තිමට සිද්ධ උනේ, “සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී වැටුනා” කියල හිත හදාගන්නයි.

කොහොම උනත් ආරි ඔස්ටින් අයියටත් මාලා අක්කටත් එකවගේ ආදරේ කල විත්තිය මම හොදින් දැනගෙන හිටිය. ඇත්තටම මමත් ඉන්තේරුවටම දන්න කාරණයක් තමයි ඔස්ටින් අයිය හරිම සුන්දර චරිතයක් කියන එක.

============

වේරහැරින් පටන්ගන්න බස් එක නොවරදවාම අලුත්ගම බස් නැවතුම්පොලට එනව 5.50 වෙනකොට. හය වෙනකොට සමුද්‍ර දේවි වේදිකාවට එනව. බස් ස්ටෑන්ඩ් එකේ බස් එක නවත්තපු ගමන් අපි රබර් කන ස්ටේශන් එක පැත්තට හරවගෙන යන්නෙ කොයි වෙලේ යකඩ කට ඇරිල “පලවෙනි වේදිකාවට දැන් ලඟාවෙන…..” කියනකොටම දුවන්න බලාගෙන.

බොහෝ වෙලාවලට අපි ටිකට් ගන්නෙ නැත්තෙ දිගටම ටිකට් අරගෙන එපාවෙලා තිබුන නිසා කියල නිදහසට අපේම හෘද සාක්ෂියට කියාගන්නෙ ටිකට් ගත්තට වැඩක් ඇත්තෙම නැති නිසා. සමුද්‍ර දේවි එනකොට සාමාන්‍යයෙන් ටිකට් දෙන්න එකෙක් කවුන්ටරයේ ඇත්තෙත් නෑ, පන්ච් කරන්න එකෙක් ඇත්තෙත් නෑ, කෝච්චියෙදි ටිකට් චෙක් කරන්න බාප්පල එන්නෙත් නෑ අන්තිමට බහිනකොට ටිකට් එක ගන්න එකෙක් ඇත්තෙත් නෑ. ඉතින් මොකටද ටිකට් ගන්නෙ. බාප්පල වැරදිලාවත් නැග්ගත් ජීවිතේට කාන්තාවන්ට වෙන් කරල තියෙන පෙට්ටියට නම් නගින්නෙම නෑ.

එදානම් ඔය කිසිම ප්‍රස්නයක් තිබුනෙ නෑ. බස් එකත් ටිකක් කලින් ආවෙ එලවපු එකා පස්ස පැත්තෙ මිරිස් කරලක් ගහගෙන වගේ. ඒ උනාට සුනාමියක් එන්න කලින් මුහුද හරිම නිස්කලංක වෙලා ආපස්සට යනවලු නේ. එනව නේද බඩ පෙරලගෙන සුනාමියක් වගේ. වේදිකාවට පය ගැහුව විතරයි “තව ස්වල්ප වේලාවකින්…” සමුද්‍ර දේවියට නැගලනම් ඔය වැඩේ කරන්න හම්බවෙන්නෙ නෑ කොලඹ ඉදන්ම කන්තෝරු කාරයො toilet වල ඕමි ගහනව.

අලුත්ගම පිරිමි වැසිකිලි තියෙන්නෙත් වේදිකාවෙ ගොඩාක් ඈත. අහවල් කාරිය කොරන්නෙ නැති සුද්දොද කොහෙද ඒකත් හදල තියෙන්නෙ. බොහොම අමාරුවෙන් ඒ පැත්තට ගියේ දුවන්නත් බැරි නිසා බඩේ බිජු තියෙන එකෙක් වගේ සීරුවට. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නැහේ, ඒකත් වහල ඉබ්බෙකුත් දාල.

කුනුහරුප කෝටියක් කටට ආවත් බර හෑල්ලු වෙන එකක්‍ යැ ඒවට කියල හිතාගෙන ආපහු වේදිකාව පැත්තට එනකොට තමයි දැක්කෙ කාන්තා විවේකාගාරය. ඒකෙ ඇතුලෙ නම් වැසිකිලියක් තියෙනව උනත් තරුණ කෙල්ලො ටිකක් හැඩ වෙනව. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ. රෙද්දෙ යනවට වඩා ගුටි කන එක හොදයි කියල එක පාරටම කෙල්ලන්වත් පහුකරගෙන වැසිකිලියට රිංගුවා. වැසිකිලි කාමර තුනක් තිබුන. තුනම හිස්. ඒත් එකකවත් වතුර කරාමයක් නෑ. වතුර ටැංකිය තියෙන්නෙ කොරිඩෝවෙ. වතුර තිබුනත් ගෙනියන්න භාජනයක් පේනතෙක් මානෙක නෑ. මගේ අවශ්‍ය තාවයත් එන්න එන්නම අනුකම්පා විරහිතව උග්‍ර වෙනව.

පරාජිත ලීලාවෙන් එලියට එනකොට අර කෙල්ලො ටිකත් කැකිරි පලන්න ගත්තෙ හිතක් පපුවක් නැති ගානට. මම අන්ත අසරණවෙලා එලියට එනකොටම දෙයියො දුන්න වගේ බීල වීසිකරපු තැඹිලි කෝම්බයක් රේල්පාරෙ. පැනපු ගමන් තැඹිලි කෝම්බෙ ගත්ත මම කෙලින්ම කාන්තා විවේකාගාරය ඇතුලෙ. සක්කරයගෙ අර මොකාද එකා වයිම ආවත් දැන් ඉතින් මගේ වැඩේ කරගෙන මිසක් එලියට එන්නෙ නෑ.

යාන්තමට බර හෑල්ලු කර ගත්ත විතරයි “පලවෙනි වේදිකාවට දැන් ලඟාවූ …..”

මොනව උනත් වෙලාවට වැඩේ ඉවරකරගත්තෙ කියල හිත හදාගෙන කලිසම ඇඳ ඇඳ එලියට එනකොටම කෝච්ච්ය අද්දනව. මේක වැරදුනොත් බස් එකේ තමයි යන්න වෙන්නෙ. බරත් හෑල්ලු වෙලා නිසා දුවගෙන ගිහිල්ල ලඟම පෙට්ටියට පැනගත්ත. දිග හුස්මක් ඇදල පහතට දාන්න උනේ නෑ ගෑණු ටික හූ තියනව. හත්වලාමේ මම නැගල තියෙන්නෙ ගෑණුන්ට වෙන් කරපු පෙට්ටියකට. ඒ මදිවට සමුද්‍රෙ ගෑණු. කෝච්චියට බෙල්ල තිබ්බනම් මීට වැඩිය හොඳයි.

ඊලඟ ස්ටේශන් එකට යනකොට අලුත බැඳල හිටපු මාව දූෂණය උනේ නැතුව විතරයි. මාව බයිට් එකට ගත්තු ගෑණු සෙට් එක මාස ගානක් යනකල් මම උන්ගෙ පෙට්ටිය ලඟින් යන හැම සැරේම, “අද ටොයිලට් ගියේ නැද්ද,” “නගින්න නගින්න මේකට නගින්න” වගේ කතා කියන කොට පූස් පැටිය වගේ බිම බලාගෙන ගියා. කොහොම උනත් කලක් යනකල් මට රජයේ ඕනෑම ආයතනයක වැඩක් කරගන්න මේ සිද්ධිය ඉවහල් උනේ බොහෝ අය මාව විහිලුවකට අරගෙන මගේ වැඩේ ඉක්මනටම ඉශ්ඨ කර දුන්න නිසයි.

==============

පහුවදා උදේම ආරි අලුත් ආරංචියක් අරගෙනයි ආවෙ

“ඔස්ටින් අයිය ආයෙත් බාල්දියක් දාගෙන නේ”

“ඒ මොකද  බං ඒ ගමන”

“මාලක්කත් එක්ක ගෙයක් අරගෙන ගිහිල්ල”

“යකෝ එතකොට ගායකය”

“ඌට ගානක් වත් නෑ. දන්නවනේ සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා නේ”

“එතකොට දරුව”

“උඹ තාම ඔස්ටින් අයියව දන්නෙ නෑ. දරුව හින්දම තමයි ඔස්ටින් අයිය එහෙම කරන්න ඇත්තෙ. . ඔස්ටින් අයිය පණ වගේ ඒ දරුවට”

කොහොම උනත් මම ඊට පස්සෙ ආරිගෙ අම්මට මූන දෙන එක මග ඇරියෙ අම්ම කෙනෙක්ගෙ දුක මට හොදට තේරෙන නිසයි. මම ගියේම නෑ. ආරි කොච්චර පෙරැත්ත කලත් මම ගියේම නෑ.

“මචං අපි හැමෝම උපදින කොටම අර මොකාද එකා නලලෙ කොටල එවල තියෙන්නෙ. ඒව වෙනස් කරන්න හරිම අමාරුයි. කොහොම උනත් අයිය සතුටින් ඉන්නවනම් එච්චරයි”

ඒ අස්සෙ අපේ සැහැල්ලු දින චරියාවට උත්තේජනයක් එකතු කරගෙන අලුත් ආරංචියක් අරගෙන අවෙ බලපිටියෙ බාසාව කතා කරන කාලිංගය.

“බොලාට ආරංචි නැද්ද...වෙලා තියෙන සන්තෑසිය..”

“ඒ මොකද්ද “ අපි තුන්දෙනාම එක පාරටම ඇහුවෙ පුදුම වෙලා.

“අර ග්‍රීස් පියා...උගෙ අම්මට හු...ලානේ…”

“ඒ කිව්වෙ”

“මුං ඔක්කොම හු….ගෙ පුතාලා..නේ…..අර පොල්ල ඇතුලෙ ඉන්ජෙක්ටර් දාල සීල් කරල නේ….උගේ පොල්ල ඇතුලෙ දාගෙන ගියානං නේ වටින්නේ…”

හොරකමට කවදත් තිත තියන කාලිංගය කියාගෙන කියාගෙන යනව. අපිට අකලට තට්ටෙ පෑදිච්ච කාලිංගයගෙ කථා විලාශය පුරුදු නිසා අමාරුවෙන් හිනාව තදකරගෙන හිටියත් තුන්දෙනාම එකපාරටම හිනා උනේ හොරකමේ හාස්‍යජනක බව පෙන්නන මුවාවෙන්. එහෙම නූනානම් එදා කථිකාව ඉවරවෙන්නෙ මෙන්න මේ වගේ කතාවකින්.

“ආ බොල හුත්…....තොපි හිනාවෙන්නෙ මටද…..”

එහෙම උනත් කාලිංග කවදාවත් අපිට එයාගෙ කථා විලාශයත් එක්ක දුන්න ඒ ආතල් එක අහිමි කෙරුවෙ නෑ.

===========

වැඩි දවසක් ගියේ නෑ ආරි ඔස්ටින් අයිය ගැන අලුත් ආරංචියක් අරගෙන ආව.

“මචං ඊයෙ රෑ මාර වැඩේනේ”

මමත් සෑමත් අහගෙන හිටියෙ කටඇරගෙන. ඔස්ටින් අයිය බුකියෙ වැඩ ඉවරවෙලා කාර් එක නවත්තල තිබුන තැනට පයින්ම යන ගමන් පේමන්ට් එක අයිනෙ පොඩි කලබලයක් දැකල කිට්ටු කරල බැලින්නම් මිනිහෙක්ව කෑලි වලට කපල මරල දාල. කවුරුවත් ලංවෙලා නෑ මිනිහ මැරිල නිසාත් අහක යන කුණුගොඩවල් වලට සාක්කි දෙන්න බැරි නිසාත්.

ඔස්ටින් අයියගෙ හිත හොද කමට චුට්ටක් කිට්ටු කරල බලනකොට මිනිහ ඇස් දෙක ඇරල බයාදු විදියට බලලා. හිත උනුවෙච්ච ඔස්ටින් අයිය ලෙඩාව කාර් එකට දාගෙන ඉස්පිරිතාලේට ගෙනිහිල්ල. අද උදේ මැරිල ඇති කියල බලන්න යනකොට තවමත් පණපිටින් විත්තිය දැනගෙන ඕන කරන හැමදෙයක්ම සපයලා.

මෙහෙයුම අති මානුෂීය උනත් ඉස්සරහට මොන මරාලයක් කඩාගෙන වැටෙයිද කවුද දන්නෙ. කිසි කෙනෙක් දන්නෙ නැතිලු මිනිහ කවුද කියන එක. දැන් ඉතින් ඔස්ටින් අයියත් මේකට පැටලිලා ඉන්නෙ. පොලීසියත් බලන්නෙ වපර ඇහෙන්.

කාලය නොදැනිම ගෙවිල ගියේ ඔස්ටින් අයියගෙ අනුකම්පාවත් උගසට අරගෙන. අර මනුස්සයගෙ සෞඛ්‍ය තත්වෙ දවසෙන් දවස හොඳ අතට හැරෙනකොට ඔස්ටින් අයියගෙත් මනුස්සකම එලියට පනින්නෙ මොකද්දෝ සසර බැඳීමකට වෙන්න ඇති. මිනිහගෙ සියලු බර ඔස්ටින් අයිය කරට ගත්තත් මිනිහ නෙමෙයි කටක් අරින්නෙ එයාගෙ වත ගොත ගැන.

කොච්චර සනීප උනත් මිනිහ ටිකට් කපන්න තරම් සෞඛ්‍ය තත්වෙ හොදයි කියන්න දොස්තරලට ඉඩක් ලැබිල නැත්තෙ මොකක් හරි වේදනාවක් හැමදාම පෙන්නුම් කරපු නිසයි. එහෙම කල් මරපු මේ මනුස්සය එක දවසක් දවල් පිට අයට ලෙඩ්ඩු බලන්න ඉඩ දෙන පැයේ අසාමාන්‍ය විදිහට දඟලන්න පටන් අරගෙන. ආගන්තුක පැය ඉවරවෙලා සියලුම නෑ හිතවතුන් ගියාට පස්සෙ මිනිහ සාමාන්‍ය සුවය ලබල. ආයෙත් සවස ආගන්තුක පැයේදි අර විදියටම දඟලන්න පටන් අරගෙන හැම කෙනෙක්ම පිටවුන ගමන් සාමාන්‍ය විදිහට හැසිරිලා. මේ වෙනකොට වාට්ටුවෙ ඉන්න මිසීල හැමෝගෙම හොඳ හිත දිනාගෙන බොහෝම අහිංසක විදියට ඉඳපු මේ මනුස්සය රෑ නමයට විතර ආගිය අතක් නෑ.

=============

එදා රෑ මරදානෙ එක්තරා පටු මාවතක මනාල යුවලක් නිවසට පැමිනීම වෙනුවෙන් පැවැත්වෙන සාදයක්. පේලි ගෙවල් වලින් පිරුනු ඒ පටු මාවත හරහා පුරවලාම ගහපු තාවකාලික මඩුවක් ආරාධිත අමුත්තන්ගෙන් පිරිලා. සංගීතයත් මධුවිතත් එක්ක සාදය උච්චම අවස්ථාව වෙනකොට මහපාරෙ නවත්තපු මොරිස් මයිනර් ටැක්සියකින් බැහැගත්ත දෙන්නෙක් පටු මාවතට ඇතුල් උනේ තරමක චකිතයකින් වගේ.

තරමක් ඈතින් පදික වේදිකාවෙ නිදාගෙන හිටපු යාචකයෙක් යාන්තමට ඔලුව උස්සල බලල ආයෙත් නින්දට වැටුනෙ දුරුත්තෙ සීතල උහුලගන්න කඩමාල්ලක් ඔලුවටත් උඩින් දාගෙන.

අලුත්ම පන්නයේ කේම්බ්‍රිජ් වර්ගයේ මෝටර් රථයක් කෑම පාර්සල් බෙදාගෙන යනගමන් මේ යාචකය ගාව නවත්තල කෑම එකක් දෙන්නද ඇහුවෙ ඇතුලෙ හිටපු නෝන කෙනෙක් සත්භාවයෙන්.

“අනේ බුදු නෝනෙ මගේ එක කකුලක් බෑ” කියනකොටම ඒ නෝනම බැහැල ඇවිල්ල කෑම පාර්සලයක් දුන්නෙ රුපියල් දහයකුත් එක්ක. අනේක වාරයක් පිං දුන්න යාචකය කෑම පාර්සලේ එවේලේම කන්න සැරසුනේ නෝනව ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින්.

පැය දෙක තුනක් ගතවෙද්දි දෙන්නෙක් වැනි වැනී පටු මාවතෙන් එලියට ආවෙ මුලු මරදානම එයාලගෙ වගේ. මේ වෙනකොට යාචකය අතුරුදහන්වෙලා.

එකෙක් අනිකගෙ කරට අත දාගත්තෙ මචාං කියාගෙන හිතවත් කමටත් වඩා වෙරි මත නිසා වාරුවක් ගන්නත් එක්කමයි. වීදිපහන් එලියෙන් අඩ අඳුරෙ තිබුන වටපිටාව එක පාරටම එක්කෙනෙක්ගෙ ඇස් දෙක නිලංකාරකරගෙන ඔලුගෙඩිය කඳෙන් වෙන් කෙරුනෙ අනිත් කෙනාගෙ එක අතකුත් වෙන්කරගෙන. මොහොතකින් හෙන ගෙඩියක් වගේ පහත් උන තියුනු කඩුවක් අනිකගෙ උරහිස පසාරු කරගෙන පපුවටම කිඳා බැස්සෙ පැය ගානක් මුවහතේ රස විදපු කඩුවේ බලමහිමය කියා පාමින්.

ඊලඟ විනාඩි පහ ගතවුනේ යාචකයාගේ වෛරයෙන් පිරුනු සිත තෘප්තිමත් කරමින් ලේ පිපාසය සංසිදුවමින් ජීවය ගිලිහුනු සිරුරු කීතු කීතු කරමින්.

පහුවදා උදේ කොලඹ මහ රෝහලේ වාට්ටුවක ලෙඩෙක් අතුරුදහන් වී ඇති බවට රපෝර්තුවක් වාට්ටුව භාර මිසී ඉදිරිපත් කලේ එතුමියගේ රාජකාරියේ කොටසක් හැටියට වූවත් අසාධ්‍ය රෝගියෙකුව සිට පණ නල ගැටගසාගත් එම රෝගියා පැවසූ වදන් පෙලක් මතකයට නගමින්.

“මිසී මම හෙට උදේ වෙනකොට මෙතන හිටියෙ නැත්නම් මගේ පණ රැකල දුන්න ඔබතුමිය ඇතුලු හැම කෙනෙක්ම බලන්න කවද හරි එනව”

දවස් දෙකකට පස්සෙ අර මනුස්සය උසාවියට භාර වෙලා තිබුනෙ ඔස්ටින් අයියගෙ බලකිරීම උඩ නීතිඥයෙකුගෙ මාර්ගයෙන්.

================

කතාව මෙතනින් නිමා වෙන්න තිබුනත් ඔස්ටින් අයියගෙ දෛවය ඊට හරස් කැපුවෙ පුදුමාකාර විදියට. අපි කවදාවත් බලාපොරොත්තු නොවෙන විදියට අපේ ජීවිතවලට පිටස්තර පුද්ගලයන් ඇතුල්වෙන්නෙ හෙන ගෙඩි පහත් වෙනව වගේ. “හිත හොඳ එකා හැමදාම බඩින්” කියන්නෙ කට කහනවට නෙමෙයිනේ. කොහොම උනත් ප්‍රඥාව පැත්තකට කරල හෘද සාක්ෂියටම මුල්තැන දුන්නොත් කරදරේ වැටෙනව.

ඔස්ටින් අයිය තවදුරටත් ඒ මනුස්සයට උදව් කලේ ඇයි කියන එකට සාධාරණම පිලිතුර මම හිතන විධියට අවංකකම. “ගේම අපේ ඔයා අයින් වෙන්න” වගේ මුලදි සාමාන්‍ය ඉල්ලීම් ආවත් ඔස්ටින් අයිය ගනන් ගත්තෙ නැති නිසා ඒවත් නැවතුනා. කොලඹ උසාවිය අරක් ගෙන හිටපු හොඳම නීතිඥ මහත්තුරු පෙනී හිටපු නඩුවෙ අවසාන වටයටත් ලං වුනා..

එදා උසාවියට යන්න ලෑස්ති වෙලා ඔස්ටින් අයිය බුකියෙ එයාගෙ මේසෙ වාඩිවෙලා ඉදල තියෙන්නෙ දොරකඩට මූන දාගෙන. දොරකඩ ලඟ හිටගෙන ඉන්න මනුස්සය කවුද කියල බලන්න වගේ ඔලුව උස්සනකොටම හරියටම ඉලක්කයට ආපු මූනිස්සම නලලෙ හරි මැද පසාරු කරගෙන ගිහිල්ල බිත්තිය ඇතුලෙ හිරවුනේ ඔස්ටින් අයියගෙ හුස්ම ටිකත් අරගෙන.

පසුව ලියමි: එදින උසාවියේදී ඔස්ටින් අයියා ඝාතනය කර ඇති බව දැනගත් චූදිතයා එවේලේම ලද අස්වැසිල්ලකින් පැනගොස් සැඟවී සිට මෙම ඝාතනයට අදාල සියල්ලන්ගෙන් පලිගන්නා බව සපථ කරමින් මාගේ මිත්‍ර ආරිට පණිවිඩයක් එවා තිබුනත් පසුකලෙක ඔස්ටින් අයියාගේ ඝාතනයට දෙදෙනෙකු මරණීය දණ්ඩනයට නියමවූ අතර මෙම සිද්ධිදාමයට මූලිකවූ තැනැත්තා කෙටිකලකින් සොබාදහම විසින් මරු තුරුලට ගෙනගොස් ඇති බැව් සනාථ විය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget