විශ්වයේ සිට

විශ්වයේ සිට අමතමි

ආදර සුනෙත් අයියේ,

ඔයා එදා මට එල්ලකල යකඩ පිහිපාරවල් මගේ පපුව ඇතුලටම ගිලා බහින කොට දැනුන වේදනාව, මම ඔයත් එක්ක ගතකරපු කාල වකවානුව තුල ඔයා මගේ පපුවට එල්ල කරපු චෝදනා තරම් වේදනාකාරී උනේ නෑ. මට ඔබෙන් සමුගන්නට ගත උනේ නිමේශයක් වූවත්, එම නික්මයාම විශාල කාල පරාසයක් තුල සිදුවූ සිද්ධිදාමයක උච්චතම අවස්ථාව උනා නේද?

මේ වෙනකොට අපි නීතියෙන් වෙන්වීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් දියත් කර තිබුනත්, එය අවසාන විසඳුම නොවන බැව් මා හොඳාකාරව දැන සිටියා. මා ඔබගේ තීරණය එනතුරු මග බලා සිටියා. දැන් මා විශ්වයේ සිට, පහුගිය දශකයක කාල පරාසයට ඔබව කැන්දා යන්නම්.

මම ඔබගේ ඇසුර හා පසුකලෙක අප අතර සිදුවූ විවාහයේ පසුබිම ඔබට අවධාරණය කරනු කැමැත්තෙමි. ඔබ ඉතා ප්‍රියමනාප පුද්ගලයෙකු වීමත්, මා පිලිකුලෙන් බැහැර කල දුම්පානයෙන් හා අධික මත්පැන් පානයෙන්ද තොර වීමත්, නිතැතින් මගේ සිත ඔබ වෙත ඇදී යාමට හේතු සාධක වුනා.

අප අතර ඇතිවූ මිත්‍රත්වය, ඔබගේ යෝජනාව මත ආදරයකට පෙරලුනු අවස්ථාව, ජීවිතයේ ලද උපරිම වින්දනයක් සේ අප දෙදෙනාම පිලිගත්තා මතකය. පුද්ගලිකව මා හට එම අවස්ථාව විශේෂිත වූයේ ඔබ මා හට දැක්වූ දයාව හා අනුකම්පාව හේතු කොටගෙන බැව් අවධාරණය කරන්නේ හද පිරි සෙනෙහසිනි.

“වැඩ ඇරිල මොකද කරන්නෙ”

ඒ වෙනකොට අපි දෙන්නගේ ආශ්‍රය ප්‍රේමයේ දොරකඩටම ඇවිත් තිබියදීත්, කිසි විටෙක එය ප්‍රකාශිතයක් වී නොතිබුනත්, මට ඉවෙන් මෙන් වැටහුනා ඔයා යෝජනාවකට ඉතාමත් ආසන්නයේ සිටි බව.

කාමරයට ගොස් නිම කල යුතු වැඩ රාශියක් තිබුනත්, මගේ පිලිතුර ඔබට රුකුලක් වීමට මම වගබලාගත්තා.

“විශේෂයක් නෑ….. ඇයි එහෙම ඇහුවෙ”

“හඳගමගෙ ෆිල්ම් එකක් ඇවිල්ල…… අද මමත් පහට ඕෆ් නිසා ….. යන්න හිතයි බලන්න”

ඔයත් එනවද කියල ඇහුවනම් මම එක පයින් එන බව දැන දැනත්, ඔයා එහෙම කිව්වෙ යෝජනාව හා තීරණය මට භාරකරල. ඔයා කිසිදිනක මගේ නිදහසට අත පොවන්න ගියේ නෑ. ජීවිතයේ අසීරු අවස්ථාවලදී පවා තීරණ ගැනීමේ නිදහස අවංකවම ඔයා මට දී තිබුනා.

“මමත් ….බලන්න ඕන …..කියල හිතාගෙනම ඉන්න ෆිල්ම් එකක්…... කොහොමත් හඳගමගෙ ෆිල්ම්ස් ලස්සනයිනේ”

“යමු එහෙනම් බලන්න”

එදා අපේ ආදරයේ පලමු ප්‍රකාශිත දවස හැටියට තීන්දු උනේ මම ඉබේටම වගේ ඔයාගෙ අත උඩින් මගේ අත තියපු වෙලාවෙ. අපි අත් පටලවා ගත්තෙ ගොඩාක් ආදරෙන් උනත් මගේ හිතේ ලොකු දෙගිඩියාවක් තිබුන. මම හිතේ ගුලිකරගෙන තිබුන අමිහිරි අතීතයක් මට තිබුන.

“අපි … රෑට කෑමට මොනව හරි අරගෙන…. මගේ ඇනෙක්ස් එකට යමු…… කෑම කාල … මම ඔයාව කාමරේට ඇරලවන්නම්”

මගේ සිතිවිලි හැල්මෙ දුවන්න ගත්තත් ඒ බවක් පෙන්නුවේ නෑ. කොහොම උනත් මගේ හිතේ තියෙන බර හෑල්ලු කරගන්න හොඳ අවස්ථාවක් කියල හිතල, මම ඔයාගෙ යෝජනාවට එකඟ උනා.

ඔයාගෙ ඇනෙක්ස් එකේ ඔයා තනියම හිටියත්, හරිම පිරිසිඳුවටත් පිලිවෙලකටත් තිබුන මම දැක්ක. ඔයා ලස්සනට පිලිවෙලකට දාල තිබුන ඇඳ ඇතිරිලි මගේ සිත් ගත්ත. මට ඉබේටම වගේ ඒ ඇදේ ඉඳ ගැනුන.

ඔයා මගේ ලඟින්ම ඉඳගෙන.

මට ඔයාගෙ සුවඳ දැනෙන්න ගත්ත.

එදා මම ඔයාට මගේ කතාව කියන්න ගත්තෙ ඔයා ගන්න ඕනම තීරණයකට කැමති වෙනව කියල හිතා ගෙනමයි.

මම වැඩිවිය පැමිණිලා වැඩි කාලයක් උනේ නෑ, මගේම ඥාති සොහොයුරෙක් අතින් මම ගෑනියක් උනා. ඒ කථාව මම ඔයාට සහසුද්දියෙන්ම අකුරක් නෑර එදා කිව්ව.

“මට ඔයාට පිලිගන්නන්න කන්‍යා භාවයක් නෑ…. ඒක ඔයාට පස්සට ප්‍රස්නයක් වේවි. මම ජීවිතේට බඳින්නෙ නෑ අයියෙ.... මම ඔයාටත් ….ඔයාගෙ ගතිගුණ වලටත් …. ගොඩක් ආදරෙයි. මට බෑ ඔයාව අමාරුවේ දාන්න….. මම ඔයා ලඟට එන්නෙ ගොඩාක් ආදරෙන් ...ඒත් ...මට ඔයාව බඳින්න බෑ”

ඇයි අයියෙ ඔයා ඒ වෙලේ මාව එලවාගත්තෙ නැත්තෙ. ඒ වෙනුවට ඔයා වචනයක්වත් කතා නොකර මාව තුරුලු කරගත්ත. අපි අපේම ලෝකයක තනිඋනා. මම අදටත් ඒ ගැන තුන් හිතකින්වත් පසුතැවිලි වෙන්නේ නෑ. ඔයා එදා මට දුන්න ජීවිතේ අමතක කරන්න බෑ.

අපිට අපේම කැදැල්ලක් හදාගන්න වැඩිකලක් ගියේ නෑ. අපේ ජීවිතේ ලස්සනම කාලය අපි ඒ විදියට ගත කලා. අපේ සම්බන්ධය කිසිම කෙනෙකුට රහසක් වෙලා තිබුනෙ නෑ. අපි එකම පුද්ගලික රෝහලේ වැඩ කලත් අපේ රාජකාරි වලටවත් කිසිම බලපෑමක් නැතුව අපි අපේම ලෝකෙක සැරිසැරුව.

අපි විවාහය ගැන කථා කලේම නෑ නේද. අපි ජීවත් වුනේ නගරයේ නිසා කිසිම කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනෙත් නෑ. අහම්බෙන් යහලුවෙක්

“කවදද අපි කේක් කන්නෙ” කියා විහිලුවට ඇසුවත්,

“එක්කො ඔන්න ඔහේ විනෝදෙන් හිටපං” කියන්න තරම් ඒ අය නිහතමානී උනා.

අපි අපේ පුද්ගලික ලෝකයේ ප්‍රශ්න දැන හඳුනාගෙන, ඒවාට සාර්ථකව මුහුන දෙමින් සිටියා නේද. අපි දෙන්නාටම කිසිම අග හිගයක් තිබුනෙත් නෑ. ඒ අතරම මට රාජකාරිය ඉදිරියේ මුහුණ දීමට සිදුවූ සියලුම බාධක ඔයා සාවධානව අසා අවවාද දුන්නා. මම ඒ හැම අවස්ථාවකම ජයගත්තේ ඔයාගෙත් සහයෝහය ඇතිව.

දිනපතාම මට ගැටෙන්නට සිදුවී තිබුනේ විශාල ධනස්කන්දයක් හිමි උගත් දොස්තරවරුන් සමග. එතනදී ඔයා ආදරයෙන් රැක බලාගත් මගේ රූපය, තරුණ විශේෂඥ දොස්තරවරුන්ගේ බැල්මට ගොදුරු වුනත්, ඔවුන්ගේ බුද්ධිය හා සමාජ සාර ධර්ම ඉදිරියේ මට ඔවුන් මගහැරීම කිසිදිනක ප්‍රශ්නයක් උනේ නෑ. ඒ හැම සිදුවීමක්ම ඔයත් දැනගෙන හිටියා. අපි බොහෝ විට ඒවා දෙස උපහාසාත්මකව බලා අහිංසක වින්දනයක් ලැබුවා. කිසිම අවස්ථාවක සමාජය අපට කුරිරු වුනේ නෑ.

ඒ අතර සිටි මහලු මහාචාර්යවරයා දිනපතා රෝගීන් බලන්නට ආවත්, එයාටම පුරුදු මැදිවියේ සාත්තු සේවිකාවක් සිටි නිසා, ඒ රාජකාරිය කිසි දිනෙක මට පැවරුනේ නැතත්, එක් දිනක් ඇය නොසිටියෙන් තාවකාලිකව මට පැවරුනා. ඔහු ඉතාමත්ම මහලු අවුරුදු හැත්තෑපහක පලපුරුදු ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය වරයෙක් ලෙස ඉතා විශාල ප්‍රසිද්ධියට පත් කෙනෙක්. එයාටම වෙන්වෙලා හිටි සාත්තු සේවිකාව අස්වෙලා ගිය බවක් මා දැනගත්තේ දිගටම එම රාජකාරිය මට කරන ලෙස කලමනාකාරිත්වය උපදෙස් දුන් විටයි.

මහාචාර්යවරයා ඉතාමත්ම නිහතමානීව හා ශීලාචාරව මා ඉදිරියේ හැසිරුනේ අනිකුත් තරුණ වෛද්‍ය වරුන්ට පවා ආදර්ශයක් දෙමින්. අසීමිත නිදහසක් තුල රාජකාරිය අතරවාරයේ ඔහු මා සමග දොඩමලු උනේ බොහෝ විට කඳුලු පිරි දෙනෙතින්. ඒ තරම් සම්පත් තිබියදීත් ඔහු සිටියේ ඉතාම වේදනාකාරී පරිසරයක. හැම දිනකම අප  අතර සිදුවූ සියලුම කතා බහ මම ඔබ ඉදිරියේ පවසා සිටියත් ඒ කිසිවකටත් අදහසක් පැවසීම ඔබ මග හැරියා මතක ඇති.

මේ අතරවාරයේ අනපේක්ශිත අයුරින් අපගේ පලමු දරුවා මා කුස පිළිසිඳගත්තා. කිසිදිනක පිරිමියක සමග දීග නොයාමට සිතාසිටි මට එම තීරණය වෙනස් කිරීමට සිදු උනේ ඔයාගෙත් බලවත් ඉල්ලීම පිට. දරුවා නැතිකර සුපුරුදු ජීවිතයට නැවත අවතීර්ණ වීම අප දෙදෙනාම ප්‍රතික්ශේප කල නිසා. අපි නීත්‍යානුකූල විවාහයකට දරුවා වෙනුවෙන් ඇතුලත් වුනා. එය අප දෙදෙනාටම ප්‍රීතිමත් අවස්ථාවක් වුනා.

මගේ අමිහිරි මතකයන් මේ වෙනකොට කුඩු පට්ටම් වී මතකයෙන් ගිලිහී ගොස් තිබුනා. එහි ගෞරවය මා ඔබට කෘතඥ පූර්වකව පුදකරනවා.

මා කිසිවිටෙක වයෝවෘද්ධ මහාචාර්යවරයාට පෙම් කලේ නැතත් විශාල ගෞරවයකින් කටයුතු කලේ ඔබගේත් අනුමැතිය ඇතිව, මා දරුවකු කුස දරා සිටි අවධියේ ඔහු විසින් පියෙකු ලෙස අප වෙත දිගු කල නොමසුරු උපකාර නිසා බැව් ඔබ හොඳින් වටහාගෙන සිටියා නේද?

වැඩිකල් නොගොස් ඔයා නිතර මා සමග අඬ දබර කර ගැනීම පටන්ගත්තේ මහාචාර්යවරයා පිළිබඳව ඔබ තුල හටගත් සැකය හේතුවෙන්. ඔයාට මතක ඇති ඔයා මට ශාරීරිකව පහර දුන් පලවෙනි දිනය. ඒ වෙනකොට මා සමග කිසිම අයුරකින් එතුමා සම්බන්ධවී තිබුනේ නෑ. එතුමා මට අනුකම්පා කරමින් උදව් කලා පමණයි. කොතරම් කරුණු පහදා දුන්නත් ඔයා ඒවා ගනන් ගත්තේ නෑ.

ගැහැණියක් හැටියට මම අන්ත අසරණ තත්වයකට ඇදවැටුනා. කිසිම පිළිසරණක් නොමැතිව මම දස අතේ කල්පනා කරා. එක පැත්තකින් ඔයාගෙන් මට එල්ලවෙන චෝදනා. අනෙක් පැත්තෙන් පුතා. ඒ අතරතුර ඔයා මගෙන් වෙන්වෙන්න ගත් තීරණය.

අපේ ජීවිත අතරට තවත් ජීවිතයක් ඇවිත් තිබුන නිසා මට විශාල වගකීමක් ගන්න සිදු උනා. මගේ අමිහිරි අතීතයත් මේ වෙනකොට ඔයාගෙ හිතේ හොල්මන් කල විත්තිය මට හොඳටම තේරුනා.

මම දරුවෙකුත් එක්ක අන්ත අසරණ තත්වයකයට ඇද වැටුනා. පියෙක් වගේ මට අවවාද කල ඒ මහාචාර්යවරයාට අපේ විරසකය රහසක් උනේ නෑ. අග හිගකම් මධ්‍යයේ මට එතුමාගෙ උදවු ප්‍රතික්ෂේප කරන්න බැරිඋනා.

මට මේ වෙනකොට තේරිලා තිබුනත් විශාල විනාශයක් අත ලඟ විත්තිය, එය වලක්වාගන්නට නොහැකි උනේ විකල්පය ඊටත් වඩා භයානක යැයි  මට ඒ වෙනකොට හැඟීගොස් තිබුන නිසයි.

මහාචාර්යවරයාගේ බිරිඳත් එකම දියණියත් ජීවත් වූයේ ඇමරිකාවේ බව අප කවුරුත් දැනගෙන සිටියා. මම පුද්ගලිකව දැන ගෙන සිටියත් එතුමා විශාල මන්දිරයක තනිවම ජීවත්වන බව, කිසිදිනක ඒ සම්බන්ධව කිසිම සඳහනක් මා ඉදිරියේ ඔහු පවසා තිබුනේ නෑ.

ඔයා අප ඉතාමත්ම ආදරයෙන් ජීවත් වූ කුලී නිවසින් පිටවී ගිය බවත් ඒ අසලම වෙනත් නිවසකට ගිය බවත් එතුමා දැනගෙන තිබුනා.

“ඔයා දැං ඉන්න ගෙදරට කීයක් කුලිය ගෙවනවද?”

“විස්සක් ගෙවනව …. සර්”

“එතකොට …. එයා කොහෙද ඉන්නෙ”

“ඒ ලඟම …. ගෙදරක සර්”

“මම දන්නව ඔයාගෙ පඩියෙන් දරුවත් බලාගෙන ගෙවල් කුලියත් ගෙවාගෙන ඉන්න බෑ කියල….. මට පුලුවන් ඔයාට උදව් කරන්න….. ඒත් දෙන්න එක ලඟ ගෙවල් දෙකක … විරසකයක් එක්ක ජීවත්වෙන එක නම් …. හොඳ නෑ….. නේද”

“මට තේරෙනව සර් …., ඒත් …. මම මොනව කරන්නද?”

“ඔයා වෙන ගෙයක් කුලියට අරගෙන යන්න”

“මම ඒකට ….ඉතුරුකරපු මුදලක් නෑ සර්….. ඔබතුමාට පින්සිද්ධ වෙන්න තමයි දැනටත් ගෙදර හැම දෙයක්ම…., දරුවගේ කිරිපිටි පවා ගන්නෙ”

“ඔය ලමය ඒ ගැන හිත කලබල කරගන්න එපා…. ඔයා දන්නවනේ මගේ ආදායම…. අනික මම කාට වියදම් කරන්නද….. මටත් කාත් කවුරුත් නැති ගානයි නේ…… හරි…...මම ඔයාට මෙහෙම දෙයක් කරන්නම්….. මම ලඟදිම ලෙඩ්ඩු බලන එකත් නවත්තනව…. මම ඇමරිකාවට යන්නත් ඕන දුව බලන්න …… එයාල දැං එහේ ජීවිතවලට හැඩගැහිල ඉන්නෙ….. කවදාවත් ලංකාවට එන්නෙ නෑ නිවාඩුවකට ආවොත් මිසක්…..ඔයා ඇවිත් මගේ ගෙදර නවතින්න දරුවත් එක්ක….. තව මාම කෙනෙකුත් ඇවිල්ල ඉන්නව කිව්ව නේ…. එයත් එක්ක එන්න…. මගේ ගේ දොර බලාගෙන ඉන්න… මම ඒකටත් එක්ක ඔයාට සෑහෙන අමතර මුදලක් දෙන්නම්….. මම ලඟදි මාස කීපයකට ඇමරිකාවට යනව. ඔයා කැමතිනම් හෙට උනත් ඇවිල්ල නවතින්න….. කල්පනා කරල තීරණයක් ගන්න”

මගේ ඔලුව හතර අතේ දුවන්න ගත්ත. වෙන විකල්පයක් ගැන හිතන හැම වෙලේම මට හිතුනෙ ජීවත් වෙන්න නම්, ඔයා ගොඩාක් ආදරේ කරපු මගේ සිරුර විකුණන එක විතරයි කියලයි. කොතන ගියත් ඒකට තියෙන ඉල්ලුම මම තේරුම් අරගෙන හිටියත් මට මගේ කුඩා කල සිදුවුන ඒ අමිහිරි සිදුවීමත්, ඉන්පසු ඒ කැලල ඔයා ඉදිරියේ මැකීගිය හැටිත් මතක් උනා. මගේ ජීවිතේ අලුත් පැතිකඩක් මට කියාදුන්නෙ ඔයා. මම ඔයා වෙනුවෙන් ජරා ජීවිතයකට නොයන්නත් ඔයාගෙ ලේ වලින් හැදුනු දරුකැටිය වෙනුවෙන් එතුමාගෙ අවංක උදව් ලබාගන්නත් හිත හදාගත්ත.

පහුවදාම මම මගේ තීරණය එතුමාට දැන්නුවා. එදා මම එතුමාගෙ ඉල්ලීම පිට ඒ මහා මන්දිරය බලන්න ගියේ එම නිවසෙහිම ඇනෙක්සිය බාර ගැනීමේ අදහසින්. හැකි ඉක්මනින් මම මගෙ දරුවත් මාමත් එක්ක එන බව පවසා පෙරලා ගෙදරට ආවත් මගේ හිත මොකද්දෝ සැකයකින් පිරිලා තිබුනා. මේ තීරණය අවසාන විසඳුම නොවන බවක් මට හැඟී ගියා. අවසාන විසඳුම නීතියෙන් වෙන්වීම නොවන බවත් මට වැටහී තිබුනා.

මම තෙහෙට්ටුවට හාන්සි උනත් නින්ද අහලකවත් තිබුනේ නෑ. ඔයා දරුව භාරගන්නවානම් මට තනියම ජීවත්වෙන්න පුලුවන් වේවි. මම දන්නව ඔයා මගේ මේ තීරණයටත් අකමැති විත්තිය. මොන පිරිමියද කැමති තමන්ගෙ ගෑනි වෙන මිනිහෙක්ගෙ වහල යටට යනවට.

අනික ඔයා එතුමව අවිස්වාස කරන එකේ ඒ බව දැනගත්ත ගමන් ආවේශ වෙනව. මගේ හිත කියනව ඔයා ඉක්මනටම මේකට විසදුමක් දේවි කියල. මම ඔයාට කකුල් දෙක ලඟ දනගහල වැඳල කියන්නම් මගෙත් මහාචාර්යවරයා අතරත් කිසිම ශාරීරික සම්බන්ධතා වයක් නැති විත්තිය. මාව විශ්වාස කරල අපි ආයෙත් අපේ කැඳල්ල හදාගමු.

මම පියවි සිහියට ආවෙ ඔයාගෙ අඩි සද්දෙට. ඒ වෙලාවෙත් මට හිතුන ඔය එන්නෙ මගේ කුමාරය මාව බේරගන්න කියල.

ඇත්තටම ඔයා මාව බේරගත්ත නේද?

මේ ටික ඔයාට ඇහුනෙ නැතත් මම දන්නව ඔයාට දැනෙන විත්තිය. දැන් මගේ හිත හෑල්ලුයි. මගේ හිත මගේ ගතින් ඔයා එක පිහි පාරකින් වෙන් කලත් තවමත් මගේ හිත ඔයා ලඟ. ඒත් දැන් මට වෙන්වෙන්න කාලය ඇවිත්. මේ සංසාර ගමනේ එක් අම්බලමක් පමණයි. මම ඊලඟ අම්බලමට යායුතුයි. එතනදිත් මට ඔයා මුණගැහේවි.

යෞවනයේ ගිලිහී ගිය මගේ ජීවිතය මට ලබාදී මාව කලක් ආදරෙන් බලාගත් ඔයාටත් ඔයාගෙම ලෙයින් උපන් අපේ කිරි කැටියටත් බුදු සරණයි.

පසුව ලියමි: සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුනද මෙය මගේ මනසේ උපන් සිතුවමකි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget