සායි බාබා සහ පුංචි සුරංගනාවි

සායි බාබා සහ පුංචි සුරංගනාවි

වසර: 1984
ස්ථානය: බෲනායි රාජ්‍යය

“කමල් …. මේ සෙනසුරාදා අපේ ගෙදර සායි බාබා ස්තෝත්‍ර ගායනයක් තියෙනව. මම දන්නව ඔයා මේ වගේ දේවල් අනුමත කරන්නෙ නෑ කියල. නිකමට ඇවිල්ල බලන්න….. ඔයාගෙ ප්‍රස්න වලටත්….. “

ග්‍රැන්විල් දිගටම දුරකථනයෙන් කියාගෙන යනව, මම අහගෙන ඉන්නෙ; ඉන්ඩකෝ චුට්ටක්…. ඔයා කියවලා ඉවර කරන්නකෝ….. මම දෙන්නං ඇට්ටි හැලෙන්න කියල කට මැදගෙන උන්නත්, ග්‍රැන්විල් වගේ කෙනෙකුට මූනට කිසිම දෙයක් කියන්න තරම් මගේ හිත මට ඉඩ දුන්නෙ නෑ.

ග්‍රැන්විල් ඒ රටේ කාටත් උදව් කරගෙන හිටපු මහත්මා ගතිගුන තිබුන හොඳ සිංහල බෞද්ධයෙක් හැටියට ප්‍රචලිත චරිතයක්.

“හරි ග්‍රැන්විල්…. මම එන්න බලන්නම්….”

මම එහෙම කිව්වෙ පොඩි කොන්දේසියකුත් දාන ගමන්.

“හැබැයි එදාට මට කිසිම රූපෙකට වඳින්නවත්, ඔයාලගෙ යාඥා වලට සහභාගී වෙන්නවත් බලකරන්න නම් එපා”

ඔය වකවානුව වෙනකොට මම ලංකාවෙන් ටිකක් වහුං වෙලා වගේ හිටියෙ මම නොකල වරදකට පැය හතරක් සීඅයිඩියෙන් ප්‍රස්න කරල තිබුන නිසා. රැකියාවක් නැතුව බෲනායි ගිහිල්ල තරමක් අතරමං වෙලා හිටියෙ.

ඒ මදිවට මගේ ලඟ වැඩකරපු කොල්ලෝ තලවකැලේ වත්තක ලයිමකට දුවන්න ගැහුවෙ එකෙක් මට කුණුහරුපයක් කිව්ව කියල. ගාල්ලෙ කොල්ලො දෙන්නයි ලයිමෙ ඔක්කොමයි. අපේ දෙන්නව මට නවත්ත ගන්නම බැරුව ගියා. ප්‍රස්න ගොඩක මම පැටලුනා. රට පැන්න.

ග්‍රැන්විල් මට ගොඩක් උදව් කරන්න මහන්සි ගත්තත් වැඩක් උනේ නෑ. ඒත් එයා ගත්ත මහන්සියට ගරු කිරීමක් හැටියට මම ගියා. හැතැක්ම හැටක් යන්න ඕන. ඒ දවස්වල හයිවේ නෑ. පෙට්‍රල් කුණු ලාබ නිසාත් තරුණ ජවය ඉහටත් උඩිං තිබුන කාලයක් නිසාත් පැකිලීමක් නැතුව ගියේ කොහොම උනත් විස්කි පාරකුත් වැඩකරාවි නේ කියන බලාපොරොත්තුවත් ඇතුව. ග්‍රැන්විල්ට බෝනික්කියක් වගේ ලස්සන දුවෙකුත් හැඩකාර පුතෙකුත් හිටියත් ඒ දෙන්නම ඇමරිකාවෙ ඉගෙන ගත්තෙ. නිවාඩුවට බෲනායි එනව.

මේ වෙනකොට මගේ වැඩපොලේ ටයිම් කීපර් හැටියට වැඩ කලේ සායි බාබා ජීවත්වුන මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ශිර්දි කියන කුඩා ගම්මානයේම කෙනෙක්. මම චුට්ටක් මිනිහත් එක්ක සායි බාබා ගැන දොඩමලූ උනා.

“උඹ සායි බාබා ගැන මොනවද හිතන්නෙ”

මම ප්‍රශ්නාර්ථයක් දැම්මෙ ප්‍රතිචාරය මොනව උනත් අහගෙන ඉන්නව කියල හිතාගෙන.

“සර්, සායි බාබ කියන්නෙ ඉන්දියාවට බිහිවෙච්ච අග්‍රගන්‍ය මැජික් කාරයෙක්…. මගේ ගෙවල් වලට බොහොම කිට්ටුයි….. ඒත් ගමේ මිනිස්සු නම් ඒ හැටි පැහැදීමක් නෑ මිනිහ ගැන…… පුදුම සල්ලියක් මිනිහට එකතු වෙන්නෙ”

මිනිහ කියවගෙන කියවගෙන යනව තොරතෝංචියක් නැතුවම.

“මම සර්ට ලස්සන කථාවක් කියන්නම්…. අපේ ගමේ හිටිය ප්‍රසිද්ධ මැජික් කාරයෙක්. එයා කීප දවසක් සායි බාබාව පුදිගලිකව මුනගැහෙන්න ගියා. ආරක්ශකයො මිනිහව අඳුනගත්ත ගමන් එලෙව්ව…. දවසක් අවුරුදු 18 ක විතර පොඩි කොල්ලෙක් සායි බාබාව මුන ගැහෙන්න අවසර ඉල්ලුව. සායි බාබ ඉඩදුන්න. සෙනග සිය ගානක් ඉස්සරහ සායි බාබ අහසට අත දික්කරල අර ලමයට ශුද්ධ වූ අළු දුන්න. වමතින් අළු ගත්ත පොඩි එකා දකුනත අහසට ඔසවලා සායි බාබාට ශුද්ධ වූ අලු විතරක් නෙමෙයි ටොෆිත් දුන්න… කලබල වුන ආරක්ෂකයො අර ලමයව ඇදගෙන ගියා. පස්සෙ තමයි දන්නෙ මේ අර ප්‍රසිද්ධ මැජික් කාරයගෙ පුතා කියල…”

මම ග්‍රැන්විල්ගෙ ගෙදර යනකොට සාලෙ පහලොවක් විතර ලංකාවෙත් ඉන්දියාවෙත් ගෑණු පිරිමි එකතුවෙලා හිටිය. ඒ අතරින් මම දැක්ක පොඩි මේසයක් උඩ බුද්ධ රූපයක් තියෙනව. ඒත් සායි බාබාගෙ රූපෙට මල්මාලාවකුත් දාල බුදුන්ගෙ රූපෙටත් උඩින් තියෙනව දැක්කම මට ඒ වෙලාවෙම එලියට බහින්න හිතුනෙ මම උග්‍ර බෞද්ධාගමිකයෙක් නිසා නම් නෙමෙයි. කොහොම උනත් මේ කතන්දරේ අධ්‍යයනය කරන අදහසින් මම ඉවසුවා.

කියාපු වෙලාවට වැඩේ පටන්ගත්ත. ස්තෝත්‍ර මොනව උනත් පට්ට හින්දි සිංදු අහගෙන ඉන්නව වගේ දැනෙනව. ඇත්තටම හිත ඇදිල යනව. මට හිතුන සායි බාබා කියන මැජික් කාරයට අමතරව එයා හොඳ සංගීත කාරයෙක් කියල. මම එලියට බැස්සෙ ග්‍රැන්විල්ට ස්තූති කරගෙන ලස්සන සිංදු ටිකක් අහන්න ඉඩ සැලැස්සුවට. කුස්සියෙ රාක්කෙක තිබුන විස්කි බෝතලේ කාලකට විතර හීං සීරුවෙ වග කියල තිබුනත්, මට ඒකට ස්තූති කරන්න බැරි වුනා.

කාලය ගෙවීගියේ හැතැක්ම හැටක් විතර දුරකින් තනියම ජීවත් උන මගේ ජීවිතය චීන යාලුවොත් එක්ක අපූරුවට සංකලනය වෙමින්. සායි බාබාත්, ග්‍රැන්විල් කියන උසස් ගතිගුණ තිබුන වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයවත්, මගේ හිතෙන් ඈත්වෙලා තිබුන අවස්ථාවක වෙනත් ශ්‍රී ලාංකිකයෙකුගේ මාර්ගයෙන් නරක ආරංචියක් කනට වැටුනේ මාව පුදුමයටත් දුකටත් පත්කරමින්.

“ඔයා දන්නවද වැඩක්…. ග්‍රැන්විල්ගෙ දුව ලෙඩවෙලා. ඉනෙන් පහල පනනැතිවෙලා. හෙට එනව”

අර බෝනික්කියක් වගේ හිටපු ලස්සනම කෙල්ල. මටත් ඒ වගේ දුවක් ඇත්නම් කියල මටම හිතුන පැටික්කි….. පඩත්තල දෙයියො….. දීල ආපහු ගන්නව….. මූ දෙවියෙක්ද? හතර අතේම ඉන්න දෙවියන්ට තිත්ත කුණුහරුප කියන්න ගත්ත.

ඇයි හත් ඉලව්වෙ මම මේ චන්ඩි පාට් දාන්නෙ අනුන්ගෙ දරුවෙක් ඇපේට තියල නේද කියල හිතුන නිසා; අනේ දෙයියනේ ඒ දරුවව හොඳ කරල දෙන්න කියල ප්‍රාර්ථනා කලා. මේ ලෝකෙ වැඩ ඉන්න සියලුම දෙවි දේවතාවන්ට පිංසෙන්ඩු වෙන්න ගත්ත…. ඇමරිකාවෙ නේ ඉන්නෙ කියල හිත හදා ගත්ත…. ලෝකෙන් හොඳම සෞඛ්‍ය සේවය…. උං කොහොම හරි හොඳ කරාවි.

පහුවදා ගුවන්තොටුපොලට ගියේ ග්‍රැන්විල් එක්ක දුක බෙදාගන්න.

“ඉතිං ඇයි මේ දරුවව මෙහාට ගෙන්නන්නෙ”

“නෑ කමල් එහේ මෙයාව ඔපරේට් කරන්න ඕන කිව්ව. අපි ඉක්මනටම දරුවව ඉන්දියාවට ගෙනියනව සායි බාබාට පෙන්නල ආශිර්වාද ගන්න”

වයසෙ පරතරේත් ග්‍රැන්විල්ට තිබුන ගෞරවයත් මාව නිහඬ කලා.

“යකෝ තෝ වගේ මරි මෝල් ගස් බල්ලෙක්”

මගේ හිත මුළු ගුවන්තොටුපොලම දෙදරවන්න කෑ ගැහුව මට ඇහුන. ඒ සුරංගනාවි රෝද පුටුවක එලියට එනව දැකපු මගේ පපුව හිරවෙලා ඇස් දෙකෙන් කඳුළු කඩා වැටුන…. මම දැක්කෙ මගේම දුව එනව වගේ. ආයෙත් කුණුහරුප…. සියලු දෙවි දේවතාවන්ට…. සායි බාබාට….. ලෝකෙ මවාපු සර්ව බලධාරී පාදඩ බල්ල…. ඒත් ටික වෙලාවයි. අයෙත් මම දරුව වෙනුවෙන් ඇඹරුනා….. ගොඩ එන්න ඕන උනාම දෙයියන්ට නෙමෙයි ඕන එකෙකුට වඳින්න පුලුවන්…. කතරගමට බාරෙකුත් උනා…. ලංකාවට ආපු ගමන් කතරගම යනව.

දවසකට නැත්නම් දෙකකට වැඩිය ග්‍රැන්විල්ල හිටියෙ නෑ. කෙලින්ම කූටපතියට ගියා. එදත් මම ගුවන්තොටුපලට ගියා. රෝද පුටුවෙ හිටිය දුවගෙ ඔලුවට අත තියල ඉක්මනට සුව වෙලා ආපහු එනකොට ඇවිදගෙන එන්න කියල මහ හයියෙන් කිව්වෙ දෙවියන්ටත් ඇහෙන්න. ලේසියෙන් කඳුලු එන්නෙ නැති මගේ ඇස් දෙක….. මටම නවත්තගන්න බැරුව ගියා.

සුමානෙකට විතර පස්සෙ එයාල ආපහු ආව. රෝද පුටුවෙන් ගිය සුරංගනාවි ඇවිදගෙන ආව. සායි බාබා ආශිර්වාද කරපු ගමන් ඇවිදින්න පටන් අරගෙන. ඇමරිකාවෙ සුද්දො…. අපරාදෙ ඔපරේට් කලානම්. එදා අපි ඔක්කොම බිව්ව…. හොඳටම බිව්ව…. ආපහු යන්න තියෙන හැතැක්ම හැට…. ඕවත් වැඩද…. සුරංගනාවි ඇවිදිනව. ….. ඉන්දියාව පැත්තට වැන්ද….. එදා දන්න විදියට මමත් ස්තෝත්‍ර කිව්ව…… මාර ගති… වික්ටර් රත්නායක වෙනුවට සායි බාබා…. ගුන ගායනා කරන්න සායි බාබාට කවි ලියන්න ඕන. වික්ටර් අමු අමුවෙ මරල දාල ස්තෝත්‍ර මුමුනන්න ගත්ත...

දිව්‍ය විමානේ…. වැඩවසනා….. අපේ මැවුම්කරු… අපේ එකම පැතුම…. සත්‍ය ශ්‍රී ….. විරාජමාන…. අති උත්තම…..

මේක නම් ආශ්චර්ය යක්. ජීවිතේට හිතට එන්නෙ නැති පදවැල්…. වචන… ඉන්දියාවටම වැන්ද.

“You bloody asshole. What you said about him is totally false. That girl went to Sai Baaba in a wheelchair…. Came back walking”

ඌ අහිංසක සාවඥ හිනාවක් දැම්ම. උගේ හොම්බට දෙකක් අනින්න හිතුන.

සුරංගනාවි ඇමරිකාවෙ ගියා එයාගෙ ඉගෙන ගැනීම් කටයුතු වලට. මම ලාවට සායි බාබා වාදියෙක් උනා.

කථාව මෙතනින් ඉවරකරන්න සර්වබලධාරී දෙවියො ඉඩ දුන්නෙ නෑ.

“කමල්…. හදිස්සියෙම ග්‍රැන්විල් ඇමරිකාවට ගියා”

“ ඒ මොකද”

“දුවට අමාරුවෙලා….. හදිසි ශල්‍යකර්මයක් කරන්න වෙලා”

ලෝකෙ කැරකෙනව කියල හරියටම දැනගත්තෙ ඒ වෙලාවෙ.

පහුවදා කනට මිහිරිම ආරංචිය ආව. ඔපරේෂන් එකට පරක්කු වැඩියි කියල දොස්තරල කිව්වත්, කොහොම හරි වැඩේ ගොඩ දාල. දොස්තරලත් එක්ක සායි බාබාත් එකතු වෙලා. කොහොම උනත් වැඩේ ගොඩ. ග්‍රැන්විල් එනවලු නෝනවත් එක්කගෙන යන්න. කොහොම උනත් අම්ම යන්නම ඕන.

සර්වබල දෙයියො මෙතනින් කථාව නවත්තන්න ඉඩ දෙන්නෙත් නෑ. දෙයියො පඩත්තල බල්ලෙක්..

ස්ථානය: ටෝකියෝ ගුවන් තොටුපොල

ප්‍රීතියත් ජයග්‍රහනයත් එකම දරුවාගේ ජීවිතයත් මතකයට…. ග්‍රැන්විල් ඊලඟ ගුවන් ගමනට සිංගප්පූරුව බලා යන්න නොඉවසිලිමත්ව ඉන්නව. සිංගප්පූරුවෙන් බෲනායි රාජ්‍යයට. දුවගෙත් පුතාගෙත් කුඩාකල හුරතල් එකින් එක මතකයට…. දෙවියන්ට ස්තූති වේවා. ඕම් ශ්‍රී සත්‍ය සායි බාබා….

තොරතෝංචියක් නැති නිවේදන ජපන් භාෂාවෙන් ඇහුනත් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ……. ඉංග්‍රීසියෙන් කියන එකත් තේරුම් ගන්න ජපන් භාෂාව යන්තමට හරි ඉගෙනගෙන ඉන්න වෙනව. මොන ජපන්ද….. තව පැය දෙකක් මෙහෙමම ඉන්න වෙනව…. කමක් නෑ එකම කෙල්ල දැන් ඉතින් අවුලක් නෑ…..

වෙනමම ලෝකයක ඉන්න ග්‍රැන්විල්‍ට කවුදෝ යාන්තමට ග්‍රැන්විල් ඩි සිල්ව කියනව ඇහෙනකොට තමයි එයා පියවි ලෝකෙට ආවෙ. දිගටම ඇහෙනව.

“Mr. Granville De Silva please report to the Singapore Airline counter”

බුකින් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති….. මෙච්චර ලොකු ප්‍රශ්නයක් හොඳින්ම කෙලවර වෙච්ච එකේ ඕකත් මොකද්ද.

“Mr. Granville I am deeply sorry to inform you that there is a message from New York. Your daughter has to undergo an urgent operation and you have to get back to NY”

ග්‍රැන්විල් නිව් යෝක් වලට යනකොටත් අපේ පුංචි සුරංගනාවි අපිව දාල ගිහිල්ල.

පසුව ලියමි: මේ දිනවල බුකියෙ “දෙව් සුව සේවය” කියල පෝස්ට් එකක් යනව දැකල මට මේක ලියන්න හිතුන. මොන මල යක්ශයෙක්ගෙ පිහිටාධාරයෙන් හරි බීරොන්ට කන් ඇහෙනවනම්, අන්ධයන්ට පෙනුම ලැබෙනවනම් එච්චරනේ ඕන. මට තියෙන භය මේව බලල ආණ්ඩුව රජයේ රෝහල් වැහුවොත් කියන එකයි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget