තිත්ත ඇත්ත......

මෙතෙක් නොකී කථා නොහොත් තිත්ත ඇත්ත...

“මචං… අරූ ගානට වැඩියි…” ගප්පියා කියාගෙන යන්නේ කේන්තියෙන්…. කටහඬ වෙවුලනකොට අපි දන්නව ඌට නප්පියටම තදවෙලා කියල…. ඌ කොහොමටත් කලබල කාරයනේ කථා කරන්න ගියාමත් දිව පටලගන්නෙ හරියට අඟුරු කෝච්චිය කඩුගන්නාවෙ කන්ද අදිනකොට රෝද ලිස්සනව වගේ.  

“මේ සැරේ නං චන්දෙ පිටිං දාල ඕකට නෙලමු..” හතර රියං ...සූරි…. බඩට කලිසම උස්සන ගමන් කියනකොට මට තේරුනා වැඩේ කොහොම උනත් සිරා කියල… සූරියා ගිනි ගෙන දැවුනත් අපේ සූරි සීතලයා... හීන් නූලට ලතාවකට වැඩ.... ඒ වකවානුව එක්තරා අන්දමක ලොකු පුටුවල ඒකාධිකාරියක් තිබුන වග ඕනම කෙනෙක් දැනගෙන හිටිය… ඒ ඒකාධිකාරිය යන්තමට හරි මෙල්ල උනේ පරිපාලනේ ඒ ගැන හොඳ අවබෝධයකින් හිටිය නිසාය කිව්වොත් ඒක නිවැරදියි.

“ප්‍රශ්නයක් නෑ… දෙමු වැඩේ... “ ඕනම ගේමකට රෙඩි පිට ඉන්න මම කිව්වත්, මගේ හිතේ කොනක චූටි සැකයක් තිබුන මේක කෙරෙන වැඩක් නෙමෙයි කියල… යකෝ ඌ ආයතනයේ දෙවෙනිය.. ගහනවනං නින්ජා…. නැත්නම් ජොබ් එකටත් කෙලවෙනව… නින්ජා ගහන්නත් එක්කො හරි ප්ලෑන් එකක් තියෙන්න ඕන…  නැත්නම් තනියම ගහන්න ඕන…. ඒක මගේ අදහස උනත් මම කටක් හෙලෙව්වෙ නෑ…. මම ආයතනයට අලුත් නිසා මෙතනදි ඉබේම මම පොඩි එකා වෙලා.

“කිසිකෙනෙකුට කියන්න එපා… මේක අපි තුන්දෙනා විතරයි… හරිද?..” සූරි ගේම් එකට සීල් තිබ්බෙ ආයෙත් අපිට කඩන්නම බැරි විදිහට. අපි තුන්දෙනා කරපු වැඩක් ඒ වෙනකොට වර්චස් වෙලා තිබුනෙ නෑ.

චන්දෙ ප්‍රථිපල ඇවිල්ල යූ ඇන් පිය දිනලා අත උඩින්ම…. පහුවදාම හිරිගඩු පිපෙන සීතලේ කෝපරෙටිව් හන්දියෙ බඩු තුන සෙට් උනේ වැඩේ කෙරෙන විදිය ප්ලෑන් කරන්න.... දැන් නම් නින්ජ අවුට්…. මාෆියා තමයි ක්‍රමේ.

“උඹ අලුත් එකා… උඹ පොඩි ගාඩ් එකක් දීපං…. අපි උගේ ඔෆීස් කාමරේ ඇතුලට ගිහිල්ල ජේ ආර් ගෙ ෆොටෝ එකක් උගේ කාමරේ ඇතුලෙ ගහමු… ඌ මොනව හරි කිව්වොත්…. නෙලමු…” ගප්පිය කෙටියෙන් ප්ලෑන් එක වමෑරුවෙ වැඩේ සිම්පල් කරන ගමන් මාවත් කුක්ක level එකට දාලා.

“කොරිඩෝවෙ කවුරුවත් නැති වෙලාවක් බලල සෙට් වෙමු… අපි ඇතුලට ගියාට පස්සෙ උඹ කාටවත් එන්න දෙන්න එපා.. උඹ එලියෙං හිටපං..”
සූරිය උගේ ගොරෝසු හඬ අවදි කෙරුවෙ හරියට ගෝඩ්ෆාදර් චිත්‍රපටියෙ මාලන් බ්‍රැන්ඩො, ඩොන් කොර්ලියෝනි චරිතෙට ටීක් බෝල දෙකක් හක්කෙ තියාගෙන කථා කරනව වගේ.

මාෆියාවෙ වගේ ලේ වලින් සහතික උනේ නැතත්, ඔන්න ඉස්සෙල්ලම මේ ප්ලොට් එක එලියට දාන්නෙ මම අවුරුදු හතලිස් ගානකට පස්සෙ අද මගේ withkase.blogspot.com හරහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට මගේ ගමේ ගාල්ලේ සිට.

කථාකරගත්ත විදියටම පහුවදා ජේ ආර් ගෙ ෆොටෝ එකකුත් අරගෙන උන් දෙන්න කාමරේ ඇතුලට රිංගුවෙ දෙවෙනිය එපා කියාවි කියන බලාපොරොත්තුව ඇතුව….. මම එලියෙ ගාඩ් එකේ…. වැඩි වෙලාවක් ගියේ නෑ මුන් දෙන්න එලියට ආවෙ වැඩේ ගැස්සුනා කියාගෙන…. ඌ ආදරෙන් පිලිඅරගෙන ෆොටෝ එක ගහන්නත් උදව් කරලා.

තප්පර ගානක් කොරිඩෝරෙ ඉඳපු මුන් දෙන්න ආපහු ගියේ මේ සැරේ කථා නෑ ගහනවාමයි කියාගෙන…  සූරිගෙන් පාරක් කාල ඒ නාකිය කෙලින් ඉන්නෙ නම් නෑ… හත්ඉලව්වයි… මිනීමැරුමකට හිරේ විලංගුවෙ වැටෙන සයිස් එකක්… කරන්න දෙයක් නෑ… ගාල්ලෙ අපි පස්සට යන්නෙත් නෑ.

දඩ බඩ ගාන සද්දයක් ඇහුන නොනැවතීම විනාඩියක් විතර…. මම හොල්මන් වෙච්ච පාර ඉබේටම දොර ඇරල බලනකොට මුන් දෙන්නා නෙලනව හිටු කියල… නාකිය බොග් බොග් ගානව.

“යකෝ ඕකා මැරෙයි… වරෙල්ල පැනගමු”

තුන්දෙනා තුන් පැත්තකින් අපේ ඔෆීස් වලට ගිහිල්ල පූස් පැටව් වගේ වැඩ... අපි දන්නෙත් නෑ දැක්කෙත් නෑ…. අපි පවු පුරව ගත්තෙත් නෑ… ඒ බව එදවස තතු දන්නෝ කනින් කොනින් කියාපු දේවල් වලින් තහවුරු උනා.

ඕකට ගහපු එක හොඳයි  කියන මතයෙ බහුතරයක් හිටියා.

============

ආයතනයේ අධ්‍යක්ෂකතුමාගෙන් කැඳවීමක්… කිසිම දිනක මූණවත් නොබලපු කොට මොඩල් සුපතල විද්‍යාඥයාගේ කැඳවීම මගෙ කුතුහලය ඇවිස්සුවත් කිසිම මැලිකමක් නැතුවම මම ගියේ ඕනම කථිකාවකට මූණදෙන්න පුලුවන් කඩුවක් හා තාක්ෂණික දැනුමක් ඒ වෙනකොටත් මා සතුව තිබූ නිසයි.

“ Have a seat “

මොකාටද මේ යකා මේ එන්නෙ කියල හිතුනත්, සර් නොකියම, Thank you කියන ගමන්ම, ඉඳගත්තෙ සෑහෙන චකිතයකින්. මගේ ජීවිතේටම මම සර් කියන්නෙ මගේ ගුරු දෙවියො, ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහත්තයටත් අවංක දේශපාලකයකුව සිටි අනිල් මුණසිංහ මහතාටත් විතරමයි.

“I have a big task for you…. I feel that only you can achieve this!”

බටර් ගෝනියයි… “අහුවෙන්න එපා බං ඕකගෙ ගුණ්ඩු වලට…. නිකමටවත් උඹත් එක්ක හිනාවෙලාවත් තියෙනවද…” මගේ හිත මොර දෙනව… මම අහගෙන ඉන්නව.

“Mrs. B…. Is extremely keen on starting an instant tea factory at Ekala…. Only obstacle is that .. we have only one month to convert an existing building to an instant tea factory…. Do you think you can do it…. Whatever resources you need will be at your disposal…!”

අභියෝගයක්… වැඩේ බරපතලකම දන්නෙත් නැතුව උත්තරයක් දෙන්නත් බෑ…

“Yes… on one condition… No red tape…”

පහුවදාම මම ඒකල බලා පිටත් උනේ International Scout ජීප් එකේ පැට්‍රෝල් පුරවපු ගැලුම් 45 බැරල් එකකුත් පටවගෙන.. ආයතනයට අලුතින්ම බැඳුනු…. කඩි කුලප්පුව අන්තෙටම තිබුන ඒත්, ජීවිතේට පස්සට යන්නෙ නැති හොරණ රත්නෙත් එක්ක.

සති තුනෙන් වැඩේ ඉවරයි…. තාම සිමෙන්ති වේලිලත් නෑ… රත්නෙ කෙලිය නේද තාප්පෙට… ලොකු පාඩුවක්… පාවල දෙන්නත් බෑ…. දවසෙන් තාප්පෙත් හැදුව… අලාභය ඇස්තමේන්තු කරන්න නියෝගයක් ආවෙ හෙන ගෙඩියක් පහත් වෙනව වගේ.

භාණ්ඩ වලට හානියක් නැති බවට මම සහතික වෙන අතර වැඩ කුලිය  වෙනුවෙන් ඉතාම අඩු මුදලක් තක්සේරු කර රියදුරෙක් වෙනුවට ඉතාම සුහද මිතුරෙක් ඇති කර ගත්තා.

===========

ආයතනයේ ක්‍රීඩා සමාජය පවත්වාගෙන ගියේ සේවකයන්ගෙන් සැදුම් ලත් චන්දයකින් පත් වූ මඩුල්ලකින්…. ආයතනයේ සේවකයන් අතර ගැංසි දෙකක් තිබුනත් වැඩි බලය හිමිවෙලා තිබුනෙ දක්ශිනාංශික ගැංසියට…. උං ක්ලබ් එකේ රජ කරගෙන හිටියත් වැඩේ තිතටම කෙරුව… ඒක ගැන නම් කාටවත් කිසිම සැකයක් තිබුනෙ නැතත් වමේ පොරවල් ටික තරමක අවුලකින් තමයි හිටියෙ.

හවසට බාර් එකේදි ගැංසි කතන්දර පැත්තකට දාල ශොට් එකට සෙට් උනත් දේශපාලනිකව කට්ටිය හිටියෙ පැති දෙකක….. හැම චන්දයකින්ම ක්‍රීඩා සමාජයේ බලය අල්ලන්නෙ අපේ දක්ශිනාංශික ගැංසිය වීම පරිපාලනයටත් සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබුන අවධියක්.

පරිපාලනේ ලොක්ක වෙලා හිටියෙ මුළු ලංකාවෙම ප්‍රසිද්ධියට පත්වෙලා හිටපු… මහනුවර දළදා මාලිගාවෙ තේවාවටත් බලපෑම් කරන්න පුළුවන්…. හතර රියන්….  වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්…. මොකද්දෝ අද්භූත හේතුවක් නිසා එතුමා අපේ ගැංසියත් එක්ක චූටි ඇරියස් එකක් හදාගෙන හිටියත් ඒක එලිපිට පෙන්නන්න ගියේ නම් නෑ… සක්කරයට උනත් දිගටම කේලම් කියන කොට ඒවා ඇත්ත කියල හිතෙනවත් ඇතිනේ.

එයාගෙ රියැදුරාත් එයා වගේම හතර රියන් පොරක් උනා විතරක්යැ…. මිනිහ තරමක චණ්ඩියෙක් හැටියටත් ප්‍රසිද්ධ වෙලා හිටිය.... ඒ අවුරුද්දෙ ක්ලබ් නයිට් එකට මෑනුත් ඇවිල්ල හිටියත් …. එයාගෙ හැසිරීම කවදාවත් නැතුව ටිකෙන් ටික වෙනස් වෙලා අන්තිමට කාටත් එපා වෙන ගානට ආවත් …. කිසිකෙනෙක් කිට්ටුවට ගියේ නෑ.

ඒ අතර රත්නපුරෙන් ආපු හීන්දෑරි no nonsense type එකේ… ඇඟිල්ලෙන් ඇන්නත් වැටෙන ජාතියෙ අපේ පොරකුත් හිටියෙ පැත්තකට වෙලා සද්ද නැතුව.... කොහොමින් කොහොම හරි මද කිපිල වගේ හිටපු මී හරකව කට්ටිය චාටුවෙං එලියට අරගෙන ගියත්…. ජීප් එකට නග්ග ගන්න එක නම් කරන්නම බැරි උනා.

රත්නපුරේ රත්න එකම එක පයින් පාරයි… තලපතා ඇදගෙන වැටුන වගේ චණ්ඩියා International Scout ජීප් එක ඇතුලෙ….. එදා චණ්ඩි, බන්ඩි වෙනකොට…  පුංචි කසුකුසුවක් ගියා මිනිහ පොර පිටියට බැහැල තියෙන්නෙ..., උඩිං ආපු නියෝගයකට …. නැති ප්‍රශ්නයක් ඇති කරන්න කියල.

ඒක තහවුරු වෙන්න මගේ මතකෙ හැටියට පැය 24 ගියෙත් නැ,... පරිපාලනය ක්ලබ් එක සීල් තියල සියලු වගකීම් පරිපාලන අංශයට ගත්තෙ … වැඩි කල් නොගොස්ම ඒ ක්‍රියාව බූමරංගයක් වෙලා …… විශාල වෙනසක් වේවි කියල හාංකවිසියක්වත් නොදැනයි.

Bud and two leaves… තේ දල්ලෙ ශත සංවත්සරය යෙදිල තිබුනෙ ඔන්න ඔය වකවානුවෙමයි…. පර්යේෂණ අංශයේ ලොක්ක වෙලා හිටියෙත් අර කලින් කියාපු ඒකාධිකාරයට අයත් විශිෂ්ට ඝනයේ කොට මොඩල්….  බඩට කලිසම ඇන්දෙ නැත්නම්, කලිසම කන්තෝරුවෙ තියෙද්දි ගෙදර යන්න වෙන සයිස් එකේ ඩයල් එක.

කොට මොඩල් ලඟ පිකප් කියල කථාවට කිව්වට … මේ යෝධය පිකප් වෙන්නෙම නෑ… අඩු  ගානෙ පිකප් වෙන්නෙ නැති ගානට ඉන්නවා… යටින් හීන් නූලෙන් ගේම ගහනව කියල තමයි කවුරු කවුරුත් දෙකක් දාගත්තම කට ඇරල… , වටපිට බලල කිව්වෙ…. අපරාදෙ කියන්න බෑ ක්ලබ් එකේ කතන්දරේටත් උස මොඩල් එක ගේමට බැස්ස කියන්නෙ …. කොට මොඩල් එකේ කීමටලු…. ඒකෙන් මේකෙන් අපේ කොල්ලො ටික full arrears ගහගෙන … ලංකාවෙ ඒ කාලේ හිටපු හොඳම මොල දෙකක් සම්බන්ධ කරගෙන ගේමට බැස්සෙ ඉතාම රහසිගතව.

Tea Centenary එකට auditorium එක කට කපල…. රට වටේම තේ දල්ල අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතාගෙන ඉන්න පෙරිය දොරේලාගෙන්…. සුනාමි එන්නෙ මූදෙන් කිව්වට අඩි දාස් ගානක් උඩටත් සුනාමි එනව කියල එයාල දැනගත්තෙ එදා තමයි.

මම වත් දැනහෙන හිටියෙ නෑ …. රදැල්ල short cut එක හරහා අද දවසෙ සුනාමියක් එනව කියල… ගප්පිය සුපුරුදු පරිදි කඩුගන්නාව අද්දන විදියෙන්….  මටත් හිතුනා අද නම් බඩු බනිස් කියල… තට්ටු තුනේ අලුත්ම පරිපාලන ගොඩනැගිල්ලෙ කොන්ක්‍රීට් තට්ටුව උඩට රදැල්ල අපූරුවට පේනව..

දැන් තුන්වෙනි සැරේටත් ගප්පිය මාව ඇදගෙන උඩට ගිහිල්ල රදැල්ල දිහාව බලාගෙන ඉන්නෙ …. හරියට ඉස්කෝලෙ යන කාලෙ කෙල්ල එනකල් නියපොතු හප හපා බලාගෙන හිටිය වගේ… ඒ දවස්වල නම් ඒ ඉඳලත් බොහෝ වෙලාවට වැඩක් වෙන්නෙ නෑ….  මොකෙක් හරි ගෝත කරුමයෙක් ඉන්නව වචනයක්වත් කතා කරගන්න බෑ.

“හොඳට බලාගෙන හිටපං…. අරූගෙ රතු කාර් එක… කොයි මොහොතෙ හරි එනව”

අද වගේ දවසක නම් මොබයිල් එකෙන් සට පට ගාල විස්තරේ අකුරටම… ඒත් ඒ බලාගෙන හිටපු එකෙත් මාර ආතල් එකක් තිබුන…. ඇස් දෙක එලියට පැන්නෙ නැතුව විතරයි.

Land line එකෙන් දැනගන්නත් බෑ….  Exchange එකේ මේ වෙලාවෙ ඉන්නෙ අර ඒකාධිකාරියට පක්ෂ එකෙක් උනත්…. කොහොමහරි වැඩේ පත්තු වෙලා කියල නුවරඑලියෙන් coded message එකක් ඇවිල්ල….. මෙහේ බඩු ලෑස්ති කරන්නත් ඕනනේ… මොකෝ ඒ දවස්වල digital camera තිබුනේ නැහැනේ….. අරූ හෙට්ටියෙක් එක්ක කූංඥ ගහනව වගේ කැමරාව හදාගන්න කොට සුනාමිය ඇවිල්ල ගිහිල්ලත් තියේවි.

“මචං එනව… එනව… “ මට කෑ ගැහුනෙ වෙන්නෙ මොනවද කියල මෙලෝ සසරක් නොදන්න කමටද නැත්නම් අර වලියට තියෙන නහරෙ ඉලිප්පුන නිසාද දන්නෙ නෑ.

“බඩු ශුවර්ද.. මට නං පේන්නෙ නෑ…”

“අර බලපං චූටි රතු පාට තිතක් පහලට එනව…” මම ඩම්පියෙන් ඇහැ ගන්නෙම නැතුව ඇඟිල්ල දික් කරල පෙන්නුවත්…  ඌට කොහෙ පේන්නද. …. මම කල්තියාම Dumpy level set එක ගෙනැල්ල තියාගෙන හිටපු නිසා හොඳයි

භූමිතෙල් ගහපු ගැරඬිය වගේ …. ඒකා පැනල දිව්වෙ ඉතුරු වැඩ ටික සෙට් කරන්නද කොහෙද… සත්තකින්ම ඒ වෙලාවෙ මම දැනගෙන හිටියෙ නෑ කවුද ඒ කාර් එකේ එන්නෙ… මොනවද ගේන්නෙ කියල.

මුළු ආයතනයම ගිනි අරගෙන වගේ… දල්ලෙ සංවත්සරේ සමරන වෙලාවෙ, කොට මොඩල් එක podium එකේ ගාම්භීර දේශනයක…. ඒ දේශනය එයාගෙ අන්තිම දේශනය විත්තිය උඩ ඉන්න දෙවියොවත් දැනගෙන ඉඳල නෑ…. Auditorium එකේ දොර ඇරෙන සද්දෙට ලොක්ක හිමීට ඔලුව උස්සලා බැලුවෙ තරමක නුරුස්නා ගතියකින්.

පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් … ලිපිගොනුවකුත් අතැතිව….  සුව පහසු පුටු පේලි අතරින් ඉදිරියට එනවා දුටු බොහෝ අයට …. මේ දර්ශනය කුතුහලය දනවන්නක් උනා…. කෙලින්ම ලොක්කා ඉදිරියට ගිය එම පුද්ගලයා …. ලිපිගොනුව ඉදිරිපත් කරන කොටම කැමරා කීපයක විදුලි බුබුලු දැල්වුනේ…. ඒ අවස්ථාව තේ ඉතිහාසයට එක් කරමින්.

ක්ලබ් එක පවරාගැනීමට විරුද්ධව නුවරඑලිය උසාවිය නීත්‍යානුකූලව නිකුත්  කර තිබූ තහනම් නියෝගය … යන්තමින් කියවූ ලොක්කා… එය භාරදීමට නිල ඇඳුමින් සැරසී පැමිණ සිටි fiscal නිලධාරියා ආපසු හැරෙන්නත් කලින්... එයාට හිමි ආසනේ ඉඳගත්තෙ…. එයාගෙ අත දිගේ ඇදිලා ගිය තදබල වේදනාවකුත් එක්ක.

ආයතනයේ වෛද්‍ය වරයාගේ උපදෙස් පිට …. ලොක්කා අසුරු සැනින් නුවරඑලිය රෝහලටත් …. එතැනින් මහනුවර රෝහලටත්….  රැඟෙන යනවා ආයතනයේ සේවකයන් බලාසිටියේ සංවේගයෙන්... . ඒ අතර පෙර කී ඒකාධිකාරය මෙහෙයවූ නියමුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ලොක්කා වෙනුවෙන් පහන් සංවේගයෙන් කථා කල අය අතර “පෙට්ටියෙන් තමයි එන්නෙ” යන අදහස දැරූ අයත් නොසිටියාම නොවේ.

==========

74 දෙසැම්බර් 4… සප්ත කන්‍යා කඳු පේලිය … හජ් වන්දනාවේ ගිය බැතිමතුන් රැඟත් ගරුඩා ඉන්දුනීසියා සමාගමට අයත් යානය…. 191 දෙනෙකු බිලිගත්දා සිට ….

සීතලටත්, ත්‍රාසයටත්, විනෝදයටත් තෝතැන්නක් හා නිවහනක් වූ ඉහත කී පරිසරයට “මා ඉතින් යන්න යනවා… මට යන්න අවසරයි” කීමට සිදුවූයේ…..

83 වසරේ මුළු ශ්‍රී ලංකාවම කඳුලින් නැහැවූ කලු ජූලිය දිනයේ වීම දෛවයේ සරදමක්දැයි මට සිතුනු වාර අනන්තය.  

එම වකවානුව තුල හමුවූ මිතුරු මිතුරියන්… සිදුවූ දඩබ්බර හා සුන්දර සිදුවීම් …. ලියා දැමීමට විශ්‍රාමිකව සිටින 71 වෙනි විය යස අගේට ඉඩ සලසා දී ඇතත්…., පාඨකයා වෙහෙසට පත්කිරීම නුසුදුසු යැයි හැඟේ.

වල කජ්ජ නොහොත් kick the bucket පේන මානයේ නැතත්…. නොපෙනෙන මානයේ කොහේ හෝ සැඟවී සිටිනු ඇති…. එදිනට කලින් සියලු සිදුවීම්… සුන්දර… අසුන්දර… කිරා නොබලාම ලියා තැබීමට උත්සාහ ගනිමි.

ස්තූතියි

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget