ලග්නෙ කුම්භ

ලග්නෙ කුම්භ…..

පුත්තලමෙ ඉන්නෙ පුත්තලං බූරුවො කියල මිනිස්සු කියන්නෙ කට කහනවට නම් නෙමෙයි කියල හිතුන වාර අනන්තයි…. ඒත් අතරින් පතර හිත හොඳ අම්මණ්ඩිල කීප දෙනෙකුත් එල පොරවල් ටිකකුත් මුනගැහුනෙ, අපි පුත්තලමෙ ගත කල අවුරුද්දක පමණ කාලය fast forward mode එකට තල්ලු කරන ගමන්…. ඒ කෙටි කාලය fast forward ගියා කියල හිතෙන්නෙ අන්න ඒ සුන්දර මිනිස්සු හමු උන නිසා කියල හිතෙනව.

ජූඩ් ලංකාවෙන් බැහැරව හිටියත් මාස හයකට සැරයක් ලංකාවට ආව….. ඒ එයාගෙ නෝනයි ලමයයි බලල යන්න…. ජොලියට බර උනත් බොහොම සීරු මාරුවෙන් set වෙන කොල්ලෙක්…

ඒ ආවම මිනිහ මාස හයක්ම ලංකාවෙ ඉන්නව… බර වැඩ…. මොනව කරන්නද ඉතින් මාස හයකම වැඩ ගොඩ ගැහිල කියලයි අපිට කියන්නෙ…. එයාම ගෙනාපු විස්කි බෝතලේ හිස්කරන ගමන් නෝනගෙ බයිට් එකත් කන නිසා අපි ඉතින් අහගෙන ඉන්නව … ඔන්න ඔහේ ඕන එකක් කියල…. නැත්නම් නෝන කියාවි අපේ අරක්කු අපිටම ගහනව කියල.

මම නම් කියන්නෙම ඒ සීරු මාරුවට කන කොකා හැඬුවෙ ඉස්කෝලෙ යන කාලෙම කියලයි….. ඌරු මස් හන්දියෙ බොහොම නිවිච්ච දෙමව්පියන් එක්ක හැදුන වැඩුනත්, කිලෝ මීටර් හතර පහක් ඈත සිරම්බිඩියෙ කොඩිවිනේකට අහු උනේ ඒ කාලෙදිමයි කියලයි තතු දන්නෝ කියන්නෙ… අපි නම් දන්නෙ නෑ ඕං.

ප්‍රදීපා නම් ටිකක් කොට මොඩල් උනාට කවුරු මොනව කිව්වත් ජූඩ්ට හරියටම ගැලපෙනවා… ගැලපුනේ නැතත් ඉතින් කොඩිවිනේ කරපු කට්ටඩිය වැඩේ තිතට කරල තිබුනා… කවුරුවත් අහල තියෙනවද මොනරට වඩා සෙබඩි ලස්සනයි කියලා… නැහැ නේ… ලස්සනම ගෑණු පරානෙකට උනත් ඔය තරම් ප්‍රබුද්ධ ලේඛකයොත් සමකරන්නෙ මොනරෙකුට… ප්‍රදීපා ඉන්න වෙලාවට ජූඩි ගේන විස්කි බෝතලේ හිස් කරන්න බයිට් ඕන නෑ… ප්‍රදීප ඉන්නව නේ… ඒ වෙලාවට හැරිල අපි දිහාව බලන්නෙ යාලෙ මොනරෙක් ඔලුව හරවල අර හීන් දිගටි මොනර ඇස් දෙකෙන් බලනව වගේ… ඔලුව අතගාල ඕනනේ ටොක්කක් උනත් අනින්න…

කොහොම උනත් ඔන්න ඔය කියන ජෝඩුව නිසා අපේ කෙටි පුත්තලම් පරිච්ඡේදය fast forward ගියා… අපි පුත්තලමට bye කිව්වට පස්සෙ එක සැරයක් ජූඩ් ඩෙංගු මදුරුවෙක් කෑව… නෑ … ඩෙංගු මදුරුව ජූඩ්ව කෑව… ප්‍රස්නෙ කියන්නෙ මදුරුවට උනත් රස ගුණ හොඳට තේරෙනව…. ඒකනේ ප්‍රදීපව කන්නෙ නැතුව ජූඩ්ව කෑවෙ… මොකෝ දෙන්න කාමර දෙකක නිදාගත්ත එකක්යැ.

ප්‍රදීපා ඉතින් ටෙලිෆෝන් එකෙන් හොටු පෙරාගෙන අඬපු ඇඬිල්ලට…. මම නෝනවත් දාගෙන ගාල්ලෙ ඉඳගෙන ගියා පුත්තලමටම.... ඇයි වදේ මේ ගෑනි ඇඬුවෙ හරියට සිරම්බිඩියෙ කොහොම උනත් ….. මීගමුවෙ කුලියට අඬන ගෑණියක් වගේ…. කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ දැම්මට පස්සෙ … අපි ගාලු ආවෙ මෙදා පොටේ බේරිච්ච බේරිල්ලට ….. හිත හොඳ එකා කෝච්චියට බෙල්ල තිබ්බත් කෝච්චියත් පෙරලෙනව කියාගෙන.

අපේ පවුල් දෙකේ ආස්සරෙත් දිගටම ගියා අපි ලංකාවෙ දෙකොනක හිටියත්…. ඔය අතරතුරේ තමයි ජූඩ් නිවාඩුවකට ආපු අවසාන මාස හයේ දුවවත් අරගෙන මීගමුවට ආවෙ… මීගමුවෙන් ගේකුත් අරගෙන අපිටත් ඇවිත් යන්න කියාපු නිසාත් ගොඩ කලකින් සෙට් උනේ නැති නිසාත් අපිත් මීගමු ගිහිල්ල දවසක් ඉඳල ජොලියකුත් දාල ගෙදර ආව.

ජූඩ් ඉතිං ඔක්කොම වැඩ ටික පිලිවෙලක් කරල නෝනට වාහනේකුත් අරගෙන දීල තමයි ඉතාලි ගියේ…. නෝන වාහන එලවනකොට බැරියැ…. නෝනගෙ අහිංසක තාත්තවත් ගෙන්නගත්තෙ අර අහිංසක අම්මව සිරම්බිඩියෙ තනිකරල… අම්මටත් එච්චර අවුලක් නෑ … ගෙදර රත්තරන් දුවෙක් ඉන්නව අම්මට හොඳට සලකගෙන.

පාස්කු දවසට කලින් දවසෙ හොඳටම වැස්ස … ඒ නිසා ප්‍රදීපා මීටර් 200 විතර ඈතින් තියෙන පල්ලියෙ ගමන කල් දැම්මෙ පාස්කු දවසෙ උදේටම යනව කියල හිතාගෙන…. ජූඩ් හිටියනම් මොන වැඩේ තිබුනත් පාස්කු දවසෙ පල්ලි යනවාමයි… ප්‍රදීප ඉතින් කුම්භ ලග්නෙ බව කේන්දරේ නැතත් දෙමව්පියො හොඳටම දන්නව.

පාස්කුවට දුවවත් අරගෙන යනවාමයි කියල හිතාගෙන ප්‍රදීප නින්දට ගියේ ජූඩ් ගැන හීන කෝටියක් බලන ගමන්…. උස්සල පොලොවෙ ගැහුව වගේ ප්‍රදීප ඇඳෙන් බිමට වැටුනෙ විශාල පිපුරුම් සද්දයක් කන ලඟම ඇහුන නිසයි.

කොහොම උනත් උපන් ලග්නෙ නිසා නින්ද ගියා…. බෝම්බෙනුත් බේරුනා…. ඕකනේ කියන්නෙ ඩෙංගු මදුරුවටත් බැරි උන එකේ අයිසිස් තියා සක්කරය ආවත් කුම්භකරණයව අවදි කරන්න බෑ කියල…

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget