සමාවන්න...... ස්තූතියි.....

සමාවන්න….. ස්තූතියි….

මම ඉපදුනේ ගාල්ලේය. හැදුනේ වැඩුනේ මහනුවරය. සෑම පාසැල් නිවාඩුවකටම පාහේ ගාල්ලට යෑම අපේ පවුලේ අනිකුත් අය කෙසේ වෙතත් මම නිරන්තරයෙන් සිදු කල නිසාදෝ කුඩා අවධියේ ගාල්ලත් මහනුවරත් අතර වෙනස හොඳින් වටහාගෙන සිටියෙමි.

හැටේ දශකයේදී මහනුවර බලා කොලඹට ධාවනය වන සීඝ්‍රහාමී දුම්රියට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට පෝලිමට එක්වීමි. කිසිවෙකුත් පෝලිම පැන්නේ නැත. තමාගේ වාරය එනතුරු ඉවසීමෙන් සිටියා මතකය.

එම වකවානුවේදීම ගාල්ලේ රුහුණු කුමාරී දුම්රියට ප්‍රවේශ පත්‍රයක් ගැනීමට පෝලිමට එක්වීමි. ගාල්ලේ චන්ඩින්ට පෝලිම අදාලම නැත. ඔවුන් කෙලින්ම පෝලිම මුලටම ගොස් ප්‍රවේශ පත්‍ර ගත්තෝය. කිසිවෙක් කටක් අරින්නේ නැත. භාගෙට චන්ඩි පෝලිම පනින්නේ නැත. ඔවුන් ඉදිරියෙන්ම සිටින අයකුට මුදල්දී එම කාර්‍යයම ඉටු කර ගනී. අහිංසකයන් පෝලිමේ සිට සිය කාර්‍යය ඉටු කරගන්නේ කලකිරීමෙනි.

ගාල්ලේ ජීවත්වන්නේ අමුතුම වර්ගයේ ජීවීන් කොටසකි. මහ මඟ කපා කොටාගන්නේ දෙනෝදාහක් ඇස් ඉදිරිපිටය. බාල වයස්කාර දැරියන් දූෂණය කිරීම තම පියාගේ පටන් දේවාලේ කපුවා දක්වා විහිදී ඇත. බොහෝ පන්සල්වල ලමුන් අපයෝජනය නිරන්තරයෙන් සිදුවේ.

මහනුවර මෙවන් සිදුවීම් දුර්ලභය. පෝලිම් පනින්නේ නැත. මිනීමැරුම් දුලභය. අපයෝජන කලාතුරකිනි. දේවාල කපුවන් සිටියත් ගාල්ලේ මෙන් කලක් පවතින්නේ නැත. රත්තරන් පෙරවාගෙන එකෙක් කලක් සිටියත් දැන් ඔහු ගැන ආරංචියක් නැත.

දංගෙදර කුමාර ඉල්ලං කෑවේය. ඔහු සත් ගුණවත් එකෙකු නොවීය. එය වෙනත් කෝණයකි. එහෙත් එය සිදුවූයේ ඉතාම කෲර ම්ලේච්ඡ අන්දමට දෙනෝදාහක් මධ්‍යයේ මහපාරේය. එයට ප්‍රතිචාරය දැක්වූයේ නන් නාඳුනන පිරිසක් විසින් කුමාරගේ ඝාතනයට සැක කල පාර්ශවයේ හතරදෙනෙකු රාත්‍රියේ මරා පාලු පෙදෙසක දමා යෑමෙනි.

මහමෝදර කෑෂ් ත්‍රී රෝද රියැදුරෙකු වන නිමලේ මහමග මරාදැමීය. නිමලේගේ පුතා දෙනෝදාහක් ඉදිරිපිට කෑෂ්ට රිටන් එක දුන්නේ බටර් කපන්නාක් මෙන් කෑෂ් කපා කොටා මරා දැමීමෙනි.

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු මරා පුලුස්සා දැම්මේ මෑතකදීය. එහි කොන්ත්‍රාත්කරුවන් වූයේ සාමය ආරක්ෂා කිරීමට මහජන මුදලින් පෝෂණය වන පොලීසිය වීම ගාල්ලේ සාමකාමී මහජනතාව බලා සිටියේ පිලිකුලෙනි.

ගාල්ලේ ත්‍රී රෝද රියැදුරෙක් සිය පෙම්වතියගේ අනියම් සබඳතාවයක් හේතුකොටගෙන දෙනෝදාහක් ඉදිරියේ මාගාල්ලේදී ගැහැණියකට පිහියෙන් ඇණ ඝාතනය කර තමාටද එම පිහියෙන්ම ඇනගත්තේය. ඔහුගේ ජීවිතය බේරී සමාජය ඉදිරියේ චණ්ඩියෙකු බවට පත්විය. මෑතකදී ඔහු කප්පම් කරුවකු වීමට ගොස් ගාල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයකුගෙන් බඩ කට පුරා ගුටි කෑවේය.

ගාල්ල සුන්දර නගරයක් වූවද ජීවත්වන්නෝ බොහෝ දුරට මහනුවරට සාපේක්ෂව අසුන්දර දඩබ්බරයෝය, ආත්මාර්ථකාමීය. කයිවාරුවනම් අහස උසටය. අහිංසක සාමකාමී මිනිසුන්ද නැත්තේ නොවේ.

ගාල්ලේ මිනියක් මරණ ඕනෑම අයෙක් එලියට එන්නේ චන්ඩියෙක් වෙලාය. වෙනත් අයකගේ පහරකට මැරී වැටුන පුද්ගලයෙකුට පිහියෙන් ඇන රිමාන්ඩ් බන්ධනාගාර ගතවී නිදහස් වූ චන්ඩින්ද ගාල්ලේ සිටී. හාස්‍ය ජනක කාරණය වන්නේ ඔවුන් කළුවරේ එලියට වත් නොයන්නේ හොල්මන්වලට ඇති අපරිමිත භය නිසාවෙනි.

ගාල්ලේ ත්‍රී වීල් සමාජය අපූරුම ජන කොට්ඨාශයකි. ඔවුන් මහපාරේ චන්ඩින්ය. මහපාර ඔවුනගේ බූදලය බවට පත්වී ඇත. මාර්ග නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරණ ඔවුන් ඕනෑම අවස්ථාවක ඔබ වෙත පැටවීම සඳහා කුනුහරුප ගෝනි ගනනින් සන්නද්ධව සිටී.

වමෙන් ඉස්සර කිරීම ගාල්ලේ නීත්‍යානුකූල අතර වටරවුමක් අසලදී ප්‍රමුඛත්වය බස්, ත්‍රී වීල් හා පා පැදි කරුවන්ටය. දකුණු පසින් පැමිනෙන වාහනයට ඉඩ දීම ට්‍රැෆික් රාලහාමිලාවත් දන්නේ නැති තරම්ය.

ඉල්ලුමට සැපයුම න්‍යයට අනුව ගාල්ලේ උගත් හා ව්‍යාපාරික ප්‍රජාවද එයටම සිරිලන සේ හැඩ ගැසී ඇත. චන්ඩින්ට පෝලිම් අදාල නොවන අතර චන්ඩින් නොවන එහෙත් ගතියට හා ගැම්මට පෝලිම පනින ප්‍රජාවක්ද ගාල්ලේ සිටී. එය බොහෝදුරට සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන්හිදීය.

ඔවුන් කෙසේ හෝ ගොට්ට අල්ලා විශේෂඥ වෛද්‍ය වරුන් හා කුලුපගවී චන්ඩියන්සේ පෝලිම පැනීම සිදුවේ. එය ඔවුන් කරන්නේ පැය ගනන් රස්තියාදුවී පෝලිමේ සිටින සාමාන්‍ය මහජනතාවටද කොකා පෙන්වමිනි.

මේ කාරණය හා සබැඳි පයිඩ් පයිපර් නැමැති කථාව සිහිගන්වන දසුනක් ගාලුකොටුවේදී උදෑසන නිවාඩු දිනයන්හිදී දැක ගත හැක. පයිඩ් පයිපර් පිටුපස ඇදීයන මීයන් රැලක්සේ ගාල්ලේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් පිටුපස යන ඉහත සඳහන් කල ඝනයේ ප්‍රජාව සුලභ දසුනකි. ඒ සියල්ල පොරභාවය හා පෝලිම පැනීම උදෙසාය.

තවද ගාල්ලේ පවුල් අවුල් ගැන්සියක්ද දැකගත හැක. එයට බුදු අම්මෝ යන නමද සුදුසුයැයි හැඟෙන්නේ ඔවුන් දකින සෑම අවස්ථාවකම මට බුදු අම්මෝ කියා කියැවෙන නිසාය.

ස්කූටියට පවුල් අවුල් යන නම පට බැඳෙන්නේ නෝනලා ස්කූටියක් ඉල්ලලා සිය සැමියන් හට කරදර කරනා විට දුන්නොත් වෙන පුරුෂයෙකු හා යන නිසාත් නුදුන්නොත් තරහ වී පවුල් අවුල් වෙන නිසාත්ය. දුන්නත් නුදුන්නත් පවුල් අවුල්ය.

ඔවුන් අතුරුපාර හා ප්‍රධාන පාර න්‍යාය හඳුනන්නේම නැත. මහා මාර්ග නීති රීති ඔවුන් සලකන්නේ බොහෝ දුරට නිවසේ පතුරුවා ගෙන සිටින ස්වාමියා යටත් කරගෙන සිටින නීති රීති හා සමානවය. සියලුම පිරිමි රියදුරන් ඔවුන්ට ඉඩ දිය යුතුවේ.

ඉන්දියන් සුසුකි ගැන්සියක්ද මේ වනවිට බිහිවී සිටී. ඔවුන් සුසුකිය මිලදී ගන්නට පෙර යතුරු පැදි පාවිච්චි කර එම මානසිකත්වයෙන් තවමත් බැහැර වී නොසිටින කාණ්ඩයකි. රිංගා යෑම, අධික වේගය ඔවුන්ගේ බහුල ගති ලක්ෂණ යන්ය. අවම ඉඩ ප්‍රමාණයක් ඇති අවස්ථා වලදී වුවද රිංගා යෑමට තැත් කරනා ඔවුන් අධි වේගී මාර්ගය සුසුකි සන්නාමයේ වේගයෙන් පියඹා යෑමේ හැකියාව වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් සලසමින් සිටී. බොහෝ විට අධිවේගී මාර්ගයේ යකඩවැට බදාගෙන සිටින්නේ ඔවුන්ය.

භූගෝලීය පිහිටීම අනුව ගාල්ල, කතරගම හා කොලඹ අතර පිහිටා තිබීම කරුමයක් වී ඇති සෙයක් හැඟෙන්නේ ගාලු පුරවරය හරහා ධාවනය වන බස් රථ නිසාය. ඔවුන්ගේ ට්‍රැෆික් පොලීසිය පිලිබඳ ඇති හසල දැනුම වත්මන් පොලිස්පති තුමාගේ දැනුමටත් ඉහල අගයක් ගනී. ඔවුන් අතර සන්නිවේදන ජාලය කොතරම් ඉස්තරම්දැයි කියතොත් මාර්ග නීති කඩකිරීම් පිලිබඳ දත්ත පරීක්ෂා කලවිට එය සාක්ෂාත් කර ගත හැක. බස් රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරන්නන් අතරට වැටෙන්නේම නැත්තේ පොලීසියේ ඇති කාර්‍යක්ෂම භාවය නිසාමය.

එය එසේ වූවද කතරගම කොලඹ බස් රථයක සුලඟ පවා පදිකයන් හා පාපැදි කරුවන් මුහුදට තල්ලුකර දැමීමට වුව සමත් වන්නේය. රථවාහන පොලීසිය මීයාට පිම්බාක් මෙන් යැයි මහජනයා නිතර දෙවේලේ කියතත් මාසයේ අන්තිමට පොලීසියට ලැබෙන සන්තෝසමක් ගැන නම් කිසිවෙක් කියනවා මා අසා නැත.

මෑත දිනකදී කතරගම බලා යන බස් රථයක් ගිලන් සේවා රියදුරෙකු විසින් පදවා යන අතරතුර පුරුද්දට ප්‍රේම දඩයම ගසා ඉදිරියේ ගිය වාහනයකට ඉස්සර කර ඇත්තේ උණවටුනේදීය. හබරාදූව බස් නැවතුම්පොලේ මගීන් නංවා ගැනීමට නතර කර සිටි අවස්ථාවේ ඉහත කී රථයේ සිටි අය එම බසයට ගොඩවැදී අහිංසක ගිලන් රථ රියැදුරාට හා කොන්දොස්තර මහතාට නොහොත් කොන්තාට කරන ලද සංග්‍රහය උදෙසා බස් රථයේ සිටි මගීන් ඉහල ප්‍රතිචාර දැක්වූ බව වාර්තා විය.

ගාල්ලේ ප්‍රධාන පිරිමි පාසැල් දෙකකි. ඒ මහින්ද හා රිච්මන්ඩ් නම්වේ. ඔවුන් එකට කති බොති මල් කඩති ප්‍රීති වෙති. මාර්තු මාසයේ හැර අනිකුත් සියලුම දිනයන්හි ඔවුන් ගජ මිතුරෝය. මාර්තු මාසයේ නයි මුගටි සෙල්ලම පටන් ගනී. ඒ ආදරවන්තයන්ගේ සටනේදීය. එම කාල වකවානුවේදී පමණක් ඇන කොටාගන්නා අපූරු සත්ව කොට්ඨාශයකි.

රටේ අනාගතයේ පෙරගමන් කරුවෝය. කරුණු කෙසේ වූවත් මෙම සත්ව කොට්ඨාශය අවසානයේ ශ්‍රී ලංකාවේ මුල් පුටු  හොබවයි. යන යන තැන මුල් පුටුවේ එක්කෝ මහින්දීයකු නැත්නම්‍ රිච්මන්ඩ් ආදී ශිෂ්‍යයෙකි. මොවුන් රටේ මොන අස්සක මුල්ලක සිටියත් වචනයේ පරිසමාප්තියෙන්ම සිංහයෝය. කිසිවෙකුට යටත් නොවන ඔවුන් අවසානයේ සංඝමිත්ත සිසුවියකගේ ග්‍රහනයට හසුවීම වැලැක්වෙන්නේ කලාතුරකිනි.

පොලීසියද ජාඩියට මූඩිය වෙලාය. බල්ලාත් නොමරා පොල්ලත් රැකගැනීම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. පොලීසියට සමහරු කියන්නේ පොල් අයිස් කියා වූවත් එය අසාධාරණ අගැයීමක් බව ඔබට වැටහෙන්නේ කිසියම් කටයුත්තකට ගාලු දිස්ත්‍රික්කයේ පොලීසියකට ගොඩවැදුනු අවස්ථාවකදීය. ගාලු ජනතාව ඔවුන්ට නිවී හැනහිල්ලේ ඉන්නට දෙන්නේම නැත. එක්කෝ මිනීමැරුමකි. නැත්නම් හොරකමක් හෝ ස්ත්‍රී දූෂණයකි. රණ්ඩු අඬදබර නම් නිමක් නැත.

මේ අතරතුර බෝම්බ සද්දයක් ඇසුනොත් කවුරුන් හෝ මුහුදට ඩයිනා දමා මාලු අල්ලනවාය. එය හනුමා විසින් විසි කරන ලද කන්දක් පාමුල නිරන්තරයෙන් සිදුවේ. අදාල පොලීසිය නිහඬව සිටින්නේ කුමන කාරණයකටදැයි ගාලු වැසියන් දන්නේම නැත.

මේ අතර තවත් විශේෂිත ගැන්සියක් ගාලු පුරවරයේ උකුස්සන්සේ සැරිසරනු දැකිය හැක. ඒ ගයිඩ්ලා නොහොත් නොනිළ මගපෙන්වන්නන්ය. ඔවුන් ප්‍රභේද දෙකකි. Beach Boys හා City Guides ලා ය.

ඔවුන් හඳුනා ගැනීම ඉතාම ලෙහෙසි කාර්‍යයක් වන්නේ Beach Boys ලා කොණ්ඩය වවාගත් මලපෙරේතයන්සේ මුහුදු වෙරළ ආශ්‍රිතව  හැසිරෙන අතර City Guides ලා සිය දින චරියාව ආරම්භ කරන්නේ ගාල්ල දුම්රිය ස්ථානය ආශ්‍රිතවය.

Beach Boys ලාගේ අවසන් අරමුණ යුරෝපීය කෙල්ලකගේ විශ්වාසය දිනාගැනීම හා යුරෝපයට පැන ගැනීම වන අතර City Guides ලා මුදල් තම ඒකායන අරමුණ කරගෙන සිටී. ජීවිතේට පාසැල් නොගිය මෙම ස්වයං රැකියාවෙහි නියැලි බොහෝ අය මල පොතේ අකුරක් නොදනිතත් ඉංග්‍රීසි ඇතුළු යුරෝපීය භාෂා කිහිපයක්ම චතුර ලෙස කතාකරන්නේ පාර්ලිමේන්තුවද හෑල්ලුවට ලක් කරමිනි.

ගාලු ජනතාවගේ ශබ්ද කෝෂයෙහි ඇත්තේම නැති වචන දෙකක් ඇත. ඒවා සිංහල ජාතියේ අභිමානය හා ප්‍රෞඩත්වයට හානිකර හෙයින් ගාලු සංස්කෘතියෙන් ඉවත්කර ඇති බැව් මා හට හැඟී ගියේ එංගලන්තයේ ගත කල කාලයේදීය. එංගලන්තයේ සිටින්නේ කිරීටයට යටහත් පහත් වැසියන් බැවි මනාව වැටහෙන්නේ ඔවුන් හැරෙන හැරෙන අතට “සමාවෙන්න” හෝ “ස්තූතියි” කියා මහපාරේ යන උන්ටත් කියන විටය.

වෙනෙකක් තබා එංගලන්තයේ පැරැන්නෝ අහවල් කාරිය කිරීමටත් මහරජාගේ අවසරය පැතූ බව ඒ සඳහා ඔවුන් යොදාගත් ඉංග්‍රීසි වචනයම කදිම සාක්ෂියකි. Fornication…. Under the…..Consent of the…. King. ඔවුන් වහලුන්ය. අපි රජවරු වෙමු.

මට වික්ටර් රත්නායකයන් මියුරු හඬින් ගයන අපි ඔක්කොම රජවරු මතකයට නගා ගත්තෙමි. රජුන් සමාව ඉල්ලන්නේවත් ස්තූති කරන්නේවත් නැත. එංගලන්තයේ රැජිනත් එසේය ශ්‍රී ලංකාවේ අපිත් එසේය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget