ගාල්ලෙ චණ්ඩි ගයිඩ්ලා....


ගාල්ලෙ චණ්ඩි ගයිඩ්ල…..

බුකියෙ ගාල්ලෙම කෙනෙක් post එකක් දාල.. ගාල්ලෙ චණ්ඩි ගයිඩ්ල විදේශික සංචාරකයන්ට කරදරයක් වෙලා කියලා පින්තූරෙකුත් එක්කම. ගාල්ලෙ ගයිඩ් චන්ඩි… අපි නොදන්න ගයිඩ්ල කියල මට හිතුනා.

මගේ මතකය නිවැරදිනම් ඒ 1985 වර්ෂයයි…… මගේ රැකියාවෙන් ඉවත්වෙලා නිහඬව හිටපු කාලයක්….. කුමක් හෝ වැඩකට ගාලු නගරයට වාහනේ එලවගෙන යන ගමන් හිටියෙ…. අද වගේ උඩ සාක්කුවෙ උනත් දාගෙන යන්න පුලුවන් තරම් කුඩා ජංගම දුරකථන වෙනුවට එදා තිබුනෙ, "ගඩොල් බාගෙ" යන නමින් ප්‍රචලිතව තිබුන කිලෝ වක් විතර බර, බැටරිය විතරක් අද දවසෙ ජංගම දුරකතන හතරක විතර බර තියෙන සෙල්ටෙල් වර්ගයේ දුරකථන පමණයි… හදිස්සියකට ඒකට චන්ඩියෙක් ගෙ දෙන්නෙක්ගෙ ඔලු පලන්න උනත් හැකියාව තිබුන.

"Hi Kamal… where are you?"

ලන්සි කටහඬක් දුරකථනයෙන් ඇහෙන කොට මට ඉහ වහා ගිය ප්‍රීතියක් ඇති උනේ ඒ කටහඬ අවුරුදු ගානකට පස්සෙ උනත් මට අඳුනගන්න පුලුවන් උන නිසයි.

"Hi buddy… where the hell are you?" 

ප්‍රශ්නයකින්ම උත්තර දුන්නෙ එයාගෙම ලන්සි ඉංග්‍රීසියෙන්.

"I am at Galle Railway Station …. Can you come over here a.s.a.p"

"For sure my friend… hang on…. I am only two minutes away.

යන්න ගිය ගමන පැත්තකට දාල මම වාහනේ ස්ටේසම දිහාවට හැරෙව්වෙ අතීත ආවර්ජනයකුත් කරන ගමන්ම ….  ආතර් ලවුඩන් මගේ මහනුවර සිල්වෙස්තර ජීවිතයෙ ගොඩක් ලඟින් ඇසුරු කල අපූරු චරිතයක්… කොතනත් ඉදිරියෙන්ම ඉන්න දක්ෂ කමක් දක්වපු ආතර් ට අපි ආදරේට කිව්වෙ ලව්ඩ කියල…. ඕනම උත්සවයක නිතරඟයෙන්ම Master of Ceremonies වෙන්නෙ ලව්ඩ…. සාමාන්‍ය පෙල ඉවර උන ගමන්ම ඉංග්‍රීසි කතාකරන වැඩිදෙනෙක් වතු රැකියාවට බැඳුනෙ වැඩි සමාජ පිලිගැනීමක් තිබුන, නිතර අතේ මුදල් ගැවසුන, සුවපහසු පරිසරයක ජීවත්විය හැකි, පිලිගත් රැකියාවක් නිසයි…. මගේ පාසැල් වියේ කඩුව මුවහත් උනේ ලන්සි ආශ්‍රයෙන් වීම ම පසු කාලෙක "ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසිම ක්‍රමය ඉංග්‍රීසියෙන් ආදරය කරන එක" කියල කියන්න තරම් මම පෙලඹුනේ අත් දැකීමෙන්මයි.

ලව්ඩන්ල.. වුඩ්ස්ල .. ඩෙකර්ල… ජෑන්ස්ල… වගේ ලංකාවෙ සුන්දරම, විනෝදයෙන්ම ජීවත් වුන, ජාති කුල මල බේද කිසිදෙයක් ගනන් ගත්තෙ නැති සාමකාමීම ජන කොට්ඨාශය හැටියට පිලිගැනීමක් තිබුන ලන්සි සමාජයෙන් ඉංග්‍රීසි කථාව මුවහත් කරගත් මම, Harrold Robbins, Denise Robbins, Sydney Sheldon, Hadley Chase, Robin Cook වගේ අයගෙ පොත් කියවල ඉංග්‍රීසි භාවිතය මුවහත් කරගත්ත.

ඩයගම බ්‍රේමෝ වත්තෙ වතු අධිකාරීවරයා නොහොත් වත්තෙ භාෂාවෙන්ම පෙරිය දොරේ කෙනෙක් හැටියට, ලංකාවෙ රූප රාජිනියකගෙ නංගිව බැඳලා රජෙක් වගේ ඉන්න කාලෙ තමයි මට දෙවෙනි වරට ලවිඩ මුන ගැහුනෙ… ඒ කාල වකවානුවෙ මම රැකියාව කලේ තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ….

පසුකාලෙක ලවුඩ ගල්කිස්සෙ හෝටලේ පරිපාලනයට සම්බන්ධව කටයුතු කරන බවට ආරංච් වෙලා තිබුනත් අපිට මුණ ගැහෙන්න අවස්ථාවක් තිබුනෙ නෑ…. 

ලවුඩ එදා ගාල්ලට ඇවිත් තිබුනෙ ප්‍රසිද්ධ සූප වේදියෙක් වන පබිලිස් සිල්ව මහත්තයත් එක්ක… දැන හැදින ගැනීම්වලින් පස්සෙ අපි කථාවට බැස්සෙ ස්ටේසමේ කැන්ටිම ඇතුලට ගිහිල්ල…. ඒ වෙනකොට දුම්රිය සේවයේ සියලුම භෝජනාගාර ගල්කිස්ස මහ හෝටලේ පරිපාලනයට යටත්වයි තිබුනෙ.

" මචං ...Can you take over this canteen and run this place"

ජීවිතේට මේ සම්බන්ධව කිසිම හැඟීමක් තිබුනෙ නැති මම අන්දුන් කුන්දුන් උනත් යකාගෙ කටෙත් දත් ගලවන්න උනත් පැකිලෙන්නෙ නැති මම කෝකටත් කියල ප්‍රශ්නෙකින් උත්තර දෙන්න හිතුව.

"What are the conditions… like rent and other obligations towards your establishment?"

"Simply nothing… you just run the place…"

"What is the catch"

"Thugs around here are giving our boys a tough time"

චන්ඩි… ගාල්ලෙ ගයිඩ් චන්ඩි ස්ටේසම එයාලගෙ රාජධානිය කරගෙන… ඒ වෙනකොටත් මට පෙනුන එකෙක් දෙන්නෙක් එහාට මෙහාට කුතුහලෙන් ඔත්තු බලන විත්තිය.

"We know that you are the person to handle this"

මාව පොඩි මුරුංග අත්තක් පෙන්නනවද කියන හැඟීම මගේ හිතට ආවත් මමත් ඇරියෙම නෑ.

එවෙලෙම මට යතුර භාරදීල එයාල යන්න ගියා… පහුවදාම මම කැන්ටිම පටන්ගත්තෙ උදේ පාන්දර හෝටලේකට වැඩට යන කෙල්ලෙකුට වැඩි පඩියක් දෙන්නම් කියල පොරොන්දු වෙලා… වැඩි කලක් යන්න කලින් මම කැන්ටිම සතුටුදායක තත්වයකට ගෙනාවෙ ස්ටේසමේ ආරක්ෂක නිලධාරීන්ගෙත් සහයෝගය ඇතුව.

"සර්… අරුං ඇවිල්ල අපිට පොඩි සංදර්ශනයක් දාල ගියානේ"

වැඩට හිටිය කෙල්ලෙක් දවසක් මට කියන්න ගත්තෙ සුළු වෙලාවකට එලියට ගිහිල්ල ගොඩ උන ගමන්ම… විස්තරේ අහල ඉවරවෙන්නත් කලින් ගයිඩ් ගැන්සියෙ නායකය වගේ ඉන්න රංජි කට්ටියත් පිරිවරාගෙන කැන්ටිම ඇතුලට ආව.

"ගනිල්ල ඕන දෙයක් අද මගේ ගානෙ" 

එලියෙ බීම දාපු ශීතකරනයේ දොර අරින ගමන් රංජි එයාගෙ ගෝල බාලයන්ට කියනකොට, මට ජීවිතේ එකම වතාවක් ජැක්සන් ඇන්තනි මුණ ගැහුනු වෙලාවෙ කියාපු කථාවක් මතක් උනා… 

චංඩි කියල පුම්බගෙන ඉන්න උං හරිම බයගුල්ලො…. උන්ට බය උනත් බය පෙන්නන්න එපා… උන්ට වඩා ලොකු චංඩියෙක් වගේ හැසිරෙන්න.

"රංජි… මෙතන සල්ලි දීල බඩු ගන්න තැනක්… ඉස්සෙල්ල ඕන දේ කියල ගෙවල ගනිං" 

කෙල්ලො දෙන්න මගේ මූණ බලාගෙන ඉන්නෙ දැං සිද්ධ වෙන්න යන මිනී මැරුමකට සාක්කි දෙන්න වේවි කියන විශාල බයකින් වගේ.

"ආ එහෙමද… හරි අපි එලියෙ බලාගමු… වරෙල්ල යන්න"

කට්ටියම යන්න ගියේ රිටන් එක හැරෙන තැපෑලෙන් එවන්නම් කියන්න වගේ…. කෙල්ලො දෙන්නගෙ, අනේ සර් හැප්පෙන්න යන්න එපා, උං මහ මැරයො, ඔය වගේ පිංසෙණ්ඩු වීම් පැත්තකට දමල වැඩිය වෙලා අරින්නෙම නැතුව මගේ පාඩුවෙ එලියට බැහැල වාහනේට නැගල මාතර පැත්තට ගියේ වැඩක් ඇතුවමත් නෙමෙයි…

මගේ හැසිරීම උන්ට අභියෝගයක් වගේ උන නිසා මට වැඩි දුර යන්න උනේ නෑ ටිකක් පාර පටු මුහුද අයිනට වෙන්න ඉඩ තිබුන ප්‍රදේශයක් ලඟදි පිටිපස්සෙන් ආපු ත්‍රී රෝද රථ කීපයක් මගේ වාහනේ වටකරල නැවැත්තුවා…. රංජිත් එක්ක බැහැල ආපු චංඩි රටේම තියෙන කුණුහරුප කියාගෙන බැස්සෙ යකඩ පොලුත් අතේ තියාගෙනම…. මට හොඳටම උවමනාව තිබුනෙ වාහනේට හානියක් කරගන්න ඒත් උන්ගෙන් උන එකම හානිය මගේ අභිමානයට එල්ල උන වාග් ප්‍රහාර විතරයි…. ගුටි කෑවොත් අවුලක් නෑ… ඒක ඊට වඩා උහුලගන්නම බැරි ප්‍රහාරයකින් ඉවර කරන හැටි මම හොඳින් දැනගෙන හිටියා… ඒත් මෙතනදි ඉස්සෙල්ලම නෛතික ආවරණයක් ගන්න ඕන නිසා මම වැඩි යමක් නොකරම වාහනේ හරවගත්ත.

"රංජි අපි පොලීසියෙදි බලාගමු"

පුංචි දැනුම්දීමක් එතනදිම දීල පොලීසියට ගිහිල්ල වැඩි වෙලාවක් ගියේ නෑ මගේ දැන හැඳුනුම් කම් පාවිච්චි කරල රංජිව පොලීසියට ගෙන්නලා අවවාදයක් දීල පිටත් කෙරෙව්ව… මම දිගටම මේ කැන්ටිම කරගෙන යනවනම් පොඩි සංදර්ශනයක් නොදා බෑ කියල මට හිතුනෙ, මේ චංඩි හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු මහත්තුරු කොහෙද එයාලත් එක්ක හැප්පෙන්නෙ කියන අවතක්සේරුවක් එයාලගෙ මෝඩ හිත්වල පැලපදියන් වෙලා තියෙන බව මට හැඟුන නිසයි… මම ඒකට සැරසුනා.

එදාම හවස් වෙනකොට මගේ ඉතාම හිතමිත්‍රයෙක් වෙලා හිටිය දංගෙදර කුමාර මගේ කැන්ටිමට එනව කට්ටිය බලාගෙන හිටිය… රංජිට පණිවිඩයක් ඇරල ගෙන්න ගත්තා… රංජි මගේ  අභිමානයටයි අභියෝග කලේ… ඒකට මගේ නීතියෙ හැටියට අවවාද විතරක් නෙමෙයි පිලිතුර… ලඟටම ගෙන්නල කනේ පාරක් මගේ අතින්ම ගැහුවෙ මිනිහගෙ සගයො ඉස්සරහම එයාගෙ චංඩි උන බිංදුවටම බස්සලා.

දංගෙදර කුමාර මගේ කිට්ටුම හිතවතෙක් වෙලා හිටපු ගාල්ලෙ ප්‍රසිද්ධ මුස්ලිම් විරෝධී චණ්ඩියෙක්… මගෙ withkase.blogspot පිටුවෙ එයා ගැන ලිපි දෙකක් පලකලා, Cursed to Death ශීර්ෂය යටතේ සිංහලෙන් සහ Devil's Reject යටතේ ඉංග්‍රීසියෙනුත්.

පහුවදා උදෙන්ම සුපුරුදු විදිහට කැන්ටිමේ හිටපු මම ටිකට් කවුන්ටරේ පැත්තෙන් ඝෝෂාවක් ඇහුන නිසා ඒ පැත්තට ගියෙ කුතුහලයෙන්.

"අඩෝ …. කවුද ඩෝ අපේ ඉංජිනේරු මහත්තයට පාට් එක දාපු එකා…"

ඒ දවස්වල මගේ මිත්‍රයෙක්ව සිටි දෙවටෙ කල්ලෙ අයියා නොහොත් කලු මහත්තය… මුලු ස්ටේසමම ගල් ගැහිල.

" හරි ...හරි… කලු අයිය… ඒව ඉවරයි… යමු ඇතුලට…"

කලු අයියත් අපූරු චරිතයක්… අපේ උගත්‍ කියාගන්න බහුශ්‍රැත කේවට්ටයන් බොහෝමයකට වඩා දෙවටෙ කලු අයියල, දගෙදර කුමාරල, දංගෙදර දුශාන්තල, පෝනි සුරංගලා, රූමස්සල දියකාවල දුර්වල කම් තිබුනත් හිත හොඳ මිනිස්සු…. ඉඩක් ලැබුන විටෙක අනිත් අය ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා.

පසු කාලෙක මට තර්ජනය කල ගයිඩ් ගැන්සියෙ තව එකෙක් නොම්මර තුනේ දුම්රිය වේදිකාව උඩ සුදත්ගෙන් කඩු පාරක් කාල වැට්ල හිටිය… කිසි කෙනෙක් ලං උනේ නෑ… අනිත් එවුන් හැංගිලා පණ බේරගත්තෙ මගේම කැන්ටිමට ඇවිත් මට පිංසෙන්ඩු වෙලා…. දංගෙදර සුදත් මගේ ඥාති සහෝදරයෙක්ගෙ පුතෙක් කියන්න මම කිසිවිටෙක පැකිලෙන්නෙ නෑ…. එයා ගැනත් මගේ withkase.blogspot පිටුවෙ "අතීතය, වර්තමානය හා අනාගතය" ශීර්ෂය යටතේ ලිපියක් පලකලේ පසු කලෙක මිනීමරුවෙක් හැටියට ජීවිතාන්තය දක්වා සිර ගත වී සිටියත් ඔහු අවංක එඩිතර කොල්ලෙක් නිසයි.

අවංක හිත හොඳ මිනිස්සු සාපේක්ෂව ඉතාමත් ඉහල ප්‍රතිශතයක් ජීවත්වෙන්නෙ කොළඹ හතේ වත් ගාල්ලෙ ලොකු මන්දිරවල වත් නොවේය කියලයි මගේ තදබල විශ්වාසය… 

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget