Square Peg.... Round Hole

Square Peg… Round Hole

එක දිගට නුවරඑලිය බලා ඇදෙන සුඛෝපභෝගී බස් රථ පෙල දෙස වතුකරයේ ඉන්දීය සම්භවයකින්‍ යුක්තවූ ද්‍රවිඩ ජනතාව එක එල්ලේ බලා සිටියේ කුතුහලයෙන් යුතුව වූවද, ප්‍රදාන හැටන් නුවරඑලිය මාර්ගයට දිව ආ නිසි අයුරින් හැඳ පැලඳ නොගත් කොල්ලන් හා කෙල්ලන් ඒ පසුපස දිව ගියත් බස් රථ දහයක් පමණවූ එම රිය පෙලහර ඔවුන් පසුකර ගියේ දුහුවිලි  අහසට එක් කරමිනි.  

ඔන්ඩෘ, රෙන්ඩු, මූනු නාලූ….. යනුවෙන් හඬනගා ගනන් කිරීමද නිෂ්ඵල වූයේ බස් රථ ධාවනය වූ වේගය නිසා වුවද අහඹුවක් මෙන් සිදුවන මෙම දර්ශනය පොඩිත්තන්ගේ ප්‍රීති ප්‍රමෝදයටත් පාර දෙපස තේ දළු නෙලමින් සිටි ගැහැනුන්ගේද කුතුහලයටත් පාදක විය… 

සියලුම බස් රථ දේශීයයන්ගෙන් පිරී තිබූ අතර ඔවුන් යම් කිසි උත්සවයකට සහභාගී වන ආකාරයට හැඳ පැලඳ සිටියෝය… පැය හතරක පමණවූ ගමන් කාලය තුල මගීන්ට අවශ්‍ය ශීත කරන ලද බීම හා රස කැවිලි වලින් බස් රථ පිරී තිබුන අතර ඒවා පිලිගැන්වීමටද සේවකයන් සැදී පැහැදී සිටීම විශේෂත්වයක් විය… බියර් හා ආනයනය කල වයින් වර්ගද ඒ අතර විය.

තලවාකැලේ පසුකර රැදැල්ල හරහා නුවරඑලියට ලඟාවු බස්‍ රථ එකින් එක වැව ආසන්නයේ පිහිටි ගමනාන්තයවූ එක්තරා තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ඉදිරියේ නතර කලේ, එදිනට නියමිතව තිබූ එම පලාතේ සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙකුගේ එකම දුවගේ විවාහ මංගල්‍යෞත්සවය වෙනුවෙන් කොළඹ සිට පැමිණ සිටි ඥාති මිත්‍රාදීන් හට ශාලාවට ඇතුල්වීමටය….. උලෙළ සංවිධානය කර තිබුනේ නුවරඑලියේ වීම හේතුවෙන් ගමනාගමන පහසුකම් සියල්ල මෙම වෙළෙඳ ව්‍යාපාරිකයා සපයා තිබුනේද නොමිලයේය… . එය කාගේත් කථා බහට ලක්වූයේද කෘතඥතා පූර්වකය.

ඉතාමත් විචිත්‍රවත් හා ආකර්ෂණීය ලෙස පිලියෙල කර තිබූ මංගලෝත්සවයට විශාල පිරිසක් සහභාගී වූ අතර පලාතේ ප්‍රභූ වරුන් සියල්ලක්ම පාහේ සහභාගීවූයේ, අවුරුදු තිහකට පමණ ප්‍රථම නුවරඑලියට අහංගම සිට පැමිණි තරුණ ගැටයා මේ වනවිට කන්ද උඩරට පළමු පෙලේ ධන කුවේරයකු වී කාගේත් සිත් දිනා සිටි නිසා විය හැක. 

කොළඹත් නුවරඑලියත් අතර අංක එකේ ප්‍රවාහන ව්‍යාපාරයක් ගොඩ නැගූ මොහු මෙම සීතල පරිසරයට මුල්වරට අවතීර්ණ වූයේ ලොරි සහායකයෙකු ලෙස වයස අවුරුදු දහසයේදී ය… අද ඔහුගේ ආදරණීය එකම දියණියගේ විවාහ මංගලෝත්සවයයි…. පිරිමි දරුවන් තිදෙනෙකුහට පීතෘත්වය දුන් මෙම නිහතමානී ආදරණීය පියාහට සිය පවුලේ හතරවන දරුවා ගැහැණු දරුවකු වීම ඉහ වහා ගිය ප්‍රීතියට කරුණක් වූයෙන් සියළු සැප සම්පත් ඇතුළුව ඇය සුරූපී සුන්දර යුවතියක් කර සුදුසු විවාහයක් කරදීමට ඉටා ගත්තේය.

අගනුවර ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයක දැනුම ලබාගත් ඇය උසස් අධ්‍යාපනයක් පිළිබඳ අදහස දෙමාපියන් හා කථිකා කර ගෙන තිබුනද, ඒ අතරතුර ඥාතියකු මුල්වී ගෙන එන ලද විවාහ යෝජනාවක් ඉදිරියේ එම අදහස තරමක පසුබෑමකට ලක්වී තිබුනි… විශාල ධනස්කන්ධයකට හිමිකම් කී මෙම සුරූපී යුවතිය වෙත ආ පලමු යෝජනාවද ඒ හා සමානම විශාල ධනස්කන්දයක් හිමි ඇයගේ රුවටම ගැලපෙන මනා සිරුරකින් හෙබි තරුණ නීතිඥවරයෙකුගෙන් වීම දෙපාර්ශවයේම ඉමහත් සතුටට හේතු වී තිබුනි.

ඉතාමත්ම සුළු කාලයක් තුල පිලියෙල කරගත් මෙම මංගල්‍යය හමුවේ තරුණ යුවලට මුණගැසී දැන හඳුනාගැනීමට තරම්වත් ඉස්පාසුවක් නොතිබුනත්, පලමු දිනයේදීම දෙදෙනාගේම කැමැත්ත හා දෙමව්පිය ආශිර්වාදය ලැබුනේ ආත්මීය බැඳීමක් විලසිනි…. සියල්ලන්ගේම අදහස වූයේ මෙම ගැලපීම ඉතාමත්ම යෝග්‍ය බවයි.

සියල්ල නිසි අයුරින් සිදුවන අයුරු ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව බලා සිටි දෙපාර්ශවයේම ඥාතීන් හා දෙමව්පියන්ගේ තුටු කඳුළු අතරින් මනාලයා අතිනතගත් මනාලියද කැටිව සුඛෝපභෝගී රථයට හොඩවී මධුසමය වෙත ඉගිල්ලුනේ කිසි දින වෙන්නොවෙනා අයුරිනි… දින දෙකක මධුසමය අවසන් කල යුතුව තිබුනේ තවත් දින හතක් සිංගප්පූරුවේ ගතකිරීමෙන් අනතුරුවය…. ඒ සඳහා සියල්ල සූදානම් කර තිබුන අතර දෙවන උත්සවයද කොළඹ තරු පහේ හෝටලයක සූදානම් කර තිබුනි.

මනාලියගේ දෙමව්පියන් දින දෙකකින් සිය ආදරනීය දියණිය සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ හෙයින් ඒ සඳහා අවශ්‍ය ඇඳුම් පැලඳුම් සකස් කරමින් ඔවුන්ගේ සුවිසල් මැදුරේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියෙන් නොඳැනුවත්වම කාලය ඉගිලී ගොස් මැදියම් රැයද පසුවී තිබුනි… දුරකථනය නාදවන්නට වූයෙන් එය අතටගත් පියා රිසීවරය එසවූ සැනින් සිය දියණියගේ නොසන්සුන් කටහඬට සවන් දුන්නේ කුතුහලයෙනි.

"තාත්තෙ…. වසන්ත මට නිදාගන්න කියල එලියට ගිහිල්ල එන්න ගියා…. තවම ආවෙ නැහැනේ… චුට්ටක් හොයල බලන්න බැරිද"

එක පිම්මේ හෝටලය වෙත සිය මෝටර් රථය පැදගෙන ගිය පියා කවුන්ටරයේ සිටි සේවකයෙකුගෙන් විමසීමක් කලේ සිය බෑනනුවන් හෝටලයෙන් පිටවී ගියාද යන්න දැනගැනීමටය… 

"මම දැක්ක ඒ මහත්තය 328 කාමරේ ඉන්න මහත්තය එක්ක බාර් එකේ ඉන්නව"

"කවුද 328 ඉන්නෙ"

" වසන්ත මහත්තය 328 බුක් කලේ එයාගෙ යාලුවෙකුට කියලයි…. රෙජිස්ටරේට දැම්මෙත් වසන්ත මහත්තයගෙ නමම තමයි."

328 කාමරයට ගොස් විපරම් කිරීම සුදුසු යැයි තීරණය කල ඔහු අවිනිශ්චිත මනසකින් යුතුව තෙවනි මහලේ 328 කාමරයට ගොස් තට්ටු කලේ යම්කිසි හෝඩුවාවක් සොයා ගැනීමේ අදහසිනි.

දොර විවෘත වූයේ තුවායකින් පමණක් සිය නග්න සිරුර වසා ගෙන සිටි තමාගේ පවුලට අද දින ඇතුල්වූ සියා බෑනනුවන් අතින්ය… විවෘත වූ දොර තුලින් ඇඳ මත අඩ නිරුවතින් සිටි පිරිමි රුවක් ඔහුගේ නෙත ගැටුනේ නිලංකාර වී ගිය සිය දෙනෙත් තුලිනි.

පසුව ලියමි: සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවුනු මෙම කථා පුවතට මුහුණ දුන් ඒ වනවිටත් කන්‍යාවියක්ව සිටි එම යුවතිය ඇයගේ පියා විසින් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත කලේ දින කිහිපයක් වැනි සුළු කාලයක් තුලදීය… මෙම සිදුවීමට පාදක වූ කාල වකවානුව හා පරිසරය තුල මෙවන් සිදුවීම් අප හට අසන්නට ලැබුනේ අල්ප වශයෙන්ය යන්නත්, අද කාලයේ මෙවැනි සම්බන්ධතා එලිපිටම සිදුවන අතර එහි සාධාරනීයත්වය විවාදාත්මක තලයකට පැමින ඇතැයි මට සිතේ…. තීරණය ඔබ සතුය.
withkase.blogspot

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget