Our love was a two person game. At least until one of us died, and the other became a muderer... Author unknown
අපගේ ආදරය... එක් අයකුගේ මරණය හා අනිකා මිනීමරුවා වීම දක්වා ගෙනගිය ද්වන්ධ සටනක් වීය.... අප්‍රසිද්ධ කියමනකි.
විශ්වයේ සිට අමතමි
ආදර සුනෙත් අයියේ,
ඔයා එදා මට එල්ල කල යකඩ පිහි පාරවල් මගේ පපුව ඇතුලට ම ගිලා බහින කොට දැනුන වේදනාව, මම ඔයත් එක්ක ගත කරපු කාල වකවානුව තුළ ඔයා මගේ පපුවට එල්ල කරපු චෝදනා තරම් වේදනාකාරී උනේ නෑ…. මට ඔබෙන් සමුගන්නට ගත උනේ නිමේශයක් වූව ත්, එම නික්ම යාම විශාල කාල පරාසයක් තුළ සිදු වූ සිද්ධිදාමයක උච්චත ම අවස්ථාව උනා නේ ද?
මේ වෙන කොට අපි නීතියෙන් වෙන් වීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් දියත් කර තිබුන ත්, එය අවසාන විසඳුම නොවන බැව් මං හොඳාකාරව දැන සිටියා…. මං ඔබගේ තීරණය එනතුරු මග බලා සිටියා... දැන් මං විශ්වයේ සිට, පහු ගිය දශකයක කාල පරාසයට ඔබ ව කැන්දා යන්නම්.
මම ඔබගේ ඇසුර හා පසු කලෙක අප අතර සිදු වූ විවාහයේ පසුබිම ඔබට අවධාරනය කරනු කැමැත්තෙමි…. ඔබ ඉතා ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම ත්, මා පිළිකුලෙන් බැහැර කළ දුම්පානයෙන් හා අධික මත්පැන් පානයෙන් ද තොර වීම ත්, නිතැතින් මගේ සිත ඔබ වෙත ඇදී යාමට හේතු සාධක වුණා.
අප අතර ඇති වූ මිත්‍රත්වය, ඔබගේ යෝජනාව මත ආදරයකට පෙරළුනු අවස්ථාව, ජීවිතයේ ලද උපරිම වින්දනයක් සේ අප දෙදෙනා ම පිළිගත්තා මතකය…. පුද්ගලික ව මා හට එම අවස්ථාව විශේෂිත වූ යේ ඔබ මා හට දැක් වූ දයාව හා අනුකම්පාව හේතු කොටගෙන බැව් අවධාරණය කරන්නේ හද පිරි සෙනෙහසිනි.
“වැඩ ඇරිල මොකද කරන්නෙ”
ඒ වෙනකොට අපි දෙන්නගේ ආශ්‍රය ප්‍රේමයේ දොරකඩට ම ඇවිත් තිබියදී ත්, කිසි විටෙක එය ප්‍රකාශිතයක් වී නොතිබුන ත්, මට ඉවෙන් මෙන් වැටහුනා ඔයා යෝජනාවකට ඉතාමත් ආසන්නයේ සිටි බව… කාමරයට ගොස් නිම කළ යුතු වැඩ රාශියක් තිබුන ත්, මගේ පිළිතුර ඔබට රුකුලක් වීමට මං වග බලාගත්තා.
“විශේෂයක් නෑ….. ඇයි එහෙම ඇහුවෙ”
“හඳගමගෙ ෆිල්ම් එකක් ඇවිල්ල…… අද මම ත් පහට ඕෆ් නිසා ….. යන්න හිතයි බලන්න”
ඔයත් එනව ද කියල ඇහුව නම් මම එක පයින් එන බව දැන දැනත්, ඔයා එහෙම කිව්වෙ යෝජනාව හා තීරනය මට බාරකරල… ඔයා කිසි දිනක මගේ නිදහසට අත පොවන්න ගියේ නෑ... ජීවිතයේ අසීරු අවස්ථාවල දී පවා තීරණ ගැනීමේ නිදහස අවංකව ම ඔයා මට දී තිබුනා.
“මම ත් ….බලන්න ඕන …..කියල හිතාගෙන ම ඉන්න ෆිල්ම් එකක්…... කොහොමත් හඳගමගෙ ෆිල්ම්ස් ලස්සනයි නේ”
“යමු එහෙනම් බලන්න”
එදා අපේ ආදරයේ පළමු ප්‍රකාශිත දවස හැටියට තීන්දු උනේ මම ඉබේට ම වගේ ඔයාගෙ අත උඩින් මගේ අත තියපු වෙලාවෙ... අපි අත් පටලවා ගත්තෙ ගොඩාක් ආදරෙන් උනත්... මගේ හිතේ ලොකු දෙගිඩියාවක් තිබුණා… මම හිතේ ගුලි කරගෙන තිබුන අමිහිරි අතීතයක් මට තිබුණා.
“අපි … රෑට කෑමට මොනව හරි අරගෙන…. මගේ ඇනෙක්ස් එකට යමු…… කෑම කාල … මම ඔයාව කාමරේට ඇරලවන්නම්”
මගේ සිතිවිලි හැල්මෙ දුවන්න ගත්ත ත් ඒ බවක් පෙන්නුවේ නෑ…. කොහොම වුනත් මගේ හිතේ තියෙන බර හෑල්ලු කරගන්න හොඳ අවස්ථාවක් කියල හිතල, මම ඔයාගෙ යෝජනාවට එකඟ උනා.
ඔයාගෙ ඇනෙක්ස් එකේ ඔයා තනිව ම හිටියත්, හරි ම පිරිසිඳුවට ත් පිළිවෙළකට ත් තිබුන මම දැක්ක…. ඔයා ලස්සනට පිළිවෙළකට දාල තිබුන ඇඳ ඇතිරිලි මගේ සිත් ගත්ත…. මට ඉබේට ම වගේ ඒ ඇඳේ ඉඳ ගැනුන.
ඔයා මගේ ළඟින් ම ඉඳගෙන.
මට ඔයාගෙ සුවඳ දැනෙන්න ගත්ත.
එදා මම ඔයාට මගේ කතාව කියන්න ගත්තෙ ඔයා ගන්න ඕන ම තීරණයකට කැමති වෙනව කියල හිතා ගෙනමයි.
මම වැඩි විය පැමිණිලා වැඩි කාලයක් උනේ නෑ, මගේ ම ඥාති සොහොයුරෙක් අතින් මම ගෑනියක් උනා…. ඒ කථාව මම ඔයාට සහ සුද්දියෙන් ම අකුරක් නෑර එදා කිව්ව.
“මට ඔයාට පිළිගන්වන්න කන්‍යා භාවයක් නෑ…. ඒක ඔයාට පස්සට ප්‍රශ්නයක් වේවි…. මම ජීවිතේට බඳින්නෙ නෑ අයියෙ.... මම ඔයාටත් ….ඔයාගෙ ගතිගුණ වලටත් …. ගොඩක් ආදරෙයි. මට බෑ ඔයාව අමාරුවේ දාන්න….. මම ඔයා ළඟට එන්නෙ ගොඩාක් ආදරෙන් ...ඒත් ...මට ඔයාව බඳින්න බෑ”
ඇයි අයියෙ ඔයා ඒ වෙලේ මාව එලවා ගත්තෙ නැත්තෙ…. ඒ වෙනුවට ඔයා වචනයක්වත් කතා නොකර මාව තුරුලු කරගත්ත…. අපි අපේ ම ලෝකයක තනිවුනා…. මම අදට ත් ඒ ගැන තුන් හිතකින්වත් පසුතැවිලි වෙන්නේ නෑ. ඔයා එදා මට දුන්න ජීවිතේ අමතක කරන්න බෑ.
අපිට අපේ ම කැදැල්ලක් හදා ගන්න වැඩි කලක් ගියේ නෑ…. අපේ ජීවිතේ ලස්සන ම කාලය අපි ඒ විදියට ගත කළා.... අපේ සම්බන්ධය කිසි ම කෙනෙකුට රහසක් වෙලා තිබුනෙ නෑ.... අපි එක ම පුද්ගලික රෝහලේ වැඩ කලත් අපේ රාජකාරි වලටවත් කිසි ම බලපෑමක් නැතුව අපි අපේ ම ලෝකෙක සැරිසැරුව.
අපි විවාහය ගැන කථා කලේ ම නෑ නේද?... අපි ජීවත් වුනේ නගරයේ නිසා කිසි ම කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනෙ ත් නෑ…. අහම්බෙන් යහළුවෙක් “කවද ද අපි කේක් කන්නෙ” කියා විහිළුවට ඇසුවත්, “එක්කො ඔන්න ඔහේ විනෝදෙන් හිටපං” කියන්න තරම් ඒ අය නිහතමානී වුණා.
අපි අපේ පුද්ගලික ලෝකයේ ප්‍රශ්න දැන හඳුනාගෙන, ඒවාට සාර්ථකව මුහුණ දෙමින් සිටියා නේද?... අපි දෙන්නාට ම කිසිම අග හිගයක් තිබුනෙත් නෑ…. ඒ අතර ම මට රාජකාරිය ඉදිරියේ මුහුණ දීමට සිදු වූ සියලුම බාධක ඔයා සාවධානව අසා අවවාද දුන්නා…. මම ඒ හැම අවස්ථාවක ම ජය ගත්තේ ඔයාගෙත් සහයෝගය ඇතිව.
දිනපතා ම මට ගැටෙන්නට සිදු වී තිබුනේ විශාල ධනස්කන්ධයක් හිමි උගත් දොස්තරවරුන් සමග…. එතන දී ඔයා ආදරයෙන් රැක බලා ගත් මගේ රූපය, තරුණ විශේෂඥ දොස්තරවරුන්ගේ බැල්මට ගොදුරු වුනත්, ඔවුන්ගේ බුද්ධිය හා සමාජ සාර ධර්ම ඉදිරියේ මට ඔවුන් මග හැරීම කිසි දිනක ප්‍රශ්නයක් උනේ නෑ…. ඒ හැම සිදුවීමක් ම ඔයත් දැනගෙන හිටියා…. අපි බොහෝ විට ඒවා දෙස උපහාසාත්මක ව බලා අහිංසක වින්දනයක් ලැබුවා.... කිසිම අවස්ථාවක සමාජය අපට කුරිරු වුනේ නෑ.
ඒ අතර සිටි මහලු මහාචාර්යවරයා දිනපතා රෝගීන් බලන්නට ආවත්, එයාට ම පුරුදු මැදිවියේ සාත්තු සේවිකාවක් සිටි නිසා, ඒ රාජකාරිය කිසි දිනෙක මට පැවරුනේ නැතත්, එක් දිනක් ඇය නොසිටියෙන් තාවකාලිකව මට පැවරුනා.... ඔහු ඉතාමත් ම මහලු අවුරුදු හැත්තෑපහක පලපුරුදු ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය වරයෙක් ලෙස ඉතා විශාල ප්‍රසිද්ධියට පත් කෙනෙක්…. එයාට ම වෙන්වෙලා හිටි සාත්තු සේවිකාව අස්වෙලා ගිය බවක් මා දැනගත්තේ දිගට ම එම රාජකාරිය මට කරන ලෙස කළමනාකාරිත්වය උපදෙස් දුන් විටයි.
මහාචාර්යවරයා ඉතාමත් ම නිහතමානීව හා ශීලාචාරව මා ඉදිරියේ හැසිරුනේ අනිකුත් තරුණ වෛද්‍ය වරුන්ට පවා ආදර්ශයක් දෙමින්…. අසීමිත නිදහසක් තුළ රාජකාරිය අතරවාරයේ ඔහු මා සමග දොඩමළු උනේ බොහෝ විට කඳුළු පිරි දෙනෙතින්…. ඒ තරම් සම්පත් තිබියදී ත් ඔහු සිටියේ ඉතා ම වේදනාකාරී පරිසරයක…. හැම දිනක ම අප අතර සිදු වූ සියලුම කතා බහ මම ඔබ ඉදිරියේ පවසා සිටිය ත් ඒ කිසිවකට ත් අදහසක් පැවසීම ඔබ මග හැරියා මතක ඇති.
මේ අතරවාරයේ අනපේක්ෂිත අයුරින් අපගේ පළමු දරුවා මා කුස පිළිසිඳ ගත්තා…. කිසි දිනක පිරිමියකු සමග දීග නොයාමට සිතා සිටි මට එම තීරණය වෙනස් කිරීමට සිදු උනේ ඔයාගෙත් බලවත් ඉල්ලීම පිට.... දරුවා නැතිකර සුපුරුදු ජීවිතයට නැවත අවතීර්ණ වීම අප දෙදෙනා ම ප්‍රතික්ෂේප කල නිසා…. අපි නීත්‍යානුකූල විවාහයකට දරුවා වෙනුවෙන් ඇතුළත් වුනා….එය අප දෙදෙනාට ම ප්‍රීතිමත් අවස්ථාවක් වුණා.
මගේ අමිහිරි මතකයන් මේ වෙනකොට කුඩු පට්ටම් වී මතකයෙන් ගිලිහී ගොස් තිබුණා…. එහි ගෞරවය මා ඔබට කෘතඥ පූර්වකව පුද කරනවා.
මා කිසිවිටෙක වයෝවෘද්ධ මහාචාර්යවරයාට පෙම් කළේ නැතත් විශාල ගෞරවයකින් කටයුතු කළේ ඔබගේ ත් අනුමැතිය ඇතිව, මා දරුවකු කුස දරා සිටි අවධියේ ඔහු විසින් පියෙකු ලෙස අප වෙත දිගු කළ නොමසුරු උපකාර නිසා බැව් ඔබ හොඳින් වටහා ගෙන සිටියා නේද?
වැඩි කල් නොගොස් ඔයා නිතර මා සමග අඬ දබර කර ගැනීම පටන් ගත්තේ මහාචාර්යවරයා පිළිබඳව ඔබ තුළ හටගත් සැකය හේතුවෙන්... ඔයාට මතක ඇති ඔයා මට ශාරීරිකව පහර දුන් පළමුවන දිනය. ඒ වෙනකොට මා සමග කිසිම අයුරකින් එතුමා සම්බන්ධ වී තිබුනේ නෑ…. එතුමා මට අනුකම්පා කරමින් උදව් කළා පමණයි.. කොතරම් කරුණු පහදා දුන්නත් ඔයා ඒවා ගණන් ගත්තේ නෑ.
ගැහැනියක් හැටියට මම අන්ත අසරණ තත්වයකට ඇද වැටුනා.... කිසිම පිළිසරණක් නොමැති ව මම දස අතේ කල්පනා කරා…. එක පැත්තකින් ඔයාගෙන් මට එල්ල වෙන චෝදනා. අනෙක් පැත්තෙන් පුතා…. ඒ අතරතුර ඔයා මගෙන් වෙන් වෙන්න ගත් තීරණය.
අපේ ජීවිත අතරට තවත් ජීවිතයක් ඇවිත් තිබුණ නිසා මට විශාල වගකීමක් ගන්න සිදු වුණා... මගේ අමිහිරි අතීතයත් මේ වෙනකොට ඔයාගෙ හිතේ හොල්මන් කළ විත්තිය මට හොඳට ම තේරුණා.
මම දරුවෙකුත් එක්ක අන්ත අසරණ තත්වයකයට ඇද වැටුණා... පියෙක් වගේ මට අවවාද කළ ඒ මහාචාර්යවරයාට අපේ විරසකය රහසක් උනේ නෑ.... අග හිගකම් මධ්‍යයේ මට එතුමාගෙ උදවු ප්‍රතික්ෂේප කරන්න බැරි වුනා.
මට මේ වෙනකොට තේරිලා තිබුන ත් විශාල විනාශයක් අත ලඟ විත්තිය, එය වළක්වා ගන්නට නොහැකි උනේ විකල්පය ඊටත් වඩා භයානක යැයි මට ඒ වෙන කොට හැඟී ගොස් තිබුන නිසයි.
මහාචාර්යවරයාගේ බිරිඳ ත් එක ම දියණිය ත් ජීවත් වූයේ ඇමරිකාවේ බව අප කවුරුත් දැන ගෙන සිටියා…. මම පුද්ගලිකව දැන ගෙන සිටිය ත් එතුමා විශාල මන්දිරයක තනිව ම ජීවත්වන බව, කිසි දිනක ඒ සම්බන්ධ ව කිසිම සඳහනක් මා ඉදිරියේ ඔහු පවසා තිබුනේ නෑ.
ඔයා අප ඉතාමත් ම ආදරයෙන් ජීවත් වූ කුලී නිවසින් පිට වී ගිය බව ත් ඒ අසල ම වෙනත් නිවසකට ගිය බව ත් එතුමා දැනගෙන තිබුණා.
“ඔයා දැං ඉන්න ගෙදරට කීයක් කුලිය ගෙවනවද?”
“විස්සක් ගෙවනව …. සර්”
“එතකොට …. එයා කොහෙද ඉන්නෙ”
“ඒ ළඟම …. ගෙදරක සර්”
“මම දන්නව ඔයාගෙ පඩියෙන් දරුවත් බලාගෙන ගෙවල් කුලියත් ගෙවාගෙන ඉන්න බෑ කියල….. මට පුළුවන් ඔයාට උදව් කරන්න….. ඒත් දෙන්න එක ළඟ ගෙවල් දෙකක … විරසකයක් එක්ක ජීවත්වෙන එක නම් …. හොඳ නෑ….. නේද”
“මට තේරෙනව සර් …., ඒත් …. මම මොනව කරන්න ද?”
“ඔයා වෙන ගෙයක් කුලියට අරගෙන යන්න”
“මම ඒකට ….ඉතුරු කරපු මුදලක් නෑ සර්….. ඔබ තුමාට පින්සිද්ධ වෙන්න තමයි දැනටත් ගෙදර හැම දෙයක් ම…., දරුවගේ කිරිපිටි පවා ගන්නෙ”
“ඔය ළමය ඒ ගැන හිත කලබල කරගන්න එපා…. ඔයා දන්නවනේ මගේ ආදායම…. අනික මම කාට වියදම් කරන්න ද….. මටත් කාත් කවුරුත් නැති ගානයි නේ…… හරි…...මම ඔයාට මෙහෙම දෙයක් කරන්නම්….. මම ළඟදිම ලෙඩ්ඩු බලන එකත් නවත්තනව…. මම ඇමරිකාවට යන්නත් ඕන දුව බලන්න …… එයාල දැං එහේ ජීවිතවලට හැඩගැහිල ඉන්නෙ….. කවදාවත් ලංකාවට එන්නෙ නෑ නිවාඩුවකට ආවොත් මිසක්…..ඔයා ඇවිත් මගේ ගෙදර නවතින්න දරුවත් එක්ක….. තව මාම කෙනෙකුත් ඇවිල්ල ඉන්නව කිව්ව නේ…. එයත් එක්ක එන්න…. මගේ ගේ දොර බලාගෙන ඉන්න… මම ඒකටත් එක්ක ඔයාට සෑහෙන අමතර මුදලක් දෙන්නම්….. මම ළඟදි මාස කීපයකට ඇමරිකාවට යනව. ඔයා කැමති නම් හෙට උනත් ඇවිල්ල නවතින්න….. කල්පනා කරල තීරණයක් ගන්න”
මගේ ඔළුව හතර අතේ දුවන්න ගත්ත... වෙන විකල්පයක් ගැන හිතන හැම වෙලේම මට හිතුනෙ ජීවත් වෙන්න නම්, ඔයා ගොඩාක් ආදරේ කරපු මගේ සිරුර විකුණන එක විතරයි කියලයි…. කොතන ගියත් ඒකට තියෙන ඉල්ලුම මම තේරුම් අරගෙන හිටියත් මට මගේ කුඩා කල සිදු වුන ඒ අමිහිරි සිදුවීම ත්, ඉන්පසු ඒ කැළල ඔයා ඉදිරියේ මැකීගිය හැටිත් මතක් උනා…. මගේ ජීවිතේ අලුත් පැතිකඩක් මට කියා දුන්නෙ ඔයා… මම ඔයා වෙනුවෙන් ජරා ජීවිතයකට නොයන්නත් ඔයාගෙ ලේ වලින් හැදුණු දරුපැටිය වෙනුවෙන් එතුමාගෙ අවංක උදව් ලබාගන්නත් හිත හදා ගත්ත.
පහුවදා ම මම මගේ තීරණය එතුමාට දැන්නුවා... එදා මම එතුමාගෙ ඉල්ලීම පිට ඒ මහා මන්දිරය බලන්න ගියේ එම නිවසෙහි ම ඇනෙක්සිය බාර ගැනීමේ අදහසින්... හැකි ඉක්මනින් මම මගෙ දරුවත් මාම ත් එක්ක එන බව පවසා පෙරලා ගෙදරට ආව ත් මගේ හිත මොකද්දෝ සැකයකින් පිරිලා තිබුණා... මේ තීරණය අවසාන විසඳුම නොවන බවක් මට හැඟී ගියා... අවසාන විසඳුම නීතියෙන් වෙන්වීම නොවන බවත් මට වැටහී තිබුණා.
මම තෙහෙට්ටුවට හාන්සි උනත් නින්ද අහලකවත් තිබුනේ නෑ….. ඔයා දරුව භාරගන්නවා නම් මට තනියම ජීවත්වෙන්න පුළුවන් වේවි.... මම දන්නව ඔයා මගේ මේ තීරණයටත් අකමැති විත්තිය… මොන පිරිමිය ද කැමති තමන්ගෙ ගෑනි වෙන මිනිහෙක්ගෙ වහල යටට යනවට.
අනික ඔයා එතුම ව අවිශ්වාස කරන එකේ ඒ බව දැනගත්ත ගමන් ආවේශ වෙනව… මගේ හිත කිවිව ඔයා ඉක්මනට ම මේකට විසදුමක් දේවි කියල…. මම හිතුව ඔයාගෙ කකුල් දෙක ළඟ දනගහල වැඳල කියන්න මගෙත් මහාචාර්යවරයා අතරත් කිසි ම ශාරීරික සම්බන්ධතාවයක් නැති විත්තිය…. මාව විශ්වාස කරල අපි ආයෙත් අපේ කැඳැල්ල හදාගමු.
මම පියවි සිහියට ආවෙ ඔයාගෙ අඩි සද්දෙට. ඒ වෙලාවෙත් මට හිතුන ඔය එන්නෙ මගේ කුමාරය මාව බේරගන්න කියල.
ඇත්තටම ඔයා මාව බේර ගත්ත නේද?
මේ ටික ඔයාට ඇහුනෙ නැතත් මම දන්නව ඔයාට දැනෙන විත්තිය…. දැන් මගේ හිත හෑල්ලුයි... මගේ හිත මගේ ගතින් ඔයා එක පිහි පාරකින් වෙන් කළත් තවමත් මගේ හිත ඔයා ළඟ... ඒත් දැන් මට වෙන්වෙන්න කාලය ඇවිත්… මේ සංසාර ගමනේ එක් අම්බලමක් පමණයි. මම ඊළඟ අම්බලමට යා යුතුයි… එතනදි ත් මට ඔයා මුණ ගැහේවි.
යෞවනයේ ගිලිහී ගිය මගේ ජීවිතය මට ලබා දී මාව කලක් ආදරෙන් බලාගත් ඔයාටත් ඔයාගෙම ලෙයින් උපන් අපේ කිරි කැටියටත් බුදු සරණයි.
පසුව ලියමි: සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුන ද මෙය මගේ මනසේ උපන් සිතුවමකි.
Post a Comment