සීයගෙ කවිය

එංගලන්තෙ සුද්දියෙක්ගෙ බඩට වරෙං සීයෙ...

වනෙත් ගිජිදාය සිටියොත් වැනසේය
ලිඳෙත් පනිදාය බැස්සොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

අපේ සීය ඔන්න ඔය කවිය ලස්සනට කිව්වෙ එක දහස් නමසිය පනස් ගනංවල…... අපි පොඩි කොල්ලො කාලෙ…..  මාර වැඩේ මේ මිනිහට වෙලා තියෙන්නෙ…… කොහොම උනත් ඒ විනම්බෑසිය අස්සෙත් ඒකා දඬු බෑයෙ පැණි කාල.... ආතල් පොරක් වෙන්න ඕන….. ඒ දවස් වල ඒකා ගැන දුකක් හිතුනත් ඒක ලියාපු කවියා කතාව ඉවර කරන්නෙත් happy ending එකකින් පැණි කෑය කියල.

ඔය ඉතින් අවුරුදු හැටකට විතර කලින් නේ.... එදා ඌට තිබිල තියෙන්නෙ මරණ තුනයි... අද…... අම්මට හුඩු කිව්වලු……  ඔන්න ගනං තියාගනිං සීයෙ අපි අද පැණි කන හැටි.

උදේ පාන්දර නැගිටල නෝන හදලා දෙන කිරි තේ එක අතට ගත්ත ගමන්ම ඒක ඇතුලෙ මිනී ඔලුවක් පේනව….. ඌරු තෙල්…... මේ ඇන්කර්ද? වෙන පිටි කොහේද තියෙන්නෙ.... ඇයි පැලවත්ත….. බෙහෙතකටවත් නෑ…..  ඇන්කර් වස.

නවසීලන්තෙ ඔක්කොම එළදෙන්නු එකතුකලත් ලංකාවෙ කිරි පිටි demand එක සපුරන්න බෑ….. අපි පාර්ලිමේන්තුවට ඇරපු එකෙක් වගකීමෙන් කියනව.

නවසීලන්තෙ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු නෑ…. මෙන්න සහතිකේ….. ආණ්ඩුවෙම තව එකෙක් මොර දෙනව.  

පාරිභෝගික අධිකාරිය…. ගල් ගිලල වගේ බලාගෙන ඉන්නව.

තේ එක බීල මැරෙයිද කියන භයට මම ඉතිපිසෝ ගාථාව කිය කිය කිරි තේ එක බොනව.

ඔන්න සීයෙ උදේ පාන්දරම මාරය ගෙට ඇවිල්ල…… සීයලගෙ කාලෙ නම් අපේ ගෙදරත් එළදෙන්නු හිටිය….. අපි බිව්වෙ නියම එළකිරි.

සීයට මතකද දවසක් සීයගෙ වැස්සියකුට විලිරුදාව හැදිල….. කඹේ කඩාගෙන වත්ත පුරා දුවනව…. සීය බස්තමත් ගහ ගහ එක අතකිං කඹේකුත් අරගෙන ගියා… මම චන්ඩිය වගේ සීයට ඉස්සර උනා….. වැස්සි මාව දැක්ක විතරයි….. පිඹගෙන මගේ ඉස්සරහට ආවෙ අනින්නමයි…. මට දුවන්න පාරත් මදි උනා…. ඔහෙ හිටු ගෙරිය කියල බස්තම ඉස්සුව විතරයි…. වැස්සි පොඩි එකෙක් වගේ සීය ඉස්සරහ දනින් වැටුන….

ඒ චන්ඩිය තමයි සීයෙ මේ ලියන්නෙ…. අපිට අනුකම්පා කරහං සීයෙ.

“තාත්තෙ මාව බස්සන්න කලින් මයිලෝ එකක් අරං ඕන හරිද”

“අපෝ වහ”

රටේ ජනාධිපති කිව්වෙ.

“එහෙනං චතුරිකා අක්කි මයිලෝ බෙදුවෙ”

පහේ ශිෂ්‍යත්ව විභාගෙට පැකට් කල කිරි ශරීර සෞඛ්‍යයට හිතකරද අහිතකරද කියල ප්‍රශ්නයක් පතෝලයගෙ උපදෙස් පිට ඇතුල් කරල තිබුනොත්…..  මේකා හිතකරයි කියල ලියනව…. ආයෙ දෙකක් නෑ…. ඇයි ඉතිං පොඩි එකා උනත් අහන්නෙ චතුරිකා අක්කි කියන එකනේ…. බැරිම තැන මයිලෝ පැකට් එකක් අරගෙන දුන්න…. මේකා මැරෙයිද….? මැරුනොත් නෝන මාවත් මරනව.

පොඩි එකා බස්සල office යන්න bike එකට නැග්ගා.... බස් එකක් ඉස්සරකෙරුවෙ උගේ හුලඟටත් මාව විසිවෙන ගානට…. යාන්තමට බේරුනා….  අමාරුවෙං බයිසිකලේ කෙලිං කරගෙන.

ඒ මදිවට ඌ වමට හැරෙව්වෙ කිසිම අනක් ගුනක් නැතුව…… කන පැලෙන්න ප්‍රේම දඩයමත් ගහගෙන...කොන්තා අතකුයි කකුලකුයි දෙකම එලියට දාල වමේ වාහන නවත්තනව…. ආපු speed එකෙන්ම ඩ්‍රයිවරය වමට හරවනව.... නූලෙන් මරනෙන් ගැලවුනේ…. ඌත් හරියට අර වනේ ගිජිදා වගේ…. මාව චප්ප කරල මරන්න හැදුවෙ.

දැන් කීවෙනි මරණෙද කියල ගානත් වැරදුනා….. සීයම ඉන්න තැනක ඉඳගෙන ගනං තියාගනිං සීයෙ.

ඔන්න එතකොටම defender දෙකක්ම එනව රතු ලයිට් එකත් කාගෙනම….. Defender වලට රතු ලයිට් අදාල නෑ… උන්ට රතු කියන්නෙ යන්න…. කහ කියන්නෙ ලෑල්ලට පාගන්න…. කොල කියන්නෙ යන්නම යන්න…. හතරවටේම වාහන ජාතික ගීයට ඉද්ද ගැහුව වගේ නවත්ත ගත්තෙ නැත්නම් උං වාහන කීපයකටම හප්පගෙන තමයි යන්නෙ….. එලවන එකාගෙ මූන යාන්තමට වගේ දැක්ක…. කවුද කියල හරියටම කියන්න බෑ…. කාපිරි තොල් දෙකක් මූනටත් වැඩිය ලොකුවට... හිටපු ඇමතියෙක්ව මතක් උනා.

තවත් මරණෙකින් බේරුනා.

Office එකේ උන් මූණු එල්ලගෙන….. කවුරුවත් වැඩ නෑ.... ප්‍රශ්නයක්ද...? සමරෙ නැතිවෙලා…. ඊයෙ අපි short leave දාල මහ ඉස්පිරිතාලෙ cancer ward එකට ගියේ සමරෙ බලන්න.... මම දන්න අය හයදෙනෙක් විතර පහුගිය ටිකේ cancer හැදිල මැරුන….. Cancer මාරයෙක් වෙලා... දත් විලිස්සගෙන ඉන්නව පේනව…. අපි කන්නෙම වස විස…. කෑවොත් cancer. නොකෑවොත් malnutrition. සීයලගෙ කාලෙ cancer තිබුනද සීයෙ…. මට මතකයි සීය කොස් ගෙඩියක් වත්තෙං කඩාගෙන ඇවිත් මදුලු ගලවනව…. ඒ කොස් ගස් ටික අද අපේ ගෙදර වහලෙ සීයෙ…. පොලෙං ලියාපු කොස් පැකට් ගේනව…. ඒවටත් harpic ගහනවලු…. PHI කියන්නෙ….. ආණ්ඩුව කරන උංගෙ අම්ම මතක් උනත් ලියන්න බෑ සීයෙ…. මේක කියවන උං මට බනිනව…. හොඳට හිටපු එකා දූශනය වෙලාලු.

ඔන්න සීයෙ cancer මාරය….. ඉන්න තැනක චූන් එකේ ඉඳගෙන ගනං තියාගනිං සීයෙ…. ආයෙ මෙහෙ එන්න නං හීනෙංවත් පතන්න එපා.

අපේ ඇමතියගෙ පුතා ඩෙංගු හැදිල අන්තිමයිලු.... වීරෙ office එකේ කියවනව….. ගෙදර A/C….කාර් එකත් A/C… කොහේ ගියත් උන් ඉන්නෙ A/C කාමර වල….. එහෙම ඉඳලත් ඩෙංගු මාරය ඇවිල්ල….. අපි ගෙදර නිදාගන්නෙ ත්‍රිවිධ හමුදාවම mobilize කරල….. මදුරු දැල….. Fan එක.... ඒ මදිවට coil එක….. Coil එක නැත්නම් මදුරු දැල ඇඟේ ගෑඋනාද කෑව….. මාරය කොයි මොහොතෙ ගිලගන්නද කියල බලාගෙන ඉන්නෙ.

සීයලගෙ කාලෙ තිස්තුං කෝටියක් දෙයියො හිටිය කියල උංට සීය පිං දෙනව මතකයි…. ඒ කාලෙ එක මාරයයි හිටියෙ…. අද කාලෙ එක දෙයියයි ඉන්නෙ…. ඌටත් කං ඇහෙන්නෙ නැති නිසා loud speaker දාල එකෙක් අල්ලාහු අක්බර් කියනව….. තව එකෙක් හාලෙලූය කියනව….. තවත් එකෙක් පන්සිල් කියවනව…. අද කාලෙ හැට හය කෝටියක් මාරයො ඉන්නව සීයෙ….උන්ට සාප කරල ඉවරවෙනකොට අර පිං බලාපොරොත්තුව ඉන්න දෙවියන්ට දෙන්න කොහෙ තියෙන පිනක්ද සීයෙ.

අපේ ගෙදරට ඊයෙ ත්‍රිවිධ හමුදාවෙන් පැන්න….. පොලීසිය…. Army…. ඒ මදිවට නගර සභාවෙ PHI සෙට් එක…. ඩෙංගු මර්දනයට….. අවුලක් නෑ සීයෙ… ප්‍රස්නයක් නෑ කියල යන්න හදන කොටම… මගේ වාචාල කට ඉස්සර උනා….. ටවුමෙ කාණු බලල නගර සභාවට නඩු දාන්නෙ නැද්ද කියල ඇහුව… රාජකාරියට බාධා කලාට නඩුවක් වැටුන.

මට මතක් උනා ගාල්ලෙ කොටුවෙ කාණු පද්ධතිය…. ලන්දේසි කොටුව ලොකු කරනකොට ඉබේම high tide එකට පිරිසිඳු වෙන කාණු පද්ධතියක් හැදුව කියල මට සීය කියල තිබුන….ඒක තාමත් වැඩ කරනව….

සීයල පැණි කෑවෙ මරණ තුනක් එක්ක….. අපි කෝටියක් මාරයොත් එක්ක පොර බදනව දිනපතාම…. කන්න මී පැණි බෙහෙතකටවත් නෑ සීයෙ…. අපේ ඝනයො ටික හැම පෝයටම මල් ලක්සෙ පූජාවල් තියනව හැම පන්සලකම….. මීමැස්සොත් රට දාල ඕස්ට්‍රේලියාවට ගිහිල්ල.

මමත් හෙට අනිද්ද එංගලන්තෙට පැනගන්න ඉන්නෙ. උඹ තාම ඔහේ නේද සීයෙ. උඹට එන්නම ඕන නම් එංගලන්තෙ සුද්දියෙක්ගෙ බඩට රිංගපං සීයෙ. වීසා ඕන නෑ එතකොට.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget