එංගලන්තයේ Pragmatic දවල් හීන.....


එංගලන්තයේ Pragmatic දවල් හීන……

මුනුපුරා තුන වසරෙ….. මිනිපිරී අට වසරෙ…. මගේ එංගලන්තෙ නිවාඩුව මේ දෙන්නව පාසැලට අරගෙන යන්නයි ආපහු අරගෙන එන්නයි ගත කරන අතරෙ බොහෝ අවස්ථාවල හිම්න් සීරුවෙ එයාලගෙ පොත් බෑග් අතරට රිංගන්නෙත් ගොඩාක් ආසාවෙන්…. ඒ වෙලාවට මට හිතෙනව අපේ ලංකාවෙ අධ්‍යාපනේ කොච්චර පසුබෑමකට ලක් වෙලාද කියල….. ලමයි අතරෙ කිසිම තරඟයක් ඇති වෙන්න ඉඩක් නෑ මේ ක්‍රමයට…. Report එකෙත් තියෙන්නෙ good, very good, above average ඔන්න ඔය වගේ දේවල්…. ඔය අතරවාරෙ හැමදාම සාලෙ සැටිය උඩම පොඩි නින්දකුත් ගහන්න මට ඉඩ ප්‍රස්ථාව ලැබෙනව.

වීදුරුවෙන් එලිය බලනකොට පොලිස් කාරයො සැලියුට් ගහනව ඕසෙට…. ඉස්සරහ සීට් එකේ සුදු ඇඳගත්ත පාංශු දේහදාරී ආරක්ෂක නිලධාරියට අමතරව රියදුරෙක්….. පිටිපස්ස සීට් එකේ මම තනියම…. සුපුරුදු ටී ශර්ට් එකයි ජීන්ස් කලිසමයි නේද ඇඳගෙන ඇවිත් තියෙන්නෙ කියල තේරුම් ගන්න කොට ලොකු පෝටිකෝවක් යට වාහනේ නතර උන සැනින් ආරක්ෂක නිලධාරිය දොර ඇරියෙ වෙඩිල්ලක් වගේ…. මගේ කාලය ඒ තරම්ම වටින වග එයා හොඳින් තේරුම් අරගෙන…. වාහනෙන් බහින්න කකුල එලියට දාන කොටම තමයි දැක්කෙ මගේ ආසම අඩිඩාස් ට්‍රේනර්ස් සපත්තු දෙක…… මගේ ඇදුම් තැනට ඔබින්නෙ නෑ නේද කියල හිතට ආවත් වටපිටාවෙ ඉන්න සේවක පිරිස ඒ ගැන කිසිම තැකීමක් නැති විදියට ගුඩ් මෝනිං කියනකොට මගේ සැකය තුරන් වෙලා ගියා වගේ දැනුන.

"ගුඩ් මෝනිං කමල්… අද අපි recruite කරපු english teacher ලංකාවට ආව… එයා හෝටලේ room එකේ…. 8.30 ට ඒවි… මම වාහනයක් ඇරිය"

මගේ secretary එහෙම කියනකොට තමයි මට මතක් උනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමති හැටියට වැඩ භාර ගත්ත දවසෙ කිසිම කෙනෙකුට සර් කියන්න අවශ්‍ය නෑ කියල මම ඉතා කාරුණිකව කල ඉල්ලීම…. එයාලට ඒකට හුරුවෙන්න සෑහෙන කාලයක් ගියා…..ඒ අතරෙ "මේකා ගම කනව" වගෙ කථාත් මට අතරින් පතර මුල් කාලෙදි ඇහුනත් පහුවෙනකොට ඒවත් නැතුව ගියා. 

එදා primary පන්තියෙන් එංගලන්තෙ පාසැල් වලට සමගාමීව පටන් ගත්ත එකම පාසැල අවුරුදු හතරකට පස්සෙ උසස් පෙල දක්වා පැතිර ගිහිල්ල…. හැම වසරකම එංගලන්තෙන් ස්වේච්චා ගුරුවරු ලංකාවට එනව…. එයාල මාස හයෙන් හයට මාරුවෙනව…. ඒ අතරෙ එයාල අපේ අයවත් පුහුණු කරනව….  අපේ රජයෙන් එයාලට පඩි ගෙවන්නෙත් නෑ…. ලංකාවට ඇවිත් ස්වේච්චාවෙන් සේවය කරන්න එංගලන්තෙ ගුරුවරු ඕසෙට…. අපි එයාලට ගමන් වියදම් හා අනෙකුත් පහසුකම් සපයනව…. මගේම සංකල්පයක් මත පටන් ගත්ත මේ ව්‍යාපෘතියට එංගලන්තෙන් ආධාරත් ගලාගෙන එන්න පටන් ගත්තා….. එංගලන්තෙ ශ්‍රී ලාංකිකයො සෑහෙන්න උදව් කලා.

පාසැල පටන්ගත්තෙත් මගේම කතරගම ඉඩමෙ…… එයාලට යාල වන උද්‍යානයත් ආකර්ෂණීය ස්ථානයක් වෙලා…. දැන් ඒක ඉතා ප්‍රසිද්ධ පාසැලක් වෙලා…. සියලුම අධ්‍යාපන ක්‍රමවේද එංගලන්තෙ syllabus වලට සමගාමීව…. ලංකාවටම එකයි….. හැමෝම පොරකනව එයාලගෙ දරුවො මේ පාසැලට ඇතුල් කරන්න…. නේවාසික පහසුකම් අපූරුවට

හවසට වැඩිහිටියන්ට ඉංග්‍රීසි පන්ති…. හවසට වැඩිහිටියො පාසැලේ පිරෙනව…. කතරගම කඩපිලේ three wheel මල්ලිල කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්….. එයාල වැරදි පැත්තෙන් ඉස්සර කරනකොට පොඩි එකෙක් ඇතුලෙ හිටියොත් වස ලැජ්ජාවයි….. ඉංග්‍රීසියෙන්ම දේසනාවක් දෙනව…. සුද්දො කතරගම පිරිලා….. එයාලට මග පෙන්නන්න ඕන කෙනෙකුට පුලුවන් ඉංග්‍රීසි දන්න නිසා. 

ඒත් ආච්චිල සීයලට මල පැනල…. කොහොම උනත් එයාලටත් දැන් ඉංග්‍රීසි තේරෙනව…. පොඩි උන් ගෙදර ගියාම එයාලටත් ඉංග්‍රීසි ටික ටික උගන්නලා…. ආච්චිලා සීයලගෙ බුලත් කහට වලින් පිරිල තිබුන ලොඹු කටවල් දැන් Good morning, Good afternoon Good night වලින් පිරිල… කඩවල් වල ඉන්න නැන්දල මාමල How can I help you කියාපු ගමන්.

කතරගම පුංචි එංගලන්තයක් වෙලා…. මිනිස්සු වැඩකරන්නෙ හරිම හික්මීමකින්…. පාර තොටේදිත් අනිකාට ගරුකරනව…. චූටි අතපසුවීමටත් Sorry කියන්න පුරුදුවෙලා…. පාරෙන් අයින් වෙලා වයසක කෙනෙකුට ඉඩ දුන්නම Thank you කියන්න පුරුදුවෙලා… පාරෙ තොටේ මූණු හිනාවෙන් පිරිලා…. How are you, Have a good day වගේ වැකි යන යන තැන ඇහෙනව.

කතරගම පොලීසියත් මේ වසරේ දිවයිනේ හොඳම පොලීසිය වෙලා… අපරාධ ඇත්තෙම නෑ වගේ… පොලීසියට වැඩත් නෑ…. එයාලට වැඩ තියෙන්නෙ කතරගම පෙරහැර දවස් වලට විතරයි… ඒත් ලංකාවෙ හතර වටින්ම බැතිමතුන් එන නිසා… එයාල උනත් මේ සුන්දර නගරයේ පවතින ක්‍රමේට පිටින් යන්නෙ නෑ… පාරෙ කුණු කෑල්ලක් නෑ…. 

මේ සියලු වෙනස් කම් වල මූලාරම්භය අපේ පාසැල…. අපේ පාසැල ලංකාවෙ හොඳම පාසැල වෙලා… ගාල්ලෙත් මේ ක්‍රමය ස්ථාපිත කරන්න Pilot project එකකට ගිය සතියෙ මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලා… තවම අනුමැතිය ආවෙ නෑ… ඒකට විරෝධය මාධ්‍ය හරහා දිගටම පල වුනේ මම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක් කියල… ලිපි වලින් පත්තර පිරිල… ප්‍රසිද්ධ චරිත ගෙන්නලා මේ ක්‍රමේට විරුද්ධව ගෙනියන ප්‍රචාර වලින් TV නාලිකා පිරිලා…. ඒ ප්‍රසිද්ධ චරිත පවුල් පිටින් ජීවත්වෙන්නෙත් එංගලන්තෙ…. දරුවො යන්නෙත් එංගලන්තෙ පාසැල්වලට.

අමාත්‍යාංශයේ වටකරල චීවරධාරීන් දහස් ගනනක් මේ ක්‍රමේට විරුද්ධව…. බෝඩ් උස්සගෙන කෑගහනව…. එංගලන්තෙටම පල…. පොන්නයෝ… අපෙ දරුවො විනාශ කරන්න එපා… මම අමාත්‍යාංශෙ ගේට්ටුව ඇරගෙන එලියට ගියේ එයාලට කරුණු පහදලා දෙන්න….. එතකොටම කොණ්ඩෙ වවාපු චීවරධාරියෙක් ඉස්සරහට ආවෙ පිස්තෝලයක් දික් කරගෙන…. ලොකු පිපිරීමක් ඇහුන.

මම එංගලන්තෙ සාලෙ සෝපාව පල්ලෙ…. නෝනගෙ හිනාව අස්සෙන් මම නැගිට්ටෙ හීනයක් දැක්ක කියාගෙන.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget