දියකාවත ... පස් වැනි පියාපත
දියකාවත ... පහ
වසර 2018
රූමස්සල වරායේ නිල නිවාඩු නිකේතනය වන " හාබර් ඉන් " පසු කර සාම චෛත්‍යය දෙසට මීටර් සියයක් පමණ දුරින් මුහුද දෙසට නෙරා පිහිටා ඇති ගල් තලාව අවට සිරි නැරඹීමට ම සොභා දහම විසින් දුන් දායාදයක් වැනිය. එහි සිට බලන්නෙකුට එක එල්ලේම සුන්දර ගාළු කොටුව, වරාය හා නගරය දැකුම් කළු දර්ශනයක් සේ දිස්වේ.
මදක් නැඹුරුව බෑවුම දෙස බැලූ විට වම් පසින්, (මගේ දැනුම නිවැරදි නම්) ලංකාවේ එකම වනගත වෙරළ තීරය වන ලෝකයාගේ ජනප්‍රසාදයට ලක්වූ ජංගල් බීච් දිස්වේ.
මම මගේ මෝටර් රථය නතර කර ඉහත කී ගල් තලාව උඩට පිවිසියේ බස්නාහිර සිතිජයෙන් අදට සමුගන්නා හිරු ගේ නේක වර්ණ රටාවන් දෙස මද වේලාවක් බලා සිටීමටය.
" මොකෝ කමල් මහත්තයා, භාවනා කරනවැයි "
කුඩා කල සිට මා දන්නා හඳුනන දියකාවාගේ ඥාති පුත්‍රයෙක් වන මංජු මගෙන් විමසූයේ මගේ එදින පැමිණීම අනපේක්ෂිත නිසා විය හැක.
" අප්පේ කොල්ලො... උඹ දැකපු කල්... අවුරුදු ගානකට පස්සෙ ... නිකං ආව බං උඹලා බලල යන්නත් එක්ක "
මම එසේ කීවේ අර්ධ බොරුවකි. යටි සිතේ එවැනි හමුවක් නොතිබුනාමත් නොවේ
තරමක සතුටු සාමීචියකට පසුව ඔහු මගෙන් සමුගෙන ගියේ මා අත් විඳිමින් සිටි සැඳෑ අසිරිය ට ඉඩ හරිමින් විය හැක.
මම පසු පස හැරී ඔහු හට සමු දී නැවතත් ධ්‍යානයට සම වැදුනෙමි.
මෙම ගල් පරය දියකාවාගේ ප්‍රියතම ස්ථානයක් වී තිබූ බැව් මා හොඳාකාරවම දැන සිටියෙමි.
==================
හැත්තෑවේ දශකයේ එක් දිනෙක....
දියකාවා ඔහුගේ අක්කාගේ නිවසින් තේ බී ඔහුගේ ප්‍රියතම ගල උඩට ආවේ නිශ්චිත අරමුණකින් ම නොවේ. මෙය අසල නිවසේ සිටි ඔහුගේ අක්කා හට සුලභ දසුනක් වී තිබුනි.
ගල උඩ සිට අක්කාගේ යාන්තමට අටවා ගෙන සිටි පැල්පත දිස්වූයේ ඔහු දෙස බලා සිටිනා ආයාචනාත්මක එහෙත් අසරණ සිනහවකින් මුව සරසා ගත් සිය එක කුසේ උපන් සහෝදරිය විලසින්ය.
එම දසුන දියකාවාගේ ලය පාරවා ගියේය. අක්කාගේ නිවස පිලිවෙලකට සාදා දිය යුතු යැයි ඔහු සිතන්නට වූයේ කන්දේ බොහෝ ඥාතීන් හට ඔහු මේ වනවිට කර තිබූ උදව් උපකාරද සිහි කරගනිමිනි.
" ආ... මල්ලි ... අද මූදට බැස්සෙ නැතෙයි "
දෙවට දෙසට පිය නගනා, දුර ඥාතිත්වයක් ඇති ඥානා විමසූයේ නියත පිලිතුරක් බලාපොරොත්තුවෙන් නොවූවත් සිය සුහදත්වය ප්‍රකාශ කිරීමේ අදහසින්මය.
" අක්කා ගෙදරට බඩු ගේන යනවැයි .... කෝ සිරිපාල අයියා "
" එයා ඉතිං හෙදර එනකොට බැරියැ... මම යනව රෑට මොකවත් ගේන්න... පොඩි උං බඩගින්නෙ තියන්නයැ"
සිරිපාල ගෙදර එන්නේ රෑ බෝ වී පෙදරේරුවෙක් ලෙස එදිනදා හම්බ කරගත් මුදලින් දෙවටේ තැබෑරුමෙන් අරක්කු කාලක් බීමෙන් අනතුරුව බව දියකාවාට සිහියට නැගුනි.
ගමේ අහිංසක ගැමියන් සියළුම මුළුතැන් ගෙයි අවශ්‍යතාවයන් සඳහා දෙවටේ මුස්ලිම් කඩයකින් පොතට බඩු ගැනීම සිරිතක්ව පැවතුනි. එය දියකාවාට විශාල ප්‍රශ්නයක් වී තිබුනි. එක් අතකින් මුදලාලි ලා දුප්පතුන් ණය පොත් තුලින් සූරා කෑම සිදුකරන අතර පවතින ආණ්ඩු ක්‍රමයෙන්ද කිසිම පිළිසරණක් පෙනෙන තෙක් මානයක නැතිවා සේය.
දේශපාලනයට සම්බන්ධවී දුප්පතුන්ට සේවය කරන්නට ඇත්නම් යැයි විටෙක ඔහුට සිතුනත් දේෂපාලකයන් ඉදිරියේ පිංසෙණ්ඩු වීමටද බැරි යැයි ඔහුට සිතුනි.
කන්දේ යම් තැනක සමූපකාරයක් පවත්වාගෙන යා හැකිනම් එය වැසියන්ට යහපතකැයි ඔහුට සිතුනි. ඓතිහාසික කුළුණු කන්දේ දිරාවැටෙමින් තිබුනු එක්තරා ගොඩනැගිල්ලක් ඔහුගේ මතකයට ආවේය. නිරායාසයෙන් ඔහු ඒ දෙසට පියමැන්නේ දහසක් සිතිවිලි සහ බලාපොරොත්තු සිතින් දරාගෙනය.
=================
කුළුණු කන්දේ 1875 දී පමණ සනාථ නොවූ තොරතුරු අනුව ඉංග්‍රීසීන් විසින් ව්‍යාජ ප්‍රදීපාගාරයක් ලෙස ඉඳි කරන ලද කුළුනකි. එය ඔවුන් ඉඳි කරන්නට ඇත්තේ ඈත මුහුදේ සිට පැමිණෙන නැව් නොමග යැවීමේ අරමුණින් යැයි ප්‍රකට ජනප්‍රවාදයකි. රූමස්සල මුහුදු පත්ලේ සැඟවී ඇති වසර සිය ගණනක් පැරණි නාවික නටඹුන් එම ජනප්‍රවාදය සනාථ කිරීමට ඇති ප්‍රභල සාක්ෂියක් සේ මට හැඟේ.
පසුදින තරුණයන් පිරිසක් කැති උදළු අතැතිව කුළුණු කන්දේ බොහෝ කාලයක් අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක් දෙසට පිය නගනවා ගම්වාසීන් කුතුහලයෙන් බලා සිටියෝය. දියකාවා ඉදිරියෙන්ම ගමන් කරනුයේ යුධකාමි සොල්දාදුවන් පිරිසක නායකයා විලසින්ය.
" කොහෙද බං මේ උදහැනැක්කෙ "
ගමේ රොයිටර් නම් විරුදාවලිය ලත් වයස්ගත වූවත්, දඟකාර තුරුණු වියක නෂ්ටාවශේෂ සිය අඟ පසඟ. විදහා දක්වමින්, ලැන්සි නැන්දා විමසූවාය.
" පොඩි වැඩකට යනවා නැන්දේ "
ඔහු කීවේ සැනින් ඇය " ආං අරූ කුළුණු කන්දෙ ගියා කොල්ලොත් පිරිවරා ගෙන.... කාට හරි ගහන්ඩ වෙන්ඩැ" කියමින් මුළු ගම්මානයම ගිනි තියනා බැව් නොදැනම නොවේ.
ගලෙන් නිමවා මේ වනවිට මොනයම් හේතුවක් නිසා හෝ අතහැර දමා තිබූ ගොඩනැගිල්ල පිලිසකර කිරීම ආරම්භ වී මද වේලාවකට පසු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන් ම සැදුම් ලත් සැලකිය යුතු පිරිසක් එහි ලඟාවූයේ දකුණු ඉන්දියානු සටන් ජවනිකාවක් ජීවමානව දැක ගැනීමේ අටදිටනින් විය හැක.
" ආ.. ඔය එන්නෙ අපිට සහයෝගෙට... වරෙල්ලා වරෙල්ලා... අපි මේ උඹලට සමූපකාරයක් හදන්න ලෑස්ති කරනව... දැං ඉතිං වරුවෙං බැරියැ මේක එකලසක් කර ගන්න... ලැන්සි නැන්දෙ... උඹ ගෙහුං අපි ඔක්කෝටම තේ බොන්න අඩුම කුඩුම ඇන්න වරෙංකො "
එය දියකාවාගේ විධානයක් නොවන විධානයක් බැව් හොඳින් දත් ඇය යුහුසුළුව පිටත් වූවත් " මේං මේ සල්ලි ඇන්න ගෙහුං අඩුම කුඩුම ගනිං " කියා උස් හඬින් කීවෙන් ඇය නැවත එයද රැඟෙන් පිටත් වීය.
============
පසුදින උදයේ ප්‍රදේශයේ මන්ත්‍රීතුමාගේ නිවස ඉදිරිපිට සිටි දියකාවා දුටු සැනින් ඔහු සුහදව පිලිගෙන පැමිණි කාරණය විමසා සිටියේය.
" සර් ... අපිට කන්දට සමූපකාරයක් අරං දෙන්න... ගොඩනැගිල්ලත් ලෑස්තියි.."
සතුටු සාමීචිය දිග්ගැස්සුනේ නැතත් සියළු කාරණා අසා දැනගත් දේශපාලකයා, " හරි ඒ වැඩේ මම කරලා දෙන්නම් ඇමතිතුමාට කියලා "
කී පොරොන්දුව මත දියකාව සතුටු සිතින් කන දෙසට ආවේ ඉදිරියේදී සමූපකාරයෙන් බඩු බාහිරාදිය රැඟෙන යන ගම් වැසියන් සිතමින්ය.
එම යෝජිත සමූපකාරයට සිදුවූයේ කුමක්දැයි ශ්‍රී ලංකා ජඩ දේශපාලනය ගැන අබමල් රේනුවක හෝ දැනුමක් ඇති ඕනෑම අයෙකුට සිතා ගත හැකි බැව් පසක් කරගනිමින් දියකාවාගෙ පස්වන පියාපත අදට හකුලා ගමි.
පසුව ලියමි:
බිහිසුණු පාතාලය වෙනුවෙන් මා විසින් රච්ත බොහෝ ලිපි මුහුණු පොත හරහා සමාජගත කිරීම නොරිස්සූ සකබරයා විසින් මසකට මාගේ ගිණුම හරස් කර ඇත.
මාගේ ලිපි සත්‍ය සිදුවීම් ඇසුරින් රච්ත කල්පිතයන් බැව් අමතක කර සමහර මිතුරන් අදහස් දැක්වීම් කරනා බැව් පෙනේ. දශක කීපයකට පෙර සිරි ගුණසිංහ නම් අග්‍ර ගන්‍ය කළාකරුවා ඔහුගේ එකම චිත්‍රපට නිර්මාණය තිර ගත කල අවධියේ එවකට ප්‍රසිද්ධ විචාරකයෙකු එය අසාර්ථක රූප පෙළක් වැනි විග්‍රහයක් කලා මතකය.
සිරි ගුණසිංහයන් එයට ප්‍රතිචාර දැක්වූයේ ඔහුට හැකි පමණින් එය කල බවත් හැකිනම් අග්‍ර ගන්‍යයේ චිත්‍රපටයක් කරන්නැයි ආරාධනා කරමින්ය.
අභියෝගය භාරගත් විචාරකයා බිහි කළ ප්‍රථම චිත්‍රපටය ප්‍රථම දිනයේම දික්කසාදය කරා ගිය මනමාලයෙක් වීම හාස්‍යජනකය.